මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන උසස් පෙළ සමතුන් සියල්ලටම ඒ සඳහා පහසුකම් සැලසීමට අපේ විශ්වවිද්‍යාලවල ඉඩ කඩ ප‍්‍රමාණවත් නැත. අපේ රටේ පමණක් නොව ලෝකයේ කිසිම රටක එම පහසුකම නොමැත. විශේෂයෙන්ම පළමු වැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපන පහසුකම් සපයන රටවල් වෙත්නම් එයද අතළොස්සකි. විශේෂයෙන්ම ප‍්‍රාථමික අධ්‍යාපනය නොමිලේ සැපයුවද උසස් අධ්‍යාපනය මුදලට විකිණීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. චීනය වැනි දැවැන්ත සමාජවාදී රාජ්‍යයක වුවද උසස් අධ්‍යාපනය මුදලට විකිණේ.

මෙවන් පසුබිමක ශී‍්‍ර ලංකාව වැනි රාජ්‍යයකම වුවද නොමිලේ විශ්වවිද්‍යාල පහසුකම් ලබාදිය හැකි වන්නේ ඒ සඳහා සුදුසුකම් ලබන පිරිසෙන් සියයට 17කට පමණි. වර්තමානයේ සිට දිගින් දිගටම පැවැති ආණ්ඩුවල ප‍්‍රාර්ථනය හා බලාපොරොත්තුව වී තිබුණේ මෙම ප‍්‍රමාණය වැඩි කිරීමට මිස කප්පාදු කිරීමට නොවේ. ඒ අනුව 2005 දී 17000ක්ව පැවැති විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ සිසුන් සංඛ්‍යාව මේ වන විට 29333 දක්වා වැඩි වී තිබේ. මෙය වත්මන් රජය යටතේද වැඩිවෙමින් පවතී. 2015/16 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමට සුදුසුකම් ලැබූ 27603ක් වූ සංඛ්‍යාව මේ වන විට 29333 දක්වා වැඩි වී තිබෙන්නේ වර්තමාන රජය යටතේය. එසේම එය 2020 වන විට 50,000 දක්වා වැඩිකිරීමට අරමුණු කරගෙන සිටින බව රජයේ අධ්‍යාපන බලධාරිහු සඳහන් කරති. මෙවන් පසුබිමක උසස් අධ්‍යාපනය කප්පාදු කිරීමේ කි‍්‍රයාවලියක ආණ්ඩුව නිරතවෙමින් සිටිනවාය යන සටන් පාඨය මතුවන්නේ මොන පදනමකින් දැයි කියන්න දන්නේ නැත.

මෙසේ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි වුවද රටේ ජනගහනයට හා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාවට සාපේක්‍ෂව විශ්වවිද්‍යාල වරම් ලැබීමට සුදුසුකම් ලබන සංඛ්‍යාවේද වැඩිවීමක් දක්නට ලැබේ. මෙම පිරිස 2016/17 අධ්‍යයන වර්ෂයට සාපේක්‍ෂව 160,517කි.

ඉන් අපේ රටේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ ඉඩකඩ ඇත්තේ 29,333කට පමණි. එසේ නම් ඉතිරි 131,184ට සිදු වන්නේ කුමක්ද? පෞද්ගලික අංශයේ උපාධි  හා විවිධ ඩිප්ලෝමා සහතික පිරිනමන ආයතනවල පිහිට පැතීමටය. කාලාන්තරයක් තිස්සේම එවන් ආයතන අප රට තුළ කි‍්‍රයාත්මක වේ.

එහෙත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරන්නේ මේ සියල්ලටම රජයේ විශ්ව විද්‍යාල පහසුකම් සැපයිය යුතු බවයි. ඔවුන් මහපාරේ නිතර දක්නට ලැබෙන්නේ මෙම සටන් පාඨය සමඟිනි. ඔවුන්ට අනුව අන් සියලූ පෞද්ගලික අංශයේ උපාධි පිරිනමන ආයතන උපාධි කඩය. ඒවා වසා දැමිය යුතුය. ”සයිටම්” ආයතනය  ද හඳුන්වනු ලබන්නේ තවත් උපාධි කඩයක් ලෙසිනි. මේ මනෝ රාජික සටන් පාඨය කොතරම් ප‍්‍රායෝගික නොවන්නේ දැයි මේ රටේ මොළේ කළඳක් ඇති  ඕනෑම කෙනකුට වැටහේ. දැන උගත් වෛද්‍යවරුන්ගෙන් සමන්විත අපේ රටේ වෛද්‍ය සංගමය පවා මුක්කු ගසමින් සිටින්නේ මේ බොල් සටන් පාඨයට බව පෙනේ.

අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනය ගත් කලද රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුළත් කරගත හැකි සිසුන් සංඛ්‍යාවද රටේ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවෙන් අතළොස්සකි. ඊට හේතුව එ් සඳහා සුදුසුකම් ලබන සියල්ලටම නොමිලේ වෛද්‍යපීඨ විවෘත කිරීමේ ප‍්‍රායෝගික හැකියාවක් රජයකට නොහැකි වීමයි. මේ වන විට වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කරගනු ලබන්නේ ද ඊට සුදුසුකම් ලබන පිරිසෙන් 17%ක් පමණි. ඉතිරි 83%ට අයත් ඇති හැකි මවුපියෝ සිය දරුවන්ට තම ධනයෙන් විදේශ රටවල වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට යොමුවෙති. මේ සඳහා වාර්ෂිකව රටින් පිට රටට ගලාගෙන යනු ලබන මුදල රු. බිලියන 132කි. මෙය මුළු රටේම උසස් අධ්‍යාපනයට වෙන් කරනු ලබන මුදල මෙන් තුන් ගුණයකට ආසන්නය. එම මුදල 2016 අය වැය ලේඛනයට අනුව රු. බිලියන 48කි.

අපේ රටේ ඇති හැකිි අය වුවද මෙසේ ඩොලර්වලට වැය කර පිට රටට යවමින් සිටින්නේ  දුප්පත් ගම්වල අසරණ අහිංසක කාන්තාවන් මැද පෙරදිග රැකියාවල නිරත වෙමින් ලේ දහඩිය කඳුළු මුසුකර මේ රටට එවනු ලබන විදේශ විනිමය හා ඇඟලූම් කම්හල්වල දහඩිය වගුරන කාන්තා සොහොයුරියන් රටට උපයාදෙන විදේශ විනිමය බව බොල් වාමාංශික සටන්පාඨ කරුවන් නොදන්නවා නොවේ. එක් වෛද්‍ය සිසුවකුට පිටරට වෛද්‍ය අධ්‍යාපනය සඳහා ලක්‍ෂ 300 කට වැඩි මුදලක් වැයවෙන බව කියැවේ. කොතරම් පාරේ ඩෙඟා නැටුවත් සයිටම් තිබුණත් නැතත් තම දරුවන්ට ඉගැන්වීම මවුපියන් නතර කරන්නේ නැත.

අඩුපාඩු සහිතව වුවද දේශීය නියෝජිතයකුගේ මැදිහත් වීමෙන් මහින්ද රාජපක්ෂ රාජ්‍ය සමයේ ”සයිටම්” ආයතනය (මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය) බිහි වන්නේ මෙවන් පසුබිමකය. එහි වෛද්‍ය උපාධිය හදාරන්න සිසුවකුට වැය වන මුදල විදේශ රටකදී ඒ සඳහා වැය කරනු ලබන මුදලින් 1/3 ක් පමණ වේ යැයි පැවසේ. මේ නිසා සයිටම් ආයතනයට මහින්ද රාජපක්ෂ රජය මඟින් අනුග‍්‍රහය දැක්වීම ප‍්‍රතිපත්තියක් වශයෙන් කාලෝචිත යහපත් කි‍්‍රයාවකි. ලෝක යථාර්ථයට එකඟ වීමකි. වත්මන් රජය එය රාජපක්ෂ රජයෙන් ලැබුණු විකෘති දරුවකු ලෙසින් සැලකීම වුවද බෙලහීන කමකි.

ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් පොදු එකඟතා පිළිවෙතක් නොමැති වත්මන් ආණ්ඩුව තුළ දොස්තර රාජිත සේනාරත්න, ලක්‍ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක වැනි ඇමැතිවරුන් පවා ”සයිටම්” ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අපහසුතාවකට පත්ව සිටින අතර සමහරු ලාබ සටන් පාඨවල බොරු වීරයෝ වෙමින්  සිටිති. මේ අතර එල්.ටී.ටී.ඊ. ය සමඟ වුවද සාකච්ඡා කිරීම නිවැරැදි යැයි හැඳින්වෙන්නේ නම් ජනාධිපතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංඟමය සමඟ සාකච්ඡා කිරීමේ වරදක් නොපෙනේ. ඔවුන් සමඟද නිරතුරුව සාකච්ඡාවකට දොරටුවක් විවෘත වීම වැදගත්ය.

හෙට දිනයේ සයිටම් ආයතනය වසා දැමුව ද රජයට පවරා ගනු ලැබුවද එය ලෝක හා දේශීය යථාර්ථයට මුහුණ දීමට නොහැකි කොන්ද පණ නැති ආණ්ඩුවක අදක්ෂකමක් මිස වෙනයම් අරුතක් ඇති බවක් නම් නොපෙනේ. 2009 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ රජය යටතේ බිහි වී පවත්වාගෙන  ”සයිටම්” හදිසියේම රජයට පවරා ගැනීමේ උද්ඝෝෂණ මතුවන්නේ ඇයි? උසාවි තීන්දුවක එල්ලී සිටින වත්මන් රජය ජනතාව සමඟ කටයුතු නොකිරීමය. දේශපාලන න්‍යාය පත‍්‍රයකට අනුව වැඩ කිරීමය. එසේම යහ පාලනය දුර්වල ඉඩකඩ ප‍්‍රයෝජනයට ගැනීමය.

නූතන අධ්‍යාපනයේ යථාර්ථය රටට පැහැදිලි කිරීමේ නොහැකියාව කරණ කොටගෙනය. පෞද්ගලික හෝ රාජ්‍ය අංශයේ වෛද්‍ය අධ්‍යාපනය උදෙසා නියාමනයක් සකස් කිරීමට වසර 03ක් ගත වී ඇති නමුත් මේ ආණ්ඩුවට නොහැකි වීම ද තවත් හේතුවකි. නිදහස් සෞඛ්‍ය සේවාවේ හා රෝගී ජනතාවගේ අයිතීන් වෙනුවෙන් 250 ක් රෝහලක් ඉදිරිපිටට ගෙන එ්මට ශක්තියක් නොමැති ආණ්ඩු පාලනයක් තුළ නිතර නිතර සිදු වන වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය ගැන ද පුදුම විය යුතු නැත.

”සයිටම්” ආරම්භයේ දී අඩුපාඩු සහිතව ඇරඹි ආයතනයකි. ඒ නිසා මුලදී ඊට හොර උපාධි කඩයක් ලෙසින් හැඳින්වීමේ අතිධාවනකාරී සටන් පාඨයේ වුවද සාධාරණ බවක් පෙනේ. එහෙත් මේ වන විට ”සයිටම්” සිය අඩුපාඩුකම් සියල්ලම සපුරා ගෙන තිබෙන බව එහි හා රජයේ විශ්ව විද්‍යාලවල උගන්වනු ලබන ආචාර්ය මහාචාර්යවරුම සඳහන් කරති.

”එම්.බී.බී.එස්. වෛද්‍යවරයකුට උත්පත්තිය දීමේ හැකියාව මාලබේ වෛද්‍ය විද්‍යාලයට තිබේ.” ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප‍්‍රදීප් ද සිල්වා (4.7.2017)

එසේ නම් මේ වන විට වරද ඇත්තේ කොතැනද? රටක රාජ්‍ය හෝ පෞද්ගලික අංශය මඟින් කි‍්‍රයාත්මක කරනු ලබන වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ”නියාමන” පැවැතිය යුතුය. එය සකස් කර රජයට බාරදීමේ බලධාරී ආයතනය වන්නේ රජයේ වෛද්‍ය සභාවයි. එසේ නොමැතිව ආයතනයක් ස්ථාපිත කිරීමේදී විශ්වවිද්‍යාල  කොමිසම මඟින් කරනු ලබන පිළිගැනීම පමණක් විධිමත් වන්නේ නැත. එහෙත් අපේ රටේ තවමත් එවන් ”නිර්ණායක” සැකසී නොමැත. ඊට මූලික වශයෙන් වගකිව යුත්තේ රජයේ වෛද්‍ය සභාවයි.

”සයිටම්” ආයතනය ආරම්භක අවධියේ 2009 දී පමණ දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු අප මෙවන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට යන බවත්, ඒ සඳහා රජයේ වෛද්‍ය සභාවේ නිර්ණායක කවරේ ද දැයි ලිඛිතවම විමසා ඇත. එහෙත් එම ලිපිය සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ එවකට සිටි ප‍්‍රධානියාගේ පිළිතුර වී තිබෙන්නේ එවන් ”නියාමනයක්” අප සතුව නොමැති බවයි. මේ නිසා දොස්තර නෙවිල් තමන්ට දැනුම් තේරුම් ඇති ”නියාමන” යටතේ ”සයිටම්” අරඹා තිබේ. මීළඟට ඔහු දෙවැනි ලිපිය වෛද්‍ය සභාවට යොමු කරන්නේ එසේ නම් අපට රුසියානු විශ්ව විද්‍යාලයක් හා සම්බන්ධ වී වෛද්‍ය උපාධිය පිරිනැමීමට අවසර දෙන ලෙසයි. ඊට පිළිතුර සපයන රජයේ වෛද්‍ය සභාවේ ප‍්‍රධානියා එවැන්නක් අවශ්‍ය නොවන බවත් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම යටතේ ලියා පදිංචියක් ලබා ගන්නා ලෙසත් දන්වා යවමින් එම ලිපියේ පිටපතක් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට යවයි.

අවසානයේ මාලබේ ”සයිටම්” උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙසින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ පරීක්ෂණවලට හා කොන්දේසිවලට යටත්ව අවසර ලැබේ. ඊට විශ්වවිද්‍යාලවල මණ්ඩපාධිපති වරුන්ගේ ද අනුමැතිය ලබාගැනීමට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සමත්ව ඇත. රජයේ වෛද්‍ය සභාවේ බලධාරීහු අද මේ අතීතය අමතක කර තොත්ත බබාලා වශයෙන් රැල්ල යන අත බලා හැසිරෙති. තමන්ගෙන් විමසීමක් කර තිබිය දී ඇවැසි නියාමන ලබා නොදීමට සමත් වූ ආයතනයකට (රජයේ වෛද්‍ය සභාවට) පසු කලෙක මාලබේ සයිටම් ආයතනයේ ප‍්‍රමිතිය පරීක්ෂා කිරීමේ සදාචාරාත්මක අයිතියක් තිබේ දැයි ප‍්‍රශ්න කිරීමට අපට සිදුවේ.

රජයේ වෛද්‍ය සභාව යනු ජනතාවගේ මුදලින් නඩත්තුවන ආයතනයකි. මේ වන විට රජය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්ව විද්‍යාල සිසුන් හා සයිටම් ආයතනයේ සිසුන් මෙතරම් බරපතළ අර්බුදයකට ඇද දමා තිබෙන්නේ රජයේ වෛද්‍ය සභාව බව පැහැදිලිය. ඊට එහි වත්මන් සභාපතිවරයා වගකිව යුතුය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා මීට වසර 6කට පෙර එහි සභාපති වශයෙන් පත්කරන්නේ මේ සියලූ ප‍්‍රශ්න විසඳා, රටේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ නියාමනයක් සකසා, සයිටම් ප‍්‍රශ්නය විසඳීමටය. ඔහු නොකරන්නේ ද ඒ ටිකමය.

මහාචාර්ය කාලෝ කීර්තිමත් උගතෙකි. හොඳ ගුරුවරයෙකි. කලාකාමී පරිචයක් ඇති වියතෙකි. ඒ පිළිබඳ විවාදයක් නැත. එහෙත් ඔහු මේ ආයතනය තුළ පසුගිය සමයේ කටයුතු කර තිබෙන්නේ විටින් විට එකිනෙකට පටහැනි ප‍්‍රකාශ නිකුත් කරන වගකීම් විරහිත හුදු කතාකාරයකු ලෙසිනි. විටෙක ඔහුට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙනුණේ එල්.ටී.ටී.ඊ මෙන් ත‍්‍රස්ත සංවධානයක් ලෙසිනි. මේ මහාචාර්යවරයා වත්මන් රජය යටතේද නැවත පත්වී විශ‍්‍රාම යන්නේ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ”නියාමනයක්” සැකසීමට නොහැකි වූ වත්මන් ගැටලූවේ එක් පාර්ශ්වකරුවකු වන අසාර්ථක සභාපතිවරයකු ලෙසිනි.

මේ වන විටත් අපේ රටේ වුවද පෞද්ගලික අංශයේ උපාධි පිරිනමන ආයතන 27ක් පමණ කි‍්‍රයාත්මක වේ. වෛද්‍යවරයකුට වැරදුණොත් මිය යන්නේ එක් රෝගියෙකි. පෞද්ගලික උපාධිධාරී ඉංජිනේරුවරයකුට වැරදී ගොඩනැගිල්ලක් කඩා වැටුණොත් සියගණනක් මිය යා හැකිය. අද  අවැසි වන්නේ උපාධිය ලබා ගන්නා ආයතනය  රජයේද, පෞද්ගලික අංශයේද කියන කාරණය නොව  එය කුමන ”නියාමනයකට” ”ප‍්‍රමිතියකට” යටත්ද යන්නය. මේ බව දේශපාලන න්‍යාය පත‍්‍රවලට අනුව ඩෙඟානටන වත්මන් වෛද්‍ය උගතුන් වටහා ගැනීම රටේ උන්නතියට වැදගත් වේ. මේ නිසා අප සටන් කළ යුත්තේ යම් ආයතනයක නියාමන  හා ප‍්‍රමිතිය ස්ථාපිත කිරීමට, රැක ගැනීමට කටයුතු කිරීම මිස විනාශ කිරීම උදෙසා නොවේ.

(වසන්ත පි‍්‍රය රාමනායක)