මිනිස් ජීවිත මිලියන විසි දෙකක් පමණ බිලිගත් පළමුවන ලෝක යුද්ධයෙන් සහ මිනිස් ජීවිත මිලියන අසූවක් පමණ බිලිගත් දෙවන ලෝක යුද්ධයෙන් උගත් පාඩම් මත ලෝකයේ බලවත් ප්‍රජාව එක්ව 1945 සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර දී සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මුඛ්‍ය අරමුණ ලෙස සඳහන් කර ඇත්තේ මිනිස් ප්‍රජාවට ගෞරවනීය ලෙස සහ ආත්මගරුත්වය රැකෙන පරිදි ජීවත් විය හැකි සාමකාමී ලෝකයක් බිහි කිරීමයි. රටවල් අතර මෙන්ම ජාතීන් අතර සාමය රැකීම, ආරක්ෂාව සැපයීම, සමානාත්මතාව ස්ථාපනය කිරීම යනාදී උත්තරීතර අරමුණු මුල්කරගෙන එම සංවිධානය බිහි කළ අතර එකී අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ස්ථාපනය කළ ප්‍රධාන ආයතන කිහිපයකි.

 

1. මහා මණ්ඩලය, 2. ආරක්ෂක මණ්ඩලය, 3. ආර්ථික හා සාමාජීය මණ්ඩලය, 4. භාරකාරත්ව මණ්ඩලය, 5. ජාත්‍යන්තර අධිකරණය, 6. ලේකම් කාර්යාලය ඒ අතර වේ.

ආර්ථික සහ සමාජයීය මණ්ඩලය විසින් නිර්මාණය කරගත් අනු ආයතන හයකි.

1. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම (UNCHR), 2. ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), 3. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF), 4. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO), 5. එක්සත් ජාතීන්ගේ කාන්තා සංවර්ධන පදනම අරමුදල (UNIFEM), 6. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)

ඉහත කී ආයතන අතරින් මෙහිදී සාකච්ඡාවට බඳුන් වනුයේ මානව හිමිකම් කවුන්සිලය සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය යන ආයතන දෙකෙහි ක්‍රියාකාරීත්වයයි. 1983 ජුලි මස ජාතිවාදී ස්වරූපයෙන් සිදු වූ මනුෂ්‍ය ඝාතන ඇතුළු සාහසික අපරාධ හේතුවෙන් මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවේ නාමය නිරන්තරයෙන් විවේචනයට බඳුන් විය. එමෙන් ම 1988/89 වකවානුවේ ඇති වූ දකුණේ භීෂණයත්, වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ රට තුළ ක්‍රියාත්මක වූ බෙදුම්වාදී ත්‍රස්තවාදයත් හේතුවෙන් සාමකාමී රටක් ලෙස ලොව තුළ ප්‍රචලිතව පැවති ශ්‍රී ලංකාවේ නාමයට මහත් කැළැල් ඇති කරමින් ශ්‍රී ලංකාව ම්ලේච්ඡ ජන සමාජයකින් යුක්ත එකක් ලෙසට ලොව පුරා මතයක් ගොඩනැගිනි.

මෙරට ක්‍රියාත්මක වූ බෙදුම්වාදී ත්‍රස්තවාදය සහ ජන ජීවිත මර්දනය කරමින් ගෙනගිය රාජ්‍ය පාලනයට එරෙහිව නැගී සිටි දකුණේ තරුණ අසහනයේ ත්‍රස්තවාදය යනාදිය මර්දනය කිරීම සඳහා එවකට පැවති ආණ්ඩුව ගෙනගිය රාජ්‍ය ත්‍රස්තවාදය යන සියලු‍ කරුණු ඊට බලපෑවේය. මෙරට තුළ විසඳුම් සොයාගත නොහැකි ගැටලුවක් බවට පත් වෙමින් පැවති බව පවසමින් මෙරට රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියට ජාත්‍යන්තර මැදිහත් වීම අවශ්‍ය බවට මානව හිමිකම් කවුන්සිලයට 1991 වසරේ දී මුල් ම ආරාධනාව කරන ලද්දේ එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයකු වූ මහින්ද රාජපක්ෂ මහතා ය. එවක් පටන් ආරම්භ වූ සංස්කෘතිය වූයේ රට තුළ සිදු වූ අභ්‍යන්තර ගැටලු‍ හා අර්බුද සම්බන්ධව නොයෙකුත් ආයතන සහ පුද්ගලයන් මානව හිමිකම් කවුන්සිලයට නිරන්තරයෙන්ම පැමිණිලි ඉදිරිපත් කිරීමයි.

විශේෂයෙන් ම රට තුළ පැවති බෙදුම්වාදී ත්‍රස්තවාදය තුළ දෙපාර්ශ්වයෙන් ම සිදුවූ අපරාධ ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ නීති සහ මානුෂිකත්වයට එරෙහි අපරාධ යනාදී කාරණා සම්බන්ධ ව ජාත්‍යන්තර අධිකරණයේ බලයට ශ්‍රී ලංකාව යටත් කර ගැනීමට ජාත්‍යන්තර උපාය මාර්ගික මෙහෙයුමක් ද ක්‍රියාත්මක විය. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අධිකරණ බලය රෝම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කොට ඇති අතර එමගින් පහත සඳහන් කාරණා සම්බන්ධ ව අධිකරණ බලය එම අධිකරණයට පැවරී ඇත.


1. සමූල ඝාතන, 2. මානුෂිකත්වයට එරෙහි වැරදි, 3. යුද අපරාධ, 4. අපරාධ හා ප්‍රචණ්ඩත්වය
2019 නොවැම්බර් මස වන විට ලෝකයේ රටවල් 123 ක් ජාත්‍යන්තර අධිකරණ බලයට එකඟ ව අත්සන් කොට ඇත. 2003 වසරේ රෝමයේ පැවති සම්මේලනයේ දී සම්මත කරගත් රෝම ප්‍රඥප්තිය යටතේ එකී අධිකරණ බලයට යටත් වීම හෝ එකඟ වීම ලංකාව නියෝජනය කළ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කළේය. එවකට රට තුළ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් ඔහු ගත් බුද්ධිමත් තීරණයක් ලෙස එය සැලකිය හැකිය. එමනිසා ශ්‍රී ලංකාවේ සිදු වූ කාරණයක් සම්බන්ධ ව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලයක් නොලැබිණි.

2009 මැයි 19 වන දින යුද්ධය අවසන් වී දින 04ක් ඇතුළත බෑන් කී මූන් ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවත් සමඟ අත්සන් කරන ලද එකඟතාවට අනුව ඉහත කී චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවීමට ලංකා රජය ඔහුට බලය ලබා දුනි. දේශීය යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට ලංකා රජය එකඟ විණි. ඒ අනුව ශ්‍රී ලංකා රජය උගත් පාඩම් කොමිසම පත් කළ අතර බෑන් කී මූන් දරුස්මාන් කමිටුව පිහිටුවා රජයට එරෙහි ව විශාල චෝදනා සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේ ය. එක්සත් ජාතීන්ගේ එවකට මහලේකම් බෑන් කී මූන් 2011 අප්‍රේල් මස දී ශ්‍රී ලංකාවේ යුද අපරාධ සහ මානුෂීයත්වයට එරෙහි අපරාධ සිදු වූ බවට චෝදනා කරමින් යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායක ඇතුළු හමුදා නිලධාරීන්ට එරෙහි ව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවරීමට සූදානමක් තිබිණි. ඒ සඳහා අවශ්‍ය වටපිටාව කල්යල් බලා ඔහු විසින් ම සම්පාදනය කර තිබුණි. එකී චෝදනා මත නඩු පැවරීම සම්බන්ධ ව තිබූ විරෝධතාවක් හේතුවෙන් එය සිදුකළ නොහැකි වීම මත ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ අනෙකුත් යුරෝපීය රටවල් එක් ව ශ්‍රී ලංකාවට එරෙහි ව යෝජනා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යටතේ සම්මත කරගන්නට යෙදුනු රෝම ප්‍රඥප්තිය ප්‍රකාරව ඊට සාමාජික වූ රටක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවරීම කළ හැකි යැයි එහි 12(1) ව්‍යවස්ථාවේ සඳහන් වුවත්, 12(3) ව්‍යවස්ථාව අනුව එහි අන්තර්ගතව ඇති ව්‍යතිරේඛය පරිදි එහි සාමාජිකයකු නොවූ රටක් වුව ද සිය කැමැත්ත ප්‍රකාශ කිරීම මගින් එම අධිකරණ බලයට යටත් විය හැකි බව සඳහන් කොට ඇත. 2009 මැයි 23 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් සහ ශ්‍රී ලංකා රජය අත්සන් කරන ලද එකඟතාව ජාත්‍යන්තර අධිකරණයේ බලය පිළිගැනීමක් ලෙසට මානව හිමිකම් කවුන්සිලය තීරණයක් ගතහොත් එය අර්ථ නිරූපණය කරනු ලබන්නේ ද ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ම ය. ලෝකයේ ප්‍රබල සහ බලගතු රාජ්‍ය විසින් මෙම චෝදනා එල්ල කොට ඇති හෙයින් එය එසේ නොවේ යැයි කීමට තරම් බලගතු යමෙක් සිටී ද යන්න උභතෝකෝටික ප්‍රශ්නයක් ය.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සහ මානුෂීයත්වයට එරෙහි අපරාධවලට අදාළ ව යෝජනා ගණනාවක් ඉදිරිපත් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193 ක් සිටින අතර එහි මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47ක් සිටී. මෙවර ශ්‍රී ලංකාවට එරෙහි ව ඉදිරිපත් කළ යෝජනාවලියේ සුවිශේෂීත්වය වන්නේ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් හතලිහක් සම අනුග්‍රාහකත්වය දක්වමින් එය ඉදිරිපත් කර තිබීමයි. මහා බ්‍රිතාන්‍යය එහි මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී. මානව හිමිකම් කවුන්සිලයේ 2009 සිට මේ දක්වා පවරන ලද මෙවන් වූ යෝජනා සම්බන්ධ ව ඒ ඒ රටවල් ඡන්ද ලබා දී ඇති ආකාරය බලන විට ජාත්‍යන්තරය ශ්‍රී ලංකා ආණ්ඩුව කෙරෙහි ඇති විශ්වාසය බරපතළ ලෙස පළුදු වී ඇති බව පැහැදිලි වේ.

ඉහත සඳහන් සංඛ්‍යා අනුව ඉතා පැහැදිලි ලෙස සනාථ වන්නේ ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර මතය ඉතාමත් අහිතකර ලෙස නරක දිසාවට ගමන් කර ඇති බවයි. ප්‍රථම වතාවට අපගේ කලාපයේ බලවතා වන ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටීම රටේ අනාගතය පිළිබඳ අවදානම් සහගත පෙරනිමිත්තක් ලෙස සැලකිය යුතු ව ඇත. ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ බොළඳ බව මෙමගින් පැහැදිලි වෙයි.

අප කැමති වුවත් අකමැති වුවත් ශ්‍රී ලංකාවේ කටයුතු වෙනුවෙන් ඉන්දියාව විසින් කරනු ලබන යම් ප්‍රමාණයක මැදිහත් වීම අපට වළක්වාගත නොහැක. ජේ.ආර්. ජයවර්ධන වැනි පරිනත නායකයකු පවා දණගස්වා දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ඉන්දියාවට හැකි වූයේ අපගේ දියාරු විදේශ ප්‍රතිපත්තිය නිසාවෙනි. එමෙන් ම අප රට වෙනුවෙන් කවදත් පෙනී සිටි ප්‍රබල රටවල් වන ජපානය, ඉන්දුනීසියාව මෙන් ම නේපාලය ද අප වෙත දක්වා ඇති ආකල්පය අනාගතයට අහිතකර ලෙස බලපානු නියත ය. එමෙන් ම දකුණු කොරියාව එකී යෝජනාවට එකඟ ව ඡන්දය ලබා දී ඇත.

2009/10 වකවානුවේ මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කළ ආචාර්ය දයාන් ජයතිලක සහ 2015/17 කාලය තුළ නියෝජනය කළ රවිනාත් ආරියසිංහ යන දෙදෙනාගේ රාජ්‍යතාන්ත්‍රික දක්ෂතාව රටට වාසිදායක තත්ත්වයක් ඇති කිරීමට දායක වූ බව ද විවාදයකින් තොර ව පිළිගත යුතු අතර ඉන් පසු ව සිදු වූ නියෝජනයන් ඉතා කනගාටුදායක තත්ත්වයක පැවතිණි.

මෙවර ඉදිරිපත් කළ අංක 40/1 දරන යෝජනාවලියේ බෙදුම්වාදී යුද්ධය පැවති සමයේ සිදුවූවා යැයි චෝදනා කරනු ලබන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධ ව කරුණු ඇතුළත් වුවත් එහි ඇති විශාලතම චෝදනා ප්‍රමාණයක් අදාළ වනුයේ යුද්ධයෙන් පසු කාලයට ය. රාජ්‍ය පාලනය හමුදාකරණයකට පරිවර්තනය කරගෙන යාම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය මගින් ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දමා ඒකාධිපති පාලනයකට රට නතුකර ගැනීම. අධිකරණයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය බිඳ වැට්ටවීම, ජාතිවාදය පදනම් කරගෙන රාජ්‍ය පාලන කටයුතු මෙහෙයවීම, ලසන්ත වික්‍රමතුංග, එක්නැලිගොඩ ඝාතනය ඇතුළු අපරාධ සම්බන්ධ ව නීතිය ක්‍රියාත්මක නොකිරීම යනාදිය ඊට ඇතුළත් ය. මෙරට මානව හිමිකම් කොමිසමට පත්කර ඇත්තේ ද ආණ්ඩුවේ කොටස්කරුවකු වූ හිටපු අමාත්‍යවරයකු වීම නිසා ජාත්‍යන්තරයට පමණක් නොව දේශීය වශයෙන් ද ඒ පිළිබඳ විශ්වාසය බරපතළ ලෙස බිඳ වැටී ඇති බව ද නොරහසකි.

මෙරට සිදු වී ඇතැයි කියන එවන් අපරාධ පිළිබඳ සාක්ෂි සහ තොරතුරු රැස් කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා දැරීමට සිදුවන වියදම් ලෙස ඇමෙරිකන් ඩොලර් මිලියන 2.9 ක් (රුපියල් මිලියන 582) වෙන්කර ඒ සඳහා විශේෂඥයන් 12 ක් ද පත්කර ඇත. මෙය එක් අතකින් රටේ ස්වෛරීත්වයට මහත් හානියක් මෙන් ම මෙතෙක් අප රටට එරෙහි ව අනුගමනය නොකළ ක්‍රියාවලියකි.

2015 ට පෙර අපට ජී.එස්.පී. සහනය අහිමිකර තිබූ නිසා රටේ ආර්ථිකය ඉතා බරපතළ ලෙස දුර්වල වූ අතර කිසිදු ජාත්‍යන්තර ආයතනයකින් ණය මුදලක් ලබා දීම පවා ප්‍රතික්ෂේප විය. 2015 ජනවාරි මස ජනාධිපතිවරයකු කැඳවීමට ද ජිනීවා මානව හිමිකම් කවුන්සිල් ක්‍රියාවලිය බලපෑ බව ද පිළිගත යුතු ව ඇත. එසේ නොවන්නට මහින්ද රාජපක්ෂ මහතාට 2015 නොවැම්බර් මස දක්වා ජනාධිපති තනතුරේ වැජඹෙන්නට බාධාවක් නොවිනි. 2015 සිදු වූ වෙනසත් සමඟ නැවතත් ශ්‍රී ලාංකික ආර්ථිකයට වඩාත් ම වැඩි දායකත්වයක් ලබා දුන්නේ ඇඟලු‍ම් අපනයන කර්මාන්තයයි.

අප විසින් ජාත්‍යන්තරය සමඟ පවත්වා ගෙන යනු ලබන සම්බන්ධතා රටේ ආර්ථිකය කෙරෙහි තීරණාත්මක ලෙස බලපානු ලබන බව අමතක නොකළ යුතු ය. 2019 වසරේ අපගේ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 16.1 ක ප්‍රමාණයක් විය (රුපියල් බිලියන 3220). ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7 ක් හෙවත් රුපියල් බිලියන 1060 ක් උපයන ලද්දේ ඇඟලු‍ම් නිෂ්පාදන අපනයනයෙනි. එම ආදායමෙන් සියයට 44.5 ක් උපයන ලද්දේ ඇමෙරිකාවට එම නිෂ්පාදන අපනයනයෙන් වන අතර ඉතිරියෙන් සියයට 90 පමණ ප්‍රමාණයක් උපයන ලද්දේ යුරෝපා රටවලිනි. ඇමෙරිකාව සහ යුරෝපය අප රටට ලබා දී ඇති ජී.එස්.පී. (Generalized system of preferences) සහනය නොවන්නට එම ආදායම අපට අහිමි වීමට නියමිතව තිබුණි.

අප රටේ ඇඟලු‍ම් කර්මාන්තයේ ඍජු ලෙස සේවයේ යෙදී ඇති සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 3ක් පමණ වන අතර සේවා සැපයුමත් සමඟ වක්‍ර ලෙස සපයා ඇති රැකියා ප්‍රමාණය ලක්ෂ 6 කි. ඉන් අති බහුතරයක් කාන්තා ශ්‍රමිකයෝය. ජාත්‍යන්තර සබඳතා බිඳ වැටෙන විට ඇමෙරිකාව සහ යුරෝපා රටවල් අප රටට දෙන එම සහනය අවලංගු කිරීමේ ඉඩකඩ බොහෝය.  එය අපේ රටේ ආර්ථිකයේ කොඳු නාරටිය මුළුමනින් ම බිඳ දැමීමට ප්‍රමාණවත් ය. ලෝකය තනි යායක් බවට පත්ව ඇත. ලෝකය විශ්ව ගම්මානයක් දක්වා හැකිලී ඇත. එම තත්ත්වය යටතේ අපට තනිව ජීවත් වීමට හෝ අපිට හිතෙන දේ හිතුමතයට කිරීමේ අවස්ථාවක් නොමැත. පාලකයන් ගනු ලබන එක් වැරදි තීන්දුවකින් රටේ සමස්ත ජනතාවගේ ජීවිත අඩාල වීමට හේතු විය හැකි ය.

හම්බන්තොට වරාය චීන රජයේ පාලනයට නතුකර දීම නිසා අප සමග වෛර බැඳි ඉන්දියාව, ඇමරිකාව, යුරෝපය සහ ජපානය දැන් සිටින්නේ අපට පාඩමක් ඉගැන්වීමේ අටියෙනි. රට තුළට යම් ආයෝජනයක් ගෙන්වා ගැනීමට ප්‍රවණතාවක් ඇති එකම ව්‍යාපෘතිය වන Port City ව්‍යාපෘතිය අසාර්ථක කර දැමීම පිණිස මේ වන විටත් ඇමරිකාව සම්බාධක පනවා හමාරය. උරණව සිටින ඇමරිකාව සහ ඉන්දියාව මේ වන විටත් අපගේ වරායන්ට සහ ඉඩම්වලට ඉව අල්ලමින් සිටිති. මිතුරු වෙස් ගෙන සිටින අපට ණයක් දුන්නත් එය දෙන්නේ ද යුවාන් මුදල් ඒකකයෙනි. ඒ ඩොලර් ණය ගෙවීමට නොහැකි වන පරිද්දෙනි. රට තත්ත්වාරයෙන් චීන කොලනියක් වීමට ආසන්නය. ඊට එරෙහිව ජාත්‍යන්තර මෝරුන් අවි අමෝරා ගෙන සිටී. දේශපාලන වහලු‍න්ට සහ බත් බැලයනට මෙය තේරුණත් වැඩක් නැත. උනුන් ජීවත් වීම සඳහා ඔක්සිජන් ඕන නැතැයි කියා තර්ක කරන වන්දිභට්ටයෝය.

අනෙක් අතට යුද අපරාධ සම්බන්ධ ව එසේ කරනු ලබන චෝදනා ඉතා බරපතළ ගණයේ ඒවා බව තේරුම්ගත යුතු ව ඇත. 1991-2002 කාලයේ සියෙරා ලියෝන් හි දී පැවති සිවිල් යුද්ධයේ දී යුද අපරාධ සහ මානුෂිකත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ලයිබීරියාවේ ජනාධිපති චාල්ස් ටේලර්ට එරෙහි ව යුද අපරාධ චෝදනා එල්ල වූ අතර හේග් හි පවතින යුද අපරාධ අධිකරණයේ දී 2012 අප්‍රේල් මස ඔහු වැරදිකරු කර වසර 50 ක සිර දඬුවමක් නියම කරන ලදී. ඔහු දැනට මහා බ්‍රිතාන්‍යයේ බන්ධනාගාරයක් තුළ සිරදඬුවම් විඳිමින් සිටී. ලිබියාවේ හිටපු ජනාධිපති මුවම්මර් ගඩාෆිට එරෙහි ව ද යුද අපරාධ චෝදනා ඉදිරිපත් වූ අතර එරට පැවති යුද්ධයේ දී ඔහු ඝාතනය විය. ඔහුගේ පුතා ඇතුළු අට දෙනෙකු ලිබියාවේ යුද අධිකරණයක් මගින් යුද අපරාධ චෝදනාවලට වරදකරුවන් කර දඬුවම් දෙන ලදී. 2005 වසරේ සිට 2019 දක්වා කාලය තුළ ජාත්‍යන්තර අධිකරණය විසින් 45 දෙනෙකුට එරෙහිව අපරාධ නඩු පවරන ලද අතර ඉන් අති බහුතරයක් අප්‍රිකානු ජාතිකයෝය. ඊට අමතර ලෙස මියන්මාර්, බන්ග්ලාදේශ සහ ඇෆ්ගනිස්තාන ජාතිකයන් කීප දෙනෙකුට එරෙහිව ද එසේ අපරාධ නඩු පවරන ලදී.

මේ රට විශාල අගාධයකට ඇද වැටීමට තවත් දිගු කලක් ගත නොවනු ඇත. අපි කුලියට හරක් බලා ගන්නා ජාතියකි. හරකුන්ගෙන් ලැබෙන පස්ගෝරස තියා උන්ගේ ගොම ටිකවත් අපට අයිති නැත.

(***)