කොස් මාමා යනුවෙන් හැඳින් වූ අභාවප්‍රාප්ත ආතර් වී. දියෙස් මහතාගේ 60 වැනි ගුණානුස්මරණය ඉකුත් 31 වැනිදාට යෙදිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
‘‘මාමා’’, ‘‘දියෙස් මාමා’’, ‘‘කොස් මාමා’’ යන විරුදාවලියෙන් පිදුම් ලත් පානදුරේ ආතර් වී. දියෙස් මහතා හරියටම මීට 60 වසරකට පෙර දැයෙන් සමුගත්තේය. ඒ 1960 ජුනි 31 වෙනිදාය.
තම මිණිබිරියගේ මංගල්‍ය අවස්ථාවක ඇයට කොස් ඇට පාර්සලයක් තෑගි දුන් සීයා කෙනෙකු ගැන ඔබ අසා තිබේද? 1937 දී තම ලොකු දෝණියන්දැ දීග යන දවසේ තාත්තා විසින් සාදා එවා තිබුණ කේක් ගෙඩිය ද බැලූ බැල්මට කොස් ගෙඩියක් වගේලු. කොස් ඇටවලට, කොස් ගෙඩියට ආදරය කළ මේ මහා පුරුෂයා ආතර් වී. දියෙස් මහතා ලංකාවේ ආහාර ප්‍රවර්ධන ව්‍යාපාරය ආණ්ඩුවේ කිසිදු සහායක් නොමැතිව, යම් යම් අයගේ සරදම්, සමච්චල් මැද තනිවම ඉදිරියට කරගෙන ගියේය.
පානදුරේ ධනයෙන් ආඩ්‍ය වූ ජෙරමියස් දියෙස් හා සෙලෙස්තිනා රුද්‍රිගු යුවළගේ හතර වැනි පුත්‍ර රත්නය ලෙස ආතර් වී. දියෙස් කුමරු 1886 පෙබරවාරි 10 වැනිදා උපන්නේය. රටටත් ජාතියටත් ආගමටත් අනුපමේය සේවයක් කළ ජෙරමියස් දියෙස් මාතාව ‘‘පානදුරේ විශාඛාව’’ ලෙස ප්‍රකට වූවාය. කොළඹ ග්‍රීන්පාත් හි 1917 දී අරඹන ලද කොළඹ බෞද්ධ කාන්තා මහා විද්‍යාලය (The Colombo Buddhist Girls College) ඉතා දිළිඳු තත්ත්වයක තිබීම නිසා බම්බලපිටියෙන් අක්කර තුනක් මිලයට ගෙන වෝකර්ස් සමාගම ලවා ‘‘විශාඛා විද්‍යාලය’’ 1927 ඉදිකර සිංහල බෞද්ධ බාලිකා අධ්‍යාපනයට පුරෝගාමී වූයේ දියෙස් මැතිනියයි.
එවන් මාතාවකගේ පුතකු තනි පුද්ගලයකු ලෙස අප්‍රතිහත ධෛර්යයෙන් අදින් වසර 100කට ප්‍රථම කොස් ව්‍යාපාරය ආරම්භ කළේය. ඔහුගේ ව්‍යාපාරයේ ප්‍රයෝජන මහජනතාව භුක්ති වින්දේ ආතර් වී. දියෙස් මහතාට පින් දෙමිනි.
දියෙස් මහතා පානදුරේ ශාන්ත ජෝන්ස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්විතියික අධ්‍යාපනය ලැබීය. අධ්‍යාපනයෙන් පසු එතුමා රට ජාතිය ආගම වෙනුවෙන් පරිත්‍යාගයෙන් වැඩ කළේය. ආචාර්ය පණ්ඩුල ඇඳගම පවසා ඇති පරිදි 1902 දී පානදුර බෞද්ධ සංගමය පිහිටුවා නූතන දහම් පාසල් ක්‍රමයේ මූලික අවස්ථාවේදීම ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් 1903 දී පානදුර රන්කොත් විහාරස්ථාන ඉරුදින දහම් පාසල ආරම්භ කොට එහි ප්‍රධානාචාර්ය ලෙස මෙතුමා කටයුතු කළේය.
