එළඹුණු සිංහල දෙමළ අලූත් අවුරුද්දේ ආණ්ඩුවේ ගමන් මග කෙබඳුද? ආණ්ඩුවේ නිවැරදි විය යුතු තැන් මොනවාද? අධ්‍යාපනයේ ප‍්‍රගතියක් තිබේද? අධ්‍යාපන අධීක්ෂණ මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරුගේ මතවාදයයි මේ.   ප‍්‍රශ්නය: එළැඹුණු සිංහල දෙමළ අලූත් අවුරුද්දේ ඔබේ ප‍්‍රාර්ථනය...? පිළිතුර: සියලූ ජනතාව එකමුතුව රට ඉදිරියට ගෙනයාමේ අධිෂ්ඨානය තුළ ක‍්‍රියාත්මක වනු දැකීම මුල් ප‍්‍රාර්ථනයයි. අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ ඵලදායිතාව නංවා සෑම දරුවකුටම සාධාරණ අධ්‍යාපනයක් ලබාදීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ කර ක‍්‍රියාත්මක කිරීම අනිත් පැතුමයි. රටේ චින්තන විප්ලවයේ ආරම්භය එය වේවි. ප‍්‍රශ්නය: එජාපයෙන් ආණ්ඩුවට එක්වීමෙන් ඔබ තුළ තිබූ අරමුණු කෙතරම්දුරට සාර්ථක වී තිබෙනවාද? පිළිතුර: සියයට දෙසීයක් සාර්ථකයි. මම දේශපාලනයට ආවේ අධ්‍යාපනඥයකු ලෙස මගේ ඇට මස් ලේ නහර වල දුවන නව සංකල්ප සෑම දරුවකුටම ප‍්‍රයෝජනවත් වැඩපිළිවෙළක් බවට පත්කරලා ඒක ක‍්‍රියාත්මක කරලා දරුවන්ට ලෝකය ඉදිරියේ දෙපයින් නැගී හිටවන්නයි. සුපිරි පංතිය විතරක් නොව දිළිඳු දරුවන්ගේ ලෝකයත් ආලෝකවත් කිරීම මගේ අරමුණයි. ප‍්‍රශ්නය: ගෙවුණු මාස කිහිපයේදී ඔබ ඒ වෙනුවෙන් කළ කැපවීම කුමක්ද? පිළිතුර: ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය කරන්න ජනාධිපතිතුමා දරන උත්සාහයේදී ලංකාව අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවටත් පත්කිරීමේදී මගේ හැකියාව ක‍්‍රියාත්මක කරන්න අධිකාරි බලයක් පැවරුවා. අධ්‍යාපන ඇමතිතුමාගේ මූලිකත්වයෙන් සහ වැඩපිළිවෙළට මගේ දායකත්වයත් ලබාදෙනවා. ඒ පුනර්ජීවය තව වසර කීපයකින් බලාගන්නට ලැබේවි. පාසල් දහස සිතියම් කර අවසන්. ඒ සමග ඇති කරන පාසල් 5000 ක් තෝරාගත්තා. මේවා බලා ඉන්න බැරි අය රට තුළ අනිසි බියක් ඇති කරලා මේක කඩාකප්පල් කරන්න දරන උත්සාහයත් අප පරාජය කළා. ප‍්‍රාදේශීය ලේකම් 72 ක පාසල්වල උ.පෙළ විද්‍යා පහසුකම් නැහැ. එය රටින් හතරෙන් එකක්. පාසල් දහස යටතේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට අංගසම්පූර්ණ පාසල් 03 ක් වත් ලැබෙනවා. උපාධිධාරී ගුරුවරු 3000ක් බඳවා ගැනීම ඇරඹුවා. මහින්දෝදය විද්‍යාගාර පාසල් 1000 තුළ ඇති කරනවා. රු.දශලක්ෂ 20ක් සහ එක් විද්‍යාගාරයක් දශලක්ෂ 08 කට නිමකරන්නට මගේ අත්දැකීම් උපයෝගී කරගන්නවා. ගණිතය සමහරුන්ට තිත්තයි. නව ආකල්ප ක‍්‍රමවිදි හා උපකරණ හරහා ගණිතය සිසුන්ගේ ජීවිතයට සමීප කරවනවා. තොරතුරු තාක්ෂණය හා අන්තර්ජාලය සිසුන්ට විවෘත කර දෙනවා. දුරස්ථ අධ්‍යාපනයේදී චන්ද්‍රිකා තාක්ෂණය හරහා පාඩම් ලබාගැනීමේ ක‍්‍රමවේදය සපයනවා. ලොව ප‍්‍රබල පාසල් හා අපේ දරුවන් සම්බන්ධ කරනවා. ඒ තුළින් අපේ දරුවන්ට ජාත්‍යන්තර භාෂා ගැන අවබෝධයකුත් ලැබේවි. අපේ රට ජාත්‍යන්තරයට ගැලපෙන ලෙස සකස් වේවි. මේවා අපේ දරුවන්ට හීනයක් වෙලා තිබුණේ. මේ වැඩපිළිවෙළ තුළ ජනප‍්‍රිය පාසල් ලූහුබැඳීමත් පහව යාවි. ප‍්‍රශ්නය: ඔබ අනාගත සිහින දැක්කත් අද මේ රටේ පාසල් කෙතරම් වැසී යනවාද? පිළිතුර: රටේ පාසල් 9600 න් 1590 ක ළමයි 50 ට අඩුයි. ආණ්ඩුව ඒ කුඩා පාසල් නැංවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. මේ පාසල්වල මූලික අවශ්‍යතා ඉටුකර දරුවන්ට ආඩම්බරයෙන් පාසල් යා හැකි පරිසරය ඇති කරනවා. ආණ්ඩුව පමණක් නොව පෞද්ගලික අංශයත් මීට දායකකරගන්නට අපට හැකිවුණා. ඉංග‍්‍රීසි ඉගැන්වීම විධිමත් කිරීම ආරම්භ කළා. ”අපේ විදියට ඉංග‍්‍රීසි කතා කරමු” වැඩපිළිවෙළ දියත් කළා. විදුහල්පතිවරුන්ට නායකත්ව පුහුණුව ඇරඹුවා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපනය විධිමත් කිරීමත් ඇරඹුවා. එසේ විය යුතුදේ වෙලාවට කිරීම මගේ ප‍්‍රතිපත්තියයි. ප‍්‍රශ්නය: රටත් ජනතාවත් ආර්ථික, ජීවනබර, විරැකියාව පැත්තෙන් විශාල හිරවීමක ඉන්නේ. සහන ලබාදීම ගැන ආණ්ඩුව දේශනා කරමින් එය ”අද නොව හෙට” බව කියමින් කල් මැරීම සාධාරණද? පිළිතුර: මේ වෙලාවේ කවුරුත් යථාර්ථවාදී වෙන්න  ඕනෑ. බලවත් රටවල් මේ රටට ගරහන වෙලාවක කළ යුත්තේ එකාවන්ව රටේ නිෂ්පාදනය ඉහළ නැංවීමයි. අපනයනය ඉහළ දමා ආනයන අඩු කිරීමට හැම දෙනාම කැපවීම අත්‍යවශ්‍යයි. ඡන්ද කාලෙට සටන් කරමු. ඉන්පසුව රට වෙනුවෙන් කැපවෙමු. අපිට රටෙන් ලැබී තිබෙන්නේ මොනවාද පමණක් නොව අපි රටට කරපු දේ ගැනත් හිතන්න. අද ජනතාව පෙළන ආර්ථික, ජීවන බර ප‍්‍රශ්න හා විරැකියාවට පිළිතුර තියෙන්නේ අධ්‍යාපනය නිවැරදි කරගැනීම තුළයි. නිදහස් අධ්‍යාපනය වෙනස් නොවන ජාතික ප‍්‍රතිපත්තියක් මත ඉදිරියට ගියා නම් අද මේ ප‍්‍රශ්න ඇති වෙන්නේ නෑ. ප‍්‍රශ්නය: ඔබේ අධ්‍යාපන ඇමති රු. 2500 න් මසක් ජීවත්විය හැකි බව කියා අනාගත් බව ආණ්ඩුවේත් බොහෝ අය කියනවා. ඒ මුදලින් පුන්නක්කුවත් කාලා ඉන්න බැරි බව කියන අයට ඔබ දෙන පිළිතුර කුමක්ද? පිළිතුර: ඇමතිතුමාගේ ඒ කතාවට අභියෝග කරන්න රූපවාහිනී විවාදයට ආවේ විපක්ෂයේ යෝධ චරිතයක්. නිවැරදි අදහස් කාගේදැයි එදා රටම දැක්කා. මේ වගේ කාලයක අරපිරිමැස්මයි වැදගත් වෙන්නේ. ප‍්‍රශ්නය: 2009 දී ජිනීවාහිදී ආණ්ඩුව ලැබූ ජය 2012 දී පරාජයක් බවට පෙරළීමට හේතුව මේ ආණ්ඩුවේ ඒකාධිපතිකම හා 2009 දී යහපාලනය ඇතිකරන බවට ජිනීවාහිදී දුන් ප‍්‍රතිඥා ක‍්‍රියාත්මක නොකිරීම නේද? පිළිතුර: වසර 30 ක ත‍්‍රස්තවාදය පරදවා බෙදුම්වාදය පරදවා එකම රටක් බවට දැන් අපි පත්වී තිබෙනවා. සියලූ ජාතීන් රටේ ඒකීය බව ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී සිටින අවස්ථාවක මෙවැනි චෝදනා ගැන කතා නොකර ඉඳීම වගකීමක් බව මම හිතනවා. අපි මුලින් රට රැකගෙන දෙවනුව යහපාලනය හා දුන් ප‍්‍රතිඥා ගැන හිතමු. ප‍්‍රශ්නය: උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන බව ආණ්ඩුව ජිනීවාහිදී කීවත් දැන් ඒ සඳහා සූදානමක් නැහැ නේද? පිළිතුර: සියලූ ජනතාවට සාධාරණව ජීවත් විය හැකි සියලූ සංස්කෘතීන් හා ජනවර්ගවල ගෞරවය ආරක්ෂා කරන වැඩපිළිවෙළක් තුළ දකුණේ වගේම අසාධාරණයක් වූවා යැයි කියන දමිළ ජාතිවාදය හා ත‍්‍රස්තවාදය විසින් විනාශ කළ උ/නැ අද විශාල සංවර්ධනයක් ඇති කරනවා. ඔවුන්ගේ අවශ්‍යතා හා ගැටලූ විසඳෙන පසුබිමක බෙදුම් හෝ ත‍්‍රස්තවාදයට ඉඩක් නැහැ. ඒක දකින්නට අකමැති හා රට කෑලිවලට වෙන් කරන්නට කැමති සුළුතරයක් කරන චෝදනාවකුයි ඔබ මතු කළේ. මේ අසීරු මාවතේ ගමන් කරන්නට ආණ්ඩුවට ශක්තිය දීම ජනතා වගකීමයි. ප‍්‍රශ්නය: ජාත්‍යන්තරව වසරකට රු. කෝටි 5000ක් ජී.එස්.පී. ප්ලස් නැතිවීමෙන් රටට අහිමි වුණා. ඇමෙරිකානු ජී.එස්.පී. එක දිගටම දෙනවාදැයි සෙවීමට පිරිසක් ඇවිත්. එවැනි ආර්ථික තහංචි දිගටම වැටුණොත් හා අපේ අපනයන වෙළෙඳපොළෙන් 65%  ක් වූ ඇමෙරිකාවෙන් යුරෝපයෙන් අපට තහංචි වැටුණොත් ලංකාවට දරාගත හැකි වේද? පිළිතුර: අද යුරෝපා රටවල් විශාල ආර්ථික අර්බුදයකට ලක්වෙලා. ඒ රටවල විරැකියාව, අධ්‍යාපනය ආදී දේට මුදල් වෙන් කිරීම අවම කිරීම, උද්ධමනය ආදිය නිසා අභ්‍යන්තර අර්බුද ඇතිවෙලා එංගලන්ත රාජකීය පවුලට ප‍්‍රහාර එල්ල කරන්නට තරම් එරට තරුණ අරගල ගිනියම් වුණා. මේ තත්ත්වය තුළ චීනය, ජපානය, ඉන්දියාව ආදී පෙරදිග රටවල් දැවැන්තයන් බවට පත් වෙනවා. බටහිර රටවල් පෙරදිග අර්බුද ඇති කළා. තමන්ට අභියෝගයක් වූ සෝවියට් දේශයත් සුනු විසුණු කළා. දැන් රුසියාව ඇතුළු ඒ කලාපය ශක්තිමත් වෙමින් එනවා. අපේ අපනයන ඒ දෙසට තල්ලූ වීම දැන් සිදුවෙනවා. ඒ රටවල ආයෝජකයනුත් ලංකාවට එනවා. අපි ශක්තිමත් වුණොත් කාටවත් අප යටපත් කරන්න බෑ. ඉතිහාසයේත් විවිධ තර්ජන ආවත් මේ රටේ අය බඩගින්නේ මැරුණෙ නෑ. අදත් හෙටත් ඒ ශක්තිය මේ රටට තියෙනවා. අපි අත නොපා ජීවත්වීම ඉගෙන ගත්තොත් බොහෝ ප‍්‍රශ්න විසඳේවි. සමහරු හිතන්නේ තහංචි වැටිලා රට අනාථ වෙලා බලය තමන්ට ලැබේවි කියලයි. ඔවුන්ගේ අතකොළු වෙන්න එපා. ප‍්‍රශ්නය: ඉන්ධන මිල අහසට ඉහළ ගිය විට සියලූ භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියා. ඊට එරෙහිව ජනතාව වීදි බසිද්දී ආණ්ඩුව ජිනීවා පෙන්වා බඩගිනි ජනතාව අන්දලා පාරට දැම්මේ දේශපාලනික බිය නොවේද? පිළිතුර: එහෙම කිසිම බියක් ආණ්ඩුවට නෑ. අතිබහුතර බලයක් ආණ්ඩුවට ලබාදී ඇත්තේ ජනතාවයි. ඒ වසර 06 ක් සඳහායි. ඒ අතරේ විවිධ කුණාටු ඒවි. ඒත් ජනතාව පත්කළ ආණ්ඩුවක්් කුමන්ත‍්‍රණකාරීව බලයෙන් පහකරන්න ක‍්‍රියා කරනවා නම් එතන තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය කුමක්ද? දකුණු ආසියාවේ ශක්තිමත්ම ආණ්ඩුව මේ ආණ්ඩුවයි. ඉන්ධන ප‍්‍රශ්නයට විකල්ප 03ක් තිබෙනවා. විකල්ප බලශක්තිය සෙවීම, පරිස්සමෙන් ඉන්ධන භාවිතය හා අද මේ රට තෙල් ගවේෂණය අරඹා තිබෙනවා. ජනතාව වීදි බැස්සුවාම ඉහත කවර විකල්පයකට උපකාර ලැබෙනවාද? ප‍්‍රශ්නය: පාරවල් ඉඩ මදි හා ඉන්ධන මිල ඉහළ යයි ආදී ජනතාව අන්දන කතා කියමින් ආණ්ඩුව දුප්පතාගේ ත‍්‍රිරෝද රථය, මෝටර් සයිකල්, කුඩා කාර්වලට විශාල බද්දක් ගැහුවේ ඇයි? මූල්‍ය අරමුදල සතුටු කරමින් ණය ගන්නට අසරණ ජනතාව මේ තරමට පීඩනයට පත්කළේ ඇයි? පිළිතුර: රටට, ජනතාවගේ බඩට ගහලා පරාද වෙන්න ආණ්ඩුවක් කැමති නෑ. ඒත් යථාර්ථයට අනුව ප‍්‍රතිපත්ති සැකසීමට ආණ්ඩුවට සිදුවෙනවා. එදා යුද ජයට සියලූ දෙනා අත්වැල් බැඳගත්තා සේ ජාත්‍යන්තර අභියෝගවලටත් විරුද්ධ වෙමු. නොසැලෙන නායකයකු ලෙස ජනාධිපතිතුමා රටේ අභිමානය රැකගන්නට කරන උත්සාහයේදී කවුරුත් උරදිය යුතුයි. තරමට වඩා වාහන ගෙන ඒම නිසා විනිමය ප‍්‍රශ්න ඉන්ධන හා පරිසර ගැටලූ ඇතිවෙනවා. අඩුබල ශක්තියෙන් ක‍්‍රියාත්මක වාහන නිපදවීම, පොදු ප‍්‍රවාහනය දියුණු කිරීම හරහා වාහන තදබදය ඇතුළු අර්බුද නැතිකළ හැකියි. ප‍්‍රශ්නය: රුපියල සම්පූර්ණයෙන්ම බාල්දු කරන්නට ආණ්ඩුව ක‍්‍රියාකිරීමෙන් උද්ධමනය ඉහළ ගොස් කිරිපිටි ගෑස් හා යළිත් ඉන්ධන පවා අලූත් අවුරුද්ද උදාවීමත් සමගම ඉහළයාමේ අවදානම ගැන මත පළවෙනවා. ඔබේ ප‍්‍රතිචාර...? පිළිතුර: පසුගිය වසරට සාපේක්ෂව මේ කාලය තුළ හාල්, එළවළු මිල අඩුයි. උත්සව සමයේ කොළඹ තොග මිලත් බැස්සා. පසුගිය කාලේ දේශීය කෘෂිකර්මය හා ආර්ථිකය ශක්තිමත් කරන්නට ආණ්ඩුව දැරූ උත්සාහයේ ප‍්‍රතිඵලයි මේ ලැබෙන්නේ. යුද්ධයෙන් බැට කෑ රටක් එකවර ආර්ථික ලෙස ශක්තිමත් කරන්න අමාරුයි. ඒත් දැන් එදා යුද බිම් ගොවිබිම් බවට පත්වෙලා. පොහොර තවම රු. 