පළාත් පාලන ආයතන මැතිවරණ ළග ළගම එමින් තිබිය දී, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායක ජනපති මෛතී‍්‍රපාල සිරිසේන තම නායකත්වය තහවුරු කරගැනීම සදහා නව කි‍්‍රයාමාර්ගයකට එළැඹ තිබේ.

එහි පියවරක් ලෙස ඔහු මින් පෙර කිසිදා නොවූ විරූ අයුරින් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සහ අමාත්‍යවරුන් සමග තනි තනිව මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වූ අතර, පසුගිය බ‍්‍රහස්පතින්දා සන්ධ්‍යාවම ඔහු ගතකළේ එම කටයුතු වෙනුවෙන්මය.ගාල්ල කලූවැල්ලේ සිනමන් හිල්ටොප් හෝටලය මේ වෙනුවෙන් විශේෂයෙන් තෝරාගෙන තිබින.මෙරට බොදුනුවන් අතර අතිමහන් ජනාදරයක් හිමි කර්නල් හෙන්රි ස්ටීල්  ඕල්කට් මහතාගේ එවක නිවස්නය වූ මෙම හෝටලයේ බිම් මහලේ කාමරයක, ජනපතිවරයා හා එක් එක් පක්ෂ සාමාජිකයන් අතර සාකච්ඡා පැවැති අතර, ලේකම්වරුන් හෝ සටහන් තබන්නන් එම අවස්ථා සදහා සහභාගී කර නොගත් ජනපති සිරිසේන, සටහන් තැබීමේ කාර්යභාරය ඔහුම පවරාගෙන තිබිණි.

නිදහස් පක්ෂයේ සාමාජිකයන් හට රැයක් ගතකිරීමේ සූදානමින් බ‍්‍රහස්පතින්දා සන්ධ්‍යාව වන විට හෝටලයට පැමිණෙන ලෙස කල්තියාම දැනුම් දී තිබින.යාබද හෝටලවල ද ඔවුන් වෙනුවෙන් කාමර වෙන්කර තිබූ අතර, පස්වරු 7 පමණ වන විට ජනපතිවරයා හෝටලයට පැමිණි අවස්ථාවේ ඔවුහු සිටියේ කල්තියාම රාතී‍්‍ර ආහාර ගෙන සූදානම්වය.ඉහළ මාලයේ කාමරයක් තමන් වෙනුවෙන් වෙන් කර තිබූ ජනපතිවරයා කෙටි විවේකයකින් පසු නෝට් පොතක් ද අතට ගෙන පහත මාලයේ කාමරයකට වැදුනු අතර, අනතුරුව පැමිණ සිටියෝ එකින් එකා කැදවා සාකච්ඡා පැවැත්වීමට ගත්තේ ය.ඔවුන් නැගූ ගැටලූ සියල්ල ඔහු සටහන් කරගත්තේ ය. මනාප ක‍්‍රමයේ සිට තම තමන්ගේ ඡුන්ද කොට්ටාස වෙත ගොස් වැඩ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබීම දක්වා නොයෙක් ගැටලූ ඔවුහු නැගූහ.සාවදානයෙන් ඒ සියල්ල අසා සිටි ජනපතිවරයා, අදාළ පරිදි සටහන් ද තබා ගත්තේ ය. ඉදිරියේ දී මෙවන් හමුවීම්, හැකියාවක් ඇතොත් සතිපතා හෝ පැවැත්වීමට තමන් අදහස් කරගෙන සිටින බව ජනපතිවරයා තමන් හමුවට පැමිණි සියලූමදෙනා හමුවේ කියා සිටියේ ය.එදින රාතී‍්‍ර 11 පමණ වන තෙක් මෙම කටයුතු සිදුවින.

රැය ගෙවී උදැසන 6 පමණ වන විට සියල්ලෝම අවදි වූ අතර, ජනාධිපතිවරයා පෙරවරු 10 පමණ වන තෙක් පෙර දිනයේ තමාට හමුවීමට නොහැකි වූ සාමාජිකයන් සමග සාකච්ඡා පැවැත්වූයේ ය. අනතුරුව ඔහු ගුවන් හමුදාවෙන් තමන් වෙනුවෙන් විශේෂයෙන්ම වෙන් කර දී තිබූ හෙලිකොප්ටරයක නැගී පොළොන්නරුව බලා ගියේ ය. ඉන්දියා ආධාර මත කදුරුවෙල ඉදිවන ත්‍රෛභාෂා පාසලකට මුල්ගල තැබීමේ උත්සවයකට සහභාගී වීමට ඔහුට නියමිතව තිබින. මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් තරන්ජිත් සිං සන්ධු ද සහභාගීව සිටියේ ය.

මේ අතර හෝටලයේ රැදී සිටියෝ සිටියේ දිවා ආහාරය දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ වැඩමුලූවකට සහභාගීවය. ඉදිරි මැතිවරණ ඉලක්ක කර පක්ෂය සූදානම් කළ යුත්තේ කෙසේ ද යන්නත්, වෙනත් ඡුන්ද කොට්ටාසවල පක්ෂ කාර්යාලය පිහිටුවිය හැක්කේ කෙසේ ද යන්නත්, පක්ෂයේ සාමාජිකත්ව ශක්තිය ඉහළ නංවා ගැනීම සඳහා සාමාජිකයන් බඳවා ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ යුත්තේ කෙසේ ද යන්නත්, ආදිය සම්බන්ධයෙන් ඔවුහු සාකච්ඡා කළෝ ය. මේ සියල්ල ජය ගැනීම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට දැඩි අභියෝගයක් වනවාට සැකයක් නැති අතර, එසේ වීමට ප‍්‍රධාන හේතුව වන්නේ සභාග රජයේ අනෙක් පාර්ශවය වන එක්සත් ජාතික පක්ෂය පමණක් නොව, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඔහුගේ හිතවතුන් එක්රැස්ව ගොඩනගාගෙන සිටින ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ ද, මැතිවරණ තරගයට අවතීර්ණව තිබීමය.පාසලක් සදහා මුල්ගල තැබීමේ උත්සවයකට සහභාගීවීම සදහා පොළොන්නරුවට ගොස් සිටි ජනපතිවරයාට එතරම් ශුභදායක නොවූ පුවතක් ද අසන්නට ලැබින.උතුරු මැද පළාත් පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකයන් 13 දෙනෙක් තම තනතුරුවලින් ඉල්ලා අස්ව, ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණට එක්ව සිටියහ.

ගාල්ලේ දී ජනපති සිරිසේන හමුවූ පිරිස ඉදිරියේ තිබෙන රාජකාරිය වන්නේ පළාත් පාලන ආයතනවලින් බහුතරයක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය යටතට ගැනීමත්, සුලූ කොටසක් එක්සත් ජාතික පක්ෂයටත්, ඊටත් වඩා සුලූ කොටසක් ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණටත් ඉතිරිවන පරිදි, ඉදිරි කටයුතු සැලසුම් කිරීමත් ය.එසේ නොව, මෙම පිළිවෙල අනෙක් පසට සිදුවුවහොත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට පමණක් නොව එහි නායක මෛතී‍්‍රපාල සිරිසේනට ද මුහුණදීමට සිදුවනු ඇත්තේ අතිශය අර්බුදකාරී තත්ත්වයකටය.පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා තුනෙහි මැතිවරණ කල් දැමීමට ජනපතිවරයා කටයුතු කළ එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ ද මෙයමය.ආන්දෝලනාත්මක පළාත් සභා මැතිවරණ පණත පාර්ලිමෙන්තුවේ සම්මත නොවූයේ නම්, මෙම පළාත් සභා තුනෙහි මැතිවරණ වෙනුවෙන් දින නියම කිරීමට නියමිතව තිබින.සබරගමුව (සැප්තැම්බර් 26 වැනිදා ධූර කාලය අවසන් වූ), උතුරු මැද (සැප්තැම්බර් 30 වැනිදා ධූර කාලය අවසන් වූ) සහ නැගෙනහිර (ඔක්තෝබර් 01 වැනිදා ධූර කාලය අවසන් වූ), එම පළාත් සභා තුනය.

පසුගිය මාස කිහිපය පුරාවටම ජනපති සිරිසේනට තම පක්ෂයෙන්ම එල්ල වූ විවේචනවලට මුහුණදීමට සිදුවිය. බොහෝ නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් නැගූ චෝදනාව වූයේ ජනපතිවරයා එක්සත් ජාතික පක්ෂයට රිසි සේ කටයුතු කරමින් සිටින බවය.ආර්ථික හා සමාජීය වශයෙන් ජනතාවට බලපෑම් එල්ල කළ හැකි තීන්දු තීරණ ගැනීමට එක්සත් ජාතික පක්ෂයට ඉඩ දී තිබීම හමුවේ  තමන්ගේ මැතිවරණ කොට්ඨාසවලට පවා යා නොහැකි තත්ත්වක් උද්ගතව තිබෙන බව ඔවුන් නැගූ තවත් චෝදනාවක් විය. එවන් එක් විවේචකයකු වූ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා දිවයිනෙන් බැහැරව සිටි හෙයින් ජනපතිවරයා ගාල්ලේ පැවැත්වූ සාකච්ඡාවට සහභාගීව නොසිටියේ ය. පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් අසතුටින් සිටින්නේ යැයි හදුනාගෙන සිටි මුල් පෙලේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් දෙදෙනෙක් වන දුලිප් විජේසේකර සහ සුසන්ත පුංචිනිලමේ යන මහත්වරු ඊට සහභාගීව සිටියහ. පක්ෂයේ උප නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ප‍්‍රකාශක ඩිලාන් පෙරේරා මහතාගේ අඩුව ද කැපී පෙනින. සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක, සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් ද මෙම අවස්ථාවට සහභාගීව නොසිටි අතර, නිතර ජනපතිවරයා හමුවන හෙයින් මෙසේ වෙනම පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බව ඔවුන් ඉදිරිපත් කර තිබූ හේතුව විය.

පළාත් සභා මැතිවරණ පණත් කෙටුම්පත සම්මත කරගැනීම සදහා එය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇතැම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සභාගැබෙන් නික්ම ගොස් සිටි අතර, පණත් කෙටුම්පතට අවශ්‍ය සහාය දිනාගත්තේ එම අවස්ථාවේ සභාගර්භයේ සිටි පක්ෂ මන්තී‍්‍රවරුන් හට, ඔවුන්ගේ ගැටලූ නිරාකරණය කර දෙන්නේයැයි සහතිකයක් ලබාදීමෙන් පසුවය.ජනපතිවරයාගේ ගාලූ හමුව, මෙසේ ලබාදුන් සහතිකවල ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකි අතර, පක්ෂයේ භේද නිරාකරණය කරගනිමින්, නායකයා ලෙස තම පදනම හා වඩා ප‍්‍රබල ලෙස පක්ෂය හැසිරවීමේ හැකියාව තහවුරු කරගැනීමට ඔහුට අවැසි බව ඉන් ඉතාම පැහැදිලිය.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් කණ්ඩායමක් විපක්ෂයේ අසුන්ගෙන ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට ගෙන තිබූ තීරණය දැන් වෙනස් කරගෙන ඇත.ගාලූ හමුවේ දී නොකියවුන ද, ඉදිරියේ දියත් කිරීමට නියමිත සැලසුම් රාශියක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකත්වය අත තිබේ.ගැටුම් ඇතිකරන්නන් පක්ෂයෙන් නෙරපා හැරීමටත්, ඔවුන් වෙනුවට නව සංවිධායකවරුන් පත් කරගනිමින්, තරුණ ප‍්‍රජාව වඩ වඩාත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙත ආකර්ෂණය කරගැනීමටත් ජනපතිවරයාට අවැසිය.පක්ෂය සමග නොමැති, නමුත් පක්ෂයේ සාමාජිකයන් වන පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේ ද, පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබීම ද, මෙහිලා වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය. එවන් පුද්ගලයින් පක්ෂයේ විනය කඩකරන කි‍්‍රයාකාරකම්වල නියැලෙන බවට සාක්කි ඇතිව තහවුරු කරගැනීම සදහා වීඩියෝ කැමරාවල සහාය ලබාගැනීමට ද පියවර ගැනෙමින් තිබෙන බව දැනගන්නට ඇත.

බ‍්‍රහස්පතින්දා රැයේ හෝටලයට පැමිණි අවස්ථාවේම ජනපති සිරිසේන පැමිණ සිටි අය ඇමතුවේ ය. එක්සත් ජාතීන්ගේ 72වන මහ සමුලූවට සහභාගීව නැවත දිවයින බලා පැමිණෙමින් සිටින අතරවායේ තමා ඉන්දියා පුවත්පතක් කියවමින් පැමිණි බවත්, විවිධ රූ සටහන් භාවිතයෙන් ඉන්දියා ආර්ථියේ වැටීම එහි පැහැදිලි කර දී තිබූ බවත්, සංසන්දනාත්මකව සැලකූ විට ශී‍්‍ර ලංකා ආර්ථිකය හොද තත්ත්වයක තිබෙන බවත්, එහි විස්තර කර තිබුණේයැයි ඔහු පැවසුවේ ය. මේ නිසාම පැමිණ සිටින්නෝ සියලූමදෙනා රටේ ආර්ථිකය තවදුරටත් ඉහළ නැංවීම ඉලක්ක කරගෙන වඩවඩාත් වෙහෙසිය යුතුව තිබෙන බව ඔහු අවධාරණය කළේ ය.

ආර්ථිකයේ තත්ත්වය

ජනපතිවරයා මෙවැනි ප‍්‍රකාශයක් සිදුකළේ ශී‍්‍ර ලංකා මහබැංකුව ශී‍්‍ර ලංකාවේ මෑත කාලීන ආර්ථික හැසිරීම සහ මධ්‍ය කාලීන වර්ධන අවස්ථා මැයෙන් වාර්තාවක් නිකුත් කර තිබූ පසුබිමකය. පසුගිය සැප්තැම්බර් මස 27 වැනිදා නිකුත් කළ මෙම වාර්තාවේ ශී‍්‍ර ලංකාවේ ආර්ථික තත්ත්වය මැනවින් විග‍්‍රහ කර තිබූ අතර, එයට අනුව නිවැරදි පියවර නොගතහොත්, දැනට පවත්නා අයහපත් තත්ත්වයේ සිට වඩාත් අයහපත් තත්ත්වයක් දක්වා ආර්ථිකය පහත වැටීමේ ඉහළ අවදානමක් තිබේ. මේ සම්බන්ධයෙන් මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුව හමුවේ විශේෂ ඉදිරිපත් කිරීමක් සිදු කළේ ය. එම කමිටුව කි‍්‍රයාත්මක වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සභාපතීත්වය යටතේය.රටේ ආර්ථිකයේ වැදගත් අංශයන් කි‍්‍රයාත්මක වෙමින් තිබෙන්නේ කෙසේදැයි, මහ බැංකු වාර්තාවෙන් මැනවින් විස්තර කර ඇත.

වාර්තාවට අනුව ශී‍්‍ර ලංකා ආර්ථිකය 2017 වසරේ පළමු අර්ධයේ දී සියයට 3.9ක වර්ධනයක් අත්කරගෙන තිබෙන ඇත.සංසන්දනාත්මකව සැලකුවහොත් 2016 වසරේ පළමු අර්ධයේ දී රටේ ආර්ථික වර්ධනය සියයට 4.4කි.කෘෂිකර්මය සැළකූ විට සෘණාත්මක වර්ධන වේගයක් - සහල් (සියයට - 42.1*, ධාන්‍ය (-15.2), රබර් (- 5.9) සහ එලවලූ ( සියයට - 4.6) යන ක්ෂේත‍්‍රයන්ගේ හදුනාගත හැකි මුත්, තේ (සියයට 1.2), සත්ත්ව නිශ්පාදන (සියයට 8.9), කරදිය ධීවර කර්මාන්තය (සියයට 4.5) සහ මිරිදිය ධීවර කර්මාන්තය (සියයට 15.1) යන ක්ෂේත‍්‍රයන්හි ධනාත්මක වර්දන වේගයක් හදුනාගත හැකිය.කර්මාන්ත අංශ ඉහළ වර්ධනයක් අත්කරගෙන තිබෙන අතර, ඉදිකිරීම් (සියයට 12.8), පතල් හා ගල් කොරි ( සියයට 18.1), ඉන් ප‍්‍රධානය.සේවා අංශය, වානිජ්‍ය සේවා (සියයට 15.8), සිල්ලර වෙළදාම් (සියයට 4.2) සහ මානව සෞඛ්‍ය කි‍්‍රයාකාරකම් (සියයට 12.4) යන ක්ෂේත‍්‍රයන්ගෙන් ලැබී තිබෙන පිටිවහල නිසාවෙන්ම වර්ධනයක් අත්කරගෙන ඇත.

2013 වසරේ සිට දළ ජාතික නිශ්පාදිතය සියයට 4.3ක මට්ටමේ පවතින බව පෙන්වා දී ඇති මහබැංකුව, එවන් තත්ත්වයක් පවතින්නේ රටට විශාල වශයෙන් ණය මුදල් පොම්ප කැරෙන වාතාවරණයක බව පෙන්වා දී තිබේ.අයහපත් කාලගුණ තත්ත්වයන් සහ ඉල්ලූම් අංශයේ පිටස්තර පාර්ශවයන්ගේ දුර්වල සහභාගීත්වය, බරපතල ලෙසම ආර්ථිකයේ වර්ධනයට හානි කරන බව පෙන්වා දී ඇති මහබැංකු වාර්තාවෙන්, එසේවුව ද, රටේ ආර්ථික ව්‍යුහාත්මක දුර්වලතාවයන් ද මෙහි දී නොසලකා හැරිය නොහැකි බව අවධාරණය කර තිබේ.කඩිනම් වනු ඇතැයි අපේක්ෂා කළ ද, මන්දගාමී වර්ධන වේගයක් දිගින් දිගටම පැවැතීම නිසාවෙන්, මෙරට වර්ධන හැකියාව කෙරේ දේශීය මෙන්ම විදේශීය ආර්ථිකයන්හි උනන්දුව හීන වෙමින් තිබෙන බව ද එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.අන්තර්ජාතික මුල්‍ය අරමුදල, ශී‍්‍ර ලංකාව සියයට පහක ආර්ථික වර්ධන වේගයක් අත්කරගනු ඇතැයි පුරෝකථනය කර තිබුණ ද, ශී‍්‍ර ලංකා මහබැංකුවේ ඇස්තමෙන්තු අනුව ශී‍්‍ර ලංකාවේ දැනට පවතින්නේ, 2015 වසරේ පැවැති සියයට 7.2ක වර්ධන වේගයේ සිට මේ දක්වා ක‍්‍රමයෙන් පහත වැටෙමින් තිබෙන ආර්ථික වර්ධනයක් බව මහබැංකු වාර්තාවේ සදහන්ය.එසේවුව ද, පාදම් පුරෝකථනයන්ට අනුව, මධ්‍ය කාලීනව සියයට 7ක ඉහළ වර්ධන වේගයක් අත්කරගැනීමට ශී‍්‍ර ලංකාවට හැකියාව තිබෙන බව ද, එම වාර්තාවෙන් පැහැදිලි කර ඇත.

පාදම් මට්ටමින් සැළකීමේ දී ශී‍්‍ර ලංකාවේ වර්ධන ගමන් මාර්ගයේ වාසි හා අවාසි සහගත තත්ත්වයන් ද මහබැංකු වාර්තාවේ විස්තර කර තිබේ.

වාසි සහගත තත්ත්වයන් - මධ්‍ය කාලීනව සැළකීමේ දී විදෙස් සෘජු ආයෝජන මෙරටට ආකර්ෂණය වීම ඉහළ නැංවීම සදහා අවශ්‍ය දායකත්වය ලබාදීමේ හැකියාව හම්බන්තොට වරාය, සහ කොළඹ අන්තර්ජාතික ආර්ථික නගරය වැනි ව්‍යාපෘතින්ට ඇත.මේ හරහා දේශීය මට්ටමින් සිදුවන ආයෝජනයන්ගේ මෙන්ම, පිටස්තර පාර්ශවයන්ගේ සහභාගීත්වය ඉහළ යෑමක් බලාපොරොත්තු විය හැකිය.ව්‍යුහාත්මක වෙනස්කම් ද සමග අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම මගින්, ආයෝජන සිදුකිරීම සදහා බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළ මට්ටමක් දක්වා ආයෝජක විශ්වාසය ඉහළ යනු ඇත.ශී‍්‍ර ලංකාවේ අපනයනය වෙළදපල, අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ මට්ටමක ආර්ථික සංවර්ධනයක් පෙන්නුම් කිරීම, දේශීය වර්ධනය ඉහළ නංවා ගැනීමට ද මනා සහයෝගයක් දෙනු ඇත.

අවාසි සහගත තත්ත්වයන් - දිගින් දිගටම පවත්නා අයහපත් කාලගුණ තත්ත්වයන් රටේ ආර්ථික වර්ධනයට සහ උද්ධමනය පාලනය කිරීමට බාධාවකි.කර්මාන්ත ක්ෂේත‍්‍රයේ, සහ තේ හා කුඹුරු වගා ක්ෂේත‍්‍රයන්හි, ග‍්‍රමික ප‍්‍රජාව ක්ෂයව තිබීම මෙයට තවත් හේතුවකි.මුල්‍ය මට්ටමින් සංවිධානාත්මක ව්‍යුහයක් පවත්වාගැනීමට අපොහොසත් වීම හමුවේ ආයෝජන විශ්වාසය තව තවත් දුර්වල වී යාමට ඉඩ ඇත.ආර්ථික කටයුතුවල, පෞද්ගලික අංශයේ දුර්වල සහභාගීත්වය රැකියා අවස්ථා උද්පාදනය සහ රටේ වර්ධනය මන්දගාමී කිරීමේ සමත් ප‍්‍රධාන හේතුවකි.ඉහළ යමින් තිබෙන ගෝලීය ශක්ති පිරිවැය සහ ඉහළ ප‍්‍රති මුල්‍ය වියදම් හමුවේ ශී‍්‍ර ලංකාවේ වර්ධන දිශානතිය වෙනස් කළ හැකිය.අත්‍යාවශ්‍ය මට්ටමක තිබෙන ව්‍යුහාත්මක වෙනස්කම් තව තවත් කල්දැමීම නිසාවෙන් සිදුවන්නේ අපේක්ෂාවෙන් සිටින වර්ධන ගමන් මගට පිවිසීම සදහා ශී‍්‍ර ලංකාවට තවත් කල්මැරීමට සිදුවීම පමණකි.කෙටි කාලීන මුල්‍ය සහ වානිජ්‍යමය වෙනස්කම් තිරසාර වර්ධනයකට හේතු වන්නේ නැත.එවැනි පියවරයන් අනුගමනය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ආර්ථිකයට තවත් හානි සිදුවීමට ඉඩ ඇත.

මධ්‍ය කාලීනව සියයට 4 සිට 6 දක්වා විහිදෙන උද්ධමන අගයක් පවත්වාගත හැකියැයි පවසන මහබැංකුව, ශී‍්‍ර ලංකාවේ වර්ධනයට අදාළව, අවධානය යොමුකළ යුතුව තිබෙන ප‍්‍රමුඛතා ක්ෂේත‍්‍රයන් පහක් දක්වා ඇත.ඒවා නම්,

1. දැනුම මත පදනම් වන, අතිශය තරගකාරී, සමාජ ආර්ථික ව්‍යුහයකින් සැදුම්ලත්, ධනවත් ආර්ථිකයක් ඇතිකරනු වස් - සෘජු ප‍්‍රතිපත්ති හා ඉලක්කගත සැලසුම් ඇසුරින් සකස් කැරුනු දීර්ඝ කාලීන දැක්මක් තිබීම.

2. ආයෝජන විශ්වසනීයත්වය ඉහළ නංවා ගැනීම සදහා මුල්‍ය සංවිධානත්වයක් පවත්වාගැනීම

3. විනිමය අනුපාතිකයන්ගේ නම්‍යශීලීභාවය පවත්වාගනිමින්ම උද්ධමනය සියයට 4 - 6 අතර පවත්වාගැනීම, මුල්‍ය ප‍්‍රතිපත්තියේ ඉලක්කය වීම

4. ව්‍යාපාර හා ආයෝජන සදහා වන පරිසරය වැඩිදියුණු කිරීමට ගන්නා උත්සාහයන් තවදුරටත් කඩිනම් කිරීම

5. අපේක්ෂිත වර්ධනයක් අත්කරගැනීමෙහි ලා වැදගත් වන මහාපරිමාන ප‍්‍රතිපත්ති සකස් කිරීම් ආයතනගත කිරීම

විදෙස් සෘජු ආයෝජනයන් සම්බන්ධයෙන් මහබැංකුව ඉදිරිපත් කර ඇති යෝජනා මෙසේය.

1. මුලෝපායික වශයෙන් වැදගත් විදෙස් සෘජු ආයෝජකයින් හට ආරාධනා කිරීම සහ ඔවුන් ආයෝජන සදහා යොමුවන තෙක් සාකච්ඡා පැවැත්වීම

2. විදෙස් සෘජු ආයෝජන අනුමත කිරීමේ කි‍්‍රයාවලිය කඩිනම් කිරීම සහ අනුමත කිරීමෙන් පසු ආයෝජන සිදුකිරීම සදහා පහසුකරණය සැපයීම

3. ආයෝජන සහ වෙළදාම් කටයුතු සදහා එකම තැනකින් සියලූම සේවා ලබාගත හැකි පහසුකම ඇති කිරීම

ශ‍්‍රමික ප‍්‍රජාව ගණනින් දුර්වලව තිබීම සදහා විකල්පයක් ලෙස විදෙස් ශ‍්‍රමිකයන් සදහා කෙටි කාලීන වැඩ කිරීමේ බලපත් ලබාදීම සුදුසුයැයි ශී‍්‍ර ලංකාවේ මහබැංකුවේ නිර්දේශයයි.ශ‍්‍රමික ප‍්‍රජාවේ කාන්තා නියෝජනය ඉහළ දැමීම සම්බන්ධයෙන් ද මහ බැංකුවේ අවධානය යොමුව තිබෙන අතර, නම්‍යශීලී රාජකාරි වේලාවන් සහ ප‍්‍රමුඛ ගණයේ දිවා සුරැකුම් මධයස්ථාන පිහිටුවීම මගින් එම අවශ්‍ය පරිසරය සැකසිය හැකි බව එහි අදහසයි.

2017 වසරේ මේ දක්වා ගෙවී ඇති කාලය තෙක් ශී‍්‍ර ලංකා මහබැංකුව ඉදිරිපත් කර තිබෙන වාර්තාව අනුව, රටේ ආර්ථික සංවර්ධනය සදහා තවදුරටත් පියවර ගතයුතුව තිබෙන බව පැහැදිලිය.නොවැම්බරයේ දී අභිනව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔහුගේ ප‍්‍රථම අයවැයේ දී විසදීමට සිදුවනු ඇති ගැටලූවක් වනු ඇත්තේ ද මෙයමය.අයවැය ඉදිරිපත් කිරීමට පෙරම, ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පසුගියදා රුපියල් 110කින් ඉහළ ගිය අතර, ඒ හමුවේ විවිධ ආහාර ද්‍රව්‍යයන්ගේ මිල ද, ඉහළ යනු ඇති ප‍්‍රවණතාවයක් තිබේ.සාමාන්‍ය ජනතාව අතර ජනපි‍්‍රය ආහාර පාර්සලයක මිල ද පසුගියදා ඉහළ ගිය අතර, එයට හේතු වූයේ ප්ලාස්ටික් හා පොලිතින් මත පැනවූ තහනමය.මේ නිසා මිල ඉහළ යෑම හමුවේ ජනතාවට සහනයක් සැලසීම සදහා රජය ගන්නා කිසියම් පියවරයක් වේ නම්, එය මේ සියලූම මිල ඉහළ යෑම් අවධානයට ගෙන සකස් කැරෙන්නක් වීම වැදගත්ය.

ආර්ථික ගැටලූවලට අමතරව, පළාත් සභා මැතිවරණ පණත් සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමත කරගැනීමට රජය අනුගමනය කළ කි‍්‍රයාමාර්ගය ද, පසුගිය සතියේ රජය කෙරේ දැඩි විරෝධයක් පැන නැගීමට හේතුවක් විය.ඒකාබද්ධ විපක්ෂය එසේ විරෝධය දැක්වූ පාර්ශවයන් අතුරින් ඉදිරියෙන්ම සිටි අතර, ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය ද ඒ අතර විය.

පසුගිය සතියේ මෙම තීරුවෙන් අනාවරණය කළ ආකාරයට, රජය පසුගිය ජූලි මස 27 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් සභා මැතිවරණ පණතට නැවත පණ දෙමින්, සංශෝධන 30ක් සමග එය යළිත් සම්මත කරගැනීමට කි‍්‍රයා කළේ ය.එම සංශෝධනයන්ගෙන් පණතෙහි අරමුණ සම්පූර්ණයෙන්ම වෙනස් විය.මුලින් එහි සදහන්ව තිබුණේ නාම යෝජනා පත‍්‍රයට කාන්තා අපේක්ෂිකාවන් නිශ්චිත ගණනක් ඇතුළත් විය යුතු බවය. එහෙත් නව සංශෝධන යටතේ එය, මුලූ අපේක්ෂක පිරිසෙයින් සියයට 30ක් කාන්තා අපේක්ෂිකාවන් විය යුතු බවට වෙනස් කර ඇත.ඒ අයුරින් සකස්ව නොමැති නාමයෝජනා පත‍්‍රයක් ප‍්‍රතික්ෂේප කිරීමේ බලය ද, නව පණත යටතේ අදාළ වගකිවයුතු පාර්ශවයන්ට ලබා දී තිබේ.

පණතට සිදුකර තිබූ අනෙක් සංශෝධන අතුරින් වැදගත් සංශෝධනයක් වූයේ, සීමා නීර්ණය කමිටුවක් පත් කිරීම සදහා ඉදිරිපත් කර තිබූ නිර්දේශයය.පස් දෙනෙකුගෙන් සැදුම් ලබන මෙම කමිටුවට පැවරෙන රාජකාරිය වන්නේ පළාතක, මැතිවරණ කොට්ඨාස නීර්ණය කිරීමය.මාස හතරක් ඇතුළත මෙම කටයුත්ත නිමා කිරීමට අපේක්ෂිතය.නමුත්, පළාත් පාලන ආයතන සදහා දැනට තීරණය කර ඇති බල සීමාවන් සංශෝධනය කිරීමට යාමේ දී පැනනගිනු ඇති නොයෙක් ගැටලූ හමුවේ, මාස හතරක කාලයක් ඇතුළත එම කටයුතු සම්පූර්ණ කිරීම උගහටය.මේ නිසාම ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයන් සම්බන්ධයෙන් ද ඇතිවන්නේ අවිනිශ්චිත තත්ත්වයකි.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධණ මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ ය.

‘‘යහපාලනය ස්ථාපිත කිරීමට යැයි කියමින් බලයට පත්වූ රජයක් ඉතාම නින්දිත ආකාරයට පාර්ලිමෙන්තු කි‍්‍රයාවලිය උල්ලංඝණය කර තිබීම ගැන අපි හරිම කම්පනයකට පත්වෙලා සිටින්නේ.පිටු 30 කින් යුත් සංශෝධන කියලා ඉදිරිපත් කර තිබුනේ, පළාත් සභා මැතිවරණ සංශෝධන කෙටුම්පතෙහි මාතෘකාවට කොහෙත්ම අදාළත්වයක් නොමැති දේවල්.සංශෝධන කියලා ඉදිරිපත් කර තිබුණේ සම්පූර්ණයෙන්ම අලූත් නීති.හරිනම් රජය කළයුතුව තිබුනේ මෙම නීති ගැසට් කිරීම මගින්, ඒවා විමසුමට ලක් කිරීමටත්, එහෙමත් නැතිනම් ශ්‍රේෂ්ඨාධිකරණය හෝ ඉදිරියේ අභියෝගයට ලක්කිරීමටත්, ජනතාවට අවස්ථාව ලබාදීම.පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට රජයට වුවමනාවක් නැහැ.ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කැපවී සිටින බව කීවත්, පළාත් සභා මැතිවරණයටත් මුහුණදීමට රජයට වුවමනාවක් නැහැ.අන්තර් පාර්ලිමෙන්තු සංගමය සහ වෙනත් අන්තර්ජාතික ව්‍යුහයන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට අපි කටයුතු කරනවා.කොළඹ ඉන්න රාජ්‍යතාන්ති‍්‍රක ප‍්‍රජාවත් මේ ගැන හොදටම දන්නවා.රජය මේ දේවල් කරන්නේ පළාත් සභා මැතිවරණ කල් දමාගන්න.යහපාලනය ගැන කතාකරපු ඔවුන් දැන් බයයි ජනතාවට මුහුණදෙන්න.‘‘

මෙම නීති සම්මත කරගැනීමට කතානායකවරයා අනුමැතිය ලබා නොදී සිටිය යුතුව තිබුණ බව ගුණවර්ධන අවධාරණය කළේ ය. සංශෝධනවල සිංහල හා ඉංගී‍්‍රසි පරිවර්තනයන්ගේ වෙනස්කම් තිබෙන බව ද ඔහු පැවසුවේ ය. කතානායක කරූ ජයසූරිය මහතා ඒ වන විට සිටියේ පාර්ලිමෙන්තු දුත පිරිසක් සමග ඇමරිකා එක්සත් ජනපද කොංග‍්‍රස් සභාව හා හමුවකට සහභාගීවය. වැරදි, නිවැරදි කිරීම සදහා අවශ්‍ය බලය කතානායකවරයා සතු බව මේ සම්බන්ධයෙන් විමසීමේ දී පාර්ලිමේන්තු තොරතුරු මාර්ග පවසා සිටියේ ය. ගැටලූව ශ්‍රේෂඨාධිකරණය ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන්, නෛතික අදහස් විමසමින් සිටින බව, ගුණවර්ධන වැඩිදුරටත් පැවසුවේ ය.

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා, පළාත් සභා මැතිවරණ සංශෝධන පණත අරබයා මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේ කිසිවෙකුත් නොසිතූවිරූ පරිදිය.නීතිපති ජෙනරාල් ජයන්ත ජයසූරිය, කතානායක කරූ ජයසූරිය, මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන්, වගඋත්තරකරුවන් ලෙස ඔහු නම් කර තිබින.

පණතට ඉදිරිපත් කර තිබෙන කෙටුම්පත් සම්බන්ධයෙන් තම මතය ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා කටයුතු කර ඇත්තේ ඔහුට ඇති බලය ඉක්මවා ගොස් නිසා එම මතය පදනම් සහගත නොවන බවත්, පාර්ලිමෙන්තුවේ අනුමැතිය හිමි වූ පණතට කතානායකයා අනුමැතිය ලබා දී තිබෙන්නේ ඔහුගේ බලය ඉක්මවා ගොස් නිසා එම අනුමැතිය පදනම් සහගත නොවන බවත්,සහ - පවත්නා නීති ප‍්‍රකාරව වහාම මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමිසම යොමුවිය යුතු බවත්, ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක් ලබාගැනීම හිටපු අගවිනිසරුවරයාගේ අභිප‍්‍රායයි.

ඉදිරි ගමන

මූලික අයිතිවාසිකම් කඩවීමේ චෝදනාවක් ගොනු කළ හැක්කේ විධායක හෝ පරිපාලනමය කි‍්‍රයාවන් (ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තිය) යටතේය.එනිසා අධිකරණමය සහ ව්‍යවස්ථාදායක කි‍්‍රයාවලීන් මේ යටතට ගැනීමට හැකියාවක් නොමැත.ව්‍යවස්ථාවේ 77 (2) වගන්තිය ප‍්‍රකාරව, අනුමැතිය ලබාගැනීම සදහා පාර්ලිමෙන්තුවට හමුවට කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක එම කෙටුම්පතට සංශෝධනයක් නිර්දේශ කැරෙන විට, - එම සංශෝධනයේ ඇති ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් වන තම මතය අරබයා කතානායකවරයාව දැනුම්වත් කිරීමට නීතිපතිවරයා කටයුතු කළ යුතුය.එනම් මෙය සිදුවන්නේ කෙටුම්පතක් තෙවන වර කියැවීමේ අවදියේදීය.නීතිපතිවරයා තම මතය සම්බන්ධයෙන් කතානායකවරයා දැනුම්වත් කිරීම සැලකෙන්නේ විධායක කි‍්‍රයාවලියක් ලෙසය.ව්‍යවස්ථාවේ 79වන වගන්තිය යටතේ, පාර්ලිමෙන්තුවේ අනුමැතිය හිමිවන සියලූම පණත් සදහා, එකී කෙටුම්පත් පාර්ලිමෙන්තුවේ අනුමැතිය යටතේ සම්මත වූ බව සහතික කිරීම කතානායකවරයාට පැවරී තිබෙන වගකීමකි.1946 ව්‍යවස්ථාව සැලකුවහොත්, පණතක් නීතියක් බවට පත් කිරීම සදහා, ආණ්ඩුකාර ජෙනරාල්වරයාගේ අනුමැතිය අවශ්‍යය.ඔහු විධායක කි‍්‍රයාවලියේ කොටසකි.නමුත් වර්තමාන ව්‍යවස්ථාව අනුව පාර්ලිමෙන්තුවේ සම්මත වන කෙටුම්පතකට කතානායකවරයා ලබාදෙනුයේ සහතිකයක් මිස අනුමැතියක් නොවේ.එයද විධායක කි‍්‍රයාවලියකි.

අනිවාර්යය බාධක

පාර්ලිමෙන්තුවේ සම්මත වන කෙටුම්පතක් කතානායවරයාගේ සහතිකය යටතේ නීතියක් බවට පත්වූ පසු එයට අභියෝග කිරීමට කිසිදු අධිකරණයකට හෝ මණ්ඩලයකට හෝ අවසරයක් නොමැත.එය ව්‍යවස්ථාවේ 80(3) වගන්තියේ පැහැදිලිව දක්වා තිබේ.

තවත් ගැටලූවක් වන්නේ නීතිඥයකු ලෙස අධිකරණය ඉදිරියේ පෙනී සිටීම තහනම් කර ඇති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුට, තමන් ඉදිරිපත් කරන චෝදනාවක් අනුව අධිකරණය ඉදිරියේ පෙනී සිටීමටත් - කරුණු දැක්වීමටත් අවස්ථාවක් ඇති ද යන්න සම්බන්ධයෙන්ය.ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයකු, තමන් ගත් තීරණයක් සම්බන්ධයෙන්, අධිකරණයක් හමුවේ නීතිඥයකු ලෙස කරුණු දැක්වීම වළකාලීම උදෙසා මෙම තහනම පනවා ඇත.මෙහිදී , හිටපු විනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉලක්ක කර පාර්ලිමෙන්තුවෙන් දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට පටහැනිව කි‍්‍රයාකාරීමට තීරණය කළ හිටපු කතානායවරයකු, අනුගමනය කළ එම පිළිවෙත ගෙන හැර දැක්වෙනු ඇතැයි සිතිය හැකිය.

පෙත්සම්කරු බලාපොරොත්තු වන සහනය

තෙවන වර කියැවීමෙන් සම්මත වූයේ පළමුවන හා දෙවනවර කියැවූ පණත් කෙටුම්පත නොවන බව පෙත්සම්කරු ද සිල්වාගේ තර්කයයි.

එක්තරා නීති විශාරදයකු තරමක් වෙනස් ආකාරයට මේ පිළිබදව පැහැදිලි කිරීමක් සිදු කළේ ය.ඔහුට අනුව, ගැසට් කෙරුනු කෙටුම්පතෙහි සදහන් වූයේ නාමයෝජනා පත‍්‍රයක මුලූ අපේක්ෂක ප‍්‍රමාණයෙන් සියයට 30ක ප‍්‍රමාණයක් කාන්තා අපේක්ෂකයින් විය යුතු බවට නීතිමය අවසරයක් ලබාගැනීම මෙම සංශෝධනයෙහි අරමුණ බවය.මෙය සිදුකිරීමට අදහස් කැරුනේ ප‍්‍රධාන ප‍්‍රඥප්තියේ 13 වැනි කොටසට සුලූ සංශෝධනයක් සිදු කිරීමෙන්ය.පුරවැසියාගේ පදනම සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය විවරණයට ලක්කරමින් සිටියේ මෙම කෙටුම්පතය.පළමුවන හා දෙවන වර කියවීම්වල දී පාර්ලිමෙන්තුවේ සම්මතවූයේ ද එයමය.

එහෙත් කමිටු අදියරේ දී, එක් පිටුවකට පමණක් සීමාවී තිබූ කෙටුම්පතෙහි කොටස් දෙකක් ඉවත් කැරුනු අතර, එම කොටස් දෙක වෙනුවට නව කොටස් 22 ක් එක් කිරීම හමුවේ, කෙටුම්පත පිටු 21 කින් සමන්විත විය.මෙම කොටස්වලින් කිසිදු අයුරකින් මුල් වර ඉදිරිපත් කැරුනු කෙටුම්පතෙහි අරමුණ සංකේතවත් වීමක් හෝ ඒ වෙනුවෙන් කි‍්‍රයා කිරීමක් සිදුනොවුනු අතර, එම කොටස්වලින් ප‍්‍රධාන ප‍්‍රඥප්තියේ - 10, 13, 18, 22, 24, 28, 30, 36, 37, 38, 41, 43, 45, 46ඒ, 50, 51, 53, 54, 58, 60, 65, සහ 129 යන අංශවලට බරපතල වෙනස්කම් සිදුකර තිබින.3ඒ නමින් පිටු පහක නව අංශයක් සීමා නීර්ණ කමිටුවක් පිහිටුවීම සදහා වෙන්ව පැවැතින.58ඒ සහ 58බී ලෙස පිටු පහක් යටතේ තවත් නව අංශයක් ස්ථාපිත කර තිබිනු අතර, එම කරුණු යටතේ වූ ප‍්‍රධාන ප‍්‍රඥප්තියේ අදාළ සියලූම කොටස් ඉන් ඉවත් කර තිබින.මේ අනුව තෙවැනි කියවීම සදහා ඉදිරිපත් කර තිබුනේ මුල් පණත් කෙටුම්පතට වඩා හාත්පසින්ම වෙනස් වූ, කෙටුම්පතකි.මුල් පණතෙහි සියයට 30ක් විය යුතු බව සදහන් වූ කාන්තා නියෝජනය, මෙම පණතෙන් සියයට 50ක් දක්වා ඉහළ දමා තිබින.

පණත් කෙටුම්පතක් ගැසට් පත‍්‍රයෙන් ප‍්‍රකාශයට පත්කර, අනතුරුව කමිටු අදියරේ දී තව තවත් සංශෝධන එම පණතට ඉදිරිපත් කර - මුලින් ඉදිරිපත් කළ පණත් කෙටුම්පතහෙි ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කරවා එය නව පණතක ස්වභාවයකට පත් කොට, එසේ සිදුකෙරුනු වෙනස්කම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනතාවට ඇති අයිතිය ව්‍යවර්ථ කිරීමට රජයට හැකියාවක් ඇති ද යන්න මෙහිදී නැගෙන ප‍්‍රධානම ගැටලූවයි.කිසියම් පුරවැසියකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑම, මෙවන් ව්‍යායාමයක් අනුගමනය කිරීම හමුවේ ව්‍යර්ථ කළ හැකි වන්නේ ද?

වර්තමාන ව්‍යවස්ථාවේ අන්තර්ගත පණතක් බලාත්මක කිරීමට පෙර සිදුකැරෙන පූර්ව - බලාත්මක විවරණ කි‍්‍රයාවලියේ දුර්වලත්වය, මෙම පණත සම්මත කරගැනීම අරබයා පාර්ලිමෙන්තුව කටයුතු කළ ආකාරයෙන් ද මනාව පැහැදිලිය.කීකරු නීතිපතිවරයකු සහ කතානායකවරයකු සිටින විට නියමිත කි‍්‍රයාමාර්ගයෙන් බැහැරව කටයුතු කළ හැකි ආකාරය හොදින්ම පෙන්වා දෙන අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකි බව එම නීති විශාරදයා පැවසුවේ ය.

ජනවාරි මස 21 වැනිදා පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග පවසසතත්, පසුගියදා ප‍්‍රකාශයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා කියා සිටියේ කොපමණ සාමාජික සංඛ්‍යාවක් තෝරාගත යුතු ද සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ගැසට් ප‍්‍රකාශයක් නිකුත් කළ පසුව පමණක්, පළාත් පාලන මැතිවරණ කැදවීම සිදුකළ හැකි බවය.

ගෙවුනු සති කිහිපයේ දේශපාලන කරළියේ සිදුවූ දෑ සැලකීමේ දී, පළාත් සභා මැතිවරණ පැවැත්වීම තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක පවතිනු ඇති බව පැහැදිලිය.මේ හමුවේ ධූර කාලය අවසන් වන පළාත් සභාවල පාලනය ආණ්ඩුකාරවරුන් යටතට පත්වනු ඇත.මෙම පිළිවෙත හා, දැනටමත් දිවයිනේ නගරසභා, මහ නගර සභා, සහ ප‍්‍රාදේශීය සභාවල පාලන කටයුතු කොමසාරිස්වරුන් යටතට පත් කිරීම හා, වැඩි වෙනසක් නොමැත.එනම්, ජනතා ඡුන්දයෙන් පත්වන ජනතා නියෝජිතයන් යටතේ මෙහෙයවිය යුතු, ආයතන ද්විත්වයක් දැන් කි‍්‍රයාත්මක වන්නේ රාජ්‍ය නිළධාරීන් හෝ දේශපාලන වශයෙන් සිදුකරන ලද පත්වීම් යටතේය.මේ තත්ත්වය හමුවේ ජනතා අභිමතය පරිදි පත්ව කි‍්‍රයාත්මක වන එකම ආයතනය බවට පත්ව ඇත්තේ පාර්ලිමෙන්තුවයි.නමුත් එහි කි‍්‍රයාකාරීත්වය ද දිනෙන් දිනම ආන්දෝලනාත්මක වනු මිස, යහපාලනය වෙනුවෙන් හෝ දෙනු ලබන පොරොන්දු වෙනුවෙන් හෝ කි‍්‍රයාත්මක වීමක් දැකගත නොහැකිය.

තම නායකත්වය තහවුරු කරගැනීම සදහා ජනපති සිරිසේන අනුගමනය කරමින් සිටින කි‍්‍රයාමාර්ගවලින් පක්ෂයේ අර්බුද මවන්නන් හදුනාගැනීමටත්, ඔවුන්ගෙන් නිදහස් වීමටත් හැකියාව ලැබෙනු ඇති බවට සැකයක් නොමැත. එහෙත් ඒ සදහා කාලය ගතවනු ඇත.මුලින් සදහන් කළ ආකාරයට, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, නෛතික කුමන්ත‍්‍රණයක් මාර්ගයෙන් ජනපති සිරිසේනගේ පැතුම් මල්ඵල ගන්වා දෙමින්, පළාත් සභා මැතිවරණය කල්දැමීමට සමත්ව ඇත.එක්සත් ජාතික පක්ෂය දැන් බලා සිටින්නේ උපකාරයට, ප‍්‍රතිඋපකාරය තමන් වෙත ලැබෙන තෙක්ය.පක්ෂ දෙකෙහි ගනුදෙනු එසේය.නමුත් රට යමින් සිටිනුයේ කොහේ ද?

( සන්ඬේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි පරිවර්ථනය: කෝවිද ගුණසේකර)