කෝටි දෙකක් වන රටේ සියලු පුරවැසියන්ට අද තිබෙන මූලිකම ප්‍රශ්නය ලංකාව අසාර්ථක රාජ්‍යයක් බවට පත්වීමය. ඕනම රටක් ආර්ථික වශයෙන් අසාර්ථක වූ විට සමාජමය හා පරිසරමය අතින්ද අසාර්ථක වෙයි. රට මෙතැනට ඇද වැටුණේ පසුගිය වසර හැත්තෑවේදීය. එය වූයේ ක්‍රමයෙනි. අසාර්ථක වූ ලොව පළමු රාජ්‍ය ලංකාව නොවේ. ඒ රටවල් අසාර්ථක වූ අන්දම පිළිබඳ තොරතුරු ඕනෑ තරම් මේ විශ්වයේ පවතී. ඒ ගැන ලියැවුණු ලිපි ලේඛන, වාර්තා පොත්පත් ඕනෑ තරම් පවතී. ඒ දැනුම සතු අපි අපේ රට ද අසාර්ථක තත්ත්වයට යන බව කල්තබාම දුටුවෙමු. එහෙත් රටේ ආර්ථික, දේශපාලන හා පරිපාලන ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කරන අය රට අසාර්ථකත්වයට යන බව දුටුවාද නැතිනම් දැන දැනම ඒ පිළිබඳව නොසලකා හැරියාද? එසේත් නැතිනම් ඔවුන්ට ඒ ගැන  දැනුමක් නොමැති නිසා රට මේ තත්ත්වයට පත්වුණා දැයි රටේ ජනතාවට ඇත්තේ ප්‍රශ්නයකි.

යම් පුද්ගලයකු, ආයතනයක්, සමාගමක් රටක් අසාර්ථකවීම සම්බන්ධයෙන් නිර්වචනයක් පවතී. ලොව බිහිවන ඕනෑම පුද්ගලයකුගේ අරමුණ සාර්ථකවීමය. යෙදවුම්වල වටිනාකමට වඩා ඒ යෙදවුම්වලින් ලැබෙන නිමවුම්වලට වටිනාකම වැඩි විය යුතුය. පුවත්පත් කලාවේදියකු වන ඔබ ඉපදී අධ්‍යාපනය ලබා ගැනීමටත් වෘත්තීය පුහුණුව ලබා ගැනීමටත් කැප කළ කාලය, ශ්‍රමය සහ මුදල අප්‍රමාණය. ඔබේ ඒ යෙදවුම්වලින් ඔබ ලබන නිමවුම වැටුපය. මේ කාලයේදී ඔබ උපයාගෙන තිබෙන ධනය ද ඒ නිමවුමට ඇතුළත් වෙයි. ඔබේ යෙදවුම්වලට වඩා නිමවුම්වල වටිනාකම අඩු නම් ඔබ අසාර්ථක පුවත්පත් කලාවේදියෙකි. ව්‍යවසායකයකු ලෙස මට ද එය අදාළය. එය ව්‍යාපාරයකටද අදාළය. ව්‍යාපාරයට යොදවන තමන් සතු ප්‍රාග්ධනය, දැනුම හා ශ්‍රමය, කළමනාකරණය, බැංකුවලින් ලබාගන්නා ණය ප්‍රාග්ධනය යනාදී සියල්ල යෙදවුම්ය. ඒ යෙදවුම්වලට සාපේක්ෂව ලැබෙන නිමවුම් එනම් ලාබය, කොටස්කරුවන්ට ගෙවන ලාභාංශ අඩු නම් එය අසාර්ථක ව්‍යාපාරයකි. එය රටකට ද අදාළ ය.

ගතවූ කාලයේදී ලංකාවේ යෙදවුම්වලට සාපේක්ෂව නිමවුම් නැති නිසා අපේ රට ද දැන් අසාර්ථක රාජ්‍යයකි.

වත්කම්වලට වඩා වගකීම් වැඩි වන ඕනෑම පුද්ගලයකු ආයතනයක් හෝ රටක් බංකොලොත් බව ගිණුම්කරණයේ පිළිගැනීමයි. ලංකාවේ ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 52කි. රටේ වත්කම්වල වටිනාකම ඊට වඩා වැඩිය. රටේ අපේ යෙදවුම් ප්‍රමාණයට වඩා නිමවුම් ප්‍රමාණය අඩු විය. යෙදවුම් සහ නිමවුම් අතර ඇති වන පරතරය පියවීම සඳහා විවිධ ක්‍රම භාවිත කරන්නට සිදුවිය.

ලංකාව අානයනය කරන දේවල්වලට අවුරුද්දකට ඇමෙරිකන් ඩොලර් බිලියන 20.6ක් පමණ වැය වෙයි. එහෙත් අපනයනයෙන් ලංකාව අවුරුද්දකට උපයාගන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 10 සිට 11 අතර ප්‍රමාණයකි. ඒ ඉලක්කම් දෙකෙන් හෙළිවෙන්නේ ලංකාව අසාර්ථක රාජ්‍යයක් බවය.

ලංකාව තම යෙදවුම්වලට සාපේක්ෂව නිමවුම් නොලබන බව ඒ  ඉලක්කම් දෙකෙන් අනාවරණය වෙයි.

සාර්ථක අසාර්ථකභාවය මනින මිනුම් දණ්ඩට අනුව සෞභාග්‍ය දර්ශකයට අනුව 1975දී ලෝකයේ රටවල් අතරින් ලංකාව සිටියේ 43 වැනි ස්ථානයේය. එකල අපේ රටේ ජනගහනය ලක්ෂ 140කි. එහෙත් දැන් අප හිමිකරගෙන සිටින්නේ 113 වැනි ස්ථානයයි. අවුරුදු 46කදී අපි ඒ ස්ථාන නැතිනම් පඩි 70කින් පහළ බැස සිටිමු.

ලංකාව 1975දීත් සංවර්ධනය වෙමින් පවතින රටකි. 2022දීත් සංවර්ධනය වෙමින් පවතින රටකි. නැතිනම් පහළ මැදි ආදායම් ලබන රටකි. ගතවූ අවුරුදු 70දී රට සංවර්ධනය නොවුණේ ඇයි? සංවර්ධනය ගැන දේශපාලන වේදිකාවලත්, පාර්ලිමේන්තුවේත් හරි හරියට පුරාජේරු කියැවෙයි. ඔවුනට සාර්ථක විය නොහැකිය. සාර්ථක වීමට නම් පළමුව අසාර්ථක වීමට හේතු දැන ගත යුතුය. ඉන්නේ කොතැනද යා යුත්තේ කොතැනකටද ඒ සඳහා කොපමණ කාලයක් ගන්නේද යනාදිය තීරණය වන්නේ සැලසුම් සකස් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කරන ස්වභාවය සහ වේගය මතය. ප්‍රතිපත්ති හදන්නේ දේශපාලකයන්ය. ප්‍රතිපත්ති හා සැලසුම් කියන්නේ එකක් නොව දෙකකි.

1975දී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඇමෙරිකන් ඩොලර් බිලියන 3.79කි. එකල දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය 3.6කි. අද දළ ජාතික නිෂ්පාදනය ඇමෙරිකන් ඩොලර් බිලියන 80 සිට 83 අතර පවතී. දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය ඍණ 3.6කි. එහෙම වුණේ ඇයි? වැටුණු වළෙන් ගොඩයන්නේ කොහොමද?

අගමැති හා ඇමැති මණ්ඩලය වෙනස් කළාට ඉහළ පරිපාලන පුටුවල සිටින පුද්ගලයන් වෙනස් කළාට ඒ කිසිවකින් රට ගොඩගත නොහැකිය. රට ගොඩ ගැනීමට නම් ජාතික ආර්ථික උපායමාර්ගික සැලැස්මක් තිබිය යුතුය. ප්‍රතිපත්ති රේල් පීල්ලට සමානය. සැලසුම් සමාන වන්නේ දුම්රිය එන්ජිමටය. ඉතින් එන්ජිමක් නැතිව රේල් පීලි හැදුවාට රටට වැඩක්, ප්‍රයෝජනයක් නොවෙයි. හදන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ මාවත ප්‍රතිපත්තියයි.

සෑම මැතිවරණයකදීම අපේ දේශපාලකයෝ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදක්වති. එහෙත් ඒ කිසිවෙක් රට ගොඩදාන ආර්ථික සැලැස්මක් ඉදිරිපත් නොකරති. රට ගොඩනගන ජාතික ආර්ථික සැලැස්ම කුමක් දැයි ඇහුවොත් කොයි කෙරුම්කාරයත් නිරුත්තර වෙයි. එසේ වන්නේ ඔවුනට එවැනි සැලැස්මක් නැති නිසාය.

සැලසුම් සකස් කිරීමේ පළමු මූලධර්මය විය යුත්තේ ඊට සහභාගි වන සියලුම පාර්ශ්වකරුවන්ට සැලසුම් ඉලක්ක පිළිබඳව අදහසක් තිබිය යුතුවීමය. ජාතික ආර්ථික උපායමාර්ගික සැලැස්මක් නමින් මා එය හඳුන්වන්නේ එහි උපාය මාර්ග තිබිය යුතු හෙයිනි. උපාය මාර්ග නැති සැලසුම් ද නිෂ්ඵලය. කළමනාකරණය පිළිබඳ මූලධර්ම පැමිණියේ යුද ශිල්පීන්ගෙනි. ෂන් ෂූ වැනි යුද ශිල්පීන් කියා තිබෙන්නේ උපාය මාර්ග (Strategy) නම් අරමුණක් ඉටු කරගන්නා මූලෝපායයන් පමණක් නොව ඒ අරමුණට යන විධි ක්‍රම ද (Tactics)  තිබිය යුතු බවය. අසාර්ථක වූ අපේ රට අවුරුදු පහක් දහයක් අතර කාලයකදී නැවත ගොඩනැගිය හැකිය. ඒ සඳහා සියලු දෙනා එකඟ වූ උපායමාර්ගික සැලසුමක් අත්‍යවශ්‍යය. එහෙත් අදටත් එවැන්නක් නැත.

සෞභාග්‍යය තිබෙන්නේ කේන්ද්‍ර හතරකය. මූල්‍යමය හා ආර්ථික සංවර්ධනය පළමුවැන්නයි. එහි මනින්නට හැකි දර්ශක 15ක් පමණ තිබේ. දළ දේශීය නිෂ්පාදිතය එක් උදාහරණයකි. ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය දැන් ඇමරිකන් ඩොලර් බිලියන 80ටත් අඩුය. රට සංවර්ධනය ගැන කතා කරනවා නම් දළ දේශීය නිෂ්පාදනය අහවල් අවුරුද්දේ අහවල් තැනට ගෙනියනවා කියා ඉලක්කමක් තිබිය යුතුය. ශ්‍රම බලකායෙන් කොතරම් පිරිසකට රැකියා දෙනවාද, ඒ කවදාද යන්නත් ඉතා වැදගත්ය. ධනය නිර්මාණය කිරීමට විරැකියාව අඩු විය යුතුය.

ලංකාවේ ශ්‍රම බලකාය ලක්ෂ 80කි. නිෂ්පාදන කටයුතුවල යෙදෙන්නේ ඉන් 50%කි. ඒ ප්‍රමාණයෙනුත් 28%ක් නිරත වන්නේ කෘෂිකර්මාන්තයේය. එහෙත් කෘෂිකර්මාන්තය අද ඇදවැටී පවතින්නේ ඉතාම භයානක තැනකටය. කර්මාන්ත අංශයේ නිරත වන්නේ මුළු ශ්‍රම බලකායෙන් සියයට 26 සිට 28 අතර පිරිසකි. පාරිභෝගික මිල දර්ශකය, ගෙවුම් ශේෂය, ශ්‍රම කුලී දර්ශකය, රජයේ ණය ප්‍රමාණය තවත් එවැනි දර්ශක කිහිපයකි. අනෙක ආර්ථික තෘප්තිමත්භාවයයි. ඒ තෘප්තිමත්භාවය අතින් අද රටේ ජනතාව සිටින්නේ ඍණ තත්වයකය. එනම් තෘප්තිය වෙනුවට ඇත්තේ අතෘප්තියයි. විදේශ ආයෝජන ඇදගැනීමේ හැකියාව, ව්‍යවසායකයන් බිහිවීමට සුදුසු වාතාවරණයක් පැවතීම යනාදී දර්ශක රැසකි.

රටේ පැවැත්මට ඉවහල් වන සහ රට රඳා පවතින පළමුවැනි කුලුන ජාතික ආර්ථිකයයි. ජාතික ආර්ථික උපාය මාර්ගික සැලැස්මක් තිබුණොත් සෞභාග්‍ය පිළිබඳ දර්ශකයේ 113 සිට 100 වැනි තැනට කෙටි කලෙකින් යා හැකිය.

සෞභාග්‍යය මනින දෙවැනි කේන්ද්‍රය සාමාජීය සංවර්ධනයයි. මානව සම්පත් සංවර්ධනය. සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම්, නීතිය හා සාමය, පුද්ගල සමානාත්මතාව, නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීම, දූෂණ වැළැක්වීම් යනාදිය වන සමාජීය සංවර්ධනය තීරණය වෙයි. සංස්කෘතිකමය කේන්ද්‍රය තෙවැන්නයි. ජීවත්වීමට සුදුසු පරිසරයක් තිබීම සිව්වැනි කේන්ද්‍රයයි. ඒ කේන්ද්‍ර හතරම එක හා සමානව වර්ධනය විය යුතුය. ආර්ථිකමය වශයෙන් වර්ධනය වුණත් සාමාජීය වශයෙන් වර්ධනය නොවුණොත් ශ්‍රම බලකාය, නීති රීති, රෙගුලාසි, ව්‍යවස්ථාව, මානව හිමිකම් යනාදිය සංවර්ධනය නොවෙයි. අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් ඉහළ මට්ටමක නොවුණොත් සමාජීය සංවර්ධනය කඩා වැටෙයි. ඒ නිසා ඒ කේන්ද්‍ර හතරම සමානව වර්ධනය විය යුතුය. ඒ වර්ධනයට උපාය මාර්ගික සැලසුම් තිබිය යුතුය. සැලසුම් නැතිව ප්‍රතිපත්තිවලින් පමණක් රටක් දියුණු කළ නොහැකිය.

අවුරුදු 75ක් තිස්සේ ලංකාවේ උපාය මාර්ගික ජාතික ආර්ථික සැලැස්මක් තිබී නැත. රටට එවැන්නක් තිබිය යුතු බව සඳහන් නීතියක්ද සම්පාදනය කර නැත.

අවුරුදු හයෙන් හයට හෝ පහෙන් පහට බලයට පැමිණි කිසිවකුට මෙබඳු සැලසුම් තිබුණේම නැත. වර්තමාන පාලකයන්ගේ ප්‍රතිපත්තිය සෞභාග්‍යයේ දැක්මලු. සෞභාග්‍යයේ දැක්ම නොකියා සෞභාග්‍යයේ ඉලක්කය කියා තිබුණා නම් නිවැරැදිය. රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යහපාලන බව කීහ. ඊට පෙර සිටි අයගේ ප්‍රතිපත්තිය ලංකාව ආසියාවේ ආශ්චර්යයක් බවට පත් කිරීම බවට තෙපරබෑහ.

ඒ විදියට නිදහසින් පසු ගෙවුණු වසර 74 දීම ආණ්ඩු බලය ලබාගත් සෑම දේශපාලන පක්ෂයක්ම ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වූවා මිස උපාය මාර්ගික ජාතික ආර්ථික සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කළේ නැත. ලංකාවේ ආණ්ඩු මාරු වුණේ ඒ ඒ දේශපාලන පක්ෂ රට හමුවේ තැබූ ප්‍රතිපත්ති ප්‍රකාශන මත නොව මැතිවරණය පවත්වන අවස්ථාව වන විට බලයේ සිටින දේශපාලකයන්ගේ පිරිහීම මතය. මැතිවරණවලදී ජනතාව තීන්දු ගන්නේ හැඟීම් හා ආවේග මත පමණකි. කතිරය ගැසීමට පෙර තුලනාත්මක විග්‍රහයක නොයෙදෙයි.

රටේ ශ්‍රම බලකායෙන් 28% ක් කෘෂිකර්මාන්තයේ නියැලෙන බව මම ඉහතද කීවෙමි. අඩුම තරමින් ගතවූ මේ කාලයේදී කෘෂිකර්මාන්තය පිළිබඳව හෝ උපාය මාර්ගික සංවර්ධන සැලැස්මක් නොතිබිණි. රටෙහි නිෂ්පාදනය කළ හැකි බොහෝ ආහාර වර්ග ආනයනය කරයි. කෘෂි කර්මාන්තය ඔස්සේ දියර කිරි, කිරිපිටි, සීනි, හාල් යනාදියෙන් රට ස්වයංපෝෂිත කළ හැකිය. එසේ කළා නම් රට ඇතුළේ ධනය ඉපයීමත් පාරිභෝජනයකි. ආයෝජනයත් ඉහළ යයි. එහෙත් එවැන්නක් නොවුණේ උපාය මාර්ගික ජාතික ආර්ථික සංවර්ධන සැලැස්මක් නොතිබුණු හෙයිනි. එවැනි සැලැස්මක් තිබිය යුතු මූලිකාංග මොනවද කියාවත් ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමැතිවරු, මන්ත්‍රීවරු සේම මාධ්‍යවේදීහුද  නොදනිති. රටේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඒ කිසිවකුට දැක්මක් නොමැති බව මගේ තක්සේරුවයි.

ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වර්ග කරන ආකාරයෙන් පැහැදිලි වන්නේ අපේ රට අදටත් අසාර්ථක බවය. රටේ යෙදවුම් ප්‍රමාණයට සාපේක්ෂව නිමවුම් නැත. ඒ නිසා ගොඩ යාමට නම් මූලිකව හා පළමුව කළ යුත්තේ උපාය මාර්ගික ජාතික ආර්ථික සංවර්ධන සැලැස්මකට යාමය. අධ්‍යාපන. සෞඛ්‍ය, නීතිය හා සාමය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ ක්‍රමය, පරිපාලන තන්ත්‍රය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත යනාදි සියල්ලෙහි වෙනස්කම් කළ යුතුය. ඒ වෙනස්කම් වහා කළ යුතුය. වෙනස් වන ලෝක පරිසරයට අනුව වෙනස් විය නොහැකිනම් අපත් රටත් වැනසී යයි.

දිගටම හිඟා කන්නට සිදුවෙයි. හිඟාකෑම දැන් ආඩම්බරයට කාරණයක් වී තිබේ. ආහාර, බෙහෙත්, ඛනිජ තෙල්, ඉන්දියාවෙන් ඉල්ලයි. චීනයෙන් හා බංග්ලාදේශයෙන් ණය ඉල්ලයි. ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් පුංචි පුංචි ආධාර දෙන්නේ පුරවැසියන්ට අවශ්‍ය බෙහෙත් මිලදී ගැනීමටය. අවුරුදු පන්දහසක ඉතිහාසයක් ගැන පුරාජේරු කියන රට අද කොතරම් අසාර්ථක රටක් දැයි ඒ කරුණුවලින් ලෝකයටම ප්‍රදර්ශනය වී හමාරය. අපට වර්තමානයෙක් නැති කොට අපේ දරුවන්ට හා ඔවුන්ගේ දරුවන්ට අනාගතයක්  තියෙයිද?

බංකොලොත් වූ ලොව පළමු වැනි රට ලංකාව නොවේ. දකුණු කොරියාව අතීතයේදී තෙවරක් බංකොලොත් විය. ඉන්දියාව 1990 දී ලංකාව අද තියෙන තත්ත්වයට පත්විය. එහෙත් උපාය මාර්ගික සංවර්ධන සැලසුම් මගින් ඒ රටවල් යළි සාර්ථක විය. 1990 දී ඉන්දියාව අසාර්ථක වනවිට තිබුණේ මාසයකට ප්‍රමාණවත් විදේශ සංචිතය. එදා එරට මුදල් ඇමැතිවරයා වූයේ ප්‍රවීණ හා කෘතහස්ත ආර්ථික විද්‍යාඥයකු වූ ආචාර්ය මන්මෝහන් සිං ය. ඉන්දියාව අද ආර්ථික වශයෙන් ලොව තෙවැනි බලවත් රාජ්‍යය වී තිබෙන්නේ මන්මෝහන් සිං වැනි ආර්ථික විද්වතුන් සැකසූ ජාතික ආර්ථික සැලැස්ම සහ ඊට අනුගත වූ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය මතය. අපේ රටේ එවැන්නක් සඳහා සූදානම් වන බවක්වත් අදටත් නොපෙනෙයි. පාර්ලිමේන්තුවේ කතා කරන විවාද කරන දේවල්වලින්  රටට ප්‍රදර්ශනය වන්නේ එහි සිටින මිනිසුන්ගේ අධ්‍යාපන මට්ටම හා සිතිවිලි අතින් ඔවුන්ගේ දුප්පත්කමය. ඒවා දකින අපට තවත් අවුරුදු දහයකින්වත් මේ රට ගොඩ ගනියි කියා සිතිය නොහැකිය. විශ්වාස කළ නොහැකිය. ව්‍යවස්ථාදායකය සහ විධායකය වගකීමකින් තොරව හැසිරෙන බව ජනමාධ්‍යවලින්වත් පෙන්වා නොදෙයි. උපාය මාර්ගික ජාතික ආර්ථික සංවර්ධන සැලැස්මක අවශ්‍යතාව ජනමාධ්‍යවලටද නොපෙනෙයි. මාධ්‍යය තම මෙහෙවර ඉටු නොකරයි. තම පරමාර්ථය  නොදනියි. තමන් සිව්වැනි රාජ්‍යය බවට පුරාජේරු කියයි. එහෙත් තම වගකීම ඉටු නොකරයි. ජනමාධ්‍ය රටක සිව්වැනි රාජ්‍යය ලෙස හඳුන්වන්නේ ඇයි දැයි කියාවත් නොදනියි.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)