IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු

 

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම් කියන බොස්ට්වානා රාජ්‍ය්‍ය ඇසුරිනි. දියමන්ති ඇතුළු ස්වාභාවික සම්පත් රටේ ආර්ථිකයට සහ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අයුරින් කළමනාකරණය කරමින් ආර්ථික වශයෙන් ජවසම්පන්න මාර්ගයක ගමන් කරමින් සිටින බොස්ට්වානාවෙන් ශ්‍රී ලංකාවට උගත හැකි පාඩම් ගැනත් මේ ලිපියෙන් අවධානය යොමු කෙරේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ඉදිරිපත් වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතාය.

 

 

1966 නිදහස ලබන විට අප්‍රිකාවේ දුප්පත් රටවලින් එකක්

 

බොස්ට්වානා රාජ්‍යය මුළුමනින්ම යටත්විජිතකරණයකට ලක්වූයේ නැත. එය බ්‍රිතාන්‍යයන් යටතේ ආරක්ෂිත රාජ්‍යයක් වශයෙන් පැවතිණි. බොස්ට්වානා, බ්‍රිතාන්‍යයේ අර්ධ යටත් විජිතයක් විය. එරටින් එවකදී ලබා ගත හැකි සම්පත් නොතිබූ නිසා යුරෝපීයන් වැඩි අවධානයක් යොමු නොකළේය. එහෙත් දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ වැනි රටවල් බ්‍රිතාන්‍යයේ යටත් විජිත වශයෙන් ක්‍රියාත්මක විණි. බොස්ට්වානාව අර්ධ යටත්විජිත තත්ත්වයෙන් නිදහස ලැබූවේ 1966 දීය. එම අවධියේදී එරටේ ආර්ථික ක්‍රියාකාරකම් අතර සත්ත්ව පාලනය මූලික විය. එයින් ද හරක් මස් නිෂ්පාදනය ඉහළ අගයක පැවතිණි. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 40 ක් විය. බොස්ට්වානාව නිදහස ලබන විට අප්‍රිකානු කලාපයේ දුප්පත් රටවල් අතර එකක් විය. ආර්ථිකය දියුණුකර ගැනීමට අදාළව කිසිදු විභවතාවක් ද එවකදී නොතිබිණි.

යටිතල පහසුකම් හොඳ තත්ත්වයක නොපැවති අතර විධිමත් ලෙස සැකසූ මාර්ගවල උපරිම දිග කිලෝමීටර් 12 කට වැඩි නොවීය. අධ්‍යාපනය අතින් ද එරට එවකදී යහපත් තත්ත්වයක නොසිටි අතර උපාධි ලැබූ පිරිස විස්සකටත් අඩු විය. මෙපරිදි ආර්ථික, යටිතල පහසුකම් සහ අධ්‍යාපන අංශවලින් නොදියුණු තත්ත්වයක පසු වූ බොස්ට්වානාව වෙනස් වෙන්නේ දියමන්ති හමු වූ පසුය. ඩී-බියර්ස් (DE- BEERS) නමින් හැඳින් වූ එංගලන්ත-දකුණු අප්‍රිකානු ඒකාබද්ධ සමාගමක් විසින් සිදු කරන ලද කැණීම් මගින් එරටින් පළමු වතාවට දියමන්ති සොයා ගැනිණි. ඒත් සමග බොස්ට්වානා ආර්ථිකය විශාල පිබිදීමකට ලක් විය. දියමන්ති මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගිණි.

 

 

දියමන්ති බොස්ට්වානා ආර්ථිකයේ ප්‍රධාන අංගයක්

 බොස්ට්වානාවේ ජනගහනය මිලියන 2.6 ක් පමණ වේ. 2022 වෙන විට ඒකපුද්ගල ආදායම ඩොලර් 7700 ක් පමණ විය. එහි ප්‍රතිශතාත්මක අගය දැක්වුණේ සියයට 5.8 ක් වශයෙනි. උපසහරා අප්‍රිකානු රාජ්‍යයන් අතර ආර්ථික වශයෙන් ඉහළ ශක්තියක් ඇති රට වෙන්නේ බොස්ට්වානාවයි. දියමන්ති යනු එරට ආර්ථිකයේ මූලික සංචරකයක් වුවත් එය එකම සාධකය නොවේ. සැම්බියාව, නයිජීරියාව, කොංගෝ, සියරාලියෝන් වැනි තවත් අප්‍රිකානු රටවල් රුසකින්ම දියමන්ති ඇතුළු ස්වාභාවික සම්පත් සොයා ගැනුණි. ඒවා අතරින් සියරාලියෝන් යනු දියමන්ති සහිත ප්‍රධාන රාජ්‍යයයි. නයිජීරියාවෙන් ඛනිජ තෙල් සොයා ගැනිණි. ස්වාභාවික සම්පත් සහිත සෙසු අප්‍රිකානු රටවල් අතර බොස්ට්වානා ඉහළ දියුණුවක් සහිත රටක තත්ත්වයට පත් වූයේ කෙසේද යන්න විමසා බැලීම වැදගත්ය.

බොස්ට්වානා හැර ඉහත සඳහන් කළ අනිත් අප්‍රිකානු රාජ්‍යයන් වලින් වටිනා ස්වාභාවික සම්පත් සොයා ගැනුණ ද එම රටවල් බොස්ට්වානාව මෙන් දියුණු තත්ත්වයට පත් වූයේ නැත. දියුණුව වෙනුවට එම රටවල්වල උද්ගත වූයේ විවිධ ගැටුම්, දූෂණ, පවුල් කිහිපයක් පමණක් ස්වාභාවික සම්පත් සූරා කෑම් ආදී තත්ත්වයන්ය. ස්වාභාවික සම්පත් උපයෝගී කරගෙන රටේ ආර්ථිකය දියුණු කර ගැනීමට බොස්ට්වානාවට හැකි වූයේ කරැණු දෙකක් නිසාය. එනම්, යහපාලනය හා නිවැරදි ප්‍රතිපත්තීන් ය.

 

දියමන්ති පවුල් කිහිපයකට ගසා කෑමට ඉඩ දුන්නෙ නෑ

 

යහපාලනය යටතේ ආරම්භයේ පටන්ම පෞද්ගලික දේපළවල හිමිකාරීත්වය නියමාකාරයෙන් සුරක්ෂිත කෙරිණි. එම දේපළ වෙනත් පාර්ශ්වවලට පවරා ගැනීමක් සිදු නොවුණි. එහෙත් ඇතැම් රටවල් නිදහස ලැබූ පසු යටත්විජිතවාදීන්ට හෝ වෙනත් පාර්ශ්වවලට හිමිව ඇති දේපොළ රජයට පවරා ගැනීම් ආදිය සුලභව සිදු විය. යහපාලනය යටතේ නීතියේ ආධිපත්‍යයද බොස්ට්වානාහි තහවුරැ කෙරිණි. යටත්විජිතවාදීන්ගෙන් නිදහස ලැබූ බොහෝ අප්‍රිකානු රටවල ඒකාධිපති පාලන ව්‍යුහ ගොඩ නැගුණි. එහෙත් බොස්ට්වානාහි නිදහස ලැබූ දා සිට මේ දක්වා බහු පක්ෂ ක්‍රමය මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් දක්නට ලැබේ. ඊට පදනම දැමූවේ එරටේ පළමු ජනාධිපතිවරයා වූ සෙරෙට්සේ කාමායි. ඔහු හොඳින් ඉගෙනගත් පාලකයකු වූ අතර නීතියේ ආධිපත්‍යය තහවුරැ කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී ආයතනික ව්‍යුහය ගොඩනැගීම, රටට සහ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි දියමන්ති සොයාගත් ආයතනය සමග කටයුතු කිරීම සිදු වූයේ ඔහුගේ පාලන කාලයේය. මෙසේ ස්ථාපිත කරන ලද ආර්ථික, දේශපාලනික, ආයතනික ව්‍යුහය හේතුවෙන් එරටින් සොයා ගන්නා ලද ස්වාභාවික සම්පත් සුළු පිරිසකට ගසා කෑමට ඇති හැකියාව නැති කර එය රටේත් ජනතාවගේත් ආර්ථික සුබසිද්ධිය පිණිස යෙදවීමට හැකි විය.

