
අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේගේ 11 වැනි ගුණසමරුව නොවැම්බර් මස 08 වැනි දිනට යෙදී ඇත. මුළුමහත් ජාතියම කම්පනයට පත්කරමින් උන්වහන්සේ අපවත් වූයේ 2015 නොවැම්බර් මස 08 වැනිදාය. එදා මෙදා තුර ගෙවුණු කාලය පුරාවටත් වඩා අද දවසේ උන්වහන්සේ අපට වැදගත් වන්නේ රටක් ලෙස අද අප මුහුණ දෙමින් සිටින සමාජ, දේශපාලනික හා ශාසනික අභියෝග හමුවේ ඒවාට සබුද්ධික ලෙස මුහුණ දිය හැකි යතිවර නායකත්වයක් රට ඉල්ලා සිටින තත්ත්වයක් පැහැදිලිවම දක්නට ඇති බැවිනි.
අතීත ලංකාවේ රජවරුන් භූමිය පාලනය කළ පාලකයන් පමණක් නොවේ. බුදු දහමේ අනුශාසනා පදනම් කරගෙන සමාජීය සාමය, යුක්තිය සහ සදාචාරය තහවුරු කිරීමට උත්සාහ කළ පිරිසක් ද වූහ. රාජ්‍යය අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවල මහා සංඝරත්නය අර්ථයෙන් සහ ධර්මයෙන් අනුශාසනා කිරීම මෙන්ම සෘජුව මැදිහත් වෙමින් ද කටයුතු කළහ. දුටුගැමුණු රජු හා තිස්ස කුමරු අතර ඇති වූ විරසකය සමනය කිරීම මෙන්ම යටත් විජිත සමයේ සහ ඉන් පසුව උන්වහන්සේලා කළ කාර්යභාරය ද ඒ සඳහා උදාහරණ වේ.
එහෙත් වර්තමානයේ සංඝ සමාජය සහ ගිහි සමාජය අතර මෙන්ම මහා සංඝරත්නය අභ්‍යන්තරයේ ද බෙදීම් හා පරස්පර විරෝධී අදහස් දක්නට ලැබේ. මහා සංඝරත්නයට සහ බුදු දහමට බාහිරින් එල්ල වන අපහාස මෙන්ම දේශපාලනික හා වෙනත් අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා බුදු දහම යොදාගැනීම බෞද්ධයන් ලෙස අප තුළ ඇති කරන්නේ දැඩි සංවේගයකි. සංඝ සමාජයේ ඇතැම් පිරිස්වල නොමනා හැසිරීම් සහ බෙදීම් හේතුවෙන් ජනතාව පන්සලෙන් දුරස් වීම ද කනගාටුවට කරුණකි. එමඟින් දරුවන්ගේ හා තරුණයන්ගේ ආගමික සම්බන්ධතාව දුර්වල වීම හේතුවෙන් මත්ද්‍රව්‍ය හා විවිධ දුරාචාරයන්ට ගොදුරු වීමේ අවදානම ඉහළ යාම, දෙමාපියන් හා දරුවන් අතර දුරස් වීම සහ මානසික නිවීම අහිමි වීම වැනි සමාජ ගැටලු තවත් තීව්ර විය හැකිය. වර්තමානයේ මෙම ගැටලුව ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.
අද දවසේ ද සංඝ සාමග්‍රිය ආරක්ෂා කරගනිමින් රටේ පොදු යහපත උදෙසා රජය, විපක්ෂය, මහජනතාව සහ මහා සංඝරත්නය එක්ව කටයුතු කළ යුතුය. ඒ සඳහා අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ලබන මහා යතිවරුන් පෙරමුණ ගත යුතුව තිබේ. ඒ සඳහා පෙරමඟ සකසන නායකත්වයක් රටට අත්‍යවශ්‍ය වී තිබේ. මාදුළුවාවේ සෝභිත නායක මාහිමියන් පිළිබඳව අපට සිහිපත් වන්නේත් උන්වහන්සේ සිදුකළ අමිල මෙහෙවර රටට වැදගත් වන්නේත් එබැවිනි.
මාදුළුවාවේ සෝභිත නායක මාහිමියන් රටේ ජාතික වශයෙන් වැදගත් වන්නා වූ ඕනෑම ප්‍රශ්නයක් හමුවේ රට, ජාතිය හා ශාසනික අවශ්‍යතා පෙරට ගෙන අභීතව පෙනී සිටි යතිවරයන් වහන්සේ නමකි. උන්වහන්සේ සිය ශිෂ්‍ය අවධියේ සිටම එකී ගුණය ප්‍රවර්ධනය කරගත් අයෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයට නායකත්වය දෙමින් ආරම්භ කළ එකී මෙහෙවර උන්වහන්සේ අපවත් වන තුරුම අඛණ්ඩවම පවත්වා ගත්තකි.
උන්වහන්සේගේ සමාජ, දේශපාලනික මැදිහත්වීම කිසිවිටෙක බලය සඳහා හෝ තනතුරු, තාන්න මාන්න උදෙසා හෝ නොවීය. එනිසාම ධනය උදෙසා ද නොවීය. සිය දායක කාරකාදීන්ගේ සිවුපසයෙන් යැපුණු, ඒ ශක්තිය නිසාම ඕනෑම බලවතකු ඉදිරියේ නොනැමුණු සෝභිත හිමියෝ සැමවිටකම ගරු කරන ලද්දේ සිය ශාසනික සම්ප්‍රදායන්ටය. විද්‍යාලංකාර මඟපෙන්වීම් අනුව යමින් තම බලය සඳහා නොව පරහිතකාමී දැක්ම මූලික කරගත් ජාතිකත්ව පාදමින් ශක්තිමත් දේශපාලන දැක්මක් උන්වහන්සේ සතු විය.
රටක පැවැත්ම බලයම මූලික කරගත්තක් නොවිය යුතු බව ද ආචාරධාර්මික මනුෂ්‍යයන්ගෙන් සමන්විත සදාචාර සමාජයක් පදනම් කරගත් එකක් විය යුතු බව තරයේම විශ්වාස කළ සෝභිත හිමියෝ ඒ සඳහා තරුණ පරම්පරාව දැනුවත් කරමින් ඊට දායක කරගත යුතු බව සැමවිටම අවධාරණය කළහ. තරුණ අමද්‍යප සංවිධානයට නව පුනර්ජීවනයක් ලබා දෙමින් සිදුකළ සමාජ මෙහෙවර එයට නිදසුන්ය. එමෙන්ම ගුණවත් මෙන්ම නැණවත් සමාජයක් දක්නා වූ රිසියෙන් ඒ සඳහා ජනමනස පෝෂණය කරනු පිණිස ගමින් ගම, නගරයෙන් නගරය සිසාරා වැඩම කරමින් විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේ නමක ලෙස උන්වහන්සේ සිදුකරන ලද දහම් පාරමිතාව අතිශයින්ම ගරු කටයුතුය.
මාදුළුවාවේ සෝභිත නාහිමියන් වහන්සේගෙන් දැකගත හැකි වූ තවත් එක් විශේෂ වූ ගුණාංගයක් වන්නේ උන්වහන්සේ සතු වූ උජුපටිපන්න බවයි. සිය සමාජ හා දේශපාලන දැක්ම තුළ අහිංසාවාදී හා ප්රජාතන්ත්රවාදී භාවිතයක උන්වහන්සේ සැමවිටකම කටයුතු කළ ද ඇතැම් අවස්ථාවන්හිදී ඊට ප්‍රතිචාර ලැබුණේ අතිශය බිහිසුණු ආකාරයටය. මානසිකව ප්‍රහාර එල්ල කිරීම අරමුණු කරගනිමින් ලද මඩ ප්‍රහාරවලින් නොනැවතී ශාරීරිකව ප්‍රහාර එල්ල කිරීමට ගනු ලැබූ අවස්ථා ඉදිරියේදීත් උන්වහන්සේ ඝාතනය කිරීමේ අරමුණින්ම සිදුකර ඇති සාහසික ක්‍රියාදාමයන් හමුවේත් නොසැලී නොබියව ඒවාට මුහුණ දීමේ දැවැන්ත ශක්තියක් උන්වහන්සේ සතුව තිබිණි. 1987 මැයි 01 දා නාරාහේන්පිට අභයාරාමයේදී මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ රැස්වීමේ ප්‍රධාන කථිකයා ලෙස සහභාගී වෙමින් සිටියදී එල්ල වූ වෙඩි වර්ෂාව මැද මෙන්ම ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙරදා පිටකොටුවේ බෝධීන් වහන්සේ ඉදිරිපිට පැවැති සත්‍යග්‍රහයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරය හමුවේත් උන්වහන්සේ ප්‍රකට කළ අධිෂ්ඨානශීලී පිළිවෙත එයට නිදසුන්ය.
බෞද්ධ භික්ෂුවක සතුව පැවැතිය යුත්තේ සටන්කාමී අධිෂ්ඨානශීලී බව පමණක් නොව ශාසනික සම්ප්රදාය තුළ පෝෂණය කරගත් යතිවර ගුණය තුළ පවත්නා ඉදිරිගාමී සමාජ දැක්ම බව මෑත යුගයේ අප හමුවේ ප්‍රකට කළ ප්‍රමුඛතම යතිවරයාණන් වහන්සේ නමක් ලෙසට ද මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන් හඳුනාගත හැකිය. උන්වහන්සේට අනන්‍ය වූ සමාජ හා දේශපාලන දැක්මක් වූ අතර එය සැමවිටකම ප්රගතිශීලී හා ඉදිරිගාමී විය. පටු බල දේශපාලනය ඉක්මවූ රටේ අනාගතය යහපත් වනු දැකීමේ උදාර අපේක්ෂාව ඒ තුළ විය. ප්රජාතන්ත්රවාදී සාරධර්ම මත පදනම් වූ හර පද්ධතියක වැඩෙන අනාගත ශ්‍රී ලංකාවක් පිළිබඳ අපේක්ෂාව තුළ ක්‍රියා කළ උන්වහන්සේ එහිදී එරෙහි වූවේත්, එකඟ වූවේත් පුද්ගල සාධකයන්ට නොවේ; ක්‍රියාවන්ට හා ප්‍රතිපත්තිවලටය. එහිදී උන්වහන්සේ මේ රටේ ගැඹුරු සමාජ, දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් වෙනුවෙන් අධිෂ්ඨානශීලීව පෙනී සිටියේය. ඒ සඳහා මුළුමහත් සමාජයම දිරිගැන්වූයේය. එවන් මාවතක පිහිටා කටයුතු කිරීම භික්ෂූත්වයේ කාලීන වගකීම වන බව සිය ජීවිතය තුළින්ම ප්‍රකට කළේය.
රටේ මතු යහපත පිණිස අද අප අපේක්ෂා දල්වාගෙන සිටින්නේ මාදුළුවාවේ සෝභිත හිමියන් ගත් මඟ අනුගමනය කරන්නා වූ යතිවර නායකත්වයන් කෙරෙහිය. රටේ ද සම්බුද්ධ ශාසනයේ ද සෑම ජාතියකට හා ආගමකටම අයත් රටේ සමස්ත පුරවැසියන්ට ද යහපත් අනාගතයක් නිර්මාණය කරනු වස් ඒ අපේක්ෂාව ඉතා වැදගත්ය.
ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd