(සටහන - විමල් වීරසේකර)

බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් ලංකාවට යළි නිදහස උදා කර ගැනීම සඳහා, අරගල සිදු කළ දේශ හිතෛෂීන්ගේ නාමාවලියේ සිටින අයගෙන් කීපදෙනකු හැටියට පිලිප් ගුණවර්ධනත්, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාත්, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා හා එඩ්මන්ඩ් සමරක්කොඩිත් හැඳින්වීමට පුළුවන. වලව්කාරයකු වුවද පිලිප්, සුද්දන්ට කඬේ ගියේ නැත. බොරළුගොඩ වලව්වේ බොරළුගොඩ රාළහාමිගේ දරුවන් කීප දෙනාගෙන් වසවර්තිම කොලූ පැටවුන් දෙදෙනා පිලිප් හා රොබට් ගුණවර්ධන වූ අතර, දිනක ඔවුන් දෙදෙනා එක්ව, වලව්ව අභියස මිදුලේ තැනක සුද්දන්ගේ පින්තූර ඇඳ, පොලූ රැගෙන ඒවාට තඩි බෑහ.

පිලිප්, රොබට්, ඇන්.ඇම්, කොල්වින් හා සමරක්කොඩි ද එක්ව සුද්දන්ගේ කාලයේ එක්තරා දිනක සිදු කළේ වික‍්‍රමාන්විත ක‍්‍රියාවකි. මේ වනවිට එම වික‍්‍රමාන්විත ක‍්‍රියාව සිදු කොට වසර 70කි. ඔවුන් එම අභීත ක‍්‍රියාව සිදු කළේ 1947 අපේ‍්‍රල් මස 7 වැනිදා මධ්‍යම රාත‍්‍රියේදීය. බෝගම්බර මහ උළුගෙදර අදාළ ක‍්‍රියාව සිදු කළ ස්ථානය විය.

වාමාංශික මතධාරීන් වූ ඔවුන් ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂයේ ක‍්‍රියාකාරීන්ව සිටි අතර, අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව අරගල කිරීම පක්ෂයේ ප‍්‍රතිපත්තියක් විය. එවක තුරුණු වියේ පසු වූවන් රාශියක්ම එකට එක්ව අධිරාජ්‍යවාදීන්ට එරෙහි අරගලයේ නිරත වූ නිසා ඔවුන් මෙල්ල කිරීමට පහසු වූයේ නැත. ලසසපය තහනම් සංවිධානයක් බවට පත්කරන්න ඉංග්‍රීසි ආණ්ඩුව පියවර ගත්තේ ඉන් පසුවය. එම ක‍්‍රියාමාර්ගය ගැනුණේ හදිසි නීතිය ප‍්‍රයෝජනයට ගෙනය. උඩරට ගිවිසුම යටතේ 1815 මුලදී ලංකාව අල්ලාගත් ඉංගිරිසීයට එරෙහිව, නිදහස පතා ලාංකිකයන් නිදහස් සටන කරගෙන යද්දී සටනට සම්බන්ධ වූවන් මැඩලන්න ඉංග්‍රිසි ආණ්ඩුව නොගත් උත්සාහයක් නැති තරම්ය.

අත්අඩංගුවට ගැනීම් මෙන්ම හිරේවිලංගුවේ ලෑම් ද සිදුවිය. රට, ජාතිය, ආගම ගැන පැවති කැක්කුම හේතුවෙන් දිගින් දිගටම අරගලය සිදු කරගෙන ගිය හෙයින්, ලස්සප ක‍්‍රියාකාරීන් වූ පිලිප්ද, ඇන්.ඇම් ද, කොල්වින් හා, එඞ්මන්ඞ් ද අන්තිමේදී 1940 අගෝස්තු මස අත්අඩංගුවට ගැනිණි. හිරකොට හිටියේ බෝගම්බර මහඋළුගෙදරය. සිය සොයුරා වූ පිලිප්ද, සෙස්සන් තිදෙනාද හිරෙන් ගලවා ගන්න මෙහිදී රොබට් දැරූ උත්සාහය කිව නොහැකි තරම්ය. බෝගම්බර ක‍්‍රියාන්විතය සැලසුම් කරන ලද්දේ ඒ අනුවය. හිරබත් කමින් සිටි පිලිප් ඇතුළු සිව් දෙනා ද එළියේ සිටි පිලිප් සොයුරු රොබට් ද යන පස්දෙනාම ක‍්‍රියාන්විතයේ මහ මොළකරුවෝ වූහ. බෝගම්බර ජේලර්වරුන් සිටියේ නිරතුරුව ඔවුන් ගැන දැඩි සෝදිසියකිනි. පිලිප්, ඇන්.ඇම්, කොල්වින් හා එඞ්මන්ඞ් ද දැන උගත් අය වූ නිසා, හිරෙන් පැන යන්න උපක‍්‍රමයක් සලසා ගන්න ඔවුහු නිරතුරුවම දැඩි ලෙස කල්පනාවේ නිමග්නව සිටියහ. මේ අතරතුර, අධිරාජ්‍යවාදී බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව, ලසසපය මුද්‍රිත මාධ්‍යයෙන් රටපුරා ජනතාවට කරුණු කියා සිටින්නට ද අවශ්‍ය පියවර ගෙන තිබිණි. අදාළ පුවත්පත්, පත‍්‍රිකා, බෝගම්බර මහ උළුගෙදර ජේලර්වරුන් අතට ද පත් වුණාට සැකයක් නැත.

තමන් බලා ගැනීම සඳහා යොදා සිටි ජේලර්වරයා, තමන් ගැන විශේෂ අවධානයක් දක්වන වග වටහා ගත් පිලිප් ඇතුළු සිව්දෙනා ඔහු හා සමග කුලූපගතාවයක් ඇති කර ගත්තේ උපක‍්‍රමශීලිවය. සොලමන් නමැති ජේලර්වරයා, එම ජේලර්වරයා විය. උපක‍්‍රමශීලිව ඔහු හා සමඟ කුලූපගතාවයක් ඇතිකරගත් පිලිප්ලා, රට නිදහස්කර ගැනීම සඳහා ලසසපය දරන ප‍්‍රයත්නය ගැනත්, එම පක්ෂයේ ප‍්‍රතිපත්ති ගැනත් ඔහුට අවබෝධයක් ලබා දෙන්න ද අමතක නොකළහ. අන්තිමට සිදු වූයේ ජේලර් සොලමන්, පිලිප්ලගේ දැලට හසුවීමය.

පිලිප් ඇමෙරිකාවට ද ගොස් උගත්තෙකි. ඇන්.ඇම් හා කොල්වින් ද බි‍්‍රතාන්‍යයේ උගත්තවුන්ය. ලස්සපයේ අයගෙන් බොහොමයක් දෙනා නූගතුන් නොව, හොඳට උගත් පුද්ගලයන්ය. උගත්කම නිසාම, සූක්ෂම උපක‍්‍රම යොදන්න ඔවුන් හරිම හපනුන්ය.

බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව අරගල කරන්න ගොස් හිරේ ද වැටුණු හිරකරුවන් කීප දෙනකුට උදව් කිරීමට යාමෙන් තමා බරපතළ අමාරුවක වැටෙන වග ඉඳුරා දැනගෙන සිටියත්, නිදහස අත්කර ගැනීමෙන් රටට සිදුවන යහපත ගැන සලකා ඔවුන්ට අතහිත දෙන්න ජේලර් සොලමන් තීරණය කොට තිබිණි.

පිලිප් ඇතුළු දේශපාලන සිරකරුවන් සිව්දෙනා රඳවා සිටි බෝගම්බර මහ උළුගෙදර හිරකුටියේ යතුරට සමාන යතුරක් සකසා ගන්න රොබට් මේ අතරතුර අවශ්‍ය පියවර ගත් අතර එම යතුර ද අන්තිමේදී සකසා ගැනිණි.

බෝගම්බරින් පළා යන්න සිව්දෙනා සූදානම්ව සිටියේ 1947 අපේ‍්‍රල් 7 වැනිදා මධ්‍යම රාත‍්‍රියේදීය. රාත‍්‍රී කාලයේ සිරකරුවන් ගැන දැඩි විමසිල්ලකින් සිටින්න ජේලර්වරුන් රැසක්ම යොදවනු ලැබ සිටියහ. ජේලර්වරුන් දෙස ඇස ගසා ගෙන සිටියේ ප‍්‍රධාන ජේලර්වරයාය. ප‍්‍රධාන ජේලර්වරයාගේ පැමිධෑම වළක්වන්න, බෝගම්බර හිරකුටියේ සිටි සමසමාජ මොළකාරයන් උප්පරවැට්ටියක් යෙදු අතර මහනුවර මත්පැන් පානය කෙරෙන නමගිය හෝටලයකට එදින රාත‍්‍රී හෙතෙම කැඳවාගෙන ගොස් ඔහුට එහිදී හොඳ හැටි සැලකීම එම උප්පරවැට්ටිය විය. ඒ සඳහා ඊටම ගැළපෙන සම සමාජ ක‍්‍රියාකාරිකයකු යොදවන්න කටයුතු යොදා තිබිණි. බෝගම්බර ක‍්‍රියාන්විතයේ දිනය ද උදාවිය.

රාත‍්‍රිය වනවිට ප‍්‍රධාන ජේලර්වරයා මත්පැන් හළක හොඳහැටි මීවිත තොල ගාමිනි. මධ්‍යම රාත‍්‍රියේදී, ජේලර් සොලමන් සේවයට වාර්තා කොට, මද වේලාවකින්, පිලිප් ඇතුළු සිව්දෙනා රඳවා සිටි හිරකුටියේ දොර ඇරියේය. දොර අරින්න යොදා ගත්තේ රොබට් සකසා ගෙනවුත් ඔහු අතට පත්කොට තිබුණු හොර යතුරය. සිය සොයුරු පිලිප්ද, සෙස්සන් තිදෙනා ද හිරෙන් පැන්න පසුව ඔවුන් හනික රැගෙන යාම සඳහා රොබට් මේ අතරතුර මෝටර් රථයක් ලක ලෑස්ති කරගෙන එළියේ සිටියේය. දෙගොඩහරිජාමයේදී යන්තමට හෝ හඬක් නොඇසෙන ආකාරයට ජේලර් සොලමන් හිර

කුටියේ දොර අරිනවාත් සමඟම, දේශපාලන හිරකරුවන් වූ පිලිප්, ඇන්.ඇම්. කොල්වින් හා සමරක්කොඩි ද හිරෙන් පැන්නහ. ඔවුන්ට පනින්න උදව් කළැයි තමන් කොටුකර ගන්න ඉඩක් තිබුණු වග හැඟී ජේලර් සොලමන් ද ඔවුන් හා සමඟම පිට පැන්නේය. අනතුරුව ඔවුන් කීපදෙනා ඉවසුමක් නොමැතිව එළියේ බලා සිටි රොබට්ගේ මෝටර් රථයට නැගුණහ. ඔවුන් හා සමඟ ජේලර් සොලමන් ද ගියේ බෝගම්බරින් පළා යන්න ඔවුන්ට උදව් කළැයි චෝදනා එල්ලවන වග හොඳ හැටි දැනගෙනය. ජේලර් සොලමන් ඊට පසු සේවයට පැමිණියේ නැත. රැකියාවක් නොමැතිව ඔහුත්, ඔහුගේ පවුලේ අයත් ගත කළේ දුෂ්කර ජීවිතයකි. ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක හා පිලිප් ගුණවර්ධන ද එක්ව 1956 දී මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව පිහිටු වූ අවස්ථාවේ ආහාර හා සමූපකාර ඇමැතිකම පිලිප්ට හිමි වූ අතර හිරගෙදරින් පළා යන්න තමන්ට උදව් කළ සොලමන්ට කළගුණ සැලකීමක් වශයෙන් රැකියාවක් ලබා දෙන්න එහිදී හෙතෙම අවශ්‍ය පියවර ගත්තේය.

මේ ලිපිය සැකසීමේදී එච්.ඇම්. කල්දේරාගේ ලිපියක දැක්වුණු කරුණු ද සැලකිල්ලට ගැනිණි.