දියෙස් මහතාගේ කොස් ව්‍යාපාරය ඇරඹීමට පදනම වැටුණේ අහම්බෙනි. සිංගප්පූරුවේ පදිංචිව සිටි මිතුරෙකුගෙන් ඔහුට අපූරු තෑග්ගක් ලැබුණි. මේ මිත්‍රයාගේ නම එම්.ඩී.ඒ. ගුණතිලකය. ජාති හිතෛෂියකු වූ ඔහු දහඅට මාසයෙන් පීදී පල දරන කොස් ඇට පාර්සලයක් දියෙස් මහතාට තෑගි වශයෙන් එවීය. මේ කොස් ඇටවලින් ප්‍රයෝජනයක් ගන්නේ කෙසේදැයි දියෙස් මහතා සිතමින් සිටියේලු. එය පල දැරූ අන්දම එවක සිළුමිණ පුවත්පතේ කර්තෘ පියසේන නිශ්ශංක මහතා විස්තර කර ඇත්තේ මෙසේය. (1963 ජුනි 14 – සිළුමිණ).
‘‘එකල ගොඩනැගිලි අතින් බොහෝ දුප්පත් අඩියක පැවති කොළඹ ආනන්ද විද්‍යාලයේ ගොඩනැගිලි අරමුදලක් ඇති කිරීමට සර් ඩී.බී. ජයතිලක හා මහාචාර්ය මලලසේකර ආදී මහතුන් පවත්වන ලද ‘‘ආනන්ද සතිය’’ නම් උත්සවයේ දී උත්සවයට පැමිණියවුන් අතර දියෙස් මහතා ඒ කොස් ඇට වර්ගය බෙදා දුන්නේය. දහ අට මාසයෙන් පූදින කොස් ඇට වර්ගයකැයි කී නිසා ගෙවතු ඇති කවුරුත් ඒ ඇට ආදරයෙන් පිළිගෙන වවා ගන්ට වූහ.
හරියට හරි. ඒ කොස් අට පැළ වී, ගස් හැදී බෙදී වැඩෙන්නට විය. හොඳට සාත්තු කළ ගස් උස නැති ළමයින් විසින් වුවද අත් දික්කර බිම සිට කැඩිය හැකි තරමේ දී පීදී පල දරන්නට විය. ගෙයක් ඉදිරියේ පුංචි කොස් ගසක බුරුතු බුරුතු කොස් හටගෙන තිබෙනු දැකීම ගම්වැසියන්ට ලොකු සිරියාවක් විය. මඟ යන එන්නන්ට අපූර්ව දර්ශනයක් විය.
දියෙස් මහතාගේ මේ කොස් ඇට ව්‍යාපාරයට සිංගප්පූරුවේ බෙරලියන්තු ව්‍යාපාරිකයකු වූ පී.බී. ද සිල්වා මහතාගේ අනුග්‍රහය ලැබිණි. එකල ‘‘සිංහල බෞද්ධයා’’ සහ ‘‘ස්වදේශ මිත්‍රයා’’ පුවත්පත්වලින් ද කොස් ව්‍යාපාරයට අනුබල රුකුල ලැබීම විශේෂ සිද්ධියකි.
