මුස්ලිම් කාන්තාවන් පළදින නිකාබය සහ බුර්කාව තහනම් කිරීමට පියවර තැබීමක් ගෙවුණු සතියේ සිදුවිය. මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින්, තමා මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවකට අත්සන් තබා තිබෙන්නේ යැයි කීවේය.

මෙම පළදනාවලින් ජාතික ආරක්ෂාවට සෘජු බලපෑමක් එල්ල වන නිසා මෙකී තහනම අත්‍යාවශ්‍ය බව ඔහු පැවසුවේ ය. එපමණක් නොව, මුස්ලිම් අන්තවාදය පතුරුවන මද්‍රාසා පාසල් තහනම් කැරෙනු ඇත යැයි ද අමාත්‍යවරයා කීවේය. නමුත් මෙම පුවත ශ්‍රී ලංකාව සහ ලෝකය පුරා පැතිරෙන්නට ගැනීමත් සමග උද්ගත වූ තත්ත්වය, එම තීරණ වෙනත් අතකට හැරවීමේ සමත් විය.

ට්විටර් ආක්‍රමණ

ඉස්ලාමික රටවල සංවිධානය ට්විටර් පණිවුඩ දෙකක් නිකුත් කළේය.
පළමු වැන්නේ මෙසේ සදහන් විය.

පුද්ගල නිදහසට ඇති අයිතිය උල්ලංඝණය වීමක් සිදුවන්නේය යන පදනමේ සිට, ඉස්ලාමීය රටවල සංවිධානය (ඕඅයිසී) ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය හෙළා දකී. අයිසීසීපීආර් පණතේ 18 සහ 17 වගන්තිවලින්, සුලුතර ජන කොටස්වලට සිය ආගම නිදහසේ ඇදහීමට, අනුගමනය කිරීමට සහ එයට අනුගත වීමට අයිතිය තහවුරු කර ඇත.
දෙවන ට්විටර් පණිවුඩය මෙසේ විය.

එවැනි වෙන්කොට සැළකීමේ සහ ඉස්ලාමීයභීතිකා ප්‍රකාශ ප්‍රසිද්ධියේම බැහැර කරන ලෙස ඉස්ලාමීය රටවල සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් උදක්ම ඉල්ලා සිටී. එමෙන්ම, රටේ නීතියට අනුව ජීවත්වෙමින් සිටින මුස්ලිම් ජනතාවට එරෙහිව පියවර ගැනීමෙන්, අන්තර්ජාතික මානව හිමිකම් නීතියේ සදහන් බහුවිධභාවය පළුදු නොකරන මෙන් ද, එසේ පියවර ගැනීමෙන් අන්තර්ජාතික මානව හිමිකම් නීතිය දෙවැනි තැනට නොදමන මෙන් ද, වළකින ලෙසත් ඉස්ලාමීය රටවල සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

වඩා ප්‍රබල විරෝධයක් පැමිණියේ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් සාඩ් කතාක්ගෙන්ය. කොටස් දෙකකින් යුතු ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ඔහු එහි මෙසේ සටහන් කර තිබිණ.

නිකාබය තහනම් කිරීමට ශ්‍රී ලංකාව දරන තැතෙන්, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවට සහ ලොව පුරා පැතිර සිටින මුස්ලිම් ජනතාවගේ හදවත් තුවාළ වෙනවා හැරෙන්නට එයින් සිදුවන අනෙකක් නැත. ආර්ථික අපහසුතා මධ්‍යයේ සහ අන්තර්ජාතික තලයේ රටේ ප්‍රතිරූපය අභියෝගය ලක්ව ඇති තත්ත්වයක් පවතින වර්තමානයේ, ජාතික ආරක්ෂාවේ නමින්ය කියා මෙවැනි පියවර ගැනීමෙන් සිදුවන්නේ, ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් පවතින අපහසුතා තවත් තීව්‍ර වීමට අමතරව, රටේ සුලුතර ජනතාවගේ මානව හිමිකම්වල තත්ත්වය අරබයා පවතින විවිධ කතාන්දරවල පදනම තවදුරටත් ශක්තිමත් වීම පමණකි.

පකිස්තාන මහකොමසාරිස්වරයා මෙම පණිවුඩය නිකුත් කළේ ඉරිදා රැයේය. සඳුදා දිනයේම, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට ඔහු පියවර ගත්තේය. ගැටළුව සම්බන්ධයෙන් පකිස්තානයේ දැඩි අවධානය යොමුව තිබෙන්නේයැයි සදහන් කළ ඔහු, මෙවැනි ප්‍රකාශ සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවට ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල ආධාරය දිනාදීම සදහා පකිස්තානය හැකි උපරිමයෙන් උත්සාහ ගනිමින් සිටින තත්ත්වයක බව පෙන්වා දුන්නේය. ඒ හමුවේ, ශ්‍රී ලංකා රජය වහාම සිය පිළිවෙත වෙනස් කරගත්තේය.

රජයේ නිල මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ නිකාබය සහ බුර්කාව තහනම් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් රජය තීරණයක් ගන්නේ ගැටළුව සම්බන්ධයෙන් බුද්ධිමත්ව, කිසිදු පාර්ශවයකට අනිසි බලපෑමක් එල්ල නොකෙරෙන පරිදි, කෙරෙන අධ්‍යනයකින් පසුව බවය. විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කොළඹගේ මහතාද, ප්‍රකාශයක් නිකුත් කරමින් “එය යෝජනාවක් පමණයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා” යැයි පැවසුවේය.

මෙම යෝජනාව 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සදහා පත් කැරුණු ජනපති විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනය මත පදනම් වුනු එකක්. ඉදිරි අවදානම සළකා ඉදිරිපත් වුනු එකක්.

මීට පෙර අවස්ථාවක, මුස්ලිම් ජාතික කෝවිඩ්-19 ආසාදිතයන් ආදාහනය කිරීමේ දැඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටි රජය, පසුව එම ප්‍රතිපත්තිය වෙනස් කර එම මෘත දේහයන් භූමදානය කිරීමට අවසර දුන්නේය. එසේ සිදුවූයේ පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුවය. ඔහුට ද, කෝවිඩ්-19 වෛරසය ආසාදනයව ඇතැයි පසුගියදා පළවු වාර්තාවල සදහන්ව තිබිණ.

මුලින් අනුගමනය කරමින් සිටි ප්‍රතිපත්තිය අතහැර පයක් පසුපසට තැබීමට රජයට කටයුතු කළේ ඇයි ද යන්න (ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලියේ ඡන්ද විමසීම නිසා ද යන්න), වැදගත් පැනයකි. මධ්‍යගත පාලනයක් නොමැතිව, රජයේ විවිධ අංශයන් ඒවාට වුවමනා සැටියට කටයුතු කරමින් සිටින බවට මේ තවත් උදාහරණයකි. වෙනත් ගැටලු සම්බන්ධයෙන් ද- කෝවිඩ්-19 එන්නත ලබාදීමේ කටයුතු හෝ මහා පරිමාණයෙන් සිදුවන වන විනාශයන් සම්බන්ධයෙන්ද රජය කටයුතු කරමින් සිටින්නේ මෙසේමය.

අවසානය මෙය නොවේ

නිකාබය හා බුර්කාව තහනම් කිරීම අතරමග නතරව තිබෙනවා මිස එහි අවසානය මෙය නොවේ. මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සන්ඩේ ටයිම්ස් සමග මෙසේ අදහස් දැක්වූයේ ය.

“බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. එය ළගදීම කැබිනට් මණ්ඩලයේ අවධානයට ගැනේවි. අමාත්‍යවරයෙක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අවස්ථාවේම සාමාන්‍යයෙන් එදිනම න්‍යාය පත්‍රයට එය ඇතුළත් කර ගැනෙන්නේ නැහැ. මේක ආගම සම්බන්ධ ගැටලුවක් නොවෙයි. බුර්කාව තහනම් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන්නේ ආරක්ෂක කරුණු කාරණා මත පදනම්ව. නිකාබයක් හෝ බුර්කාවක් පැළදගෙන ඕනම අපරාධයක් කරන්න පුලුවන්. ඒ නිසා මම ඉදිරිපත් කර තිබෙන යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවේවි” යයි වීරසේකර මහතා පැවසීය.

“මෙය මම හෝ ජනපතිවරයා හෝ කළ නිර්දේශයක් නොවෙයි. පාස්කු ඉරිදා සංහාරය විමර්ශනය කළ ජනපති විමර්ශන කොමිසමයි මෙම නිර්දේශය සිදුකර තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ කාරණාවලට ජගත් මානව හිමිකම් කවුන්සිලය සහ අන්තර්ජාතික ප්‍රජාව මැදිහත් විය යුතු නෑ.” යයිද වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

මෙතැනද, බුර්කාව තහනම් කිරීමට ගෙන ආ යෝජනාව අතරමග නතර කර තිබෙන්නේ ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ රට සම්බන්ධයෙන් වන යෝජනාවක් පවතින නිසා මිස අන් කිසි හේතුවක් නිසා නොවේ. අමාත්‍යවරයා පවසන ආකාරයට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළහොත්, එහි ප්‍රතිවිපාක ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මීළග සැසිවාරයේ දී, ශ්‍රී ලංකාවට අත්විදීමට සිදුනොවන්නේ ද?

විශේෂයෙන්ම මෙම යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සිදුවන බව කියන්නට පුළුවන. බුර්කා තහනම සහ අන්තර්ජාතික මානව හිමිකම් නීතිය එකට ගැටලා, ඉස්ලාමීය රටවල සංවිධානය ට්විටර් පණිවුඩයක් පවා නිකුත් කර තිබෙන අවස්ථාවක, මූලෝපායක් සකස් කරගැනීමෙහි ලා අවධානයක් යොමුකර නොමැති කාරණා රැසක් ඇත. කොටින්ම, ජගත් මානව හිමිකම් කවුන්සිලයට මුහුණදීමට ශ්‍රී ලංකාවට සැළසුමක්-මූලෝපායක් තිබේ ද? යන්නත් ගැටලුවකි.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීමට පසුව පසුවිපරමක් සිදුකිරීමට ඇති තරම් දේවල් ශ්‍රී ලංකා රජයට තිබෙනු ඇත. එය විශේෂයෙන්ම, සතුරන් නිසා නොව, තමන්ම දැරූ උත්සාහයන් හමුවේ ප්‍රගතියකට වඩා තැබූ පියවර පසුපසට තැබීමට තරම් හේතු වූ තත්ත්වයන් උද්ගත වූයේ කෙසේ ද? යන්න පැහැදිලි කරගැනීමටය. එසේ කරන පසුවිපරමකින් ඉගෙන ගන්නා පාඩම්, ක්‍රියාවේ යෙදවෙනු ඇතිද යන්න මෙතැන තිබෙන පැනයයි. රටට සිදුවූ හානිය අවම කරගැනීමට මෙන්ම, රටේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල වෘත්තීමය තත්වයවයක් පවතින බව සහතික කිරීමටත්, එම උගත් පාඩම් භාවිතයේ යෙදවීම වැදගත් වේ.

පළාත් සභා මැතිවරණය

ගෙවුණු සතියේ තවත් වැදගත් සිදුවීමක් වූයේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුව ඇතැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණයට, පාලක සන්ධානයේ සාමාජික පක්ෂවල නායකයින්ගේ අනුමැතිය හිමිවීමයි. පළාත් සභා මැතිවරණය බොහෝදුරට ජූනි මස පැවැත්වීමට ඉඩ තිබෙන අතර, එයට අදාළ නීති සම්පාදනය කිරීමේ කටයුතුවල නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව යුහුසුලුව සිටී. අනුමැතිය ලබාගැනීම සදහා එය කැබිනට් මණ්ඩලය වෙත යැවීමට නියමිතය.

මෙම පසුබිම යටතේ සමගි ජනබලවේගය එහි පළමු වසර සැමරුම සංකේතවත් කිරීමට පැවැත්වූ පළමු ජනතා රැලිය සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම මනාය.
හයිඩ්පාක් පිටියේ පැවැති මෙම රැලියට 5000 ක පමණ ජන සහභාගීත්වයක් තිබුණු බවට පොලිසිය ඇස්තමේන්තු කරයි. රටේ කෝවිඩ්-19 වසංගත තත්ත්වයක් පවතින බව සැළකිල්ලට ගත්විට එය සැබැවින්ම සැළකිය යුතු ජනතා සහභාගීත්වයකි.

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්ව කුසලතාවයන් ආන්දෝලනාත්මක විය හැකි වුවත් රැස්වීමේ ජනතා අවධානය දිනාගැනීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමත් විය. සිය කතාවේදී ප්‍රේමදාස මහතා වැඩි අවධානයක් යොමුකළේ සමගි ජනබලවේගයට ජනපතිවරයාට සහ ඉදිරියේ එන මැතිවරණයට නම් තත්කාලීන දේශපාලන ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ ෆොන්සේකා මහතාය. එයට පැමිණ සිටියවුන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමිවිය.

සාවද්‍ය ප්‍රකාශ

ඉදිරියේ එන පළාත් සභා මැතිවරණයට පෙර සූදානමක් වැනි වූ සමගි ජනබලවේගයේ ජනතා රැලියේ දී දැන් මෙම නව පක්ෂයට ජනතාව ඒකරාශී කරගත හැකි බව තහවුරු විය. ඒ කෙසේවුවත්, ප්‍රේමදාස මහතාට තවමත් පාලනය කරගත නොහැකිව ඇති දෙයක් වේ. එය නම් පක්ෂය අපහසුතාවයට පත්කරන ආකාරයේ ප්‍රකාශයන් නිකුත් කරමින් සිටින එහි ඇතැම් සාමාජිකයන්ය.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පසුගියදා කළ ප්‍රකාශයක් එවැන්නට එක් අවස්ථාවකි.

2019 පාස්කු ඉරිදා සංහාරය පසුපස සිටින්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ ජනපතිවරයාගේ සොයුරු බැසිල් රාජපක්ෂ යැයි ඔහු චෝදනා කළේය. ඔහු මෙම ප්‍රකාශය කරනු දැක්වෙන වීඩියෝවක් සමාජජාල පුරා වේගයෙන් පැතිර ගියේය. අවසන, ප්‍රකාශයක් ලබාදීම සදහා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවනු ලැබිණ.
ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද ඔහු සමග පැමිණ සිටියේ ය.

පසුව සිදුකළ ප්‍රකාශයේ දී අබේසිංහ මහතා සේ චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. කාරණය දැන් නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාවද්‍ය ප්‍රකාශයන් කරන්නේ නම් දැඩි පියවර ගත යුතුව තිබෙන බවට කිසිදු විවාදයක් නැත. පැනය වන්නේ සාවද්‍ය ප්‍රකාශයක් කළ පක්ෂයේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සමගි ජනබලවේගය කවර නම් පියවරක් අනුගමනය කරනු ඇතිද යන්නය.කෝවිඩ්-19 වසංගත තත්ත්වයත් සමග රජය අලුත් වසරකට පා තබා තිබෙන්නේ අභ්‍යන්තරවත්, බාහිරවත්, ගැටලු ගොන්නක් රැගෙනය.

බාහිර වශයෙන් ගත්විට පවතින බරපතලම ගැටලුව වන්නේ ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ තිබෙන යෝජනාවලිය සම්බන්ධයෙන් කවර නම් තීන්දුවක් ලැබෙනු ඇති ද සහ ඉදිරි මාස කිහිපය ඇතුළත කවර නම් ප්‍රතිවිපාකයන් අත්විදීමට සිදුවනු ඇති ද යන්නය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන මෙම යෝජනාවලිය අඩුම තරමින් තවත් වසර කිහිපයක් යන තෙක්ම ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සිල සභාගර්භයේ රාව ප්‍රතිරාව නංවනු ඇත.

අඩුම තරමින් අනාගතය සළකා හෝ, නිසි සැළසුමක් සහ මූලෝපායක් සකස් කරගැනීමට රජය කටයුතු කළ යුතුමය. සිතූ මනාපයට සහ වෘත්තිකත්වයෙන් බැහැරව කරන දේවලින් අපට අත්වන ප්‍රතිලාභයක් නැත.

අභ්‍යන්තර වශයෙන් ගත්විට, අලුත් අවුරුදු උදාවට තවත් සති පමණක් ගෙවීමට තිබෙන තැන, බඩු මිල අහස උසට නැග ඇත. කෝවිඩ්-19 එන්නත්කරණ වැඩපිළිවෙල අවරට ගොස් තිබෙන්නේ ඇති හැකියවුන්ට පමණක් එය ලබාගැනීමට හැකිව තිබෙන තත්ත්වයක් ඇති කරමිනි.

පළාත් සභා මැතිවරණය හමුවේ මේවා නියත වශයෙන්ම විපක්ෂයේ වේදිකාවලින් රජයට දමා ගැසෙනු ඇති වුවත් වැරදි නිවැරදි කරගැනීමට රජයට තවමත් කාලය ඇත. වංචනිකයන්ට සහ දූෂිතයන්ට එරෙහිව පියවර ගැනීමට යන්නේය යැයි නැවත නැවතත් කියා සිටීමෙන් ඵලක් නොවනු ඇත. රජයේ විවිධ අංශ නගමින් සිටින විවිධ ප්‍රකාශයන් හමුවේ ජනතාව සිටින්නේ අන්දමන්දවය. එකම හඩක් නැගෙන, එකම ස්ථාවරයක පිහිටා වැඩ කටයුතු කැරෙන, පිළිවෙතක් ඇති කරගැනීමට රජයේ ඉහළම ප්‍රමුඛත්වය ලබා දිය යුතුමය.

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර