අපේ රටේ කොස් ඇට, අල, බතල, මඤ්ඤොක්කා, කුරක්කන් සහ මුරුංගා වැනි ඌන භාවිත දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන, පුද්ගල අවශ්‍යතාවලට ගැළපෙන පෝෂ්‍යදායී ආහාර නිපදවිය හැකි නම්? එපමණක් නොව, ඒවාට අවශ්‍ය හැඩය, වයනය සහ පෝෂණ සංයුතිය ලබා දෙමින් ඉවතලන ආහාර අතුරු නිෂ්පාදනවලටද නව වටිනාකමක් එක් කළ හැකි නම්? මේ සියල්ල සාක්ෂාත් කර ගැනීමට අවස්ථා සලසන නවීන තාක්ෂණයක් ලෙස ත්‍රිමාණ (3D ) ආහාර මුද්‍රණය හඳුන්වා දිය හැකිය.

ආහාර කර්මාන්තයේ නැඟී එන නවමු තාක්ෂණයක් වන 3D මුද්‍රණය, ඩිජිටල් හා ස්වයංක්‍රීය නිෂ්පාදනයේ නව යුගය වනිකර්මාන්ත 4.0’ (Industry 4.0 ) සංකල්පයේ වැදගත් අංගයකි. ඩිජිටල් සැලැස්මකට අනුව ස්තරයෙන් ස්තරය (ක්හැර-ඉහ-ක්හැර) ගොඩනඟමින් ආහාර නිවැරදි හැඩතලවලට සකස් කිරීමට මෙමඟින් හැකි වේ. ‘ආකලන නිෂ්පාදනය’ (Additive manufacturing ) ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලිය සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදනයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් මඟක් ගන්නා බැවින්, කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ අනාගත ආහාර නිෂ්පාදනය සඳහාද ඉතා යෝග්‍ය වේ.

 

පුද්ගල අවශ්‍යතාවලට ගැළපෙන පෝෂණය

සාම්ප්‍රදායික ආහාර පිළියෙල කිරීමෙන් සෑම විටම පුද්ගල පෝෂණ අවශ්‍යතා සපුරාලිය නොහැකි බැවින්, විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට සුදුසු පරිදි ආහාර සකස් කිරීමට 3D  ආහාර මුද්‍රණය හොඳම විකල්පයකි. විශේෂයෙන්ම, වයෝවෘද්ධ පුද්ගලයන්ට පහසුවෙන් ගිල ගත හැකි මෘදු ආහාර සැපයීමේදී මෙන්ම රෝහල්, ආයතනික ආහාර සැපයුම් සේවා සහ වැඩිහිටි නිවාස සඳහාද මෙම තාක්ෂණය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටද මෙමඟින් නව අවස්ථා නිර්මාණය වේ. උදාහරණයක් ලෙස, කුරුඳු සහ කිතුල් පැණි රසැති, සීගිරි පර්වතයේ හැඩයට මුද්‍රණය කළ අතුරුපසක් විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය නොමඳව දිනාගනු ඇත. එසේම, කොස්, කුරක්කන් හෝ මුරුංගා වැනි දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවන ග්ලූටන් රහිත  සහ ශාකමය කෙටි ආහාර (plant-based snacks ) මඟින් ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතියේ අනන්‍යතාව ලොවට ගෙන යා හැකිය.

 

3D  ආහාර මුද්‍රණයේ රහස: ‘ආහාර තීන්ත’ (Food Ink )

සාම්ප්‍රදායික ආහාර සැකසීමේදී මෙන් හුරුපුරුදු අමුද්‍රව්‍ය සහ පිසීමේ ක්‍රම භාවිත කළද, 3ෘ3D  ආහාර මුද්‍රණය වෙනස් වන්නේ අමුද්‍රව්‍ය සංයුතියට සහ එහි ගලා යාමේ ගුණාංගවලට ලැබෙන විශේෂ වැදගත්කම නිසාය. මුද්‍රණය සඳහා භාවිත කරන ආහාර ද්‍රව්‍යයිආහාර තීන්ත’  ලෙස හැඳින්වේ. උසස් තත්ත්වයේ මුද්‍රණයක් ලබා ගැනීමට නම්, මෙම තීන්තයට පීඩනය යටතේ පහසුවෙන් ගලා යාමටත්, පීඩනය ඉවත් කළ පසු නැවත අවශ්‍ය ඝනත්වය හා ව්‍යුහාත්මක ශක්තිය ලබා ගැනීමටත් හැකි විය යුතුය. මෙම හැසිරීමි ‘ shear-thinning ’ ලෙස හැඳින්වේ.

ආහාර තීන්තයක මුද්‍රණ හැකියාව තීරණය කරන ප්‍රධාන ගුණාංග දෙකක් වන්නේ නිස්සාරණ හැකියාව සහ හැඩය පවත්වා ගැනීමේ හැකියාව  යි. පළමුවැන්නෙන් තීන්තය මුද්‍රණ යන්ත්‍රයේ නොසලය  හරහා සුමටව පිටතට පැමිණීමේ හැකියාව විස්තර කෙරෙන අතර, දෙවැන්නෙන් පිටතට පැමිණි තීන්තය පැතිරී යාමෙන් හෝ ආකෘතිය බිඳ වැටීමෙන් තොරව  ස්තරයෙන් ස්තරය ගොඩනැඟු‍ණු ස්ථායී ව්‍යුහයක් පවත්වා ගැනීමේ හැකියාව අදහස් වේ. මේ අනුව, ආහාර තීන්තයක ප්‍රවාහ විද්‍යාත්මක ගුණාංග (rheological properties ) එය කෙතරම් හොඳින් මුද්‍රණය වන්නේද සහ හැඩය කෙතරම් හොඳින් රඳවා ගන්නේද යන්න තීරණය කරයි. නිවැරදි සංයුතියකින් යුත් ආහාර තීන්ත නිර්මාණය කිරීම 3D  ආහාර මුද්‍රණයේ ප්‍රධාන අභියෝගයක් වන්නේ එබැවිනි.

 

දේශීය අමුද්‍රව්‍යවලින් ආහාර තීන්ත නිර්මාණය කිරීම     

3D  ආහාර මුද්‍රණ තීන්ත සකස් කිරීම සඳහා ප්‍රෝටීන, පොලිසැකරයිඩ  සහ මේද වැනි ජෛව බහුඅවයවක මෙන්ම ධාන්‍ය, ඇට වර්ග, පලතුරු සහ එළවළු වැනි විවිධ ආහාර ද්‍රව්‍ය යොදා ගත හැකිය. මුද්‍රණ හැකියාව ඉහළ නැංවීමට මෙම ද්‍රව්‍ය නිවැරදි අනුපාතයට මිශ්‍ර කිරීම අත්‍යවශ්‍ය බැවින්, බොහෝ පර්යේෂණවල අවධානය යොමු වී ඇත්තේ ආහාර තීන්ත සංයුතිය වැඩිදියුණු කිරීම කෙරෙහිය.

ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී ඉතිරි වන අතුරු නිෂ්පාදන භාවිතයෙන් ආහාර තීන්ත නිපදවීම මෙම ක්ෂේත්‍රයේ තවත් වැදගත් ප්‍රවණතාවකි. එමඟින් ආහාර කර්මාන්තයේ අපද්‍රව්‍ය නැවත ප්‍රයෝජනවත් ලෙස භාවිත කිරීමට හැකි වේ. නිවිති කඳන් සහ කේල් (kale ) නටු වැනි එළවළු අපද්‍රව්‍ය 3D  මුද්‍රිත කුකීස් නිෂ්පාදනය සඳහා භාවිත කර ඇති අතර, පලතුරු ලෙලිද මේ සඳහා බහුලව යොදා ගැනේ. එමෙන්ම, whey protein isolate, flaxseed protein  සහ soy protein isolate  වැනි ප්‍රෝටීන් මූලාශ්‍ර, සෝයා ආශ්‍රිත අතුරු නිෂ්පාදන මෙන්ම සමුද්‍ර ජීවීන්ගෙන් ලබාගත හැකි කයිටොසාන් (chitosan ) වැනි ද්‍රව්‍යද ආහාර මුද්‍රණ ද්‍රව්‍යවල ගුණාංග වැඩිදියුණු කිරීමට විභවයක් පෙන්නුම් කරයි.

 

ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව

3D  ආහාර මුද්‍රණය සඳහා යොදා ගත හැකි ස්වාභාවික සම්පත් රැසක් ශ්‍රී ලංකාව සතුය. දේශීය අල සහ මුල් භෝගවල ඇති පිෂ්ඨය සහ අනෙකුත් ක්‍රියාකාරී සංරචක නිසා ඒවා ආහාර තීන්ත නිෂ්පාදනයට වටිනා මූලාශ්‍ර බවට පත් කළ හැකිය. එසේම, වාණිජමය වශයෙන් ප්‍රමාණවත් ලෙස ප්‍රයෝජනයට නොගැනෙන පලතුරු භෝග සහ ආහාර සැකසීමේදී ඉතිරි වන පලතුරු ලෙලි, යුෂ නිස්සාරණයෙන් පසු ඉතිරි වන පල්ප සහ කැඩුණු ධාන්‍ය වැනි අතුරු නිෂ්පාදනද මේ සඳහා ගවේෂණය කළ හැකිය. මෙවැනි අමුද්‍රව්‍ය භාවිතයෙන් අගය එකතු කළ ආහාර නිපදවීම මඟින් පසු අස්වනු හානිය අවම කර ගැනීමටත්, ආහාර අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමටත් හැකි වේ. කෙසේ වෙතත්, ආහාර සුරක්ෂිතතාව සහ මන්දපෝෂණය වැනි සංකීර්ණ ගැටලු‍ විසඳීමට 3D  ආහාර මුද්‍රණය තනි විසඳුමක් නොවන අතර, එය අනෙකුත් පෝෂණ වැඩසටහන් සමඟ ඒකාබද්ධ කළ හැකි නව ප්‍රවේශයක් ලෙස සැලකීම වඩාත් සුදුසුය.

මීට අමතරව, අප සතු අනෙකුත් ඌන භාවිත භෝග එකිනෙක සංයෝජනය කිරීමෙන් ආහාරවල වර්ණය, රසය මෙන්ම පෝෂණ ගුණයද ඉහළ නැංවිය හැකිය. වට්ටක්කා කැරොටිනොයිඩ ලබා දෙන අතර, සාම්ප්‍රදායික සහල් වර්ග තන්තු සහ ප්‍රතිඔක්සිකාරක එක් කරයි. මුරුංගා, ගොටුකොළ සහ මුකුණුවැන්න වැනි පලා වර්ග යකඩ, ෆෝලේට් සහ අනෙකුත් ක්ෂුද්‍ර පෝෂක ලබා දෙයි. එසේම, බතල සහ මඤ්ඤොක්කා පිටිවලින් පිෂ්ඨයද, කුරක්කන් සහ මුං ඇට මඟින් තන්තු, ප්‍රෝටීන සහ ඛනිජ ලවණද එක් කළ හැකිය. කොස් ඇට, දෙල් සහ තල වැනි දේශීය අමුද්‍රව්‍යද ආහාර තීන්තවල පෝෂණ ගුණය සහ වයනය වැඩිදියුණු කිරීමට යොදා ගත හැකි වුවද, අවසාන නිෂ්පාදනයේ පෝෂණ ගුණය, ජීර්ණය වීමේ හැකියාව සහ ආහාරයේ සුරක්ෂිතතාව විද්‍යාත්මකව තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ.

 

 අදහසේ සිට ප්‍රායෝගික විසඳුම දක්වා

දේශීය සම්පත් 3D  ආහාර මුද්‍රණ තීන්ත බවට පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ ශ්‍රී ලාංකේය පර්යේෂකයෝ දැනටමත් ගවේෂණය කරමින් සිටිති. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයනාංශය විසින් කොස් ඇට පිටි සහ බතල පිෂ්ඨය භාවිතයෙන් 3D  ආහාර තීන්ත නිපදවීම පිළිබඳ සාර්ථක පර්යේෂණ සිදු කර ඇත. අල්ට්‍රාසොනික් ප්‍රතිකාර ( ශබ්ද තරංග භාවිතය) සහ එන්සයිම ප්‍රතිකාර වැනි ක්‍රම මඟින් පිෂ්ඨයේ වයනය සහ ප්‍රවාහ ගුණාංග වෙනස් කර එහි මුද්‍රණ හැකියාව වැඩිදියුණු කිරීම කෙරෙහිද එහි පර්යේෂණ අවධානය යොමු කර තිබේ.

මෙම තාක්ෂණය යථාර්ථයක් කර ගැනීම සඳහා, විශ්වවිද්‍යාල රසායනාගාරවල සිදු කරන පර්යේෂණ එදිනෙදා ජීවිතයේදී භාවිත කළ හැකි, දැරිය හැකි මිලකට ලබාගත හැකි සහ දේශීය අවශ්‍යතාවලට ගැළපෙන විසඳුම් බවට පත් කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා විශ්වවිද්‍යාල, රාජ්‍ය ආයතන, ආහාර නිෂ්පාදකයන්, ගොවීන්, සෞඛ්‍ය සේවා සපයන්නන් සහ තාක්ෂණ සංවර්ධකයන් එක් කරගත් ප්‍රායෝගික උපායමාර්ගයක් සකස් කළ යුතුය.

 

ශ්‍රී ලංකාවේ ආහාර අනාගතය හැඩ ගැස්වීම

3D  ආහාර මුද්‍රණය යනු ආහාර නිෂ්පාදනයේ නව තාක්ෂණයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ආහාර අනාගතය වෙනස් කිරීමට ලැබෙන මහඟු‍ අවස්ථාවකි. අපේම දේශීය අමුද්‍රව්‍ය, සාම්ප්‍රදායික ආහාර දැනුම සහ නවීන තාක්ෂණය එකට එක් කළහොත්, වඩාත් පෝෂ්‍යදායී, තිරසාර සහ පුද්ගල අවශ්‍යතාවලට ගැළපෙන ආහාර නිර්මාණය කරමින් අපේ දේශීය සම්පත් ඇසුරින් ලොවට නව ආහාර අත්දැකීම් තිළිණ කිරීමට අපට අවස්ථාව උදා වනු ඇත.

 

- ආචාර්ය නිෂලා වෙදමුල්ල, මහාචාර්ය ජනක විජේසිංහ,  ගායත්මා වීරවන්නි ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයනාංශය,  සත්ව විද්‍යා පාලන හා අපනයන කෘෂිකර්ම පීඨය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය