සන්ඬේ ලීඩර් පුවත්පතේ සම කර්තෘ මන්දනා ස්මයිල් අබේවික‍්‍රම යම් පාර්ශ්වයක හිරිහැරයට ලක් වූයේ ඉකුත් සතියේය. ඒ මාධ්‍යවේදීන්ට එල්ල වූ වධහිංසා අඩන්තේට්ටම් පිළිබඳ වාර්තාවීමේ ආසන්නතම සිදුවීම වශයෙනි. අපි පළමුව මන්දනා ස්මයිල් අබේවික‍්‍රම මාධ්‍යවේදිනියගේ හඬට කන්දෙමු.

ඉකුත් 24 වැනි සෙනසුරාදා සිදුවීමට පෙර යම් යම් දේවල් සිද්ධ වුණා. සෙනසුරාදා සිදුවීම පොලිසිය කොල්ලකෑමක් බව ප‍්‍රකාශ කළත් එය කොල්ලකෑමක්ම ද කියන සැක සංකා මතු වෙන්නෙ මීට පෙර ඇති වූ සිදුවීම් ද සමග ඒ සිද්ධිය පිළිබඳව සලකා බලද්දියි. එතකොට ඒ සිදුවීම හුදකලා සිදුවීමක් ලෙස සලකන්න අමාරුයි.

 

 

සති දෙකකට කලින් තමයි මෙම සිදුවීම් ජාලයේ ආරම්භය සටහන් වෙන්නේ. මට හුඟාක් සමීප කීප දෙනෙක් මට අවවාද කළා මගේ කි‍්‍රයාකලාපයන් ගැන. මගේ ලිවීම පිළිබඳ විතරක් නොවෙයි ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනිය ලෙස ඒ ඔස්සේ මගේ කි‍්‍රයාකාරිත්වය, ජනමාධ්‍යවේදිනියක් ලෙස මම ගොඩනගාගෙන ඇති සම්බන්ධකම් පිළිබඳ සමහර පිරිස් නොසතුටින් සිටින බවත් ඒ නිසා පරිස්සම්ව සිටින ලෙසත් ඇතැම් අය මට අවවාද කළා. මම ඒත් ඇහුවා ඒ පරිස්සම් වෙන්න කියන එකේ පදනම මොකක්ද? පරිස්සම් වෙනවා කියලා මට ගේ ඇතුළට වෙලා ඉන්න බෑනේ කියලා. ඒ වෙලාවේ ඒ අය කීවා ඉදිරියට බලපෑමක් වෙන්න පුළුවන් ඒ ගැන අවධානයෙන් ඉන්න කියලා.

22 වැනිදා මැරිච්ච බළල් පැටවකු මගේ නිවෙසේ දොරකඩ තබා තිබුණා. ඒ බළල් කුණ මට අතීතයේ එක්තරා සිදුවීමක් මතක් කළා. ලසන්ත වික‍්‍රමතුංග කර්තෘතුමා ඉන්න කාලයේ එතුමාගේ ඝාතනයට පෙර අප කර්තෘ මණ්ඩලයේ සොනාලිගේ සහ ෆෙඞ්රිකාගේ නිවෙසට මැරූ කුකුළන් යවා තිබුණා.

23 වැනිදා සිකුරාදා උදේ මම අප පුවත්පතේ කර්තෘතුමියටත් මේ සිදුවීම ගැන කීවා. වෙනදාට මම වැඩ ඉවර වෙලා ගෙදර එන්නේ සෙනසුරාදා පාන්දර 2.00ට විතර. ඒත් මේ සිදුවීම් නිසා එදා මම රාතී‍්‍ර 8.00ට විතර ගෙදර ආවා. ඇවිත් පුවත්පත් සම්බන්ධයෙන් ඉතුරු වැඩ ටික මගේ පරිගණකයේ කරන්න පටන් ගත්තා. එදා රෑ මහත්තයා යාළුවකුගේ උත්සවයකට ගියා. නිවෙසේ සිටියේ මාත් දස හැවිරිදි මගේ දුවත් මගේ අම්මා සහ තාත්තාත්. 10.30ට විතර මගේ මහත්තයා මට ආයෙ දුරකථන ඇමතුමක් දුන්නා. දීලා කීවා මම වාහනය නැවත ගෙදරට දානවා. දාලා තී‍්‍රවීල් එකක යන්නේ. පුදුම දෙයක් වුණානේ ටිකක් දුර යද්දි වාහනේ පිටිපස්සෙ රෝදයේ හුළං නෑ. රෝදය කපලා කියලා. මගේ හිතට හරි නෑ කියන එකත් ඒ වෙලාවේ එයා කීවා.

එදා මගේ වැඩ ඉවර කරද්දි රාතී‍්‍ර 1.30 විතර වුණා. ඇඳේ හාන්සි වුණත් මට නින්ද ගියේ නෑ. මොකද මේ සිදුවීම් සමග හිතේ යම් නොසන්සුන්කමක් ඇතිවී තිබුණා. 2.30ට විතර මට දැනුණා කාමරේ කවුරු හරි ඉන්නවා වගේ. මම ඇහැ ඇරලා බලද්දී කෙනෙක් පනිනවා ඡායාවක් වගේ දැනුණා. මම කවුද කවුද කියලා ඒ සමගම ඇහුවා.

ඒ අහද්දි හතර දෙනෙක් මගේ කාමරයට ආවා. එයාලා අතේ පිහි තිබුණා. කෙනෙක් අතේ මන්නයකුත් තිබුණා. මගේම ඇඳුම්වලින් තමා ඇස් විතරක් පේන්න මුහුණු ආවරණය කරගෙන හිටියේ. එක්කෙනෙක් මගේ බෙල්ලට මන්නය තියද්දි තව කෙනෙක් පිහිය තිබ්බා. ඊට පසු කීවා කෑගැහුවොතින් මෙතනම කපලා මරනවා කියලා.

මම කීවා හරි මම කෑගහන්නෙ නෑ මොනවද  ඕනෑ කියලා. ඒ වෙලාවේ මගේ අතේ ඇඟිලිවලට පිහියෙන් තට්ටු කළා. ඒ වෙලාවේ මම මුදු ටික ගලවලා දුන්නා. තියෙන බඩුයි සල්ලි දෙන්න කියලා ඊට පසු කීවා. මම කීවා තියෙන  ඕනෑ දෙයක් ගන්න කියලා. අල්මාරිවල මොනවද තියෙන්නෙ ඇහුවා. මම කීවා එක අල්මාරියක්  මගේ අනික මහත්තයාගේ. ඒකේ අගුල දාලා ඇත්තේ.  ඕනෑ දෙයක් කඩලා ගන්න කියලා.

මගේ අල්මාරියේ දොර ඇරලා මහත්තයාගේ අල්මාරියේ දොර කැඩුවා. ඔක්කොම එළියට ඇදලා දාලා බැලූවා. සල්ලි කෝ කියලා ඇහුවා. මගේ පසුම්බිය ඇරලා බැලූවා. ඒකේ තිබුණේ රුපියල් 3120ක්. මම ඒ මුදල දුන්නා. දුන්නම ඇහුව එච්චරද තියෙන්නේ කියලා. මම ඔව් කීවා. ඊළඟට ලාච්චු වගයක් පෙන්නලා ඇහුවා ඒවගේ මොනවද තියෙන්නේ කියලා.

මම කීවා ෆයිල් වගයක් සහ ලේඛන වගයක් කියලා. එච්චරද තියෙන්නේ කියලා මට කීවා ඒක අරින්න කියලා. මම කීවා මම ළඟ යතුර නෑ කියලා. යතුර නෑ කීවාම අතින් මගේ කට ළඟට ගැහුවා. මම කීවා කඩලා  ඕන දෙයක් ගන්න කියලා. ඊට පසු මන්න පිහියෙන් ලාච්චු ටික කඩලා එහි තිබූ ෆයිල් සහ ලේඛන සියල්ල ගත්තා.

ඉන්පසු ඒ සියල්ල ඇඳේ දමාගෙන එකින් එක පිරික්සලා බැලූවා. ඒවා මහත්තයාගේ ෆයිල් වගයක්. ඒවා බලලා ඉවරවෙලා මට කීවා ඇඳේ ඉඳගන්න කියලා. ඉඳගත්තම මහත්තයාගේ තුවාය දීලා කීවා ඔළුවේ ඉඳන් වහගන්න කියලා. මූණ වහගෙන ඉද්දි මට දැනුණා පිටුපසින් කෙනෙක් ඇඳට නගිනවා. මම තුවාය පහළට දැම්මා. ඒ බලද්දී කෙනෙක් පිහිය දිගු කරගෙන මට අනින්න වගේ ආවා. මම එක පාරටම ඇඳෙන් බැස්සා. මම කීවා ඔයාලට බඩු  ඕනෑ කීවනේ තියෙන  ඕන දෙයක් අරන් යන්න කියලා. ඒ වෙලාවේ මට කලින් ගහපු කෙනා මගේ අතේ බාහුවට පිහිය තියලා තද කළා. ඒ තද කරද්දි අත කැපුණා. මගෙන් ඇහුවා ගෙදර කවුද ඉන්නෙ කියලා. මම කීවා අම්මයි තාත්තයි දුවයි කියලා. මහත්තයා කීයට ද එන්නේ ඇහුවා. මම කීවා දන්නෙ නෑ කියලා. අම්මගේ බඩු කෝ ඇහුවා. මම කීවා අම්මගේ බඩු ඒ පැත්තේ කියලා. ඊට පසු ඒ පැත්තට යමු කීවා.

මම කීවා මගේ අම්මට තාත්තට දුවට කිසිම හිරිහැරයක් කරන්න එපා. ඔයාලගේ  ඕනෑම ගනුදෙනුවක් මාත් එක්ක කර ගන්න කියලා.

මේ අතර එක්කෙනෙක්ගෙ ජංගම දුරකථනයට ඇමතුමක් ආවා. කොනකට ගිහින් කතා කළත් ඒ කතා කළ දේ මට ඇහුනෙ නෑ. පසුව තාත්තාගේ කාමරේට යද්දි තමා මම දැක්කේ අර හතරදෙනාට අමතරව තව කෙනෙක් තාත්තාගේ කාමරය ළඟ ඉන්නවා. අම්මාගේ අල්මාරිය තියෙන්නෙත් තාත්තාගේ කාමරේ. විදුලි පන්දමේ එළියෙන් තමා ඒ කාමරයට ගියේ. තාත්තා කෑගහලා නැගිට්ටොත් තාත්තට පිහියෙන් අනිනවා කියලා ඒ අය කීවා. ඒ අල්මාරියත් කඩලා බඩු ඇද්දා. ඒ සද්දෙට තාත්තා ඇහැරුණා. එක්කෙනෙක් ඒ වෙලාවේ තාත්තගේ පිහියට බෙල්ල තිබ්බා. මම ඒ වෙලාවේ ”ටක් ගාලා ලයිට් එක දාන්න” කියලා කීවා.

”තාත්තා බයවෙන්න එපා මුකුත් වෙන්නෑ. ඔහොමම ඉන්න කියලා මම තාත්තාට කීවා. මම හැම වෙලේම කීවේ අම්මට තාත්තට දුවට මොකුත් කරන්න එපා කියන එකයි. මේ වෙද්දි අම්මා නාන කාමරයට යන්න නැගිටලා. එයාගේ කාමරයෙන් එළියට ඇවිත්. ඒ අය අම්මත් බිත්තියට තියලා තද කරලා කට වහලා බෙල්ලට පිහිය තිබ්බා. මම අම්මටත් කීවා බය වෙන්න එපා මම ඉන්නවා කියලා. අම්මා ඒ වෙලාවේ තාත්තගේ ඇඳේ ඉඳගත්තා. ඒ වෙලාවේ ඉඳන් දිගටම විදුලි බුබුලූ දල්වලා තිබුණේ. මම කීවා ගන්න  ඕනෑ දෙයක් අරන් අපට කරදර නොකර යන්න කියලා. ඊළඟට ඇහුවා අර කාමරයේ මොනවද තියෙන්නේ කියලා. මම කීවා එතන දුව ඉන්නේ. අනේ එයාට නම් කරදර කරන්න එපා කියලා. එක්කෙනෙක් පිහියක් අරන් ඒ වෙලාවේ දුවගේ කාමරයට ගියා. ඒ අර මට ගහපු කෙනාමයි. මම ඒ වෙලාවේ එයාගේ පසුපසින් ගියා. දුවත් ඒ වෙද්දි නැගිටලා. මම දුවගේ ඔළුව අතගාලා බය වෙන්න එපා කියද්දි එයා මගෙන් ඇහුවා අම්මි මොකද වෙන්නේ කියලා.

මගේ අම්මට දුවත් එක්ක ඉන්න දෙන්න. ඔයාලට  ඕන දෙයක් අරගන්න කියලා මම නැවතත් කීවා. ඒ වෙලාවේ අම්මව දුව ළඟට එව්වා. ඒත් තව කෙනෙක් දුවගේ බෙල්ලට පිහිය තිබ්බා. පිහිය තියලා කීවා අහන ප‍්‍රශ්නවලට බොරු කියන්න එපා ඇත්ත කියන්න නැත්නම් අම්මට තාත්තට හොඳටම ගහනවා කියලා. ඒ වෙලාවේ දුව බයවෙලා අඬන්න ගත්තා. මම කීවා මගේ දුවට වද දෙන්න එපා කරදර කරන්න එපා කියලා. ඊළඟට දුවගේ කාමරයේ හැම දේම ඇද්දා. ඒ වෙද්දි කාමරේ හිටියේ පස්දෙනාගෙන් තුන්දෙනයි.

