IMG-LOGO

2025 ජුනි මස 02 වන සඳුදා


මදුරු මර්දනයට නව අවියක්

පහත ලිපියෙන් ඉස්මතු කිරීමට උත්සාහ දරන්නේ මෘදු බැක්ටීරියාවක් වන Bacillus thuringiensis israelensis (Bti) භාවිතයෙන් මදුරුවන් පාලනය කිරීම පිළිබඳ ප්‍රසිද්ධ කරුණුයි. බීටීඅයි මදුරුවන් හැර මිනිසුන්ට මෙන්ම අනෙකුත් ජීවීන්ට ද ඉතා ආරක්ෂිත වන අතර නිෂ්පාදනය කිරීමට සහ භාවිත කිරීමට ඉතා පහසු සහ ලාබදායී වේ. වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ දී බීටීඅයි සාර්ථකව භාවිත කළ බව මෙම ලියුම්කරු තේරුම් ගනී. එහෙත් ඊළඟ වසරේ මිලදී ගැනීම සඳහා බැක්ටීරියාවේ සැපයුම්කරු වූ කියුබාව අධීක්ෂණ කොමිස් අල්ලස් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම වැඩසටහන අත්හිටවනු ලැබිණි.

මදුරුවන් යනු කරදරයක් පමණක්ම නොවේ, ඔවුන් පෘථිවියේ වෙනත් ඕනෑම සතකුට වඩා මිනිසුන් මරා දමයි. මෙම කුඩා කෘමීන් මැලේරියාව, ඩෙංගු, චිකුන්ගුන්යා (Chik-un-GUN-yuh) සිකා සහ වෙනත් ලෙඩ රෝග පැතිරවීමෙන් මිනිසුන් මිලියන සිය ගණනක් ආසාධිත තත්වයට පත්කරන අතර, ඒ හේතුවෙන් සෑම වසරකම මිනිසුන් මිලියනයක් මිය යනු ලැබේ. කෙසේ වෙතත්, මදුරුවන් තුරන් කිරීමේ පර් යේෂණ දියුණු රටවල ප්‍රමුඛතාවක් නොවේ, මන්ද සියලු‍ම මරණ පාහේ දුප්පත් රටවල සිදුවන බැවිනි.

දේශගුණික විපර්යාස සහ ගෝලීය සංචාර හේතුවෙන් අයිඩෙස් අයිජෙප්ති (Aeses aegypti) වැනි භයානක මදුරු විශේෂ පරාසය පුළුල් වෙමින් පවතින අතර වර්තමාන ලෝක ජනගහනයෙන් අඩක් පමණ, එනම් බිලියන 4 ක ජනතාවක් මදුරුවන්ගෙන් බෝවන රෝගවලට ගොදුරු වීමේ අවදානමට ලක් වේ. සාම්ප්‍රදායික කෘමිනාශක වර්ග අඩු ආරක්ෂිත සහ අඩු ඵලදායී වන විට (මදුරුවන්ට ප්‍රතිරෝධය වර්ධනය කරගත හැක), විද්‍යාඥයො ජීව විද්‍යාත්මක මෙවලම් වෙත යොමුවෙමින් සිටිති. එක් පොරොන්දු වූ විසඳුමක් වන්නේ මදුරු කීටයන් මරා දමන පසේ ඇති ස්වාභාවික බැක්ටීරියාවක් වන Bacillus thuringiensis israelensis (Bti)ය. මෙම ලිපියෙන් ගවේෂණය කරන්නේ බීටීඅයි ක්‍රියා කරන ආකාරය, එය ආරක්ෂිත වන්නේ ඇයි සහ මදුරුවන්ට එරෙහිව රැල්ල හැරවීමට ඉතා වෙනස් ප්‍රජාවන් තුනක් හරහා එය භාවිත කරන්නේ කෙසේ ද යන්න ගැනය.

බීටීඅයි ක්‍රියා කරන ආකාරය - අනෙක් සියල්ල ඉතිරි කර, කීටයන් පමණක් මරා දැමීම

බීටීඅයි යනු ස්වාභාවිකව ඇති වන බැක්ටීරියාවක් වන අතර එහි බීජාණු ක්‍රිස්ටල් නම් (Cry) විස නිපදවයි. ජලයේ ඇති බීටීඅයි බීජාණු මදුරු කීටයන්ගේ ශරීරගත වන විට, විස ද්‍රව්‍ය කෘමියාගේ බඩවැල් බිත්තිය ඉරා දමමින් මාරාන්තික ආසාදනයක් ඇති කරයි. ඇත්ත වශයෙන්ම බීටීඅයිවල ඇති ප්‍රෝටීන මෘදු ශරීර ඇති ජලජ කීටයන්ට පමණක් බලපාන ජීව විද්‍යාත්මක උණ්ඩයක් ලෙස ක්‍රියා කරයි. රසායනාගාර සහ ක්ෂේත්‍ර අධ්‍යයන මෙම යාන්ත්‍රණය සනාථ කර ඇත. “බීජාණු මදුරුවාගේ බඩවැල් තුළට ඇතුළු වී මැද-බඩවැල් එන්ඩොතලියම් විනාශ කරන අතර එමඟින් කීටයන් මිය යයි. මෙම විස ද්‍රව්‍ය ඵලදායී වන්නේ මදුරුවන්ගේ ජලජ අවධීන්ට එරෙහිව පමණි” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාලෝචනයකින් පැහැදිලි කරයි. ප්‍රායෝගිකව, බීටීඅයි ස්ථාවර ජලයට යොදනු ලැබීම හෝ මදුරුවන් බෝවන ස්ථානවලට සෙමින් දියවෙන පෙති ලෙසින් දමනු ලැබේ. අනෙකුත් කෘමීන්ට බලපෑම් නොකර දින කිහිපයක් ඇතුළත කීටයන් මරා දැමීමට ඊට හැකිය. තවත් ඉතා සාර්ථක හා ආකර්ෂණීය ප්‍රජා පාදක ව්‍යාපෘතියක් ඉක්වදෝරයෙන් වාර්තා වී ඇත. එහි දී සිදුවන්නේ පාසල් දරුවන් විසින් පොල් ගෙඩි තුළට පුරවා ඒවා ස්ථාවර ජලයේ තැබීමයි.

වැදගත්ම කාරණය වන්නේ බීටීඅයිවල ආරක්ෂිත පැතිකඩ විශිෂ්ට එකක් වීමය. එසේම බීටීඅයි මිනිසුන්ට, සුරතල් සතුන්ට, පශු සම්පත්වලට සහ වනජීවීන් බොහෝමයකට හානිකර නොවන බව අධ්‍යයන සහ නියාමන මගින් තහවුරු වී ඇත. මසුන්, ගෙම්බන්, පක්ෂීන් සහ ඉලක්කගත නොවන කෘමීන් පවා බොහෝ දුරට බලපෑමට ලක් නොවේ. එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සිය සඳහන් කරන්නේ බීටීඅයි හි විසවීම මදුරුවන්ට සහ කළු මැස්සන්ගේ කීටයන්ට විශේෂිත වුවත්, සරලවම ක්ෂීරපායින් සහ අනෙකුත් සතුන් සඳහා සංවේ දී නොවන බවය. දශක ගණනාවක් භාවිතයෙන් පසු මදුරුවන් තුළ “ බීටීඅයිවලට ප්‍රතිරෝධයක් නොමැති අවස්ථා” සහ එහි යෙදීමෙන් “මිනිස් සෞඛ්‍යයට අවදානමක් නොමැති” බව ද එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සිය අවධාරණය කර ඇත. එසේම, එඩ්මන්ටන් විශ්වවිද්‍යාලයේ මදුරු පර් යේෂණ කණ්ඩායම අවධාරණය කරන්නේ ඔවුන්ගේ බැක්ටීරියා කීට නාශකය “විශේෂයෙන් මදුරු කීටයන් ඉලක්ක කර ඵලදායී ලෙස මරා දමන බවත් අනෙකුත් සියලු‍ම ජලජ විශේෂවලට විෂ නොවන බවත් මිනිස් සෞඛ්‍යයට බලපාන්නේ නැති බවත්” ය. කෙටියෙන් කිවහොත් අවම අනුබද්ධ හානියක් සහිතව කීට මදුරුවන් මර්දනය කිරීම සඳහා බීටීඅයි හරහා රසායනික නොවන පරිසර හිතකාමී ක්‍රමයක් ඉදිරිපත් කරයි.