‘‘ජොහෝර් කොස් ඇට’’ නමින් ප්‍රකට මේ කොස් ඇට රටේ හැමෝටම ඕනෑ විය. ඉල්ලුම තරමට සැපයීම දියෙස් මහතාට දුෂ්කර විය. සිංගප්පූරුවේ තම මිත්‍රයාට කොස් ඇට ගැන ඇති අවශ්‍යතා හා ඉල්ලුම ගැන ඔහු ලියා යැව්වේය. හැරෙන තැපෑලෙන් කොස් ඇට තොගයක් ලැබුණ නිසා දියෙස් මහතා ඒවා ජනතාව අතර බෙදා හැරියේය. ආනන්දයෙන් මුලින් බෙදා දුන් නිසා මේවා ‘‘ආනන්ද කොස්’’ නමින් හැඳින් විය. කොස් ගහ ‘‘බත් ගහ’’ නමින් හැඳින්වූයේ ‘‘කොස් මාමා’’ ගේ මේ සද්ක්‍රියාව නිසාය.
කොස් මාමා ගැන ලිපියක් 1955 නොවැම්බර් 12 වැනිදා ‘‘ඉරිදා ලංකාදීප’’ පත්‍රයට ලියූ ධර්ම ශ්‍රී කුරුප්පු අපූරු තොරතුරක් සඳහන් කර තිබුණි.
කොස්වල අනුහස් දුටු ආතර් වී. දියෙස් පින්වතාගේ ඒ ව්‍යාපාරය කෙරෙහි ආණ්ඩුකාරවරුන්ගේ අවධානය පවා යොමු විය. සර් එඩ්වඩ් ස්ටබ්ස් ආණ්ඩුකාරතුමා කොස් ඇට පාන් ගෙඩියක රහ බැලුවේ ආතර් වී. දියෙස් පින්වතා නිසාය. සර් ඇන්ඩෲ කෝල්ඩිකෝට් ආණ්ඩුකාරතුමා ‘‘දියෙස් මහතාගේ හොරණෑව මමයි’’ කියමින් කොස් ව්‍යාපාරයේ අනුහස් දක්වා සිටියේ කොස් මාමාගේ හොඳකම නිසාය.
එවකට ගොවිකම් ඇමතිවරයාව සිටි ඩී.ඇස්. සේනානායක මහතා කරන්නට බැරි යැයි කියද්දී, එවකට ගමනාගමන ඇමතිවරයාව සිටි ජෝන් කොතලාවල මහතා ලවා ගාස්තු රහිතව කොස් ඇට තැනින් තැන තැපෑලෙන් යැවීමේ පහසුකම් සලසා ගත්තේ ද ආතර් වී. දියෙස් පින්වතාගේ ව්‍යාපාරයේ වැදගත්කම නිසාය.
එතෙක් යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටි දියෙස් මහතා රෙද්දත් කර වැසූ කබායත් තම ඇඳුම කර ගත්තේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මංගල්‍ය අවස්ථාවේ එතුමා ඇඳ සිටි මනාල ඇඳුම දැකීමෙන් බව පැවසේ.
කොස් ව්‍යාපාරය නිසා දියෙස් මහතා පැසසුම් මෙන්ම ගැරහුම් ද ලැබුවේය. මෙසේ සරදමට ලක් කළ සිද්ධියක් ද පියෙස්න නිශ්ශංක පවසා තිබුණි. එකල බාල වයසේ ශිෂ්‍යයකුව සිටි හොරණ ශ්‍රීපාලියේ අධිපති විල්මට් ඒ. පෙරේරා මහතා දියෙස් මහතාගේ බෑණා කෙනෙකි. බෑණා මාමාට විදුලි පුවතක් එවමින් ‘‘ඊළඟට ජාඩි දමාපන්’’ කියා ලියා තිබුණේ ‘‘තම්බාපු කොස් කෑමට ජාඩි බැදුම තරම් ඉස්තරම් වෑන්ජනයක්’’ සිංහල කටට නැතිව බැරි බව සඳහන් කරමිනි.
කොස් ව්‍යාපාරය කොතෙක් දුර ගියාද යත් වරක් චාරිකාවේ යෙදුණු ස්වීඩන් ආණ්ඩුකාරයා ගම්වාසීන් විසින් පිළිගන්නා ලද්දේ ලක්ෂණ මණ්ඩපයක් තනා කොස් ඇට මල් මාලාවක් පළඳවමිනි.
බොහෝ ගම්වාසීහු ආණ්ඩුකාරයා අතින් කොස් ඇට ලබාගත්හ. ඒ ඇට සිටුවා පල දැරූ පසු ඒ කොස් හඳුන්වා ඇත්තේ ‘‘රජ කොස්’’ යනුවෙනි. දියෙස් මාමා තම කොස් ව්‍යාපාරය මෙන්ම සිංහලයාගේ ආහාර ගැන කතා පැවැත්වූ බව පැවසේ.
‘‘උදේ ආප්ප නැත්නම් පිට්ටු. ඒත් බත්. දවල්ට බත්. ඒත් බත්. සවස තේවතුරට කැවුම් කොකිස්, අග්ගලා නැත්නම් රොටී. ඒත් බත්. රෑට ද බත්. ඒත් බත්. සිංහලයාට ‘‘බත් මරුවා’’ යි කතාවක් ද පටබැඳී තිබෙන්නේ මේ නිසාය. මේ ආහාර ක්‍රමය හරි නෑ. කොස්, දෙල්, මයියොක්කා, බතල වැනි ආහාර ජාති අනුභව කරන්න ඕනෑ.’’
තවත් වරෙක දියෙස් මහතා පන්සලක කළ එක් කතාවක් නිසා ඒ පන්සලේ නායක හාමුදුරුවන්ට කේන්ති ගිය අවස්ථාවක් නිශ්ශංක මහතා ලියා තිබුණි.
‘‘ශ්‍රී පාදය වන්දනාවේ යන වන්දනාකාරයන් අතර ශ්‍රී පතුල වසන්නට සුදු රෙදි ගෙනයන ගමේ දිළිඳු ජනයාට නම් වැඩියෙන් පින් සිදුවෙනවා.
දියෙස් මහතා මහජනතාව දැනුවත් කරමින් තැන් තැන්වල කතා කළේ කිරි, බිත්තර, හරක් මස්වල, පීකුදුවල තියෙන ගුණාගුණ ගැනය.
කටී වායුවෙන් පෙළෙමින් සිටි ගෙදර මෙහෙකරුවාට ගස්ලබු කෑමට දීමෙන් ඔහුගේ කටී වායුව සුවපත් කළ බව නිදර්ශනයක් සහිතව ගෙන හැර දැක්වූ එතුමා කතා පවත්වමින් කොස්, දෙල්, අල, බතල, කිරි අල, රාජ අල, සියඹලා අගය කරමින් ඒවා පුන පුනා වර්ණනා කර ඇත. දෙහිවල ඇති ඇඹුලේ ගුණය මාන්දමෙන් පෙළෙන ළමයින්ට හොඳ බව පැවසූ එතුමා ඇට ඇර පේර කෑමට දීමෙන් ළමයින්ට ගුණ බවත් කියා තිබුණි.
දියෙස් මහතාට ‘‘මාමා’’ නම මුලින්ම ලැබී ඇත්තේ ‘‘සිළුමිණ’’ කමලා ළමා සමාජයෙන් බව පසුව ‘‘සිළුමිණ’’ කර්තෘව සිටි විමලසිරි පෙරේරා පවසා ඇත. (1955 සිළුමිණ) කමලා ළමා සමාජයට නංගී කෙනෙකු විසින් පැපොල් ඇට ඉල්ලා එවන ලද ලිපියකට, ‘‘ඒවා ලබා ගන්නට නම් දියෙස් මාමාගෙන් අසා යවන්නැයි’’ කමලක්කා විසින් පිළිතුරු යවන ලදී. මෙසේ කමලක්කා පිරිනැමූ ‘‘දියෙස් මාමා’’ නම් ආදරණීය නාමය පිළිගත් එතුමා එතැන් සිට ඒ නමින් පත්‍රවල ලිපි ලිවීය. දියෙස් මාමා ගැන තවත් අපූරු කතාවක් විමලසිරි මහතා ලියා තිබුණි.
‘‘කොළඹ ඔර්ලෝසු කණුව ළඟ වෙළෙන්දෙක් වරකා වගයක් විකුණන්නට තබා සිටියේය. බර කරත්තයක බැඳ සිටි ගොනෙක් වරකා වට්ටියට හිස පොවා වරකා පලුවක් ඩැහැ ගත්තේය. වෙළෙන්දා කෝපයෙන් හරකාට පයින් ගැසීය. මේ වේලාවේ එතැනින් යන්න ආ දියෙස් මහතා ‘‘හා... හා... අසරණ සතාට ගහන්න එපා. තමුසෙගෙ අලාබෙ මම ගෙවන්නම්’’ කියා එහි නැවතුණි. පසුව මුළු වරකා වට්ටියේම මුදල ගෙවා ඒ සියල්ලම කරත්තයේ බැඳ සිටි ගොනාට කන්ට දී ඔහු යන්නට ගියේය. මෙම සිද්ධිය බලා සිටි අය දියෙස් මහතාගේ කාරුණික ගුණය ගැන කථා කළා මිස ඔහු කවරෙකුදැයි දැන සිටියේ නැත.
කොපමණ හොඳ වැඩ කළත් දියෙස් මහතාට සිරගෙදර පොල්ලෙලි තැලීමට ද සිදුව ඇත. ඒ 1915 දී ය. ‘‘මාෂල්ලෝ’’ කාලයේ මුස්ලිම් මිනිසුන්ට රැකවරණය දී කළ පින් පල දී එතුමා සිරගෙදරට නියම විය. යුද්ධාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වී රුපියල් ලක්‍ෂයක දඩයකට යටත්ව යම්තම් ජීවිතය රැකගත් මේ පින්වතා මීට වසර 60 කට පෙර එනම් 1960 ජුනි 31 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තේය.
(*** ඒ.ඩී. රංජිත් කුමාර)
මන්නාරම සහ පූනරින් හි ඉදිකිරීමට යෝජිතව තිබූ අදානි සුළං බලාගාරවලින් ජනනය වන සෑම කිලෝවොට් පැයකම බලශක්ති ගාස්තුව ඇමරිකානු ශත 5.50 ට වඩා අඩු මට්ටමකට සකස් කළ
මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව
කෘතහස්ත දේශපාලඥයකු හා විද්වතකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේ 157 වැනි ජන්ම දිනය අදට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නව රජය ආරම්භ කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිරිසුදු ශ්‍රී ලංකාවක් පිළිබඳ ජන මනසක් නිර්මාණය කිරීම සඳහා බලපාන සාධනීය කරුණකි. එය හුදෙක්ම පාරිසරික පිරිස
විදුලිය යනු රටක දෛනික ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය සාධකයකි. රට තුළ විදුලි ඇණහිටීමක් සිදුවුවහොත් එයින් රටට සිදුවන පාඩුව අතිවිශාලය. ඒ මගින
මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ වී සහ සහල් පිළිබඳ ගැටලුවයි. එය වී සහල් සටනක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇත. රටේ වී වගා කරන ගො
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මිනිබිරියගේ මඟුල් ගෙදරට කොස් මාමාගෙන් කොස් ඇට
Haramanis Wednesday, 05 August 2020 01:51 AM
ජුනි මාසේ කොහෙද 31?
[email protected] Wednesday, 05 August 2020 07:30 AM
ආදි අපේ මුතුමිත්තෝ රටට දැයට හිත ඇත්තෝ...
අගලවත්ත Monday, 10 August 2020 08:17 AM
කාලයේ මුස්ලිම් මිනිසුන්ට රැකවරණය දී කල පින් පලදී එතුමා සිරගෙදරට නියම විය" මොකද්ද ඒ කතාවේ තේරුම ?