මම ඇහුවා මොකක්ද මේ කරන්නේ කියලා. අපිත් මේ කරන්නේ කොන්ත‍්‍රාත්තුවක්. ඒක තේරුම් ගන්න කියලා මට ළඟ හිටපු කෙනා කීවා. කොන්ත‍්‍රාත්තුව දුන්න කෙනාට ප‍්‍රශ්නය තියෙන්නේ ඔයත් එක්ක. ඔයා තමයි ”කේස්” එක. ඔයා එක්ක තමා ප‍්‍රශ්නය තියෙන්නේ. අපිට කීවේ බඩුත් අරගෙන ඔයා ගැන බලාගන්න කියලා. බඩු අරන් ගියාම අපිට අපේ පංගුව ලැබෙනවා කියලා.

මම කීවා හරි අපි එහෙනම් ඒ ”ලයින්” එකේ යමු. ඔයාලා බඩු ගන්න. මාත් එක්කනේ ප‍්‍රශ්නය තියෙන්්නේ. අනිත් අයට කිසිම හානියක් කරන්න එපා කියලා. ඒ වෙද්දි මට ඇහුණා දොරට තට්ටු කරනවා. මම දැන ගත්තා මහත්තයා ගෙදර ඇවිත් කියලා. මට ඒ වෙලාවේ බය හිතුණා මහත්තයාගේ පිටුපස්සෙන් ගිහින් එයාට පිහියෙන් අනියි ද අනතුරක් කරයි ද කියලා. මම එයාලාගේ අවධානය එයින් ඈත් කරන්න ඔයාලට මොනවද  ඕනෑ අහමින් එයාලා සමග කතා කර කර හිටියා.

 ඒ වෙලාවේ කෙනෙක් මගෙන් වේලාව ඇහුවා. මම කීවා මගේ ළඟ වෙලාවක් නෑ කියලා. ඊට පසු එතනම තව කෙනෙක්ගෙන් වෙලාව ඇහුවා. ඒ වෙද්දි වෙලාව පාන්දර 4.30යි.

මම ඇහුවා ඔයාලා දැන් අස්සක් මුල්ලක් නෑර ගේ බැලූවනේ තියෙන්නේ මොනවද නැත්තේ මොනවද කියලා ඔයාලා දැක්කනේ. ඔයාලට  ඕන කරන දේ අරන් ඇයි ඔයාලා යන්නේ නැත්තේ කියලා. අහලා බලපන් දැන් මොකද කරන්නේ කියලා ඒ වෙලාවේ කෙනෙක් තව කෙනෙකුට කීවා.
එතකොට 5.00ට කිට්ටුයි වෙලාව. එයාලා කීවා දැන් මෙතන වේලාව ගත්තා වැඩියි මේක ඉවරයක් කරමු කියලා. එහෙම කියලා මෙයාලා මගේ දිහාවට එන්න ගත්තා. එයාලා ගෙදර පිටුපස පැත්තෙන් ඇවිත් තාත්තාගේ කාමරයේ දොර ඇරගෙන තමා ඇවිත් තිබුණේ. ඒ දොර දැන් තියෙන්නේ මෙයාල ඉන්න විදිහට මෙයාලා පිටුපසින්.

