කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා හෙවත් බලංගොඩ මානවාගේ සුවිශේෂී තොරතුරු හමුවීමට ඉඩ ඇති බව අපි පසුගිය සතියේ කීවෙමු. මේ සතියේ එය සත්‍යයක් වී තිබේ. නූතන මිනිසාගේ පැරණි මුත්තකුගේ අතක අස්ථි කොටසක් කැණීම් භූමියෙන් හමුවී ඇත. අතීත මානවයා භාවිත කළ මෙවලම්, සමග අස්ථි කොටස් හමුවිම යනු ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා මෙම ස්ථානයේ සිිටි බව වඩාත් තහවුරු කරන්නකි. 
පුරාවිද්‍යාඥයෝ දැන් මේ කැණීම් කටයුතු තවත් පුළුල් කිරීමට කටයුතු යොදමින් සිටිති. 

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන්නේ කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ ඇති මේ සුවිශේෂීතම පිහිටීම හේතුවෙන් එය ප‍්‍රාග් ඓතිහාසික මානවයාට අතිශය වැදගත් ස්ථානයක් වන්නට ඇති බවයි. 

‘‘ කූරගල අයත්වන්නේ පහතරට වියළි කලාපයත් තෙත් කලාපයත් අතර අන්තර් කලාපයට. ඒ වගේම සමනළ වැව, බලංගොඩ, කුරුවිට, බෙල්ලන්බැඳි පැලැස්ස යන ප‍්‍රාග් ඓතිහාසික මානවයා විසූ ප‍්‍රදේශ සියල්ල මේ ස්ථානය වටා පිහිටා තිෙබෙනවා. කූරගල කියන්නේ වියළි කලාපයේ ජීවත් වූ මානවයාත් තෙත් කලාපයේ ජීවත් වූ මානයාත් අතර අන්තර් සම්බන්ධතා පැවැත්වීමේ ඉතාමත්ම වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙස හඳුනාගත හැකියි. මෙය ඔවුන්ගේ රජ දහනක් වෙන්න ඇති. මේ වනවිට කරන ලද කැණීම් වලින් කූරගල මානවයාගේ ආහාර වේලේ වියළි කලාපීය සතුන් සහ තෙත් කලාපීය සතුන් යන දෙකොටසේම අස්ථි කොටස් හමුවීමෙන් ඒ බව තවදුරටත් සනාථ වනවා. ’’ 

ශී‍්‍ර ලංකාවේ බලංගොඩ මානවයා යනු ලෝකයේ නූතන මානවයාගේ පැරණිතම මානව සාධක ශී‍්‍ර ලංකාවෙන් හමුවූ විට ඒ මානවයාට දුන් නමයි. බලංගොඩ බෙල්ලන්බැඳි පැලැස්සෙන් මුල් වරට එම සාධක හමුවූ බැවින් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා බලංගොඩ මානවයා වූවේය. ඒ හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ කවර ස්ථානයකින් නූතන මානවයා හෙවත් වත්මන් අපට බොහෝ සෙයින් සමාන වූ ප‍්‍රාග් ඓතිහාසික මානව සාධක හමුවුව ද එම මානවයා හඳුන්වන්නේ බලංගොඩ මානවයා නමිනි. 

යළිත් බලංගොඩ කූරගලින් හෙවත් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ නාමකරණයට හේතුවූ නිජ භූමියෙන්ම සාධක හමුවීම වැදගත් දෙයකි. 
ශී‍්‍ර ලංකාවේ මෙතෙක් සිදුවූ පර්යේෂණ අනුව අදින් වසර ලක්ෂ තුනත් පහත් තරම් ඈත අතීතයේ පවා පැරණි ශිලා යුගයේ මානවයා ජීවත් වූ බවට සාධක සපයා ඇත. ඒ හෝමෝ ඉරෙක්ටස් නැමැති මානවයා ය. අදින් වර්ෂ 125,000 පමණ වනවිට ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳව ද සාක්ෂි හමුවී තිබේ. එම මානවයා කි‍්‍රස්තු පූර්ව 1000  පමණ වනවිට යකඩ කර්මාන්තය දක්වා සංක‍්‍රමණය වන්නට ඇතැයි ද විශ්වාස කැරේ. 

ශී‍්‍ර ලංකාවෙන් මෙතෙක් හමුවී ඇති ප‍්‍රාග් ඓතිහාසික මානව සාධක අනුව බලංගොඩ මානවයාගේ පිරිමි සෙන්ටිමීටර 174 ක් පමණ උසැති බව ද ගැහැණු

කූරගල කැනීමවලින් මතුවූ බලංගොඩ මානවයා ආහාරයටගත් බෙල්ලන් සහ සත්ව කොටස් කුඩා මැටි බඳුන්

සෙන්ටි මීටර 166 ක් පමණ සාමාන්‍ය උසකින් යුතු බව ද ඇතැම් පර්යේෂකයෝ කියති. එමෙන්ම ඉතාමත් ශක්තිමත් අස්ථි පද්ධතියක් හා ඝනකම ඇති හිස්කබලකින් යුතු වූ බවත් තරමක් පහතට එබුණු නාසයක් සහ උසැති ඇහි බැම සහ දැඩි හනු සහ කෙටි ගෙලක් සහිත වූ බව ද අස්ථි විද්‍යාත්මක පර්යේෂණ අනුව නිගමනය කැර තිබේ. 

මේ මානවයාගේ පරිනාමය හා ඔවුන් භාවිත කළ තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමේ හැකියාව ඇත්තේ ඔවුන්ගේ මෙවලම් පිළිබඳ පරීක්ෂා කිරීමෙනි. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානව සාධක හමුවූ අන් ස්ථාන වලින් මෙන්ම කූරගලින් ද අතිවිශාල වශයෙන් ශිලා මෙවලම් හෙවත් ගල් ආයුධ හමුවෙමින් තිබේ. 

අපි‍්‍රකාවේ ඔල්දුවායින් නිම්නයේ විසූ පුරාණ මානවයන් වර්ෂ ලක්ෂ 25 ට පෙරාතුව මුල් වරට භාවිත කරන්නට  ඇතැයි විශ්වාස කරන ශිලා මෙවලම් ශී‍්‍ර ලංකාවේ විසූ ප‍්‍රාග් ඓතිහාසික මානවයා ද භාවිත කැර තිබේ. පුරාවිද්‍යාඥයන් පවසන්නේ ශී‍්‍ර ලංකාවේ ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලා මෙවලම් නිෂ්පාදනය ගෝලීය වශයෙන් හා ඉන්දීය උප මහද්වීපය හා සන්සන්දනය කිරීමේදී මෙරට මානවයා ඉහළ තාක්ෂණික වර්ධනයක් පෙන්වා ඇති බවයි. 

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් එස්.යූ.දැරණියගල මහතා පවසන්නේ අප රටේ විසූ බලංගොඩ මානවයාගේ මෙවලම් අතර කුඩා තිරුවාණා පතුරුවලින් සාදා ගත් ආයුධ, අර්ධ චන්ද්‍රාකාර, ති‍්‍රකෝණාකාර සහ ත‍්‍රපීසියමාකාර හැඩතල වලින් යුතු ක්ෂුද්‍ර මෙවලම් වූ බවයි. 

මේ ආකාරයේ මෙවලම් රැුසක් කූරගලින් හමුවී තිබේ. කූරගල කැණීම් භාර නිලධාරී කමල් නන්ද සිරිසේන මහතා පවසන්නේ කූරගල පස්තට්ටු අතරින් හමුවන සාධක අතිශය වැදගත් ඉතිහාසයක මං සළකුණු හෙළිකරමින් තිබෙන බවයි. 

 

කූරගල කැණීම කිරීම

 

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය. 
මේ ස්ථානය මෙතෙක් කාලයක් කිසිවෙකුගේ අවධානයට ලක්නොවී තිබීමත් වාසනාවක්. විශේෂයෙන්ම මේ ලාංකීය උරුමයේ ඉතාමත්ම හොඳ සංකේතයක්. ප‍්‍රාග් ඓතිහාසික මානව සාධක, ඉන් පසු බෞද්ධ ආරාමික ලක්ෂණ සහ පසුකාලීනව ඉස්ලාම් ආගමික ඉදිකිරීම් කියන සිල්ල මේ ස්ථානයේ දැකිය හැකියි. පී.ඊ.පී. දැරණියගල මහතා 1950 ත් 1960 ත් අතර කාලයේ  ප‍්‍රාග් ඓතිහාසික මානව පර්යේෂණ සිදුකරද්දී බෙල්ලන්බැඳි පැලැස්සේ මානව සාධක හමුවුණා. පසුව 2005 දී ඒ මානවයා වසර 13,000 ක් පැරණි බව විද්‍යාත්මකව තහවුරු වුණා. ඒ භූමිය කූරගලට ඉතාමත්ම සමීප නිසා කූරගල ඉතිහාසයත් ඒ වගේ වසර දහස් ගණනක් අතීතයකට යන බව පැහැදිලියි’’ 

හමුවූ සාධක තවමත් පුරාවිද්‍යාත්මක විශ්ලේෂණයකට හෝ කාල නිර්ණයකට භාජනය කැර නැත. තවමත් කැණීම් සිදුවෙමින් පවතී. කාබන් කාල නිර්ණයන් සඳහා අවශ්‍ය සාම්පල කැණීම් භූමියෙන් ලබාගනිමින් තිබේ. ඉදිරියේදී විශ්ලේෂණ කටයුතු ආරම්භ කැරෙනු ඇත.

ඇටකටු

එවිට බලංගොඩ මානවයාගේ අතීත කතා පුවත බලංගොඩ කූරගලින් දිග හැරෙනු ඇත. 

‘‘ මෙම ස්ථානයේ හමුවන මානව සාධක වසර දහස් ගණනක් ඈතට දිවයනවා. දැනට හමුවී ඇති සාධක අනුව අපි විශ්වාස කරනවා ඉතාමත්ම දීර්ඝ ඉතිහාසයක් කූරගලින් මතුවේයැයි කියා. නමුත් මේ මානයාගේ වයස දැන්ම හරියටම කියන්න බැහැ. ඒ සඳහා පුරාවිද්‍යාත්මක විශ්ලේෂණ ගණනාවක් කළ යුතුයි. අනුමාන වශයෙන් හෝ වයස පැවසීමට උත්සාහ ගැනීම අපේ බලංගොඩ මානවයාට සිදුකරන බලවත් අසාධාරණයක්. නූතන මානවයාගේ පැරණිතම සාධක හමුවන මේ ස්ථානය අපේ ශී‍්‍ර ලංකාවට පමණක් නොවේ මුළු මහත් දකුණු ආසියාවේම  ප‍්‍රාග් ඉතිහාසයට වැදගත් වනවා.’’ යැයි ද ආචාර්ය පෙරේරා මහතා කියා සිටියේය. 

කූරගල ඓතිහාසික භූමියේ අදට ද පැරණි සංඝාවාසයේ ජීවමාන සාක්ෂි හමුවේ. එහි ඇති ලෙන් ආශි‍්‍රතව සංඝයාවහන්සේලා විසූ බවට ලෙන්වල ඇති කටාරම් විටින් විට ඉදිකැර ඇති පියගැටපෙළ ඇතුළු නෂ්ඨාවශේෂ සාක්කි දරයි. මේ අතර 1970 දි පමණ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කූරගල ලෙන් ලිපි කිහිපයක් පිළිබඳ වාර්තා කැර තිබේ. ඒවා අතර ප‍්‍රදේශය පාලනය කළ ප‍්‍රාදේශීය නායකයන් විසින් විටින් විට ලෙන් කරවා සංඝයාවහන්සේලාට පූජා කළ බව දැක්වෙන පුරාණ බ‍්‍රාහ්මීය අක්ෂර සහිත ලිපි කිහිපයක් හඳුනාගෙන ඇත. 

ඉන් පසු අන්‍යාගමිකයන් විසින් කරන ලද ඉදිකිරීම් ද මෙහි දක්නට ලැබේ. තවමත් නිශ්චිතව කිව නොහැකි වුව සහශ‍්‍ර ගණාවක අතීතයක පටන් අද දක්වාම මිනිසුන්ගේ පා පහස ලැබූ කූරගල අතීතය දැන් අවදි වෙමින් තිබේ. එහි සිටි පැරණිතම මිනිසා පිළිබඳ තොරතුරු සනාථ කැරගත් විට අතීත ශී‍්‍ර ලාංකිකයාගේ මාන ජීව විද්‍යාත්මක ඉතිහාසය වඩාත් විද්‍යානුකූලව තහවුරු කළ හැකිවනු ඇත. 

 

බලංගොඩ මානවයා පරිහරණය කළ විනිවිද පෙනෙන ගල් ආයුධ විශේෂයක්

 

මෙම ස්ථානයෙන් හමුන තොරතුරු අනුව එකල ඒ අවට ජීවත්වූ පැරණි මානවයාගේ ආහාර රටාව, සිරිත් විරිත් පමණක් නොව කොපමණ ජනඝනත්වයක් සිටියේද යන්නත් නූතන පුරාවිද්‍යාත්මක ක‍්‍රමවේදයන් අනුව සොයාගත හැකිවනු ඇත. කූරගල දකුණු ආසියාවේ මානව ප‍්‍රජාවගේ අඛණ්ඩ පරිනාමය හා වර්ධනය පිළිබඳ වඩාත් වැදගත්ම සාධක හමුවන ස්ථානය වීමට ද ඉඩ තිබේ. 

වසර දහස් ගණනක් පොළොව යට නිදා සිටි මේ මානවයා අවදි කිරීමට පුරාවිද්‍යාඥයෝ සැදී පැහැදී සිටිති. අපේ අතීත මී මුත්තාගේ වයස තීරණය කළ හැකිවන්නේ ඔහු අවදිකළ විට පමණි. 


 

වේරගොඩගේ සජීව විජේවීර / ඡායාරූප  වැලිගෙපොල චාමින්ද දිසානායක