ගාල්ල ලෝක උරුම නගරයකි. වර්ග සැතපුම් හයහමාරක පමණ භූමි භාගයක් පුරා පැතිරී ඇති ගාල්ල පුරාණයේ සිට ප‍්‍රසිද්ධ වූයේ වෙළෙඳ නගරයක් ලෙසිනි. ඉන්දියා සාගරයේ වරාය අතර විශේෂ පිහිටීමක් ඇති ගාලූ වරාය පෙරදිග දියුණු වෙළෙඳ මධ්‍යස්ථානයක් විය. ඇතැම් විද්වතුන් විශ්වාස කරනුයේ බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් වන ටර්ෂිෂ් නගරය ගාල්ල විය හැකි බවයි. ටාර්ෂිෂ් යනු පෙරදිග පැවැති මහා වෙළඳ මධ්‍යස්ථානයක් විය. වංශ කථා සාධක අනුව ගාල්ල මුල්වරට සඳහන් වන්නේ මහා පැරකුම්බා රජු සුගලා දේවියට විරුද්ධව කළ සටන් වලදී වුවද ගැමුණු කුමාරයා යුද්ධයට යද්දී ගාල්ලේ තරුණයන් රැසක් මාගමට ගොස් හමුදාවට එකතුවූ බව ද කියැවෙයි. වළගම්බා රජුගේ අවදියේ රාජ කුමාරයකු ගාල්ලේ අක්මීමණ ප‍්‍රදේශයේ වාසය කැර ඇත. ගම්පොළ යුගයේදී ලියැවුණු තිසර මයුර සංදේශයන්හි ගාල්ල ගැන වර්ණනා කැර ඇත. එහෙත් ගාල්ලේ මෑත ඉතිහාසය ආරම්භ වන්නේ සුළි කුණාටුවකට හසුව 1505 දී අහම්බෙන් ගාල්ලට පැමිණි ලොරෙන්සෝ ද අල්මේදා සමගිනි. කි‍්‍රස්තු වර්ෂ 1587 දී පතුගීසීන් සිංහල රජුගෙන් ගාල්ල අල්ලාගත්. වරාය ආරක්ෂා කැර ගැනීම සඳහා ඔවුහු අට්ටාල, මුරකපොල් සහිතව තනි පවුරකින් යුතු බළකොටුවක් නිර්මාණය කළහ. පෘතුගීසීන් විසින් සාදන ලද බළකොටුව අද හැඳින්වෙන්නේ කළු කොටුව නමිනි. 1640 දී විල්හෙම් ජාකොබ්ස් කෝසටර් ගේ මූලිකත්වයෙන් සෙබළුන 2000 කින් යුතු නැව් 12 ක් යොදවා දරුණු සටනක් කොට ලන්දේසීහු ගාල්ල කොටුව අත්පත් කරගත්හ . දින හතරක් පැවැති මෙම සටන ලන්දේසීන් ජයගෙන ඇත්තේ 1640 මාර්තු 03 දාය. පෘතුගීසීන් සෑදූ තිබූ කොටුව විශාල කර සාදන ලද්දේ ලන්දේසීන් විසිනි. කාලතුවක්කු සවිකර තිබූ විශාල අට්ටාල හෙවත් බැස්ටියන් 16 ක් එකිනෙක යා කරමින් ලන්දේසීහු සුවිසල් බළකොටුව ද අංගසම්පූර්ණ නගරයක් ද ඉදිකළහ. දිය අගලක් මත වූ උස් පහත් කළ හැකි පාලමකින් එගොඩවී ඇතුළුවීමට තිබූ ප‍්‍රධාන දොරටුව අදට ද කොටු පවුරේ දැකිය හැකයි. එකළ භාවිතා කළ දොර පියන් දෙක අදත් භාවිතයේ පවතී. එම දොරටුවේ ඇතුළු පැත්තේ  ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ ලාංඡනය සටහන් කැර ඇති අතර දොරටුව ඉදිරිපස බි‍්‍රතාන්‍ය රාජකීය ලාංඡනය කොටා ඇත. බි‍්‍රතාන්‍යයන් මෙම බළකොටුව අත්පත් කරගෙන ඇත්තේ 1795 දී ගිවිසුමක් මගිනි. ඉන්පසු ඔවුහු කොටුවට ඇතුළුවීම සඳහා තවත් නව දොරටුවක් සෑදූහ. ගාලූ කොටුවෙහි නිවාස 473 ක් පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන කියයි. . එම ගොඩනැගිලි වලින් සියයට 50 ක් පමණ බි‍්‍රතාන්‍ය සමයට පෙර ඉදිකැර ඇත. නිවාස 104 ක් ගොඩනගා ඇත්තේ 1850 වර්ෂයට පෙරදීය. පෘතුගීසි හා ලන්දේසි යුගයන්හි ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම පාලන මධ්‍යස්ථානය වූ ගාල්ල කොටුව නගරයක තිබිය යුතු සියළු ලක්ෂණයන්ගෙන් සමන්විත වූ බව විද්වතුන්ගේ මතයයි. කොටුවේ ඇති විශාලතම ගොඩනැගිල්ල ලන්දේසි බඩු ගබඩාවයි. මහල් දෙකකින් යුතු මෙහි උඩු මහළේ එක් කොටසක ලන්දේසි සමයේ කන්‍යාරාමයක් තිබී ඇත. ඒ ඉදිරිපිට 1701 දී ඉදිකරන ලද ඝණ්ඨා කුළුනක් වෙයි. කොටුවේ ඇති උසම ගොඩනැගිල්ල වන්නේ අමාන් ගාල්ල නැමැති හෝටලයයි. මෑතක් වනතුරුම නිව් ඔරියන්ටල් හෝටලය නමින් හැඳින්වූ එය ඉදිකරන ලද්දේ 1684 දී දැවමය මහල් 12 කින් යුතුවය. ගරා වැටෙමින් පවතින  ඕලන්ද පරිපාලක ගොඩනැගිල්ලත් ඒ ආසන්නයේම ඇති ආසියාවේ පැරණිතම පුස්තකාලය ලෙස සැළකෙන කොටුව පුස්තකාලයත් තවත් සුවිශේෂී ස්ථානයෙේය. 1752 දී ගැස්පරස් ඩි ජොන්ග් නැමැති ලන්දේසි අණදෙන නිලධාරියා විසින් ඉදිකරන ලද පැරණි  ඕලන්ද පල්ලියත්, 1871 දී බි‍්‍රතාන්‍යයන් විසින් සාදන ලද ඇංග්ලිකන් දේවස්ථානයත් මුස්ලිම් පල්ලියක් හා බෞද්ධ විහාරස්ථානයක්ද වෙයි. පැරණි  ඕලන්ද රෝහල තිබුණු ගොඩනැගිල්ලේ දැනට මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යාලයය හා ගාලූ උරුමය පදනම පවත්වාගෙන යයි. එය සංරක්ෂණය සඳහා නියමිතය. 1683 දී ඉදිකර ඇති ක්වීන්ස් හවුස් නැමැති ගොඩනැගිල්ල ලන්දේසි හා බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ නිවස්න විය. ශී‍්‍ර ලංකාවේ ඉදිකරන ලද ප‍්‍රථම ප‍්‍රදීපාගාරය ඉංගී‍්‍රසීන් විසින් ස්ථාපිත කර ඇත්තේ 1886 දී ගාල්ල බලකොටුවේය. ලෝහයෙන් තනා තිබූ එය 1936 දී ගින්නකින් විනාශ වී ගියේය. වෙනත් ස්ථානයක නැවත ප‍්‍රදීපාගාරය ඉදිකර ඇත්තේ 1937 දී වන අතර පැරණි ප‍්‍රදීපාගාරය අසළින් තිබූ මාර්ගය අදටද ප‍්‍රදීපාගාර වීදිය ලෙස භාවිතා කරයි. ගාලූ කොටුවට අලංකාරයක් වූ ඔරලෝසු කණුව ඉදිකර ඇත්තේ ප‍්‍රකට සමාජ සේවකයකු මෙන්ම ගාල්ල නගර සභාවේ ප‍්‍රථම සභිකයා වූ පීටර් ඩැනියෙල් අන්තෝනිස් මහතා