මෙයාලා මගේ දිහාට එද්දිම මට තාත්තාගේ කාමරයෙන් එළියේ අඩි ශබ්දයක් ඇහුණා. ඒ වෙලාවේම එයාලත් එක පාරටම හැරිලා බැලූවා. බලලා පොලිසියෙන් පොලිසියෙන් කියලා කෑගැහුවා. කෑගහලා ඉස්තෝප්පුව පැත්තට ආවා. මට ඉස්තෝප්පුව දොරේ වීදුරුව කැඩෙන හඬ ඇසුනා. ඒ පැත්තෙන් පොලිසිය වට කරලා බව තේරිලා ඔවුන් තාත්තාගේ කාමරය පැත්තෙන් යන්න ආවා. ඒ එද්දි පොලිස් රාලහාමි කෙනෙකුත් ඒ පැත්තෙන් දුවගෙන ආවා.
දුවන්න එපා දුවන්න එපා කියලා පොලිස් නිලධාරියා කෑගහද්දි මෙයාලා එයාව තල්ලූ කළා. තල්ලූ කරලා දුවන්න හැදුවා. ඒ වෙලාවේ ඒ පොලිස් නිලධාරියා වෙඩි තැබුවා. මම තාත්තට කීවා තාත්තේ හෙල්ලෙන්න එපා ඔහොමම ඉන්න කියලා. මම අම්මාගේ කාමරයට ගිහින් දොර අගුලූ දා ගත්තා.
වීදුරු බිඳෙන වෙඩි තියන ශබ්ද සියල්ල ඒ වෙලාවේ ඇසුණා. විනාඩි පහකට විතර පසු මොකුත් ශබ්දයක් නෑ. ඊළඟට මගේ මහත්තයා ඇවිත් දොරට තට්ටු කළා.

මම විශේෂයෙන් කියන්න  ඕනෑ ඒ වෙලාවේ පොලිසිය ඉතා ඉක්මනින් කි‍්‍රයාත්මක වෙලා තිබුණා. මගේ මහත්තයා ඇතිවූ සැකය මත පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දීමත් සමග කණ්ඩායම් දෙකක් ඇවිත් තිබුණා. ඒ නිලධාරීන් හතර දෙනෙකුට විතර මේ අය පිහියෙන් ඇනලා. එක්කෙනෙක්ගේ තත්ත්වය බරපතළ වී තිබුණා. අපට හිරිහැර කළ පිරිස රැුගෙන ආ ග්‍රෙනේඩයක් තාප්පය ළඟ බිම වැටී තිබුණා. පොලිස් නිලධාරීන් 25 දෙනෙක් විතර ඇවිත් තිබුණා.
හොරකමකට එන මනුස්සයෙක් පැය දෙකකට වඩා කාලයක් හොරකම සඳහා වැය කරනවද? ග්‍රෙනේඞ් එකකුත් අරන් හොරකමේ එනවද? මරන්න ආව නම් මරලා යනවා. හොරකමේ ආව නම් හොරකම කරලා යනවා. ඒ දෙකම නොකර ඔවුන් ලිපි ලේඛන ෆයිල් කවර අවුස්සමින් පොත්පත් පවා පෙරළමින් මොනවද සෙව්වේ. ආවේ මංකොල්ලකරුවන් නම් ඇඳ උඩ තබාගෙන ලාච්චු කඩ කඩා ෆයිල් ලිපි ලේඛන බැලූවේ ඇයි! අන්න එතන මට ප‍්‍රබල ගැටලූවක් තියෙනවා.

මම ලියන එක නවත්වන්නේ නෑ. මගේ ස්ථාවරය මම මේ රටේ ඉන්නවා කියන එක. මගේ දුවගේ බෙල්ලට පිහිය තියන වෙලාවේ අම්මා කෙනෙක් විදිහට මට දැනුණු හැඟීම හරිම සංවේදියි. මගේ අම්මා තාත්තා දුව තාම ලොකු කම්පනයකින් ඉන්නේ. මට ඒ හැමෝම ගැන වගකීමක් තියෙනවා. ඒත් මගේ පෑන හැමදාමත් සියල්ල හමුවේත් නිහඬ වෙන්නෑ. ඒ දේ මට පැහැදිලිව ස්ථිරවම කියන්න පුළුවන් ඇය කියන්නීය.

 

 

 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර

සන්ඬේ ලීඩර් පුවත්පතේ සම කර්තෘ මන්දනා ස්මයිල් අබේවික‍්‍රම මාධ්‍යවේදිනියගේ නිවෙස මංකොල්ලකෑමේ මුවාවෙන් ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ සැකයක් ඇති වී තිබෙනවා. අප පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව සත්‍ය හෙළිදරව් කරන ලෙසයි. නිවසේ දුරකථන විසන්ධිකර මන්දනාගේ සෙලියුලර් දුරකථනයේ බැටරි ගලවා විසි කර අල්මාරි කඩා රන් බඩු හා මුදල් ආදිය එකතු කරන අතරේ ලිපිගොනු අදිමින් ඒවා පරීක්ෂා කරමින් පැය කීපයක් ගත කරමින් සිටීම බරපතළ සැක සංකා මතු කරන්නක්.

