ගෙවීගිය සති දෙක තුළ රටේ දේශපාලන ක්ෂේත්‍රය ගිනියම් කිරීම කෙරෙහි බලපෑ කරුණු කාරණා අතුරින් ප්‍රමුඛස්ථානය ගත්තේ හරීන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයා විසින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් වහන්සේ සම්බන්ධයෙන් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශනයයි. පොලොන්නරුවේ පැවති දේශපාලන රැස්වීමක් අමතමින් හරීන් ප්‍රනාන්දු කියා සිටියේ මැල්කම් රංජිත් කාදිනල් වහන්සේ දේශපාලනයට මැදිහත් වීම හේතුවෙන් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස පරාජයට පත් වූ බවය. අඩුම වශයෙන් කතෝලික ඡන්දවලින් සියයට 3 ක් සජිත් ප්‍රේමදාසට ලැබුණා නම් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබුණ බවත් එය වැළකුණේ කාදිනල්තුමන්ගේ මැදිහත් වීම නිසා බවත් හරීන් ප්‍රනාන්දු තවදුරටත් කියා සිටියේය.

හරීන් ප්‍රනාන්දු කළ මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යභාවය සෙවීමට කිසිවකු උත්සාහ ගත්තේ නැත. එසේ කරනවා වෙනුවට සිදුවූයේ හරීන් ප්‍රනාන්දු බලාපොරොත්තු නොවූ දෙයක්ය. එනම් ප්‍රකාශය කොට පැය ගණනක් ගතවීමට ප්‍රථමයෙන් කතෝලික පල්ලිය, බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා, දේශපාලනඥයන් සහ සිවිල් සමාජයේ සමහර ආගමික අන්තවාදීන් හරීන් ප්‍රනාන්දුට එරෙහිව නැගීසිටිමින් ඔහු විසින් කාදිනල්තුමන්ට බරපතළ ලෙස අපහාස කර ඇතැයි යන මතය විදුලිය වේගයකින් සමාජය පුරා විසුරුවා හරිමින් හරීන් ප්‍රනාන්දුට එරෙහිව පමණක් නොව ඔහු අයත් දේශපාලන පක්‍ෂයටද ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමය.

මේ අතරතුර හිටපු අමාත්‍යවරයකු වූ මංගල සමරවීර විසින් හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශය අගය කරමින් සහ අනුමත කරමින් කරන ලද සහෝදරාත්මක ප්‍රකාශනය විරෝධකරුවන් තවදුරටත් ප්‍රකෝප කරවීම කෙරෙහි බලපෑවේය.  එල්ල වූ විරෝධතා මධ්‍යයේ හරීන් ප්‍රනාන්දු දිගින් දිගටම කියා සිටියේ වචන පටලැවීම හේතුවෙන් ‘අගරදගුරු’ යන වචනය නිවැරදිව උච්චාරණය කිරීමට නොහැකි වීම හැරුණ විට තමන් කාදිනල්තුමන්ට අපහාස කිරීමක් නොකළ බවය. එබැවින් තමන්ගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට අවශ්‍යතාවක් නොමැතිවා පමණක් නොව කාදිනල්තුමාගෙන් සමාව අයැදීමේ අවශ්‍යතාවක්ද නොමැති බව ඔහු තවදුරටත් කියා සිටියේය. කෙසේවුවද දිනෙන් දින වර්ධනය වෙමින් ඉදිරියට ආ දැඩි ආගමික හා සිවිල් සමාජ විරෝධය හමුවේ තමන් දැරූ දැඩි මතය වෙනස් කිරීමට හරීන් ප්‍රනාන්දුට සිදු වූ අතර අවසානයේදී තම දේශපාලන පක්‍ෂයේ නායකයා වූ සජිත් ප්‍රේමදාස සමග කාදිනල්තුමන් බැහැදැකීමට ගොස් ඔහුගෙන් සමාව අයැදීමට පියවර ගත්තේය.

සමාව ගැනීමෙන් අනතුරුව සිද්ධිය සෙමින් සෙමින් යටපත් වී යන ආකාරය දැකිය හැකි වුවද එය හේතු කොටගෙන මතුවූ ප්‍රශ්න දෙකක් පිළිබඳව තවමත් සමාජය තුළ කතාබහ කරන ආකාරය දැකිය හැකිය. පූජකයන්ට දේශපාලනය කිරීම අකැපද යන්න එයින් එක් ප්‍රශ්නයකි. පූජකයන් දේශපාලනය කරනවා නම් ඒ ගැන ප්‍රශ්න කිරීමට සිවිල් පුද්ගලයන්ට අයිතිය නැතිද යන්න දෙවැනි ප්‍රශ්නයයි. මෙම ප්‍රශ්න අද ඊයේ ඇතිවූවක් නොවේ. මේ ලෝකය තුළ ආගම් බිහිවූ දිනයේ සිට අද දක්වාම මෙම ප්‍රශ්න නොකඩවාම මතුවෙමින් ඉදිරියට ඇදෙමින් තිබෙන අයුරු දැකිය හැකි අතර මිනිස් සමාජය මුහුණ දී තිබෙන ප්‍රශ්න අතුරින් විසඳුමක් සොයා ගැනීමට නොහැකි තවත් ප්‍රශ්න දෙකක් බවට ඒවා පත්ව තිබේ.

මෙම ප්‍රශ්න පිළිබඳව මතුපිටින් බලන විට පෙනීයන්නේ ඒවා පූජකයන් හා සිවිල් පුද්ගලයන් අතර ඉඳහිට හටගැනෙන හුදකලා ප්‍රශ්න ලෙසය. එහෙත් සැබෑ තත්ත්වය එයට මුළුමනින්ම වෙනස්ය. එම ප්‍රශ්නවලින් නිසැකවම පෙන්නුම් කරන්නේ විශ්වය තුළ සදාකාලිකවම පවතින අර්බුදයක් වන දේශපාලනය හා ආගම අතර පවතින නොගැළපීමය. මෙම නොගැළපීමට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ වෙන කිසිම දෙයක් නොව පූජකයන් සියලුම දෙනා නොවුණත් සමහර පූජකයන් තමන්ගෙන් අපේක්‍ෂා කරන ආගමික පැවැත්මෙන් ඉවත් වී සිවිල් සමාජයේ ලෞකික කාරණාවලට අනවශ්‍ය අයුරින් ඇඟිලි ගැසීමය. විශේෂයෙන්ම අනෙක් කරුණු කෙසේ වෙතත් පූජකයන් දේශපාලනයට ඇඟිලි ගැසීමය. මෙම තත්ත්වය තේරුම් ගැනීමට නම් ලෞකික පැවැත්ම සහ පූජක පැවැත්ම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය.

මිහිපිට වාසය කරන සෑම මිනිස් ජීවියකුටම භෞතික පැවැත්ම (ලෞකික පැවැත්ම) සහ ආධ්‍යාත්මික පැවැත්ම (ආගමික පැවැත්ම) යනුවෙන් පැවැත්මවල් දෙකක් තිබේ. මෙයින් භෞතික පැවැත්මට අයත් වන්නේ ධනය, බලය සහ ලිංගික ජීවිතයක් ගතකිරීම ප්‍රධාන කොටගත් මේ ලෝකයේ ජීවිතයයි. ආධ්‍යාත්මික පැවැත්මට අයත් වන්නේ මිනිස් ජීවිතයේ ආරම්භය, පැවැත්ම සහ අවසානය ගැන සලකා බලන ආගමික සිද්ධාන්තවලට අනුගත වී ගතකරන ආගමික ජීවිතයයි. මිනිසුන්ගේ භෞතික පැවැත්ම හා සම්බන්ධ අරමුණු ඉටුකර ගැනීම සඳහා මිනිසුන් විසින් රාජ්‍ය නමැති සංවිධානය පිහිටුවාගෙන තිබේ. මිනිසුන්ගේ ආධ්‍යාත්මික අරමුණු ඉටුකර ගැනීම සඳහා මිනිසුන් විසින් ආගම් සංවිධානය කරගෙන තිබේ. මිනිසුන්ගේ භෞතික පැවැත්මේ අරමුණ වන්නේ ධනය, බලය සහ ලිංගික ජීවිතයක් ගතකිරීම යන ආශාවන් හැකිතාක් පමණින් අයත් කර ගනිමින් සැපවත් සහ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමය. අනෙක් අතට ආධ්‍යාත්මික පැවැත්මේ අරමුණ වන්නේ ධනය, බලය හා ලිංගික ජීවිතයක් ගතකිරීම යන ආශාවන්ගෙන් මිදී ආගමේ දැක්වෙන නියමයන් අනුව ආගමානුකූල ජීවිතයක් ගතකරමින් මරණින් මතු ජීවිතය සුවපත් කර ගැනීමය. භෞතික ඡීවිතයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා මිනිසුන්ට මග පෙන්වන්නේ රාජ්‍ය විසිනි.

ආධ්‍යාත්මික ජීවිතයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා මිනිසුන්ට මග පෙන්වන්නෝ ධනය, බලය සහ ලිංගික ජීවිතයක් ගතකිරීම යන ලෞකික ආශාවන්ගෙන් මිදුන තාපස ජීවිතයක් ගතකරන පූජකයෝය. මෙයින් පැහැදිලි වන එක් කරුණක් තිබේ. එනම් ගිහියන්ගේ ලෞකික ඡීවිතය සහ පූජකයන්ගේ ආගමික ජීවිතය කිසිසේත්ම එක සමාන නොවන බවය. එසේ වුවද ගිහියන් සහ පූජකයන් යන දෙවර්ගයම ජීවත් වන්නේ එකම සමාජයක් තුළය. මෙලෙස එකට ගතකරන සමාජ ජීවිතයේදී පූජකයන් ගිහියන්ගෙන් අපේක්‍ෂා කරන පැවැත්මක් තිබේ. ඒ හා සමානව ගිහියන්ද පූජකයන්ගෙන් අපේක්‍ෂා කරන පැවැත්මක් තිබේ. මෙම පැවැත්මවල් දෙක අතර අසමතුළිතභාවයක් ඇතිවන විට ගිහියන් සහ පූජකයන් අතර ගැටුම් ඇති වේ. හරීන් ප්‍රනාන්දු සහ කාදිනල්තුමන් අතර ඇතිවන අර්බුදයෙන් පෙන්නුම් කරන්නේ මෙම යථාර්ථයයි. එසේනම් මී ළඟට අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ මිනිසුන්ගේ ලෞකික ජීවිතය සහ පූජකයන්ගේ ආගමික ජීවිතය එකිනෙකින් වෙනස් වන්නේ කෙසේද යන්න පිළිබඳවය.

මිනිසුන්ගේ ලෞකික ජීවිතය හසුරුවන ධනය, බලය සහ ලිංගික ජීවිතය යන මූලික ආශාවන් තුන මිනිසුන් රැගෙන එන්නේ උපතින්මය. ඒවා ස්වාභාවික ආශාවන් වන අතර එම ආශාවන්ට සීමාවක්  හෝ කෙළවරක් නොමැත. ඒවා කොපමණ තිබුණත් මිනිසුන් සෑහීමට පත් වන්නේද නැත. මෙම ආශාවන් අවසාන වන්නේ මිනිසුන්ගේ මරණයෙන් පමණි. මේ අනුව මිනිසුන් වූ කලී ධනය, බලය සහ ලිංගික ජීවිතය යන රෝද තුන උඩ ගමන් කරන වාහනයකට එනම් ත්‍රී වීලරයකට සමාන වේ. මිනිසුන්ට මෙම ආශාවන් තුන සංතෘප්ත කරගත හැකි ප්‍රමාණය රඳා පවතින්නේ ත්‍රී වීලරය දුවවන වේගය අනුවය. වේගයෙන් ධාවනය කරන්නාට වැඩියෙන් අයත් කරගත හැකිය. සෙමින් ධාවනය කරන්නාට අයත් කරගත හැකි ප්‍රමාණය ඒ අනුවම අඩු වේ. මේ පදනම මත බලන විට මිනිසුන්ගේ ලෞකික ජීවිතය රේස් එකකට සමාන වේ. ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට නම් වේගයෙන් දිවිය යුතුය. දුවන්නේ නොමැතිව එකතැන රැඳී සිටිය හොත් ලැබෙන කිසිවක් නොමැත. දිවීම ලෞකික පැවැත්ම සඳහා අත්‍යවශ්‍යම වුවද මිනිසුන්ට හිතෙන හිතෙන ආකාරයටද දිවීම කළ නොහැක.

මිනිසා දිවිය යුත්තේ ඒ සඳහා අදාළ වන නීතිරීතිවලට අනුකූලවය. මෙම නීතිරීති මගිනුයි රේස් දිවීමෙන් කුමක්, කෙලෙස, කුමන අවස්ථාවකදී ලබාගත හැකිද යන අවසාන ප්‍රතිඵලය තීරණය කරන්නේ. මිනිස් සමාජයක් තුළ මෙම අවසාන තීරකයාගේ කාර්යභාරය ඉටුකරන්නේ රාජ්‍ය විසිනි. මේ හේතුවෙන් රේස් දුවන්නන්ගේ තවත් අරමුණක් වන්නේ රාජ්‍යයේ බලය අල්ලාගෙන තමන්ට හිතකර ආකාරයට රේස් දිවීමේ තරගය හා සම්බන්ධ නීතිරීති වෙනස් කිරීමය. මෙයාකාරයට රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා මිනිසුන් කරන අරගලයයි දේශපාලනය  ලෙස හඳුන්වන්නේ. මෙම අරගලය එක්කෝ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ හරහා කළ හැක. නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව ප්‍රචණ්ඩත්වය හරහා කළ හැක. මේ කුමන ආකාරයකට කළද දේශපාලනය යනු ලෞකික මිනිසුන්ගේ මිහිපිට ජීවිතය පවත්වා ගෙනයාම හා සම්බන්ධ දෙයකි. එබැවින් එය මුළුමනින්ම ලෞකික මිනිසුන්ගේ කාර්යයක් වේ.

මිනිස් සමාජයක යම් පුද්ගලයකු පූජක දිවියට ඇතුළුවනවා යනුවෙන් අදහස් කරන්නේ ධනය, බලය සහ ලිංගික ජීවිතය යන රෝද තුන ගලවා සිවුරකින් හෝ ලෝගුවකින් සිරුර වසාගෙන ශාසනික ජීවිතයකට ප්‍රවිෂ්ට වී සංසාර ගමන කෙටිකර ගැනීමට අවතීර්ණ වීමය. මේ අනුව ලෞකික පුද්ගලයන් ගත කරන ත්‍රීවීල් ජීවිතය පූජකයන්ට ගතකළ නොහැක. ශාසනික කාර්යය සඳහා ඔබමොබ යාම හැරුණ විට පූජකයන්ට රේස් දිවිය නොහැක. මෙයාකාරයටයි මිනිසුන්ගේ ගිහි ජීවිතය සහ පූජකවරුන්ගේ ආගමික ජීවිතය එකිනෙකින් වෙනස් වන්නේ. රෝද තුන ගැලවීම හේතුවෙන් පූජක ජීවිතයේ සිදුවන එක් වෙනස්කමක් වන්නේ සෑම ආකාරයකයම භෞතික බැඳීම්වලින් පූජකයන් වෙන්වීමය. මේ හේතුවෙන් පූජකයන් අපක්‍ෂපාතීභාවයේ, යුක්තියේ සහ සාධාරණත්වයේ ජීවමාන සංකේත බවට පත් වේ. දෙවනුව රෝද ගැලවීම හේතුවෙන් පූජකයන්ගේ පැවැත්ම ගිහියන් මත රඳා පවතින දෙයක් බවට පත්වේ. මේ හේතුව නිසයි චීවරය හෝ ලෝගුව දා ගත් අවස්ථාවේ සිට අපවත් වීම දක්වා පූජකයන්ගේ ජීවිත ගිහියන්ගේ වගකීමක් බවට පත්වන්නේ. පූජකයන්ට උවටැන් කිරීමට ගිහියන් බැඳී සිටින්නේ මෙම හේතුව නිසාය.

ඉහත දැක්වූ  කරුණුවලින් පෙනීයන්නේ යම් පූජකයකු ඔහුගේ ශාසනික නිල මට්ටම කුමක් වුවද ශාසනික පැවැත්මෙන් පිටපැන ත්‍රීවීලර් පැවැත්ම හා සම්බන්ධ යම් ක්‍රියාවක යෙදෙනවා නම් ඒ ගැන ප්‍රශ්න කිරීමට ත්‍රීවීලර්කරුවන්ට අයිතිය තිබෙන බවය. හේතුව එසේ පිටපැන්න හොත් එක් අතකින් පූජකයන්ගෙන් අපේක්‍ෂා කරන ආධ්‍යාත්මික පැවැත්ම පළුදු වීමය. අනෙක් අතින් ඔවුන්ගෙන් අපේක්‍ෂා කරන සාධාරණත්වය, යුක්ති සහගතභාවය සහ අපක්‍ෂපාතීභාවය ගිලිහී යාමය. මීට ඉහතින්ද සඳහන් කළ පරිදි දේශපාලනය ත්‍රීවීලර් ජීවිත හා සම්බන්ධ දෙයක් විනා පූජකයන් හා සම්බන්ධ දෙයක් නොවේ. එබැවින් පූජකයන් දේශපාලනයේ නියුක්ත වෙනවා නම් එහි හොඳ නරක ගැන කථා කිරීමට සහ ප්‍රශ්න කිරීමට ගිහියන්ට අයිතිය තිබේ. එහෙත් එසේ ප්‍රශ්න කිරීමෙන් පූජකයන්ට අවමන් කිරීමට ගිහියන්ට අයිතියක් නොමැති බවද ගිහියන් තේරුම් ගත යුතුය. අනෙක් අතට දේශපාලනයේ නියැලීම පූජකයන්ට අකැප වුවද පාලකයන්ට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් අවවාද කිරීම හා උපදෙස් දීම පූජකයන්ට අකැප නොවන බවද ගිහියන් තේරුම් ගත යුතුය. එයාකාරයටම දේශපාලනය කිරීම සහ පාලකයන්ට අවවාද අනුශාසනා කිරීම යන දෙක අතර පවතින වෙනසද පූජකයන් තේරුම් ගත යුතුය. අවසාන වශයෙන් කිව යුත්තේ හරීන් ප්‍රනාන්දු සහ කාදිනල්තුමා අතර හටගත් අර්බුදය දෙස බැලිය යුත්තේ මෙම සන්දර්භය තුළ පිහිටා බවය.


***
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ
හිටපු මහාචාර්ය
එම්.ඕ.ඒ. ද සොයිසා