නැව මුහුදේ ඇති ආකාරය දැක්වෙන ඡායාරූප
 
නැවේ එන්ජිම

 

ඔහු සිය උත්සාහය අතහැරියේ නැත. කොතරම් වෙහෙස වුව ද නොසිදෙන කුතුහලය සමග නොනිත් ආශාවෙන් මඩනා ලද ඔහු දිගින් දිගටම තමන්ට හමුවූ අපූරු ස්ථානය කුමක් ද යන්න සොයා බැලූවේය. එහෙත් කොතෙක් උත්සාහ ගත්ත ද දිනෙන් දින ඔහුගේ සියලූ ව්‍යර්ථයන් වතුරේ ම දිය වී යයි.

ඒ ස්ථානය ඇත්තේ මුහුදු පත්ලේය. මහ රළ සැඩ පරුෂව නැග එන ගල්කිස්ස මුහුදු වෙරළට කිලෝ මීටර 15ක් බටහිරට වන්නට ගැඹුරු මුහුදේ ඔහු නිතර නිතර කිමිදෙන්නේ හඳුනාගත නොහැකි තරමට සුන් බුන් බවට පත්ව දිරායමින් තිබෙන නැවක් හඳුනාගැනීමේ අපේක්ෂාවෙනි. එය මුහුදු ජලයේ මීටර 57ක් යටින් තැන්පත්ව ඇති විශාල නෞකාවකි. බඳෙහි එක් පැත්තක් විශාල ලෙස හානියට පත්ව ඇත. නැව මධ්‍යයෙන් දෙකට කැඩෙන්නට ආසන්න ව තිබියදී නැව ගිලි ගිය බව පෙනෙන්නට තිබේ. ඔහු නැව වටා යමින් වරෙක ඇතුලතට යමින් නැව ගැන සොයා බැලූව ද සියලූ තොරතුරු වසන් වී ඇත.

ඔහු පරිගණක ක්ෂේත‍්‍රයේ විධායක ශ්‍රේණියේ රැුකියාවක නිරතව සිටියි. ඉඩ ලද සෑම විටෙකම අවශ්‍ය උපකරණ රැුගෙන මුහුදු පත්ලේ කිමිදෙන ඔහු මුහුදට පෙම් බැඳි මිනිසුන් විසින් හඳුන්වන්නේ මුහුදු පත්ල ගවේෂණය කරන විද්‍යාඥයකු හා දියයට ඡුායාරූප ශිල්පියකු ලෙසිනි. දර්ශන ජයවර්ධන නම් මේ තරුණයා ශී‍්‍ර ලංකාව අවට මුහුදේ ගිලී ඇති නෞකා රැුසක තොරතුරු අනාවරණය කැර ගැනීමට පුරාවිද්‍යාඥයන්ට අපූරු සහයක් දුන්නේය.

ඔහු මේ නැව ගැන සොයන්නේ අද ඊයේ නොවේ. අදින් වසර පහකට පමණ කාලයක් සිට සොයමින් සිටියේය. දැනට මාසයකට පමණ පෙරාතුව දර්ශන ජයවර්ධන කරන ලද දැනුම් දීමකට අනුව ගාල්ලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂකයෝ ද ඒ ස්ථානයේ කිමිදී නැව ගැන සොයා බැලූහ.
යළිත් 22 වැනි වතාවටත් දර්ශන නැව අසළට ගොස් ඔක්සිජන් ටැංකි ද සමගින් දියට බැස්සේ නැව අවට යළි පිරික්සීමේ අපේක්ෂාවෙනි. එක් කිමිදුම් වාරයක දී මුහුදු පත්ලේ සිටීමට හැකියාව ලැනේනේ විනාඩි විස්සක් වැනි කෙටි කාලයක් පමණි.
 

නැව ගිලී යන අවස්ථාවේ ගත් ඡායාරූපය
 
සොයාගන්නා ලද සීනුව

එදින හොඳින් හිරු එළිය වැටී තිබිණි. පැහැදිලි අහසත් පැහැදිලි මුහුදු ජලයත් ගවේෂණයේ යෙදෙන දර්ශනයට අපූරු ආශිර්වාදයකි. නිතර නිතර එතැන කිමිදෙන දර්ශනට දැන් නැව හොඳින් පුරුදුය. නැවේ සුන්බුන්වල කොරල් බැඳී විවිධ මුහුදු පැලෑටි වැවී දැන් එතන අති සුන්දර ස්ථානයක් බවට පත්ව ඇත. නේක වර්ණයෙන් යුතු මත්ස්‍යයෝ ඒ මේ අත පිහිනා යති. කුඩා මසුන් ගොදුරු කැර ගැනීමට එන විශාල මසුන් ද මෙහි ගැවසෙති. දර්ශන දිය යට කිමිදී නැව පිරික්සද්දී මසුන් ද ඔහුට බියපත්ව ඈත්වන්නේ ඔහුගේ කාර්යයට ඉඩ හසර වෙන්කරලීමට මෙනි.

දර්ශන හදිසියේ ම යමක් දුටුවේය. එය ඝන්ඨාරයක හැඩැතිය. නැවේ සීනුව විය යුතුයැයි සිතූ දර්ශන එතැනට ගොස් එය ඔසවා බැලීය. කොරල් බැඳී මුහුදු පත්ලේම කොටසක් ලෙසින් දිස්වන එය තරමක් අපසුවෙන් ඉතැනින් ඉවත්කැර ගත්තේය. දියයට ඇති දෙයක් උඩට ගෙන ඒමේ සූදානමක් දර්ශනට තිබුණේ නැත. ඒ නිසා එය රැගෙන යළි උඩට ඒම අපහසු දෙයකි.

ඔහු තීරණයක් ගත්තේය. සීනුව තම කකුල් දෙක අතරට තබා තදකැරගත් දර්ශන සෙමෙන් සෙමෙන් ජලය මතුපිටට පැමිණියේ මහත් බලාපොරොත්තු සමගිනි. ඔහුගේ අපේක්ෂාව අවසන් මොහොතේ මල්ඵල ගැන්වී තිබේ. ගිලී ගිය නෞකාවේ වැදගත්ම අංගයක් වූ සීනුව සොයාගත හැකිවීම විශාල ජයග‍්‍රහණයකි. තමන් ගිය කුඩා බෝට්ටුවට ගොඩවූ සැණින් ඔහු එහි ඇති අකුරු පිරික්සුවේය. වූස්ටර්ෂයර් යන්න එහි සඳහන්ව තිබේ.

දර්ශන විසින් වසර පහකට පෙරාතුව සොයාගන්නා ලද නෞකාව වූස්ටර්ෂයර් ලෙස හඳුනාගන්නා ලද්දේ අදින් සති දෙකකට පෙරාතුවය.
දර්ශන ඒ ගැන මෙසේ කිවේය.

‘‘ නාවුක ගමන් සම්බන්ධ සිතියම්වල වූස්ටර්ෂයර් කියා නෞකාවක් ගල්කිස්සට ආසන්න මුහුදේ ගිලී ගිය බවට තොරතුරු තිබෙනවා. මේ නැව ගිලී ගියා යැයි සඳහන්කැර ඇති ස්ථානයේ එවැනි නැවක් හමුවන්නේ නැහැ. නැව තිබුණේ වූස්ටර්ෂයර් නැව ගිලී ගිය බවට සළකුණු කැර ඇති ස්ථානයට කිලෝ මීටර පහක් ඈතින්. ධීවරයන් විසින් කරන ලද දැනුම් දීමකට අනුව මා අදින් වසර පහකට පෙර නැවට බැස්සත් මට නැව ස්ථිරවම කුමක් ද යන්න හඳුනාගත නොහැකිව තිබුණා. වූස්ටර්ෂයර් නැව විය හැකියැයි සැකයක් තිබුණත් නැව ගිලී ගිය ස්ථානයත් හමුවූ ස්ථානයත් අතර ඇති විශාල පරතරය නිසා ඒ සම්බන්ධයෙන් ගැටළුවක් තිබුණා. සීනුව හමුවීමත් සමග නැව ස්ථිරවම හඳුනාගත හැකිවුණා.

වූස්ටර්ෂයර් නෞකාව ගිලී යාම ද අපූරු කතාන්තරයකි. ඒ පළමු මහා ලෝක සංග‍්‍රාමය ඇවිලෙමින් තිබූ කාලයයි. ශී‍්‍ර ලංකාව බි‍්‍රතාන්‍යයේ ප‍්‍රබල යුද කඳවුරක් වී තිබිණි. බි‍්‍රතාන්‍ය නාවුක හමුදාවට ඉන්දියන් සාගරයේ බලය තබා ගැනීමට ශී‍්‍ර ලංකාවේ කොළඹ, ති‍්‍රකුණාමලය හා ගාල්ල වරාය වැදගත් සංධිෂ්ඨාන වී තිබිණි. මේ නිසාම ජර්මනියේ එක් ඉලක්කයක් වූයේ ශී‍්‍ර ලංකාවයි.

ජර්මන් යුද හමුදාවට අයත් එස්.එම්.එස්. වුල්ෆ් නමැති නෞකාවක් ශී‍්‍ර ලංකාව ආසන්නයට පැමිණ පානදුර ආසන්න මුහුදේ සිට කොළඹ වරායට ඈත සිට දකුණු ඉන්දියාව දෙසට ගමන් කළේ අභිරහස් කාර්යයක නිරත වෙමිනි. ජර්මන් නැවක් පැමිණ වරාය අවට ප‍්‍රදේශයේ ගැවසුණු බව බි‍්‍රතාන්‍ය හමුදා දැන සිටිය ද ඔවුන්ට ඒ ගැන කරුණු අනාවරණය වූයේ නැත.

බි‍්‍රතාන්‍යයේ හමුදා සෙබළු හා විවිධ භාණ්ඩ ප‍්‍රවාහනය කරමින් තිබූ වූස්ටර්ෂයර් නෞකාව 1917 පෙබරවාරි මස 16 වැනිදා සවස ගල්කිස්ස ආසන්න මුහුදෙන් ගමන් කරමින් සිටිය දී හදිසියේම මහ හ`ඩ න`ගමින් පුපුරා ගියේ එදා ජර්මනියේ එස්.එම්.එස්. වුල්ෆ් නෞකාවෙන් ඇටවූ මුහුදු බෝම්බයක් වැදිමෙනි.
මේ හේතුවෙන් නැවේ එක් පැත්තක විශාල සිදුරක් හටගත් අතර ඒ සිදුරෙන් මුහුදු ජලය වේගයෙන් නැවට කාන්දු වෙමින් තිබිණි. හානියට පත් නැවෙන් කොළඹ වරායට දුන් ටෙලිග‍්‍රාෆ් පණිවිඩයත් සමග නැව් කිහිපයක් ම ඒ දෙසට පැමිණිය ද නැව බේරාගැනීමට ගත් උත්සාහ සියල්ල ව්‍යාර්ථ වී ගියේය. පැය දොළහක පමණ කාලයක් ගිලෙමින් තිබූ නැව පසු දා උදෑසන එනම් පෙබරවාරි 17 දා මුළු මනින්ම ගිලී ගියේය.

 

ගිලී ගිය බි‍්‍රතාන්‍ය නෞකාව



වූස්ටර්ෂයර් නෞකාවේ මගීන් හා භාණ්ඩ ප‍්‍රවාහනයට සාදන ලද නැවකි. එය සාදා ඇත්තේ ලෝප‍්‍රසිද්ධ ටයිටැනික් නැව සෑදු කම්හලේ දී වීම විශේෂත්වයකි. අයර්ලන්තයේ බෙල්ෆස්ට් හි පිහිටි හාලන්ඞ් ඇන්ඞ් වුල්ෆ් නමැති නැව් කර්මාන්ත ශාලාවේ මේ නැව සාදා ඇත්තේ ටයිටැනික් නැව සෑදීමට වසර පහකට පෙරාතුවය. ඔහු පවසන්නේ ටයිටැනික් නැවේ සහ මේ නැවේ සමානකම් රාශියක් දක්නට ඇති බවයි.

‘‘ විශේෂයෙන්ම නැව ගිලී ගොස් ඇත්තේ ටයිටැනික් නැව ගිලී ගිය ආකාරයෙන් ම වීම විශේෂත්වයක්. මේ නැව දෙකට කැඩිලා නැහැ නමුත් ජලය ගලා ඒමත් සමග නැවේ ඉදිරිපස තමයි පළමුව ගිලී තිබෙන්නේ. මේ ආකාරයට ගිලීයද්දී නැව දෙකට කැඩෙන්න ඉතා ආසන්නව තිබූ බව නැවේ අවශේෂ පරීක්ෂා කිරීමේ දී පෙනී යනවා. ඒ වගේ ම නැවේ ඉදිරි කොටසේ දකුණු පැත්තේ බෝම්බය වැදුණු බව සැක කළ හැකි ආකාරයේ පුපුරා යාමක් තිබෙනවා. ’’

දර්ශන පවසන්නේ නැව ගිලී යන අවස්ථාවේ ගත් ඡායාරූපයක් තමන් දැක ඇති බවයි.

ලෝක යුද්ධ කාලයේ භාවිතයට ගත් නැව් බොහොමයක කාලතුවක්කු සවිකැර තිබුණු බව සමුද්‍ර පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. දර්ශන මහතා පවසන්නේ මේ නැවේ ද එවැනි කාලතුවක්කු සවිකැර තිබූ බව සිතිය හැකි කොටසක් තමන් දුටු බවයි.

‘‘ නැව බොහෝ සෙයින් දිරාපත්වෙලා දැන් කොරල් පර සැදී ඉතා අලංකාර පරිසර පද්ධතියක් බවට පත්ව තිබෙනවා. මේ ස්ථානය මසුන් ඇතුළු මුහුදු ජීවීන්ගේ රජ දහනක් බවට පත්වෙලා. නැවේ එන්ජින් දෙකක් තිබූ බවට සලකුණු තිබෙනවා. ඉන් එක් එන්ජිමක් පැහැදිලිව හඳුනාගත හැකියි. නමුත් නැවේ දුම්කවුළුව මෙතෙක් දක්නට ලැබුණේ නැහැ. මේ ප‍්‍රදේශයේ ධීවරයන් පවසනවා මුල් කාලයේ නැවේ එක් කුඹගහක් ජල මට්ටමට ඉතා ආසන්නව දක්නට ලැබුණු බව නමුත් දැන් එය දක්නට ලැබෙන්නේත් නැහැ.’’

මුහුදු පත්ලේ තැන්පත්ව ඇති නැවේ අවශේෂවල දිග මීටර 132කි. පළල අඩි 56කි. දර්ශන මහතා පවසන්නේ නැවේ ටෙලිග‍්‍රාෆ් උපකරණ කිහිපයක් ද දක්නට ලැබෙන බවයි. තවත් බොහෝ දෑ මේ නැවේ තිබිය යුතුය. ඒ ගැන ඉදිරියේ දී පුරාවිද්‍යාත්මක පරීක්ෂණ සිදුකැරෙනු ඇත.

නැව හඳුනාගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමුද්‍ර පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා මෙසේ කීවේය.

 

සීනුව ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයට භාරදුන් අවස්ථාව



අපිට මුහුදු පත්ලේ හමුවන නැව් සොයා ගැනීමේ දී ඉතා වැදගත් වන්නේ නැව් ගිලීයාම් සම්බන්ධ වාර්තා. වූස්ටර්ෂයර් නෞකාව ගැන තොරතුුරු තිබුණත් මේ නැව හමුවුණේ එය ගිලී ගියා යැයි කියූ ස්ථානයට කිලෝ මීටර පහක් ඈතින්. ඒ නිසා හඳුනාගැනීම තරමක් අපහසුව තිබුණා. සාමාන්‍යයෙන් අතීතයේ නැවක සංඥා ලබාදීමේ වැදගත්ම අංගයක් වන්නේ නැවේ සීනුව. මේ සීනුවේ නැවේ නම සඳහන්ව තිබෙනවා. ඒ නිසා සීනුව හමුවූ විට නැව හඳුනාගැනීම ඉතා පහසුයි. දර්ශනට මේ සීනුව හමුවීමත් සමග නැව පිළිබඳ තිබූ ගැටලූ නිරාකරණය වුණා.

රසික මුතුකුමාරණ මහතා පවසන්නේ මේ නැව සම්බන්ධ ගවේෂණ කටයුතු ඉතා ඉක්මණින් ආරම්භ කරන බවයි.

දර්ශන ජයවර්ධන මහතා විසින් ගොඩට ගෙන ආ සීනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය භාරයට පත්කිරීමට ඔහු තීරණය කැර තිබිණි. එය කොළඹ සිට ගාල්ලට ගෙනගිය දර්ශන සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයට එය පරිත්‍යාග කළේය.

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථාන භාර නිලධාරී ඩබ්ලිව්.එම්.චන්ද්‍රරත්න මහතා මෙසේ කීවේය.

දර්ශන ජයවර්ධන මහතා විසින් සොයාගත් නැවේ සීනුව අපට භාරදුන්නා. එය ඉතා වටිනා කි‍්‍රයාවක් මෙය මිල කළ නොහැකි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති වස්තුවක්. මෙවැනි දේ මුහුදේ හෝ ගොඩබිම තිබී හමුවූ විට මධ්‍යම සංස්කෘතික අරමුදලට, පුරාවිද්‍යා කාර්යාලයකට හෝ කෞතුකාගාරයට භාර දීම කළ යුතුයි. ජයවර්ධන මහතා රටට හොඳ ආදර්ශයක් දුන්නා.

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් පවසන්නේ සිය රසායනාගාරයේ දී මේ සීනුව සංරක්ෂණය කැර මහජන ප‍්‍රදර්ශනය සඳහා දර්ශන ජයවර්ධන නමින් ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කරන බවයි.

ඡායාරූප දර්ශන ජයවර්ධන මහතා විසින් ගන්නා ලද ඡායාරූප වේ