කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගුවන් යානා ගොඩබෑම විශේෂිත කාරණයක් නොවේ. එහෙත් ඉකුත් පස්වැනිදා අලූයම 1.35ට ගොඩ බෑ එමිරේට්ස් ගුවන් යානය විශේෂිත විය. එයට හේතුව එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා පැමිණීමය. දුමින්ද එසේ පැමිණියේ ලංකාවෙන් පිටව ගොස් වසර එකහමාරකට පමණ පසුවය.

දුමින්ද සිල්වාගේ රට යාම සම්බන්ධයෙන්ද විවිධ කතාබහ සමාජගතව තිබිණි. ඔහු රට රැගෙන ගියේ ප‍්‍රතිකාර කිරීමටය. ප‍්‍රතිකාර කිරීමට සිදුවූයේ ඔහුට වෙඩි වැදී තිබූ හෙයිනි. වෙඩි වැදී තිබුණේ ගැටුමකදීය. ඒ ගැටුමෙන් ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිවු දෙනෙක් මිය ගියහ. එහෙත් දුමින්ද ඒ වනවිට සැකකරුවකු වශයෙන් ප‍්‍රකාශයට පත් වූයේ නැත. ඔහු රට ගියේ ඔය අතරවාරයේදීය. දුමින්දගේ රට යෑම ගැන විවිධ කතාබහ සමාජය තුළ ගොඩනැගුණේ එම පසුබිම තුළය. දුමින්දගේ නැවත පැමිණීම විශේෂිත වන්නේද ඒ නිසාය.

දිනය 2011 වසරේ ඔක්තෝබර් මස 08 වැනිදාය. පළාත් පාලන මැතිවරණය පැවැතියේ එදිනය. කොටිකාවත්ත-මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභා මැතිවරණය ඉන් වඩාත් උණුසුම්වී තිබිණි. එයට හේතුව කොළොන්නාව ආසනයේ සන්ධාන සංවිධායකවරයා හා ප‍්‍රාදේශීය සභාවේ සභාපති අපේක්ෂකයා හා කණ්ඩායම අතර ගැටුමක් එළිපිටම ප‍්‍රදර්ශනය වෙමින් තිබීමය.

දුමින්ද සිල්වා ආසන සංවිධායකවරයා විය. ප‍්‍රසන්න සෝලංගආරච්චි ප‍්‍රාදේශීය සභාවේ සභාපති අපේක්ෂකයා විය. ගැටුම නිර්මාණය වී තිබුණේ දුමින්ද හා ප‍්‍රසන්න අතරය. මේ අතර තුන්වැන්නෙක්ද සිටියේය. ඔහු භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍රය. කොළොන්නාවේ දේශපාලන අණසක පතුරුවාගෙන සිටියේ ඔහුය. 1987-89 භීෂණ සමයේද ඔහු මහජන පක්ෂයේ කොළොන්නාවේ ආසන සංවිධායකවරයා විය. ප‍්‍රසන්න සෝලංගආරච්චි දේශපාලනයට රැුගෙන ආවේ භාරතය. ප‍්‍රසන්නගේ දේශපාලන ගුරුවරයා භාරතය. එහෙයින් දුමින්ද-ප‍්‍රසන්න ගැටුමේදී භාරත හිට ගත්තේ ප‍්‍රසන්න ළඟය.

2010 ජනාධිපතිවරණ සමයේදී දුමින්ද සිල්වා කොළොන්නාවේ ආසන සංවිධායක ලෙස පත් කෙරිණි. ඒ වනවිට භාරත පාර්ලිමේන්තුවට සමුදී සිටියේය. ජනාධිපතිවරයාගේ වෘත්තිය සමිති උපදේශක ලෙස ඔහු කටයුතු කරමින් සිටියේය.

ජනාධිපතිවරණයේදී දුමින්දත් ප‍්‍රසන්නත් සහයෝගයෙන් වැඩ කළහ. බොහෝ වැඩ සැලසුම් කළේ ප‍්‍රසන්නය. ඔහු යෝධ පා ගමනක් සංවිධානය කළේය. ”ආදරණීය ජනපතිට කොළොන්නාවේ ශක්තිය” නමින් බැනරයක් පෙරටු කරගත් එම පා ගමන අඹතලේ මංසන්ධියේ සිට කොළොන්නාව බෝධිය දක්වා ගමන් කෙරිණි. එම බැනරයේ ජනාධිපතිවරයාගේ රුවට අමතරව දුමින්දගේ මෙන්ම දුමින්දට පෙර සංවිධායක වූ බෙනට් කුරේගේ ඡායාරූප ද විය. දුමින්දට ප‍්‍රසන්න සහයෝගය දුන්නේ එහෙමය.

