නාග බස්තමක් අතින් ගෙන මහනුවර සිට කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය වෙත පැමිණි හිමිනම හේතුවෙන් නාග බස්තම් මෙන්ම පොදුවේ බස්තම් සම්බන්ධයෙන් පුදුම එළවන සුළු කරුණු කිහිපයක්ම හෙළිදරව් කර ගැනීමට හැකි විය.
උන්වහන්සේ අත රැඳුණු නාග බස්තම ඇතැමෙකු තුළ යම් භීතියක් හෝ සැකයක් ඇති කළද, උන්වහන්සේ එය තමාගේ ගමනට අවධානය යොමු කර ගැනීම සඳහා මෙන්ම අත්වාරුවක් ලෙස ද යොදා ගන්නට ඇති බව පෙනේ.
විශේෂයෙන්ම ලෝක සාමය වෙනුවෙන් ඇමරිකාවේ සාම පාගමනක යෙදුණු වියට්නාම් ජාතික පඤ්ඤාකර භික්ෂූන් වහන්සේ අත ද දිගු යෂ්ටියක් (Walking Staff) විය. එය ස්වභාවික උණබම්බුවකින් සාදාගත් යෂ්ටියකි. ඉන්දියාවේ පාගමනක නිරත වෙද්දී උන්වහන්සේ විසින්ම එම යෂ්ටිය සැකසූ උණබම්බුව තෝරාගෙන ඇත. උණ ගසේ මුල් සවිවන කොටස ද ගෙන එය යෂ්ටියේ හිස ලෙස සකසා ගැනීම නිසා යෂ්ටියේ හිස අමුතු හැඩයක් ගෙන තිබේ. එම යෂ්ටිය රැගත් පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇමරිකානු පාගමන නිමා කිරීමෙන් පසු ඉකුත් අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ පාගමනක ද යෙදුණු සේක. නාග බස්තමක් රැගෙන පසුගියදා මහනුවර සිට කොළඹට පැමිණි රත්නපුරේ බෝධිධම්ම හිමියන් එසේ නාග බස්තමක් අත දැරීමට කටයුතු කළේ පඤ්ඤාකර හිමියන් අත දැරූ යෂ්ටිය සිහිගැන්වීමට විය හැකිය.
බෝධිධම්ම හිමියන්ගේ නාග බස්තම නිර්මාණය කළ ලී කැටයම් ශිල්පී සුරංග ජයකොඩිට අනුව මුහුණු පොතෙන් ඔහුගේ නිර්මාණ දුටු බෝධිධම්ම හිමියන් ඔහුගෙන් නාග බස්තමක් ඇණවුම් කර තිබේ. එතෙක් ඔහුගෙන් නාග බස්තම් ඇණවුම් කර තිබුණේ දේවාලයි. වරම්දරුවන් ලෙස හැඳින්වෙන දෙවියන්ගෙන් වරම් ලැබූ බව කියන අයගේ දේවාලවලින් මෙකී නාග බස්තමට හොඳ ඉල්ලුමක් ලැබී තිබේ. තම නිර්මාණය වැඩි දියුණු කරමින් පාරිභෝගිකයන්ට ලබා දීමට පේවී සිටින කලාකරුවකු වන සුරංග එම හිමියන්ගේ කඩිනම් අවශ්‍යතාවට නාග බස්තම නිමා කර ඇත්තේ එක රැයකිනි. එහෙත් එය ඔහු සිතුවාටත් වඩා අලංකාර නිර්මාණයක් වී තිබේ. ආන්දෝලනාත්මක කතාබහකට තුඩු දුන්නේ එම නාග බස්තමයි.
සුරංග ද අප සමඟ කී පරිදි මෙම නාග බස්තම් බල ගැන්විය හැකි ක්‍රම තිබේ. ඒවා සමහර ගුප්ත පරම්පරාවන්හි රහස් ලෙස රැකගෙන එන බව ඇණවුම් ලබාදුන් දේවාල හිමිකරුවන් ඔහුට පවසා තිබේ. බල ගැන්වීම සඳහා සාදන බස්තම් සඳහා කොහොඹ, සුදු හඳුන් ආදී විශේෂ ලී වර්ග ගනී. තමා නාග බස්තම් බල ගැන්වීම් නොකරන බවත් කලා නිර්මාණයක් පමණක් කරන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
සුරංග සෑදූ නාග බස්තම තරමටම උස එහෙත් ඊට වඩා වෙනස් නාග බස්තමක් අප මීට අවුරුදු නවයකට පෙර දැක ඇති බව පෙර ලිපියේ සඳහන් කළෙමු. එහෙත් මෑත කාලීනව මෙරට සංස්කෘතික කටයුතුවලදී මෙවැනි උස බස්තම් එසේ නැතිනම් යෂ්ටි බහුලව භාවිත වී ඇති බවක් නොපෙනේ. විශේෂයෙන්ම මෙවැනි උස යෂ්ටි භාවිත කරන්නේ ටිබෙට් සහ හිමාලය වැනි කඳුකර පළාත්වල වෙසෙන ජනයා, වන්දනාකරුවන් සහ කඳු නඟින්නන් විසිනි. දුෂ්කර කඳු තරණයේදී මෙවැනි දිගු සැරයටි ඔවුන්ට වාරුව ලබා ගැනීමට විශාල පිටුවහලක් වෙයි.
කෙසේ නමුත් ලෝකයේ සමහර රටවල මෙවැනි දිගු බස්තම් පූජ්‍ය පක්ෂය විසින් ආගමික සංකේත ලෙස යොදා ගන්නා ආකාරයක් ද දැක ගත හැකිය.
චීනය, කොරියාව සහ ජපානය ඇතුළු නැගෙනහිර ආසියානු බෞද්ධ රටවල ඛක්ඛර (Khakkhara) නම් විශේෂ උස බස්තමක් ප්‍රචලිතව පවතී. ලීවලින් හෝ ලෝහවලින් සාදනු ලබන මෙහි ඉහළ කොටසේ ලෝහ වළලු සවි කර ඇති අතර බස්තම සෙලවීමේදී සීනු හඬ නැඟෙයි. ජපානයේ මෙම බස්තම ෂකුජෝ (Shakujo) නමින් හැඳින්වෙයි.
එම බස්තම හුදෙක් ගමන් කිරීමට උපකාරී වන සැරයටියක් නොව, බෞද්ධ භික්ෂුවකගේ ආගමික අනන්‍යතාව, අවිහිංසාව සහ කරුණාව සංකේතවත් කරන උපකරණයක් ලෙස දැක්වෙයි. ගමනේදී පයට පෑගෙන සතුන් සීනු හඬින් ඉවත්වීම නිසා උන්ගේ ජීවිත බේරීම මෙන්ම තම පැමිණීම නිවෙස්වලට දැනුම් දීමත් මෙමඟින් සිදුවෙයි.
ටිබෙට් කන්ග්යුර් ග්රන්ථ සම්ප්රදායේ එන තොරතුරු අනුව බුදුරජාණන් වහන්සේ සහ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අතර ඇතිවන සංවාදයක් මඟින් මෙම බස්තමේ ආගමික වැදගත්කම පැහැදිලි කර තිබේ. එහෙයින් මෙම දිගු බස්තමෙහි ආගමික සහ ඓතිහාසික වටිනාකමක් ගැබ්ව ඇත. භික්ෂූන්ට මෙම බස්තම රැගෙන යන ලෙස බුදුන් වහන්සේ උපදෙස් දුන් බව මහායානයේ එන 'Sutra on the Ringing Staff' සූත්‍රයේ සඳහන්ය. ධර්ම මාර්ගය සිහිපත් කරවන සංකේතයක් වන මෙම සීනු බස්තම තුන්කාලයටම අයත් බුදුවරුන් විසින් භාවිත කරන බව ද එහි කොටස් ධර්ම කාරණා සමඟ අරුත් ගන්වා ඇති බව ද එම සූත්‍රයේ දැක්වෙයි.
මහායාන බුදු දහමේ පමණක් නොව ක්‍රිස්තියානි පූජකවරුන් අතරත් තමන්ගේ ශරීර උසට ආසන්න හෝ ඊටත් වඩා දිගු බස්තම් භාවිත කිරීමේ ඉතා පැරණි සම්ප්රදායක් තිබේ. එම බස්තම් ක්‍රොසියර් (Crosier) හෙවත් බිෂොප්වරයකුගේ එඬේර දණ්ඩ ලෙස හඳුන්වයි. මධ්‍යකාලීන යුගයටත් පෙර ආරම්භ වූ සම්ප්රදායක් වන මෙම ක්‍රොසියර් මුල්ම කාලයේ ලීවලින් නිර්මාණය වූ අතර පසුව රන්, රිදී, ඇත්දළ සහ වෙනත් වටිනා දෑ යොදා නිර්මාණය කර ඇත. ක්‍රොසියර් බස්තමෙන් බිෂොප්වරයකුගේ තනතුර සහ වගකීම නිරූපණය කරන බව පිළිගැනේ.
ක්‍රොසියර් දණ්ඩේ ඉහළ කොටස සාමාන්‍යයෙන් බැටළු එඬේරෙකුගේ සැරයටියක් මෙන් වක්‍රව ඇති අතර ඇතැම් විට සර්පයකු මෙන් ද සැකසී ඇත. ඇතැම් බස්තම්වල කුරුසියක් ද සමහර ඒවායේ සත්ව රූප සහ අලංකාර කැටයම් ද ඇත. සාමාන්‍ය ඇවිදීමේ සැරයටියක් නොවන මෙම බස්තමින් නිරූපණය කෙරෙන්නේ බිෂොප්වරයා තමන්ගේ ආගමික ප්‍රජාව රැකබලා ගන්නා එඬේරකු බවයි.
මේ අතර නැගෙනහිර ඕතඩොක්ස් ක්‍රිස්තියානි සභාවේ බස්තම නාගයන් දෙදෙනකු සහිතව විශේෂත්වයක් ගනී. සර්පයන් දෙදෙනා මැද කුරුසියක් ඇති අතර ඇතැම් නිර්මාණවල සර්පයන්ගේ හිස් කුරුසිය දෙසට යොමු වී ඇත. ග්‍රීක ඕතඩොක්ස් සභාවේ නිල තොරතුරු අනුව එය මෝසෙස් විසින් කාන්තාරයේ ඔසවන ලද ලෝකඩ සර්පයා සිහිපත් කරන ඓතිහාසික සංකේතයකි.
බෝධිධම්ම හිමියන් රැගෙන වැඩි ආකාරයේ උස බස්තම් සම්බන්ධයෙන් ආගමික සබඳතාව මෙසේ හෙළිදරව් වෙද්දී, වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල ලාංඡනය ද ඉහත කී සර්ප සැරයටි සංකේතය දරන බව කිව යුතුව ඇත.
බස්තම උස වූවාට හෝ එය අපේ සංස්කෘතික වටපිටාව තුළ බහුල නොවූවාට බිය විය යුතු නොවන බව ඉහත විස්තරයෙන් පෙනෙන හෙයින් දැන් නාග රූප සහිත බස්තම් ගැන සොයා ගත හැකි විස්තර බලමු.
බුරුමයේ උතුරු කඳුකර පෙදෙස්වල ජීවත්වන නාග ජනවර්ගයට අයත් භික්ෂූන් අතර බස්තම් භාවිතයක් තිබේ. එසේම දකුණු ඉන්දියාවේ නාගයන් වෙලී සිටින හෝ නාග හිස් ඇති බස්තම් භාවිත වෙයි. මොංගෝලියානු ශාමන්වරු ලෙස හඳුන්වන පූජක පක්ෂය 'Tayak' ලෙස හඳුන්වන බස්තම් වර්ගයක් පාවිච්චි කරති. ඒවාට අශ්ව හිසක් ඇති අතර චාරිත්‍රයක් මඟින් බස්තමට ජීවය ලබා දී ඇතැයි විශ්වාසයක් ඔවුන් අතර පවතී.
අපගේ ප්රස්තුතය වන ලී හෝ වෙනත් ලෝහයකින් තැනූ අතේ රැගෙන යන මෙකී දණ්ඩ ලොව සෑම රටකම ජන ප්‍රජාවන් අතර භාවිත වූවක් මෙන්ම අද ද භාවිත වන්නක් බව පෙනේ. අප රටේදී එය සැරයටිය, අත්වාරුව, යෂ්ටිය, බස්තම ආදී නම්වලින් හැඳින්වෙයි. බස්තම් (Bastam) හෙවත් බස්තෝ (Bastao) යන්න පෘතුගීසි භාෂාවේ අත්වාරුව යන අදහස දෙන වදනකි. එහෙත් පෘතුගීසීන්ගේ පැමිණීමට පෙර සිටම අප රටේ ද බස්තම් හෙවත් සැරයටි භාවිත කර ඇත.
ලෝකයේ කොතැන වුවත් බස්තම වයස්ගත වූවකුට සිරුර වාරු කර ගැනීමට හෝ අස්ථි භග්නයක් හෝ පාදවල වෙනයම් ගැටලුකාරී තත්ත්වයකදී පිහිටක් කර ගත්තක් පමණක්ම නොවන බව පෙනී යයි. විශේෂයෙන්ම බස්තම් වෛද්‍ය කර්මය හෙවත් වෙදකමේදී ද යොදා ගත් බවට සාක්ෂි ලොව පුරා පවතී.
මෙරට දේශීය වෙදකම තුළ බස්තම් වෙදකමක් තිබුණු බව නම හෙළි කිරීමට අකැමැති පුරාණ වෙද පරම්පරාවක සාමාජිකාවක් අප සමඟ කියා සිටියාය. ගස් වෙදකම ලෙස හඳුන්වන කැඩුම් බිඳුම් වෙදකම සඳහා විවිධ හැඩයේ සැරයටි භාවිත කිරීමේ වෛද්‍ය ක්‍රමයක් ඔවුන් සතුය. ඔවුන් මේවා පිළිබඳ වීඩියෝවක් ප්‍රචාරය කිරීමෙන් පසු වංචාකාර වෙදකු මුදල් ගැරීම සඳහා එම ක්‍රම අනිසි ආකාරයෙන් භාවිත කරන බවත් ඉන් රෝගීන් විපතට පත්වන බවත් දැක එම ක්‍රම ප්‍රසිද්ධ කිරීම නවතා දැමූ බව ද ඇය කීවාය. විශේෂයෙන්ම ඔවුන්ගේ බස්තම් අතර ඇති නයි පෙනයක් සහිත බස්තම කොඳු ඇට පෙළේ ඇතිවන වෙනස්වීම් යළි සකසා ගැනීමට යොදා ගනී. මෙවැනි වටිනා ශාස්ත්‍රයන් අනාගතය කරා රැගෙන යාමට බාධාවක් වී ඇත්තේ ද මිනිසාගේම අවභාවිතය බවට මෙය කදිම නිදසුනකි.
තවත් විශේෂ කාරණයක් නම් පරම්පරා දෙකකට පමණ පෙර අප රටේ සිටි සමහර දේශීය වෙද මහතුන් අත තිබූ සැරයටිවල කුඩා ඖෂධ ගබඩාවක් තිබීමයි. එය සැරයටි මිට කරකවා විවර කර ගත හැකි ලෙස හෝ සැරයටි කඳ කොටසේ කුඩා ලාච්චුවක් සහිතව සැකසූවක් විය. එහි පරිස්සමට ඖෂධ ගුලි හෝ කල්ක ආදිය ගබඩා කරගෙන තම ගමන යාමටත් මහමඟ හමුවන හදිසි රෝගීන් සුවපත් කිරීමට යොදා ගැනීමටත් ඔවුන් හුරු පුරුදු වී සිටියහ.
බටහිර වෛද්‍ය ශාස්ත්‍රය තුළ නාගයන් එතුණු සැරයටියට විශේෂ තැනක් තිබූ බව පෙනේ. වෛද්‍යවරුන් භාවිත කළ එවැනි නාග හෝ සර්ප රූප සහිත බස්තම් ඒ ඒ රටවල කෞතුකාගාර තුළ අදටත් සුරක්ෂිතය. උදාහරණයක් ලෙස 1850-1910 කාලය තුළ එංගලන්තයේ වෛද්‍යවරයකු භාවිත කළ බස්තමක් බ්‍රිතාන්‍ය වෛද්‍ය කෞතුකාගාරයේ ඇත. එහි ඇත්දළ මිටේ අතකින් සර්පයකු අල්ලාගෙන සිටින අතර එම සර්පයා බස්තම වටා වෙලී සිටින අයුරකින් එය නිමවා තිබේ.
වෛද්‍ය විද්‍යාව සහ සර්පයන් අතර විශේෂ සබඳතාවක් පවතින බව ද මේ පිළිබඳ විමසීමේදී පෙනී යන්නකි. පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය තුළ වෛද්‍ය විද්‍යාවට, සුව කිරීමේ කලාවට සහ සෞඛ්‍යයට අධිපති දෙවියන් ලෙස හැඳින්වෙන ඇස්ක්ලේපියස් (Asclepius) ගේ අතේ ඇත්තේ ද සර්පයකු වෙලී ගත් සැරයටියකි. 'Rod of Asclepius' යනුවෙන් හැඳින්වෙන එම බස්තම නූතන බටහිර වෛද්‍ය විද්‍යාව තුළ බෙහෙවින් භාවිත වන සංකේතයක් බවට පත්ව ඇත. ග්‍රීක දෙවිවරුන් අතර ප්‍රධාන දෙවියකු වූ ඇපලෝ මනුෂ්‍ය කාන්තාවක විවාහ කරගෙන සිටි අතර ඔවුන්ට ලැබුණු දරුවා වන ඇස්ක්ලේපියස් මළවුන් පවා සුවපත් කර නැඟිටවීමට සමර්ථ වූවකු බව කියැවෙයි.
පෘතුගීසි ඇඳුම් ආයිත්තම් සමඟ බස්තම් මෙරටට පැමිණීමට පෙර සිටම ශ්‍රී ලංකාවේ ප්‍රභූවරුන් නොයෙකුත් කැටයමින් සහ රන් රිදී මැණික් එබ්බවූ බස්තම් භාවිත කර ඇත. විශේෂයෙන්ම මහනුවර යුගයේදී රජවරුන් මෙන්ම ප්‍රභූවරුන් ද සැරයටි භාවිත කර ඇති බවට ඉතිහාසගත සාක්ෂි පවතී. පසුගිය සමයක ජාතික කෞතුකාගාරය බිඳ සොරාගත් භාණ්ඩ අතර තිබූ නුගේවෙල අදිකාරම්ගේ සැරයටිය ද සොරුන් ගෙන ගොස් තිබිණි. එම සැරයටිය සොයා ගනු ලැබුවද ඒ වන විටත් එහි ඔබ්බවා තිබූ මැණික් ගලවා ගෙන තිබූ බව වාර්තා වී තිබේ. විශේෂයෙන්ම දෙවැනි රාජසිංහ රජු සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය ඇඳුම් පැළඳුම් අතර ද සැරයටි දක්නට ලැබේ.
කෙසේ වුවද රාජ්‍ය කකුධ භාණ්ඩ අතරට සැරයටිය ඇතුළත් වන බවක් නොපෙනේ. එසේ වූවත් මෙරට රජවරුන් රාජ්‍ය යෂ්ටියක් නොහොත් ජයකොන්තයක් භාවිත කර ඇති බව වංශකතාවලින් පෙනී යයි. මෙවැනි රාජ්‍ය යෂ්ටි ලොව බොහෝ රටවල ද රජුන් අත වූයේ රාජ්‍යත්වයේ බලය සංකේතවත් කිරීමටය. එහෙත් සැරයටිය හෝ බස්තම මෙන් රාජ්‍ය යෂ්ටිය බිමට අනිමින් ගමන් නොකරන අතර රජු එය සිය අතේ දරා සිටී. දුටුගැමුණු රජු අත දරා සිටි ජයකොන්තය මිරිසවැටියේ නිධන් කළ බව වංශකතාවල දැක්වෙයි.
වඩාත් කුතුහලයක් ඇති කරන්නා වූ කරුණ වන්නේ මෙවැනි බස්තම්, යෂ්ටි සහ ජයකොන්ත බල ගැන්විය හැකි ගුප්ත ශාස්ත්‍ර ක්‍රමවේදයන් පවතින බවය.