කියුබාවේ ඒකාබද්ධ සටන

කියුබාවේ මදුරු පාලනය දශක ගණනාවක් තිස්සේ ජාතික ප්‍රමුඛතාවක් වී ඇත. 1981 දී දරුණු ඩෙංගු වසංගතයකින් පසු කියුබාව වාසස්ථාන පිරිසුදු කිරීම ප්‍රජා අධ්‍යාපනය, කීට නාශක (බීටීඅයි වැනි) සහ වඳ කෘමි තාක්ෂණය (SIT) වැනි නව්‍ය මෙවලම් ඒකාබද්ධ කරමින් ඒකාබද්ධ දෛනික වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. මෑත වසරවල දී හවානා නුවර කේන්ද්‍ර කර ගනිමින් වඳ කෘමි තාක්ෂණ නියමු වැඩසටහනක් පවා ක්‍රියාත්මක කළ අතර මදුරු ගහනය විනාශ කිරීම සඳහා විෂබීජහරණය කළ ඊඩීස් පිරිමි සතුන් මුදා හැරියේය. හවානා අත්හදා බැලීමෙන් “පසුගිය වසරේ මදුරු ගහණය සියයට90 කින් අඩු කළ” බවත් නියමු වැඩසටහන අත්හදා බැලූ ප්‍රදේශයේ “මදුරුවන්ගෙන් බෝවන රෝග තුරන් කළ” බවත් එක් ප්‍රවෘත්ති වාර්තාවක සඳහන් වෙයි. කියුබාවේ පේද්‍රෝ කුරි ආයතනයේ කීට විද්‍යාඥ රෙනේ ගැටෝ අර්මාස් පැහැදිලි කරන පරිදි, 1980 ගණන්වල ආක්‍රමණශීලී ව්‍යාපාරයක් හරහා ඊඩිස් මදුරුවන් කියුබාවෙන් “සම්පූර්ණයෙන්ම පාහේ තුරන්” කළ නමුත් සංචාරකයන් හරහා ඩෙංගු නැවත රට තුළට පැමිණීම වළක්වා ගැනීම සඳහා සුපරීක්ෂාකාරී වීම අවශ්‍ය වේ. අද වන විට කියුබානු බලධාරීන් විසින් මදුරුවන් බෝවන ස්ථානවලට තවමත් කීට නාශක (ජීව විද්‍යාත්මක ඒවා ඇතුළුව) ඉසින අතර මදුරුවන් වළක්වා ගැනීම සඳහා වඳ කෘමි තාක්ෂණය සහ දැඩි ප්‍රජා පිරිසුදු කිරීම මත විශ්වාසය තබති. මෙම බහු-පාර්ශ්වික ප්‍රවේශයට බීටීඅයි ඒකාබද්ධ කිරීම හරහා කියුබානු පරිසරයේ විෂ සහිත රසායනික ද්‍රව්‍ය අවම කරන අතරම මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට ඉඩ සලසයි.

ඉක්වදෝරයේ බීටීඅයි මුලපිරීම

ලතින් ඇමරිකානු ප්‍රජාවන් බොහොමයක් බිම් මට්ටමින් බීටීඅයි ක්‍රියාත්මක කර ඇත. ඉක්වදෝරයේ (සහ අසල්වැසි පේරු රාජ්‍යයේ) නව නිපැයුම් වැඩසටහනක් මගින් පාසල් සිසුන් පොල් කටු මත බීටීඅයි වගා කිරීමට සම්බන්ධ කර ගනී. ක්ෂුද්‍රජීව විද්‍යාඥ පැල්මිරා වෙන්ටොසිලාගේ කෘතියෙන් ආභාසය ලැබූ සිසුන්, අස්වැන්න නෙළන ලද පොල් ලෙලි බීටීඅයි බීජාණු සමඟ එන්නත් කර දින ගණනක් තෙතමනය සහිතව තබා ගැනීමට ඉගෙන ගනී. පොල් ලෙලි කුඩා බැක්ටීරියා වගා බෑග් බවට පත්වේ. බීටීඅයිවලින් පිරී ගිය පසු මුළු පොල් ගෙඩියම පොකුණකට විසි කර කීට නාශකය මුදා හරිනු ලැබේ. පොල් ගෙඩියක් බීටීඅයි සහිත කපු පුළුන් කැබැල්ලක් සහ සරල පෝෂ්‍ය පදාර්ථ කිහිපයකින් සමන්විත මෙම අඩු වියදම් කට්ටලය ඵලදායී මදුරු පාලනයක් බවට පත් කරයි.

ග්‍රාමීය ප්‍රජාව තුළ සිදු කරන ලද අත්හදා බැලීම් විශ්මයජනක ප්‍රතිඵල පෙන්නුම් කර ඇත. ඉක්වදෝරය තුළ ක්‍රියාත්මක කරන ලද එක් ව්‍යාපෘතියක දී, බීටීඅයි-පොල් මගින් නිවාස, පිරිපහදු කළ ජල මූලාශ්‍රවල මදුරු කීටයන්ගෙන් සියයට 90 ක් විනාශ වී ඇත. කාලයත් සමඟ සිසුන් ද මදුරු මර්දනය කෙරෙහි දක්ෂ විය. මෙම තාක්ෂණය ඉගැන්වීමෙන් දශකයකට පමණ කාලයකට පසුවත් පර් යේෂකයන් සොයාගෙන ඇත්තේ ගම්වැසියන් තවමත් මෙම ක්‍රමය භාවිත කරන බවත් මදුරුවන්ගෙන් බෝවන අවදානම් පිළිබඳව දැනුවත් බවත්ය. ප්‍රජාව විසින් මෙහෙයවනු ලබන එවැනි බීටීඅයි වැඩසටහන් බලවත් වන්නේ ඒවා දේශීය ධාරිතාව ගොඩනගන බැවිනි. එහිදී අමුද්‍රව්‍ය (පොල් සහ පාංශු බැක්ටීරියා) බහුල වන අතර මදුරු ප්‍රතිරෝධයේ අවදානම අත්‍යවශ්‍යයෙන්ම ශුන්‍ය වේ.

එඩ්මන්ටන් හි පරිසර හිතකාමී මදුරු කළමනාකරණය

සෞම්‍ය දේශගුණික කැනඩාවේ පවා ගිම්හාන විනෝදය විනාශ කර දැමීමට මදුරුවන්ට හැකිය. එහෙත් ආසන්න වශයෙන් මිලියන 1 ක ජනගහනයක් සිටින කැනඩාවේ එඩ්මන්ටන් (කතුවරයා පසුගිය වසර 45 තුළ ජීවත් වන) නගරයේ සාමය පවත්වා ගැනීම සඳහා බිටීඅයි ගැන විශ්වාසය තබා ඇත. වසර 40 කට වැඩි කාලයක් තිස්සේ නගරය සංවේ දී ප්‍රදේශවල (බීවර් පොකුණු, තෙත්බිම්) බැක්ටීරියා කීට නාශක භාවිත කර ඇති අතර ගුවනින් Adulticide ඉසීම නවතා දමා ඇත. 2022 දී, එඩ්මන්ටන් නගර සභාව හෙලිකොප්ටර් මගින් පළිබෝධනාශක ඉසීම අවලංගු කිරීමට ඡන්දය දුන් අතර ඒ වෙනුවට භූමි පාලනය සහ බීටීඅයි වර්ගයේ නිෂ්පාදන දෙගුණ කිරීමට පියවර ගත්තේය.

වසන්තයේ මුල් භාගය වන විට නගර සභාවේ කාර්ය මණ්ඩලය පාර අයිනේ කාණු සහ ජලය රැඳී ඇති ස්ථාන වෙත ගොස් කීටයන් සැඟවී සිටින ස්ථානවලට බීටීඅයි පාදක පෙති යොදති. නගරයේ මදුරු පාලන කළමනාකරු මයික් ජෙන්කින්ස් මාධ්‍යයට පවසන්නේ “ඔවුන් භාවිත කරන කීට නාශකය මදුරු කීටයන් පමණක් මරා දමන අතර අනෙක් සියලු‍ම ජීවීන්ට විෂ සහිත නොවේ” යනුවෙනි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද ප්‍රදේශවල පදිංචිකරුවන්ගේ ආරක්ෂිත බව සහතික කෙරී ඇත. නගරයේ මදුරු වැඩසටහන පවසන්නේ තාවකාලික මඩ වළවල් සහ අගල් ඉලක්ක කර ගැනීමෙන් අනෙකුත් ජලජ ජීවීන් ආරක්ෂා වන බවය. සමස්ත උපාය මාර්ගයක කොටසක් ලෙස මදුරු විලෝපිකයන් (වවුලන් සහ බත්කූරන් වැනි) ගහණය වැඩි කිරීම සඳහා එඩ්මන්ටන් නගර සභාව ස්වාභාවික කණ්ඩායම් සමඟ පවා හවුල් වේ. ඉලක්කය වන්නේ තුරන් කිරීම නොව පාලනය කිරීමය. එහිදී සිදුවන්නේ සෞඛ්‍ය සම්පන්න පරිසර පද්ධතියක් ආරක්ෂා කරන අතරම දෂ්ට කරන මදුරුවන් සංඛ්‍යාව දරාගත හැකි මට්ටමක තබා ගැනීමයි.

ප්‍රතිඵල සහ අභියෝග

මෙම අධ්‍යයන තුනම බීටීඅයි පාදක වැඩසටහන් භාවිත කිරීමේ ප්‍රධාන ප්‍රතිඵල පෙන්නුම් කරයි. ඉක්වදෝරයේ, දේශීය බීටීඅයි වැඩසටහන් හරහා ග්‍රාමීය අසල්වැසි ප්‍රදේශවල කීට සංඛ්‍යාව සියයට 90 කට වඩා අඩු කර ඇත. එඩ්මන්ටන් හි කාණු ආශ්‍රිත පිළියම් යෙදීම මගින් වෙස්ට් නයිල් වෛරසය පාලනය කිරීමට සහ පවුල් සඳහා වන උද්‍යාන භූමි මහා රසායනික මීදුමකින් තොරව පවත්වා ගැනීමට උපකාරී වී ඇත. කියුබාවේ බහු-පාර්ශ්වික ව්‍යාපාරය වැනි නියමු අත්හදා බැලීම්වල දී ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම පාහේ තුරන් කිරීමට සමත් වූ අතර එහි බීටීඅයි භාවිතය බහු වාර්ෂික තර්ජනය පාලනය කරයි. බීටීඅයි සඳහා මදුරු ප්‍රතිරෝධය පිළිබඳ වාර්තා මතු වී නොමැති අතර එයින් අදහස් වන්නේ මෙම මෙවලම කන්නයෙන් කන්නයට ප්‍රබල ලෙස පවතින බවය.

එහෙත් අභියෝග තවමත් ඉතිරිව පවතී. බීටීඅයි කීට අවධියේ දී පමණක් ක්‍රියාත්මක වන බැවින් ආවරණය පරිපූර්ණ විය යුතුය. ඕනෑම සැඟවුණු අභිජනන ස්ථානයක දී මදුරුවන්ට ඔරොත්තු දිය හැකිය. පොල් වගා ප්‍රවේශය අඛණ්ඩ ප්‍රජා සහභාගීත්වය සහ බීටීඅයි බීජාණු නැවුම්ව සැපයීම මත රඳා පවතී. අවශ්‍ය සියලු‍ම ජල මූලාශ්‍රවලට බීටීඅයි සැපයුම් සහ පිරිවැය (අඩු වුව ද) ඉන් මහජන සෞඛ්‍ය අයවැයට බාධා කළ හැකිය. බීටීඅයි යනු රිදී උණ්ඩයක් නොවන බව විචාරකයන් අනතුරු අඟවන අතර එය සැබැවින්ම සාර්ථක වීමට ඒකාබද්ධ දෛශික කළමනාකරණ සැලැස්මක (වාසස්ථාන අඩු කිරීම සහ අධ්‍යාපනය ඇතුළුව) කොටසක් විය යුතුය. අවසාන වශයෙන් ඉතා විශාල හෝ දූෂිත ජල මූලාශ්‍රවල බීටීඅයිවල කාර්යක්ෂමතාව කෙටි කාලීන විය හැකි අතර නැවත පිළියම් යෙදීම අවශ්‍ය විය හැකිය.

ඉදිරිය දෙස බැලීම

මෙම අභියෝග මධ්‍යයේ වුවද බීටීඅයි වෙතින් ලැබෙන පොරොන්දුව පැහැදිලිය. එය පුරාණ ස්වාභාවික ජීව විද්‍යාව නූතන මහජන සෞඛ්‍යය සමඟ මුසු කරන මෙවලමකි. පසෙහි ක්ෂුද්‍ර ජීවියෙකුගේ විෂ ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින්, හවානා නුවර සිට එඩ්මන්ටන් නගරය දක්වා ජීවත් වන ප්‍රජාව මදුරුවන්ට එරෙහිව කාරුණික, පරිසර හිතකාමී යුද්ධයක් දියත් කරමින් සිටී. රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ආචාර්ය ඉවෝන් ක්වාන්ස්ට්‍රෝම් අපට මතක් කර දෙන පරිදි, ආරක්ෂිත කීට නාශක සමඟ ඊළඟ පරම්පරාවේ මදුරුවන් මරා දැමීම යනු ජීවිත බේරා ගැනීම පමණක් නොව, අපගේ ලෝකය සමතුලිතව තබා ගන්නා ප්‍රයෝජනවත් කෘමීන් සහ පරිසර පද්ධති ද ආරක්ෂා කිරීමකි.

