ඒ.ඩී.රන්ජිත් කුමාර

අසුව දසකයේ ජාතිවාදී කෝලහාල තිබූ වකවානුවයි ඒ. දෙමළ තරුණයකු ලේ ගලමින් පන්සල් භූමියේ වැටී සිටිනු පන්සලේ නායක හාමුදුරුවෝ දුටුහ.

 “ඔය අහිසංකයාව බණ මඩුවට අරගෙන වරෙන්” හාමුදුරුවෝ ඇබිත්තයාට කීහ. ඇබිත්තයා බිම සිටි තරුණයා කරේ තියාගෙන බණ මඩුවට ගෙන ගියේය. දෙමළ තරුණයා පසු පස එලවාගෙන ආ සිංහල තරුණයා හාමුදුරුවෝ ළඟ නතර විය.

 “හාමුදුරුවනේ මෙතනින් දෙමළෙක් දිව්වද?“
“දිව්වේ නෑ.” හාමුදුරුවො එසේ කීවේ බිම වැටී සිටි දෙමළ තරුණයා කරේ තියාගෙන ඇබිත්තයා පන්සලට ගෙන ආ නිසා මිස ඔහු දිව්වේ නැති නිසාය.

 “එතකොට මේ ලේ තියෙන්නේ....” පන්සල් භූමියෙහි වැටී තිබුණ ලේ පිරික්සමින් සිංහල තරුණයා ඇසීය.
“ මේ සිංහල ලේද? දෙමළ ලේද? කියලා හොයාගන්නේ කොහොමද? හාමුදුරුවෝ ඇසූහ.

 “ඒයි වරෙන්ලා... දෙමළෙක්....” යයි ඔහු කෑගැසීමට සැරසෙත්ම හාමුදුරුවෝ ඔහුගේ නිලයක් අල්ලා අඩපණ කළහ.

 මේ දර්ශනය එන්නේ 1986 වසරේ තිරගතවූ ගාමිණී ෆොන්සේකා අධ්‍යක්‍ෂණය කළ “කොටි වලිගය” චිත්‍රපටයේය. හාමදුරුවන් ලෙස සතිස්චන්ද්‍ර එදිසිංහ ද සිංහල තරුණයා ලෙස යූ.ආරිය විමල්ද මෙහි රඟපෑහ. මේ දර්ශනය අප තිරයේ දකින්නේ හරියටම තත්ත්පර 90ක ධාවන කාලයකි.

ලෝකයේ කිසිදු චිත්‍රපට නළුවකු තත්ත්පර 90 ක කළ රඟපෑමක් වෙනුවෙන් ප්‍රකට සිනමා සම්මාන උළෙලකදී සම්මානයක් ලැබූ අස්ථාවක් ඔබ අසා තිබේද? එසේ වුවා නම් එය අනිවාර්යෙන්ම ගිනස් වාර්තා පොතට ඇතුළත් විය යුතුය. එහෙත් එය ශ්‍රී ලංකාවේ සිදුවූයේ හරියටම මීට වසර 30කට පෙරය. 1987 වසරේ පැවති සරසවිය සම්මාන උළෙලේ දී භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස රඟපෑ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මේ රංගනය වෙනුවෙන් විශේෂ ජූරි සම්මානයක් හිමිවිය.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ කී පමණින් උස, ආරෝහ පරිණාහ දේහයකින් යුත්. පින්බර මුහුණකින්, අව්‍යාජ සිනාරැල්ලකින් මුව සරසා සිටින වයෝවෘද, තපෝ වෘද,  මානව හිතවාදී මිනිසෙකුගේ රූපකායක් අපට මැවෙයි.
1941 පෙබරවාරි 10 වෙනිදා කැලණියේ උපත ලැබූ පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ කලා ජීවිතයට වසර 55ක් සපිරී ඇත. කලාව ගැන ඔහුගේ ඇල්ම ඇති වූයේ කුඩා අවදියේ සිට බව ඔහු කියයි.

 “මගේ අම්මා (උඩ හෙට්ටිගේ එලිසබත් පෙරේරා) මිහිරට, රහට, තාලෙට දරු නැළවිලි ගී ගයනවා. පුංචි කාලේ මම අහගෙන හිටියා. අපේ පවුලේ කාටත් සින්දු කියන්න පුළුවන්. කැලණියේ ධර්මාලෝක විද්‍යාලයේ ඉගෙනීම ලැබූ අපේ සහෝදර සහෝදරියන් සියලු දෙනාම රඟනොපෑ විවිධ ප්‍රසංගයක් නැතිව ඇති. අපේ පවුලම සංගීතයට ලැදියි. තාත්තා (පැටිකිරිගේ එදිරිසිංහ) ගෘහ නිර්මාණ දෙපාර්තමේන්තුවේ (කොහුවැඩ) ප්‍රධාන පරීක්‍ෂකවරයා ලෙස සේවය කළේ. මේ අවස්ථාවේ මතක් වෙනවා ධර්මාලෝකේ පස්වැනි පන්තිය භාරව සිටි රවිලාල් විමලධර්ම  මහතා. පසුව හින්දි භාෂා විශාරදයකු, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු හා හිටපු සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළ එතුමා සම්මානනීය නිළි යසෝධා විමලධර්මගේ පියා. එතුමා උත්තම ගණයේ ගුරුවරයෙක්.

දවසක් මම පී.රූබන් පිරිස් ලියූ ‘මව්බස” පොතේ තියෙන “මැරෙන සැටි මම පෙන්වමි” කියන පාඩම කියෙව්වේ එහි එන නාට්‍යමය දෙබස් රඟපාමින්. පන්ති භාර ගුරුතුමා (කරෝලිස් මහතා) මගේ රංගනය සහිත නාට්‍යමය අවස්ථා නිරූපණය අගය කරලා පන්තියේ අනික් ළමයින්ට කීවේ “මේ එදිරිසිංහ වගේ පාඩම කියවන්න ඉගෙන ගන්න”  කියලා. මම පාසලේ පුංචි නළුවකු ලෙස ප්‍රසිද්ධ වුණේ මේ සිද්ධියෙන් පස්සෙ. මට ගෙදරදී දෙමව්පියන් කතා කළේ “පොඩි උන්නැහේ” කියලා. ගෙදර කරන රඟපෑම් දකින අම්මා දවසක් මාව විමලධර්ම සර් ගාවට එක්ක ගියා.

 “මහත්තයා, අපේ මේ පොඩි උන්නැහේ රඟපාන්න ආසයි, දක්‍ෂයි. පුළුවන් උදව්වක් කරන්න.”
සතිස්චන්ද්‍රයන් කියන ආකාරයට විමලධර්ම සර් තමාව ගුවන් විදුලියේ “ ළමාපිටිය”ට යොමුකර ඇත. ඒ 1953 වසරේදීය. විමලධර්ම සර් මාව “ළමා පිටිය” භාරව සිටි සරත් විමලවීර මහතාට භාර දුන්නා. ඒ කාලේ වැඩසටහන් කළේ සජීවීව, ඒ විතරක් නෙවේ. ළමා නාට්‍යයකදී මයික්‍රෆෝනය ඉදිරියේ අපි රඟපෑවේ ‘මේක්අප්’ දාගෙන වේදිකා නාට්‍යයක විලාසයට. ගුවන් විදුලියේ 10 වැනි මැදිරියේදී මම “සේරිවාණිජ” නාට්‍යයේ සේරිවාණිජ ලෙස රඟපෑවේ විමලධර්ම සර්ගේ වේට්ටියක් ඇදගෙන. ඒ කාලේ එතුමා ඇන්දේ ජාතික ඇඳුම.

 “මේ පොළොවෙන් ගත්තු වැලි ඇටයක් ගානේ උඹෙන් මම පළිගන්නවා”  කියමින් දෙබස් කියමින් රඟපාන විට මැදිරියේ බිම තිබූ ලණු පැදුර පැටලී බිම වැටී මාගේ වැළමිටත්. අතත්. දණෂිස්සත් තුවාල කරගැනීමට සිදුවුණා. කෙසේ වෙතත් මාගේ නාට්‍යයේ කොටස හොඳට කෙරුණා. විමලධර්ම  සර් වැඩසටහන පටිගත කළාට පස්සේ මාව මරදානේ බුහාරි හෝටලයට එක්කර ගෙන ගිහිල්ලා බිරියානිත්, වටලප්පන් කන්න දුන්නා. මුල්වරට ට්‍රෑම් කාර් යන සැටිත් මරදානේ ස්ටේෂන් එකේ කෝච්චි දුවන සැටිත් මුල්වරට දැක්කේ එදා.
ධර්මාලෝක විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ වේදිකා නාට්‍යයක රඟපෑම නිසා සතිස් අමාරුවේ වැටුණ අවස්ථාවක්  කීවේය. ඒ 1956 වසරය. රටේ අගමැති වූයේ බණ්ඩාරනායක මහතාය. ධර්මාලෝකයේ ගුරුවරයෙක් සතිස්ට කතාකොට මෙසේ ඇසීය.

“සතිස්චන්ද්‍ර, ඔයාට හොඳට රඟපාන්න පුළුවන් නෙ. අපි  “56 ජයග්‍රහණය” ගැන නාට්‍යයක් කරනවා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්ද?”

“කොහොමද සර්  56 ජයග්‍රහණය ගැන නාට්‍යයක් කරන්නේ.” සතිස් ඇසීය.

 “ ඒක ඉතාම සරල එකක්. එක වලව්වක් තියෙනවා. ඒකේ හාමුකෙනෙක් ඉන්නවා. එයා ඡන්දෙ ඉල්ලනවා. එයා දිනනවා. රේඩියෝ එකේ නිව්ස්වල කියනවා.-“ අපි දිනුම් දැන් ඉතින් කිරිබත් කමු කියලා. “සතිස්ට තියෙන්නේ අගමැති බණ්ඩාරනායක වගේ ගැඹුරු විදිහට කතා කරල රඟපාන්න. බණ්ඩාරනායක මහත්තයා කතා කරනවා රේඩියෝ එකෙන් ඔයා අහල ඇතිනෙ.”

නාට්‍යය පුරුදු කළ ගුරුවරයා උග්‍ර සම සමාජ පාක්‍ෂිකයෙක් බව මම දැනගත්තේ පස්සේ. මේ  නාට්‍යයේ අනික් චරිත වුණේ මැති ඇමැතිවරුන්ගේ නම්ය. පිලිප් ගුණවර්ධන ‘දිලිප් ’ ලෙසද විමලා විජයවර්ධන-කමලා ලෙසද, එම්.එස්.තේමිස් නම්කර තිබුණා. දැන් කැලණි විශ්වවිද්‍යාලය පිහිටා තිබෙන ස්ථානයේ එදා තිබුණ ‘මයින කෑම්ප්’ එකේ නාට්‍යය රඟදැක්වූයේ. මේ නාට්‍යය බැලීමට ධීවර ඇමැති ජේ.සී.ඩබ්ලිව්. මුණසිංහ මහතාත්, සතිස්ගේ පියාත් පැමිණ සිටියා. ටික වේලාවකින් විශාල කලබලයක් නිසා ගුරුවරයා කලබලයක් වුණා.

 “ඉක්මනට තිරය වහන්න. සී.අයි.ඩී. එකෙන් ඇවිත්” කිසිවෙකු කෑ ගසා ඇත. ඒ සමඟම වැලි බෝතල් වේදිකාවට පියඹා පැමිණ ඇත.

 සතිස්ගෙ පියා ඔහුවද ඇදගෙන කාර් එකේ නංවා හොර පාරකින් ගෙදර ගෙන ගියේය.
 “එදා ගෙදර ගියාම තාත්තා මට මෙහෙම කිව්වා.

 “මේ ළමයාගේ රඟපෑම බොහොම හොඳයි. ඒත් මින් පස්සේ කිසිවෙකුට අපහාස, උපහාස කරන චරිත රඟපාන්න එපා.”

තාත්තා දුටු මගේ එකම රඟපෑමයි ඒ. මම තාත්තාගේ අවවාදය හිතේ තියාගෙන රඟපෑ අනිත් රඟපෑම් දකින්න එතුමා ජීවතුන් අතර සිටියේ නැහැ. ඒ එක්කම තාත්තා දුන්න අවවාදයක් මට ගලේ කෙටු අකුරු මෙන් මට  මතකයි.

 “පුතා. කාටත් කියන්න පුළුවන් තැනකට යන්න. එහිදී කාටත් කියන්න පුළුවන් දෙයක් කරන්න. කාටත් කියන්න පුළුවන් දෙයක් කතා කරන්න.”

සතිස් ප්‍රසිද්ධ වේදිකාවේ රංගනයට පිවිසෙන්නේ කලාගුරු ජේ.ඩී.ඒ.පෙරේරා සූරීන්ගේ “වෙස්සන්තර” නාට්‍යයෙනි. මේ කාලයේ (1962) සතිස්ගේ වැඩිමහල් අයියා (ධර්මසිරි එදිරිසිංහ) ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ලේකම්වරයකු ලෙස කටයුතු කළේය. ජයවර්ධන මහතා නිසා මේ කලාකරුවා හඳුනා ගත් සතිස්ගේ අයියා විසින් සතිස් හා ඔහුගේ සොහොයුරු නිමල් ගේ රඟපෑ දස්කම් ගැන ඔහුට කියා ඇත. ‘වෙස්සන්තර’ නාට්‍යයේ සතිස් රඟපෑවේ කලා ලෝකයේ දැවැන්තයන්ව සිටි රුක්මණී දේවි, එඩී ජයමාන්න, එච්.ඩී. කුලතුංග, ජෙසිකා වික්‍රමසිංහ ආදීන් සමඟය. මේ නාට්‍යයේ මාස අටක් පුහණු වූ සතිස් හා නිමල්ට රඟපෑමට ලැබුණේ රටවැසියන් සිටි සමූහයක් සමඟ කුඩා චරිතයකි.

 “ ජේ.ඩී.ඒ.මහත්තයා අපිව නාට්‍ය පුහුණු කරන්න එන්නේ ටයි, කෝට්  සහිත සම්පූර්ණ යුරෝපීය ඇඳුමෙන්. දවසක් පූජක බමුණගේ චරිතය රඟපෑ එඩී ගුණවර්ධන කිසියම් මතභේදයක් නිසා අවේ නැහැ. නාට්‍ය පෙන්වන්න තිබුණේ තව විනාඩි පහයි. ජේ.ඩී,ඒ. මහතා  මට එන්න කිව්වා.

 “එදිරිසිංහ ,අද ජූජකට නටන්න ඕනෑ” ඔහු හැමෝටම ඇහෙන්න කිව්වා. වයස අවුරුදු 20ක පසු වූ මා වයස 75ක පමණ මහු මහළු ජූජක ලෙස රඟපෑම මගේ ජිවිතයේ අමතක නොවන අවස්ථාවක්” සතිස් කීය.
 1963 වසෙර් සතිස්ගේ මුල්ම නාට්‍ය නිෂ්පාදනය වූ “බකතපස්” වේදිකා ගතවිය. ඒ අතර 1971 වසරේ ඔහු තම ප්‍රථම චිත්‍රපට අධ්‍යක්‍ෂණය කිරීමට සැලසුම් කරන විට අතේ තිබී ඇත්තේ රුපියල් 250ක් බව මා කීවොත් එය ඔබ විශ්වාස නොකරනු ඇති. එදා ඔහුගේ ශක්තියට සිටියේ ෂෙල්ටන් කරුණානායක හා පියදාස සමරවික්‍රම ය. මේ චිත්‍රපටයෙන් සංගීත අධ්‍යක්‍ෂ ලෙස වික්ටර් රත්නායකද, පසුබිම් ගායනයෙන් තම සොහොයුරු සුනිල් එදිරිසිංහ හා මිල්ටන් මල්ලවාරච්චිද, ගීත රචනයෙන් වොලී නානායක්කාරද, රංගන ශිල්පීන් ලෙස විජය නන්දසිරි, සරත් ගුණරත්න, ක්වින්ටස් වීරකෝන්, කේ.ඒ.මිල්ටන් පෙරේරා, හඳුන්වා දීම විශේෂයකි. 1973  වසරේ ‘මාතර ආච්චි’ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කරන අවධියේ සතිස් සේවය කළේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඔරුගොඩවත්ත කාර්යාලයේය. චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති අනිල් මුණසිංහ මහතාට ආරාධනය කිරීමට සතිස් පෙරුම් පිරුවේය. එහෙත් ඒ මහතාගේ කාර්යාලයේ සිටි සමසමාජ සහෝදරයෝ ඊට හරස් කැපුවෝය. එහෙත් සතිස්ගේ හැම වැඩකටම සෙවණැල්ලක් මෙන් සිටි පියසේන ගුණතිලක හා හපුආරච්චි වෛද්‍යශේඛර යන සම සමාජ සහෝදරවරු දෙදෙනා ඔහුට පිහිට වූහ. මේ දෙදෙනාම ආචාර්ය ඇන්.ඇම්.පෙරේරාගේ කිටටුවන්තයෝ වූහ. මේ නිසා අනිල් මුණසිංහ මහතා ‘මාතර ආච්චි’ චිත්‍රපටයේ ප්‍රධාන අමුත්තා  විය. ඔහු  මංගල දර්ශනය නරඹද්දි සතිස් ඒ අසල පුටුවේ සිටියේය. චිත්‍රපටය අවසානයේ මුණසිංහ මහතා සතිස්ට සුබ පැතුවේය.
 “හොඳ චිත්‍රපටයක්. ඇයි සතිස්, මාව හමුවෙන්න ප්‍රමාද වුණේ” මුණසිංහ මහතා කීය.

