1983 මැයි 18 වන දින ශ්‍රී ලංකාමේ අවසන් අතුරු මැතිවරණය පැවැත්විණි. ජේ.ආර්. ජයවර්ධන මහතා, 1978 දී නව ව්‍යවස්ථාවක් සම්මත කර තිබුණද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ පැරණි ඡන්ද කොට්ඨාස තව දුරටත්ව පැවතුණි. 1982 දෙසැම්බර් මාසයේ ජනමත විචාරණයෙන් පසු, එක්සත් ජාතික පක්ෂයට අහිමි වූ මැතිවරණ කොට්ඨාස 18 ක අතුරු මැතිවරණ පැවැත්වීමට ජේ.ආර්. තීරණය කළේය.

මැතිවරණය පැවැත්වූයේ තීරණාත්වමක වකවානුවකය. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එක්සත් ජාතික පක්ෂය, 1977 දී හයෙන් පහක බහුතරයක පාර්ලිමේන්තු බලය ලබා ගැනීමෙන් පසු, ඔහුගේ ආණ්ඩුවේ අවනීතිමය ස්වභාවය තහවුරු විය. මැතිවරණයෙන් පසු සති ගණනාවක් පාසා, සන්නද්ධ මැර කල්ලි රට පුරා සැරිසරා, වාමාංශික ආධාරකරුවන් තම නිවෙස්වලින් පන්නා දමා, ඉක්බිතිව සුළු ජාතීන්ටද පහර දුන්හ. විවියන් ගුණවර්ධන මහත්මියට පහරදීමේ චෝදනාවට වරදකරු වූ පොලිස් නිලධාරියාට ලබා දුන් ද්විත්ව උසස්වීම හා විනිසුරුවරුන් ගේ ගෙවල්වලට ගල් ගැසීම වැනි ක්‍රියා, මෙම අවනීතිය සංකේතවත් කරමින් දිගටම පැවතුණි.

1982 ජනපතිවරණයේදීත්, ජනමත විචාරණයේදීත්, එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ ක්‍රියාවලිය සමච්චලයට ලක් කළේය. එක්සත් ජාතික පක්ෂයේ මැරයන්, ඡන්ද මධ්‍යස්ථාන බලෙන් අල්ලා, ඡන්ද පෙට්ටි පුරවා දමා, ඡන්දදායකයන් බිය ගන්වා, ව්‍යාජ  ලෙස පෙනී සිටිමින්, හෙක්ටර් කොබ්බකැඩුව සහ පීටර් කෙනමන් යන මහත්වරුන්ගේ ද ඡන්ද දමා, ජනපතිවරණයද ජනමත විචාරණයද දිනාගත් අතර, අතුරු මැතිවරණ 18 තුළ ද මෙවැනි දෑ සිදු කළහ.

එබැවින්, අතුරු මැතිවරණ 18න් හතරක් හැර අනෙක් සියල්ලම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේය (මහර ආසනයේ ප්‍රතිඵල අනුමානවත් විය). මෙම හතරෙන්, එකක් පමණක් ප්‍රවීණ දේශපාලනඥයකු විසින් දිනා ගන්නා ලදී - එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මතුගම දිනාගත් මගේ පියා වූ දිවංගත අනිල් මුණසිංහ මහතාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමරසිරි දොඩංගොඩ සහ රිචඩ් පතිරණ යන මැතිවරු දෙදෙනා බද්දෙගම සහ අක්මීමන දිනා ගත්හ. මහරගම දිනා ගත්තේ පුනර්ජීවනය කළ මහජන එක්සත් පෙරමුණේ තරුණ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි. ඔවුන් සියලු‍ දෙනාම හෙක්ටර් කොබ්බෑකඩුවගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ද, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ වෙනුවෙන් සටන් වැදී, ජනමත විචාරණයේදී ද, ප්‍රබල ලෙස සහභාගී වූ අය වූහ.

මේ සිව් දෙනා, විවිධ පසුබිම්වලින් පැමිණියහ. ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු වී සිටි මගේ පියා, 1956 දී අගලවත්ත ආසනය වෙනුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 1964 සභාග ආණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යධුරයට පත්විය. 1977 දී ඔහු ලංකා සමසමාජ පක්ෂය ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂය සහ මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යන තුන් පක්ෂයෙන් සමන්විත වූ එක්සත් වාමාංශික පෙරමුණ අනුග්‍රහය යටතේ මතුගම මැතිවරණයට තරඟ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයාට ජනාධිපතිවරණයකදී සහයෝගය නොදීමේ කරුණ හේතුවෙන් එතුමා ලංකා සමසමාජ පක්ෂය වෙතින් වෙන් විය.

දොඩංගොඩ සහ පතිරණ මහතුන් දෙදෙනාම අධ්‍යාපන කටයුතුවල නියැලී සිටි අතර දොඩංගොඩ මහතා නීතිඥවරයෙක් වීමට සමත් විය. මෙය පතිරණ මහතා පාර්ලිමේන්තු යෑමට ගත් පළමු උත්සාහය වූ අතර දොඩංගොඩ මහතා 1977 දී එක්සත් වාමාංශික පෙරමුණ වෙතින් බද්දේගම ඡන්ද කොට්ඨාසයට තරඟ කළේය.

ඒ වන විට දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු අත්දැකීම් නොමැති තරුණයෙකි. කෙසේ වෙතත් ඔහුගේ පියා වූ ලක්දිව ‘‘සමාජවාදයේ පියා’’ ලෙස හඳුනන ලද පිලිප් ගුණවර්ධන මහතාගේද ඔහුගේ මව වූ අවිස්සාවේල්ල සිට පන්නිපිටිය දක්වා පාර්ලිමේන්තුවේ නියෝජනය කළ කුසුමා ගුණවර්ධන මහත්මියගේ සහ ඔහුගේ බාප්පා වූ මහරගම කොටසක් වූ කෝට්ටේ රතු බලකොටුවේ සෙන්පති රොබට් ගුණවර්ධන මහතාගේද පාර්ලිමේන්තු අත්දැකීම්වල පන්නරය ඔහු සතු විය.

1977 දී ඔහු, අවිස්සාවේල්ල ආසනයට තරඟ වැදී, ඔහු පුනර්ජීවනය කොට නායකත්වය දුන්ත මහජන එක්සත් පෙරමුණෙන්, තම පියාණන්ගේ දේශීය සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ඇදහීමද, අවිහිංසාවාදී දේශපාලන මඟද, ඉදිරියට ගෙනාවේය. එතුමාගේ ම.එ.පෙ. අසූව දශකය මුලදී ශ්‍රී.ල.නි.ප.ය දෙකඩ වූ විට, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වය සමඟ අත්වැල් බැඳ ගනිමින්, යූ.එන්.පී. විරෝධී සටන බලවත් කළහ.

අලු‍තින් තේරී පත් වූ මන්ත්‍රීවරු පිවිස පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂය ඒකාධිකාරී පාලනයක් ඇති කොට ආණ්ඩු පක්ෂ ආසන වල පමණක් නොව විපක්ෂයේ අඩක් ද අසුන්ගෙන් සිටියහ. මගේ පියා කෝට්ටේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ දී තම පළමු කතාව කළ අවස්ථාවේදී එවකට අගමැති ආර්. ප්‍රේමදාස මහතාගේ ගේ මෙහෙයවීමෙන් ආණ්ඩු පක්ෂය විසින් ඔහුට කෑ කෝ ගසමින් ශබ්ද ප්‍රහාරයක් වැනි බාධකයක් දමා කතා කිරීමට ඉඩ නොදුනි.

නව මන්ත්‍රීවරුන් සිව්දෙනා, දැවැන්ත රජයේ බළකායකට මුහුණ දුන් නමුදු, සැබෑ වෙනසක් ඇතිකිරීමට පොහොසත් වූහ. ඔවුනට, අනුර බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන්, ඉතා දුබල වී සිටි  විපක්ෂය, නැවත පණ දෙන්නට හැකි විය. ඔවුන්, පාර්ලිමේන්තු විවාදවලට දායක වූ ආකාරය, ඒ වකවානුවේ හැන්සාඩ් වාර්තාවල සටහන් වී ඇත. එක්සත්  ජාතික පක්ෂය, හයෙන් පහක බහුතරය තිබියදීත්, පාර්ලිමේන්තුවේදී සටනකට මුහුණ දීමට සිදු විණ.

1987 දී රට පාවා දෙන විට, මන්ත්‍රීවරුන් සිව්දෙනා ස්වයංසිද්ධ මහජන උද්ඝෝෂණවලට නායකත්වය දුන්හ. 1989 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-මහජන එක්සත් පෙරමුණ බලවත් ඒකාබද්ධ විපක්ෂයක් ඇතිකිරීම සඳහා ඔවුහු අඩිතාලම දැමූහ. පාර්ලිමේන්තුවේ  ඇතුළේ සිට මෙන්ම, පිටත ද එතුමන් ඔවුන් කළ දායකත්වය නොවන්නට, අප ඉතිහාසය බොහෝ වෙනස් වී, 1977 පරාජයෙන් ආරම්භ වූ අඳුරු යුගයේ තවමත් ජීවත් වීමට ඉඩ තිබුණි.

එම පාර්ලිමේන්තු යෝධයන් හතර දෙනාගෙන් තවමත් අප අතර සිටින්නේ දිනේෂ් ගුණවර්ධන මහතා පමණි- 1983 දී මහරගම මන්ත්‍රී ලෙස පත්වීමෙන් පසු අද දක්වා තරුණ ජීවිත බේරා ගැනීමට ජන අයිතිය රැක ගැනීමට හා ඒකීය රාජ්‍යය සුරැකීමට ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද පාර්ලිමේන්තුව ඇතුළද පිටතද නොසැලී සිටී.

1988 ජනපතිවරණයෙන් එ.ජා.පය පරාජය කර වීමට සිරිමා බණ්ඩාරනායක මැතිනිය සමඟ සිටි එකම පක්ෂය ම.එ.පෙ. විය. 1999 තීරණාත්මක ජනපතිවරණයේ දී චන්ද්‍රිකා මැතිනියට සහය දී 2000 පොදුජන සන්ධානය ආණ්ඩුවේ අමාත්‍ය ධුරයකට පිවිස ලංගම නැවත ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය ඇරඹුවේය. කෙටි කාලයක් විපක්ෂයේ සිට 2004 හා 2010 හා 2015 දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍ය වරයෙක් ලෙසද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙසද සේවය කළේය.

2015 ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වී සැමදෙනා ඔහු අතහැර යද්දී, නුගේගොඩ දී එ.ජා.ප ආණ්ඩුවට එරෙහි ජනමතය ගොඩනගන මහ රැළියට නායකත්වය දුන්නේය. ඉන් නොනැවනී තම මන්ත්‍රී ධුරවලට තර්ජනය කරද්දී විපක්ෂ එක්කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂය ගොඩනගමින් එඩිතරව ප්‍රජානන්ත්‍රවාදීව දේශපාලන බලතුලනය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට මහජන අරගලය පාර්ලිමේන්තු කණ්ඩායම සමඟ මෙහෙය විය. මෙහි දී ඔහු 1983-89 දී සිට භූමිකාව ප්‍රතිනිර්මාණය කළේය. හිටපු ජනපති මහින්ද සමඟ යු.එන්.පී. නොවන අලුත් රජයක් ගොඩනගන ගමනට යෝධ ශක්තියක් විය.

මහජන විශ්වාසය රකිමින් පාර්ලිමේන්තු කටයුතු කළ එතුමා දූෂිත මැතිවරණය ක්‍රමය වෙනුවට මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට කාහල නාදය වී හොර ඡන්ද වළක්වන හැඳුනුම්පත අනිවාර්ය කරන සංශෝධන නීති කළේය. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් අත්දැකීම් පරිණතභාවය නිහතමානී බවින් කටයුතු කිරීම දේශයට හා ජනතාවට ඇති ආදරය දර්ශනයක් ඇති නිසා නිළයට තනතුරට ගිජු නොවන ආදර්ශය දයාද කරයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ජිනීවාහිදී කළ කතාව මව්බිමට අමතක කළ හැක්කක් නොවේ.

එතුමාගේ දේශපාලන ජීවිත චක්‍රය තුළ තම උරුමයට සුදුසු බව ඔප්පු කර තිබේ. ඒකීය රාජ්‍යයත්, රටත්, ජාතියත්, බුදුසසුනටත් ජාතික නිදහසත් ස්වාධීනත්වයත් සුරකින දේශපාලන ගමනක වරප්‍රසාද ලත් පිරිස නොව පොදු ජනතාවට අලුත් රටක් ගොඩනැගීමට කැප වුණි. තරුණ සමිති වෘත්තීය සමිති, ගොවි සමිති හා පංචමහා බලවේගය සමග ඔහු ගමන් කළේය.

1983- 89 දක්වා වසර හයේ එ.ජා.ප පරිවර්තනයට මුහුණ දුන් අත්දැකීම් නිසා සියලු අභියෝගවලට සෘජු ලෙස මුහුණ දීමට ඔහුට පන්නරය ලැබුණි. එම යුගයේ අනෙක් යෝධයන් තිදෙනාගේ අභාවය ගැන අපි ශෝක වන විට අප අතර තවමත් සිටින තැනැත්තා සිහිපත් කරමු.

(*** විනෝද් මුණසිංහ)