මේ සම්බන්ධව අප අපේ බරපතළ කනස්සල්ල පළ කරන අතරේ සාක්ෂි ද අතැතිව සිටින හෙයින් වහාම සත්‍ය හෙළිදරව් කරන මෙන් සහ ඔවුන්ට ආරක්ෂාව සපයන මෙන් පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

 

 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන

මෙය කොල්ලකෑමේ සිද්ධියක් බව පැහැදිලියි. පසුගිය කාලයේ බම්බලපිටිය ප‍්‍රදේශයේ මෙවැනි කොල්ලකෑමේ සිදුවීම් ගණනාවක්ම ඇති වුණා. මේ පිළිබඳව විවිධ පාර්ශ්ව විවිධ සිද්ධීන් හුවා දැක්වුවත් මෙය කොල්ලකෑමේ සිද්ධියක් බව පැහැදිලිවම ඉදිරියේ දී අනාවරණය වෙයි.
කොල්ල කල්ලියේ එක් අයෙක් පොලිස් වෙඩි පහරින් මියගියා. අනෙක් සිවුදෙනා සම්බන්ධව ඉදිරියේදී කරන ප‍්‍රශ්න කිරීම්වලදී මෙය කොල්ලකෑම සම්බන්ධ සිද්ධියක් බව ඉදිරියට හෙළිදරව් වෙයි. මේ සම්බන්ධව වෙන කිව යුතු දෙයක් නෑ.

 

 

හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය


මන්දනා ඉස්මයිල් අබේවික‍්‍රමගේ නිවෙස කොල්ලකෑම  සිද්ධිය සම්බන්ධව ඇතැම් දේශපාලන පක්ෂ යුද හමුදාව වෙත කරනු ලබන චෝදනා අප සහමුලින්ම ප‍්‍රතික්ෂේප කරනවා. දැනට පොලිසිය මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ඉදිරි කාලයේ සත්‍ය තහවුරු වෙයි.

මේ කල්ලියේ සාමාජිකයන් දෙදෙනෙක් ශ්‍රී ලංකා යුදහමුදාවෙන් පැනගිය අය නිසා අපි ඔවුන් ගැන පැහැදිලි කිරීමක් කළ යුතුයි.

සාමාන්‍ය සෙබළ කේ.පී. චාමර කුමාර 2009 සැප්තැම්බර් මස සොරකමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා යුද හමුදා පනතට අනුව දින 90ක් බන්ධනාගාර ගත කළ අතර එනම් 2009 ඔක්තෝබර් මස 06 වැනි දින සිට බන්ධනාගාර ගත කර සිටියා.

ඒ අනුව එම පුද්ගලයා පනාගොඩ රැුඳවුම් කඳවුරට රැගෙන යන කාලය තුළ දී එනම් 2009 ඔක්තෝබර් 08 වැනි දින හමුදා බාරයෙන් පළා ගියා. 2010 මැයි මස 24 වැනි දින ඔහු නැවත හමුදාවට බාර වුණා. ඒ අනුව නැවත වරක් විනයානුකූලව කටයුතු කරමින් 2010 ජූලි මස සිට ඔහුට හමුදා දඬුවම කි‍්‍රයාත්මක කළා.

නියමිත දඬුවම් කාලය හමාර වීමෙන් පසු 2010 සැප්තැම්බර් 09 වැනි දින ඔහුට අදාළ රෙජිමේන්තුවට බාර කරන ලද අතර 2010 ඔක්තෝබර් 09 වැනි දින සිට සේවයට වාර්තා කිරීම පැහැරහැරි හෙයින් හමුදාව හැරගිය අයෙකු ලෙස නම් කළා. නැවත 2013 ජූනි 25 වන දින හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 2013 ජූලි 09 වැනි දින නැවත රෙජිමේන්තුවට බාර දුන්නා.ඒ අනුව රෙජිමේන්තුව විසින් කරන ලද මූලික පරීක්ෂණයෙන් පසු තාවකාලිකව සේවයෙන් පහ කළා.

ඒ අනුව 2013 අගෝස්තු 20 වැනි දින ඔහු සේවයට වාර්තා කළ අතර ඔහු සේවයෙන් නිදහස් කිරීම එදිනම සිදු කළා. ඉන්පසු කාල පරිච්ෙඡ්දය මොහු මේ සිද්ධියට සම්බන්ධ වී තිබුණා.

ඒ වගේම මේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙක් ද හමුදාවෙන් පැනගිය කෙනෙක්. මේ වන විට හමුදාවෙන් පැන ගොස් සිටින සියලූම සෙබළුන් සංඛ්‍යාව 25000කට ආසන්නයි.