“අවම බලය” යනු නීතියට අදාළව යෙදෙන්නෙකි. අවම බලයෙන් පසුව උපරිම බලය ආදේශ වෙයි. උපරිම බලය ආදේශ වන්නේ කළ හැකි අන් යමක් නොමැතිම වූ විටය.

කොරෝනා මාරාන්තික වයිරසය ව්‍යාප්තියට එරෙහිව මෙහෙයුම දැන් පැමිණ තිබෙන්නේ උපරිම බලය පාවිච්චි කළ යුතු තැනටය. එසේ නොවුණහොත් මේ රට නිමක් නැති අඝාත අඳුරේ ගිලීමට නියමිතය. නිවෙස් ආශ්‍රිතව රෝගීන් සමූහයක් සිටීමේ 3-ඒ අදියරේ සිට අප රට ගම හෝ නගරයේ හෝ කුඩා රෝගී කණ්ඩායම් වර්ධනය වීමේ 3- බී අදියර දක්වා ගමන් කරමින් සිටීම එයට හේතුවය.

කොරෝනා ආසාදිත වියපත් මිනිසකු නිසා කොළඹ මරදානේ එක් මහල් නිවාස සංකීර්ණයක්ම හුදකලා කිරීමට සිදු වී තිබේ. තම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ඔහු වගකීම් සහගතව ක්‍රියා කළේ නම් මෙම අවාසනාවන්ත තත්ත්වය මග හරවා ගත හැකිව තිබුණි යන්න සත්‍යයට වඩාත් සමීප වේ.

බණ්ඩාරගම අටුළුගම මෙන්ම නුවර අකුරණ ගම්මානද මුළුමනින්ම හුදෙකලා ගම්මාන බවට පත්කර තිබේ. බේරුවල පන්නිල ප්‍රදේශයේ ගමක්ම නිරෝධායනය පිණිස කන්දකාඩුව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරෙණු බව අප පුවත්පත වාර්තා කර තිබිණි. කොරෝනා මාරාන්තික වයිරසය මර්දනය කිරීමේදී සමාජ දුරස්ථකරණය අතිශයින්ම වැදගත්ය. ඉහත කී ගම්මාන මුළුමනින්ම හුදකලා ගම්මාන බවට පත්කරනු ලැබුවේ ඒ අර්ථයෙනි. එහෙත් අප පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කර තිබුණේ අටුළුගම ගම්මානය හුදකලා ගම්මානයක් බවට පත්කර තිබියදීත් ඇතැමුන් සංචලනය වන බවට තොරතුරු වාර්තා වී ඇති බවය.

සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව ඔවුන් කටයුතු නොකරන බවක් ද වාර්තා වී ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය. රෝගය රැළි වශයෙන් පැතිර යාම වළක්වා ගැනීමට නම් සංචලනය 80% ක් වත් සීමාවී තිබිය යුතු යැයි ද ඒ මහතා අවධාරණය කර තිබිණි. මෙම පරිසරය තුළ අවම බලය පාවිච්චි කරමින් මෙම කොරෝනා මාරාන්තික වයිරසයට එරෙහිව මෙහෙයුම ජයගත හැකිද යන්න විමසිය යුතුය.

යුද හමුදාපති, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ රෝගී ස්පර්ශකයන් 27,000ක් පමණ නිරීක්ෂණය වී ඇති බවය. එය එසේනම් අප රට ඉතා භයානක අඩියකට ඇදවැටී ඇති බව ඉතා පැහැදිලිය. අවදානමට වඩා සූදානම ශ්‍රේෂ්ඨ යැයි අදහන ජාතියක වුවද එය එසේ නොවේ යැයි කටයුතු කරන පාපතරයෝ සුළු පිරිසක් සිටිති. ප්‍රශ්නය වන්නේ එම පාපී හා නීච පාපතරයන්ට මුළු රටම මිනී කනත්තක් බවට පත් කිරීමේ හැකියාව තිබීමය. එයට ඉඩදිය යුතුද යන ප්‍රශ්නය මෙහිදී පැන නගින්නේ අප රටේ සෞඛ්‍ය සේවාවේ ඇත්ත තත්ත්වයත් සමග සමීකරණය කිරීමේදීය.

ඇමෙරිකාව, එක්සත් රාජධානිය හා ඉතාලිය වැනි රටවල් සැලකෙන්නේ ලෝකයේ හොඳම සෞඛ්‍ය දර්ශක සහ ධාරිතා සහිත රාජ්‍ය ලෙසය. උදාහරණයක් ලෙස ඉතාලියේ ලක්ෂයකට දැඩි සත්කාර ඒකක ඇඳන් 12ක් තිබේ. අප රට හා සසඳා බලද්දී එය ඉතා ඉහළ තත්ත්වයකි. ඉතාලිය සමග සංසන්දනය කරන විට අපේ රටේ ලක්ෂයකට දැඩි සත්කාර ඒකක ඇඳන් තිබෙන්නේ ප්‍රතිශතයක් වශයෙන් 2-3කි. එනම් මුළු රටේම දැඩි සත්කාර ඇඳන් තිබෙන්නේ හය සියයක් පමණ ප්‍රමාණයකි.

කොරෝනා අසාධ්‍ය රෝගීන්ට මෙන්ම අනෙකුත් අසාධ්‍ය රෝගීන්ට තිබෙන්නේද එම ඇඳන් සංඛ්‍යාව පමණි. රෝගී ස්පර්ශකයන් 27,000ක් නිරීක්ෂණය වී ඇතැයි යුද හමුදාපතිවරයා පවසන විට දැඩි සත්කාර ඒකක ඇඳන් 300කින් පමණ මෙම වසංගතයට මුහුණ දිය හැකි වේද? පවතින අර්බුදයේ දිග පළල තේරුම් ගනිමින් ඉතා හදිසියේ තවත් දැඩි සත්කාර ඒකක ඇඳන් 200ක් පමණ නිෂ්පාදනය කළද සමස්ත සංඛ්‍යාව වන්නේ දැඩි සත්කාර ඒකක ඇඳන් 500කි.

ඇමෙරිකාව, ඉතාලිය හා එක්සත් රාජධානිය වැනි ලෝකයේ හොඳම සෞඛ්‍ය දර්ශක හා ධාරිතා සහිත රටවල් වුවද වර්තමානයේ එම රටවල් මුහුණ දී සිටින්නේ කොරෝනා අධි වසංගත තත්ත්වයටය. මෙහි ඇතැම් රටවල කොරෝනා මාරාන්තික වයිරසයෙන් දිනයකදී මිය යන සංඛ්‍යාව 900ක් ද ඉක්මවා යයි. කොරෝනා මාරාන්තික වයිරසයෙන් ඇමෙරිකාවේ පමණක් 240,000 ආසන්න පිරිසක් මියයනු ඇති බවට ගණන් බැලෙමින් තිබෙන්නේ එහෙයිනි.

අප රටෙන් වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 186කි. මියගිය ගණන 6කි. මුළුමනින්ම සුවය ලබා පිටව ගිය පිරිස 41කි. මෙය ඉතා යහපත් තත්ත්වයකි. එමෙන්ම මෙය මෙම කොරෝනා මාරාන්තික වයිරසයට එරෙහිව දිවි පරදුවට තබමින් සටන් වදිමින් සිටින සෑම පාර්ශ්වයකම කැපවීමේ ප්‍රතිඵලයකි. මෙම තත්ත්වය ආපස්සට හැරවීමේ හැකියාවක් නීච හා පාපී සුළුතරයකට හාකියාව ඇත. ඔවුන්ට එරෙහිව උපරිම බලය යොදා හෝ මේ රට මේ ව්‍යසනයෙන් මුදාගත යුතුය.