වෙරළට නුදුරින් පොළොවෙන් ඉහළට නැගුන මහා ගල්කුල පහළ පිහිටියේ ඔකද දේවාලයයි. මෙතැන් සිට මිනිස් වාසයකට කිලෝ මීටර් පහළොවක්වත් යායුතුය. සෙල්ල කතරගම ප‍්‍රදේශයේ සිටි වල්ලි අම්මා නම් සුන්දර යුවතිය සොයාගෙන ස්කන්ධකුමාර, වේලූපිල්ලේ, මුරුගන්, වේලන්,  සුබ‍්‍රමනියයම්, කන්දසාමි, කදිරදේව, කතිරවේල්, කාර්නික, තාරකාජින්,  යන නම් වලින් හින්දු භක්තිකයන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වූ කතරගම දෙවියන් ලක්දිවට ගොඩබැස්සේ මේ වෙරළිනි. එතැන සිහිකිරීමට තැනූ ඔකද දේවාලය අද ඒ ගමන සිහිපත් කරමින් වසරක් පාසා පෙරහර මංගල්‍යය පවත්වමින් චාරිත‍්‍රවාරිත‍්‍ර ඉටුකරනු ලබයි. පෙරහර මංගල්‍ය කාලයට උතුරු නැගෙනහිර පළාත්වලින් එන බැතිමතුන්ගෙන් මේ බිම පිරී ඉතිරී යයි. වසරේ දින පහළොවකට විස්සකට සීමාවන මේ පෙරහර මංගල්‍ය සමයෙන් පසු වරින් වර ඔකද දේවාලයට එන බැතිමතුන්ට අමතරව සතා සිවුපාවෝ මේ බිම අවට නිතර සැරිසරති. අලි ඇතුන් පමණක් නොව මුව පැටවුන් සමග එන මුවැත්තියන්ද, හැඩිදැඩි ගෝනුන්ද, ගෝන දෙනුන්ද, පිල් විදහා රගන මොනරුන් ද, වෙනත් සිවුපාවුන්ද, විවිධවූ කුරුල්ලන්ද මේ දේවාලය අසලට පැමිණේ. ඒත් සමහර සතුන් මිනිස් ඇස ගැටෙන මානය නොඑන්නේ සමහර මිනිසුන් තිරිසනුන්ටත් අන්ත බව දැනගෙනදෝයි සැක සිතේ. කතරගම දෙවියන්ගේ අඩවියවූ මේ ප‍්‍රදේශයෙන් තවත් කිලෝමීටර් පහළොවක් දාසයක් උතුරු දෙසට ගියවිට හමුවන පානම ගම්මානයේ ද කතරගම දෙවියන් මෙන්ම පත්තිනි සහ අලූත් බණ්ඩාර දෙවිවරුන් පිළිබද දැඩි විශ්වාසයක් ඇති වැසියන් වෙසෙන ගම්මානයකි. එසේම ගණදෙවියන් පිළිබදවද ඔවුන් අතර ඇත්තේ අතිමහත්වූ භක්තියකි. ගමනක් බිමනක් යනවිට ගණදෙවි කෝවිලකට ගොස් කපුරු දල්වා බාධාවකින් තොරව ඒ ගමන ගොස් ආපසු එන්නට ආශිර්වාද පතති. එසේත් නැත්නම් නිරුපද්‍රිතව ගමන යන්නට ගණදෙවියන්ගේ පිහිට පතති. ඒ ගණදෙවියන් ‘මගපෙන්වන’ දෙවියන් යැයි ඇති විශ්වාසය නිසාය. පානමින් ඔකදට එනවිට පානම හන්දියේ සහ වෙහෙරකෙම ඇති ගණදෙවි කොවිල් දෙකේ අනිවාර්යයෙන්ම කපුරු දල්වන්නේ කතරගම දෙවියන්ගේ අඩවියේ වුවත් මග නොවරද්දා ගමන යන්නට ගණ දෙවියන්ගේ පිහිට පතමිනි. කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යයට උතුරු නැගෙනහිරින් පාද යාත‍්‍රාවේ එන බැතිමතුන් පානම ඔකද හරහා වනදුර්ග ඔස්සේ කතරගමට එයි. කතරගම පෙරහර මංගල්‍යය අවසන්වීමෙන් පසු ඔකද දේවාලයේ පෙරහර මංගල්‍යය ආරම්භ වෙයි. කතරගම දෙවිදුන් ඔකදින් ගොඩ බැස්සද, දැන් වැඩවසන්නේ කතරගම බවට ඇති විශ්වාසය නිසා කතරගම මහ දේවාලයේ පෙරහර අවසන් වනතුරු ඔකද දේවාලයේ පෙරහර ආරම්භ නොවේ. ඔකද දේවාලයේ පෙරහරද අවසන්වීමෙන් පසු පානම අලූත්බණ්ඩාර සහ පත්තිනි දේවාලවල පෙරහර මංගල්‍යය හෙවත් අංකෙළි මංගල්‍යය ආරම්භවේ. එය එසේ ප‍්‍රමාදවන්නේ කතරගම දෙවියන්ට ඇති භක්තිය නිසා යැයිද විශ්වාසයක් පවතී. පානම පත්තිනි සහ අලූත්බණ්ඩාර දේවාල දෙකේ අංකෙළි මංගල්‍යය සහ දේව පූජා දියකපා අවසන්වුයේ පසුගිය 31දාය. ඔකද දේවාලයේ පෙරහර මංගල්‍යය වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආවේය. රටේ කොටි ත‍්‍රස්තවාදය හිස ඔසවා තිබියදීත් පෙරහර මංගල්‍යය පැවැත්වූයේ තරමක් භීතියකිනි. ත‍්‍රස්තවාදය නැගෙනහිරද ව්‍යාප්තවූ පසු කොටි ත‍්‍රස්තයන් ඔකද මායිමේ පිහිටි කුමණ ජාතික වනෝද්‍යානයට රිංගුවේ සැගවීමේ පහසුව තකා පමණක් නොව එහි සිට දකුණු සහ ඌව පළාත් වලට පහසුවෙන් ළගාවිය හැකි නිසාය. කොටි ත‍්‍රස්තයන් හා සටන්විරාම ගිවිසුම 2002දි අත්සන් කළ පසු සැගවී සිටි කොටි ත‍්‍රස්තයෝ එළිපිටම දර්ශනය වන්නට වූහ. ඇතැම් කොටි කෙල්ලන් පොතුවිල් වැනි නගරවලත් ප‍්‍රසිද්ධියේ සැරි සැරූ අතර වෙස්වලාගෙන පානම ගමටද කොටි ත‍්‍රස්තයෝ ආයෝට, ගියෝය. විශේෂයෙන් වෙනදා ආරක්‍ෂක අංශවලට ඇස නොගැටුණු කොටි ත‍්‍රස්තයන් ඔකද වනගත ප‍්‍රදේශවල සිට දේවාල භූමියට ප‍්‍රසිද්ධියේ ආගියහ. එදා ගිවිසගත් සටන් විරාමය වෙනම රාජ්‍යයකින් අවසන් වේය යන සිතිවිල්ලෙන් මේ කොටි ත‍්‍රස්තයන් එදා කතරගම දෙවියන් ගොඩබට ඔකද හැසුරුනු ආකාරය එදා එහි සිටි ආරක්‍ෂක නිලධාරීන් අදටත් සිහිපත් කරන්නේ හිත්තුළ ඇති සියුම් වේදනාවක්ද සමගිනි. මේ සාමගිවිසුම අත්සන් කර මාස කිහිපයකින් පසුව කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ ධම්මසිද්ධි හිමියන් සමග වනජිවි දෙපාර්තමේන්තුවේ අඩවි සහකාරවරයකුවූ බි.ගුණසිංහ මහතා ඇතුළු පානම වැසියන් පිරිසක් පොලිස් විශේෂකාර්ය බළකායේ එදා සිටි ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්ත කුමාර මහතා (ඔහු අද පොතුවිල පොලිසියේ මුලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාය) ඇතුළු උසස් නිලධාරීන් හමුවන්නේ ඔකද වනජිවී කාර්යාලය යළි ආරම්භ කිරීම ගැන සාකච්ඡා කරන්නටය. සටන් ගිවිසුමට මුවාවී දඩයම්කරුවන්  කුමණ වනෝද්‍යානයේ වනසතුන්ට කරන ජිවිත විනාශය නවත්වන්නට නම් වනජිවී කාර්යාලය ඔකද යළි ස්ථාපිත කළ යුතු බව ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්ත කුමාර මහතාගේ ද අදහස විය. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන්ගේ සහ පානම වැසියන්ගේ ශ‍්‍රමයෙන් ඔකද වනජිවි කාර්යාලය යළි ඉදිවිණි. ඉන්පසු එහි තවත් අත්‍යවශ්‍ය ගොඩනැගිලි පරිසරවේදී ලලිත් සෙනෙවිරත්න මහතා ඇතුළු කණ්ඩායම් ඉදිකරන්නට වූහ. මේ කාලයේ ඔකද දේවාලය අසලත් වෙහෙරකෙමත් පොලිස් විශේෂ කාර්ය බළකායේ ජංගම කදවුරු ඉදිකර ආරක්‍ෂාව සැපයිනි. සටන්විරාම ගිවිසුම අහෝසිවීමෙන් පසු ඔකද වනජිවී කාර්යාලයද වැසුණි. කොටි ක‍්‍රියාකාරකම් කුමණ වනෝද්‍යානය තුළ වැඩිවෙන්නට විය. එහෙත් අඩවි සහකාර බී. ගුණසිංහ මහතා වරින්වර වසාදැමුනු ඔකද වනජිවී කාර්යාලයට ඇවිත් ගියේය. ඒ 2006 වර්ෂයයි. මේ වනවිට කොටි ත‍්‍රස්තයන් මුහුදු මාර්ග ඔස්සේ පැමිණ ඔකද සහ කුමණ කැලෑවේ සැරිසරන්නට විය. පාරිසරික ඡායාරූප ශිල්පියෙකුවු බෙනරගම මහතා වනජීවී දෙපොර්තමේන්තුවේ අවසරයක් මත ඔකද පැත්තට ආවේ වදවී යන වනසතුන් ඡායාරූපයට නගන්නටය. ඔහු පැමිණි අදහස සුබවාදී එකක් වුවත් අවදානම නම් මෙතෙකැයි කිව නොහැකිවිය. මේ වනවිට කුමණ ජාතික වනෝද්‍යානය වසා තිබූ කාලයයි. බෙනරගම මහතා සමග වනජීවි දෙපාර්තමේන්තුවේ අඩවි සහකාර බී.ගුණසිංහ මහතාද කුමණ වනෝද්‍යානයට ගියහ. මේ කාලයේ කොටි ත‍්‍රස්තයන් කුමණට ඇතුළු වන දොරටුවක් වූයේ ගිරිකුළ කළපුවයි. බෝට්ටුවලින් එතැනට එන කොටි ත‍්‍රස්තයෝ බෝට්ටු ගොඩට ගෙන කැලේ සගවා කුමණ කැලෑවට වදිති. මෙවැනි අවදානම් කාලයක කුමණ වනොද්‍යානයට ඇතුළුවූ බෙනරගම මහතා සිවුපා කොටින්ගේ ඡායාරූප රැසක් ගත්තේය. එදින නොසිතූ ලෙස රෑ බෝවූ නිසා ආපසු පානමට පැමිණීම අවදානම්විය. නමුත් නවතින්නට තැනක්ද නොවීය. බෙනරගම මහතාගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවූ නිසා වසාදමා තිබු ඔකද වනජීවී කාර්යාල ගොඩනැගිල්ලේ රාත‍්‍රිය ගතකිරීමට ගුණසිංහ මහතාත්, බෙනරගම මහතාත් තීරණය කළේය. ඊට පෙර ඔකද දේවාලයට ගොඩවී දෙවියන්ට පඩුරු දැමීමටද ඔවුහු අමතක නොකළහ. රාත‍්‍රිය බෙහෙවින් අදුරුවිය. අදුර මකන්නට ආලෝකයක් ඔවුන් සතු නොවීය. තිබුණද එය දැල්වීම ආරක්‍ෂාවට ඉමහත් බාධාවකි. පාළුවට ගිය ඔකද වනජීවි කාර්යාල ගොඩනැගිල්ලේ බිම වැතිරී සිටින ගුණසිංහ මහතාත් බෙනරගම මහතාත්  තවමත් නොනිද්දේය. එහෙත් එකිනෙකා අතර වචනයකුදු හුවමාරු නොවේ. මෙසේ නිදිවර්ජිතව හෝරා කිහිපයක් ගතවෙද්දි එළියේ කවුරුන් හෝ ඇවිදින ශබ්දයක් ඇසෙන්නට විය. කතාබහක් නොමැති ඒ අඩි ශබ්ද වනසතෙකුගේ විය නොහැකි බව වනසතුන්ගේ ගමන් විලාශ ගැන මනා දැනීමක් ඇති ගුණසිංහ මහතාට වැටහිණි. නමුත් ඔහු ඒ පිළිබදව විපරම් කරන්නට තබා ඇඟේ මයිලක්වත් හොළවන තරමෙ හඩක් පිට නොවන තැනට වග බලාගත්තේය. නිශාචරයන්ගේ බියකරු හඩවල් වරින්වර ළංව ඇසී යළි ඒ හඩවල් ඈත්වෙයි. කිරළකු අහසට නැගී නගන හඩ කිසිවකුගේ ගමනක් කියා පායි. ඒත් හිස එසවීම ජිවිත අවදානම්ය. ‘‘එළියේ අඩි ශබ්දයන් කාගේද යන්න ස්ථිරවම දැන ගන්නට ඇත්නම්.’’ නිදිවර්ජිත ගුණසිංහගේ යටිසිත කියයි. ‘‘ඒත් ඒ එස්ටීඑෆ් අය නොවුණොත්. එහෙම වුණොත් වන්දි ගෙවන්නට වන්නේ ජිවිතයෙනි. එක ජිවිතයක් නොව දෙකකිනි. ඒනිසා මෙහෙමම ඉන්නවා’’ තමාටම කියාගත් ගුණසිංහ මහතා හිත හදාගත්තේය. උලමකුගේ හඩක් ඈතින් ඇසේ. ඒ හඩ තුළ ඇති මුසල බව හදගැස්මද වැඩිකරයි. එළියේ එහාමෙහා යන හඩ කෙමෙන් නැතිවී ගියේය. රාත‍්‍රියේ හඩලන බකමුණන්ගේ, උළමුන්ගේ හ`ඩනම් ගුණසිංහ බියගන්වන්නට කිසිසේත්ම ප‍්‍රමාණවත් නැත. ඒ ඔහුගේ ජිවිතයෙන් වැඩිකලක් වනෝද්‍යාන තුළ ගෙවුණු නිසාය. කුමණ ගම්මානයේ ඉපදුන නිසා කුඩාකල පටන් ඒ හඩවල් ඔහුට හුරුය. උලමා හැඩලීම අසුබ ලකුණක් බව පැරැුණියන්ගේ විශ්වාසයයි. උලමා තුන්වරක් හඩලන්නට පෙර උගේ හඩ ගොළු කළ හැකිබවට ජන විශ්වාසයක් ඇතැම් වැඩිහිටියන් තුළ අදටත් පවතී. ඒ කෙම් ශාස්ත‍්‍රය අනුවය. ගුණසිංහද ඒවා නොදන්නවා නොවේ. නමුත් මේ සුන්දරවූ අදුරු රාත‍්‍රිය එවැනි ‘‘කෙමක්’’ කරන්නට යාම නිසා මූසල රාත‍්‍රියක් වන්නට ඉඩ තිබේ යැයි ගුණසිංහගේ හිත කියන්නට විය. ඒ නිසාම උලමා සිත්සේ හඩලන්නට විය. බෙනරගම ඡුායාරූප ශිල්පියා ඒවනවිටත් සුව නින්දේය. හෝරා කිහිපයක්ම නිදිවර්ජිතව සිටි ගුණසිංහට ඉබේටම නින්දගියේ දිවා කාලයේ වු ගමන් වෙහෙස නිසාය. කුරුල්ලන්ගේ හඩින් අවදිවූ ගුණසිංහ බිමට එළිය වැටෙනතුරු නොනැගිට්ටේය. ඒවනවිටත් බෙනරගම ඡායාරූප ශිල්පියා සුව නින්දේය. දැන් හොදටම එළිය වැටිලාය. අවදානමක සේයාවක් පෙනෙන්නට නැත. ගුණසිංහ නැගිට්ටේ බෙනරගම මහතාද අවදිකරවමිනි. ගොඩනැගිල්ලෙන් එළියට එනවිට නැගෙනහිර දෙසවු මහා ගල්කුලට පහළින් ඔකද දේවාලයේ පිටුපැත්තේ සිට මිනිස් රුවක් ඈතින් මතුවනු ගුණසිංහගේ දෙනෙත්වල සටහන් විය. ඇසිපිය නොහෙළා ඔහු ඒදෙසට නෙත් මෑනීය. තරමක් කළබල ගතියකින් වනජිවි කාර්යාල ගොඩනැගිල්ල දෙසට ඒ එන්නේ ඔකද දේවාලයේ සාමි බව ගුණසිංහ සැකහැර දැනගත්තේය. ‘‘හත් දෙයියනේ දැනුයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ. ගුණසිංහ මහත්තයෝ ඔහෙලා ඊයේ රෑ හිටියේ කොහේද?’’ ගුණසිංහ දුටු සාමිගේ පළමු ප‍්‍රශ්නය විය. කලබලයක් නැතිව පිළිතුරුදුන් ගුණසිංහ ‘‘ඇයි සාමි අපි මේ ගොඩනැගිල්ල ඇතුළෙ හිටියේ. අපි සාමිට ඊයේ දේවාලෙට ගිය වෙලාවෙ කිව්වේ රෑ බෝවුණ හින්දයි, ගමන් මහන්සිය හින්දයි මෙතන රෑ පහන් කරනවා කියලා’’ ගුණසිංහ සාමිගේ ප‍්‍රශ්නයට උත්තර බැන්දේය. ‘‘ඇයි සාමි මේ කලබලෙන් වගේ මේ පැත්තට ආවේ. ඊයේ රෑ මොනවත් කරදරයක්වත් වුණාද?’’ සාමිගේ දෙවැනි ප‍්‍රශ්නයට පෙර ගුණසිංහ තමන්ගේ පළමු ප‍්‍රශ්නය සාමිට ඉදිරිපත් කළේය.