IMG-LOGO

2025 ජනවාරි මස 13 වන සඳුදා


මැච් එකට පිච් එක හිච් එකක්

(නීතිඥ  - ජාවිඞ් යූසුෆ්)

පළාත් සභා මැතිවරණත් කොට්ඨාස ක‍්‍රමයට පැවැත්වීමට යොමුවීමත් සමඟ මහත් ආන්දෝලනාත්මක වාතාවරණයක් නිර්මාණයවී තිබේ. විශේෂයෙන්ම මැතිවරණ නියමිත කාලයට නොපැවැත්වෙන පසුබිමක් නිර්මාණයවී ඇති ආකාරයක් දැකගත හැකිය. මෙය යහපත් ප‍්‍රවණතාවක් නොවේ. මිශ‍්‍ර ඡන්ද ක‍්‍රමයක් එළි දැක්වීම හොඳ පියවරකි. මනාප ක‍්‍රමයෙන් ඇතිවූ අඩුපාඩු සම්බන්ධව මුළු රටේම මතයක් තිබේ. පවත්නා ක‍්‍රමය වෙනස් කළ යුතුය යන පදනමේ පිහිටා සියලූ දේශපාලන පක්ෂ ක‍්‍රියා කරන ආකාරයක් ද දැකගන්නට පුළුවන.

මිශ‍්‍ර ක‍්‍රමයේ ප‍්‍රතිශත සම්බන්ධයෙන් විවිධ මත පවතින ස්වභාවයක්ද දැක ගත හැකිය. පළාත් පාලන මැතිවරණ පනත අනුව පැවැති ප‍්‍රතිශතය 70යි තිහයි වශයෙනි. එනම් ආසන ක‍්‍රමයට හැත්තෑවකි. ඉතිරි තිහ අනුපාත ක‍්‍රමයෙනි. එහෙත් වත්මන් පාලනය බලයට පත්වූ පසු සුළු පක්ෂවල ඉල්ලීම අනුව මෙම ප‍්‍රතිශත හැටයි හතළිහක් බවට පත්කෙරුණි. දැනට පිළිගත් ප‍්‍රතිශතය වන්නේ එයයි.

එහෙත් පසුගිය සතියේ වූ සිදුවීමත් සමඟ එම ප‍්‍රතිපත්තිය ද කැඞී තිබේ. ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීම යන හොඳ අරමුණට මේ හරහා කැළලක් වුණි. ඡුන්ද කල් දැමීමට ආණ්ඩුව උත්සාහ ගන්නවාය කියන මතයක් රටේ ඇතිවී තිබෙන්නේ මේ හරහාය. පළාත් පාලන ඡුන්ද ක‍්‍රමය සංශෝධන පනත් ගිය මාසයේ සම්මත වන එම සංශෝධිත කෙටුම්පතේ ඉදිරිපත් කළ වගන්ති පාර්ලිමේන්තුවේ කමිටු අදියරේදී සෑහෙන දුරට වෙනස් වුණි. මුල් කෙටුම්පතේ තිබූ අරමුණුවලට වඩා බෙහෙවින් වෙනස්වී කමිටු අදියරේදී මෙය සම්මත වුණි. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පසුගියදා කෙරුණේද එවැනිම ක‍්‍රියාවලියකි. පළාත් සභා මැතිවරණය සම්බන්ධව ඉදිරිපත්ව තිබූ පනත් කෙටුම්පතේ සඳහන්ව තිබුණේ විශේෂයෙන්ම කාන්තා නියෝජනය සම්බන්ධයෙනි. එහෙත් කමිටු අදියරේදී නොයෙක් සංශෝධන ගෙනැවිත් ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමෙන්  මුල් අරමුණ යටපත්ව ගියේය. කාන්තා නියෝජනය සම්බන්ධ කරුණු ස්ථාපිතව පැවැතියද ඒ හරහා යමින් ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමට ද ආණ්ඩුව ක‍්‍රියා කළේය.