 

දියමන්ති අලෙවියෙන් උපයන ලද ආදායම් රටේ අධ්‍යාපන, සෞඛ්‍ය, යටිතල පහසුකම් නැංවීමට

 

මීළඟට ප්‍රතිපත්ති පැත්තෙන් ඇති කරන ලද වෙනස්කම් සලකා බැලිය හැකිය. ඒ යටතේ වෙළෙඳාම ලිහිල් කොට සෙසු රටවල් සමග වෙළෙඳ ගනුදෙනු වැඩි කර ගත්තේය. දියමන්තිවලින් ඉපැයූ ආදායම් අධ්‍යාපන, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍ර දියුණු කිරීමට මූලික වශයෙන් යොදවන ලදී. වඩාත්ම වැදගත් දෙය නම්, දියමන්තිවලින් රජයට ලැබෙන ආදායම් ඉතිරි කිරීමය. රාජ්‍ය මූල්‍ය ඉතිරි කිරීම් අරමුදල නමින් අරමුදලක් ඇති කර, ආර්ථික වශයෙන් අපහසු අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා එහි මුදල් ඉතිරි කළේය. දියමන්ති සුලභ රටක් වෙන සියරා ලියෝන්හි එවැනි තත්ත්වයක් ඇති වූයේ නැත. සෙසු රටවල් මෙන් උපයන ආදායම් සියල්ල වියදම් කරන ප්‍රවේශයකට බොස්ට්වානා ගමන් කළේ නැත. උපයන ආදායම්වලින් යම් ප්‍රමාණයක් ඉතිරි කරන මෙවැනි ක්‍රමවේදයක් ගැන ශ්‍රී ලංකාව කිසිදා කල්පනා කළේ නැත.

දියමන්තිවලින් ලැබෙන ආදායම්වලින් සංචිත ඉහළ නංවාගැනීමටත් බොස්ට්වානාව කටයුතු කළේය. එයින් නොනැවතී, සිය මුදල් දිගුකාලීන ආර්ථික ප්‍රතිලාභ ලැබීමේ අරමුණින් විදේශ රටවල ආයෝජනය කළේය. චීනය ඔවුන්ගේ අතිවිශාල වෙළෙඳ අතිරික්තය අනෙක් රටවල ආයෝජනය කරන්නේ යම් සේද බොස්ට්වානාවත් එවැනි පියවර අනුගමනය කළේය. මේ සියලු ක්‍රියාමාර්ග ඔස්සේ ආර්ථිකයේ ඵලදායීතාව ඉහළ නංවාගැනීමට එරටට හැකි විය.

අපනයන ආදායම් ගත්ත ද රජයේ ආදායම් හා ආර්ථික ක්‍රියාකාරකම් ගත්තද දියමන්ති මත රුඳියාව සියයට 80 ඉක්මවයි. ඉදිරිපත්ව ඇති පුරෝකථනවලට අනුව, 2030 පමණ වෙන විට බොස්ට්වානාවේ දියමන්ති සම්පත අවසන් වෙනු ඇත. ඒ බව දැනගෙන ඒ සඳහා සූදානම් වීමට ද එරට කටයුතු කර තිබේ. ඒ යටතේ ආර්ථිකය විවිධාංගීකරණය වෙනුවෙන් යම් යම් පියවර ගෙන තිබේ. ඒ අනුව, කිව හැක්කේ බොස්ට්වානාවේ දියුණුව හුදෙක් දියමන්ති ලැබීම නිසා සිදු වූවක් නොවන බවත් එම ස්වාභාවික සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා නිවැරදි පියවර අනුගමනය කිරීම බවත්ය.

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකය යටතේ ව්‍යාපාර කිරීම, පෞද්ගලික දේපළවල සුරක්ෂිතතාව, රජයේ ස්ථාවරභාවය, නීතියේ ආධිපත්‍යය ආදී සෑම අංශයකම ඉහළ කාර්යසාධනයක් අත්කර ගැනීමට එරටට හැකි වී තිබේ. මේ දර්ශකයේ 52 වැනි තැන බොස්ට්වානාව හිමි කර ගෙන ඇත. එහි ශ්‍රී ලංකාව පසුවෙන්නේ 137 තැනය.

මේ බොස්ට්වානා ආදර්ශයෙන් ශ්‍රී ලංකාවට උගත හැකි දේවල් ගැන මීළඟට අවධානය යොමු කළ හැකිය. එරටට සාපේක්ෂව ලංකාවට බ්‍රිතාන්‍යයන්ගෙන් බොහෝ දේවල් හිමි විය. මනා පරිපාලන හා අධිකරණ යාන්ත්‍රණයක් ද හොඳ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවක් ද මහා මාර්ග පද්ධතියක් ද ඒ යටතේ අපට හිමි විය. නිදහස ලබන අවධියේදී බොස්ට්වානාවේ ආයු අපේක්ෂාව අවුරැදු 37 කි. ඊට සාපේක්ෂව ලංකාවේ ආයු අපේක්ෂාව ඉතා හොඳ මට්ටමක පැවතිණි. එමෙන්ම අපට වඩාත් හොඳ යටිතල පහසුකම් ද තිබිණි. ඒවා ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වූයේ අලුතින් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවූ හෙයිනි. මේ පහසුකම් සියල්ල සමග ශ්‍රී ලංකාව යහපාලනයක් ගෙන ගියේ නම් සහ නිවැරදි ප්‍රතිපත්ති අනුගමනය කළේ නම් විශේෂයෙන්ම අපනයන ප්‍රමුඛ කරගත් ආර්ථික ගමනකට ප්‍රවේශ වූයේ නම් ශ්‍රී ලංකාවටත් බොස්ට්වානාව මෙන් ආර්ථික දියුණුවක් උදා කර ගැනීමට හැකියාව තිබිණි.

 

ජනාධිපතිවරැ දේශපාලන වාසි වෙනුවෙන් වර්ගවාදය ජාතිවාදය යොදා ගත්තෙ නෑ

 

බොස්ට්වානාවේ බලයට පත් බොහෝ ජනාධිපතිවරැ ඉහළ අධ්‍යාපනයක් ලැබූවෝ වූහ. ඔවුන්ගෙන් සමහරැ ඇමෙරිකාවේ හෝ බ්‍රිතාන්‍යයේ හෝ ඉගෙනුම ලැබූහ. එබැවින් ඔවුහු රාජ්‍ය පාලනයේදී ජාතිය, ආගම වැනි පටු සංකල්ප මත පදනම්ව පාලනය ගෙන යෑම වෙනුවට විවෘත මානසිකත්වයකින් යුතුව පාලනය ගෙන ගියහ. දේශපාලන වාසි වෙනුවෙන් වර්ගවාදය, ජාතිවාදය භාවිත නොකළහ. එරටෙහි ද යම් පමණක පවුල් පාලනයක් ක්‍රියාත්මක වුව ද එය යහපාලනය මත ගොඩනැගුණක් විය. රැකියා වියුක්තිය, උද්ධමනය සහ දුප්පත්කම යම් පමණකට එරටෙහි ද ඉහළ මට්ටමක පවතී. ඒවා බොස්ට්වානා ආර්ථිකයේ දැකිය හැකි ප්‍රධාන ගැටලු කිහිපයකි. එසේ වුවද ඇතැම් අප්‍රිකා හා ලතින් ඇමෙරිකානු කලාපීය රටවල් සමග සැසඳීමේදී බොස්ට්වානාව අත් කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය ස්වාභාවික සම්පත්වලින් ඔබ්බට ගොස් යහපාලනය හා නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් ළඟා කර ගත් එකක් බව කිව හැකිය. මෙයින් ලංකාවට උගත හැකි පාඩම නම් පමාවී හෝ යහපාලන මූලධර්ම අනුව පාලනය ගෙන යා යුතු බවත් නිවැරදි ප්‍රතිපත්ති ගත යුතු බවත් ය. එසේම අපේ ආර්ථිකය ලෝක ආර්ථිකය සමග ගැට ගසා ඉදිරියට ගෙන යා යුතුය.

ශ්‍රී ලංකා ආර්ථිකය නිරන්තරයෙන් ඉදිරියට පැමිණියේ අයවැය හිඟයක් සහිතවය. එබැවින් ආර්ථිකයේ අර්බුදයක් ඇති වූ විට ඊට මුහුණ දීමට ඇති හැකියාව දුර්වල වේ. 2022 උද්ගත වූ ආර්ථික අර්බුදය ඊට හොඳ උදාහරණයකි. 1950 හා 1970 දසකවල දී මෙරටට ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් ලැබුණි. එම මුදල් සමාජ සුබසාධනය පිණිස යෙදවූවා මිස දුෂ්කර අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ඉතිරි කිරීමක් සිදු නොවුණි. එහෙත් මා ඉහතදී සඳහන් කළ පරිදි බොස්ට්වානාව ඒ වෙනුවෙන් අරමුදලක් පිහිටුවා කටයුතු කළේය. එය අපට බොස්ට්වානාවෙන් උගත හැකි තවත් පාඩමකි.

ශ්‍රී ලංකාව ද මැණික්, පොස්පේට් වැනි වටිනා ස්වාභාවික සම්පත් සහිත රටකි. එහෙත් ප්‍රශ්නය වෙන්නේ එම සම්පත් නිසි අයුරින් භාවිත කරන්නේ ද යන්නය. ඒවායෙන් කිහිප දෙනකුට මුදල් ඉපැයීමට ඉඩ ලබා දී ඇතත් රටට හා ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි යොදා ගැනීමට කටයුතු කර නැත.

බොස්ට්වානාව ඉහළ රාජ්‍ය මූල්‍ය විනයක් පවත්වා ගෙන යයි. රජයට මුදල් තිබුණ ද ඒවා යොදවමින් රාජ්‍ය ව්‍යාපාර ඇති කළේ නැත. මේ හේතුවෙන් එරටේ රාජ්‍ය ව්‍යවසායයන් මගින් ජාතික නිෂ්පාදනයට දක්වන දායකත්වය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 කටත් වඩා අඩු ප්‍රමාණයකි. ඒ සඳහා පෞද්ගලික අංශයට ඉඩ ප්‍රස්ථා ලබා දුන්නේය. එය ඉතා වැදගත්ය. මන්ද, ආර්ථිකයේ සියලු කටයුතු රජය විසින් දරනු ලැබිය යුතු නැති නිසාය. එහෙත් ලංකාවේ තත්ත්වය ඊට වෙනස්ය. මෙරට ඉඩම්වලින් සියයට 80 ක හිමිකාරීත්වය තිබෙන්නේ රජයටය. එබැවින් ආයෝජකයකුට ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ඉඩමක් සොයා ගැනීම ද අපහසු වී තිබේ.

 

සටහන උපුල් වික්‍රමසිංහ



අදහස් (1)

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු

Sudarman Dayajeewa Sunday, 04 February 2024 07:54 AM

ඉතාම ලස්සන ලිපියකි...

:       1       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 173 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 156 0

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2106 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


අලුත් අවුරුද්ද සංස්කෘතිය අනාගතය
2024 අප්‍රේල් මස 11 199 0

සංස්කෘතික උත්සව යනු, ඕනෑම සංස්කෘතියක ඉතාම වැදගත් අංගයක් වේ. ඒ අනුව, අලු‍ත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනයාගේ සංස්කෘතික ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි.


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 149 0

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


දේශපාලනය අතීතයෙන් වර්තමානයට
2024 අප්‍රේල් මස 10 766 1

පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම නව එක්සත් ජාතික පාක්ෂිකයන් ද මේ දිනවල දැඩි දෙගිඩියාවකට මුහුණ දී සිටින බව පෙනේ. ඒ, තමන් ප්‍රිය කරන එක්සත් ජාතික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1423 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1348 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site