අනාගත පර් යේෂණ සහ වැඩසටහන් හරහා බීටීඅයි හි සාර්ථකත්වය මීට වඩා පුළුල් වීමට ඉඩ තිබේ. විද්‍යාඥයන් විසින් දිගුකාලීන සූත්‍රගත කිරීම්, අනෙකුත් ජෛව පාලන ක්‍රම (මාළු හෝ විලෝපිකයන් වැනි) සමඟ සම-යෙදීම සහ ගැඹුරු ප්‍රජා සම්බන්ධතා ගවේෂණය කරමින් සිටිති. ස්ථාවර ජල මූලාශ්‍ර පිළිබඳව පැමිණිලි කිරීම, නිවාස කාණු හෝ කුරුලු නාන තටාකවල බීටීඅයි ඩන්ක් පෙති යෙදීම මෙන්ම දේශීය මදුරු පාලන මුලපිරීම් සඳහා එකතුවීමෙන් පාඨකයන්ට මෙම වැඩසටහන් සඳහා සහාය විය හැකිය. මදුරුවන්ට එරෙහි සටන අඛණ්ඩව පවතී, එහෙත් නිවර්තන පාසල්වල සිට උතුරු නගර දක්වා ලෝකයේ මාරාන්තිකම සත්වයාට එරෙහි සටනේ දී බීටීඅයි අපට බලවත් මිතුරකු ලෙසින් සහාය වෙයි.

මූලාශ්‍ර: ප්‍රධාන කරුණු සහ සංඛ්‍යා ලේඛන රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය ලෝක සෞඛ්‍ය සංවිධානය, කැනඩාවේ එඩ්මන්ටන් නගරය සහ අනෙකුත් මහජන සෞඛ්‍ය ආයතනවලින් ලබාගෙන ඇත. බීටීඅයි ආරක්ෂාව සහ කාර්යක්ෂමතා සමාලෝචන සහ වාර්තා මෙන්ම කියුබාව, ඉක්වදෝරය සහ එඩ්මන්ටන් වැඩසටහන් ඇතුළු අනෙකුත් වැඩසටහන්වලින්ද කරුණු ලබාගෙන ඇත. මෙම ලිපියේ සඳහන් සියලු‍ම අධ්‍යයන සහ නිල වැඩසටහන්වල වැඩි විස්තර [email protected]වෙත විද්‍යුත් තැපෑලෙන් ඉල්ලීමක් කළහොත් ලබා ගත හැකිය.

 

(*** පරිවර්තනය - අනිල් කරුණාරත්න)

(*** ආචාර්ය - නිමල් රාජපක්ෂ)



අදහස් (3)

මදුරු මර්දනයට නව අවියක්

Muditha Saturday, 31 May 2025 08:29 AM

ඔබට ඇත්තටම මගේ රටට ආදරෙයි නම්, කරුණාකර ඊට වගකිවයුතු ඇමැතිතුමාගේ නම සෘජුවම සඳහන් කරන්න. එය රජයට ක්‍රියාමාර්ග ගන්න උපකාරී වේ...

:       0       3

Perakum Liyanagama Sunday, 01 June 2025 07:20 AM

කොමිස් කාක්කන්ට තව පොටක් පාදලා දීලා තියෙන්නේ. ඇයි අප සතු සරල ක්‍රමවේදය යොදා නොගන්නේ? කොමිස් නැති නිසා නේද? රාජ්‍ය පාලකයින් කතා නෑ. මීට පස්සේ අපිත් කතා නෑ. රටට හෙන ගහපුදෙන්...

:       0       2

nimal Monday, 02 June 2025 04:28 AM

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමෙන් පසු මදුරුවන් පාලනය කිරීම නොව මදුරුවන් බෝවී පැතිරීම ආරම්භ වීමට පෙර පාලනයට අවශ්‍ය ප්‍රතිකර්ම කළයුතු වේ. නගර සභා, සුළු නගර සභා - පළාත්පාලන ආයතන සඳහා තරග කර පත්වූවන්ගේ මූලික වගකීමක් නගරය පිරිසිදුව තබාගැනීම, කසල ඉවත් කිරීම මදුරුවන් පාලනය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 177 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 338 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 619 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site