මිනුවන්ගොඩ සහ තදාසන්න ප‍්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් ඇතුළු මහජනතාව කාලයක සිට භීතියට පත් කරගෙන සිටි පාතාල කල්ලි නායකයකු ලෙස මිනුවන්ගොඩ ජීවන් ප‍්‍රසිද්ධියට පත්ව තිබුණි. විශේෂයෙන්ම මිනීමැරුම්, කප්පම්, ස්ත‍්‍රී දුෂණ, සොරකම්, කොල්ලකෑම් ආදී දරුණු ගනයේ අපරාධ රැුසකට සම්බන්ධ සැකකරුවකු නිසා ඒ නම ඇසෙන විටත් බොහෝ දෙනෙකු තැති ගැන්වී සිටියහ.

එම නිසාම මිනුවන්ගොඩ ජීවන් ඇතුළු සගයන් දුරකථනයෙන් කප්පම් මුදල් ඉල්ලා සිටින විට  ඕනෑම මොහොතක එම මුදල ගෙනවිත් දීමට තරම් ව්‍යාපාරිකයෝ සැදී පැහැදී සිටියහ. සිය ජීවිතවලට ඇති ආසාව නිසා ඔවුන් කිසි විටෙකත් ඒ ගැන පොලිසියට පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවීය.
මිනුවන්ගොඩ ජීවන්ට මනුෂ්‍ය ඝාතනයක් දෙකක් කිරීම හරියට රට කජු කනවා වැනි පහසු කටයුත්තකි. ඒ තරමටම ඔහු පාතාලයේ චණ්ඩියෙකි. ඔහුගේ අතක කොටා තිබෙන විශාල දිය කිඳුරියකගේ පච්චයෙන් ඔහු පහසුවෙන් හඳුනා ගැනීමට පුළුවනි.

 

 

 
පාතාල සාමාජිකයන් දෙදෙනාගේ සිරුරු



මිනුවන්ගොඩ, ආඬිඅම්බලම පදිංචි මිනුවන්ගොඩ ජීවන් යුද හමුදාවෙන් පලා ආ සෙබළෙකි. අනතුරුව ඔහු රැකියාව ලෙස කළේ සොරකම් හා කොල්ලකෑම්ය. ඔහුට දරුවන් දෙදෙනෙකු ද සිටී.

මිනුවන්ගොඩ පස් ගාමිණී මහා පරිමාණයෙන් පස් බිස්නස් කරන ව්‍යාපාරිකයෙකි. එමෙන්ම ඔහු ද මිනුවන්ගොඩ ජීවන්ට පෙර සිටි චණ්ඩියෙකි. ඔහුට ඉහළින් යාමට කිසිවකුත් නොවීය. මේ අතර අසිත ද කරළියට පැමිණෙමින් සිටියේය. අසිතගේ මිතුරකුගේ මවට පිළිකාවක් සැදී තිබූ නිසා ඇය බේරා ගැනීමට ඔවුන් මුදල් සොයමින් සිිටි කාලයකි. මිතුරාට අයත් ඉඩමක පස් කපා මුදල් උපයා ගැනීමට අසිත තීරණය කළේය. ඒ අනුව මිතුරන් සමග එක්ව පස් කපමින් සිටින විට පස් ගාමිණී පැමිණ ආරවුලක් ඇති කරගත්තේය. ඒ තමාගේ පස් වෙළඳාම අසිත කිරීමට පටන් ගෙන තිබීම නිසාය. කරාටේ කාරයකු වූ අසිත ද පස් ගාමිණීට අවනත නොවීය. අසිත කෙළින්ම පස් ගාමිණීගේ නිවසටම ගොස් ”කවුද චණ්ඩි ඉන්නේ දැන් කවුරුත් චණ්ඩි නැහැ මමයි මේ ගමේ චණ්ඩියා” කියමින් පස් ගාමිණීට සිය ශක්තිය පෙන්වා ආවේය. එම සිද්ධිය සිංහයකු මෙන් සිටි පස් ගාමිණීට විශාල ලැජ්ජාවක් ඇති කළේය.

එම නිසා පස් ගාමිණී අසිතව මරා දැමීම සඳහා සැලසුමක් දියත් කළේය. ඒ සඳහා සාගර පස් පොඞ්ඩා හා ජයේ මුදලාලි ද එකතු කර ගත්තේය. ඒ බව දැනගත් අසිත ද සිය බලය තර කර ගැනීම සඳහා ජීවන්, උදය, දේවක, දීප්ති නොහොත් අයිය අප්පු, මෙන්ඩිස්, රසික, උන්නාරුවේ සුසන්ත ද එකතු කර ගත්තේය. ඒ අනුව මිනුවන්ගොඩ පාතාලය පස් ගාමිණීගේ හා අසිතගේ ලෙස කණ්ඩායම් දෙකකට බෙදී ගියේය.

ජයේ මුදලාලි පස් ගාමිණීට මුදල් වියදම් කරන අතර හීනටියන නීල් අසිතට අවශ්‍ය මුදල් ලබා දුන්නේය. දිනක් අසිතට වෙඩි තබා ඔහු ඝාතනය කිරීමට පස් ගාමිණීගේ කණ්ඩායම උත්සාහ කළ ද එම ඉලක්කය වැරදී ගියේය. අදාළ වෙඩි උණ්ඩයෙන් ජීවිතක්ෂයට පත්වූයේ අසිතගේ මිතුරෙකි.
ඒ සඳහා වූ පලිය ගැනීමට අසිත ටී. 56 වර්ගයේ ගිනි අවියක් ද රැුගෙන ගොස් මිනුවන්ගොඩදී පස් ගාමිණීට වෙඩි තබා ඝාතනය කළේය. එම අපරාධයට අසිතට රිමාන්ඞ් භාරයට පත්වීමට සිදුවිය.

තම කල්ලියේ ප‍්‍රබලයා වූ පස් ගාමිණී මරාදැමීම පිළිබඳව උරණ වූ ජයේ මුදලාලි ඉන් අනතුරුව අසිතව මරා දැමීම සඳහා සැලසුමක් දියත් කළේය. අසිතව අධිකරණය වෙත ඉදිරිපත් කොට නැවත බන්ධනාගාරය වෙත රැගෙන යන විට ගම්පහ කිරිඳිවැලදී ඔවුන් එම බසයට වෙඩි තැබුවේය.

එහෙත් වෙඩි වැදුනේ අසිතට නොව බන්ධනාගාර නිලධාරියෙකුටය. ඉන් එම නිලධාරියා ද ජීවිතක්ෂයට පත්විය. අසිත මරා දැමීමට එතැනදී නොහැකි වූ නිසා ඔහු බන්ධනාගාරය තුළදී මරා දැමීමට ජයේ මුදලාලි පෙරොෂ් මගින් කුඩා මයික්‍රෝ පිස්තෝලයක් මීගමුව බන්ධනාගාරයේ සිටි බුලට් අතට යැවීය. ඒ අනුව අසිත බන්ධනාගාරය තුළදී මරා දැමීමට ජයේ මුදලාලි සමත් විය.

අසිත අහිමි වීමත් සමග එම පාතාල කල්ලිය මෙහෙයවීමට තිබෙන්නේ ඊළඟට වැඩිම මිනීමැරුම්, කප්පම් ගැනීම්, මංකොල්ලකෑම් සංඛ්‍යාවක් කර ඇති සාමාජිකයකුටය. ඒ අනුව අසිතගෙන් හිස් වූ පාතාල පුටුව ආඬිඅම්බලම පදිංචි ජීවන් සුනිමල් රාජපක්ෂ නොහොත් මිනුවන්ගොඩ ජීවන්ට (36) හිමි විය.
අසිතව මරා දැමීමේ පලිය ජීවන් සීදුවදී ජයේ මුදලාලිට වෙඩි තබා මරා දැමීමෙන් පසු ලබා ගත්තේය. ඔහුට සම්බන්ධ කිහිපදෙනකු මිනුවන්ගොඩ හෝටලයක සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ජීවන් ඇතුළු කණ්ඩායම එහි ගොස් වෙඩි තැබුවේය. එහෙත් ඉන් ඝාතනය වූයේ කිසිදු වරදකට සම්බන්ධ නොමැති අහිංසක පුද්ගලයන් තිදෙනෙකි. ඒ අනුව අදාළ ත‍්‍රිත්ව ඝාතනයේ සැකකරුවකු බවටද ජීවන් පත්විය.

මේ අතර පස් ගාමිණීට හිතවත්ව සිටි කණ්ඩායමේ නායකයා බවට පත්වූයේ හිරෙන් ඇප ලබාගෙන පැමිණි සාගරය. ජයේ මුදලාලි මරා දැමීම සඳහා ඔත්තු දුන්නේ මාතලන් යයි සිතා සීදුවේදී ඔහුට වෙඩි තබා මරා දැමීමට සාගර ක‍්‍රියා කළේය. ඉන් පසුව මාතලන්ගේ බිරිඳ හා වැඩිමහල් සහෝදරයා ජීවන් හමුවීමට පැමිණෙන්නේ මාතලන්ට වූ දෙය ගැන දැන ගැනීමටය.

මාතලන් මැරීමට ඒ.සී. සුගත් උදවු කළ බව පවසා ජීවන් මාතලන්ගේ අයියාට ගිනි අවියක් නිකුත් කළේ එම පලිය ලබා ගන්නා ලෙස කියමිනි. ඒ අනුව මාතලන්ගේ අයියා ඒ.සී. සුගත් ඝාතනය කරන ලදී. ඒ වනවිට මිනුවන්ගොඩ ජීවන් මනුෂ්‍ය ඝාතන පහකට වැඩි ප‍්‍රමාණයක් සිදුකර තිබුණි.

ඇඹිලිපිටිය, මාමඩල පදිංචි වට්ටක්කා සරත් ද කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහුද ආරම්භයේ චණ්ඩියකු වුවද පසුව වැලි හා මැණික් බිස්නස් කර දැහැමි ජීවිතයක් ගත කළේය. වට්ටක්කා සරත් ප‍්‍රබල දේශපාලනඥයින් ළඟින් ඇසුරු කළ අයෙකි. වට්ටක්කා සරත්ගේ පුතා සිය පෙම්වතිය බැලීමට ගොස් එන අතරතුරදී රිය අනතුරකට ලක්ව ආබාධිත තත්්ත්වයට පත්විය. ඔහු ප‍්‍රතිකාර සඳහා එහා මෙහා රැුගෙන ආ යුතු නිසා වට්ටක්කා සරත් ප‍්‍රබල දේශපාලනඥයකුට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගත්තේය.

පල්ලෙරොටේ හිච්චි මහත්තයා වට්ටක්කා සරත්ගේ විරුද්ධවාදියකු වූ ඔහු ද වැලි වෙළෙඳාම් කළ නිසාය. හිච්චි මහත්තයාගේ පුතා රාලහාමි ද මිනීමැරුමකට හිරේ ගොස් සිටි අයෙකි. රාලහාමි ජීවන්ව හඳුනාගත්තේ මීට කලකට ඉහතදී බන්ධනාගාරයේ දීය.

 

 

මාතර වැඩබලන මහේස්ත‍්‍රාත් හා නීතිඥ ලලිතා විතානාච්චි මහත්මිය මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පවත්වමින්...

 


වට්ටක්කා සරත් සිය පියාගේ ව්‍යාපාර කටයුතුවලට බාධාවක් නිසා රාලහාමි ඔහු මරා දැමීම සඳහා ජීවන් ගෙන්වා ගත්තේය. ඒ අනුව සරත් කොණ්ඩය කැපීම සඳහා ඇඹිලිපිටිය නගරයේ කොණ්ඩා කැපීමේ ස්ථානයකට ගොස් සිටියේය. ඒ බව දැනගත් රාලහාමි ජීවන් සමග එතැනට පල්සර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණියේය. ජීවන් රිවෝල්වරයකින් වෙඩි තබා වට්ටක්කා සරත් ඝාතනය කළේය. එම අපරාධය නාඳුනන පිරිසක් කළ බවට පොලිස් පොතේ සටහන් වූයේ කිසිදු සාක්ෂියක් ඉතිරි නොවීම නිසාය.

එම අපරාධයෙන් පසු මිනුවන්ගොඩ ජීවන් කෙළින්ම පැමිණියේ සිය මිතුරකු වූ දික්වැල්ල නිල්වැල්ලේ පදිංචි කොකු හැන්නදිගේ නලීන් ප‍්‍රදීප් (34* ගේ නිවසටය. වට්ටක්කා සරත් මැරීමට උපයෝගී කරගත් රිවෝල්වරය ඔහු එහි අල්මාරියක් තුළට දැමුවේය.

ජීවන් නලීන්ව හඳුනාගෙන ඇත්තේ මීගමුවේදීය. නලීන්ගේ නෑදෑයින් පිරිසක් මීගමුවේ පදිංචිව සිටිති. ඒ වන විට මිනුවන්ගොඩ ජීවන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විවෘත වරෙන්තු ද නිකුත් කර තිබුණි. දික්වැල්ලේ සිටින අතරතුර කටුනායකට ගිය ජීවන් ඉකුත් ජනවාරි මාසයේදී පොලිසියේ අත්සන් කිරීමට ගොස් ආපසු එමින් සිටි ද්‍රවිඩ ජාතිකයකු ද වෙඩි තබා ඝාතනය කළේය. ඒ කොන්ත‍්‍රාත්තුවකට ද ඊට පෙර කළ වට්ටක්කා සරත් මරාදැමීම වෙනුවෙන් ද මිනුවන්ගොඩ ජීවන්ට රුපියල් ලක්ෂ එක හමාරක් හිමි විය.

කටුනායක මිනීමැරුම කිරීමෙන් පසුව ද ජීවන් නැවත පැමිණියේ දික්වැල්ලේ සිය මිතුරාගේ නිවසටය. ඒ වන විටත් මේ සාහසික අපරාධකරු නීතියේ රැුහැනට හසුකර ගන්නා ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පොලිසියට උපදෙස් ලබාදී තිබුණි.

කොළඹ 07, පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ බුද්ධි අංශය ද ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වමින් සිටියේය. විශේෂයෙන්ම එහි නිලධාරීහු සිවිල් ඇඳුමින් සැරසී මීගමුව, හලාවත, මාතර, කොළඹ, ගාල්ල, කුරුණෑගල, නුවර ආදී ප‍්‍රදේශ වෙත ගොස් සපත්තු මසන්නන්, ත‍්‍රිරෝද රථ රියදුරන්, ධීවර කාර්මිකයින් ලෙස පෙනී සිටිමින් මිනුවන්ගොඩ ජීවන් සොයමින් සිටියහ.

විශේෂයෙන්ම ඔහු ජංගම දුරකථන හා සිම් කාඞ්පත් විටින් විට වෙනස් කර පාවිච්චි කිරීම නිසා සොයා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. කෙසේ වෙතත් ඉකුත් 02 වැනි දින පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ උපපොලිස් පරීක්ෂක කේ.එච්.කේ. සංගීත් මහතාට තොරතුරක් ලැබුණේ මිනුවන්ගොඩ ජීවන් දික්වැල්ල ප‍්‍රදේශයේ සිටින බවටය.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ප‍්‍රධාන නිලධාරීන් කණ්ඩායමක් ඉතා ඉක්මණින් දික්වැල්ලට පැමිණියහ. ඔවුන් රත්මලේ හංදියේ ක්ෂණික මාර්ග බාධකයක් යොදවා සැක කටයුතු වාහන හා පුද්ගලයින් පරික්ෂා කරමින් සිටියේය. හරියටම රාත‍්‍රි 12.00ට පමණ ත‍්‍රිරෝද රථයක් පැමිණි අතර එය නතර කරන ලෙස දැන්වුව ද ත‍්‍රිරෝද රථය පොලිස් අණ නොතකා ඉදිරියට ධාවනය කළේය.

පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ඇතුළු කණ්ඩායම ඒ පසුපස ලූහුබැඳ ගියහ. ත‍්‍රිරෝද රථයේ සිටි අය පොලිස් විශේෂ කාර්ය බළකාය දෙසට වෙඩි තබා තිබූ අතර ඔවුන් ද ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර තිබුණි. එම වෙඩි හුවමාරුවේදී ත‍්‍රිරෝද රථය තුළ සිටි දෙදෙනකු මිය ගොස් තිබූ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන් 33267 දිනෙත් සංජීව හා කොස්තාපල් 19816 ජේ.ඒ. ගාමිණී යන මහත්වරු තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කෙරිණි.
කෙසේ වෙතත් ත‍්‍රිරෝද රථය තුළ මිය ගොස් සිටියේ මිනුවන්ගොඩ ජීවන් නැමැති පාතාල කල්ලි සාමාජිකයා බව ඔහුගේ අතේ කොටා තිබූ දිය කිඳුරියගේ පච්චයෙන් පොලිසිය හඳුනා ගත්තේය. ඔහු සමග වෙඩි වැදී මිය ගොස් සිටි මිතුරා දික්වැල්ල, නිල්වැල්ල පදිංචිව සිටි කොකු හැන්නදිගේ නලීන් ප‍්‍රදීප් (34) යන අය බවට ද පසුව හඳුනා ගන්නා ලදී.

කෙසේ වෙතත් නලීන්ගේ නිවස පරික්ෂා කිරීමේදී වට්ටක්කා සරත් මරා දැමීමට උපයෝගී කරගත් රිවෝල්වරය හා ජීව පතරොම් හතරක් ඔහුගේ අල්මාරියේ තිබී පොලිසිය සොයා ගත්තේය.

මිනුවන්ගොඩ ජීවන් සන්තකයේ තිබූ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හා මයික්‍රෝ පිස්තෝලයක් ද අත්අඩංගුවට ගන්නා ලදී.

කෙසේ වෙතත් කොන්ත‍්‍රාත් පදනම මත කරන ඝාතන වැල පාලනය කිරීම සඳහා මේ ආකාරයට හෝ පාතාලයට පහරක් එල්ල කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය ක‍්‍රියාත්මක වීම සියලූ දෙනාගේ ප‍්‍රශංසාව හිමිවන කරුණක් බවට පත්ව තිබේ.

ඒ වන විටත් මිනුවන්ගොඩ ජීවන් මිනීමැරුම් හතකට වැඩි ප‍්‍රමාණයක් කර තිබුණි. ඊට අමතරව ආඬිඅම්බලම වේළුවනාරාමයේ නිමලතිස්ස හිමියන්ට පිහියෙන් ඇන තුවාල ද කර තිබේ. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන තවදුරටත් සත්‍ය බව මේ අපරාධකරුට සිදුවූ දෙයින් ද කියා දෙන පාඩමකි.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත දික්වැල්ල පොලිසියේ ස්ථානාධිපති ලසන්ත දඩල්ලගේ, ගන්දර පොලිසියේ ස්ථානාධිපති පී.එන්. පුෂ්පකුමාර යන මහත්වරු ඇතුළු පිරිසක් ඒ සඳහා සහාය වූහ.