රිසරය පිළිබඳව කතා කිරීමේදී පළමුවෙන්ම අපේ අවධානය යොමු විය යුතු කරුණක් වන්නේ අප පරිසර ආරක්ෂාව ගැන කතා කළ යුත්තේ හුදු රොමෑන්තික ආකල්පයකින් පමණක් නොව සහභාගී සංවර්ධන ආකල්පයකින් බවය. ඒ කියන්නේ පරිසරය පිළිබඳව අපේ සාකච්ඡාව පදනම් විය යුත්තේ ජනතාවගේ ශිෂ්ටාචාරගතවීමේ සහ සංවර්ධන අභියෝග ජයගැනීමේ කලාපය සමග සම්බන්ධ කරමින් මිස හුදු මානසික ප්‍රීතියක් සඳහා නොවන බවය. එහෙත් කනගාටුවට කාරණය වන්නේ අපේ රටේ සමහරුන් පරිසර ආරක්ෂාව ගැන කතා කරන්නේ එවැනි සාපේක්ෂ ආකල්පයකින් නොව ඔහේ කතා කරන්නන් වාලේය. නිරපේක්ෂ අර්ථයකින්ය. බිම තියෙන තත්ත්වය ගැන කිසිම තේරුම් ගැනීමකින් තොර වියුක්ත ආකාරයකින්ය. මාධ්‍ය අවකාශයට ගැළපෙන පරිදිය. ලැබෙන ජනප්‍රියත්වය දෙස බලාය.

මේ දිනවල මාධ්‍ය අවකාශයේ තියෙන සාකච්ඡා අතර එක් ප්‍රධාන මාතෘකාවක් වන්නේ පරිසරය පිළිබඳවය. පරිසරය කීවාට ඒ සාකච්ඡා තුළින් මතුවෙන්නේ ගස් කැපීමක් පිළිබඳව වෙනත් අය කියන වෘත්තාන්තමය ආකාරයේ කතාය. මේ අලුත් තත්ත්වය මතුවුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඇති ගසක් පිළිබඳව මතුවූ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරිනියගේ රූපවාහිනී පෙනී සිටීමත් සමගය. (පසුව මට දැන ගන්නට ලැබුණේ මේ අධිවේගී මාර්ගය සඳහා කරන ලද පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව -Environmental Impact Assessment EIA -සඳහා වනජවී දෙපාර්තමේන්තුවත් මුලදී එකඟ වී අනුමැති ලබා දී ඇති බවය.) මුලදී තමන්ගේ දෙපාර්තමේන්තුවම අනුමැතිය දුන් ව්‍යාපෘතිය සියලු වියදම් දරමින් සැලසුම් කිරීමෙන් පසු රූපවාහිනී දර්ශනය සඳහා එයට එරෙහි වෙන තැනකට මේ ක්ෂේත්‍රය ගමන් කරන්නේ ඇයිදැයි මා මේ අවස්ථාවේ අසන්නේ නැත. එහෙත් අද තියෙන මෙම පරිසර සාකච්ඡාව සමාජ මාධ්‍ය තුළ පදනම් විරහිත තත්ත්වයක් දක්වා ගමන් කළේ මේ සිදුවීමත් සමගය. 


අපේ රටේ පරිසරය රැකීම පිළිබඳව සාකච්ඡාව හුදු රොමෑන්තික බවකින් යුක්තව ආරම්භ වුවත් මේ වනවිට එය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇති බව පැහැදිලිය. මේ දේශපාලනමය මැදිහත්වීම හේතුවෙන් මෙම ගැටලුව පිළිබඳව පළල් අදහසක් සමාජය තුළ ගොඩනඟා ගැනීමේ අපහසුවක් ද මතුවී ඇත. සමහරුන් මෙම මාතෘකාව පිළිබඳව සිදුකරන කතා බහ මගින් පෙන්නුම් කරන්නේ එක්කෝ ඔවුන් මේ මේ විෂය පිළිබඳව දන්නේ නැති බවය. එහෙම නැත්නම් දැනුවත්වම ඔවුන් මේ පිළිබඳව බොරු කියන බවය. මෙවර කිවිදා දැක්මෙන් මා සාකච්ඡා කරන්නේ පරිසරය සම්බන්ධ කරුණු කීපයක්ය.


පරිසරය පිළිබඳව කතා කිරීමේදී පළමුවෙන්ම අපේ අවධානය යොමු විය යුතු කරුණක් වන්නේ අප පරිසර ආරක්ෂාව ගැන කතා කළ යුත්තේ හුදු රොමෑන්තික ආකල්පයකින් පමණක් නොව සහභාගී සංවර්ධන ආකල්පයකින් බවය. ඒ කියන්නේ පරිසරය පිළිබඳව අපේ සාකච්ඡාව පදනම් විය යුත්තේ ජනතාවගේ ශිෂ්ටාචාරගතවීමේ සහ සංවර්ධන අභියෝග ජයගැනීමේ කලාපය සමග සම්බන්ධ කරමින් මිස හුදු මානසික ප්‍රීතියක් සඳහා නොවන බවය. එහෙත් කනගාටුවට කාරණය වන්නේ අපේ රටේ සමහරුන් පරිසර ආරක්ෂාව ගැන කතා කරන්නේ එවැනි සාපේක්ෂ ආකල්පයකින් නොව ඔහේ කතා කරන්නන් වාලේය. නිරපේක්ෂ අර්ථයකින්ය. බිම තියෙන තත්ත්වය ගැන කිසිම තේරුම් ගැනීමකින් තොර වියුක්ත ආකාරයකින්ය. මාධ්‍ය අවකාශයට ගැළපෙන පරිදිය. ලැබෙන ජනප්‍රියත්වය දෙස බලාය.

පරිසර නීතිය

අප රටක් ලෙසින් පසුගිය වසර 72 පුරාවටම විවිධ සංවර්ධන උපක්‍රම අත්හදා බලා ඇති ජාතියක්ය. අපේ උත්සාහයන් අතරින් සමහර ඒවා ජයගෙන ඇති අතර සමහර උත්සාහයන් බලාපොරොත්තු වූ ආකාරයෙන් ජයග්‍රහණය කර නැත. දැන් අප සිටින්නේ පරිසර ජයගැනීම වගේම ආර්ථික වශයෙන් හොඳ ජීවන ක්‍රමයක්ද ගොඩනඟා ගැනීමේ අභියෝගය සමගය. අප ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් බවට පත්වීම සඳහා තව බොහෝ වැඩ කළ යුතුය. මේ නිසා අපේ රටේ පරිසර සංරක්ෂණය පිළිබඳව සිදුකරන සාකච්ඡා සමස්තම ආකල්පයකින් කළ යුතු බව මගේ අදහසය. ඒ කියන්නේ පරිසරය පිළිබඳව කථා කිරීමේදී සංවර්ධන පැත්ත පිළිබඳවත්  අවධානය යොමු කරමින් එය සිදුකළ යුතු බව අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය.

වන සංරක්ෂණය පිළිබඳව සහ වනජීවීන්ගේ ආරක්ෂාව පිළිබඳව සමහර නීති අපේ රටේ  තිබුණේ යටත්විජිත පාලන කාලයේ සිටය. එසේ වුවත් පරිසරය සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය පිළිබඳව නිශ්චිත නීති පද්ධතියක් රටට පැමිණියේ 80 දශකයේදීය. ඒ 1980 සම්මත වූ ජාතික පරිසර පනත සහ වෙරළ සංරක්ෂණ පනත සමගින්ය. මේ පනත් දෙක මගින් මධ්‍යම පරිසර අධිකාරිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගොඩනැගුණු අතර ඒ ආයතන දෙක සමග වන සංරක්ෂණ සහ වනජීවී යන දෙපාර්තමේන්තු දෙක මේ රටේ පරිසර සංරක්ෂණය පිළිබඳව පසුගිය වසර 40 පුරාවට සිදුකර ඇති සේවය විශාලය.

මෙහිදී අපේ අවධානයට ගත යුතු තවත් කාරණයක් වන්නේ අපේ රටේ සමහර විශාල ව්‍යාපෘති හදද්දි මේ රටේ පරිසර කළමනාකරණයක් තිබුණේ නැති බවය. අපේ රටේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතීන් දෙකක් වූ මහ කොළඹ ආර්ථික කොමිසම යටතේ පිහිටු වූ මහා පරිමාණයේ කර්මාන්ත ශාලා ආරම්භ වූ කාලයේ මේ රටේ පරිසර කළමනාකරණය පිළිබඳව නිසි ආකාරයේ නීති පද්ධතියක් තිබුණේ නැත. එසේම කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ගෙනෙද්දීද එවැනි පරිසර නීතියක් මත කළමනාකරණය කිරීමක් සිදුකළේද නැත. මා ඒ බව කියන්නේ පරිසර නීති දෙස නොබලා සංවර්ධනය කිරීම සුදුසු බව කීමට නොව මේ ප්‍රශ්නයේ ස්වභාවය පැහැදිලි කිරීමටය. 

මාධ්‍ය දෙස බලන විට පෙනීයන්නේ වර්තමානයේ සමහරුන් මතුකරන පරිසර ගැටලුව වන්නේ වන විනාශය බවය. සංරක්ෂිත රක්ෂිතයන් තුළ නීති විරෝධී ආකාරයෙන් ගස් කැපීම් සිදුවුවහොත් ඒවා නීතියේ රුහැනට ලක් කරන්නට රජයේ ආයතන උත්සාහ ගන්නා බවද පෙනී යන කාරණයකි. එහෙත් ඒ අතරින් සමහර අවස්ථාවල නීතියේ රැහැනින් රිංගා යන අය සිටින බව හැම කාලයේම පෙනී ගිය තත්ත්වයක්ය.

එහෙත් මගේ වැඩි අවධානය තිබෙන්නේ මේ කියන හුදකලා වන විනාශයන් මත සිට පරිසර ආරක්ෂාව පිළිබඳව වියුක්ත රොමෑන්තික කතා කීම නොව සංයුක්ත ආකාරයෙන් පරිසර කළමනාකරණය පිළිබඳව අප රටක් ලෙසින් කල්පනා කළ යුතු බව සාකච්ඡා කිරීමටය.

පරිසර කළමනාකරණය

මවිසින් මුලින් කී පරිදි මෙහි දී අපේ අවධානය යොමු විය යුත්තේ සංවර්ධනය ප්‍රතික්ෂේප කරමින් සිදුකරන පරිසර ආරක්ෂාවක් පිළිබඳ හුදු ඌනතිවාදයක් දෙසට නොව සංවර්ධනය ඇතුළත් කරගන්නා පරිසර කළමනාකරණයක් වෙතටය. මෑත කාලයේ එවැනි ශක්තිමත් ආකාරයෙන් සංවර්ධනය සහ පරිසරය අතර මිශ්‍රණයක් පෙන්නුම් කළ ව්‍යාපෘතියක් ලෙසින් වත්මන් ජනාධිපතිතුමන් විසින් ඒ කාලයේ සිදු කළ නාගරික සංවර්ධන සැලසුම් ව්‍යාපෘතිය හැඳින්විය හැකි බව මගේ අදහසය. 

කොළඹ නගරයේ ජලාශ්‍රිත ප්‍රදේශ ඒ ආකෘතියෙන්ම නව එකතුකිරීම් ද සහිත ගොඩ නැංවුණු එම ව්‍යාපෘතිය හරහා මේ රටේ පරිසරය කළමනාකරණය පිළිබඳව නව අදහසක් ගොඩනැගූ බව ඉතාමත් පැහැදිලිය.

පරිසර කළමනාකරණය ලෙසින් අප දැකිය යුත්තේ අවශ්‍ය ආකාරයට මානව ශිෂ්ටාචාරය ද ආරක්ෂාවන සහ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමේ පදනමකින් සැලසුම් සකස් කිරීමය. එහිදී පවතින පරිසර සාධක එනම් පස, ජලය, වාතය, වනාන්තර වැනි දේවල් ආරක්ෂා කරගැනීම ලෙසින් අප තේරුම් ගත යුත්තේ ඒවා තිබෙන ආකාරයෙන් තබා ගැනීම පමණක් නොව අවශ්‍යතා සඳහා සැලසුම් සහගතව ඒවා වෙනස් කිරීමත් ඇතුළත් කරගත් වැඩසටහනක් ලෙසින් බව මගේ අදහසය.

නිදර්ශනයක් ලෙසින් ගතහොත් පැරණි දියවන්නා ඔය පිළිබඳව සන්දේශ සාහිත්‍යයේ සැලළිහිනියා මගින් කියන ආකාරයේ කතා කීමෙන් පරිසරය ආරක්ෂා කරන්නට යාම පසුගාමී දෙයක් බව මගේ අදහසය. දියවන්නා ඔය වර්තමානයට ගැළපෙන ආකාරයෙන් ජෙෆ්රි බාවා විසින් යළි ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් ඉදිරිපත් කළේ ජේ.ආර්. ජයවර්ධන යුගයේදීය. එම සැලසුම්වලට අනුව අලංකාර පාර්ලිමේන්තුවක් සැදීමටත් සහ දියවන්නා ජල ධාරාව නව ආකාරයකින් කළමනාකරන්නටත් ඒ කාලයේ අයට හැකි විය. 

වර්තමානයේ අවශ්‍යතා සඳහා භූමිය යොදා ගැනීම්වලට අනුව ඒ දියවන්නාවම යළිත් වරක් පරිසර සංරක්ෂණය පැත්තෙන් කළමනාකරණය කළේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන ලේකම් කාලයේය. යම් පරිසර සාධකයක් සංරක්ෂණය හා කළමනාකරණය කිරීම යනු ඒ පරිසර සාධකය නව තත්ත්වයට ගැළපෙන ආකාරයෙන් කළමනාකරණය කිරීම මිස එයට ‘අතවත් නොතියා සිටීම’ යැයි මම සිතන්නේ නැත. යම් පරිසර සාධකයක් ඒ ආකාරයෙන්  පාවිච්චි කිරීමට හැකියාවක් නොමැති නම් ඒ තත්ත්වය වර්තමානයට ගැළපෙන ආකාරයෙන් අදාළ පරිසර සාධකයට හානියක් සිදුනොවන පරිද්දෙන් සංරක්ෂණය කිරීම වැදගත් වන්නේ ඒ තත්ත්වය නිසාය.

ඒ අනුව පරිසර කළමනාකරණය ලෙසින් මා දකින්නේ විශේෂයෙන් ජාතික පරිසර පනත යටතේ ඇති සමහර රෙගුලාසි මගින් පෙන්නුම් කර ඇති ආකාරයෙන් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව ශක්තිමත් ආකාරයෙන් මැදිහත්වෙන ආකාරයේ කළමනාකරණයකි. එසේ නොමැතිව ‘පරිසරයට අත නොතබමු’ යන ආකාරයෙන් පරිසර සංරක්ෂණය කරන්නට යාම මගින් සිදුවන්නේ රටක් ලෙසින් අප ඉදිරියට යන්නේ නැති සංවර්ධනය සඳහා සියල්ල බාධා බවට පත්කර ගත් සැලසුම්කරණයකි.

මෙහිදී විශේෂයෙන් කිව යුත්තේ රක්ෂිත වනාන්තර විනාශ කිරීමේ සිට පරිසර සාධක නොතකා හරිමින් සිදුකරන හානිදායක තත්ත්වයන් සියල්ල නැවැත්විය යුතුවා සේම පරිසර සාධක කළමනාකරණය කරමින් සිදුකරන සංවර්ධන කටයුතු ආරක්ෂා කළ යුතු බවය.

මහාචාර්ය චරිත හේරත්