විවාහ මංගල්‍යයේ හෝම්කමින් එක දවසේ සිය දිවි නසාගත් මනාලියකගේ අවතාරය රාගම බටුවත්ත පැත්තේ පාරක රාති‍්‍රයට සැරි සරන බව එම ප‍්‍රදේශයේ සමහරු කියති.

මනාලියගේ මේ අවතාරය පාරේ ගමන් කරන ති‍්‍රරෝද රථ හා වාහනවලට අත දමා නවත්වාගෙන ඒවායේ නැගී අතුරුදන්වන බව ද මේ නිසා බොහෝ රියදුරන් බියට පත්ව ඒ පාරෙන් රෑට ගමන් කිරීමෙන් වැළකී සිටින බවත් අපට දැනගැනීමට ලැබිණි.

 

අවතාරය සැරිසරන බව කියන මාර්ගය
 
වෛද්‍ය ජනක සහ වෛද්‍ය පි‍්‍රයන්ත ලීලාවති සහ ඇගේ සැමියාගෙන් කරුණු විමසමින්

 

අප සමඟ මේ තොරතුරු හෙළි කළේ ඉරිදා ලංකාදීපයේ පාඨකයෙක් වන නාත්තන්ඩියේ පදිංචි ලයනල් අත්තනායක මහතා ය.
ගලගෙදර දිසා රෝහලේ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජනක ජයසූරිය සහ මාරවිල මූලික රෝහලේ මනෝ වෛද්‍ය අමාත්‍ය පිලිප් පෙරේරා මහතාගේ උපදේශක පි‍්‍රයන්ත ගාමිණි ජයසිංහ යන මහත්වරුන් ද සමඟ ලයනල් අත්තනායක මහතා ලබාදුන් හෝඩුවාවක් ඔස්සේ මනාලියකගේ මේ අවතාර කථාව සම්බන්ධයෙන් ගවේෂණයක් කිරීමට පසුගිය සෙනසුරාදා අපි රාගම-බටුවත්ත ප‍්‍රදේශය බලා පිටත්ව ගියෙමු.

මේ කියන කාන්තා අවතාරය රාති‍්‍ර කාලයට සැරිසරන බව කියන්නේ රාගම තේවත්ත හන්දියේ සිට වැටී ඇති බටුවත්ත පාරේ ය.
රාගම-බටුවත්ත ප‍්‍රදේශයේ තරුණියක් මීට වසර 30 කට පමණ ඉහතදී විවාහ දිවියට ඇතුළත් වී ඇත්තේ ජයටම මගුලක් ගැනීමෙන්

ලක්ෂ්මන් පෙරේරා
 
ලීලාවතී අල්විස්
 
තිස්ස ප‍්‍රනාන්දු
 
ඩබ්ලිව්. සමන්
 

පසුව ය.

මනාලිය තමා විවාහ වී ඇත්තේ මීට කලින් විවාහ වී ඇති දරුවන්ද සිටින පියකු සමඟ බව දැනගත් මනාලිය අසල නිවසක ඇති ළිඳකට මංගල ඇඳුම් පිටින්ම පැන දිවි නසාගෙන ඇත්තේ ඇතිවූ සිත් වේදනාව නිසා ය.

මෙය අද ඊයේ සිදුවූවක් නොව මීට වසර 30ක පමණ කාලයක ඉහතදී සිදුවූවකි.

අවතාරයක් වී අදටත් පාරේ රාති‍්‍ර කාලයට සැරි සරන්නේ මේ මනමාලිය බවට ප‍්‍රදේශවාසින් අතර ලොකු විශ්වාසයක් පවතී.
මේ අවතාර කතාවේ පසුබිම අප සොයාගත්තේ ප‍්‍රදේශවාසින් රැසක් සමඟ කළ කතාබහේ දී ය.

වසර 30ක පමණ කාලයකට ඉහත දී සියදිවි නසාගත් මනාලියගේ අවතාරය අදටත් රාති‍්‍රයට පාරේ බොහෝ දිනවල සැරිසරන බව එම අවතාරය දුටු බව කියන රියදුරෝ ගණනාවක්ම අප සමඟ පැවසූහ.

මේ පාරෙන් ?ට  ඕනෑ තරම් ගමන් ගොස් ඇතත් ඔය කියන අවතාරය තමන්ට නම් කිසි දිනක හමුවී හෝ තමන් පැදවූ වාහනයට ගොඩවී නොමැති බව පවසන රියදුරන්ද මෙම සංචාරයේ දී අපට හමු විය.

අවමඟුල් ගෙදරක සිට මිතුරන් දෙදෙනෙක්ද සමඟ තී‍්‍ර රෝද රථයකින් නිවෙස බලා එමින් සිටි අතරවාරයේ මේ අවතාරය දුටු බව කියන රාගම ඉහළගම ජය සමරු මාවතේ පදිංචි රාගම තැපැල් කාර්යාලයේ සේවයේ නියුතු තිස්ස ප‍්‍රනාන්දු මහතා අප සමඟ පැවැසුවේ මෙවැනි කතාවකි.

-සති තුන හතරකට විතර කලින් මළ ගෙදරක ගිහින් ති‍්‍රරෝද රථයකින් ගෙදර එමින් සිටියා. හමුදාවේ සේවය කරන මගේ මිතුරෙක් හා ති‍්‍රවිල් එකේ රියදුරාද සිටියා. එයත් අපේ මිතුරෙක්. ඔය කියන පාරේ එද්දි රෑ 12.00ට විතර ඇති සුදු ඔසරියකින් සැරසුණු කාන්තාවක් එක පාරටම පාර අයිනට ඇවිත් පාර අයිනේ තිබුණ ගෙයක් ඇතුළට යනවා පැහැදිලිවම දැක්කා. ඒ ගෙදර ඉස්සරහ ගේට්ටුව වහලා තිබුණේ. නමුත් ඒ ගේට්ටුව ඇරගෙන නිවස දෙසට යනවා දැක්කා”

 

වෛද්‍ය ජනක ජයසූරිය හා මනෝ වෛද්‍ය පි‍්‍රයන්ත ගාමිණි ජයසිංහ:
ඔබලා දැක්ක ඒ කාන්තාවගේ ස්වභාවය ගැන විස්තර කරන්න


තිස්ස ප‍්‍රනාන්දු මහතා:
සුදු පාට ඔසරියක් හැඳගෙන හිටියේ. කොණ්ඩය කොටට කපපු කෙනෙක්. මුහුණ පැහැදිලිව පෙනුණේ නැහැ. කිසිම කතාවක් බහක් නැතිව ගේට්ටුව ඇරගෙන ගේ පැත්තට යනවා දැක්කා. මේ කාන්තාව අපි තුන් දෙනාම දැක්කා. අතින් අල්ලන්න පුළුවන් තරම් දුරින් හිටියේ. අපි තුන් දෙනාම දැක්කේ අවතාරයක්. අපි තුන් දෙනාම හොඳටම බයවුණා.

සුදු ඔසරියක් හැඳගෙන හිටපු කාන්තාව ගේට්ටුව අරිනවා තමන් දුටු නමුත් ගේට්ටුව අරිද්දි කිසිම ශබ්දයක් ඇහුණේ නැති බවත් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ වෛද්‍යවරුන් දෙදෙනා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

-මේ අවතාරය දැකලා දවස් පහකට විතර පස්සේ අපි ආයෙත් ඔය පාරෙන් ගියා මහ රෑ අවතාරය බලන්න කියා හිතාගෙන. නමුත් කාන්තාවගේ අවතාරය එදා නම් දැක්කේ නැහැ” යැයිද තිස්ස ප‍්‍රනාන්දු මහතා පවසයි.

මේ අවතාර කතාවේ අතීීත කතාව ගැන අප හමුවේ කරුණු හෙළිකරමින් තිස්ස ප‍්‍රනාන්දු මහතා මෙසේ කීය.

-තරුණියක් තරුණයෙක් එක්ක මීට අවුරුදු තිහකට විතර ඉස්සරවෙලා විවාහවෙලා තිබෙනවා. මධු සමය ගත කරලා ගෙදර එක්ක එන දිනයේ තමා මනමාලි දැනගෙන තියෙන්නේ එයා බැඳපු කෙනෙක් බවත් දරුවෝ ඉන්න බවත්. දැනගෙන තිබෙනවා. මේ නිසා සිත් වේදනාවට පත්වූ මනමාලිය මංගල ඇඳුම පිටින්ම දුවගෙන ගිහින් ළිඳකට පැනලා. මේ මනමාලිය ඊට පස්සේ කාලයක ඉඳලා අවතාරයක් වෙලා රෑට පාරේ ඇවිදිනවා කියලා කියන්නේ. අපි දැකලා තියෙන්නේ ඔය මනමාලිගේ අවතාරය තමා”

-වසර 30ක් තිස්සේ වරින්වර ඔය මනමාලිගේ අවතාරය රෑට පාරේ යන වාහනවලට අත දාලා නවත්ව ගන්නවා. ති‍්‍රවිල්වල නැගලා ගිහින් එයා පදිංචිවෙලා හිටපු ගේ ළඟින් බැහැලා යනවා. සල්ලි අරන් එන්නම් කියා තමා යන්නේ. ආයෙත් එන්නේ නැහැ. හුඟක් ති‍්‍රවිල් රියදුරන් මේ අවතාරයට බයවෙලා. අවතාරය වැඩිපුරම පෙනෙන්නේ හැම අවුරුද්දකම අගෝස්තු මාසෙටයි කියලා තමා හුඟ දෙනෙක් කියන්නේ. සමහර විට මේ මනමාලි සිය දිවි නසාගන්න ඇත්තේ අගෝස්තු මාසෙ දිනක වෙන්නත් ඇති” යැයි තිස්ස ප‍්‍රනාන්දු මහතා තව දුරටත් තොරතුරු හෙළි කරමින් පැවැසීය.

රබර් වත්තක තිබෙන ළිඳකට මනමාලිය පැන සිය දිවි නසාගෙන ඇති බවද දැන ගැනීමට ඇති බව ඔහු පවසයි.

මනමාලි එදා පැනපු ළිඳට අදටත් සමහර දවස්වලට රෑට එයාගේ අවතාරය පනිනවා කියලා කතාවක් තියෙනවා. කිහිප දෙනෙක්ම මේ කතාව මාත් එක්ක කියලා තිබෙනවා. ඔය කියන ගේ ඉස්සරහ තමා අවතාරය වැඩිපුර ඉන්නවා කියන්නේ. අදටත් ඔතන කවුරුත් වාහනයක් නවත්වන්නේ නැහැ. ඒ තරමට අවතාරයට බය යැයි තිස්ස ප‍්‍රනාන්දු මහතා අප සමග පැවැසීය.

ඩබ්ලිව්. එච්. සමන් (35) මහතාද ඉහළගම ජයසමරු මාවතේ පදිංචි ති‍්‍රරෝද රථ රියදුරෙකි.

ති‍්‍රරෝද රථයෙන් ගමනක් ගොස් මේ පාරෙන් රාති‍්‍ර කාලයේ එද්දි මේ කාන්තා අවතාරය සමන් මහතා ද දැක තිබේ.
අවතාරය ගැන සමන් මහතා කීවේ මෙවැනි කතාවකි. මේ ඒ කතාවයි.

මම මේ ළඟදි දවසක රෑ 11.30 - 12.00ට විතර ඔය පාරෙන් තවත් කෙනෙක් එක්ක එමින් සිටියා. සුදුපාට සාරියක් ඇඳගත්තු කාන්තාවක් පාරට එක පාරටම ආවා. ඒ කාන්තාව අත දැම්මේ නැහැ. සමහරවිට දෙන්නෙක් එක්ක ති‍්‍රවිල් එකේ හිටිය නිසා වෙන්න ඇති. අපේ ති‍්‍රවිල් එකට අඩිහයක් විතර ඈතින් තමා මේ කාන්තාව හිටියේ. කොටට කපාපු කොණ්ඩයක්. ඒ කොණ්ඬේ කේ‍්‍රල්. අපි කතා කළා. නමුත් ඒ කාන්තාව කිසිවක් කතා කළේ නැහැ. නිශ්ශබ්දව හිටියා. මේ අර කියන හොල්මන කියා මට හිතුනා. මම හොඳටම බයවුණා.

ති‍්‍රරෝද රථ රියදුරන් 100ක් විතර පහුගිය කාලයේ වරින්වර මේ අවතාරය දැකලා බයවෙලා. මගේ යහළුවෙක් මේ ප‍්‍රශ්නය නිසාම එයාගේ ති‍්‍රවිල් එක විකුණා දැම්මා. රෑට ඔය පාරෙන් හයර් යන්න බැරි නිසා. සමහර ති‍්‍රවිල් රියදුරන් තනියම රෑට හයර් යද්දි අවතාරය අත අල්ලා ති‍්‍රවිල්වල නැගලා ගිහින් බැස ගොස් තිබෙනවා. සල්ලි අරගෙන එන්නම් කියා යනවා. ආයෙත් එන්නේ නැහැ. පස්සේ තමා දැන ගත්තේ ති‍්‍රවිල් එකේ ඇවිත් තියෙන්නේ කාන්තාවකගේ අවතාරයක් කියා යැයි සමන් මහතා පැවසීය.

සමන් මහතාට අසන්නට ලැබුණු තවත් අපූරු කතාවක් ගැන අප සමඟ කීවේය. මේ ඒ කතාවයි
තේවත්ත හන්දියේ සිට වැටී ඇති බටුවත්ත පාරේ දවසක් මහ රෑ ලොරියක් ඇවිත් තිබෙනවා. කාන්තාවක් පාර අයිනේ හිටපු නිසා ඒ ලොරියේ රියදුරා සහ ගෝලයා හිතලා තියෙන්නේ මේ ඉන්නේ ගණිකාවක් කියලයි. ලොරිය නවත්වා රියදුරා කාන්තාව ළඟට යද්දිම එක පාරටම නොපෙනී ගිහින්. රියදුරා හා ගෝලයා හොඳටම බයවෙලා. පස්සේ තමා ඒ දෙන්නා දැන ගෙන තියෙන්නේ එදා දැක්කේ අවතාරයක් කියා.

මේ අවතාරය බොහොම හිමිහිට තමා යන්නේ අතින් වුණත් අල්ලන්න පුළුවන් ගානට. ඒත් මුහුණ නම් පැහැදිලිව පෙනෙන්නේ නැහැ. යැයි අවතාරය දුටු බව කියන අපට හමුවූ තවත් ති‍්‍ර රෝද රථ රියදුරෝ කිහිප දෙනෙක් පැවැසූහ.

කාලයක ඉඳලා ඔය පාරෙ රෑට තනියම ති‍්‍රවිල් එකේ ගිහින් තිබෙනවා. අනේ අපි නම් ඔය කියන අවතාරය දැකලා නැහැ. අපේ ති‍්‍රවිල් එකට අත දාලා නවත්වන්න හදලත් නැහැ යැයි අපට හමුවූ තවත් ති‍්‍රරෝද රථ රියදුරෝ පිරිසක් කීහ.

ලීීලාවතී අල්විස් (69)  සහ ඩබ්ලිව්. එල්. එච්. අල්විස් (80) යන අඹුසැමි යුවල පදිංචිව සිටින්නේ රාගම වල්පොල පාරේ නිවසකය.
අප මේ අඹුසැමි යුවළ පදිංචිව සිටින නිවස සොයා ගියේ මේ අවතාර කතාව හා මෙම නිවස අතර ලොකු සම්බන්ධයක් තිබෙන නිසා ය.
අල්විස් මහතා අසනීප තත්ත්වයකින් පසුවූ නිසා අප සමඟ කතා බහට එක්වූයේ ලීලාවතී අල්විස් මහත්මිය වන අතර ඇය මෙසේ පැවැසුවාය.

-අපි මේ ගෙදර සල්ලිවලට අරන් පදිංචියට ආවේ 2007 වසරේදීය. අපේ දුවා දරුවෝ විවාහ වෙලා විදෙස්ගත වෙලා ඉන්නේ. ඒ ගොල්ලෝ අපේ දුක සැප බලා යන්න නිතර එනවා. මේ වයසක අපි දෙන්නා තමා මේ ගෙදර පදිංචිවෙලා ඉන්නේ. ඔය අවතාරයක් වෙලා මේ පැත්තේ රෑට රෑට ගමන් කරනවා යැයි කියන කාන්තාව පදිංචිවෙලා ඉඳලා තියනවා කියන්නේ මේ අපි පදිංචිවෙලා ඉන්න ගෙදර. ඔය උඩහ තියන ළිඳකට එයාගේ මංගල්‍ය දවසේ පැනලා දිවි නසාගත්තා කියා අපට පසුකාලයක දැන ගැනීමට ලැබුණා. අනේ මේ ගෙදර තනියට ඉන්න වයසක දෙන්නා නම් ඔය කියන විදිහේ අවතාරයක් කවදාවත් දැකලා නැහැ. ඒ විතරක් නෙවේ මේ ගෙදරටත් කිසිම අද්භූත දේවල් අපි පදිංචියට ආපු දා ඉඳලා සිද්ධවෙලා නැහැ.

රාගම පොලීසියෙන් මීට කාලයකට ඉස්සර වෙලා අපෙන් ඇවිත් ඇහුවා මේ පැත්තේ කාන්තාවකගේ අවතාරයක් රෑට ගමන් කරනවා හුඟ දෙනෙක් බයවෙලා තියනවා කියා. අපි දෙන්න කිව්වා අනේ අපි නම් කිසිම දවසක ඔය කියන විදිහේ අවතාරයක් දැකලා නැහැ කියා. පස්සේ ඒ පොලීසියේ මහත්වරු යන්න ගියා. අපිනම් කියන්නේ මේක බොරු කතාවක් කියලයි. මනමාලියක් වූ දවසේ දිවි නසාගත්තු දුව අවතාරයක් වෙලා ඉන්නවා නම් ඔය තැන තැන හොල්මන් නොකර අපි පදිංචිවෙලා ඉන්න මේ ගෙදරටනේ එන්න  ඕනෑ. නමුත් මේ වෙනතුරුත් අපේ ගෙදරට ඔය අවතාරය ආවේ නැහැනේ. ඇයි ඒ” යැයි ලීලාවතී මහත්මිය ප‍්‍රශ්න කරන්නීය.

රාගම බටුවත්ත පාරේ පදිංචි ලක්ෂ්මන් පෙරේරා මහතා මේ අවතාර කතාව ගැන දරන්නේ මෙවැනි අදහසකි
මීට අවුරුදු 8 කට විතර කලින් වෙච්ච සිද්ධියක් මම කියන්නම්. දවසක් ති‍්‍රරෝද රථ රියදුරෙක් ඇවිත් මට කිව්වා මහත්තයාගේ ගේ ළඟින් නෝනා කෙනෙක් මගේ ති‍්‍රවිල් එකෙන් රෑ බැස්සා. ඒ නෝනා හයර් කුලිය අරගෙන එන්නම් කියා ගේ ඇතුළට ගියා. සල්ලි අරන් ආවේ නැහැ. මම කිව්වා කිසිම කෙනෙක් දැන් අපේ ගෙදරට ආවේ නැහැ කියා. මම සල්ලි නොදුන් නිසා ඒ ති‍්‍ර රෝද රථ රියදුරා රාගම පොලීසියට ගිහින්. මේ ගැන පොලීසියට පැමිණිලි කරලා. පොලිසියෙන් එදා රෑම ආවා. පස්සේ පොලීසියේ නිලධාරින්ටත් මම මේ කතාවම කිව්වා. පොලීසියේ නිලධාරින් හා ති‍්‍රරෝද රථ රියදුරන් මගේ කතාව පස්සේ පිළිගත්තා.

ඔය කියන කාන්තා අවතාරෙට බයවෙලා ති‍්‍රරෝද රථ රියදුරා පසුදින එළිවෙනකම් පොලීසියේ නිදාගෙන ඉඳලා තියනවා කියා පස්සේ දැන ගැනීමට ලැබුණා. මේ අවතාර කතාව බොරුවක්. එදා මෙදා තුර කවමදාවත් ඔය කියන අවතාරය හොල්මන අපි නම් දැකලා නැහැ යැයි ලක්ෂ්මන් පෙරේරා මහතා අවසාන වශයෙන් අප සමඟ පැවැසීය.

වෛද්‍ය ජනක ජයසූරිය හා මනෝ වෛද්‍ය පි‍්‍රයන්ත ගාමිණි ජයසිංහ යන මහත්වරුන් රාති‍්‍ර 12.00ට පමණ තනියම අවස්ථා දෙකකදී ඔවුන්ගේ මෝටර් රථවලින් අවතාරය ගැවසෙනවා යැයි කියන පාරේ ගමන් කළේ ඔවුන්ගේ මෝටර් රථවලට ගොඩවීමට අවතාරයක්වී සිටින කාන්තාව අත ඔසවාවි දැයි යන්න දැන ගැනීමටය.

තමන්ගේ මෝටර් රථවලට සුදු ඇඳගත් කොණ්ඩය කොටට කපා ඇති කාන්තා අවතාරයක් අත දැමුවේවත් එවැනි අවතාරයක් දක්නට නොලැබුණු බවත් වෛද්‍යවරු දෙදෙනා පැවසූහ.

මෙම සටහන තබන ලේඛකයාද අපේ ඡායාරූප ශිල්පියාද අවතාරය සැරි සරනවා යැයි කියන පාරේ ඉන්පසු තනිවම මහ රෑ ගමන් කළත් අප දෙදෙනාටද ඔය කියන අවතාරය මුණ ගැසුණේ නම් නොමැත.

බොහෝ දෙනෙක් අවතාරය කතාවට බියවී මේ පාරේ රෑට තනියම ගමන් කිරීමට බිය දක්වනු ලැබුවත් එය අනියත බියකි.

යමෙක් මිය ගිය පසු භූතයෙක් වී සැරි සරනවා යැයි සිතීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති මිත්‍යා විශ්වාසයක් පමණකි.

හොල්මන්, භූතයන්, අවතාර යනු මනස්ගාත සිතිවිල්ලක් පමණක් බව පැවසිය යුතුව ඇත.

මෙවැනි අද්භූත සිදුවීම් ගැන ගවේෂණය කිරීමට සූදානම් බව වෛද්‍යවරුන් දෙදෙනා පවසති.

රාගම බටුවත්තේ ලංකා විජේසූරිය මහතාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය
 

 

මියගියාට පසුව සිරුරින් ආත්මයක් බැහැර වන්නේ නැහැ

වෛද්‍ය ජනක ජයසූරිය, දිසා රෝහල, ගලගෙදර

භූතයන්, හොල්මන් ආදී වූ මනඃකල්පිත නිර්මාණ හා සම්බන්ධ නොයෙකුත් කතාන්දර අප කුඩා කල පටන් අසා තිබෙනවා. විමර්ශනශීලී මනසකින් ඒ දෙස නොබැලූ අපේ වැඩිහිටියන් ඒ කතා සත්‍යයැයි පිළිගත්තා පමණක් නොව ඒ අදහස් ඊළඟ පරම්පරාව වෙත ගලා යන්නටත් ඉඩ හැරියා.

රාගම නගරයේ තේවත්ත පල්ලියට ආසන්න ප‍්‍රදේශයක දක්නට ලැබෙනවා යයි කියන ‘‘හොල්මන් කාන්තා රූපය’’ ද එවැනි පූර්ව මතයක් නිසා නිර්මාණය වූවක් බව පේනවා. ‘‘භූතාත්මයක්’’ වී සැරිසරන ඒ කාන්තාව මියගොස් ඇත්තේ වසර 30කට පමණ පෙරයි. විවාහයේ දෙවැනි ගමන දවසේ ඇතිවූ සිත් වේදනාවක් නිසා ඇය මඟුල් ඇඳුම පිටින්ම ළිඳට පැන ජීවිතය නැති කරගත් බවකුයි කියවෙන්නේ.

ඒ කථාවට අනුව මියගිය අය ඇඳන් සිටියේ රතු පැහැති සාරියක්. නමුත් ඇගේ ඊනියා අවතාරය ඇඳ සිටින්නේ සුදුපැහැති සාරියක්. එසේ වූයේ කෙසේද? එසේම මියගිය තැනැත්තිය අවතාරයක් වූවා යයි කියා මදකට සිතමු. එහෙත් ඇගේ අවතාර රුවට සාරියක් ලැබෙන්නේ කොහෙන්ද? එසේ නම් ඇඳුම්වලටත් මේ කියන ‘‘ආත්මය’’ තිබිය යුතුය. (එසේම වසර 30ක් එකම සාරියක් ඇඳීමත් අගය කළ යුතු දෙයකි!)

භූතයන්, හොල්මන්, අවතාර ආදිය නිර්මාණය වීමට ප‍්‍රධානම හේතුව නම් කෙනකු මිය යන විට ඔහුගේ හෝ ඇයගේ ජීවය ‘ආත්මයක්’ ලෙස සිරුරින් බැහැරවෙනවා ය යන සංකල්පය ජනතාව අතර ප‍්‍රචලිතව තිබීමයි. සැබැවින්ම මිය යාමේදී සිදුවන්නේ කුමක්ද? මිය යාමත් සමග අප සිරුරේ එතෙක් සිදුවුණු ජෛව රසායනික ප‍්‍රතික‍්‍රියා සියල්ල නවතී. සිත, සිතිවිලි, විඤ්ඤාණය ආදී සියල්ලෙන් විස්තර කෙරෙන මිනිස් මොළයේ ක‍්‍රියාකාරිත්වය සමග සම්බන්ධ වූ සියලූ ක‍්‍රියා නවතිනවා විනා ඒවා සිරුරින් බැහැර වීමක් සිදු නොවේ.

මිනිස් මොළය හා සම්බන්ධවන ක‍්‍රියාවලියක් පමණක් ශරීරයෙන් බැහැර වන්නේ කෙසේද? මේ ලිපිය ලියන මොහොතේ මගේත්, මේ ලිපිය කියවන ඔබේත් සියලූම ඉන්ද්‍රියය පද්ධතීන් තමන්ට සුවිශේෂී වූ කාර්යයන් ඉටු කරයි. මිනිස් මොළය, අක්මාව, වකුගඩු, හෘදය, අග්න්‍යාශය, ප්ලීහාව ආදී සියලූ අවයව තම තමන්ගේ කර්තව්‍ය නොපිරිහෙලා ඉටු කරද්දී මරණින් පසු මොළයේ ක‍්‍රියාකාරිත්වය පමණක් සිරුරින් බැහැර වීමේ පදනම කුමක්ද? එසේ නම් අනෙක් අවයවවල ක‍්‍රියාකාරිත්වය ද එසේ සිරුරින් බැහැර විය යුතුය.

විද්‍යාත්මක සංකල්පනාවෙන් බැහැර වූ ඈත අතීතයේ මිනිසුන් හොල්මන්, අවතාර ආදී මනඃකල්පිත නිර්මාණ විශ්වාසයට ගත්තද ඒවා වර්තමාන සමාජයෙන් තරමක් ඈත්වන බවක් පෙනේ.

රාගම ‘අවතාර රුව’ සැරිසරනවා යයි කියන ප‍්‍රදේශයේ අප කළ සංචාරයේ දී ඊට ආසන්නයේම ඇති ත‍්‍රිරෝද රථ ගාලේ කිසිවකුත් එය නොදැකීමත්, මිය ගිය අය ජීවත්ව සිටියා යයි කියන නිවසේ සිටින අයට, ඒ රුව නොපෙනීමත් සැලකිල්ලට ගත යුතුය. ඔවුහු බොහෝ දෙනෙක් මේ කථාව අවඥාවෙන් බැහැර කරති.

මෙකී අවතාරය සැරිසරන්නේ අගෝස්තු මාසයේ පමණකැයි කීමත් මිථ්‍යා අදහසක්. අවතාර කථාව දන්නා දුර්වල හිතක් ඇති අයකුට හෝ දෘෂ්ඨිමායාවන් දකින්නට ඉවහල් වන මානසික තත්ත්ව (අධික නිදිමත, අධික මධ්‍යසාර භාවිතය)  ඇති අයකුට  ඕනෑම මොහොතක මෙවැනි ඊනියා අවතාර පෙනෙන්ට පුළුවන්.

මෙවැනි සිදුවීම් ඇත්නම් කරුණාකර අපට වාර්තා කරන්න. ඒ පිළිබඳව ගවේශනය කර යථාර්ථය හෙළි කිරීමට අප සූදානම්.

 

 

 

මායාකාරී අත්දැකීමක්

මනෝ වෛද්‍ය ප‍්‍රියන්ත ගාමිණී ජයසිංහ

මෙහි සඳහන් විස්තරය සැලකීමේදී පැහැදිලි කරගත යුතු එක් කාරණයක් වන්නේ මේ කාන්තාවගේ මරණය හා එහි සිත් කම්පා කරවන ස්වභාවයයි. ඇයගේ වියෝව සහ විවාහ ජීවිතය පටන්ගැනීමත් සමඟම ඇතිවූ නිසා එය එම ප‍්‍රදේශයේ දැඩි කථාබහට ලක්වූ මාතෘකාවක් වීමත් වැදගත්ය. මෙවැනි අවස්ථාවන් හා සම්බන්ධව අප සමාජයේ නොයෙකුත් මතිමතාන්තර ගොඩනැගීම සහ එයින් ඔබ්බට අදෘශ්‍යමාන මතයන් හා සම්බන්ධ කිරීමට උත්සාහ ගැනීමත් වැදගත්ය. එමෙන්ම මෙවැනි විශ්වාසයන් සහ මත සඳහා විශේෂ අවස්ථාවක් සමාජය මගින් ලබාදීමත්, එවැනි මතයන් කුඩා කල සිටම සිත්හි රෝපනය වීමත්, එම මත ඉතා තදින් එල්බගෙන එම මත වලම මෙවැනි සිදුවීම් පැහැදිලි කිරීම උත්සාහ කිරීමත් වැදගත්ය.

ඉහත සඳහන් කළ කරුණු සැලකීමේ දී සහ සමාජයේ මෙම පැහැදිලි කරන ප‍්‍රදේශයේ එවැනි අද්භූත අත්දැකීම් දකින බව, ලෙස පිළිගන්නා මතයත් හේතු කොටගෙන එම ප‍්‍රදේශය මගින් ගමන් කිරීමේදී පුද්ගලයන්ගේ සිතුවිලිවල කලබලකාරී මානසික තත්ත්වයක් හෝ කාන්සාව හෝ බිය සහිත සිතුවිලි ඇතිවිය හැකිය.

බටහිර මනෝවෛද්‍ය විද්‍යාවේදී මෙවැනි තත්ත්වයන් දෘෂ්ඨි මායා ලෙස හැඳින්වේ. මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කාරනා කිහිපයක් වන්නේ මෙම අත්දැකීම් ලැබූ කිසිවකු මුහුණ පැහැදිලි ලෙස හඳුනාගත නොහැකිවීමත්, අඳුර පරිසර තත්ත්වයක් තුළ දී මෙම මායාකාරී අත්දැකීම ලැබීමත්, එම මායාකාරී අත්දැකීම් ඇතුළුවන නිවසේ හෝ ඇය ජීවත්වූ නිවසේ නිවැසියන් මෙම මායාකාරී අත්දැකීම් කිසිදිනක අත් නොවිඳීමත්, එම සිදුවීම දන්නා එම ප‍්‍රදේශයේ ජීවත්වන පුද්ගලයින් මායාකාරී අත්දැකීම අත්විඳීමත් ය.
බටහිර මනෝවෛද්‍ය විද්‍යාවේදී මෙවැනි අදෘශ්‍යමාන බලයක් හෝ මතයක් ලෙස පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරන අතර පුද්ගලයන්ගේ මානසිකත්වයේ ඇති කාන්සාව, අසහනකාරී තත්ත්ව, බිය, මිත්‍යා විශ්වාසය මගින් ඇති කරන දැඩි බලපෑම, එවැනි තත්්ත්වයන් අදෘශ්‍යමාන තත්ත්ව සේ පිළිගැනීම සඳහා අපට ඇති යොමුවීම මෙන්ම අඳුරු පරිසර තත්ත්වය ද මායාකාරී අත්දැකීම් ලැබීම සඳහා බලපෑ හැකිය. එම නිසා කුඩා කල සිටම දරුවන් සඳහා මෙවැනි අදෘශ්‍යමාන මත වලම එල්බ ගැනීම සඳහා ඉඩ ප‍්‍රස්ථා අහිමි කිරීමත් වැදගත් විය හැකිය.
 

 

 

ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය - ඡායාරූප මාදම්පේ ලක්ෂ්මන් හෙට්ටිතන්ති‍්‍ර