IMG-LOGO

2024 ජුලි මස 13 වන සෙනසුරාදා


බඩු මිල: වැරැදි තැනට ඇණ ගැසීම


ඛනිජ තෙල්, ගල් අඟුරු, ගෑස්, සීනි, කිරිපිටි, ඖෂධ වර්ග සේම වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක්ද පිටරටවලින්  ආනයනිය කිරීමට ලංකාවට සිදුවෙයි. ඒවා ආනයනය කරන්නට වෙන්නේ ඒ ඒ රටවල පවතින මිල ගණන් වලට මිස අපට අවශ්‍ය හෝ අප කැමැති මිල ගණන්වලට නොවේ. ලෝක වෙළෙඳපොළෙහි පවතින මිල අපේ රටට බලපාන්නේ කෙසේ දැයි මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙයි.

අප මේ සාකච්ඡාව කළේ වෙරිටේ රිසච් ආයතනයේ පර් යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිණී අබේසිංහ සමගය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධි දිනා සිටින ඇය ජාත්‍යන්තර ආර්ථිකය හා නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය දිනාගෙන තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ බර්න් විශ්වවිද්‍යාලයෙනි. මේ ඇයගේ හඬයි.

නූතන ලෝකයේ පවතින අර්බුද අතර බලශක්ති අර්බුදයක්ද පවතී. මෙහිදී බලශක්ති ලෙස අප සලකන්නේ ගල් අඟුරු, ගෑස් හා ඛනිජ තෙල්ය. 2019 දී ලෝකයේ බලශක්ති පරිභෝජනයෙන් සියයට 84 ක්ම සපයාගෙන ඇත්තේ ගල්අඟුරු සහ ගෑස්වලිනි. ලෝකය බලශක්ති පරිභෝජනයෙන් සියයට 33 ක් ඛනිජ තෙල්වලින්ද, සියයට 27 ක් ගල් අඟුරුවලින්ද, තවත් සියයට 24 ක් ගෑස්වලින්ද සපයා ගනියි. ඉතිරි ප්‍රමාණය පුනර්ජනනීය බලශක්තිවලින් ලබා ගනියි. 2021 දී ඒ සෑම බලශක්තියකම මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළ  ගොස් තිබේ.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සඳහන් කරන ආකාරයට මිල ඉහළයාමට බලපා තිබෙන හේතු සාධක රැසකි. කොරෝනාවෙන් වැටුනු ලෝක ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් යථා තත්ත්වයට පත්වීම එක් හේතුවකි. ඒ වර්ධනය වූයේ දියුණු රටවලය.

කොරෝනාවෙන් වැටුණු ලෝක ආර්ථිකය මන්දගාමීව වර්ධනය වනු ඇතැයි ලෝක ආර්ථික විශ්ලේෂකයෝ බලාපොරොත්තු වූහ. 2021 පිළිබඳව 2020 දී පුරෝකතන කරද්දී ලෝකයේම පැවැතියේ අධි අවිනිශ්චිතභාවයකි. ඒ අවිනිශ්චිත භාවයට හේතුවූයේ වසංගතය මර්දනයට එන්නතක් සොයා ගත හැකිද. ඒ සඳහා කොච්චර කාලයක් ගතවේද, එය නිෂ්පාදනයට කොච්චර කාලයක් ගත වෙයිද, අත්හදා බලා සාර්ථක කරගැනීමට කොච්චර කාලයක් යයිද, ලෝකයම එන්නත්කරණයට කොපමණ කාලයක් යයිද යනාදී කරුණුය.

එහෙත් 2020 දී සිතුවාට වඩා වේගයකින් සාර්ථක එන්නතක් සොයා ගැනීමට ලෝකයට හැකිවිය. ඒ නිසා හිතුවාට වඩා ඉක්මනින් දියුණු රටවල ආර්ථිකය යථා තත්ත්වයට පත්විය. අනෙක් කාරණය දියුණු රටවල් තම ආර්ථිකය යළි පණගැන්වීම සඳහා ජනතාවට විශාල වශයෙන් සහායද ලබා දුන්නේය. ඒ රටවල ජනතාවට ආදායම් උත්පාදනයට ද විවිධ සහන දුන්නේය. ඒ නිසා ජනතාව අතර මුදල් හිඟවූයේ නැත. ඒ රටවල නිෂ්පාදන ක්‍රියාවලියද හිතුවාට වඩා වේගයකින් වර්ධනය විය. ඒ නිසා බලශක්තිවලට තිබෙන ඉල්ලුමද වැඩි විය. එසේ වූයේ පරිභෝජනය ඉහළයාමෙනි.

එහෙත් ඉල්ලුමට සාපේක්ෂව සැපයීම වර්ධනය නොවීම බලශක්ති මිල ඉහළ යාමට බලපෑ තෙවැනි හේතුවයි. සැපයුම ඉහළ නොගියේ නිෂ්පාදනයන අඩාලවීම සහ උතුරු අර්ධගෝලයේ රටවල් ගබඩා කරගෙන තිබූ තොග ඉක්මනින් අඩුවීම නිසාය.

යුරෝපයේ රටවල සේම ඇමෙරිකාව, චීනය වැනි රටවල 2020 දී තිබුණේ ඉතා දැඩි හා දිගු සීත කාලයකි. බලශක්ති පරිභෝජනය ඉහළ යාමට එය හේතුවක් විය. ඒ නිසා තමන් ගබඩා කරගෙන තිබූ තොග විශාල වශයෙන් පාවිච්චි කිරීමට ඒ රටවලට සිදුවිය. දැන් ඒ රටවල් සතු තොග පවතින්නේද ඉතා පහළ මට්ටමකය.

එහෙත් බලශක්තියට තිබූ ඉහළ ඉල්ලුමට සැපයුම ප්‍රතිචාර දක්වා තිබෙන්නේ මන්දගාමීවය. එයට බලපෑ එක් හේතුවක් වන්නේ ගල්අඟුරු සහ ඛනිජ තෙල් නිෂ්පාදනය සඳහා කළ ලෝක  ආයෝජන අඩුවීමය. 
ඊට හේතුව ගල් අඟුරු සහ ඛනිජ තෙල් පරිසරයට අහිතකර බව හඳුනාගෙන තිබිමය.

ගෝලීය උෂ්ණත්වය ඉහළයාමට ඒවා හේතුවී තිබෙන බව ලෝක මතයයි. ඒ නිසා ගල්අඟුරු හා ඛනිජ තෙල් වලින් ගෑස් වෙත යොමුවීමේ ප්‍රවණතාවයක් ලෝකයේම ඇතිවිය.
එහෙයින් ගල් අඟුරු හා ඛනිජ තෙල් නිෂ්පාදනය සඳහා කරන ආයෝජන අඩුවිය. වර්තමානය වනවිට ගෑස් මිල ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇත්තේ එහෙයිනි.

ගෑස් මිල 2021 දි, 2020 පැවැති මිලට වඩා දස ගුණයකින් ඉහළ ගොස් තිබෙන බව මිල ගණන්වලින් අනාවරණය වෙයි. 
ගල් අඟුරු මිල පස් ගුණයකින් ඛනිජ තෙල් මිල දෙගුණයකිනුත් ඉහළ ගොස් තිබේ. ගෑස් මිල වැඩිවීම නිසා ගල් අඟුරු සහ ඛනිජ තෙල් සඳහා ඉල්ලුම ඉහළගොස් තිබේ.

ලංකාවේ ආනයනකරුවන්ට කේවල් කිරීමට තිබෙන හැකියාවද ඉතා අඩුය. හේතුව ලංකාව විශාල ගැනුම්කරුවකු නොවේ. ලංකාව ඉතා කුඩා වෙළෙඳපොළකි. ඒ නිසා අපේ ආනයනකරුවන් රටින් ගෙන්වන්නේ ඉතා කුඩා ප්‍රමාණයකි.

ගල්අඟුරුවලින් ගෑස් වෙත ගිය අය ආපසු ගල්අඟුරු වෙත යති. තෙල් වලින් ගෑස්වලට ගිය අයද එසේම වෙනස් වෙති. එය එසේ වූයේ ගෑස් මිල දහ ගුණයකින් ඉහළ යාම නිසාය. ඒ නිසා වසාදමා තිබූ ගල් අඟුරු හා ඛනිජ තෙල් බලාගාර යළි විවෘත කර තිබේ.

බලශක්ති අධ්‍යයන පිළිබඳ ඔක්ස්ෆර්ඩ් ආයතනය (Oxford Institute Of Energy Studies) සඳහන් කරන පරිදි 2021 මුල් මාස අටේදී ගෑස් වලට චීනයේ තිබූ ඉල්ලුම 2019 දී පැවැතියාට වඩා සියයට 30 කින් ඉහළ ගොස් තිබේ. ඉන් අනාවරණය වන්නේ දියුණු හා විශාල රටවල ආර්ථිකය වේගයෙන් යථාතත්ත්වයට පත්වීමට අමතරව ගෑස්වලට තිබූ ඉල්ලුම ඉතා වේගයෙන් ඉහළ ගොස් තිබෙන බවය. 2020 දී ඇමෙරිකන් ඩොලර් 40 ක්ව පැවැති බොරතෙල් බැරලයක මිල 2021 ඔක්තෝබර් වෙද්දී ඩොලර් 80 දක්වා ඉහළ ගොස් තිබේ. ඛනිජ තෙල් ගෑස්වලට ආදේශයක් කර ගැනීමද තෙල් මිල ඉහළ යාමට හේතුවී තිබේ.

ඛනිජ තෙල් මිල සම්බන්ධයෙන් බලපාන අනෙක් කාරණය ඔපෙක් සංවිධානයයි. ඔපෙක් සංවිධානයේ රටවල් ඛනිජ තෙල් නිෂ්පාදනයෙන් සියයට 40 කට දායක වෙයි. එසේම ලෝකයේ තෙල් අපනයනයෙන් සියයට 60 කට දායක වන්නේද ඔපෙක් සංවිධානයේ රටවල්ය. ඒ නිසා තෙල්මිල තීරණය කිරීමේදී ඔපෙක් සංවිධානයේ සිටින සවුදි අරාබිය ඇතුළු රටවල් 15 ට කළ හැකි බලපෑමද සුවිශාලය. තෙල් මිල කඩා වැටීම ඒ රටවලට විශාල ප්‍රශ්නයක් විය. 2020 බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 40 ක් දක්වා පහත වැටිණි. තෙල් මිල එසේ පහළ යනවිට ඒ රටවල් කරන්නේ නිෂ්පාදනය පහළ දැමීමය. එවිටද සැපයුම අඩුවී මිල ඉහළයයි. එසේම තෙල් මිල ඉතා වේගයෙන් ඉහළ යන්නේ නම් නිෂ්පාදය ඉහළ නංවා මිල පාලනය කිරීමටද ඔපෙක් සංවිධානයට හැකියාව තිබේ. එහෙත් වර්තමානයේදී එවැන්නක්  නොවූ බව විශ්ලේෂකයන්ගේ මතයයි.

ඒ අනුව මේ 2021 වසර අවසාන වෙද්දී තෙල් මිල තවත් ඉහළයා හැකි බව විශ්ලේෂකයන්ගේ පුරෝකතනයයි. එයට තවත් එක් හේතුවක් වන්නේ අතුරු අර්ධ ගෝලයේ රටවල් සීත ඍතුවට එළඹෙමින් සිටින නිසාය. ඔවුන් ඒ සීත ඍතුවට පිවිසෙන්නේ සාමාන්‍යයෙන් ඔවුන් සතුව පවතිනවාට වඩා අඩු තොග පවතිද්දීය. එසේම තෙල් මිල ඉතා ඉහළ මට්ටමක පැවැතිද්දී මේ සීත ඍතුව එළඹීම තවත් බරපතළ කාරණයකි. ඒ නිසා ගල් අඟුරු ඛනිජ තෙල් සේම ගෑස් මිලද තව තවත් ඉහළ යාමේ අවදානමක් පවතී.

අපේ රට සම්බන්ධයෙන් සලකා බලන විට ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් නැතිකමද බරපතළ ප්‍රශ්නයකි. භාණ්ඩ ආනයනය ඔස්සේ පිටරටවල පවතින උද්ධමනයද ලංකාවට ආනයනය වෙයි. ඒ මීට පෙර පැවැති මිලට වඩා වැඩි මිලගණන් ගෙවා භාණ්ඩ ආනයනය කිරීමට සිදුවීමෙනි. ඩොලර් හිඟය නිසා ලංකාව ආනයන සීමා පනවා තිබේ. ඒ නිසාද මිල තවත් ඉහළ යයි.
ආනයන සීමා නිසා දේශීය වෙළෙඳපොළෙහි ඉල්ලුමට සපයන්නට භාණ්ඩ නැත. ඒ නිසා විදෙස් රටවල පවතින උද්ධමනයට වඩා ඉහළ උද්ධමනයක් ලංකාවේ ඇතිවෙයි.

ලෝක වෙළෙඳපොළේ බල ශක්ති මිල ඉහළ යාම ලංකාවට බලපාන්නේ කෙසේද යන්න සිතා ගැනීම සහ අඛණ්ඩව කර ගැනීම දැන් ඉතා පහසුයි. ලංකාවේ බලශක්ති වලින් සියයට 44ක්ම හිමිකරගෙන සිටින්නේ ව්‍යාජ තෙල්ය. අපේ විදුලි නිෂ්පාදනයෙන් සියයට 50 කට වැඩි ප්‍රමාණයකට දායක වන්නේ ගල් අඟුරු සහ ඛනිජ තෙල්ය. වියළි කාලගුණයක් පවතිනවිට මේ තත්ත්වය තවත් ඉහළ යයි. 2019 වියළි කාලගුණයක් පැවැති සමයේ අපේ සමස්ත විදුලියෙන් සියයට 66ක් නිෂ්පාදනය කළේ ගල් අඟුරු සහ ඛනිජ තෙල්වලිනි. අපේ රටේ ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම ඛනිජ තෙල් මතය. එසේම ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු හා ඛනිජ තෙල් මිල අඩු කාලවලදී විශාල වශයෙන් මිලදී ගෙන ගබඩා කර තබාගැනීමට අවශ්‍ය විශාල ගබඩාද ලංකාවෙහි නැත. ඒ නිසා අපට ගල් අඟුරු හා තෙල් නිතර ආනයනය කිරීමට සිදුවෙයි. 

අපේ රටේ සමස්ත ආනයන වියදමෙන් සියයට 20 ක්ම වැය වන්නේ ඉන්ධන ආනයනය සඳහාය. ලංකාවේ සමස්ත ආනයන වියදම ඇමෙරිකන් ඩොලර් බිලියන 19 සිට 20 අතර පවතී. 

2020 ආර්ථික කටයුතු ඇනහිටීමත් සමග ඒ වියදම අඩුවිය. එහෙත් මේ 2021 දී පෙර පරිදිම ආනයනය කිරීමට සිදුවිය හැකිය. ගෑස් ද ලංකාවේ නිවාසවල විශාල වශයෙන් භාවිත කරයි. එසේම ලංකාවේ නිෂ්පාදන ආනයන සේම කර්මාන්ත ශාලාවලද ගෑස් විශාල වශයෙන් භාවිත කරයි. විදුලි හා ප්‍රවාහන වියදම් විශාල ලෙස ඉහළ යාමට තෙල් මිල ඉහළ යාම ඍජුවම බලපායි. ඒ නිසා රටේ නිෂ්පාදනය කරන භාණ්ඩවල මිල සේම, සේවා ගාස්තු ද ඉහළ යයි. වී ඇතුළු කෘෂිකාර්මික භෝග නිෂ්පාදන මිල ඉහළ යාමටද තෙල් මිල වැඩිවීම ඍජුවම බලපායි. 

තෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව රසායනික පොහොර මිලද ඉහළ යයි. ඒ අනුව ඉදිරියේදී රසායනික පොහොර යළි ආනයනය කිරීමට කටයුතු කළහොත් ඒ සඳහා වෙනදාට වැඩි මිලක් ගෙවීමට සිදුවෙයි.

වර්තමාන ලෝකයේම පවතින්නේ ඉල්ලුමට සාපේක්ෂව සැපයුම අඩු ආර්ථිකයකි. දැන් අප අත්විඳිමින් සිටින්නේ එහි ප්‍රතිඵලය. මේ කාරණය බලශක්තිවලට පමණක් නොව අනෙක් ක්ෂේත්‍රවලටද අදාළය. ඒ නිසා ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල උද්ධමනය ඉහළ ගොස් තිබේ. එහෙයින් ඉල්ලුම හා සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්වනතුරු ඉහළ උද්ධමනකාරී තත්ත්වය පැවැතිය හැකිය.

විශ්ලේෂකයන් කියන්නේ 2022 මැද භාගයේදී පමණ ඉල්ලුම හා සැපයුම යථා තත්ත්වයට පත්විය හැකි බවය. 
නූතනයේ යුරෝපයේ රටවල පවතින්නේ අවුරුදු 13 කට පසු ඉහළම උද්ධමනයකි. ඒ තත්ත්වය අත්‍යවශ්‍ය ආහාරවලටද අදාළය. ඉල්ලුමට සාපේක්ෂව සැපයුම නැතිකම, ආහාර මිල ඉහළ යාමටද හේතුවී තිබේ. සීනි උදාහරණයකි. ලෝකයේ විශාලතම සීනි නිෂ්පාදකයා බ්‍රසීලයයි. අහිතකර කාලගුනය නිසා එරට සීනි නිෂ්පාදනය අඩු වී තිබේ.

එසේම තෙල් හා ගෑස් මිල ඉහළයාම නිසා සීනිවලින් එතනෝල් නිෂ්පාදනය කර එය ජෛව ඉන්ධනයක් ලෙස භාවිත කිරීමට බ්‍රසීලය යොමුවී සිටියි. ඒ නිසා සීනි මිලද ඉහළ ගොස් තිබේ. 

සීනි හා කිරිපිටි කෘෂිකාර්මික භාණ්ඩය. ඒවා නිෂ්පාදනය ඉහළ නැංවීම එක රැයකින් කළ නොහැකිය. ඒ සඳහා යම් කාලයක් ගතවෙයි. 
ලංකාවේ සමස්ත ආනයන වියදමෙන් වැය වන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියයට 20 ක් පමණ ආනයනය කිරීමටය. ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 4 ක් පමණ වැය වෙයි. ඉන් ඩොලර් බිලියන එකක් පමණ වැය වන්නේ කිරි, සීනි හා ඖෂධ ආනයනය කිරීමටය.

වෙනත් වසරවලදී ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 4 ක් වැය කළත් 2020 දී එය ඩොලර් බිලියන 2.5 ක් දක්වා අඩුවිය. එහෙත් 2020 දී ඖෂධ ආනයනය කිරීම වැඩිවී තිබේ. ඒ අනුව 2020 දී සීනි, කිරිපිටි හා ඖෂධ ආනයනය කිරීමට ඇමෙරිකන් ඩොලර් බිලියන 1.2 ක් වැයවී තිබේ. ඖෂධ ගෙන්වීමට වැයවූ මුදල පමණක් ඩොලර් මිලියන 550 සිට 600 දක්වා වැඩි වී තිබේ. ඉන්ධන ආනයනය සඳහා 2019 මුල් මාස හයේදී ඩොලර් බිලියන 2.3 ක් වැය කර තිබිණි. 2021 මුල් මාස හයේදී එය ඩොලර් බිලියන 2 ක් විය. ආනයන වියදම වැඩිවීමට ලෝක වෙළෙඳපොළ සාධකවලට අමතරව ඇමෙරිකන් ඩොලරයේ අගය ඉහළ යාමද බලපා තිබෙන බව අමතක නොකළ යුතුය.

උද්ධමනය ඉහළ ගොස් ජීවන වියදම වැඩි වනවිට අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීම අපේ බොහෝ ආණ්ඩුවල ප්‍රතිපත්තිය වෙයි. ජීවන වියදම ඉහළයාම සියලුදෙනාටම බලපෑවත් ඉහළ ආදායම් ලබන අයට එය දරාගෙන සිටීමේ හැකියාවක් පවතී. එහෙත් පහළ ආදායම්ලාභීන්ට එවැනි හැකියාවක් නැත.

පහළ ආදායම්ලාභීන්ට සහන සැලසීමට ලංකාවේ ආණ්ඩු විවිධ ප්‍රතිපත්ති අනුගමනය කර තිබේ. ආසන්නතම උදාහරණය මිල පාලනයයි. එය අඩු ආදායම්ලාභීන් පමණක් ඉලක්ක කරගෙන කරන දෙයක් නොවේ. එහි වාසිය රටේ සියලු ජනතාවට ලැබෙයි. එහෙත් මෑත කාලීන උදාහරණ වලින් පැහැදිලි වන්නේ මිල පාලනය අසාර්ථක බවයි.

එයට හේතුව යම් භාණ්ඩයක පිරිවැය විශාල වශයෙන් වැඩිවී තිබේ නම් ඒ පිරිවැයට සාපේක්ෂව මිල වැඩි කිරීමට ඉඩ නොදුන්නොත් සැපයුම්කරුවාට ඒ භාණ්ඩ තවදුරටත් වෙළෙඳපොළට සැපයීමට නොහැකි වෙයි. හොඳම උදාහරණය ගෑස්ය. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළයාම ලංකාවේ ආනයනකරුවාට පාලනය කළ නොහැකිය. ගෑස් මිල කවදාකවත් නොවූ අයුරින් ලෝක වෙළෙඳපොළෙහි ඉහල ගොස් තිබෙන අවස්ථාවක පැරැණි මිලටම දේශීය වෙළෙඳපොළෙහි ගෑස් විකුණන්නැයි කීම සම්පූර්ණයෙන්ම අතාර්කිකය ගෑස් වෙළෙඳාම රජයෙන් කලත් එසේ අඩු මිලට දිය නොහැකිය. දුන්නොත් එහි අලාභය ගෙවන්නට සිදුවන්නේද ජනතාවටය. මිල පාලනය නිසා භාණ්ඩ හිඟයක් ඇතිවෙයි. එසේම රට ඇතුළෙහි මිල තවත් ඉහළ යාමටද එය හේතුවෙයි. ගෑස්, සීනි හා කිරිපිටි යනාදී සියල්ලෙහි මිල පාලනය කිරීමට යාමෙන් ඒ ප්‍රතිඵල අත්වූ බව නොරහසකි.

අනෙක් කාරණය ලංකාවේ ආනයනකරුවන්ට කේවල් කිරීමට තිබෙන හැකියාවද ඉතා අඩුය. හේතුව ලංකාව විශාල ගැනුම්කරුවකු නොවේ. ලංකාව ඉතා කුඩා වෙළෙඳපොළකි. ඒ නිසා අපේ ආනයනකරුවන් රටින් ගෙන්වන්නේ ඉතා කුඩා ප්‍රමාණයකි. එබැවින් ඔවුනට කේවල් කිරීමේ හැකියාවද අඩුය. එහෙයින් ලෝක වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යනවිට මිල පාලනයක් කළ යුත්තේ දත්ත පදනම් කරගෙනය. යම් භාණ්ඩයකට තීරණය කළ මිල සාධාරණ වන්නේ පිරිවැය කොපමණද, පිටරටින් ගෙන්වන්නේ කීයටද, ලංකාවට ගෙන්වා බදුගෙවූ පසු මිල කීයද, ප්‍රවාහන වියදම කීයද, ලාබ අනුපාතය කොපමණද යනාදී සියල්ල හොඳින් ගණනය කර මිල තීරණය කළා නම් ඒ මිල පාලනය සාර්ථකවීමට ඉඩ තිබේ.

සැපයුම්කරුවාට ඇඟිල්ල දිගු කිරීමේ හැකියාව රජයකට ලැබෙන්නේ ඉතා හොඳ නිවැරැදි දත්ත මත පදනම්ව මිල පාලනය කළහොත් පමණකි. එහෙත් ලංකා රජය මිල පාලනය කළේ ඉහත කී තොරතුරු හා දත්ත මත පදනම්ව නොවේ. එසේම ඒ භාණ්ඩවල මිල ලෝක වෙළෙඳපොළෙහි මහා පරිමාණයෙන් ඉහළ ගොස් තිබූ පරිසරයකය. රජයේ මිල පාලනය අසාර්ථකවී රජයටම ඒ මිල පාලන ඉවත්කර ගැනීමට සිදුවූයේ අතාර්තික පදනමකින් මිල පාලනය කළ නිසාය.

කෙටියෙන් කිවයුත්තේ වියදමට වඩා අඩු මිලකට විකුණන්නැයි කීම අසාර්ථක බවය. සාර්ථකම පිළියම වන්නේ අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමය. එසේම ඔවුනගේ ආදායම් වැඩි කිරීමය. ඒවා කළ හැකි ක්‍රම රැසකි.

 

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්

වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිණි අබේසිංහ



අදහස් (2)

බඩු මිල: වැරැදි තැනට ඇණ ගැසීම

Sunil Friday, 22 October 2021 07:12 AM

අපේ රටට වරදින්නේ දේශපාලුවෝ මෙවැනි වියතුන්ගේ අදහස් ගණන් නොගැනීමයි

:       1       3

anila Friday, 22 October 2021 09:02 AM

මේ අර සින්දුව කිව්වා කෙනාද

:       4       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මන්ත්‍රීවරුන්ගෙන් සියයට 60කට වඩා මගේ මිතුරන් - ’’ක්ලබ් වසන්ත’’
2024 ජුලි මස 09 5831 8

අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ ක්ලබ් වසන්ත නොහොත් සුරේෂ් වසන්ත පෙරේරා, ඊයේ (08) මියගිය අතර ලංකාදීප යූ ටියුබ් නාලිකාවේ ධනූට කියන්න


ෂැංග්හයි සහයෝගීතාව යුරේසියාවට
2024 ජුලි මස 02 392 1

ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ (SCO) සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව, ජූලි 3 සහ 4 දෙදින කසක්ස්තානයේ, ඇස්තානා අගනුවර දී පැවැත්වෙයි. මෙය, ෂැංග්හයි සහයෝගීතා සංවි


‘පන්නෛයි පක්කම්’ කියමින් දකුණ ඇල්ලූ උතුරේ ටික්ටොක් තරුව ශෝජන්
2024 මැයි මස 10 2093 1

මම සිංහල වේග රිද්මයේ ගීතත් අහනවා. එහෙම අහපු ගීතයක් තමයි “මේ කමනි” ගීතය. ඒ ගීතයේ සංගීතයට මං ආස වුණා. මුලදී මම ඒ ගීතයට බටහිර නර්තනයක් ඉදිරිපත් කළා. පස්සේ මට


මල් විකුණගන්න කිලෝමීටර් 4-5 ක් උඩට පහළට දුවනවා, දවසකට කිලෝමීටර් 15-20 ක් දුවනවා ඇති - චීනය දිනූ ලංකාවේ මල් කුමාරයා කියන කතාව
2024 මැයි මස 07 5530 5

චීනයේ කෝටි 13කට අධික පිරිසකගේ සිත් සොරාගත් ශ්‍රී ලංකාවේ මල් කුමාරයෙකු පිළිබඳව තොරතුරු මේ දිනවල මෙරට හා විදෙස් රටවල විවිධ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතා



දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3903 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 902 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1784 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3744 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site