මේ වෙනස්වීම හේතුවෙන් නොයෙකුත් ප‍්‍රශ්න ඇතිවනු ඇත. ඡන්ද ක‍්‍රමය වෙනස්වීමත් සමඟ සීමා නිර්ණය සම්බන්ධ කමිටුවක් පත්කළ යුතුය. ඒ අනුව සීමා නිර්ණය කිරීමටද ආණ්ඩුව පොරොන්දු වී තිබේ. පනතේ සඳහන් වන්නේ හය මාසයකින් එම කටයුත්ත කරන බවය. මාස හතරකින් වුවත් මෙම සීමා නිර්ණ කිරීමට සූදානම් බව ආණ්ඩුව ප‍්‍රකාශ කර තිබුණි. එහෙත් පළාත් පාලන ඇමැතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ වසරකින් ඡන්දය පවත්වන බවය. ප‍්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ඡන්ද සම්බන්ධයෙන්ද මේ ආකාරයේ නොයෙක් ප‍්‍රකාශ විවිධ අවස්ථාවලදී කෙරුණි. ඒ කවර කතා කියුවද වසර දෙකහමාරක කාලයක් ගතවුවත් තවමත් එම ඡන්ද පැවැත්වීමට හැකිවී නැත. වුවමනාවෙන්ම පළාත් පාලන ඡුන්ද කල් දැමීමට සීමා නිර්ණය උපක‍්‍රමයක් කරගත් බව ඒ අනුව පැහැදිලිය. සීමා නිර්ණ කටයුතු ප‍්‍රමාද කරන ලෙස පළාත් පාලන ඇමැතිවරයා තමන්ට කියූ බව සීමා නිර්ණ කොමිසමේ සභාපතිවරයා වරක් ප‍්‍රකාශ කර තිබුණි. ඒ වගේම මෙහි අවසන් වාර්තාව බාරදීමේදී පවා ගැටලූ සහගත තත්ත්වයක් පෙනෙන්නට තිබුණි. මේ පසුබිම යටතේ පළාත් පාලන ඇමැතිවරයා කරන ප‍්‍රකාශ පිළිගත නොහැකි බව මැතිවරණ නිරීක්ෂණ ආයතනවල පවා අදහසවී තිබේ.

මෙවන් වාතාවරණයක් සහ මෙවන් අත්දැකීම් සමඟ බලනවිට පළාත් සභා මැතිවරණ සම්බන්ධ කටයුතු ද කොතරම් කාලයක් දිග්ගැස්සේවිදැයි කිව නොහැක. සියලූ මැතිවරණ එකම ක‍්‍රමයකට පැවැත්විය යුතු බව ආණ්ඩුවේ අදහස වී තිබුණි. එනම් හැටයි හතළිහේ ප‍්‍රතිශතය අනුවය. එහෙත් පසුගියදා එයද වෙනස් කළේය. විශේෂයෙන්ම මුස්ලිම් කොංග‍්‍රසයේ සහ රිෂාද් බදියුදීන්ගේ පක්‍ෂයේ ඉල්ලීම අනුව මේ වෙනස්කම් කර තිබේ. පළාත් පාලන ඡන්ද සංශෝධන පනතට කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කළ සංශෝධන තුනෙන් දෙකක වැඩි ඡුන්දයෙන් සම්මත වියයුතු බව නීතිපතිවරයා ප‍්‍රකාශ කර තිබුණි. මේ නිසා ඉහත කී පක්ෂ දෙක ඡුන්දය නොදුනහොත් ආණ්ඩුවට තුනෙන් දෙකක් ලැබෙන්නේ නැත. එම අවස්ථාව අනිසි ලෙස ප‍්‍රයෝජනයට ගනිමින් පනහට පනහ ප‍්‍රතිශතයට අදාළ ප‍්‍රතිශත වෙනස් කළ යුතු බව මුස්ලිම් පක්ෂ දෙකේ ඉල්ලීම වුණි. තුනෙන් දෙක ලබාගැනීමට එම ඉල්ලීම ඉටු කිරීමට ආණ්ඩුවට සිදුවුණි. ආණ්ඩුව පනත සම්මත කරගත්තේ එලෙසය.

