කොරෝනා නීති කඩකරමින් තම සමීප ඥාතිමිත්‍රාදීන් කිහිප දෙනකු සමඟ සාදයකට සහභාගි වූ නෝර්වේ අගමැතිනි එර්නා සොල්බර්ග්ට එරට පොලීසියෙන් දඩයක් නියම කිරීම ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවධානය දිනාගත් ප්‍රවෘත්තියක් බවට පත් විය. නව කොරෝනා වෛරසය පාලනයට පැන වූ තහංචි පිළිබඳ කිසිදු තැකීමක් නොකර උපන්දින සාදයක් පැවැත්වීම මේ දඩය පැනවීමට හේතු වී තිබේ. මේ උපන්දින සාදය වෙන අයකුගේ නොව ඇයගේම 60 වැනි උපන්දිනය බව ද සඳහන් වෙයි.

අදාළ සාදය සංවිධානය කර ඇති බව පැවසෙන්නේ ඇයගේම සැමියා මිස වෙනත් රජයට සම්බන්ධ තැනැත්තකු නොවේ. මනරම් කඳුකරයක නවාතැන්පොළක පැවැති මේ සාදය සඳහා සහභාගි වී සිට ඇත්තේ 13 දෙනකුගෙන් සමන්විත පිරිසකි. එහෙත් නෝර්වේ රටේ නව කොරෝනා පාලන නීතිරීතිවලට අනුව පුද්ගලයන් 10 දෙනකුට වඩා එක්රැස් වීම තහනම්ය. එසේම සමාජ දුරස්ථභාවය රැකීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. නෝර්වේ පොලීසිය පවසා තිබුණේ පුද්ගලයන් 10 දෙනකුට වඩා එක්රැස්වීමේ නීතිය කඩකිරීමේ වරදට එරට අගමැතිනියට නෝර්වේ ක්‍රෝන 20,000ක් (ඇමෙරිකානු ඩොලර් 2352ක්) දඩ ගෙවීමට සිදුවන බවය. එරට පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබුණේ නීතිය කාටත් පොදු බවත් අග්‍රාමාත්‍යවරියට කියා විශේෂත්වයක් නැති බවත් සිදුකළ වරදට ඇය දඬුවම් ලැබිය යුතු බවත්ය. මේ සිද්ධිය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙද්දී අග්‍රාමාත්‍යවරිය තමන් සිදුකළ වරද සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බව ද වාර්තා විය.

යුරෝපයේ ඇතැම් බොහොමයක් රටවල ආණ්ඩුවේ ප්‍රධානියා මතු නොව වෙනත් කිසිවකුටත් මහජනතාවගේ බදු මුදලින් කිසිදු සාදයක් හෝ පෞද්ගලික උත්සවයක් හෝ සංවිධානය කිරීමට ඉඩක් නැත. එසේ සිදුකිරීම ඔවුන්ගේ ධුරය අහිමිවීමට පවා හේතු විය හැකිය. එවැනි තත්ත්වයක් පවතිද්දී මේ දඬුවමට තුඩුදුන් සාදය පවත්වන්නට ඇත්තේ ඇයගේ පෞද්ගලික මුදලින් බවට සැකයක් නැත. එසේ වුවද කොරෝනා නීතිය කඩ කිරීමේදී අගමැතිනියට තම ධුරය හෝ තමන්ගේ පෞද්ගලික වියදමින් කළ සාදයක් වීම හෝ අදාළ වී නැත. එරට පොලිස්පතිවරයා කියන පරිදි සියලු‍දෙනාටම පොදුවේ ක්‍රියාත්මක කරන නීතිය අග්‍රාමාත්‍යවරියට එරෙහිවද කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියාත්මක වී තිබේ.

අපේ රටේ නම් මෙවැනි ආකාරයට නීතිය ක්‍රියාත්මකවීමක් පිළිබඳ අසන්නටවත් නැති බව කනගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුය. අපි අපේ රටේ තැබිය යුත්තේ ‘එක් රටක් - එක නීතියක්’ බවට මහා හඬක් නගන්නෙමු. එහෙත් එය ක්‍රියාත්මක වෙන්නේ ‘රුවිතෙට’ය. ඒ සඳහා උදාහරණයකට කුරුණෑගල පැරැණි රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධිය පමණක් ගැනීම ද ප්‍රමාණවත්ය.

පුරාවිද්‍යා ආඥා පනත යටතට ගැනෙන භූමියක කණුවකට හෝ හානියක් සිදුකරන සාමාන්‍ය පුද්ගලයකු ඇප නැතුව සිරගත කිරීමට තරම් මෙරට පුරාවිද්‍යා නීති බලවත්ය. එහෙත් කුරුණෑගල පැරණි රාජසභා මණ්ඩපය ඩෝසර් කළ ප්‍රාදේශීය දේශපාලන නායකයාගේ මයිලකට හෝ අතක් තැබීමට අද වනතුරු මෙරට පොලීසියට හැකිවී නැත. එපමණක් නොව මේ පිළිබඳ සිදුකෙරුණු විමර්ශනවලදී අදාළ දේශපාලනඥයාගේ නීතිඥ ගාස්තු පවා ගෙවන ලද්දේ නගර සභාවේ මුදල්වලිනි. එනම් මෙරට බදු ගෙවන ජනතාවගේ මුදලිනි. එවැනි රටක සිටින අපට නෝර්වේ රටේ අගමැතිනියට දඩගැසීම ‘ගොඩයාට මැජික්’ මෙන් පෙනී ගියොත් ඒ පිළිබඳව විමතියට පත්විය යුතුද? කෙසේ වුවද කුරුණෑගල නගරාධිපති මෙම රාජසභා මණ්ඩපය කැඩුවේ පෞද්ගලික වුවමනාවකට නොවන බවද තර්ක තිබිය හැකිය.

අපේ රටේ ඉහළ පෙළේ දේශපාලනඥයකුට කිසිම වරදකට දඩ ගසනු තබා ඔවුන්ගේ සමීප ඥාති මිත්‍රාදියකුට අතක් තැබීමට වුවද පොලිස් නිලධාරියකු ඉදිරිපත් වන්නේ නැත. මොන ආණ්ඩුවක් බලයේ සිටියත් විපක්ෂයේ දේශපාලනඥයකුට හැර තමන්ගේ ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයකුට එරෙහිව ඔහු හෝ ඇය කුමන වරදක් කළත් නීතිය ක්‍රියාත්මක වනු අප දැක නැත. එවැන්නක් වුවත් එය ඉතා කලාතුරකින් සිදුවන්නකි. මේ රටේ බොහෝ විට ක්‍රියාත්මක වන්නේ වැරැදිකරුට ඉහළ දේශපාලන සබඳතා තිබේ නම් ඔහු බේරා ගැනීමට බලවතුන් ඉදිරිපත් වීම පමණි. ඔවුන්ට එරෙහිව දඩ ගැසිය යුතු බවට නියෝග දීමක් කවදාවත් සිදුවන්නේ නැත. නීති කොතරම් කඩකළත් ආණ්ඩු පක්ෂ බලවතකුට දඩ ගැසූ අවස්ථාවක් ගැන අප අසා නැත. එසේ නමුත් ‘එක රටක් - එක නීතියක්’ තිබිය යුතු බවට ලෝකයටම ඇසෙන සේ අපි අඬබෙර ගසන්නෙමු.

එක රටක් - එක නීතියක් යනු දේශපාලන සටන් පාඨයක් පමණක් වියයුතු නැත. එසේම එය අවශ්‍ය විටෙක නවාගැනීමට හැකි මෙවලමක්ද නොවිය යුතුය. කොවිඩ් මෘතදේහ අවසන් කටයුතු සිදුකළ යුත්තේ ආදාහනයෙන්ද භූමදානයෙන්ද වැනි සංවේදී මාතෘකා සඳහා මිනුම් දණ්ඩක් කර ගැනීමෙන්ද එය අර්ථවත් නොවේ. අවශ්‍ය වන්නේ තිබෙන නීති සියලු‍දෙනාටම එක හා සමාන ආකාරයට ක්‍රියාත්මක කිරීම පමණි. මොනම රටක වුවද නීතිගරුක, විනයගරුක සමාජයක් ගොඩනැගෙන්නේ එම සමානත්වය පෙනෙන තරමටය.

නෝර්වේ රටේ අගමැතිනියට එරෙහිව දඩ ගසා ‘නීතිය කාටත් පොදුයි. අග්‍රාමාත්‍යවරිය කියා වෙනසක් නෑ. වරදක් කළොත් දඬුවම විඳිය යුතුයි’ කියූ පොලිස්පතිවරයා වැනි නිලධාරීන් මේ රටේද බිහිවූ දවසට ‘එක රටක් - එක නීතියක්’ කියා අඬබෙර ගැසීමට කිසිදු අවශ්‍යතාවක් හට නොගනු ඇත.

(***)