• “ සහල් මිල ඉහළ කියලා බය කරන්නේ එළඹෙන උත්සව සමය ඉලක්ක කරලා සහල් ආනයනය කරන්න ගන්න උත්සාහයක්.”

රටට බත සපයන කුඹුරු යායවල් වැසි දියෙන් යටවෙද්දීත්, ඇතැම් ප්‍රදේශවල ගොවීන්ගේ වගාබිම්වලට හානි සිදුවෙද්දීත් ජනතාවගේ සිත් තුළ මතුවන ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ ඉදිරියේ දී බත් පිඟානටත් මේ අහිතකර කාලගුණයේ බලපෑම දැනේවි ද? යන්නයි.

වැසි සහ ගංවතුර හමුවේ වී වගාවට සිදුවන හානි හෙට දවසේ සහල් වෙළෙඳපොළට බලපාන්නේ කෙසේද? ලබන වසරේ දී සහල් මිල යළිත් ඉහළ ගොස් සාමාන්‍ය ජනතාවගේ ජීවනබර තවත් වැඩි කරනු ඇති ද?

2026/27 මහකන්නයේ වී නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහත වැටුණහොත් ලබන වසරේ සහල් මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ද අනතුරු හඟවා තිබේ. එවැනි පසුබිමක මෙවර මහකන්නයේ වී නිෂ්පාදනයට අහිතකර කාලගුණයෙන් සැබෑ බලපෑමක් එල්ල වී තිබේ ද? රටට අවශ්‍ය සහල් ප්‍රමාණය සපුරා ගැනීමට තරම් වී අස්වැන්නක් ලැබෙනු ඇති ද? එසේත් නැතිනම් ඉදිරි වසරේදී සහල් මිල ඉහළ යාමට පාර කැපෙනු ඇති ද?

කෙසේ වෙතත්, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය මත ලබන වසරේ සහල් මිල ඉහළ යාමට සාධාරණ හේතුවක් නොමැති බවයි. එහෙත් ඉදිරි මහ කන්නයේ වී නිෂ්පාදනය සාර්ථක කරගැනීම සඳහා පොහොර හිඟය, ඉන්ධන මිල සහ ගොවිතැනේ ඉහළ යන නිෂ්පාදන පිරිවැය ඇතුළු අභියෝග රැසකට මුහුණදීමට සිදුව ඇතිබව ද ඔහු අවධාරණය කරයි. එසේ නම්, වැසි සහ ගංවතුරෙන් පසුව මෙරට වී නිෂ්පාදනයේ ඉදිරි ගමන කෙබඳු වේවිද? ලබන වසරේ සහල් මිල පිළිබඳව ජනතාව තුළ ඇති වී තිබෙන බියට සැබෑ පදනමක් තිබේද?

මේ ඒ පිළිබඳව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සමග කළ සාකච්ඡාවකි.

“2025/26 මහ කන්නය, ඒ කියන්නේ ගිය අවුරුද්දේ මහ කන්නයේ වී අස්වැන්න වී මෙට්‍රික් ටොන් 24,50,000 ක්. 2026 යල කන්නයේ වී මෙට්‍රික් ටොන් 18,50,000 ක් තිබුණා. එතකොට ඒ දෙකේ එකතුව ගත්තහම මෙට්‍රික් ටොන් ලක්ෂ 46 ක් අතර ප්‍රමාණයක් තමයි 2026 සඳහා අවශ්‍ය වී ප්‍රමාණය තිබුණේ. එතකොට අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව සහල් මෙට්‍රික් ටොන් 23,75,000 ක්. දළ වශයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 24 ක් . එතකොට වීවල අතිරික්තයක් තියෙනවා. ඒ කියන්නේ හාල් කිලෝ එකක් නිෂ්පාදනය කරගන්න වී කිලෝ 1.6 ක් ඕනේ. එතකොට වාර්ෂික සහල් අවශ්‍යතාව පිරිමැසීම සඳහා වී මෙට්‍රික් ටොන් ලක්ෂ 38 ක් අපේ රටට අවශ්‍යයි. ඒකෙන් තමයි රටට අවශ්‍ය ජාතික වාර්ෂික සහල් අවශ්‍යතාව පිරිමහා ගන්නේ. මේ අවුරුද්දේ වී වල අතිරික්තයක් තියෙනවා මෙට්‍රික් ටොන්  අටක, දහයක ප්‍රමාණයක.”  

“නමුත් දළ වශයෙන් කීරිසම්බා හිඟයක් තියෙනවා. කීරිසම්බා අවශ්‍යතාවට තරමට කීරිසම්බා වී වගා කරපු ප්‍රමාණය අඩුයි. ඒ නිසා තමයි කීරිසම්බාවල මිල වෙළෙඳපොළේ ඉහළ ගියේ. ඒ කියන්නේ පවතින පාලන මිල තියෙන්නේ කීරිසම්බා 260 යි. එතකොට 2024 දෙසැම්බර් 5 වෙනිදා ගහපු සහල් මිල පාලන ගැසට් එකේදී නාඩු කිලෝ එකක් රුපියල් 225 යි.  සම්බා කිලෝ එකක් 235 ට තිබුණෙ. සහල් මිල වැඩිවීමක් වුණේ නෑ, ඒ වගේම තමයි ගොවියන්ගෙන් වී ගන්න එකේ මිලේ වෙනසක් වුණෙත් නෑ. 2024/25 මහ කන්නයේ වී මිලදී ගත්තේ නාඩු රුපියල් 120 ට.  සම්බා  125 යි, කීරිසම්බා 130 යි, ඒ මිලටම තමයි සංශෝධනයක් නැතුව වැඩි කරන්නේ නැතුව ගොවියන්ගෙන් වී මිලදී ගත්තේ.”

2026/27 මහ කන්නයේ වී නිෂ්පාදනය පිළිබඳව කළ විමසීමේ දී ඔහු දුන්නේ මෙවන් පිළිතුරකි.

“2026/27 මහ කන්නය දැන් තමයි පටන් ගන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපේක්ෂිත ඉලක්කය තමයි හෙක්ටයාර් 8,53,000 ක් වගාකිරීම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියනවා වගා කරන්න පුළුවන් හෙක්ටයාර් 8,31,000 යි කියලා. නමුත් අහස් දියෙන් ඒවා වගා කරපුවාම දළ වශයෙන් 8,50,000 ක් ඒ කියන්නේ අක්කර ලක්ෂ 20 කට ආසන්න ප්‍රමාණයකුත් වගා කෙරෙනවා.  නැගෙනහිර පළාතේ  දැනට සී සෑම ආරම්භ වෙලා  තියෙනවා. සමහර පැතිවල වපුරලා ඉවරයි. එතකොට මේ පාර අස්වැන්න ගන්නේ හරියටම ලබන අවුරුද්දේ මාර්තුවල. ඒ කියන්නේ 2027 මාර්තු. සාමාන්‍යයෙන් කන්නයක් කියලා කියන්නේ යම් අවුරුද්දක මාර්තු මාසේ ඉඳලා ඊ ළඟ අවුරුද්දේ මාර්තු වෙනකන් තමයි .එතකොට මාර්තුවල ඉඳන් අගෝස්තු 30 වෙනකන් තියෙනවා යල කන්නය. ඊළඟට සැප්තැම්බර්වල ඉඳලා ලබන මාර්තු වෙනකන් තියෙනවා මහ කන්නය.” 

“සහල් මිලේ වැඩිවීමක් ලබන වසරේ තියෙන්න විදියක් නැහැ. මොකද ගොවියන්ගෙන් වී ටික මිලදී ගත්තෙම 180ට, 120ට. පාලන මිල තිබුණේ ආණ්ඩුවේ මිල රු 120 ටත් අඩුවෙන්. මහා පරිමාණ මෝල් හිමියෝ 90 ට, 105 ට වී මිලදී ගත්තේ. තාම ගොවියෝ ළඟ වී තියෙනවා වී විකුණා ගන්න බැරුව. එතකොට හාල් මිල වැඩි වෙන්න කිසිම හේතුවක් නෑ. මොකද ආණ්ඩුව වී මිල වැඩි කරේ නැත්තෙම සහල් මිල වැඩි කරොත් ඒක පාරිභෝගිකයාට බලපාන නිසා. හැම අවුරුද්දකම උත්සව සමය එනකොට බොරු සහල් හිඟයක් මවාපාලා සහල් මිල ඉහළ යෑමේ සූදානමක් තියෙනවා. එතකොට සැලසුම් සහගතව විකෘති මිල තත්ත්වයක් ඇති වෙනවා. මේ විකෘතිය ඇති කරන්නේ මහා පරිමාණ මෝල් හිමියෝ විතරක් නෙමෙයි, ආණ්ඩුව පැත්තෙන් ඒකට සම්බන්ධතාවක් තියෙන්න පුළුවන්. මේකට සම්බන්ධයි රජයේ මහා භාණ්ඩාගාරයේ, මුදල් අමාත්‍යාංශයේ, වෙළෙඳ අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරිනුත්. දැන් මේ සහල් මිල ඉහළ යෑම කියන්නේ එළඹෙන උත්සව සමය ඉලක්ක කරලා සහල් ආනයනය කරන්න ගන්න උත්සහයක්.”

2026/27 මහ කන්නය සහ 2027 යල කන්නය ගැන තීරණය කිරීමේ දී බලපාන සාධක පිළිබඳව විමසීමේ දී එම සාධක පිළිබඳව ඒ ඔහු  මෙසේ පැහැදිලි කළේය.

“සාමාන්‍යයෙන් මේ කන්නවලට බලපාන සාධක ගැන කතා කළොත් 2026/27 මහ කන්නය කියන්නේ දැන් පටන් ගන්න කන්නය. එතකොට ඒකෙදී විශේෂයෙන්ම නිෂ්පාදන පිරිවැය වැඩියි. එතකොට පොහොර පිළිබඳව අර්බුදයක් තියෙනවා. රටට අවශ්‍ය පොහොර තොග සාමාන්‍යයෙන් වී වගා කරන ප්‍රමාණය අනුව යූරියා මෙට්‍රික් ටොන් 1,70,000 කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍යයි. ඊට අමතරව අතිරේක ආහාර භෝග වෙච්ච බඩඉරිඟු වගේ දේටත් මෙට්‍රික් ටොන් 20,000 ක් විතර අවශ්‍යයි. ඒක සාමාන්‍යයෙන් දළ වශයෙන් මෙට්‍රික් ටොන් 2,10,000 කට ආසන්න වෙනවා. හැබැයි ඒ අවශ්‍යතාවයේ තරමට පොහොර නැහැ. මොකද පොහොර සාමාන්‍යයෙන් රට තුළ තියෙන්නේ මෙට්‍රික් ටොන් 80,000 කට ආසන්න ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය එක කන්නයක පොහොර මුරයකටත් මදි.”      

“එතකොට පොහොර අර්බුදය දැඩි ලෙස තියෙනවා. ඊළඟට තමයි දැන් මේ ඩීසල් මිල වැඩිවීමත් එක්කම ගොවියාට බලපානවා සීසෑමේ කුලිය, බිම් සකස් කිරීමේ කුලිය ට්‍රැක්ටර් භාවිතා කරන්න, යන්ත්‍රෝපකරණ සඳහා යන කුලිය වැඩි වෙන නිසා බරපතළ අර්බුදයක් තියෙනවා. ඊළඟට තමයි බිත්තර වී පිළිබඳව අර්බුදයක් තියෙනවා.මේ කන්නයේ බිත්තර වී රජයෙන් නිෂ්පාදනය කරන්නෙ නැහැ. පුද්ගලික සමාගම් නිශ්පාදනය කරන්නේ අඩුවෙන්. හැබැයි බිත්තර වී වල ප්‍රශ්නයක් තියෙනවා. අසීමාන්තිකව සියයට විසි පහකින් බිත්තර වී මිල ඉහළ ගිහිල්ලා. ඒ නිසා ගොවියාට මේක දරාගන්න බැරි තත්ත්වයක් තියෙනවා.”                  

“කලට වේලාවට පොහොර සහනාධාර මුදල් දෙන්නෙත් නැහැ. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ඩීසල් මිල වැඩිවීමත් එක්කම අඩුගානේ මේ ගොවිතැනේදී ට්‍රැක්ටර්, කෘෂි යන්ත්‍රෝපකරණ භාවිතා කරන අයට සලාකයක් හෝ කෝටා එකක් හෝ මේ ලීටර ගාන අඩු කරලා දෙන්න කියලා. ලබන අවුරුද්දේ ඒ කියන්නෙ 2027 යල කන්නය එන්න ගොඩක් කල් තියෙනවා. ඉතින් මේ පොහොර අර්බුදය තමයි දැඩි ලෙස තියෙන්නේ. දැන් අද වෙනකොට ආපහු යුද්ධය පටන් අරන්. හෝමුස් සමුද්‍ර සන්ධිය අසල, ඕමානයේ පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය, මැදපෙරදිග කලාපයේ පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය මුළුමනින්ම ඇනහිටලා තියෙනවා.  ඒ ගැටළු එක්ක පොහොර අපිට ආනයනය කරන්න නොහැකි වීම දැනට තියෙන බරපතල ප්‍රශ්නය ක්. කෘෂිකාර්මික කටයුතු සඳහා අපේ රටේ පොහොර නිෂ්පාදනය කරන්න හැකියාව තියෙද්දීත් කරන්නේ නෑ. මොකද ආනයනික පොහොර මත තමයි සම්පූර්ණයෙන්ම අපේ රටේ කෘෂිකර්මාන්තය ගොඩනැඟිලා තියෙන්නේ.”

පැවති අහිතකර කාලගුණික තත්ත්වය මත මහ කන්න වගාව තුළ වාර්තා වෙන වී වගාවට හානි වීම් තිබේ ද?

“මේ පාර ඇතිවෙච්ච වර්ෂාව නිසා යම් යම් තැන්වලින් හානි වෙලා තියෙනවා. නමුත් ඒක සැලකිය යුතු මට්ටමේ නැහැ. තවමත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මේ ගැන හානි පූර්ණය කිරීම සඳහා ක්‍රමවේදයක් හදලා නැහැ. තාමත් වැස්ස සක්‍රිය වෙලා තියෙනවා. සමහර තැන්වල පහුගිය අවුරුද්දේ නියඟය නිසා ඇතිවෙච්ච බලපෑම නිසා ගෙවලා තියෙන කෘෂි රක්ෂණ මණ්ඩලයේ වන්දි මුදලුත් හරියට ගෙවලා නැහැ. කොහොම වුණත් දැන් මේ කන්නයේ මේ පාර ඇති වුණ වර්ෂාව නිසා මහා ලොකුවට හානියක් වුණේ නැහැ. වර්ෂාවෙන් දැඩි බලපෑමක් එල්ල වුණේ උඩරට එළවළු වගාවට.”

ඉදිරියේ දී හාල් මිල ඉහළ යාමක් සිදු වුවහොත් ඉදිරි වසර තුළ එය ජනතාවගේ ජීවන තත්ත්වයට කෙතරම් දුරට බලපෑමක් කරයි ද?

“ඉදිරියේදී සහල් මිල ඉහළ යයි කියලාඅපි විශ්වාස කරන්නේ නැහැ. නමුත් අද වෙනකොට හැම දේම මිල ඉහළ ගිහින් තිබෙන්නෙ. විශේෂයෙන්ම අපේ රටේ සමස්ත පරිභෝජනය ගත්තාම වැඩිපුර කන්නෙ බත්. සාමාන්‍යයෙන් රුපියල් 10 කින්, 12 කින් වගේ තමයි මිල ඉහළ යනවා නම් ඉහළ යන්න ඕනේ. මේ වෙලාවේ 'කොරේ පිටට මරේ' කියලා ගමේ ගොඩේ කියමනක් තියෙනවනේ. ඒ වගේ හාල් මිලත් වැඩි වුණොත් එහෙම පාරිභෝගිකයාට අපේ රටේ බත් කන මිනිස්සුන්ට දරාගන්න බෑ. එළවළු මිල අද වෙනකොට අහස උසට ගිහින්. සහල් මිල විතරයි අවුරුදු දෙකක් තුළ ඉහළ ගිහිල්ලා නැත්තේ. එතකොට හාල් මිලත් ඉහළ යනවා කියන්නේ දරාගන්න බැරි ප්‍රශ්නයක් වෙනවා ජනතාවට.”

ලංකාවේ මේ වනවිට හාල් පරිභෝජනය සහ  කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරි වසර තුළ එම තත්ත්වය කෙසේ විය හැකිද?

“වී වල හිඟයක් නම් ඇති වෙන්නේ නැහැ. ආහාර සුරක්ෂිතතාව හරියට කළමනාකරණය කරගත්තොත් අතිරික්ත වී ටික, ඒ කියන්නේ ආහාර සුරක්ෂිතතාවට අනුව බෆර් ස්ටොක් එකක් තියෙන්න ඕනේ සියයට පහක පමණ. නමුත් එහෙම එකක් ආණ්ඩුව පවත්වාගෙන යන්නේ නැහැ.  2026 යල කන්නයේ රජය මගින් අරන් තියෙන වී ප්‍රමාණය වී මෙට්‍රික් ටොන් ලක්ෂයක්. එතකොට ඊළඟ 2026/27 මහ කන්නයේ වී ප්‍රමාණයක් ලොකුවට නැතත් සැලකිය යුතු ප්‍රමාණයක්, අඩු ගානේ දෙගුණයක්වත් ගන්න පුළුවන් නම් අපිට බෆර් ස්ටොක් එකක් පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි බෆර් ස්ටොක් එකක් කියලා මෙයාලා හිතන්නේ ආරක්ෂිත ආහාර තොග වෙනුවට ඉන්දියාවෙන් , පාකිස්ථානයෙන් හෝ බංග්ලාදේශයෙන් ආනයනික හාල් ගෙන්නපුවාම මේක හරි කියලා. ආනයනික හාල් ගෙන්නනවා කියන්නෙ විසඳුමක් නෙවෙයි.

ඉන් යම් ප්‍රමාණයක් සත්ත්ව ආහාර සඳහාත් දෙන්නත් අවශ්‍යයි. මේ රටට ආරක්ෂිත ආහාර තොග පවත්වාගෙන යන්න ගොවියෝ වී ටික කලට වේලාවට වගා කරලා තියෙනවා. අතිරික්තයක් දීලා තියෙනවා. රටට අවශ්‍ය සහල් ප්‍රමාණයට වඩා වී ප්‍රමාණයක් තොග දීලා තියෙනවා. නමුත් විධිමත් කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.”

“මොකද සහල් වගේ දේවල්වල රාජ්‍ය ඒකාධිකාරී බලය මහා පරිමාණ මෝල් හිමියන්ට නොදී, මිල පාලනය කිරීම, තොග රැස්කිරීමට ඉඩ නොදී සියයට 75 ක්වත් ආණ්ඩුවේ මැදිහත්වීම තියෙන්න ඕන .එහෙම වුණොත් විතරයි මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන් වෙන්නේ. ආණ්ඩුවේ පුද්ගලික මහා පරිමාණ මෝල් හිමියෝ කීපදෙනෙක් වෙළෙඳපොළේ කෘත්‍රිම සහල් හිඟයක් මවාලා, ඒ කෘත්‍රිම සහල් හිඟයට සමගාමීව අර ඉල්ලුම සැපයුම අනුව මිල ඉහළ දානවා. ඒ කුමන්ත්‍රණය කරන්නේම විකෘති මිලක් ගේන්න. ඒ නිසා ආණ්ඩුවේ වගකීම තමයි සහල් වෙළෙඳපොළේ අධිකාරී බලය ආණ්ඩුව පවත්වාගෙන යාම. එහෙම නැති වුණාම තමයි නූල කැඩිච්ච සරුංගලේ වගේ අර මහා පරිමාණ සහල් නිෂ්පාදකයෝ කීපදෙනෙක් තමන්ට අවශ්‍ය විදිහට සරුංගලය යවන්න ඕන දිශාව තීරණය කරන්නේ. හැම සැරේම සහල් මිල සම්බන්ධයෙන් උත්සව අවස්ථාවක් එනකොට ඔය කතන්දරය තමයි සිද්ධ වෙන්නෙ.”

ඉමේෂි මන්දිරා ජයරත්න 
චමෝදි සෙව්වන්දි