‘‘ඊයේ කොටි ත‍්‍රස්තයෝ ටීම් එකක් රෑ මෙහාට ආවා. උන් රදැල්ලේ ගමේ මිනිස්සු කිප දෙනෙක්ම මරලාලාලූ. මම බයේ මේ ආවේ මහත්තයලටත් උන් කරදරයක් කළාද කියලා බලන්න.’’ සාමිගේ පිළිතුර විය. ඒ පිළිතුරෙන් ගුණසිංහගේ තවත් ප‍්‍රශ්නයකට විසදුම් ලැබිණි. ඒ පෙරදින රාත‍්‍රියේ ඔවුන් නැවති සිටි ගොඩනැගිල්ල අවට සැරිසැරුවේ කවුරුන්ද යන්න පිළිබදවු පැනයටයි. ‘‘මහත්තයලා ඊයේ රෑ දේවාලෙට ඇවිත් කතරගම දෙයි හාමුදුරුවන් සිහිපත් කරලා ආශිර්වාද ගත්ත හින්දා අතුරු ආන්තරාවක් වෙන්නේ නෑ කියලා මගේ හිත කිව්වා. ඒත් මම මහත්තයලා බලන්න ආවේ සැකයක් නොතිබුණාටම නොවෙයි.’’ සාමි කියනවිට ‘‘අපි ඊයේ රෑ මාර බේරිල්ලක් නෙ බේරිලා තියෙන්නේ නේද? ගුණසිංහ මහත්තයා.’’ යැයි බෙනගරම ඡායාරූප ශිල්පියා කියද්දී ගුණසිංහ කිසිත් නොකියා මුණිවත රැක්කේය.
සටහන හා ඡායාරූප - අජිත්ලාල් ශාන්තඋදය
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 7 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 8 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 9 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 10 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 11 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 12 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 13 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 14 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 15 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 16 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 17 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 18 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 19 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 20 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 21 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 22 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 23 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 24 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 25 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 26 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 27 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 28 මේ ගල් පර්වතය පාමුල ඔකද දේවාලය පිහිටා ඇත කලකට පෙරදී ඔකද පිහිටි කුමන වනජීවී කාර්යාලය බී.ගුණසිංහ