350 ට ආණ්ඩුව දෙනවා. මේ ප‍්‍රතිඵල ඒ තුළයි. කර්මාන්ත අංශයේ පිබිදීමත් ඉහළයි. ලංකාව තුළ ටින්මාළු කම්හලකුත් ඇති කළා. 2011 දී ටින්මාළු මෙටි‍්‍රක් ටොන් 18,777ක් ගෙන්වා රු. දශලක්ෂ 5,118ක් පිටරට ගියා මේ ඉතිරි කරන්නේ ඒ මුදලූයි. යුද්ධයෙන් කඩා වැටුණු සංචාරක කර්මාන්තය යළි පිබිදී රැකියා උත්පාදනය 300%කින් ඉහළ ගිහින්. දේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ යාම නිසා ආනයන කිරිපිටි සමාගම් තර්ජන දානවා. ලෝක ආර්ථිකයට අපට තවම මුහුණ දෙන්න අමාරුයි. ඒනිසා රට ඒ වෙනුවෙන් සූදානම් කරනවා. විදේශ සංචිත ඩොලර් කෝටි 300ක් ආණ්ඩුව අලෙවි කළේ ඩොලරයේ මිල ඉහළයාම වළකා ගන්නයි. 2011 දී අපේ අපනයන ගිය වසරට වඩා 24% කින් ඉහළ ගිහින්. මේවා ජනතාවට දැනෙන සංවර්ධන ප‍්‍රතිලාභයි. ප‍්‍රශ්නය: රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය  යහපාලනය, මාධ්‍ය නිදහස, ස්වාධීන කොමිෂන් ඇතිකර සුදුවෑන් වලින් පැහැර ගැනීම් නවතාලන ලෙස ලෝකය අපට කීම නරක දෙයක්ද? ඒත් මේ මාසයට 29ක් පැහැර ගත්තේ කවුද? පිළිතුර: අතුරුදන්වූවන්ගේ ඇතැම් ප‍්‍රශ්න පොලිසිය විසඳුවා. සමහර ඒවා බොරු පැමිණිලියි. අතුරුදන්වූ 05ක් යළි ආවා. සමහරු වෙන රටවලින් මතුවුණා. විසඳී නැති පැමිණිලිත් තිබෙනවා. ඒක රටේ ප‍්‍රතිරූපයට හානිකරයි. ළඟදී අතුරුදන් වූ බව කියන පක්ෂයක කාන්තාව යළි ආවා. තව කෙනෙක් නම් කීපයකින් ඉඳලා දැන්  ඕස්ටේ‍්‍රලියාවට ගිහින් තිබෙනවා. විසඳිය නොහැකි පැහැර ගැනීම් රටට අහිතකර පාරාවළල්ලක් විය හැකියි. බලතල ඇති අධිකාරියක් ඇතිකර අතුරුදන්වූවන් ගැන ගැඹුරු පරීක්ෂාවක් කරලා සාධාරණය ඉටුකළ යුතු වෙනවා. ප‍්‍රශ්නය: නව වසරේ ආණ්ඩුව නිවැරදි කරගත යුතු දේවල් ගැන ඔබේ දැක්ම කෙබඳුද? පිළිතුර: ආණ්ඩුවක් ප‍්‍රතිපත්ති හදන්නේ මුළු රටම දෙස බලලයි. ත‍්‍රස්තවාදය පරාජයෙන් පසු සංවර්ධන වැඩපිළිවෙළක් අරඹා තිබෙනවා. 8% ඉක්මවා ආර්ථික වර්ධනයක් ආවේ ඒ තුළයි. එය ආපසු හැරවීමේ කුමන්ත‍්‍රණවලට හසු නොවී මේ සංවර්ධනය ජනතාවත් සමග එක්ව නිවැරදි මූල්‍ය කළමනාකරණයකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව හා විනිවිද බවකින් ක‍්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. දැනටත් එය ඇරඹී ඇති බව මගේ හැඟීමයි.

අධ්‍යාපන අධීක්ෂණ මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරු

සංවාද මෙහෙවර: අශෝක ජයතුංග