මේ පක්ෂ දෙක මෙලෙස කටයුතු කළේ එම පක්ෂ දෙකේ වාසියටය. මේ දෙගොල්ල ඉදිරිපත් කළ පනහට පනහ මුස්ලිම් ජනතාවට අහිතකරය. අවාසිය. ඒ වගේම ආණ්ඩුවට ද අවාසිය. ඒ ප‍්‍රතිපත්ති කඩ කිරීම නිසාය. එහෙත් එම පක්ෂ දෙකට පමණක් වාසිය. මේ ක‍්‍රියාවලිය රටටත් අවාසි බව කිව යුතුය. ආසන ක‍්‍රමයෙන් වැඩි නියෝජනයක් විය යුතුය යන්න රටේ අදහසය. ඒ අදහසට එරෙහිවීමක් වශයෙන්ද මේ ක‍්‍රියාවලිය දැක ගන්නට පුළුවන. මේ පක්ෂ දෙකේ ක‍්‍රියාකලාපය සම්බන්ධව පුදුම විය යුතු නැත. ඒ ඉතිහාසය පුරාම මොවුන් කටයුතු කර ඇත්තේ අවස්ථාවාදීව වීම නිසාය.

කෙසේ වෙතත් මේ සියල්ල හරහා ඡුන්ද කල් දැමීමක් සිදුවන බව පැහැදිලිය. පළාත් පාලන ඡුන්දයත් පළාත් සභා ඡන්දයත් ප‍්‍රමාද කරන විට එය රටේ පැවැත්මට හිතකර වන්නේ නැත. ඡුන්ද අයිතිය ලබාදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විශේෂ ලක්ෂණයකි. සෑම දිනකම ඡුන්ද පැවැත්වීමද ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවේ. එහෙත් එය වැදගත් අංගයකි. නීතියේ සඳහන් වන ආකාරයට ඡුන්දය භාවිතයට ජනතාවට ඇති අයිතිය තහවුරු කළ යුතුය. දේශපාලන වාසිය උදෙසා ඡුන්ද කල් දැමීම හෝ ඉදිරියට ගැනීම කළ නොහැක. වසර හතරහමාරක් ගතවන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බව 19 වැනි සංශෝධනයෙන් තහවුරු කර ඇත්තේ ද ඒ නිසාය. 19 වැනි සංශෝධනයට පෙර පැවැතියේ ඊට වෙනස් තත්ත්වයකි. එසේ නම් මෙය මේ ආණ්ඩුවම ගෙනා ප‍්‍රතිපත්තියකි. ආණ්ඩුව ගෙනා ප‍්‍රතිපත්ති ආණ්ඩුව කඩ කරනවාද යන ප‍්‍රශ්නය මේ අනුව මතුවන්නකි.

පළාත් පාලන ඡන්දය කල් ගියේ සීමා නිර්ණයේ ප‍්‍රශ්න නිසා බව මුල සිටම ඉදිරිපත් වූ කාරණයයි. මාස කීපයකින් ඒ අඩුපාඩු නිවැරැුදි කළා නම් එම තර්කය පිළිගැනීමට තිබුණි. එහෙත් වසර දෙකහමාරක් මේ කටයුතු දිග්ගැසීමෙන් තහවුරු වන්නේ සිතාමතාම මේවා කරන බවය. මේ ක‍්‍රියා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීය.

වත්මන් පාලනය බලයට පත්වීමෙන් පසු නිදහස් පරිසරයක් නිර්මාණය වුණි. ඒ ඔස්සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් වී තිබේ. ස්වාධීනත්වය තහවුරු වී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කළ යහපාලන ආණ්ඩුවම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරක් ගැනීම අදහාගත නොහැකි කරුණකි.

