ඉතාලියේ ”ජිග්ලියෝ” දූපත අසල මුහුදේ කොරල් පරයක ගැටීමෙන් ඉකුත් ජනවාරි 13 වැනිදා රාති‍්‍ර අනතුරට පත්වූ අති සුඛෝපභෝගී ”කොස්ටා කොන්කෝඩියා” නමැති ඉතාලි මගී නෞකාවේ විශේෂ ප‍්‍රවෘත්තිය දෙස්, විදෙස් මාධ්‍ය ඔස්සේ අසන්නට, දකින්නට ලැබෙනවාත් සමගම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුගේ පැරැණි මතකය යළිත් අලූත් වූයේ හරියටම දැනට වසර සීයකට පෙර අයිස් කන්දක ගැටී මුහුදුබත් වූ සුප‍්‍රසිද්ධ ”ටයිටැනික්” නෞකාවේ ඛේදවාචකය සිහියට නංවමිනි. විදෙස් මාධ්‍ය මගින් මෙය හඳුන්වාදී තිබුණේ ටයිටැනික් නැවේ ඛේදවාචකය සිහිපත් කරමිනි. ඉතාලියේ නිෂ්පාදිත අර්ධ සුඛෝපභෝගී කොස්ටා කොන්කෝඩියා නෞකාව මහල් 11කින් සමන්විතය. බර ටොන් 1,14,500කින් යුත් දිග මීටර් 290 ක් ඇති මෙහි සුව පහසු කැබින් කාමරවලට අමතරව ආපන ශාලා 05ක් තැබෑරුම් 13ක් කුඩා ප‍්‍රමාණයේ පිහිණුම් තටාක හතරක් සිනමා ශාලා, කැසිනෝ ශාලා හා අතිශය සුන්දර සඳළුතල ආදියෙන් සමන්විතය. අනතුරට පත්වූ සිකුරාදා (13) කොස්ටා කොන්කෝඩියා නෞකාව ඉතාලියේ රෝමයේ සිරිටෙවේසියා වරායෙන් දින 07ක චාරිකාවක් ආරම්භ කළේ මගීන් හා කාර්ය මණ්ඩලය 4229 දෙනකු සමගය. නැවේ කාර්ය මණ්ඩලය හා තුන්දාහකට වැඩි මගීහු පිරිසක් ඊට ඇතුළත් වූහ. මගීන් අතර ඉතාලි, ජර්මන්, ප‍්‍රංශ, ස්පාඤ්ඤ හා ඇමෙරිකන් ජාතිකයෝ මෙන්ම විදේශිකයෝ රැසක් වූහ. අවුරුදු 06ට අඩු පොඩි ළමයින් පණස් දෙනකුට ආසන්නව සිටි බවත් වාර්තාවේ. මෙම නෞකාව ඉතාලියේ කග්ලියාරි සහ පැලෙර්මෝ යන වරායවලටත් සවෝනා වරායට හා ප‍්‍රංශයේ මාසෙල් හා ස්පාඤ්ඤයේ බාසිලෝනා සහ පැල්මා දෙමොලොර්කා යන වරායටත් යෑමට සැලසුම්කර තිබිණි. මෙම නැවේ එකම ශ්‍රී ලාංකික තරුණයෙක් සේවය කර ඇත. ඔහු හැටන් ප‍්‍රදේශයේ ගාමිණීපුර පදිංචි තිස් දෙහැවිරිදි කහඳගමගේ අමිල ධනුෂ්ක නැමති එක්දරු පියෙකි. කොස්ටා කොන්කෝඩියා නැව මෙම අනතුරට පත්වන අවස්ථාවේ අමිල එහි සේවය කරමින් සිට ඇති අතර ඔහු ත‍්‍රාසජනක අත්දැකීම් මැද දිවි ගලවාගෙන ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඉරිදා ”ලංකාදීප”යට මෙසේ සිය අත්දැකීම් විස්තර කළේය. බිරිඳගේ මව්පියන් හා සොහොයුරා දැනට සිටින්නේ ඉතාලියේ. ඒ අයගේ හිතවතියක් හරහා මට 2011 ඔක්තෝබර් 03 වැනිදා කොස්ටා කොන්කෝඩියා නෞකාවේ අවන්හල් ”ස්ටුවඞ්වරයෙක්” ලෙස රැකියාව ලබාගන්න හැකිවුණා. පවුලේ ආර්ථික අපහසුකම් හා දරුවා බිරිඳ හා මගේත් මව්පියන්ගේත් සුභ සිද්ධිය වෙනුවෙන් නැවේ රැකියාවට යාමට තීරණය කළා. මා නැවට සේවය සඳහා ගොස් මාස 03ක පමණ කාලයක් වෙනවා. මේ නැවේ වැඩ කළේ 09 වැනි හා 03 වැනි තට්ටුවල අවන්හල් වලයි. දිනපතා උදේ 06.30ට සේවය ආරම්භ කරනවා. 09.30 නිවාඩුවක් ලැබෙනවා. යළි මධ්‍යහ්න 12.00-02.30 දක්වා වැඩ කර මා රාජකාරියෙන් නිම වෙනවා. 02.30 සිට ප.ව. 04.00 දක්වා නිවාඩුවක් ලැබෙනවා. නැවත 04.00 රාති‍්‍ර 10.30 දක්වා වැඩ කරනවා. ඒ විදිහට තමයි සේවා කාලය තිබෙන්නේ. මට වැටුප වශයෙන් ඩොලර් 634 ක මුදලක් (රුපියල් 69,000/-)ක් පමණ ලැබුණා. ඉතාලියට අමතරව ප‍්‍රංශය හා ස්පාඤ්ඤය යන රටවලට මම නැවේ ගිහින් තිබෙනවා. ඉකුත් 13 වැනිදා අපේ නැව  (කොස්ටා කොන්කෝඩියා) රෝමයේ සිරිටෙවේඩියා වරායෙන් ගමන් ආරම්භ කළා. එදා රාතී‍්‍ර 09.35ට තමයි මේ අනතුර සිද්ධ වුණේ. ඉස්සරලාම නැව එකපාරට වම පැත්තට ඇළවුණා. අපේ අවන්හලේ වැඩි දෙනෙක් රාති‍්‍ර ආහාර ගනිමිනුයි හිටියේ. අපේ අවන්හල ”රෝමා” කියලයි හැඳින්වූයේ වම් පැත්තට ඇලවෙනවත් එක්කම නැවේ විදුලිය විසන්ධි වුණා. සියලූ දෙනාම විලාප තියන්න පටන් ගත්තා. ඒත් එක්කම නැවේ කපිතාන් ෆැන්සිස්කෝ මහතා ශබ්ද විකාශන යන්ත‍්‍ර වලින් මගීන්ට දන්වා සිටියා. සිද්ධියට හේතුව නැවේ යාන්ති‍්‍රක දෝෂයක් බව. සුළු වේලාවකින් නැව දකුණු පැත්තට ඇලවුණා. දැන් හැමෝම ළතෝනි දෙන්න පටන් ගත්තා. වැඩි පිරිසක් නොවැටී ඉන්න මේස අල්ලා ගත්තා. පිඟන්, බෝතල් සේරම බිමට පෙරළුණා. කරුවලේ එහා මෙහා දුවපු ගොඩක් දෙනා මුහුණට මුහුණ හැප්පිලා වැටුණා. පඩිපෙළවල් ඇල වුණා. ඒ වෙලාවේ මොනවා කරනවාද කියලා හිතාගන්න බැරිවුණා. හැම දෙනාම තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට හැසිරුණා. මටත්, මගේ කුඩා දරුව බිරිඳ හා මව්පියන් මතක් වුණා. නැවේ යට මහල්වල හිටපු මගීන්ට ඔවුන්ගේ කැබින්වලට යන්න බැරිවුණා. මගේ ඉන්දියා මිතුරෙක් නැවේ වැඩ කළා. ඔහු මේ වෙලාවේ ඔහුගේ ”ලැප්ටොප්” එක හොයාගෙන පහත මාලයකට ගියා. ඒවා වතුරෙන් යටවෙලා. යට තට්ටුවල සිටි අය ගැන තොරතුරක් නෑ. ඒ අය අනතුරට පත්වෙන්න ඇති. කරන්ට් නැතුව විනාඩි 15ක් විතර කළුවරේ ඉන්න වුණා. රාති‍්‍ර 11.00ට විතර කැප්ටන් නිවේදනයක් කරමින් කියනවා. නැව අතහරින්න වන බව. ඒක අහපු හැමදෙනාම විලාප දෙමින් කළබලයටත් දැඩි භීතියකටත් පත්වුණා. ජීවිතාරක්ෂක කබා හොයන්න පටන් ගත්තා. ජීවිතාරක්ෂක බෝට්ටුවලට මුලින්ම ළමයින් හා කාන්තාවන් බස්සවන්න කීවත් පිරිමි අය මුලින් බැස්සා. එක බෝට්ටුවක 150යි යන්න පුළුවන්. නමුත් ඒවා එකකට 200ක් 225ක් විතර පිරිසක් ගොඩවුණා. පාලනය කරගන්න බැරිවුණා. උදේ 05.30ට විතර ගුවන් හමුදාව ඇවිත් අනතුරට පත්වූ ඉතිරි අය බේරාගත්තා. නැව හොඳටම ඇල වුණාට පස්සේ මම ජීවිතාරක්ෂක කබායක් ඇඳගත්තා. අවන්හලේ නිලධාරියකුගේ නියෝගයකට මම එය ගලවාදමා යළි අවන්හල පිරිසුදු කිරීමේ නිරත වුණා. උඩ තට්ටුවක තිබුණ ජීවිතාරක්ෂක බෝට්ටුවකට විශාල පිරිසක් නැග සිටියා. යන්ත‍්‍රවලින් එය මුහුදට පහත් කළා. ඒ වගේ බෝට්ටු හතරක් පහක් මුහුදට පහත් කළාට පස්සේ මමත් බෝට්ටුවකට නැග්ගා බෝට්ටුව පදවන්න කෙනෙක් අපේ එකේ නොසිටි නිසා සුපවේදියෙක් එය පැදවුවා. අපි අලූයම ගොඩබිමට කරදරයක් නැතුව ආවා. නැව අනතුරට පත්වුණ තැන ඉඳන් ගොඩබිමට කිලෝ මීටර් 03ක් පමණ තියෙනවා. නැවේ හිටපු අනිකුත් මගීන් බේරා ගන්න පසුදා උදේ නැව් දෙකක් ජග්ලියෝ දූපත් අසලට ගියා. අපේ ඇඟිලි හිරිවැටිලා දැඩි සීතල නිසා අමාරුවෙනුයි හිටියේ. අපි කට්ටිය සීතලෙන් හිටපු නිසා පොරෝණ ලැබුණා. පස්සේ පල්ලියකට ගියා. මට එතෙන්දි නැවත ඉපදුණා කියා හිතුණා. ජීවිතය බේරාගන්න ලැබීම පෙර වාසනාවක් නිසා කියල හිතුනා. දරුවා බිරිඳ මව්පියන් ඥාතීන් මතක් වුණා. මට ඉතාලියේ ඉන්න මගේ බිරිඳගේ පියා මතක් වුණා. මට ඔහුට කතා කරන්න අවශ්‍ය වුණත් දුරකථනයක් තිබුණේ නෑ. මා ඇඳගෙන හිටපු ඇඳුම විතරයි ඉතිරි වුණේ. මා ළඟ හිටියා මාත් එක්ක වැඩ කරපු ඉන්දියාවේ තවත් යාළුවෙක්. ඔහුගේ ජංගම දුරකථනය මට දුන්නා. මම ඒකෙන් ලංකාවේ බිරිඳට කථාකර සිද්ධිය ගැන කිසිවක් නොකියා ඉතාලියේ මාමාගේ දුරකථන අංකය ගත්තා. මම මාමාට කතා කර සිද්ධිය කීවා. මාමා සැනෙකින් ඉතාලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සිද්ධිය දැනුම්දී තිබෙනවා. ඉන් පස්සේ අපි රෝමයේ ලපි‍්‍රන්සිනා හෝටලයට කැටුව ගියා. එහිදී අපට ”රතුකුරුස” සංවිධානයෙන් ඇඳුම් ලබා දුන්නා.” එහිදී අමිලට අත්‍යවශ්‍යව තිබුණේ ශ්‍රී ලංකාවට යාමට තාවකාලික ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීමයි. ඒ සඳහා පින්තූර දෙකක් රැගෙන තානාපති කාර්යාලයට එන ලෙස ඔහුට දැනුම් දුන්නත් ඔහු ළඟ මුදල් ශතයක්වත් නොතිබුණ නිසා ප‍්‍රශ්නයක් වුණා. නමුත් අමිල ඇතුළු පිරිස රෝමයේ ගුවන් තොටුපොළ අසළට රැුගෙන යාමෙන් අනතුරුව ඡුායාරූප ප‍්‍රශ්නය විසඳී ඇත. එහිදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් අමිලට තාවකාලික ගමන් බලපත‍්‍රයක් නිකුත්කර ඇත. අමිල ශ්‍රී ලංකාවට ඉකුත් 19 වැනි දින පැමිණියේය. නැවේ අනතුර පිළිබඳව අමිලගේ මව්පියන් හා බිරිඳ මේ වනවිට සියලූ තොරතුරු දැන සිටි නිසා අමිල කැටුව යාමට ඔවුහු ගුවන් තොටුපළට ගොස් සිටියහ. ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණි අමිල යළි 22 වැනි දින කොළඹ ගුවන් ගමන් බලපත‍්‍ර නිකුත් කරන කාර්යාලයට ගොස් ඇත්තේ නැතිවූ ගුවන් ගමන් බලපත‍්‍රය වෙනුවට නව බලපත‍්‍රයක් ලබා ගැනීමටය. එහිදී ඔහුට නිලධාරින් පවසා ඇත්තේ ගමන් බලපත‍්‍රය නොමැතිව පැමිණි නිසා රුපියල් 10,000ක දඩ මුදලක් ගෙවිය යුතු බවත්ය. එම දඩ මුදල ගෙවූ අමිල නව බලපත‍්‍රය සඳහා අයදුම්පත භාරදී ඇත. අමිල සේවය කළ සමාගමෙන් මෙම දඩ මුදල අමිලට අයකරගන්නා ලෙස උපදෙස් දී ඇති ගුවන් ගමන් බලපත‍්‍ර කාර්යාලයේ නිලධාරින් වැඩි දුරටත් පවසා ඇත්තේ ගුවන් ගමන් බලපත‍්‍රයක් නොමැතිව පැමිණියහොත් කි‍්‍රයාත්මක කිරීමට ඇති නීති රීති පිළිබඳව පැහැදිලි කරමිනි. රටක් රාජ්‍යයක් දිනූ අයුරින් අමිලගේ බිරිඳ හා මව්පියන් මෙන්ම ඥාතීන්ද අමිල වටකරගෙන ඔහුගෙන් තොරතුරු විමසද්දී අමිලගේ සිඟිති පුතු ඔහුගේ කරමත නඟිමින් හුරතල්වන අයුරු දුටු අපි අමිලගෙන් කළ තොරතුරු විමසුමකදී යළිත් මෙසේ පැවැසීය. ”මා සමග නැවේ ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව, චීනය, පේරු හා බ‍්‍රසීල් යන රටවල අය සේවය කළා. අපි ගොඩක් මහන්සියෙන් වැඩ කළා. මට ගොඩක් දුකයි මගේ ළඟම මිතුරකු වන ඉන්දියානු යාළුවා නැතිවීම සම්බන්ධව. ඔහු අතුරුදන් වූ 13 දා තමයි නිවාඩු යාමට හිටියේ. අපි මේ නැවේ දින හතේ චාරිකාවකටයි එක් වෙලා හිටියේ. එක මගියෙක්ගෙන් යුරෝ 2000 ක් (රුපියල් ලක්ෂ දෙකහමාරකට) අධික මුදලක් අයකළා. මගීන් 3400ක් විතර නැවේ හිටියා. මේ වගේ අති සුඛෝපභෝගී නැව් 14ක් එම සමාගමට තියෙනවා. මේ නැවේ වටිනා දියමන්ති ෂෝරූම් එකක් පවා තිබුණා. ඒ සැම ගිලූණා”. අමිලගේ බිරිඳවන වින්ද්‍යා චාමලි පෙරේරා මහත්මිය මෙහිදී අප සමග අදහස් දක්වමින් මෙසේ කීවාය. ”අමිලට සිදුවූ අනතුර ගැන දැන ගත්ත මොහොතේ සිට මම කෑම කෑවෙවත් නිදාගත්තේවත් නෑ. ඔහු දකිනකම් මට අස්වැසිල්ලක් තිබුණේ නෑ. දරුවා ගැන හිතුවම දරාගන්න බැරිවුණා. මට විශ්වාසයක් තිබුණ අමිලට කරදරයක් නොවන බවට. අප බෞද්ධයෝ විදිහට ආගමාණුකූලව ජීවත්වෙන නිසා කරදරයක් වෙන්නේ නෑ, අමිල නැවත නැවේ රැකියාවට යනවාට මම කැමැති නෑ”. ලිපිය නිමා කිරීමට ප‍්‍රථම අමිල අප සමග මෙසේ පැවැසීය. ”මට නැව් සමාගමෙන් මාස 08ක නිවාඩුවක් ලබාදී තිබෙනවා. අපේ මානසිකත්වය ගැන හිතලා ඒ අය ඒ තීරණය ගන්න ඇති. මට මේක මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්. කරදරයක් අනතුරක් වෙනවා නම් ඒක කාටවත් වළක්වන්න බෑ කියන එකයි මගේ විශ්වාසය. නිවාඩු ඉවර වුණ ගමන් නැවත නැවේ සේවයට යනවා මා සමග නැවේ හිටි අය බේරාගන්න වෙහෙස වූ ඉතාලි රජයට හා සියලූම ආරක්ෂක අංශවලටත් ශ්‍රී ලංකාවේදී මට සෑම අතින් උදව් උපකාර කළ සැමටත් විශේෂයෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සැමටත් කෘතඥතාව පුද කරනවා.
ඡායාරූප හා සටහන - මස්කෙළිය ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක, නෝර්වුඞ් රංජිත් රාජපක්ෂ
කොස්ටා කොන්කෝඩියා නැව අමිල මව්පියන් බිරිඳ හා පුතු සමග