වත්මන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය විවිධ ගැටලු‍, ව්‍යුහාත්මක අර්බුද සහ අභියෝග රැසකට මුහුණ දී සිටින්නේ යැයි ද එය රටේම අවධානය යොමු විය යුතු කාලීන අවශ්‍යතාවක් යැයිද පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සමඟ සිදුකළ සාකච්ඡාවයි මේ.

Q රෝහල්වල පවතින අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය සමනය කිරීමට වෛද්‍ය සංගමය ලෙස ඔබ ලබා දුන් විසඳුම් මොනවා ද? ඒ සඳහා ආණ්ඩුවේ ප්‍රතිචාරය කෙබඳු ද?

ඖෂධ හිඟය අපේ රෝහල් පද්ධතිය තුළ වැඩි වශයෙන් පැවැති දෙයක්. එහි නරකම තත්ත්වය දැක්කේ 2023 අවුරුද්දේ. නමුත් ඊට වඩා ධනාත්මක තැනක් මේ මොහොතේ තියෙනවා. ඒත් තාමත් ඇතැම් ස්ථානවල ඖෂධ සහ උපකරණ හිඟය හේතුවෙන් යම් යම් ප්‍රතිකාර සිදු කිරීමේදී සහ ශල්‍යකර්ම සිදු කිරීමේදී ගැටලු‍වලට මුහුණ දීමට සිදු වෙනවා. මෙහිදී එක හේතුවක් තමයි සැබවින්ම අදාළ ඖෂධය පද්ධතිය තුළ හෝ රෝහල තුළ නොමැතිකම. නමුත් සමහර අවස්ථාවලදී අප දකිනවා ඖෂධය මධ්‍යම බෙහෙත් ගබඩාවේ හෝ දිස්ත්‍රික් ගබඩාවේ තිබුණත් අදාළ රෝහලේ නැහැ. එවිට එක පැත්තකින් ඖෂධ හිඟය තියෙනවා, අනෙක් පැත්තෙන් තොග කළමනාකරණය සහ බෙදාහැරීමේ ප්‍රශ්න නිසා එය තවත් උග්‍ර වෙනවා.

මේ ඖෂධ හිඟය සම්බන්ධයෙන් තිරසාර වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි දිගටම යෝජනා ලබා දී තියෙනවා. එක් එක් අංශ අතර සම්බන්ධීකරණයක් නැහැ. පද්ධතිය තුළ වංචා, දූෂණ, විෂමාචාර වැනි දේ දැකගන්න පුළුවන්. මෙවැනි අකටයුතුකම් දුරු කරන තුරු පද්ධතිය තුළ මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙන්නේ නැහැ.

එම නිසා ආණ්ඩුව, අමාත්‍යවරුන් හෝ ජනාධිපතිවරුන් වෙනස් වුණත් අපි ඉන්නේ එකම ස්ථාවරයේ. රාජ්‍ය රෝහල් පද්ධතිය හරහා ජනතාවට ගුණාත්මක ඖෂධ අවශ්‍ය ප්‍රමාණයෙන් හැම මොහොතෙම ලැබිය යුතුයි. සංගමය කළ ඇතැම් යෝජනා ක්‍රියාත්මක වී තියෙනවා. නමුත් ඇතැම් යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැහැ; 

Q ඖෂධ හිඟයක් පවතින්නේ කුමන රෝග සඳහා ද?

මෙම ඖෂධ හිඟය සමස්තයක් ලෙස ප්‍රතිජීවක ඖෂධවල තියෙනවා. මීට අමතරව අධි රුධිර පීඩනය, ප්‍රසව හා නාරීවේදී කටයුතු සඳහා ලබා දෙන හෝමෝන ඖෂධවල හිඟයක් තිබුණා. අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි බෝ නොවන රෝග සඳහා ලබා දෙන ඖෂධවල හිඟයක් අප දකිනවා.

ඒ වගේම ශල්‍යකර්මවලදී භාවිත කරන මැහුම් උපකරණ වැනි ශල්‍ය උපකරණවල හිඟයක් තියෙනවා. 