දුමින්ද-ප‍්‍රසන්න ගැටුම් නිර්මාණය වීමට පටන් ගැනුණේ කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම් සම්බන්ධයෙනි. ප‍්‍රාදේශීය සභාවේ කටයුතු සම්බන්ධයෙන් සෑම මසකදීම දුමින්දගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැති අතර එම රැස්වීමට දුමින්ද සමග පැමිණෙන පිටස්තරයන් යම් යම් උපදෙස් දීමක් සමග ගැටුමට වුවමනා පරිසරය නිර්මාණය විය. පිටස්තරයන් පැමිණ මෙසේ උපදෙස් දීම ප‍්‍රසන්න ඇතුළු මන්තී‍්‍රවරුන්ගේ විරෝධයට හේතුවිය.

මහ මැතිවරණය ආවේ ඔය අතරවාරයේදීය. ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න ඇතුළු මන්තී‍්‍රවරුන් කැඳවූ දුමින්ද කියා සිටියේ සියලූ දෙනා තමන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් වැඩ කළ යුතු බවය.

”වෙන කිසිම අපේක්ෂකයකුට කොළොන්නාවෙන් උදව් බෑ” දුමින්ද එසේ කියා තිබේ. මේ මොහොතේදී ප‍්‍රසන්න නැගිට මෙසේ කීවේය.
”සංවිධායකතුමනි! අපිට සංවිධායක වරයෙක් නැතිව අවුරුදු 10ක් විතර හිටියා. ඒ කාලේ අපි අපේ ආසනයේ වැඩ කරවා ගත්තේ දිස්ති‍්‍රක්කයේ අනිත් මැති ඇමැතිවරුන්ගෙන්. අපි ඒ අයට කෘතගුණ සළකන්න  ඕනෑ. ඒ අනුව පළමු මනාපය දෙන්නේ ඔබටයි. දෙවැනි මනාපය සුසිල් පේ‍්‍රමජයන්ත ඇමැතිතුමාටත් තුන්වැනි මනාපය දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමාට දෙනවා” එසේ කී ප‍්‍රසන්න මෙසේද කීවේය.

”අපෙන් උදව් ගන්න ඔබතුමා කැමැතිනම් උදව් ගන්න. ඔබතුමාට උදව් කරන්න අපි බැඳිලා ඉන්නවා. හැබැයි අපෙන් බලහත්කාරයෙන් උදව් ගන්න බෑ” එසේ කී ප‍්‍රසන්න සෝලංගආරච්චි නැගිට එළියට ගියේය. කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්තී‍්‍රන්ගේ ගණන 11කි. එයින් මන්තී‍්‍රවරු හය දෙනෙක් ප‍්‍රසන්න සමග එළියට ගියහ.

කොළොන්නාව සන්ධාන දේශපාලනය පුපුරා ගියේ එසේය.

2011 වසරේ ඔක්තෝබර් 8 වැනිදා දිනය උදාවුණේ ඔය අතරවාරයේදීය. පළාත් පාලන මැතිවරණය පැවැතියේ එදිනය. එයට කලින් දින රාති‍්‍රයේ සිටම කොළොන්නාව ”වෙල්ලමුල්ලි වයික්කාල්” සිහි ගන්වමින් තිබිණි. උදය වරුවේ සිටම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තාවෙමින් තිබිණි. දුමින්ද ද සිය ගෝල බාලයන් පිරිවරාගෙන ආසනය පුරා ගියේය. භාරතත් එසේමය. ප‍්‍රසන්නත් එසේමය.

ප‍්‍රසන්නගේ ගෙදර අයට ගහන්න දුමින්දලා යනවා” භාරතගේ ජංගම දුරකථනයට ආ ඇමතුමෙන් කියැවුණේ එවැන්නකි. භාරත හනිකට ඒ දෙසට යාමට පටන් ගත්තේය. එමෙන්ම සෑම මැතිවරණයකදීම කොළොන්නාවේ රාහුල විද්‍යාලය ඡන්ද මධ්‍යස්ථානය අසළට පැමිණ ඡන්ද පෙට්ටි රැගෙන යාම නිරීක්ෂණය කිරීම භාරතගේත් ප‍්‍රසන්නගේත් සිරිත විය. ප‍්‍රසන්නගේ මහ ගෙදර පිහිටියේ එතැනය. ඡන්ද විමසීම අවසාන වීමට ආසන්නව තිබූ හෙයින් ප‍්‍රසන්නත් එතැනට යමින් සිටියේය.

දුමින්ද යමින් හිටියේ අංගොඩ සිට හිඹුටාන දෙසටය. භාරත යමින් සිටියේ හිඹුටානේ සිට අංගොඩ දෙසටය. වාහන පෙළ අංගොඩ වල්පළ සිරිමාවෝ බණ්ඩාරනායක පුස්තකාලය අසළදී මුහුණට මුහුණලා හමුවිය. භාරත බැස්සේය. දුමින්දත් බැස්සේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අත් නොහල බලාපොරොත්තු සහිත සාමකාමී ජනයාගේ ළය විනිවිද ගිය කිණිසි තුඩක් මෙන් වෙඩි පත්තු වූයේ මේ මොහොතේදීය.

භාරත මිය ගියේය.
දුමින්ද රෝහල් ගත කෙරිණි.

 

 

නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අදහස් පළකරමින්...



භාරත සමග සිටි සිවු දෙනෙක් වෙඩිකා මිය ගියහ! සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත්  රෝහලට දුමින්ද රැගෙන ගියේ වැඩිදුර ප‍්‍රතිකාර සඳහාය. ඔහු යළිත් ලංකාවට ආවේ ඉකුත් 5 වැනිදා 1.35ටය.

දුමින්ද පැමිණෙන බව රහසක් වශයෙන් තබා ගැනිණි. එය දැන සිටියේ දුමින්දගේ පවුලේ අය පමණි.

දුමින්ද ගුවන් යානයෙන් එළියට ආවේ රෝද පුටුවෙනි. මිනීමැරුම් නඩුවක විත්තිකරුවකු වුවද ගුවන් තොටුපළේදී ඔහු අත්අඩංගුවට නොගැනුණි. ගුවන් තොටුපළ පරිශ‍්‍රයේ නතර කර තිබූ ගිලන් රියකට ඔහු නංවාගනු ලැබිණි. නවීන පන්නයේ වාහන රැසක් පිරිවරාගෙන එම ගිලන් රිය කෙළින්ම ගියේ නවලෝක රෝහලටය.

දුමින්ද නවලෝක රෝහලට ඇතුළත් කෙරිණි.

භාරත ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර හා ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහේවා ඇතුළු නිලධාරීහු පිරිසක් නවලෝක රෝහලට ගියහ. ඒ උදේ 10ට පමණය.
දුමින්දට කතා කිරීමේ හැකියාව තිබිණි. ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා නවලෝක රෝහලට ගිය විට දුමින්ද ”ආ කොහොමද” කියා විමසුවේය. රහස් පොලිස් නිලධාරීහුද දුමින්දට එරෙහිව ඇති චෝදනාව කියා සිටියහ. දුමින්ද ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව චෝදනා 10 ක් යටතේ රහස් පොලිසිය නඩු පවරා තිබෙන බව සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර දුමින්දට කීවේය.

2011 ඔක්තෝබර් මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කොළොන්නාව ගොතටුව අංගොඩ හා සේදවත්ත යන ප‍්‍රදේශවලදී පුද්ගලයන්ට තුවාල සිදු කිරීම, සාපරාධි බලහත්කාරය පෑම හා කැරැලි ගැසීම, පොදු අරමුණ කරගත් නීති විරෝධී රැුස්වීමක සාමාජිකයන් වශයෙන් කටයුතු කරමින් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර, දමිත දර්ශන ජයතිලක, මොහොමඞ් අස්මි හා මනිවෙල් කුමාරස්වාමි නමැත්තන්ට වෙඩි තබා මරා දැමීම හා රාජපුරුගේ ගාමිණී නමැත්තාට වෙඩි තබා බරපතළ තුවාල සිදුකොට ඔහු මරා දැමීමට තැත් කිරීම යන චෝදනා දුමින්ද ඇතුළු පිරිසට තිබෙන බව ද ඔහුට දැන්වීය. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට සිදුවන බව දන්වා සිටියේය.

මේ මොහොතේදී දුමින්දගේ පියා දරුමාදුර වින්සන්ට් පේ‍්‍රමලාල්, සහකාර පොලිස් අධිකාරිවරයාට ඉදිරිපත්කර සිටියේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය හිමාෂි විජේරත්න මහත්මිය හා විශේෂඥ වෛද්‍ය කි‍්‍රස්බෝ මහතා දුමින්දගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් කළ වෛද්‍ය වාර්තාය. එම වාර්තාවල සඳහන් වූයේ දුමින්ද යනු තවමත් සම්පූර්ණයෙන්ම සුව නොවූ රෝගියකු බවය.

”පුතා යම් පීඩනයකට ලක් වුණොත් යළිත් රෝගී වෙන්න පුළුවන්.” වින්සන්ට් පේ‍්‍රමලාල් වැඩි දුරටත් කීවේය. ඒ අනුව දුමින්දගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් ලියා ගැනීම අමතක කළ සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිස වහාම කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට ගියහ. මේ වනවිට භාරත ඝාතන නඩුව කැඳවා තිබිණි. කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් සඳුන් විතාන මහතාට සම්පූර්ණ සිද්ධිය සැළකර සිටියේ පොලිස් අධිකාරි ශානි අබේසේකරය. ”අත්අඩංගුවේ පසුවන දුමින් ද සිල්වා නිරීක්ෂණය කර රිමාන්ඞ් භාරයට පත් කරන ලෙසද” සහකාර පොලිස් අධිකාරිවරයා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් නඩුවට පාදක වූ සිද්ධියේදී දුමින්ද සිල්වාගේ හිසට වෙඩි වැදුණේ යැයි කියා සිටියේය. එම වෙඩි පහරවල් හේතුවෙන් දුමින්දගේ හිස් කබලේ සෙන්ටි මීටර් 30ක පමණ කොටසක් ඉවත්කොට ඇති බවත් ඉන් පසුව කළ ශල්‍යකර්මයකදී හිස් කබල නොමැතිව ඒ මත හම තබා මසා දමා ඇති බවත් ඔහුගේ හිස් කබල යළි යථා තත්ත්වයට පත්කළ නොහැකි බව විශේෂඥ වෛද්‍ය කි‍්‍රස්බෝ මහතා වාර්තාකොට ඇති බවත් කියා සිටියේය. මෙම ස්ථානයෙන් දුමින්දගේ මොළයට විෂබීජ ඇතුළු විය හැකි බවත් එසේ වුවහොත් මෙතෙක් කල්ගත් සම්පූර්ණ උත්සාහය ව්‍යර්ථ වන බවත් පෙන්වා දුන් අනුජ පේ‍්‍රමරත්න මහතා ඔහුට විෂබීජ නොමැති ස්ථානයක සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇතැයිද කීවේය. ඒ අනුව තම සේවාදායකයා රිමාන්ඞ් භාරයට පත් කරන්නේ නම් නවලෝක රෝහලේම තබාගෙන ප‍්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියේය.

භාරත ලක්ෂ්මන් පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කියා සිටියේ දුමින්ද සිල්වා රිමාන්ඞ් භාරයට පත්කරන ලෙසය.

මෙහිදී ඉදිරිපත්වූ කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා රෝහලට ගොස් 11 වැනි විත්තිකරුවන දුමින්ද සිල්වා පිළිබඳ කරුණු සොයා බැලීමෙන් අනතුරුව සුදුසු නියෝගයක් කරන බව දැනුම් දුන්නේය. සෙසු සැකකරුවන් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් භාරයට පත් කරන ලෙසද නියෝග කළේය.

ඉන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් සඳුන් විතාන මහතා දුමින්ද සිල්වා ලබන 19 වැනිදාතෙක් රිමාන්ඞ් භාරයේ තැබීමට නියෝග කළේය.

දුමින්ද සිල්වාගේ ආරක්ෂාවට බන්ධනාගාර නිලධාරින් විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා තිබේ.
තම පුතුට ඇප නියම කරන්නැයි ඉල්ලමින් දුමින්දගේ පියා වින්සන්ට් පේ‍්‍රමලාල් කොළඹ මහාධිකරණයට අයැදුම්පතක් ඉදිරිපත් කළේ ඉකුත් 8 වැනිදාය.

දුමින්දගේ ඉරණම කුමක් වේද?

දුමින්ද ලංකාවට පැමිණිදා අධිකරණයට ආ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර දියණිය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර කියා සිටියේ ”සටන පටන් ගත්තේ දැන්” යනුවෙනි.

ඔව් අපි බලා සිටිමු.

 

සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්