හත් හැවිරිදි මල් කැකුළක් පාපතර කාමාතුරයෙකුගේ ගොදුරෙන් බේරා ගැනීමට කාන්තාවකගේ තියුණු උකුසු ඇස් යොමු කිරීම නිසා හැකි වූ කතාව රට පුරා මාධ්‍ය තුළ බරපතළ අවධානයට ලක් වූ කරුණක් විය.
ඒ. අනූෂා සංජීවනී හතළිස් දෙහැවිරිදි දෙදරු මවකි. ඇය පුත්තලම අරලිය උයන ගම්මානයේ පදිංචිකාරිනියකි. මේ අනූෂා සංජීවනීගේ කතාව නොවේ. නමුත් ඇය මෙම කතාවේ ප‍්‍රධාන චරිතය වී හමාරය. ඒ පුත්තලම අනගාරික ධර්මපාල විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටින දැරියකගේ ජීවිතය කාමාතුරයෙකුගෙන් බේරා ගැනීමට අනූෂා ඉදිරිපත්වීම නිසාය. ඇය නොසිටින්නට මෙම කතාව අපිට ලියා තබන්නට සිදු වන්නේ තවත් කාමාතුරයෙකුට ගොදුරු වී මිළින වූ මල්කැකුළකගේ දුක්බර කතාවය.
අනූෂා සංජීවනී ජුනි පළමු දින මාදම්පේ ප‍්‍රදේශයේ අසනීපව සිටින තම මව බලා ආපසු පුත්තලම වෙත දුම්රියෙන් ඒමට 10.35ට පමණ කොළඹ සිට පැමිණි පුත්තලම බලා දිවෙන දුම්රියට ගොඩ වූයේ නැවත පුත්තලමට පැමිණීමටය. පුත්තලම දුම්රිය ස්ථානයට දුම්රිය ළඟා වෙමින් තිබුණි. ඒ වන විට වේලාව දහවල් 12.20 පමණ වන්නට ඇතැයි ඇගේ මතකය සිහි ගන්වයි. ස්ථානය තිල්අඩිය වේලක්කන්නි දේවස්ථානයට නුදුරින් පිහිටි සුසාන භූමියට ආසන්නයේ කැලෑ ප‍්‍රදේශයයි.
පුත්තලමට එමින් තිබූ දුම්රියේ වම් පස අසුනක අසුන්ගෙන සිටි අනූෂා සංජීවනීට තිල්අඩිය සුසාන භූමිය ආසන්නයේම එකවරම දැකගත හැකි වූ දසුන ඇය වරක් නොව කිහිප වරක් තැති ගන්වන්නක් විය. මන්ද, නාඳුනන පුද්ගලයෙකු විසින් අනූෂා හොඳින් හඳුනන ටෝනි අයියාගේ ඃනිවුන් දැරියන් දෙදෙනාගෙන් එක් දැරියක් මෙම නාඳුනන පුද්ගලයා විසින් අල්ලා ගනු ලැබ අසල පිහිටි ඝන කැලෑව ආසන්නයේ ගමන් කරමින් තිබීම නිසාය.

නාඳුනන පුද්ගලයා සමඟ ගමන් කරන මෙම සිඟිති දියණිය කුමන කරුණක් සදහා මේ ප‍්‍රදේශයේ ගමන් කරන්නේදැයි ඇයට සැක මතුකරන්නට විය.
වහාම අනූෂා මේ පිළිබදව දැරියගේ මවගේ ජංගම දුරකථනයට දුම්රියේ සිටම ඇමතුමක් ලබා ගත්තාය. දැරිය කිසියම් පුද්ගලයෙකු තිල්අඩිය ප‍්‍රදේශයේ රැුගෙන යමින් සිටින බව ඇමතුමේ විය. එම දුරකථන ඇමතුමත් සමඟ මහත් කලබලයට පත් දැරිගේ මව වන ප‍්‍රියංකා ප‍්‍රැක්ටී‍්‍රසියා විසින් එම මොහොතේ නිවසේ සිටි දැරියගේ පියාට දැනුම් දෙනු ලැබුවේ අනූෂාගේ පණිවිඩයයි.
දැරියගේ පියා තම පාපැදියෙන් කිලෝ මීටර් හතරක පමණ දුරින් පිහිටි පුත්තලම අනගාරික ධර්මපාල ප‍්‍රාථමික විද්‍යාලය වෙත පැමිණියේ විනාඩි කිහිපයකිනි. පාසල් භූමියේ දැරිය සෙවූ නමුත් ඇය නොමැතිවිය. එනිසා. අනූෂාගේ පණිවිඩය අනුව තවත් විනාඩි කිහිපයකින් තිල්අඩිය සුසාන භූමිය ප‍්‍රදේශයට පැමිණියේය. ප‍්‍රදේශය තරමක් උණුසුම්කාරී වී තිබුණි.
ඒ දැරිය නාඳුනන පුද්ගලයකු රැගෙන යනවා දුටු අනූෂා සංජීවනී පුත්තලම දුම්රියපොළෙන් බැස එකපිම්මේම මෙම දැරිය සිටි ප‍්‍රදේශයට පැමිණ තිබුණේ තම දරුවනුත් පිට දරුවනුත් තමන්ගේ දරුවන් යැයි උණුවූ හදවතිනි. වහාම ක‍්‍රියාත්මක වූ අනූෂා අසල සෑම කෙනෙකුටම මේ පණිවිඩය ලබා දෙන්නට වූවාය. ඒ වන විට මේ ආසන්නයේ රථ වාහන හසුරවමින් රාජකාරියේ නිරතව සිටි පුත්තලම මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වන 33774 ඉන්දික හා 67466 මිහිරංග යන පොලිස් නිලධාරීන්ටද මෙම පණිවිඩය කනවැකී තිබුණි. වහාම ක‍්‍රියාත්මක වූ ඔවුහුද, එම ප‍්‍රදේශයට පැමිණ මේ පිළිබදව විපරම් කරන්නට වූහ.
අන්දර කටු පඳුරු හා කඩොලාන ශාකයන්ගෙන්ද, තවත් කුඩා කටු පඳුරු රැසකින්ද වටව තිබූ මෙම භූමිය පරීක්ෂා කිරීම එතරම් ලෙහෙසි පහසු නොවිණි. නමුත් මෙම කටයුත්තට එක්ව සිටි සෑම අයෙකුගේම සිත් තුළ තිබූ එකම ප‍්‍රාර්ථනයවී තිබුණේ දැරියට කිසිදු අනතුරක් නොවී නිරුපද්‍රිතව කාමාතුරයාගෙන් බේරා ගැනීමේ අරමුණය.
මෙම අවස්ථාවේ දැරියගේ පියාද අසල්වාසීන්ද සිද්ධිය දුටු අනූෂා සංජීවනීද, දැරියගේ මවද විලාප තබමින් ඒ ආසන්නයේ රැඳී සිටිනු දැකගත හැකි විය. කාලය ගත වෙමින් තිබේ. එකවරම මෙහෙයුමේ සිටි පිරිසක් ළමයා ඉන්නවා... ළමයා ඉන්නවා... මහාහඬින් කෑ ගහන්නට වූහ. ඒ සමගම තාත්තේ..............තාත්තේ.........තාත්තේ මහා හඬින් කෑ ගසමින් දැරිය කැලෑවේ කටු පඳුරු තුළින් එළියට පැමිණියේ දැඩි වෙහෙසකර තත්ත්වයක් හා තැති ගැන්මට ලක්වය.
තම දියණිය කැලෑවෙන් පැමිණෙනු දුටු ටෝනි, කටු පඳුරු පීරා දිව ගියේ තම ඇස් දෙක වන් දියණිය දැකීමේ හදවතේ ඇති වූ අපමණ සතුට පොදිබදිමිනි. එකවරම දියණිය ඔසවා ගත් ටෝනි ඇය රැගෙන ජනතාව සිටි ප‍්‍රදේශයට දිව එන දසුන ඒ මොහොතේ රැස්ව සිටි සෑම අයෙකුගේම හදවත් නිවන්නක් විය.
දැරිය සොයා ගැනීමේ මෙහෙයුම අවසන් විය. සියලූ දෙනාම සැනසුම් සුසුම් හෙළමින් මදක් වෙහෙස නිවන්නට වූහ. නමුත් තවමත් මෙහෙයුම අවසන් නැති බව එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් වන ඉන්දික හා මිහිරංග ජනතාව දැනුම්වත් කරන්නට වූහ. එසේ දැනුම්වත් කළේ මේ කිසිත් නොදත් කුඩා දැරිය අපහරණයට ලක් කිරීමට රැගෙන ආ පාපතරයා මේ කැලෑ භූමියේ තවමත් රැඳී සිටින බව අවධාරණය කරමිනි.
පාපතරයා සොයා ඉන්පසු පිිරිස පොලූ කැබිලි, ගල් කැබිලි, හෙල්මට් අතින් ගත් තරුණයන් ඝන කටු සහිත කැලේ පීරන්නට වූහ. පුරා පැයකට ආසන්න කාලයක් සෝදිසි කළද කාමාතුරයා සොයා ගැනීමට නොහැකි වූ තැන බොහෝ දෙනෙකු පවසන්නට වූයේ මේ සෙනඟ අතරින්ම සැඟවී පලා යන්නට ඇති බවයි. නමුත් තවත් කොටසක් එය ඉවත ලමින් නැවතත් පාපතරයා සොයමින් ඝන කැලෑව පීරන්නට වූහ. එක්වරම කාන්තාවක් කටු පඳුරක් යටට එබිකම් කළාය. ”මෙන්න මෙතන සෙරෙප්පු දෙකක් තියෙනවා...” යනුවෙන් ඇය හඬනගන්නට වූවාය. එහෙනම් මේ හරියේම ඇති වට කරපල්ලා වට කරපල්ලා අනෙක් පිරිස මහ හඬින් කෑ ගසන්නට වූහ.
නමුත් මෙම පාපතරයා එම පාවහන් යුගල තිබූ ආසන්නයේ නොසිටි අතර, තවත් මොහු සොයමින් කටයුතු ආරම්භ විය. ඝන කටු සහිත කැලෑවේ ජලය රැුඳී තිබූ එක ස්ථානයක් පිළිබදව කිහිප දෙනෙකුගේ නෙත් යොමු වී තිබුණි. එම ජලය තුළ අමුතු ආකාරයේ සෙලවීමක් දුටු පිරිස් කෝටු දිග ලී කැබිලි රැගෙන එය තුළට වැර යොදා පහර දෙන්නට වූහ. ඔවුන්ගේ සැකය තහවුරු විය. පාපතරයා පැය ගණනක් පුරා මෙහෙයුමේ නිරත වූ පිරිසගේ නෙත් වෙනතකට යොමු කරමින් ජලයේ ගිලී සිටියේ විස්මය දනවන ආකාරයෙනි. ජලයේ රැඳී සිටි පාපතරයා ගොඩට ඇදගත් තරුණයන්ගේ කෝපය දෙගුණ තෙගුණ වන්නට විය. අතින් පයින් නොව පොලූ මුගුරුවලින්ද හෙල්මට්වලින්ද කළ පහර දීම සුළු පටු නොවුණි. එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරින් දෙදෙනාට මේ තරම් විශාල පිරිසක් පාලනය කිරීමට නොහැකි විය.
මෙම කාමාතුර සල්ලාලයා මෙයට පෙරද 2008 වසරේ කුඩා දැරියක් අපහරණයට ලක්කිරීමේ චෝදනා මත බන්ධනාගාර ගතව සිට ඇති බවත්, සතියකට පමණ පෙර එයින් නිදහස්ව ඇති බවත්, පොලිස් වාර්තාවලින් හෙළිවේ. එසේම මෙම සැකකරු ගෙවල් බිඳුම් මංකොල්ලකෑම් රැුසකට සම්බන්ධ පුද්ගලයකු බවත්, මොහු පුත්තලම පාලවිය ප‍්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි අබ්දුල් ජබාර් මොහොමඞ් තව්ෆික් ලෙස හඳුනාගෙන ඇති බවත් පොලිසිය පවසයි. බරපතළ ලෙස පහර කෑමට ලක්ව සිටි මෙම කාමාතුරයා බන්ධනාගාර නිලධාරින්ගේ රැුකවල් මත ප‍්‍රතිකාර ලබමින් සිටි.
සිද්ධිය පිළිබදව අදහස් දක්වන දැරියගේ පියා : ”මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා ලොකු එක්කෙනා පුතා. අනෙක් දෙන්නා නිවුන්නු. ඒ දුවලා අර කාලකණ්නියා අරන් ගිහිල්ලා තිබුණේ මගෙ ලොකු දුවව එයාට අවුරුදු හතයි. මූ මගේ දරුවව රවට්ටලා අයිස් පැකට් එකක් අරන් දීලා අම්මා එන්න කීවා කියලා තමා අරන් ගිහින් තිබුණේ. මේ මගෙ දරුවො පාසල් එන්නෙ යන්නෙ ත‍්‍රීවිලයෙන් ඔය සිද්ධිය වෙච්ච දවසෙ පාසල වේලපහ ඇරලා තිබ්බා මොකද දන්සලක් දීලා තිබුණ නිසා. ඒ වෙලාවෙ තමා මගෙ දරුවා රවට්ටගෙන අරන් ගිහින් තිබුණෙ. අර අනූෂා නංගි දැකපු හින්දා තමා මගෙ දරුවගෙ ජීවිතේ බේරිලා අර තිරිසනාගෙන් බේර ගන්න පුළුවන් වුණේ. යැයි දැඩි හැගීම් බරව ඔහු කීවේය.
දැරියගේ මව වන ප‍්‍රියංකා ප‍්‍රැක්ටීසියා තම දැරියට සිදු වූ හදසි අකරතැබ්බය පිළිබඳව හඬා වැළපෙමින් මෙසේ පවසා සිටියාය.
”අනේ දෙවියනේ මේ වගේ තිරිසනුන්ට නිදහස් වෙලා ආයෙ එළියට එන්න දෙන්න එපා. අනෙක් දරුවො සහ අම්මලා වෙනුවෙන් මම ජනාධිපති තුමාගෙන් ඉල්ලන්නෙ ඔබතුමා මේ පිළිබදව අවධානය යොමුකරලා ඉහළම නීති ගෙනල්ලා මේ වගේ තිරිසනුන්ව එල්ලා මරන්න කියලා. එහෙම නැතුව මේ තිරිසන්නු ඇප අරන් එළියට ආපුවාම කරන්නෙ මේ වගේ අපරාධමයි. ඒ හින්දා තවත් අම්මා කෙනකුට මේ වගේ දුකක් ඇති වෙන්න කලින් මේ අයට දඬුවම් කරන්න.”
කුඩා දියණියගේ වට පිටාව ගැන ලිපිය අවසන් කිරීමට මත්තෙන් සඳහන් කළ යුතුම කරුණු රැසක් තිබේ. ඇගේ පියා දෛනික කුලී කම්කරුවෙකි. එසේම ඔහු ශ‍්‍රී ලංකා කාපිරි නමින් සිරම්බි අඩිය ආශ‍්‍රිතව පදිචි පිරිසගේ ඥාතිවරයෙකි. කුඩා දැරිය සහ ඇයගේ සොහොයුරාටත් වාසය කරන්නට ස්ථීර නිවහනක් නැත. ඔවුන් රැඳී සිටින්නේ තම පියා මුරකරුවෙකු ලෙස සේවය කරන ඉඩමේ මුර කුටියේය. මේ පුංචි දැරියගේ වට පිටාවය. මෙවන් දැරියන් රැුසකගේ ජීවිත අවදානමෙන් මුදවා ගැනීමට සමාජයෙන්ද යම් මෙහෙවරක් සිදුවිය යුතුව තිබේ. එය මව්පියන්ට පමණක් භාරකර අත පිස දමා සිටින්නට ඉඩ නොදෙන්නැයි අපි ඉල්ලා සිටිමු. මන්ද රැකවරණය අවශ්‍ය වූ තැන රැකවරණයද පිළිසරණය අවශ්‍ය වූ තැන පිළිසරණද මොවුන් වෙනුවෙන් ලබා දිය යුතුව තිබේ.

COMMENTS
දියුණු රටවල කාම අපරාධකරුවෙක් හිරෙන් නිදහස් වෙලා ආවම ඒ ප්‍රදේශයේ ජනතාවට දැනුම්දීමක් කරනවා. ලංකාවෙත් ඒ ක්‍රමය තියෙන්න ඕනෙ.(ම)
මේ ලිපිය කියවන කොට හිතෙනවා පාසල් බලධාරීනුත් යම් කිසි විදියකට වහ කියන්න ඕනේ කියලා. පාසල කලින් අරිනවානම් ඒ බව දෙමවුපියන් කලින් දැනුවත් කල යුතුයි. විශේෂයෙන් පොඩි දරුවන් කෙරෙහි වඩාත් සැලකිල්ල යොමු කළ යුතුයි. (ම)
එල්ලා මරන්න (බ)
හිතෙන හිතෙන වෙලාවට පාසල් වේලාසනින් අරින්න තරම් විදුහල්පති ළමුන්ගේ වගකීම නොදන්නා අයෙක්ද? (නි)
අනුෂා වැනි තරුණියන් රටට සම්පතක්.(ර)
ඔය තිරිසනාට මහා පාරේම දරුණු විදියට වද දෙන්නයි තිබුණේ (නි)
අනුෂා නියම කාන්තාවකගෙන් වෙන්න ඕනෑ වගකීම හරියටම ඉටුකරලා. (නි)
අනුෂ මහත්මියට මගේ ගෞරවය පුදමි. මෙවැනි අපරාද වලට දෙන දඩුවම් වැඩි කළ යුතුයි.ඒ වගේම පාසල් කලින් ඇරෙන දවසට දෙමාපියන් දැනුවත් කිරීම සහ ළමයින් යන්නේ කා සමගද කියන එක පාසලෙන් සොයා බැලිය යුතුයි. (ම)
5 වසර සිට 10 වසර දක්වා වත් සියලුම පාසල් වල සියලුම දූ දරුවන්ට ආත්ම ආරක්ෂාව පිලිබදව විශේෂ අධ්‍යාපනයක් ලබාදිය යුතුයි. බලධාරීන් බොරුවට විෂය නිර්දේශ වෙනස් නොකර අද සමාජයට අත්‍යවශ්‍ය දැනුම දරුවන්ට ලබාදිය යුතුය.(ම)
මමත් මුස්ලිම් තමයි. නමුත් නීතිය ඉදිරියේ ආගම අදහලා නැහැ. (බ)
තුන් වෙනි අදහස දැමු කුමාරිගේ අදහස මමද අනුමත කරමි.ලෝකය දියුණු වෙද්දී අම්මලා හෝ පොඩි කාලේ සිටම දරුවන් දැනුවත් කලයුතුමයි. දැන් තියන සමාජ වට පිටාවත් එක්ක ඕව කුණු හරුප නොවෙයි. මෙවැනි තිරිසනුන් නිදහස් කිරීම වහාම නවත්තන්න කියල අලුතෙන් නීතියක් ගෙනෙන්න කියා වගකිව යුත්තන්ගෙන් ඉල්ලමි. (ස)
දෙමාපියන් විසින් තම දරුවන් දැනුවත් කළ යුතුයි මව හෝ පිය නොවන එසේ නැතිනම් මව පියා හෝ ආච්චි සීය නොවන කිසි කෙනෙකුන් කතා කලාට පාසලෙන් නොයන ලෙස. සාමාන්‍යයෙන් දරුවා පාසලන් රැගෙන යන පුද්ගලයා නොමැතිව වෙන කෙනෙකුව තමන් නොඑවන බව දරුවාට සහතික ලෙස කියා තිබිය යුතුමයි. (ම)
මේ වගේ තිරිසන්නු මරන්ඩ ඕනේ , දඩුවම් දෙන්ඩ ඕනේ (ම)
කමනි,ඔයාගේ කතාවේ ඇත්තක් තිබෙනවා (නි)
සිංහල මිනිහෙක් මුස්ලිම් කෙල්ලක් අරන් ගියානම් අද තත්වය මොකක් වෙඉද ? මුන්වගේ තිරිසනුන් එල්ලලා මරන්න ඕන,(ම)
මට මේක කියවද්දී මේ ළඟකදී සිදුවුණ සිද්ධියක් මතක් වුණා. මවක් සිය දියණියගේ ආරක්ෂාව පිණිස ළමයට මුර පදයක් කියලා දීලා තිබුණා. ඒ කියන්නේ දිනපතා මව තමයි පාසලට ගියේ දරුවාව එක්කගෙන එන්න. අම්මා ළමයාට කියලා තිබුණා,යම්හෙයකින් වෙන කවුරුහරි අම්මා එන්න කිව්වා කියලා කතා කළොත් ඔහුගෙන් මුර පදය අහන්න කියලා.ඔහු නිවැරදිව කිව්වොත් එයා තමා විසින් යැවූ කෙනෙකු බවත්, එසේ නොමැතිව ඔහු මුර පදය නොදන්නේ නම් ඔහු රැවටිලිකාරයකු බවත් පවසා ඇත.මේ මුරපද ක්‍රමය නිසා දියණිය, දවසක් එවැනි අයෙකුගෙන් බේරුනා.මේක අපේ සමාජයේ දෙමාපියන්ටත් දරුවන්ගේ ආරක්ෂාව උදෙසා ගැළපෙනවා. (නි)
මේ වගේ කාලකන්නි නිදහස් කරන්න එපා. දැක්කනේ මීට කලින් එකකින් නිදහස්වෙලා ආවා විතරයි. තව දරුවෙක් අරගෙන පැන්නා. නැවත ආවත් ඔච්චර තමයි. මුන් මිනිස් වෙසින් මෙලොවට ආපු යක්ෂයෝ. අනූෂා මැතිනියනි, ඔබ උතුම් කාන්තා රත්නයක්. මේ දරුවා මුළු ජීවිත කාලයටම ඔබට ණයගැතියි. (නි)
දෙමව්පියන් ළමයි ගැන තව සෙවිල්ලෙන් ඉන්න ඕන. මේ බේරීමත් අනූනවයෙන්, දෙයක් උනාට පස්සේ වැලපිලා වැඩක් නැහැ. (ස)
කලින් පාසල් හමාරවන දවසට දෙමාපියන් දැනුවත් කිරීම අනිවාර්යෙන්ම කළයුතුයි. අකුරු විතරක් කියලාදීලා මදි. දරුවන්ගේ ආරක්ෂාවට පළමු තැන දියයුතුයි. (නි)
මෙහිම ඇති තරුණ නිළියකගේ ඇද කුද ලියන්න සමහර අපේ කාන්තාවෝ පෝලිමේ. පිටු ගානන් ලියනවා හිනාව ගැන ඇක්ෂන් ගැන ඇඳුම ගැන. මේ ප්‍රවෘර්තිය ගැන ඒ බවලත්තු මොනවත් කතා නැහැ. අඩුගානේ මේතරම් දෙයක් කල අනුෂා මහත්මියට ස්තුති කරලාවත් නැහැ. මටනම් දුරකථනයයි, ටැබ් එකයි කනේ ගහගෙන සෝබනේට ඇවිද අවිද ඉන්න නමට අම්ලා කියන ජාතිය ඇස් දෙකට පේන්න බැහැ. ඒ අතින් කොච්චියෙ ගියත් සිහි කල්පනාවෙන් වැඩ කරන අනුෂා මහත්මිය වගේ අය රටට වාසනාවක්. (නදී)