IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


ණය වලේ ගිලෙමුද? ගොඩ එමුද?

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වී ඇතැයි යන සුබ පණිවිඩය මේ වන විට ලැබෙමින් පවතී. වත්මන් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් වඩා ඒවා සුබ ආරංචියක් වන්නේ ඉදිරියේදී පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවටයි.

කවර ආණ්ඩුවක් බලයට පැමිණියත් ලංකාවේ ආර්ථික න්‍යාය පත්‍රය අනුව පළමුව කළ යුතු ප්‍රමුඛතම කාර්ය වන්නේ, ණය ප්‍රතිව්‍යුහගතකරණයයි. දේශීය සහ විදේශීය සියලු‍ම ණය ප්‍රතිව්‍යුහගතකරණයන්හිදී මූලික වශයෙන් එළඹුණු එකඟතා වන්නේ 2028 දක්වා ණය නොගෙවා සිටීමටත් ණය පොලිය පමණක් ගෙවීමටත්ය. ඒ අනුව බලයට පත්වන ඕනෑම ආණ්ඩුවකට හොඳින් හුස්මක් ගෙන ණය ගෙවීමට හැකි වන පරිදි ආර්ථිකය සූදානම් කර ගැනීමට වසර හතරක පමණ කාලයක් ලැබීම, බලය අපේක්ෂා කරන ආණ්ඩුවකට සුබ පණිවිඩයක්ම වන්නේය.

 

ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය

මුදල් අමාත්‍යාංශයේ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 100.18කි. මෙය ඩොලර් බිලියන 57.3ක් වන දේශීය ණය වලින් සහ ඩොලර් බිලියන 37.04ක් වන විදේශීය ණය වලින්ද ඩොලර් බිලියන 5.86ක් වන රාජ්‍ය ව්‍යවසාය වෙනුවෙන් රජයේ ඇපකරවලින්ද සමන්විත වේ. 2022 අප්‍රේල් 12 වැනිදා ශ්‍රී ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කරන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 84ක් වූ ලංකාවේ ණය ඩොලර් බිලියන100 දක්වා මේ වනවිට වැඩි වී ඇත්තේ දේශීය ණය පංගුවේ සිදුවූ වැඩිවීම හේතු කොට ගෙනය. එම වැඩිවීමට මූලික වශයෙන් බලපෑවේ 2022 බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ද ශ්‍රී ලංකා ආණ්ඩුව දේශීය වෙළඳපොළෙන් ඉතා ඉහළ පොලී අනුපාත යටතේ භාණ්ඩාගාර බිල්පත් හරහා ණය ලබා ගැනීමත්, මේ වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල පෙරට වඩා ශක්තිමත්වීමත් යන කරුණු දෙක නිසාය. එකී බලපෑමෙන් ඇත්ත වශයෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන 100 ඉක්මවා යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ ණය තොගය බිලියන 100 මට්ටමක පවතින්නේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළ පසු ද ජාත්‍යන්තර බහු පාර්ශවීය ආයතන වෙත ගෙවිය යුතු ණය සහ දේශීය ණය ගෙවීම දිගටම සිදු කරගෙන ගිය බැවිනි.

 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනේ පළමු අදියර වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. එහිදී මහ බැංකුවෙන් ලබාගෙන තිබුණු ණය සහ සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාගෙන තිබුණු ණය ප්‍රතිව්‍යුහගත කරන ලද අතර වාණිජ බැංකුවලින් ලබාගෙන තිබුණු ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඇතුලත් නොකරන ලදී. මහ බැංකුවෙන් ලබාගෙන තිබුණු සියලු‍ ණය 2029 - 2032 අතර කල් පිරෙන ණය උපකරණ හතරක් හා 2033 සිට 2038 දක්වා කල්පිරෙන දිගුකාලීන ණය උපකරණ හයකට පරිවර්තනය කළේය. ඒවායේ කූපන් අනුපාතය 2024 දක්වා සියයට 12.4 ක්ද 2026 දක්වා සියයට 7.5 ක්ද ඉන් පසුව කල් පිරෙන තෙක් සියයට 5ක් ද වශයෙන් ක්‍රමයෙන් අඩු වන ආකාරයෙන් නියම කරනු ලැබීය. ශ්‍රී ලංකාව විසින් සිදුකරන ලද වේදනා විරහිතම ණය ප්‍රතිව්‍යුහගත කිරීම මහ බැංකුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. හේතුව, මහ බැංකුව විසින් ආණ්ඩුවට ණය ලබා දී තිබෙන්නේ මහජන තැන්පතුවලින් නොව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම මඟින් වන බැවිනි.

දේශීය වශයෙන් ආණ්ඩුව වැඩිම ණය ප්‍රමාණය ලබාගෙන තිබුණේ සේවක අර්ථසාධක අරමුදලිනි. සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාගෙන තිබුණු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී 2027 සිට 2038 දක්වා කල් පිරෙන බැඳුම්කර සියල්ල වටිනාකමින් සමාන උපකරණ දොළහකට පරිවර්තනයකොට එකිනෙකට වෙනස් කාල වකවානුවලදී ඒවා කල් පිරීමට සලස්වා ඇත. එම දිගුකාලීන බැඳුම්කරන මත 2025 දක්වා සියයට 12 ක කූපන් පොලී අනුපාතයක් ද ඉන්පසු අවසානය දක්වාම සියයට 9 ක කූපන් පොලී අනුපාතයක් ද ගෙවීමට එකඟ විය.

කූපන් පොලී අනුපාතය සියයට 9 දක්වා අඩු කිරීම මඟින් සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට විශාල පොලී ප්‍රමාණයක් අහිමි වන බව ඔවුන් දන්නේ නැත. හේතුව ඔවුන්ගේ අරමුදල් සියයට 15-16 වැනි ඉහළ ප්‍රතිලාභ ලැබෙන බැඳුම්කරවල ආයෝජනය කොට තිබූ බව අරමුදලේ සාමාජිකයන් නොදන්නා බැවිනි. කෙසේ නමුත් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ සේවක අර්ථසාධක අරමුදලට සැලකිය යුතු පාඩුවක් සිදුවුවත් සමස්ත ආර්ථිකයට ඉන් සිදුවූ පාඩුව එතරම් විශාල නොවේ. හේතුව එසේ ණය ප්‍රතිව්‍යුහගත නොකළා නම් එම ණය ගෙවීමට සිදුවන්නේ දේශීය වශයෙන් බදු ගෙවනු ලබන ජනතාවටම වීම නිසයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී වාණිජ බැංකු මගින් ලබාගෙන තිබුණු ණය සහ පෞද්ගලික අංශයෙන් ලබාගෙන තිබුණු ණය ප්‍රතිව්‍යුහගත නොකරන ලදී. බැංකු විශාල ද්‍රවශීලතා අර්බුදයක සහ ප්‍රාග්ධන හිඟයක පසුවූ නිසාත් ඒ වන විට බැංකු වෙතින් අයකළ බදු අනුපාත අවශේෂ ව්‍යාපාරවලින් අය කරන බදු අනුපාතවලට වඩා ඉහළින් තිබූ නිසාත් බැංකු වෙතින් ලබා ගෙන තිබුණ ණය කොටසක් කපා හැරියහොත් එම බැංකු අර්බුදයකට ගොස් බිඳ වැටීමට ලක්වීමට තිබූ ඉඩකඩ වැඩිවීම බැංකු මගින් ලබාගෙන තිබූ මෙම ණය කොටස ප්‍රතිව්‍යුහගත නොකිරීමට හේතු විය.

 

විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම

විදේශ ණය යටතේ ප්‍රධාන වශයෙන් ණය වර්ග තුනක් පවතී. එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනවලින් ලබාගෙන ඇති ඩොලර් බිලියන 11.78ක් වන බහු පාර්ශවීය ණය චීනය, ජපානය, ඉන්දියාව ප්‍රමුඛ රටවල්වලින් ලබාගෙන ඇති ඩොලර් බිලියන 10.8ක් වන ද්විපාර්ශවීය ණය සහ ඩොලර් බිලියන 12.55ක් වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ද ඇතුළත් ඩොලර් බිලියන 14.74ක් වන වාණිජ ණය වලිනි.

මේ අතරින් බහු පාර්ශ්වීය ආයතනවලින් ලබාගත් ණය කිසිදු ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු නොකළ අතර ශ්‍රී ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශ කර තිබූ සමයේද ඒවායේ ණය වාරික සහ පොලී ගෙවීම අඛණ්ඩව සිදුවිය. ඒ අනුව විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යනුවෙන් හැඳින්වෙන්නේ ද්වීපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. මේ යටතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෙන ආ සුබ ආරංචිය වූයේ වසර එකහමාරක පමණ පරිශ්‍රමයකින් පසු ද්වීපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වූ පණිවිඩයයි. ඩොලර් බිලියන 10.6ක් වූ ද්විපාර්ශවීය ණය හිමියන් අතර ජපානය, ප්‍රංශය, කොරියාව, ඇමරිකා එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, රුසියාව, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව, කැනඩාව එක්සත් රාජධානිය, බෙල්ජියම, ඩෙන්මාර්කය නෙදර්ලන්තය වැනි පැරිස් සමුළුවට අයත් රටවල්වලට ඩොලර් බිලියන 4.2ක් ණය වී තිබූණි. චීනය, ඉන්දියාව, සෞදි අරාබි, කුවේට්, හංගේරියාව ඉරානය, පකිස්ථානය වැනි පැරිස් සමාජයට අයත් නොවන රටවල්වලට එක්සත් ජනපද ඩොලර් 6.4ක් ණය වී තිබුණි.

ජපානයේ සහ ඉන්දියාවේ සම සභාපතිත්වයෙන් රැස්වුණු නිල ණය හිමියන්ගේ සාකච්ඡා වට ගණනාවකින් පසු ඩොලර් බිලියන 5.8ක ප්‍රමාණයක ණය ප්‍රතිව්‍යුහගත කිරීමට (කපා හැරීමට නොවේ) එකඟ වූ අතර චීනයෙන් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකිරීම පිළිබඳ ගිවිසුමට තවමත් එළඹී නැත. කෙසේ නමුත් මෙම ප්‍රතිව්‍යුහගත කිරීම තුළ කිසිම ණය කපා හැරීමක් සිදු නොවූ අතර ණය ගෙවීම ආරම්භ කිරීම සඳහා 2028 දක්වා සහන කාලයක්ද (grace period) ඉන් පසුව ණය ගෙවීම සඳහා 2048 දක්වා වසර 20ක කාලයක් ද ලබා ගැනීමට හැකිවිය. ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ණය කප්පාදුවක් බලාපොරොත්තු වීම තරමක් අසීරුය. ඊට හේතුව එම රටවල් වෙනත් රටවලට ණය වශයෙන් ලබා දී ඇත්තේ ඔවුන්ගේ රටේ ජනතාවගේ බදු මුදල් බැවින් එම රටේ පාලකයන් එරට ජනතාවට මහජන මුදල් සම්බන්ධයෙන් වගකිවයුතු බැවිනි.

තවද ද්වීපාර්ශවීය ණය සහනයක් සැලසීමේදී අඩු අදායම් රටක්, මැදි ආදායම් රටක්, දැඩි ලෙස ණයගැති රටක් ආදී වශයෙන් එම රටේ තරාතිරමද සැලකිල්ලට ගනී. ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කොට ඇති ප්‍රමාණය දක්වා ණය බර සැහැල්ලු‍ කිරීමට ණය කපා හැරීමක් අවශ්‍ය ද, නැද්ද යන්න විශේෂයෙන් ම සැලකිල්ලට ගනී. ඒ අනුව ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියවලියේදී කිසිදු ණය කපාහැරීමක් ලබා ගැනීමට ලංකාවේ ආණ්ඩුව අපොහසත් වීම ආණ්ඩුවේ අසමර්ථකමක් ලෙස අර්ථදැක්වීම සුදුසු නොවේ.

ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූ වැදගත්ම කොටස ස්වෛරීත්ව බැඳුම්කර ණයයි. ශ්‍රී ලංකාවේ මුළු නොගෙවා ඇති ස්වෛරීත්ව බැඳුම්කරණ ණය තොගයේ වටිනාකම ඩොලර් බිලියන 12.55 ක් වන අතර ඒ අතුරින් ඩොලර් බිලියන 11.55ක්ම යහපාලන ආණ්ඩුව සමයේ ලබාගත් ණය ය. එනම් 2015 ජුනි මස සිට 2019 ජුනි මස දක්වා ලබාගෙන තිබුණු 2030 දක්වා කල්පිරීමට නියමිතව තිබුණු ස්වෛරීත්ව බැඳුම්කර මඟින් ලබාගත් ණයයි. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි සමයේ ලබා ගත් ණය තොගය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඔහුටම මැදහත්වීමට සිදුවීම දෛවයේ සරදමක් ලෙස සැලකිය හැකිය.

සාමාන්‍යයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී මුල් මුදලින් යම්කිසි ප්‍රමාණයක් කපා හැරීම, පොලී අනුපාතය අඩු කිරීම සහ කාලය දීර්ඝ කිරීම යන තුන්වැදෑරුම් පිළිවෙත හෝ ඉන් කිහිපයක් අනුගමනය කෙරේ. ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් මෙම ප්‍රතිලාභ වර්ග තුනම ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. කාලය අතින් බැලූ විට 2033 දී ගෙවා අවසන් කිරීමට තිබූ ස්වෛරීත්ව බැඳුම්කර සඳහා 2038 දක්වා වසර පහක දීර්ඝ කරන කාලයක් සහ 2029 දක්වා ණය නොගෙවා ණය පොලිය පමණක් ගෙවීමට අවස්ථාව උදාවී තිබේ. පොලී අනුපාතය අතින් බලනවිට 2027 දක්වා උපරිම වශයෙන් සියයට 4ක් ද 2028-32 දක්වා උපරිම වශයෙන් සියයට 5.5ක් ද 2033න් පසුව එළැඹෙන කාලය සඳහා උපරිම වශයෙන් සියයට 9.75ක් වශයෙන් පොලී අනුපාත සංශෝධනය සඳහා එකඟ වී තිබේ.

ණය කපා හැරීම සම්බන්ධයෙන් බැලූවිට මේ වන විට පැහැරහැරී ඇති ණය පොලී වන ඩොලර් මිලියන1,889න් සියයට 11 ක් කපා හැරීමටත් එනම් ඩොලර් මිලියන 211ක් කපා හැරීමටත් ඉතිරිය වන ඩොලර් මිලියන 1,673 ගෙවීම සඳහා වසර පහක කාලයක් සියයට 4ක් පොලී අනුපාතය වශයෙන් නියම කිරීමත් සිදුවිය. එමගින් ලංකාවට ඩොලර් මිලියන 211ක වාසියක් ලැබුණේ වී නමුත් අනෙක් අතින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට එකඟ වීමේ ගාස්තු වශයෙන් ඩොලර් මිලියන 225ක් අය කරනා බැවින් යටකී වාසිය එකිනෙක කැපී ගොස් එය නොලැබුණා හා සමාන වේ.

ඩොලර් බිලියන 12.55ක් වූ ස්වෛරීත්වය බැඳුම්කර ණය මුල් මුදල ආපසු ගෙවීමේදී සියයට 28 ක ණය කප්පාදුවක් සිදුකර ගැනීමට හැකිවූ බව ආණ්ඩුව පවසයි. එනම් ඩොලර් බිලියන 3.514ක ණය කප්පාදුවකි. එහෙත් මෙම ණය කප්පාදුව ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබුණු ආකාරයට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 88.6ක් ඉක්මවා නොයන්නේ නම් පමණි. එලෙස ඉක්මවා යන අවස්ථාවක මෙම සියයට 28 ක ණය කප්පාදුව නොලැබෙන අතර එය සියයට 15ක් දක්වා අඩු වේ. එනම් ඩොලර් බිලියන 1.88 ක් දක්වා අඩු වීමට නියමිතය. මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික වර්ධන වේගයත් උද්ධමනයත් විදේශ විනිමයත් යන තුන සැලකිල්ලට ගත් විට ඉතා පහසුවෙන් 2015-2027 කාලය තුළ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 88.6ක සීමාව ඉක්මවා යනු ඇත. ඒ හේතුවෙන් මෙම සියයට 28ක ණය කප්පාදුවේ වාසිය ශ්‍රී ලංකාවට නොලැබී යාමට ඇති ඉඩකඩ වැඩිය.

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන්ගෙන් මීට වඩා ණය කප්පාදුවක් ලබා ගැනීමට ආණ්ඩුව උත්සාහ කළ යුතු යැයි ගොඩනැගෙන තර්කය පිටුපස තිබෙන්නේ වර්තමානයේ මෙකී ස්වෛරීත්ව බැඳුම්කර හිමිකම් දරන ආයතන සහ පුද්ගලයන් ඒවා මිලදීගෙන තිබෙන්නේ ඉතා අඩු මුදලකට වීම නිසයි. එනම් ශ්‍රී ලංකා ආර්ථිකය දිගින් දිගටම කඩා වැටෙද්දී එහි ප්‍රාථමික ගැනුම්කරුවන් අත තිබූ එම බැඳුම්කර ද්විතීක වෙළෙඳපොළේ විකුණා දැමූ අතර අවසාන වරට ඒවා මිලදී ගන්නන් විසින් ඒ සඳහා ගෙවූයේ ඉතා අඩු මුදලකි. එබැවින් ඔවුනට කිසිදු පාඩුවක් සිදු නොවී සියයට 40 ක හෝ සියයට 50 ක හෝ ප්‍රමාණයක වුවත් ණය කප්පාදුවක් ලබාදීමට හැකියාව තිබේ. එහෙත් මෙබඳු අවස්ථාවක හිමි වන ණය කප්පාදුව තීරණය වන්නේ ඔවුන්ට ලබා දිය හැකි ප්‍රමාණය හෝ ණය ගැතියා විසින් ඉල්ලන ප්‍රමාණය අනුව නොව ණය තිරසාරභාවය ඇතිකර ගැනීමට සත්‍ය වශයෙන්ම කොතරම් ණය සහනයක් ලබාදිය යුතුද යන්න සලකා බැලීමෙන් පසුවය.

ජාත්‍යන්තර මූල්‍යය අරමුදලේ ගණනය කිරීම් අනුව ශ්‍රී ලංකාව ණය තිරසාරභාවය ඇති කිරීමට නම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 95කට වඩා අඩුවෙන් මුළු ණය ප්‍රමාණය තබා ගත යුතුය. ණය ගෙවීම සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 13ක ප්‍රමාණය ද, විදේශ ණය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 4.5 කට වඩා අඩුවෙන්ද වන පරිදි ණය ව්‍යුහය සකස් කරගත යුතුය. එබැවින් මෙකී සෑම ණය ප්‍රතිව්‍යුහගත අවස්ථාවකදීම සලකා බැලු‍වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරන ලද නිර්දේශ ඇතුළත ලබා දිය හැකි ණය සහනය මිස ඇත්ත වශයෙන්ම ඔවුන්ට ලබා දිය හැකි උපරිම ණය සහනය ලබාදීමට නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2025-27 කාලය තුළ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ඩොලර් බිලියන 88.6ක මට්ටමේ පවතී යයි පුරෝකථනය කළ ද එම අගයට වඩා යම් හෙයකින් පහතට වැටුණහොත් තවදුරටත් මෙම ණය සහනය පුළුල් කිරීමටද ස්වෛරීත්ව ණය හිමියන් එකඟ වී ඇත.

ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති ස්වෛරිත්ව බැඳුම්කර ණයවලින් නොපියවා ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 12.55 වුවද 2038 අවසානය වන විට ඒ සඳහා ගෙවිය යුතු මුළු මුදල් ප්‍රමාණය කොපමණද යන්න රඳාපවතින්නේ 2025-27 කාලය තුළ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ අගය කොපමණද යන්න මතයි. යම් හෙයකින් දළ දේශීය නිෂ්පාදිතයේ අගය ඩොලර් බිලි. 92ක් ඉක්මවා ගියහොත් බිලියන 17.05ක් ද, ඩොලර් බිලියන 96ක් ඉක්මවා ගියහොත් බිලියන 18.9ක්ද ඩොලර් බිලියන 100ක් ඉක්මවා ගියහොත් බිලියන 19.64ක්ද ස්වෛරීත්ව බැඳුම්කර පියවීම සඳහා ශ්‍රී ලංකා විසින් ගෙවිය යුතුය.

 

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ වාසි සහ අවාසි

2022 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව සිය බංකොලොත්භාවය ප්‍රකාශ නොකළා නම් හෝ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතුවා නම් හෝ ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට මීට වඩා ප්‍රශස්ත විසඳුමක් ලබාගත හැකිව තිබුණි. ඒ සියල්ල අහිමි කරගත් පසුබිමක් තුළ මේ මොහොතේ ඒවා ගැන කතා කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොලැබෙන බැවින් අප විසින් සලකා බැලිය යුත්තේ මේ වන විට සිදුකර ඇති ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය කොතරම් ඵලදායීද යන්නයි.

පළමුව සඳහන් කළ යුත්තේ මෙම ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ වැඩිම වාසිය ලබන්නේ වත්මන් ජනාධිපතිවරයාවත් වත්මන් ආණ්ඩුවවත් නොව, ඉදිරියේදී බලයට පැමිණීමට සිටින ජනාධිපතිවරයා සහ ආණ්ඩුවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ වසර තුනක කාලයක් ණය නොගෙවා පොලී පමණක් ගෙවීමට ඉඩකඩ සලසා ගෙන ඇති බැවින් එම කාලයේ ශ්‍රී ලංකාව ණය ගෙවීමට හැකි ආර්ථිකයක් බවට ශක්තිමත් කර ගැනීම සඳහා නව ආණ්ඩුවට ඉඩ ප්‍රස්ථාවක් හිමි වී තිබේ.

ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය තුළ ණය කාලය දීර්ඝ කිරීමෙන් තවත් පරම්පරාවක් ඉදිරියට ණය වීම සිදුවුවත්, එමඟින් ලැබුණු වාසිය වාර්ෂික ණය වාරිකයේ ප්‍රමාණය කුඩා වීමයි. ඒ අනුව ශ්‍රී ලංකාවට ගෙවාගෙන යා හැකි මට්ටමක ණය වාරිකයක් පවත්වාගැනීමට හැකියාව ලැබීම වාසි සහගත කාරණයකි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලියත් සමඟ මෙතෙක් නැවතී තිබුණු ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ලැබුණු ආධාර තවදුරටත් ලබා ගැනීමේ ඉඩකඩක් විවෘත වී තිබේ.

මේ වාසිදායක තත්වය තිබෙන නමුත් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වූවා යැයි රතිඤ්ඤා පත්තු කිරීමට, කිරිබත් කෑමට හෝ උත්සව පැවැත්වීමට තරම් වැදගත් සිද්ධියක් නොවන්නේ කරුණු කිහිපයක් නිසාය. පළමුව මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේම ශ්‍රී ලංකාව මෙම ණය අර්බුදයට ඇද දැමූ නිල් කොළ ආණ්ඩු විසින්මය. දශක කිහිපයක් තිස්සේ ඔවුන් කපා දුන් ණය වළ ගොඩ කර ගැනීමට ඔවුන්ම මැදහත්වීම උත්සවාකාරයෙන් සැමරීමට කාරණයක් නොවේ. දෙවනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහන සියල්ල අපට ලැබී ඇත්තේ “හිඟන්නාගේ තුවාලය”‍ නම් න්‍යාය මතය. එනම් හිඟන්නාගේ තුවාලය සනීප වුවහොත් ඔහුට හිඟමන් ලැබෙන්නේ නැත. ඒ අනුව අනාගතයේදී බලයට පත්වන ආණ්ඩුවට තෝරා ගැනීම් දෙකක් ඉතිරිවී ඇත. එක්කෝ හිඟන්නාගේ තුවාලය සනීප කර ගන්නේ නැතුව පවත්වාගෙන යමින් මෙම ණය සහනය ලබා ගැනීමයි. නැතහොත් ණය සහනය අමතක කොට හිඟන්නාගේ තුවාලය සනීපකර ගැනීමයි. ණය සහන බලාපොරොත්තුවෙන් හිඟන්නාගේ තුවාලය තවදුරටත් පවත්වාගෙන නොයා ආර්ථිකය ශක්තිමත් කරමින් ණය නැවත ගෙවීමේ හැකියාව ඇතිවන සේ රටේ ආර්ථික වෘද්ධි වේගය ඉහළ නැංවිය හැකි ආණ්ඩුවක් පත්කර ගැනීමේ වගකීම මේ වනවිට ශ්‍රී ලාංකිකයන් සතුව පවතී.

(***)



අදහස් (0)

ණය වලේ ගිලෙමුද? ගොඩ එමුද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණය කල්තැබීමේ නූල් සූත්තර
2024 ජුලි මස 13 196 1

ජනාධිපතිවරයාගේ නිල කාලය වසර හයකැයි ප්‍රකාශයට පත් කරන ලෙසද එතෙක් ජනාධිපතිවරණය පැවැත්වීම කල්දමන ලෙස ද ඉල්ලා මොරටුවේ පදිංචිකරුවකු වූ චමින්ද ලේනව නමැති


පැනියාවලින් රටට දුන් අගනා ආදර්ශය
2024 ජුලි මස 13 234 0

අගය කළ යුතු දෙය අගය කළ යුතුමය. මේ ඒ වෙනුවෙන් ලියැවෙන්නකි. වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අති දුෂ්කර ප්‍රදේශයක් වන පාරේගම, පැනියාවල ජනපදයේ ජනයා ර


රජිව්ගේ පරිප්පු මෙහෙයුම
2024 ජුලි මස 12 510 1

එක්දහස් නවසිය අසූහතේ වසර එළඹුණේ ශ්‍රී ලංකාවට දුෂ්කර කාල පරිච්ඡේදයක් උදා කරමිනි. උතුරේ ත්‍රස්තවාදී සංවිධාන තම ප්‍රහාර උච්ච කර තිබූ අතර උතුරේ ත්‍රස්තව


ජනපති අපේක්ෂක අභියෝග
2024 ජුලි මස 12 173 0

මේ රටේ පුරවැසි අප ගත කරමින් සිටින්නේ රටේ දේශපාලනයේ තීරණාත්මක කාලයක්ය. මීළඟ ජනාධිපතිවරණයේ දින වකවානු ප්‍රකාශයට පත් කිරීමේ කාලය ආරම්භ වෙමින් පවතී. ලබන 17


දුම්රිය වැඩ වර්ජනය ජාතික ඇසකින් බලමු
2024 ජුලි මස 12 164 0

දුම්රිය ස්ථානාධිපති සංගමය මගින් දියත් කෙරුණු එක් දින වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා දිග් ගැස්සීමත් සමඟ දුම්රිය මගීහු බලවත් පීඩනයකට පත්ව සිටිති.


ආර්ථිකය වැටීමට හේතු සාධක
2024 ජුලි මස 11 134 1

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ණය කළමනාකරණය සම්බන්ධයෙන් කතා කිරීමට පෙර ලංකාවේ බදු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුත්තේ ජනතාවට මේ අවස්ථාවේ ඇති බරපතළ ප්‍රශ්නය


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 7 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 906 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1786 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site