IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පිරමීඩ ජාවාරම්වලට ඉඩක් තියන්න එපා

නීති විරෝධී ආකාරයට මුදල් රැස්කර එම මුදල් කෝටි ගණනින් ගසාකන විවිධ ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව කොතරම් දැනුවත් කළත් ඒවාට හසුවන පුද්ගලයන් අඩු නොවන බවට කදිම උදාහරණයක් පසුගියදා අපගේ ලංකාදීප ප්‍රධාන පුවතින් අනාවරණය කර තිබිණි. එම පිරමිඩ ක්‍රමයේ අලු‍ත් ජාවාරමට හසුවූ පුද්ගලයන් අහිමි කරගත් මුදල රුපියල් කෝටි 800ක් පමණ බවත් රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 22000ක් පමණ එම උගුලට හසුවී ඇති බවත් එම පුවතේ සඳහන් විය.

අපගේ පුවතට අනුව මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ එක් පුද්ගලයකු සහ ඔහුගේ බිරිඳ බව සඳහන්ය. විවිධ පුද්ගලයන් බිලිබා ගැනීම සඳහා ඔවුන් යොදාගෙන තිබූ ඇම වශයෙන් සඳහන් වන්නේ රට තුළ වෙළෙඳ ප්‍රජාවක් නිර්මාණය කරන බවට ලබාදුන් පොරොන්දුවක් බවත් ඒ මුදල් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක ආයෝජනය කර ඉන් කොමිස් මුදල් ලබාදෙන බව සඳහන් කර ඇති බවත් කියැවෙයි. සිද්ධියට සම්බන්ධ  සැකකරු තමන්ට උපාධියක් ඇතැයි ප්‍රකාශ කරමින් කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික පාසලක සහ සමාගමක සභාපතිවරයා වශයෙන් පෙනී සිට ඇතැයි ද සඳහන් වේ. ඔහු තමන්ට මුදල් ලබාදුන් පුද්ගලයන්ට රුපියල් ලක්ෂ ගණන් වටිනා බව කියන අධ්‍යාපන පැකේජ ලබා දී තිබුණත් ඔවුන්ට කිසිදු ප්‍රතිලාභයක් ලබා නොදී එම මුදල් වංචා කර ඇති බවටත් චෝදනා එල්ල වී තිබේ.

ලක්ෂ ගාණක මුදලක් අතේ තිබූ පමණින් කිසිවකුටත් ප්‍රඥාව පහළ වන්නේ නැත. එසේ වෙනවා නම් මේ ආකාරයට දිනපතා හතු පිපෙන්නාක් සේ බිහිවෙන විවිධ වංචනික ආයතනවල ආයෝජනය කර මුදල් නැතිකර ගැනීමට ඔවුන් පෙළඹෙන්නේ නැත. අඩුම තරමින් සාමාන්‍ය ව්‍යවහාර බුද්ධිය හෝ තිබුණේ නම් නාඳුනන පුද්ගලයකු කිසියම් ලේඛනයක් හෝ දෙකක් හෝ පෙන්වා තමන් සමාගම් අයිතිකරුවකු යැයි ප්‍රකාශ කළ වහාම කිසිදු සෙවිල්ලකින් බැලිල්ලකින් තොරව ඔහු අතට තම මුදල් ආයෝජනය සඳහා ලබා නොදෙනු ඇත. එහෙත් හැමදාමත් විවිධ වංචනික පුද්ගලයන්ට හසුවෙන මිනිසුන් පිළිබඳ පුවත් ප්‍රසිද්ධියට පත් වුණත් ඒ තොරතුරු ඒ කනෙන් අසා මේ කනෙන් පිට කරන සමහරු තම සන්තකයේ ඇති මුදල් පමණක් නොව කන කර අබරණ පවා උකස් කොට ඒ මුදල් ද මෙවැනි හොර ජාවාරම්වල ආයෝජනය කරති. එසේ වැඩි තණ්හාවට ගොස් අතේ තිබෙන තුට්ටු දෙකටද තට්ටු කර ගනිති.

මෙහිදී වඩාත් සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ මෙවැනි ජාවාරමුන් සහ වංචනික ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාව කොතරම් දැනුවත් කළත් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොවීමට හේතු කුමක්දැයි සොයා බැලීමයි. මහ බැංකුව පුවත්පත් ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ පිරමිඩ ඇතුළු නීති විරෝධී මුදල් ගරා ගන්නා ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට පියවර ගනියි. එහෙත් ජනතාව ඒ ගැන අවබෝධ කරගන්නේ නැත. ඒ සඳහා කිසියම් හේතුවක් හෝ හේතු කිහිපයක් හෝ තිබිය යුතුය.

කාලයක සිටම මේ රටේ පිරමිඩ ආකාරයට ක්‍රියාත්මක වන විවිධ ජාවාරම් පිළිබඳ අසන්නට ලැබිණි. මේ ඇතැම් ජාවාරම් කෙළින්ම මුදල් ආයෝජනය කළ හැකි බව පෙන්වා මුදල් ගරන අතර තවත් ඒවායේ මුදල් වෙනුවට භාණ්ඩ හුවමාරුව සිදු කෙරේ. ඒවාට හසුවූ පුද්ගලයන්ට ප්‍රතිලාභ වශයෙන් කිසිවක් නොලැබිණි. පිරමිඩ ක්‍රමය යටතේ එක් එක් පුද්ගලයන්ට ඩොලර් දහස් ගණනින් ලැබුණු බවට කුවිතාන්සි ඉදිරිපත් කරන බවත් ඒවා ව්‍යාජ ලෙස සකස් කළ කූට ලේඛන බව දැනගන්නා විට එයට හසුවූ පුද්ගලයන්ගේ සේසතම එම ජාවාරමට බිලි වී අවසාන බවත් හෙළි වී තිබේ. එසේ තිබියදීත් මේ පිළිබඳ සිදු කරන දැනුවත් කිරීම් ගඟට කපන ඉනි තත්වයට වැටී තිබීම ගැන අපට ඇතිවන්නේ කනගාටුවකි.

පිරමිඩ ක්‍රමයේ ජාවාරම් ඇතුළු සියලු‍ ආකාරයේ ජනතාව මුළා කරන ‘‘ගරානා ක්‍රම’’වලට තිත තැබීමට නම් එම ජාවාරම් මෙහෙයවන පුද්ගලයන් කුමන තරාතිරමක අය වුවත් ඔවුන්ට දැඩි දඬුවම් පැමිණවීම අවශ්‍ය වන්නා සේම අතේ මුදල් තිබූ පමණින් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නීතියෙන් තහනම් කර ඇති ව්‍යාපාරවල ආයෝජනය කිරීමෙන් ජනතාව වැළකී සිටීම ද අවශ්‍යය.

(***)



අදහස් (0)

පිරමීඩ ජාවාරම්වලට ඉඩක් තියන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31251 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13427 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10981 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 84 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 920 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 276 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site