කාරක සභා අවස්ථාවේදී නීතිරීති ඉදිරිපත් කරන විට ඡුනතාවට ඇති අයිතීන් දෙකක් අහිමිවනු ඇත.  ඕනෑම පනතක් ඉදිරිපත් කිරීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර එහි මතය අදහස විමසිය යුතු බව ව්‍යවස්ථාවේ සඳහන්ව තිබේ. එය තනි පුද්ගලයකුට හෝ සංවිධානයකට කළ හැකිය. එහෙත් පසුගියදා ක‍්‍රියාකළ ආකාරය අනුව එම අයිතිය අහිමිවී තිබේ. ඒ වගේම රහසිගතව මේ                  පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නිසා මහජනතාවට කලින් මේවා ගැන සාකච්ඡා කිරීමට තිබෙන අවස්ථාවද අහිමිවනු ඇත. කවුරුත් නොදන්නා සංශෝධන කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමෙන් මේ අවස්ථා දෙකම ජනතාවට අහිමිවීම කනගාටුවට කරුණකි.

ඡුන්ද කල් යන විට බලාපොරොත්තු නොවන පලවිපාක රටකට ඇතිවිය හැකිය. පළාත් පාලන මට්ටමේ දේශපාලන නායකත්වයක් නොතිබීම නිසා කසළ එකතු කිරීම ආදී වැඩ අඩපණ වී ඇති බව බස්නාහිර සංවර්ධන ඇමැති කියා තිබුණි. ඩෙංගු උවදුර වර්ධනය වූ බවද කියා තිබුණි. එය අප ලබා ඇති අත්දැකීමකි. මෙවන් විවිධාකාර ප‍්‍රශ්න පළාත් පාලන ආයතන නිසි ලෙස ක‍්‍රියාත්මක නොවීම නිසා නිර්මාණය විය හැකිය. නියෝජිතයන් පත්කර ගැනීමට තිබූ අවස්ථාව 1982 දී ජනමත විචාරණයක් පවත්වා අහිමි කළේය. 1982 දී නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූවා නම් ඇතැම් විට රෝහණ විජේවීරත් ප‍්‍රභාකරනුත් පාර්ලිමේන්තුවට පත්වීමට ඉඩ තිබුණි. ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණියා නම් ඔවුන්ගේ දේශපාලන අරමුණු ප‍්‍රචණ්ඩ ක‍්‍රියාමාර්ගවලින් ඉටුකර ගැනීමට යොමු නොවන්නට අවකාශ තිබුණි. එවැන්නක් වීමට ඉඩ තිබුණි. ආණ්ඩුවේ කටයුතුවලට සහභාගීවීමට ජනතාවට අයිතියක් තිබිය යුතු බව එයින් තහවුරු වන්නකි. යම් ක‍්‍රමවේදයකින් එළියේ තබාගැනීමට උත්සාහ කළොත් තම අයිතිවාසිකම් ලබාගැනීමට විකල්ප සෙවීමට ජනතාව යොමුවනු ඇත. එනිසා ඡුන්ද ක‍්‍රමය සමඟ සෙල්ලම් කිරීම එතරම් සුදුසු නැත.

ඡන්ද පැවැත්වුවහොත් පරාජයට පත්වේය යන සැකය ආණ්ඩුවට තිබේ. ඡන්ද කල් දමන්නේ එම සැකය පදනම් කරගෙන විය හැකිය. එවන් සැකයක් නැතිනම් ඡුන්ද කල්දැමීමේ වුවමනාවක් නැත. ඇතැම් විට මෙය ආණ්ඩුවේ වැරදි තක්සේරුවක් විය හැකිය. ආණ්ඩුව බලයට පැමිණ මාස හයක් ඇතුළත පළාත් පාලන ඡුන්ද පැවැත්වූවා නම් පහසුවෙන් ජය ගැනීමේ හැකියාව තිබුණි. එහෙත් ඡුන්ද කල්දාන්න කල්දාන්න ජයගැනීමට අපහසු වාතාවරණයක් නිර්මාණය වන්නට පුළුවන. එනිසා හැකි ඉක්මනින් මේ අභියෝගයට මුහුණදීම අවශ්‍යය. ආණ්ඩුව කොතරම් හොඳ දේවල් කළත් ඒවායෙන් ප‍්‍රයෝජන ගැනීමට ආණ්ඩුව අපොහොසත් වීමද කනගාටුවට කරුණකි.

යහපාලන ආණ්ඩුව ආරම්භයේ තිබූ අරමුණුවලින් ඈත් වෙමින් සිටිනවා නම් ඒ අඩුපාඩුව පෙන්වාදීමේ වගකීම යහපාලනයට සහයදීමට කැපවී සිටින්නන්ට තිබේ. එසේ නොවීම පිළිබඳ පාඩමක් අපට තිබේ. රාජපක්ෂ පාලන කාලයේ වූ යම් යම් වැරැදි ක‍්‍රියා පෙන්නාදීමට එදා සිටි අයට ශක්තියක් තිබුණේ නැත. එනිසා එම ආණ්ඩුවටත් රටටත් සිදුවූයේ හානියකි. යහපාලනයට සහාය දක්වන පිරිස් ද මුනිවත රකින්නේ නම් එයින් වන්නේ ද අයහපතක් බව අමතක නොකළ යුතුය. මැච්එක ගැසීමට පිච්එක සැකසීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ ඇයිදැයි ප‍්‍රශ්නයකි.

(සටහන - චමින්ද මුණසිංහ)



අදහස් (1)

මැච් එකට පිච් එක හිච් එකක්

sisira Thursday, 28 September 2017 09:26 AM

මැච් එක ගහන්න පිච් එක හදන අය මැච් එකට බයයි. අනික පහු වෙන්න වෙන්න වැඩේ කුරුවල් වෙනවා. එ්ක තේරුම් ගන්න එයාලට බෑ.. විනිසුරුතුමාගේ කොන්ද කෙලින් ගතියත් දැන් නැතිවෙලා... එයත් අසරණ වෙලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

ප්‍රවාහන ක්ෂේත්‍රයට ක්ලීන් ශ්‍රී ලංකා
2025 ජනවාරි මස 11 197 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 1 වැනිදා සිය ‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩ සටහන ඉදිරිපත් කිරීමේ දී එහි අවශ්‍යතාව පැහැදිලි කරමින් මෙසේ ප්‍රකාශ කළ


එක රැයේ තීන්දුවෙන් අසරණවීම
2025 ජනවාරි මස 10 641 10

ආණ්ඩුව රටට දැනෙන යමක් කිරීමේ දැඩි අවශ්‍යතාවකින් පෙළෙන බව පෙනේ. ඒ, සාමාන්‍යයෙන් අලු‍තින් පත් වූ ඕනෑම ආණ්ඩුවක ස්වභාවයයි. විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව පත් වූ


රජයේ නිවාඩු දින පසුපස
2025 ජනවාරි මස 10 569 0

මෙම වසරට අදාළව යෙදී ඇති රජයේ හෝ නිවාඩු දින විසි හතරෙන් විසි දෙකක්ම යෙදී ඇත්තේ සතියේ වැඩ කරන දවස් අතරටය. රජයේ නිවාඩු දින දෙකක් පමණක් සෙනසුරාදා සහ ඉරිදා ද


දිළිඳුකම පිටුදකින ක්‍රමවේදයක්
2025 ජනවාරි මස 09 336 0

මෑත දශක කිහිපය තුළ සංවර්ධනය වෙමින් පවත්නා රටවල්වල දරිද්‍රතාව අවම කිරීම සඳහා බහුල ලෙස යොදාගත් මෙවලමක් ලෙස ක්ෂුද්‍ර මූල්‍යකරණය හඳුනාගත හැකිය. අඩු ආදාය


වැඩිහිටි ප්‍රජාවට විශේෂයක් අවශ්‍ය ඇයි?
2025 ජනවාරි මස 08 1554 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කළ කතාවේදී ප්‍රකාශයට පත්කළ නව බදු සංශෝධන අතරින් ඉතිරිකිරීමේ ගිණුම් සඳහා වූ රැඳවුම් බද්


ගලන ගඟකි ජීවිතේ
2025 ජනවාරි මස 07 420 0

මෙරට සංගීතයෙහි අමරණීය පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ ජීවන මංතලාවේ ඔහුට හමුවූ විවිධ චරිත සොයා යෑමේ දී අමරදේවයන්ගේ නිර්මාණාව


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 163 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 538 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 284 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site