මාතර පාරම්පරික ගුප්ත ශාස්ත්‍ර පරපුරකින් පැවත එන පුහුල්වැල්ලේ සුසිල් ප්‍රේමචන්ද්‍ර මහතා පැවසුවේ නාග බස්තම පමණක් නොව ඕනෑම බස්තමක් බල ගැන්වෙන මන්ත්‍ර ශාස්ත්‍ර අතීතයේදී පැවතුණද ගුරු මුෂ්ටි පවත්වාගෙන යාම හේතුවෙන් ඒවා මේ වන විට යටපත් වී ඇති බවයි. සැරයටි, බස්තම් බල ගැන්වීමට ඒවා විශේෂ ලීවලින් සැකසිය යුතුය. ඒ මහතාට අනුව බස්තම් සහ සැරයටි ලෙස බොහෝ විට භාවිත කර ඇත්තේ කළුවර, ඇට්ටේරිය, මල් බුරුත, ගජ මදාරා ආදී ඖෂධීය ගුණයෙන් යුත් ලී අරටුයි. ශරීර සුවතාවට වැදගත් වන එමෙන්ම නොයෙකුත් දෙවිවරුන් සහ නව ග්‍රහයන්ගේ ආකර්ෂණය පවතින ගස් ඇති අතර අවශ්‍යතාව අනුව එම ගස්වල ලී දඬුවලින් සැරයටි සෑදීම අතීතයේදී කෙරිණි. එසේම වෙනත් යන්ත්‍ර මන්ත්‍රාදී ගුප්ත ශාස්ත්‍රයට ද මෙම ලී සැරයටි භාවිත කර ඇත. තවමත් මන්ත්රාචාර්යවරුන් සොරුන් හෝ සොර බඩු සොයා ගැනීම ආදී කටයුතු සඳහා කනප්පු කරකැවීම කරන අතර මෙම කනප්පු නිර්මාණය කිරීමට යොදා ගන්නේත් කළුවර දැවයයි. සමහර අසාධ්‍ය රෝගීන් සඳහා ඇඳ කකුලක ඖෂධ බැඳීමේ වෙදකමක් ද තිබූ අතර එවැනි කටයුතු සඳහා ඇඳ සකසා ගන්නේ ඒ රෝගියාට සහ රෝගයට ගැළපෙන්නා වූ ලී වර්ගයකිනි. එසේම මන්ත්‍ර ශාස්ත්රයේදී යකුන් සහ දෙවියන්ගෙන් වැඩ ගැනීමට ද විශේෂ ලී වර්ගවලින් සෑදූ සැරයටි භාවිත කිරීමේ ශාස්ත්‍රයක් අතීතයේදී පැවතී ඇත.
යන්ත්‍ර මන්ත්‍රාදී ශක්තීන් භාවිත කරමින් ගුප්තමය පැත්තෙන් වැඩ ගැනීමට බස්තම් සැකසීම සම්බන්ධයෙන් අතීත තොරතුරු වෙනත් රටවලින් ද වාර්තා වෙයි.
ගුප්ත ශාස්ත්රාචාරිනී චාන්දනී දීපිකා මහත්මියට අනුව ද විශේෂ ලී වර්ගවලින් කළ බස්තම් බල ගැන්වීමේ ක්‍රමවේදයන් ඇත. කෙසේ නමුත් ඇය කියන්නේ බෝධිධම්ම හිමියන් රැගෙන ආ නාග බස්තම අපගේ සංස්කෘතිය තුළ පැවති නාග බස්තමක් නොවූ බවයි. දුටුගැමුණු රජ කාලයේ නාග බස්තම් භාවිතයක් තිබුණා වුවද එසේ භාවිත කළ නාග බස්තම් මෑතකදී දුටු ආකාරයේ නාග බස්තම් නොවන බව තම වැටහීම බව ඇය කියයි.
කෙසේ වුවද බස්තම් සහ හැරමිටි ගැන ඉහත දැක්වූ කරුණු කාරණා ඇසුරින් සහ ප්‍රවීණ මාධ්‍යවේදිනී විජිතා ලියනගේ මහත්මිය ඇතුළු හිතවතුන් සමඟ කළ කතාබහ තුළින් අපට පැමිණිය හැකි නිගමනය වන්නේ නාගයන් සහ ජන සමාජය අතර යම් ආකාරයක අතීත සබඳතාවක් තිබිය හැකි බවයි. එසේම බස්තම් හෙවත් සැරයටි ජන සමාජය තුළ විවිධ අරමුණු සඳහා භාවිත කළ බවයි. එය තම ප්‍රභූත්වය පෙන්වීමට, සමාජ බලය පෙන්වීමට, තමාට ගුප්තමය හැකියාවන් ඇති බව පෙන්වීමට සහ නැති බලයක් ආරෝපණය කරගනිමින් සමාජයේ අවධානය දිනා ගැනීමට සහ තමා අවට සිටින්නන් තමා කෙරෙහි බය පක්ෂපාතකමක් ඇති කරගැනීමට ද යොදා ගෙන ඇති බවයි.
නයනී තමාරා ( I J)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd