සුගිය අගහරුවාදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් භාරදූර කාර්යයකට අත ගැසුවේ ය. එය, බැසිල් රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවකි. පක්ෂය සම්බන්ධයෙන් පවතින ගැටලු ඔහු හා සාකච්ඡා කර විසදාගන්නා ලෙසට, ජනපති ගෝඨාභය මෙන්ම අගමැති මහින්දත්, අවස්ථා කිහිපයකදීම, නිදහස් පක්ෂ නායකත්වයට දැනුම් දී, තිබිණ. 

සියලුදෙනා හොදින්ම දන්නා ආකාරයට, බැසිල් රාජපක්ෂ යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා මෙන්ම පැවැති ජනපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පක්ෂයට ජයග්‍රහණය ගෙන ඒමට උර දී කටයුතු කළ තැනැත්තා ද වේ. ඔහු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැති සාකච්ඡා විසඳුමකින් තොරවම අවසන් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පාලක සන්ධානය අතර පවතින ගැටලු විසදාගත යුත්තේ පක්ෂය සහ සන්ධානය ලෙස ද්විපාර්ශවීය ආකාරයට මිස අනෙක් පක්ෂ නායකයින් ද, එයට අදාළ කරගැනීමෙන් නොවන බව බැසිල් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට මෙම සාකච්ඡාවේ දී දැනුම් දුන්නේ යැයි, ඒ පිළිබද දැනුම්වත් ආරංචි මාර්ගයක් පැවසුවේ ය. 

එසේ කිරීම මගින්, අනෙක් පක්ෂ නායකයින් මෙයින් ඉවත් කිරීම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන න්‍යායාචාර්යවරයාගේ අරමුණ වූ බව, එම ආරංචි මාර්ගය වැඩිදුරටත් පැවසුවේ ය. අවසන, උණුසුම් අයුරින් සිදුවූ වචන හුවමාරුවක් මෙම රැස්වීම අවසානයකට ගෙනවිත් තිබේ. නමුත්, තවත් රැස්වීමක් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් පවතින්නේ යැයි ඉහත ආරංචි මාර්ගයම කීවේ ය.

ගෙවුණු සතියේ වූ වෙනත් සිදුවීමක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමගත් වචන හුවමාරුවක නිරත විය. එය සිදුවූයේ, ගෙවුණු 5 වැනිදාට යොදා තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කමිටු රැස්වීම අවලංගු කරන්නැයි ඉල්ලා ඇය, ඔහුට එවා තිබූ ලිපියක් මුල්කරගෙනය. එයට යැවූ පිළිතුරු ලිපියේ, ජයසේකර මෙසේ සදහන් කර තිබිණ.

පක්ෂයේ විනය සෑම අයෙකුටම එකසේ ක්‍රියාත්මක විය යුතු බව ඔබ අවබෝධ කරගෙන ඇතැයි මම සිතමි. පක්ෂ සමුලුව අවස්ථාවේ දී, පක්ෂයේ දේශපාලන මණ්ඩලය, විධායක කමිටුව සහ සමස්ත ලංකා කමිටුව එක්ව ගෝඨාභය රාජපක්ෂගේ ජනපති අපේක්ෂකත්වයට ආධාර කිරීමට තීරණයය කළ අවස්ථාවේ, වෙනත් අපේක්ෂකයකුට ආධාර කිරීම, වෙනත් අරමුණක් වෙනුවෙන් පෙනී සිටින්නැයි කණ්ඩායම්වලින් ඉල්ලා සිටීම සහ ඒවාට නායකත්වය දීම, පක්ෂයේ විනය දැඩිව උල්ලංඝණය කිරීමකි.

2020 ජනවාරි මස 16 වැනිදා පැවැති රැස්වීමට සහභාගී වූ, මැතිවරණ කොට්ඨාස සහ දිස්ත්‍රික් නායකයින්, ඔවුන්ගේ තනතුරුවලින් පහකිරීමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණ ගැනීමේ ව්‍යුහයන්වලින් තමාට ලබා දී තිබෙන බව ජයසේකර මහතා පැවසුවේ ය. එම රැස්වීම සංවිධානය කර තිබුණේ චන්දි්‍රකා කුමාරතුංග මහත්මියගේ නායකත්වය යටතේ බවත්, එම සමයේ ඇය මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් සිටි බවත්, ඔහු පෙන්වා දුන්නේ ය. 

තවද, කුමාරතුංග මහත්මිය සහ රුවන් රණතුංග දෙදෙනා, කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී සජිත් ප්‍රේමදාස මහතා සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම, පක්ෂයේ ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීමක් යැයි ද දයාසිරි ජයසේකර මහතා සිය ලිපියෙන් පෙන්වා දී, තිබිණ. 

ජයසේකර මහතා පක්ෂය විනාශ කරමින් සිටින්නේ යැයි හිටපු ජනපතිනිය නඟා තිබූ චෝදනාව බැහැර කර තිබූ නිදහස් පක්ෂ මහලේකම්වරයා එයට ප්‍රතිචාර දක්වා තිබුණේ මේ අයුරින්ය.

වසර 17 ක දූෂිත එක්සත් ජාතික පක්ෂ පාලනය බිඳ දමා, අපේ පක්ෂය බලයට ගෙන ඒමට කටයුතු කළ නායිකාව ඔබයි. නමුත් ඔබ කටයුතු කර තිබෙන්නේ පක්ෂයේ මධ්‍යම කාරකසභාවට එරෙහිවය. විනය කඩකර කර තිබීම සම්බන්ධයෙන් පියවර ගත යුතුව තිබෙන්නේ පෙර දැරූ තනතුරු සළකා ද? නැතිනම් අදාළ හැසිරීම සළකා ද? යයි මහලේකම්වරයා ප්‍රශ්න කර තිබිණ. 

පාලක සන්ධානය හමුවේ පවතින ගැටලු දෙකකි. එකක් පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගය. අනෙක, විමල් වීවරංශගේ කණ්ඩායම සමගය. 

මෙම ගැටලු දෙකම තවමත් විසදුමක් කරා එළැඹ නොමැත. එය පාලක සන්ධානයේ නායකයින්ගේ සිත පෙළමින් සිටින්නක් යැයි සැළකුවහොත් ඒ අතරවාරයේ ඔවුන්, පාලක සන්ධානයේ කටයුතු කෙරේ සිත් තැවුලින් පසුවන්නන්ගේ දුක්ගන්නාරාළ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්වන්නට ඉඩහැරීම සහ එය මත යැපීමට පුරුදුව සිටීම, ඔවුන්ට ඊටත් වඩා ගැටලුවකි. මෙම දුක්ගන්නාරාළගේ චරිතය, වීරවංශ මෙන්ම ඔහුගේ අමාත්‍ය සගයා වන උදය ගම්මන්පිල මහතාත් අර්ථ දක්වා තිබෙන්නේ, රජය ඇතුළත සිටම විපක්ෂය වන්නට ඔවුන්ට වුවමනාය ලෙසය.

ඔවුන් එසේ පවසන්නේ රටේ විපක්ෂයක් නොමැති වීම නිසාද නැතහොත්, තමන්ගේ හඩ පක්ෂ නායකත්වයේ කණ නොවැටෙන නිසාද යන්න ගැටලුවකි. ඇතැම් අවස්ථාවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුණුවලට පටහැනි න්‍යාය පත්‍රයකට ඔවුන් කටයුතු කරන්නේය යන්න රහසක් නොවේ. 

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේ දී ද්විත්ව පුරවැසියන්ට මැතිවරණවලට තරග කිරීමට අවකාශය සළසා දෙමින් එයට අන්තර්ගත කර තිබූ සම්පාදනයට ඔවුහු තරයේම විරුද්ධ වූහ. ඒ කෙසේවුවත් ඔවුන්ගේ විරෝධයක් ඵලක් වූයේ නැත. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට යාමේ දී ඔවුහු නැවත වරක් සිය විරෝධය පළකළහ. එම අවස්ථාවේ නම් දෙපළ සාර්ථක විය.

මෙසේ පක්ෂයේ මතයට පටහැනි මත දරන කණ්ඩායම් සහ පුද්ගලයින්, බිදී නොයා ඔවුන් තවදුරටත් ප්‍රධාන මතවාදය සමග රදවා තබාගෙන සිටින්නේ අන් කිසිවෙක් නොව අගමැති මහින්ද රාජපක්ෂය. වෙනත් වචනවලින් කියතොත්, තිරය පසුපස සිටගෙන, බරපතල අන්දමින් පක්ෂයේ සාමාජිකයන් අතර මතුවන ගැටලුවලට, ඔව් හෝ නැහැ හෝ ප්‍රතිචාර දක්වමින් සිටින්නේ ඔහුය. 

තනිවම, තවත් කොතරම් කාලයකට නම් ඔහුට මෙම භූමිකාවට පණ පෙවිය හැකිදැයි යන්න ගැටලුවකි. පසුගිය අගහරුවාදා පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී, මෙයට අදාළ ඇතැම් කරුණු කාරණා ඉස්මතු විය. කෙසේවුවත්, රැස්වීම අවසානයේ අලුත් අවුරුද්ද සංකේතවත් කරමින් අගමැතිවරයා සංවිධානය කර තිබූ රාත්‍රී ආහාර වේලකට, පැමිණ සිටි සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා ලැබිණ.

ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ගැටලුව


හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රමුඛ විමර්ශන කොමිසම් සභාවකින් අනාවරණය කර තිබෙන කරුණු ප්‍රකාරව, දේශපාලනික පළිගැනීම්වලට ලක්ව සිටින්නන් සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කළ යුතුව තිබෙන ආකාරය ගැන රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සාකච්ඡා කළහ. එසේ තවත් අයවලුන්ගෙන් දේශපාලනික වශයෙන් පළිගැනීමට කටයුතු කර තිබෙන පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු ද? යන පැනය සාකච්ඡාවට ගෙන ආවේ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතාය.

පක්ෂ නායකයින් සමග පැවැති රැස්වීමකින් පසුව, දේශපාලනික පළිගැනීම් සම්බන්ධයෙන් වන යෝජනාවලිය අප්‍රේල් 21 සහ 22 යන දිනවල, දෙදින විවාදයකට යොමු කිරීමට කතානායකවරයා එකගව තිබූ අතර, මෙම සාකච්ඡාවට පසුබිම සකස් කර තිබුණේ එම විවාදයයි. සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එවක රජය කටයුතු කළ ද වත්මන් රජය එවැනි පිළිවෙතක් අනුගමනය කිරීම වරදක් බව කුමාරතුංග මහතා පැවසුවේ ය. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද, එය අනුමත කළේ ය. මේ අතර, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ රජය විශාල ජයග්‍රහණයක් ලබාගෙන තිබෙන බවය.

කතානායකවරයා සමග පැවැත්වෙන රැස්වීමකින් පසුව ඔවුන් කල්තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරනු ඇත. ඒක ලොකු සටනක්, ඔහු පැවසුවේ ය.

අදහස් දක්වන්නැයි මෙහිදී, අගමැතිවරයා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගෙන් ඉල්ලා සිටියේ ය.

“මමත් ඒකට එකගයි. ප්‍රජා අයිතිය අහෝසි නොකළ යුතුයි. එය අපේ න්‍යාය පත්‍රයේ කොටසක් නොවිය යුතුයි” ඔහු පැවසුවේ ය. 
තමා දේශපාලන පළිගැනීම්වල වින්දිතයෙක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ ය.

“මාව රිමාන්ඩ් බන්ධනාගාරගත කළේ තනිකරම බී වාර්තාවක් මත පදනම්ව” යයි කී ඔහු, දේශපාලන පළිගැනීම් සිදුකර ඇතැයි වරදකරුවන් වන පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි නොකළ යුතුව ඇතැයි අවධාරණය කළේ ය.

“ඔව්, ඔව්” යයි අගමැතිවරයා මහ හඩින් පැවසුවේ ය. “අපි පූර්වාදර්ශයක් සපයන්න හොද නැහැ” යයිද වැඩිදුරටත් කීවේය. 

කෙසේ වෙතත් අදාළ කොමිසම් සභා වාර්තාවෙන් ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ නිර්දේශයක් ඉදිරිපත් කර තිබෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙහිදී පෙන්වා දුන්නේ ය. එසේවුවත්, මෙතැන දී දිය යුතු පිළිතුර වන්නේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම නොව වරදකරුවන්ට දඩුවම් ලබාදීම යැයි තර්ක කළ පිරිසක් විය. එක්තරා නඩු කටයුත්තක්, දේශපාලන කරුණු නිසාම කඩුවෙල අධිකරණයට මාරු කළ අවස්ථාවක් එම එක් අයෙක් සිහි කැදවූයේ ය. එම සිදුවීම තමා ද දන්නා බව අගමැතිවරයා කීවේ ය.

අගවිනිසුරු තනතුරින් මොහාන් පීරිස් මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සාකච්ඡා කළහ. එක් මන්ත්‍රීවරයෙක් එහිදී, දැනට සිරභාරයේ සිටින එක්තරා ආන්දෝලනාත්මක දේශපාලකයෙක්, අගවිනිසුරු පීරිස්ගේ නිල නිවසට ගොස් ඔහුව බියගන්වා වහාම අගවිනිසුරු තනතුරින් ඉවත්වන්නැයි ඔහුට බලපෑම් කර තිබෙන බව, සැළ කළේ ය. එම අවස්ථාවේ දී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතූ අගමැතිවරයා සාක්කි හෝ පදනමක් නොමැතිව කිසිදු අවස්ථාවක අපේ මිනිසුන්, සම්බන්ධයෙන් අදහස් නොදැක්විය යුතුයැයි දැඩිව අවධාරණය කළේ ය. 

අගමැතිවරයා එසේ කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය නියෝජනය කරන වෙනත් දේශපාලන පක්ෂවල නායකයින් අපහසුතාවයට පත්වීමෙන් වැළැක්වීමට බව රජයේ ආරංචි මාර්ගයක් සදහන් කළේ ය. පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දෙදින, දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් වූ යෝජනාවලිය පාර්ලිමේන්තුවේ විවාදයට බදුන්වූයේ මෙවන් වටපිටාවකය.

දේශපාලන පළිගැනීම් සිදුකර ඇතැයි චෝදනා නැගී තිබෙන විපක්ෂ දේශපාලඥයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි නොකරන්නේ යැයි අගමැතිවරයා අවධාරණය කර ඇතත්, එහිලා අලුත් පිළිවෙතක් හදුන්වාදීමට රජය පියවර තබා අවසන්ය. එය නම්, විමර්ශන කොමිසමක් හරහා එසේ සිදුව තිබෙන ‘දේශපාලනමය පිළිගැනීම්‘ ‘හඳුනාගෙන‘, වරදකරුවන්ට එරෙහිව ගතයුතුව තිබෙන පියවර සම්බන්ධයෙන් ද, නිර්දේශ ලබාගෙන තිබීමය.

කෙසේවුවත්, ‘දේශපාලන පළිගැනීම්‘ යැයි එම හදුනාගෙන තිබෙන සිදුවීම්වලට අදාළව ගොනුකර තිබෙන නඩු සහ චෝදනා ඉවත්කරගන්නා ලෙස කොමිසම ඉල්ලා තිබෙන්නේ නීතිපතිවරයාගෙන්ය. එය, රටේ නීතිය සහ අධිකරණය ගොඩනැගී තිබෙන ප්‍රතිපත්ති දෙවැනි තැනට දැමීමක් වැන්න. මෙම පූර්වාදර්ශය, නිදහස ලබා වසර 72 ක් ගෙවී තිබෙන තැන, පොලිසිය සහ අධිකරණය තවදුරටත් අවැසි ද? යන පැනය අප හමුවේ තබන්නකි. මේ යන ආකාරයට සියල්ල කොමිසම්වලටම තීරණය කළ හැකිවා නොවේ ද?, ශ්‍රී ලංකාව සියල්ලන්ගේ හාස්‍යයට ලක්වීමේ එක්තරා අතකට පුදුමයක් ද නැත.

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර