සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද නිම යි. කවුරුත් දන්නා පරිදි චාරිත්‍රානුකූල නොනගතය හෙවත් නැකැත් නැති කාලය ද නිම යි. එහෙත් වඩා පුළුල් හා සාමාන්‍ය අර්ථයකින් ගත් කල නොනගතය ලැබුවේ මෙම අලුත් අවුරුදු සමයෙහි නොවේ. එය උදා වූයේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සමඟය. එතැන් සිට සියලු දේශපාලනඥයන්ගේ සහ ඔවුන්ගේ හිතවතුන්ගේ එකම කතාව හා කාරිය වූයේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවය. මුළු රටෙහිම අන් හැම දෙයක්ම ඇනහිටි සැටියෙක් දිස් විය. අම්පාර සහ දිගන අවාසනාවන්ත බිහිසුනු සහ අවලම් සිදුවීම් පවා මතකයෙන් ගිලිහිණි. මැති සබයෙහි එම යෝජනාව විශාල වැඩි ඡන්දයකින් පරාජය වුව නොනගතය නොකඩවා පවතී.
 
“අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත යැ”යි කීවා ලු!ඇතැමුන් නඟන තර්කයක් වන්නේ නොනගතය උදාවූයේ වඩාත් ඉහත, එනම් යහපාලන ආණ්ඩුවෙහි මුල් දින 100 ඇවෑමෙන් බව. ඒ කෙසේ වුව කිසිවක් සිදු නොකරන සිදු නොවන ‘පුණ්‍ය කාලයෙහි’ අවසානයක් නැති සේය.
 
විධායක ජනාධිපති ක්‍රමයෙහි විරුද්ධවාදීන් පෙන්වා දෙන්නේ එම නිලය දැනට උසුලන උතුමාණන් විසින් ආදර්ශයෙන් පෙන්වා දී ඇත්තේ එම නිලය අහෝසි කළ ද රටට වන අසුබක්, රටට පාත්වන හෙණයක් නැති වගය. වෙනත් වචනවලින් කිවහොත්, ඔහු පොරොන්දු ඉටු කරන්නට අසමත් සහ වැඩක් කරන්නට හැකියාවක් නැත්තෙකි.
 
දූෂණය පිටුදැකීම, නීතියෙහි ආධිපත්‍යය සහතික කිරීම, බහුජන ජීවන තත්ත්වය සතුටුදායක මට්ටමක පවත්වා ගැනීම, ජාතිවාදය පරදා ජාතික සමගිය තහවුරු කිරීම, පරිපාලනයෙහි ඥාති සංග්‍රහය සහ දේශපාලන ඇඟිලි ගැසීම් කම්මුතුව යනාදී හැම එකකදීම ඔහු අසමත් ය. ඔහුගේ මුළු කාලයම කැප කරන ලද්දේ මිරිඟුවක් පසුපස හඹා යාමටය.
 
එනම්, “යා දෙක නොරත රත - සමඟ පෑහීමක් නැතැ”යි කීවා සේ බෙදුණු, තවමත් බෙදෙමින් පවත්නා සහ මතුවටත් බෙදෙණු ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කරන්නට ය. ඇතැම් විට හොඳ හිතින් වැඩයට අත ගැසූ මුත් පසුව සිය පාලන සමය 2020න් ඔබ්බටත් දික් කැරැ ගැනීමෙහි ආත්මාර්ථයෙන් එයට උත්තේජනයක් ලැබුණු සේය.
 
නායකයෙකු තුළ වැනෙනසුළු බව, අසංගතිය, අවිචාරත්වය, පාවාදීම් සහ ද්‍රෝහිකම් දකින්නට ජනතාව කැමැති නැත. ඔවුහු එවන් නායකයන් නො ඉවසත්. වසර 2015 ජනවාරි 8 වැනි දින වෙනසක් අපේක්ෂාවෙන් ඡන්දය දුන් 62 ලක්ෂයක ජනතාව ද එසේ මැ යි. ඔවුහු ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ වෙත සිය විශ්වාසය තැබූහ.
 
කරුණු යෙදී ඇති සැටියෙන් අද ඒ දෙදෙනාම වෙත තබන ලද විශ්වාසය බෙහෙවින් භංගව ඇත. වඳුරු පිනුම් ගහණ දියවන්නා මාලිගයෙහි කෙසේ වුව මහජනතාව අතර නම් ඇත්තේ පෑහිය නොහැකි ඉරි තැලීමකි.හැදෙන්නට විරල අවස්ථාවක් විශ්වාසභංගයෙහි පරාජයෙන් ඔවුනට උදා වී. පළාත් පාලන මැතිවරණ පරාජයෙන් සහ විශ්වාසභංගයෙහි අත්දැකීමෙන් පවා ඔවුන් පියවි සිහියට පත්ව නැත. දෙපිල බෙදී ඇණ කොටා ගත් නායකයෝ දෙපොළම අසරණව සිටිත්. එහෙයින් ජනතාව වඩාත් අසරණ ය. 2020 මැතිවරණය හැරැ අන් කිසිවක් ඔවුන්ගේ සහ සමීප සහචරයන්ගේ හිස් කබල් තුළ නොමැති හෙයින් ඔවුහු අදත් රෝමය ගින්නෙන් දැවෙත් දී වීනා වාදනය කළවුන් මෙන් හැසිරෙත්. කා බී ජොලි කරත්. සුඛ විහරණයටම ලොල් වෙත්. සැප සුපිරි වාහන සුපිරි නවාතැන් සොයත්.
 
තමන්ගේ නායකයෝ බොරු නොකියතැ යි ජනතාව සිතූහ. අදත් එසේ සිතන්නෝ ඇත්තාහ. එහෙත් ඔවුන්ගේ ‘කතාව දෝලාවෙන් වුව ගමන පයින්’ බව හැම දෙනාම දනිත්. ඔවුහු නව මාවතකින් කඩිනම් ඉදිරි ගමනක් අරඹන්නට කීවතාවත් දිවුරුම් දුන්නෝ ද? හැම වතාවෙහිම එය කෙළවර වූයේ පුස්සක් බිඳීමෙනි. නිදසුනකට ඇමැති මණ්ඩලයේ සංශෝධන හෝ ආර්ථික කළමනාකරණයෙහි ‘මහා’ වෙනස්කම් දැක්විය හැකිය.
 
ජාතික සමගිය හා සංහිඳියාව ඇති කරන්නෙමැයි දිවුරා බලයට පත්ව තෙවසරක් ගතව ඇති අද තත්ත්වය කිමෙක් ද? 2015 ජනවාරියට වඩා භයානක මුව විතක් වෙත ජාතික සංහිඳියාව අද ලක්ව තිබේ. පෙර නොවූ විරූ පරිමානයෙන් හතු පිපෙන්නාක් මෙන් වෛවාරන්න නමින් හැඳින්වෙන ජාතිවාදී, ආගම්වාදී කල්ලි බිහි වෙයි. ඒවා නිරුපද්‍රිතව දණ්ඩන මුක්තිය සහිතව සමාජය අනතුරට ලක් කරත්හ. ඉහළ තැන්වලින් ඒවායෙහි නායකකාරකාදීන්ට රැකවරණය ලැබෙයි.
 
දේශප්‍රේමිත්වයෙහි නාමයෙන් අපරාධකරුවන් රකින්නෝ දේශපාලන පොරපිටියෙහි දෙපැත්තේම වෙත්. ගරුතර මහා සංඝරත්නය අතරට ද එම ගරුසරු නැති පිළිවෙත අනු යන්නෝ වැඩම කැරැ සිටිත්.අගමැතිට එරෙහි විශ්වාසභංගය අවස්ථාවෙහි එම යෝජනාවට එරෙහිව දෙමළ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කිරීම අරබයා නැඟෙන හඬකින් අනාගත ජාතිවාදී කලහයක ගිනි පුළිඟු දිස් වෙයි. එක්සත් ජාතික පක්ෂය සමඟ දෙමළ ජාතික සන්ධානය “රට පාවා දීමට” හොර ගිවිසුමක් අත්සන් කළැයි චෝදනාවකි. එම දෙපාර්ශ්වයම එය බොරුවක් බව දිවුරා කියා සිටිත්.
 
මෙවැනි චෝදනා මෙරට දේශපාලනයෙහි සුලබ ය. එහෙත් මෙතෙක් සාධනය කළ චෝදනාවෙක් නැත. අනෙක් අතට, ජාතික ප්‍රශ්නය අරබයා වේවා, අන් කවර ප්‍රශ්නයක් අරබයා හෝ වේවා ගන්නා ඕනෑම ගිවිසුමක් හෝ තීරණයක් හෝ මහජන අනුමැතියට යටත් ය. හැංගි හොරා වෙස්මුහුණු බැන්දත් නටන්නට වන්නේ එළිපිට යැයි කියමනක් තිබෙනවා නේද? මෙම ජාතිවාදී උද්ඝෝෂණයෙහි නායකත්වය ඒකාබද්ධ විපක්ෂය සහ එහිම අනෙක් පැත්ත වන පොහොට්ටු පක්ෂය උසුලති.
 
නිල ශ්‍රී ලකා නිදහස් පක්ෂයෙන් ද ඇසෙන්නේ සමාන තරංග මාලාවක සංචලනය වන අදහස් දහරක්ම ය. එහෙයින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් හෝ ව්‍යවස්ථා වෙනසක් හෝ නුදුරු කල (2020ට පෙර) බලාපොරොත්තු විය නොහේ. නොනගතය දිගටම පවතිනු ඇත. ආණ්ඩුවෙහි අවධානය යොමු වන නාභිය වනු ඇත්තේ පළාත් සභා, පාර්ලිමේන්තු සහ ජනාධිපති මැතිවරණ වෙත පමණකි. දැනටම අපේක්ෂක බලු පොර ඇරැඹෙමින් පවතී. ජනාධිපතිවරණයට පිටපට ගසන්නෝ ද වේලාසනින්ම කරලියෙහි ය. පුවත් පිපාසයෙන් පෙළෙන ජනමාධ්‍යයන්ට ද හොඳ කාලයකි.
 
ආර්ථිකය අර්බුදයෙන් අර්බුදයට යනු විනා ගැලැවුම් මඟක් කෙටි කාලීනව නැති සේය.  ගෙවුම් ශේෂය මෙන්ම වෙළෙඳ ශේෂය ද අවදානමෙහි ය. රුපියලේ අගය තව තවත් පහත වැටෙනු ඇත. ජීවන වියදම සුපිරි වේගයෙන් ඉහළ යනු ඇත. අමාත්‍ය චම්පික රණවක මාස 18ක හදිසි ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් යෝජනා කර ඇතත් පසුගිය තෙවසර අත්දැකීම අනුව නම් ඒ ගැන දැඩි බලාපොරොත්තු තබා ගන්නට නොහැකි ය. ඒ සියල්ලට පළමු කිනම් ආර්ථික සංවර්ධන උපායමාර්ගයක් අනුගමනය කරන්නේ දැයි තීරණයකට එළැඹිය යුතු වෙයි.
 
කුමක් කෙසේ සිදු වුව ද මෙරට දේශපාලනයෙහි කුසීත අවස්ථා නොතිබෙනු ඇත. තිරස් සහ සිරස් පිල් මාරු මෙන්ම, මතුපිට නායකත්ව වෙනස්කම් මෙන්ම, මහ පාරේ වැතිරීම් දේශපාලන විජ්ජා බඳු දිවිනසා ගැනීමෙහි ප්‍රයත්න ආදිය නොඅඩු නාටකවලින් හැම මොහොතක්ම සජීවි වනු ඇත.
 
ආණ්ඩුවෙන් ඉවත් වූ ඇමැතින්ගේ තනතුරු තාවකාලිකව වෙනත් ඇමැතිවරුන් කිහිප දෙනෙකුට පවරා ඇත. ස්ථිර පත්වීම් මතුවට ය. එතෙක් නොනගතේ ය.
 
ජයතිලක ද සිල්වා