අප විශ්වාස කරන්නේ ඖෂධ අඛණ්ඩව පද්ධතිය තුළට අවශ්‍ය ප්‍රමාණවලින් සැපයිය යුතු බවයි. සෞඛ්‍ය පද්ධතියට ඕනෑ තරම් මුදල් වෙන් කරනවා. එතකොට ඒ මුදල්වලින් කළ යුතු ප්‍රමුඛතම කාර්යය තමයි ඒක. එහෙම නැතිව කොපමණ මුදල් දුන්නත් මා කලින් කී කාරණා විසඳෙන්නේ නැත්නම් රෝගීන්ට ඖෂධ ටික ලබා දෙන්න බැහැ. ඖෂධ සම්බන්ධයෙන් නිකුත් වී ඇති විගණකාධිපති වාර්තා ගණනාවකම කියන්නේත් පද්ධතියේ සම්බන්ධීකරණ ගැටලු‍, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අකාර්යක්ෂමතාව, විෂමාචාර, නාස්තිය සහ තොග කළමනාකරණයේ ගැටලු‍ තියෙන බවයි. මේවා නොවිසඳා ඖෂධ ගැටලු‍ව විසඳන්න බැහැ.

Q ඖෂධ හිඟයට පිළියම් ලෙස ගෙන්වන ඇතැම් ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව ජනතාව තුළ බියක් පවතිනවා. රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සංගමය මැදිහත් වන්නේ කෙසේ ද?

ඖෂධවල ප්‍රමිතිය කියන කාරණය ගැන කාලෙන් කාලෙට විවිධ ගැටලු‍ මතු වන අවස්ථා අප දකිනවා. ඖෂධ අර්බුදයත් සමඟ විශේෂයෙන් හදිසි මිලදී ගැනීම් නිසා ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විශාල ගැටලු‍ මතු වුණා. පසුගිය වසරේ අගභාගයේ ඉන්දියාවෙන් ආනයනය කළ ඖෂධයක විෂබීජ ආසාදනයක් තිබීම නිසා රෝගීන් ගණනාවකට ගැටලු‍ ඇති වුණා; ඖෂධ ගණනාවක් ඒ සමාගමෙන් තහනම් කළා.

ලංකාවේ ඖෂධවල ප්‍රමිතිය තහවුරු කිරීමේ වගකීම තියෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියටයි. මේ මොහොතේ අපට තියෙන ගැටලු‍ව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට යටත්ව ජාත්‍යන්තර මට්ටමේ ඖෂධ තත්ත්ව නියාමන විද්‍යාගාරයක් අපේ රටේ නැතිකම. රට තුළට එන ඖෂධ සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක් කරන්න අවශ්‍ය පහසුකම් මෙහි නැහැ. ඒ නිසා කළ යුතු වැදගත්ම කාර්යය තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ජාත්‍යන්තර ප්‍රමිතිය සහිත ඖෂධ තත්ත්ව නියාමන විද්‍යාගාරයක් රට තුළ ස්ථාපිත කිරීම. ඒ සඳහා අපි අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ රජයන්ගෙන් ඉල්ලීම් කරනවා.

Q ශල්‍යකර්ම සහ පරීක්ෂණ  සඳහා පවතින දීර්ඝ පොරොත්තු ලේඛන සහ ප්‍රමාදයන් අවම කිරීමට සංගමයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ?

පොරොත්තු ලේඛන ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ සංකීර්ණ ශල්‍යකර්මවලට මෙන්ම MRI, CT scan  සහ පිළිකා රෝගීන්ට සිදු කරන PET scan  වැනි පරීක්ෂණ සඳහායි. මෙහිදී පොරොත්තු ලේඛන ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ අවශ්‍ය තරම් පහසුකම් නොමැති වීමයි. පවතින CT  යන්ත්‍ර ගණන ප්‍රමාණවත් නැහැ. MRI  යන්ත්‍ර ඇත්තේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඊළඟට හෘද ශල්‍යකර්ම, ස්නායු හා මොළය ආශ්‍රිත ශල්‍යකර්ම කළ හැකි මධ්‍යස්ථාන ප්‍රමාණය සීමිත නිසා ඒවායේ විශාල පොරොත්තු ලේඛනයක් තියෙනවා.

එක පැත්තකින් පහසුකම් පුළුල් කරන අතරේ මානව සම්පත ක්ෂේත්‍රය තුළ රැකගත යුතුයි. ගොඩනැඟිලි හදන්න පුළුවන්. පසුගිය කාලයේත් ආණ්ඩුව ප්‍රකාශ කළා හෘද කැතීටර් මධ්‍යස්ථාන තව 16 ක් පිහිටුවන බව. ඒක හොඳයි, හැබැයි ඒවායේ වැඩ කරන්න විශේෂඥ දැනුම හා කුසලතා සහිත වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉන්න ඕනේ. පහසුකම් වැඩිදියුණු කරනවා හා සමානව විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රඳවා ගැනීමටත් ඔවුන්ගේ ගුණාත්මකභාවය වැඩි කිරීමටත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි. මානව සම්පත නැත්නම් ඔය මොනවා හැදුවත් පොරොත්තු ලේඛන දිගු වීම විතරයි වෙන්නේ.

Q වෛද්‍යවරුන් විශාල වශයෙන් විදේශගතවීමේ   අර්බුදය විසඳීමට සංගමය රජයට කර ඇති යෝජනා මොනවා ද?

සෞඛ්‍ය පද්ධතියක් ලෙස අප මුහුණ දී සිටින බරපතළම ගැටලු‍ව තමයි මේ මානව සම්පත් අර්බුදය. විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රෝහල් පද්ධතියෙන් ඉවත් වීම හෙවත් විදේශගත වීමයි. 2022 අර්බුදයෙන් පසු කාලසීමාව තුළ ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෛද්‍යවරුන් 2,500 කට වැඩි ප්‍රමාණයක් අපට අහිමි වී තියෙනවා. 

තව වෛද්‍යවරුන් 5,000 ක් පමණ රට තුළ සිටිනවා; ඔවුන් විදේශයක වෛද්‍යවරයකු ලෙස සේවය කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරාගෙන සිටියත් පෞද්ගලික හේතු මත විදේශගත වීම ප්‍රමාද කරමින් සිටිනවා. ඒ කියන්නේ මෙරට සමස්ත වෛද්‍යවරුන්ගේ ප්‍රමාණයෙන් හතරෙන් එකක්. ඒ පිරිසත් අපට කොයි වෙලාවේ හෝ අහිමි වීමේ අවදානමක් තියෙනවා. 

වෛද්‍යවරයා හෝ විශේෂඥ වෛද්‍යවරයා රෝහලේ නැත්නම් එතැනින් එහාට රෝහල පවත්වාගෙන යන්න බැහැ. ඔවුන් තමයි නායකත්වය දෙන්නේ, තීරණ ගන්නේ. වෛද්‍යවරුන් පද්ධතිය තුළ රැඳී සිටීම දිරිමත් කිරීමට කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන කාලරාමුවක් සහිත ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවුණොත් රෝහල් පද්ධතිය ඉතා ඉක්මනින් කඩාවැටීමේ අවදානමක් තියෙනවා. දැනටමත් දුෂ්කර හා පර්යන්ත රෝහල් පද්ධති ක්‍රියාත්මක වන්නේ අපහසුවෙන්. ඇතැම් දිස්ත්‍රික්කවල ඇතැම් විශේෂඥතාවලට ඉන්නේ එක් විශේෂඥ වෛද්‍යවරයායි. උදාහරණයක් ලෙස පසුගිය කාලයේ මඩකලපුව දිස්ත්‍රික්කයේම ශික්ෂණ රෝහලකට සහ මූලික රෝහල් පහකටම සිටියේ එක් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයායි. ඇතැම් දිස්ත්‍රික්කවල මුළු දිස්ත්‍රික්කයටම ඉන්නේ එක් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයායි. 

ඒ නිසා වෛද්‍යවරුන්ගේ ගැටලු‍ හඳුනාගෙන විසඳුම් ලබා දිය යුතුයි. පළමුවැනි කාරණය, ඔවුන් ලබා දෙන සේවයට ගැලපෙන වැටුපක් ලැබෙන්නේ නැහැ. අයවැයෙන් පඩි වැඩි කළත් අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින ගෙවීම්වලින් 1/3 ක් ඉවත් කළා. මීළඟට ප්‍රවාහන පහසුකම්, සේවා පරිසරයේ ආරක්ෂාව සහ නිල නිවාස පිළිබඳ ගැටලු‍ තියෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් ඉතා වෙහෙස මහන්සි වී විශේෂඥ භාවය ලබාගත්තත්, ඔවුන් රට තුළ රඳවාගැනීමට අවම වශයෙන් දරුවකුට නිවස අසල හොඳ පාසලක් ලබාගැනීමේ ක්‍රමවේදයක්වත් ප්‍රකාශයට පත් වන්නේ නැහැ. මෙලෙස ඉච්ඡාභංගත්වයට පත් වන වෛද්‍යවරුන්ට විදේශගත වීම හැර වෙනත් විකල්පයක් ඉතිරි වන්නේ නැහැ.

මේවා විසඳීමට අප ලබා දුන් විශ්ලේෂණාත්මක යෝජනාවලිය මෙවර අයවැයටත් ඉදිරිපත් කළත් ඒ පිළිබඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූයේ නැහැ.

Q වෛද්‍යවරුන්ට අමතරව හෙද සහ සෞඛ්‍ය සේවකයන් මුහුණ දෙන ගැටලු‍ මොනවා ද?

පොදුවේ ඔවුන්ටත් ආර්ථික ගැටලු‍ව තියෙනවා. ඊට අමතරව ප්‍රධාන කාරණය මානව සම්පත් හිඟයයි. 10-15 දෙනෙකුගෙන් කළ යුතු කාර්යයන් 3-4 දෙනෙකුට කරන්න සිදු වී තියෙනවා. කාලාන්තරයකින් අනුමත සෞඛ්‍ය කාර්ය මණ්ඩල යාවත්කාලීන වී නැහැ.

Q සංගමය වරින් වර ආණ්ඩුවට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යෝජනා අතුරින් සැබවින්ම ක්‍රියාත්මක වුණේ මොනවා ද? නොසලකා හැර ඇත්තේ මොනවා ද?

මෑත කාලයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබා දුන් යෝජනා ක්‍රියාත්මක කිරීම කෙසේ වෙතත් ඒ ගැන සාකච්ඡා කරන්නවත් අපට අවස්ථාවක් ලැබී නැහැ. පස් වතාවක් ඉල්ලීම් කළත් ජනාධිපතිතුමා, අගමැතිතුමිය හෝ සෞඛ්‍ය අමාත්‍යතුමා වෛද්‍යවරුන් 23,000 කට වැඩි සාමාජිකත්වයක් සහිත (95% කට වඩා නියෝජනය කරන) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දී නැහැ.

මෙවර අයවැයෙන් වෛද්‍යවරුන්ගේ සේවයට ගැලපෙන වැටුපක් ලබා දීම සහ ඇති වී තිබෙන ආර්ථික අසාධාරණය විසඳීම සඳහා යෝජනා ලබා දුන්නා. ඒ කිසිවක් එක රැයින් ඉෂ්ට කරන්න කියා අප කියන්නේ නැහැ; යම් කාලරාමුවක් තුළ සාකච්ඡා කිරීමටයි ඉල්ලන්නේ. වෛද්‍යවරුන්ගේ ප්‍රවාහනයට අදාළDAT  දීමනාව 2018 න් පසු යාවත්කාලීන වුණේ 2024 දීයි. පෙට්‍රල් මිල ඉහළ ගියත් තවම 2018 දී ලැබිය යුතු අගයවත් ලැබෙන්නේ නැහැ.

පසුගිය අයවැයේදී සැමට පඩි වැඩි වන විට වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාවෙන් 1/3 ක් කප්පාදු කළා. අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කළ යුතුයි. එමෙන්ම රාජ්‍ය සේවයේ සමාන්තර අනිත් හැමෝටම ලැබෙන 22/99 චක්‍රලේඛයට අදාළ ප්‍රවාහන ප්‍රතිලාභ සඳහා වෛද්‍යවරුන් අන්තර්ග්‍රහණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය ලෙස එකඟ වුවත් එය ක්‍රියාත්මක වී නැහැ.

Q ඩෙංගු එන්නත ලංකාවේ රාජ්‍ය හෝ පෞද්ගලික සෞඛ්‍ය පද්ධතියට හඳුන්වා දීම පිළිබඳ වෛද්‍ය සංගමයේ නිල තීරණය කුමක්ද?

පසුගිය ජූනි, ජූලි මාසවල විශාල ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙමින් මෙවර ලක්ෂයකට වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. රෝහල්වල ධාරිතාව ඉක්මවා ගියා. ඩෙංගු මර්දනය තුළින් පමණයි රෝගය තුරන් කළ හැක්කේ. තායිලන්තය වැනි රටවල් ඩෙංගු එන්නත භාවිත කළ අතර ලංකාවටත් එය හඳුන්වා දීම ගැන සාකච්ඡා තිබුණා.

නමුත් ඒ පිළිබඳ පර්යේෂණාත්මක සහ තාක්ෂණික තීන්දු ගත යුත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව මඟිනුයි. එන්නත හඳුන්වා දෙනවා ද, එයින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙනවා ද යන්න ප්‍රතිලාභ හා ප්‍රතිවිපාක සමතුලිතව අධ්‍යයනය කර තීරණය කළ යුතුයි.  ජනතාවට කියන්නේ තමන්ගේ නිවස, ගෙවත්ත සහ ආසන්න කලාපය ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාපයක් බවට පත් කරගන්නා ලෙසයි. 

Q නිදහස් සෞඛ්‍ය සේවාවට සහ රෝගී අයිතිවාසිකම්වලට සිදුවන බලපෑම සංගමය දකින්නේ කෙසේද?

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික සිවිල් හා වෘත්තීය අයිතිවාසිකම් පිළිගැනීම මූලික සිද්ධාන්තයක්. ඒවා පිළිනොගන්නා තැනක ප්‍රජාතන්ත්‍රවාදය හෝ නිදහස රැඳෙන්නේ නැහැ. ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය මුදාගැනීමේ (ආරක්ෂා කිරීමේ) පනත සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් මතු වී තියෙනවා. ත්‍රස්තවාදය දුරලීමට අපේ විරෝධයක් නැහැ. නමුත් ත්‍රස්තවාදය කියන නමට හෝ නීතියට මුවා වී සාමාන්‍ය පුරවැසි, සිවිල් හෝ වෘත්තීය සමිති අයිතිවාසිකම් මර්දනය කිරීමට හැදීම අනතුරුදායකයි.

වසර 100 ක ඉතිහාසයක් ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැම විටම පෙනී සිටියේ වෛද්‍යවරුන්ගේ සුරක්ෂිතතාව, නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය වෙනුවෙනුයි. නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන් මුහුණ දෙන සැබෑ ප්‍රශ්න හඳුනාගැනීමට හෝ ඒ ගැන සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ සූදානමක් පෙනෙන්නට නැහැ. ඒ හරහා සැබෑ ප්‍රශ්න යටපත් වී, නිදහස් සෞඛ්‍ය සේවාව ස්වාභාවික මරණයක් දක්වා ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා ද යන සාධාරණ සැකය අප තුළ ඉස්මතු වෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාව කියන්නේ ඕනෑම ආණ්ඩුවකට අත්හැරිය නොහැකි වගකීමක්. සියලු‍ පාර්ශ්වයන් සමඟ එකතු වී ආණ්ඩුව ඒ වගකීම ඉටු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

සාකච්ඡා කළේ: වර්ෂා සමරසිංහ