සිහිවීම පිණිස 1983 දී මහජන ආධාරයෙනි. අතීතයේ පටන් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම වරාය ලෙස සැළැකුණු ගාල්ල වරාය හා ඒ අවට ප‍්‍රදේශ සමුද්‍ර පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස සැළකේ. වරාය හා කොටුව ආසන්න මුහුදේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන 26 ක් හඳුනාගෙන ඇති අතර ඒවා අතර ඇවොන්ඩ්ස්ටර්, හරක්‍යුලිස් වැනි ගිලී ගිය  ඕලන්ද නැව් කිහිපයක් ද පුරාවිද්‍යා ගවේෂණයන්ගෙන් හමුවී ඇත. කොටුවේ පාසල් තුනක් පිහිටා ඇත. සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලය, සියළු සාන්තුවරයන්ගේ පාසල හා අරාබි විද්‍යාලයයි. රජයේ කාර්යාල බොහොමයක් මෑතක් වනතුරුම කොටුවේ ගොඩනැගිලි වල පිහිටුවා තිබූ අතර කොටුව සංරක්ෂණ ව්‍යාපෘතිය සමග එම කාර්යාල කොටුවෙන් ඉවතට ගෙන ගොස් ඇත. ගාලූ කොටුවේ සංරක්ෂණ කටයුත මධ්‍යම සංස්කෘතික අරමුදලේ මෙහෙයැවීම මත මේ දිනවල සිදුවෙමින් පවතී. අතීතයේ වරායට පැමිණෙන භාණ්ඩ ගෙන ආ ගැල් ගාල් කර තිබූ ස්ථානය ගාල, ගාල් වී පසුව ගාල්ල වීයැයි ඇතැමෙක් කියති. තවත් පිරිසකගේ මතය වී ඇත්තේ පර්වත බහුලව තිබූ ප‍්‍රදේශයක් බැවින් ගල් ගාල්ල වූ බවයි. පෘතුගීසීන් ගාල්ලට පැමිණෙද්දී කුකුළෙකු හඩලනු අසා ගාලෝ ගාලෝ කී බවත් ඒ අනුව ගාලෝ පසුව ගාල්ල වී යැයි ද මතයක් පවතී. එහෙත් බටහිර ජාතීන් ලංකාවට පැමිණීමට පෙර පටන් ගාල්ලට ගාල්ල යන නාමය ව්‍යවහාර වූ බව අපගේ සංදේශ කාව්‍ය අනුව පැහැදිලි වේ. කෙසේ වෙතත් ගාල්ල යනු ලොව පුරා ජනපි‍්‍රයවූ අතීත වෙළඳ නගරයකි. පෘතුගීසීන් විසින් සාදන ලද කළු කොටුව ගාල්ල කොටු පවුර ගාලූ කොටු පවුරේ ඉපැරණි චිත‍්‍රයක් ඇංග්ලිකන් පල්ලිය පල්ලිය වීදියේ පැරණි චිත‍්‍රයක් පල්ලිය වීදිය අද දිස්වන ආකාරය ගාල්ල කොටුව පැරණි  ඕලන්ද පල්ලිය කොටු පවුර පැරණි  ඕලන්ද බඩු ගබඩාව  මෙය කොටුවේ විශාලතම ගොඩනැගිල්ලයි .d,a, fldgqj ඔරලෝසු කණුව 1950 දශකයේදී ගාල්ල දිස්වූ අයුරු පැරණි ඝණ්ඨා කුළුණ වත්මන් ප‍්‍රදීපාගාරය. 16 ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම ප‍්‍රදීපාගාරය 1889 දී අදින ලද සිතුවමකි බි‍්‍රතාන්‍ය සමයේ වරාය දිස්වූ ආකාරය බි‍්‍රතාන්‍ය පාලන සමයේ ගාල්ල 1900 දී ගාල්ල කොටුව මත සිට බැලූ විට ගාල්ල නගරය දිස්වූ ආකාරය ගාල්ල කොටුව