 “මම ඔබතුමා හමුවෙන්න බලාපොරොත්තු වුණා. නිලධාරි මහත්වරු මට ඔබතුමා හමුවෙන්න ඉඩ දුන්නේ නැහැ.”

සභාපතිතුමා පිළිතුරු දුන්නේ සිනාවෙනි.

සතිස් කළ ඉල්ලීමට සභාපති මුණසිංහ ඔහු මහජන සම්බන්ධතා අංහයට මාරුවක් ලබා දුන්නේය. ලංගමට අයිති නාරාහේන්පිට ශාලිකා ශාලාවේ පරිපාලකවරයා වූයේද සතිස්ය.

සතිස් සිනමා රංගනයට පිවිසීමේ කතාවද රසවත්ය. මුලින්ම ඔහු රඟපෑ“දරුවා කාගේද” චිත්‍රපටයේ සමූහ දර්ශනයද චිත්‍රපට තිරගත වනවිට සංස්කාරකගේ කතුරට කැපී තිබුණි. සතිස් රඟපෑ ප්‍රථම චිත්‍රපටය වුයේ “සම්පත” ය. එහෙත් සතිස්චන්ද්‍ර එදිරිසිංහ නම් චිත්‍රපට නළුවා ප්‍රේක්‍ෂකයන් හඳුනා ගත්තේ සෙනෙට් මන්ත්‍රී රෙජි පෙරේරා අධ්‍යක්‍ෂණය කළ “සැඬොල් කඳුළු” චිත්‍රපටයෙනි. හෙන්රි ජයසේනගේ ‘මනරංජන වැඩවර්ජන’ නාට්‍ය දුටු රෙජි පෙරේරා සතිස් මුලින්ම තෝරාගෙන තිබුණේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ චරිතයටය. පසුව ඔහු දයානන්ද ගුණවර්ධන හෝ ‘ඉබිකට්ට’ නාට්‍යයේ සතිස් රඟපෑ චරිතය දැකීමෙන් පසු භික්‍ෂූන්වහන්සේ නමකගේ චරිතයකට තෝරාගෙන ඇත.

 “මම සිංහල සිනමාවේ භික්‍ෂු චරිතයක් සඳහා හිස කෙස් දන් දුන් එකම නළුවායි. පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවනේ පරිවේණාධිපති මැදගොඩ සුමනතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මම සිවුරු පෙරෙව්වා. මේ දර්ශන රූප ගත වුණේ වාරන පන්සලේදිය.“සැඬොල් කඳුළු” හාමුදුරුවන්ගේ චරිතයට විචාරක, ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුනා. දවසක් චිත්‍රපට අධ්‍යක්‍ෂ ඩී.ඇම්. දාස් මාව හොයාගෙන අසල තියෙන කඬේකින් මා සිටින නිවස ගැන අහල තිබුණා.

 “මුදලාලි, අර සැඬොල්කඳුළු පික්චර් එකේ හිටිය පොඩි බුදු හමුදුරුවන්ගේ ගෙදර කොහේද?” කියලා.
“අපෝ ,පව් කතා කියන්න එපා. ඒ මහත්තයා ඒ චිත්‍රපටයේ රඟපෑවේ හාමුදුරු නමකට මහත්තයෝ.”
“අනේ සොරි මුදලාලි. ඒ හාමුදුරුවෝ ඉන්න ගේ කොහේද?”

මුදලාලි මගේ ගෙදරට එන පාර කියලා තිබුණා.

 ‘හරි මඟ’ චිත්‍රපටයෙත් මට ලැබුනේ හාමුදුරුනමකගේ චරිතයක්.” සතිස් කීවේය. ‘සැඬොල් කඳුළු”  චිත්‍රපටයේ රඟපෑම ගැන පාර්ලිමේන්තුවේ පවා රැව් පළිරැව් දී ඇත. 1966 ජනවාරි 20 වෙනිදා නාවලපිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රා කරුණාරත්න මහතා මහජන මන්ත්‍රී මණ්ඩලයේදී කළ ප්‍රකාශය නිසාය. ඒ 1966 ජනවාරි 08 වෙනිදා කොල්ලුපිටියේ ඇතිවූ සිද්ධියක් ගැන තමා  විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු සමග කතා කළ බවත් ඒ සිද්ධියේදී තමාටත් මැරවර පිරිසකගෙන් හිරිහැර සිදුවූ බවත් කියා තිබුණි.

 මේ සිද්ධිය ඇතිවීමට මොහොතකට පෙර සෙනට් මන්ත්‍රී රෙජි පෙරේරා  මහතා සමග භික්‍ෂූන් වහන්සේ නමක් එතැනට පැමිණෙනු තමා දුටු බවත් ඒ භික්‍ෂූන් වහන්සේ ‘සැඬොල් කඳුළු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාන බවත් මන්ත්‍රීවරයා පවසා තිබුණි.

 මේ පිළිබඳව සතිස් එදා මෙසේ පිළිතුර දුන්නේය.

 “එදා නාවලපිටිය මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබුණේ මා ගැනයි. පෙළපාලියකට සහභාගි වනවා තබා ඒවා බැලීමටවත්  ප්‍රිය නොකරන බව මම අවංකව කිව යුතුයි.” මේ පිළිබඳ ප්‍රකාශයක් ඒ කාලයේ (1966) ‘විසිතුර’ සිනමා පුවත්පතට මම ලියා යැව්වා. එය පළ වී තිබුණේ සැඬොල් කඳු සාදු ඇත්ත කතා කරයි.” යන ශිර්ෂයෙන්ම”

සතිස්චන්ද්‍ර තම ජීවිතයේ 75 වන වසර පසු කර ඇති අතර කලා ජිවිතයට වසර 55 සපුරා ඇත. ඔහුගේ දයාබර බිරිඳ ශ්‍රියා කාරියප්පෙරුම ද තම සැමියා සමඟ පාසල් වියේදී ‘සුදෝ සුදු’ නාට්‍යයේ රඟපෑවාය. සතිස් හා ශ්‍රියාගේ විවාහ වී දැන් වසර 50ක් ගතවී ඇත.

 “ජීවිතේ 75 ගතකළ එක එතරම් අරුමයක් නොවේ. නළුවෙක් එකම බිරිඳක් සමග වසර 50ක් ගත කිරීම තමයි අමාරුම කාරිය.”සතිස් සිනාසෙමින් කීවේය.

 සතිස් හා ශ්‍රියාගේ ලොකු පුතා උදය ශෂිප්‍රිය, හෂිනි දුවණිය. බාලපුතා උදාර අසංගය දසන්ති හා නිසංසලා ලේලියන්ය. රනිල් බෑනාය. රවිඳු, තුෂිනි, නේහා, චේතා. සිනෙත් මුණුපුරු මිනිපිරියෝද සතිස් යුවළගේ සම්පත මේ සියලු දෙනාය. සරළ. දැහැමි, පරිත්‍යාගශිලි සතිස්, වාර්ෂිකව ජ්‍යෙෂ්ඨ කලාකරුවන්  බුහුමන් දක්වයි. අසරණ කලාකරුවන්ට මුල්‍ය පරිත්‍යාග කරන්නේ තමා විසින්ම අරඹන ලද මිහිඳු පදනමෙනි.

සතිස්ගැන සෝමවීර සේනානායකයන් කියූ මේ වදනින් මේ ලිපිය අවසන් කරමි.
 “සතිස්, කොතරම් අරුත්බර නමක්ද?

සතිස් යනු තිස් හයකි. කුමන තිස්හයක් ද?
චන්ද්‍රයන් තිස් හයකි. එහෙයින් හෙතෙම
සතිස්චන්ද්‍ර නම් වන්නේය.