(***සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)

කොරෝනා වසංගතයත් සමග මුළු    ලෝකයේ ම ජන ජීවිතය වෙනස් වෙමින් පවතින අවදියක මේ රටේ අධ්‍යාපනය, සාහිත්‍ය කලා කටයුතු ඒ අභියෝගයට මුහුණ දෙන ආකාරය  ගැනත් පසුගිය මැයි 29 වන දාට යෙදී තිබුණු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 130 ජන්ම සංවත්සරය පිළිබඳවත් අදහස් දක්වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශ ප්‍රධාන මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා යි. සිංහල භාෂාව, වාග්විද්‍යාව පිළිබඳ පර් යේෂකයකු හා ග්‍රන්ථ කර්තෘවරයකු වන කෝපරහේවා මහතා, දෙස් - විදෙස් සරසවි කීපයක ම අත්දැකීම් ලබා ඇති විද්වතෙකි.

• පසුගිය වසංගත කාලය මුළු ලෝකයට ම බොහෝ පාඩම් කියා දුන්නා.  මේ  තත්ත්වයත් සමග ඇතිවුණු සමාජ දූරස්ථාභවය අපේ සාහිත්‍ය කලා ක්ෂෙත්‍රයට හා අධ්‍යාපනයට කෙසේ  බලපායි ද?

කොරෝනා වසංගත තත්වයත් සමග ලොව පුරා දෛනික ජීවන රටා වෙනස්වෙමින් තිබෙනවා. මිනිසාගේ සමාජීය ජිවිතයට ඒ නිසා මහත් බලපෑමක් සිදු වී තිබෙනවා. අප පසුගිය කාලයේ දී අවධානය යොමු කළේ මෙම ලෝක වසංගත තත්වය යටතේ ආර්ථික වශයෙන් සිදු වන ප්‍රශ්න ගැන පමණ යි. එසේ වුවත් සෑම රටක ම සාහිත්‍ය කලා අභිවෘද්ධිය අඩාළ කිරීමට මෙම සමාජ දූරස්ථාභවය බලපෑම් ඇති කරමින් තිබෙනවා. එකිනෙකා හමු වී පවත්වන සාහිත්‍ය සාකච්ඡා, සම්මන්ත්‍රණ, දේශනවලට අද අවස්ථාව නැහැ. ඇතැම් විට  මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ සාහිත්‍ය සම්මන්ත්‍රණ පැවැත්වුණත් සිංහල සාහිත්‍යධරයන් හා ලේඛකයන් එවැනි  විද්‍යුත් මාධ්‍ය ඔස්සේ  තම සම්බන්ධතා පවත්වන බවක් පෙනෙන්ට නෑ. එසේ වුවත් ඇතැම් ලේඛකයන් හා ප්‍රකාශකයන් ෆෙස්බුක් වැනි සමාජ මාධ්‍ය බහුල වශයෙන් භාවිත කරන ආකාරය දැක ගන්නට හැකි වුණා. බටහිර රටවල මෙන් සාහිත්‍ය කලා කටයුතු ඩිජිටල්කරණයට ලක් වී නොමැති ලංකාව වැනි රටක අප තවමත් පොත් හලකට ගොස් පොත් මිල දී ගැනීමත්, දේශන ශාලාවකට ගොස් දෙසුමකට සවන් දී ඔවුන් හමු වී කතා බහ කිරීමටත් කැමති යි. නමුත් කොරෝනා වසංගත තත්වය ඒ සියල්ල වෙනස් කර තිබෙනවා. ලංකාවේ සාහිත්‍ය කලා ක්ෂේත්‍රය කොරෝනා අභියෝගය සමග වෙනස් විය යුත්තේ කෙසේ ද ? යන්න අවධානයට ලක් විය යුතු මාතෘකාවක් බවයි මගේ හැගීම.

එසේ වුවත් අනෙක් අතට කොරෝනා වසංගත තත්ත්වය නිසා මාස දෙකකට අධික කාලයක් නිවෙස්වලට වී සිටිම නිසා  පතපොත කියවන්නට, ලියන්නට අමතර කාලයක් උදා කර දුන්නා. නව සාහිත්‍ය නිර්මාණ, පරිවර්තන හා ශාස්ත්‍රීය ගවේෂණ සඳහා අවැසි විවේකය ලැබුණු බව කිව යුතු යි.  එදිනෙදා දෛනික වෘත්තීය ජිවිතයේ වගකීම් හා මහමග ගත කළ කාලයෙන් මිදුණු විවේකි පරිසරයක් නිර්මාණකරුවන්ට ලබා දුන්නා.

මා කල්පනා කරන පරිදි කොරෝනා වසංගත තත්ත්වය මේ රටේ අධ්‍යාපනය නැවත සකස් කිරීමට එක්තරා ආකාරයකින් බල පා තිබෙනවා. විශේෂයෙන් ම පසුගිය මාර්තු මාසයේ සිට පාසල් දින නියමයක් නැති පාසල්  වැසි යාමත් සමග දරුවන්ට අසීමිත නිදහසක් ලැබුණු බව පැහැදිලි යි. කොරෝනා නිසා ලැබුණු නිවාඩුව නිසා විෂයමාලා බර දරා ගත් පෙළ පොත්, තරඟකාරී වාර විභාග හා කට පාඩම් ආදියෙන් තොර ව නිදහසේ කැමති පොතක් කියවන්නට, ඇළක - දොළක - කුඹුරක  හා ගස් කොළන්වල  සුන්දරත්වය දකින්නට දරුවන්ට කාලය ලැබුණා. තම ජිවිත කාලයෙන් බොහෝ කලකට පසු ඇතැම් දරුවන්ට තම දෙමවුපියන් සමග එක්ව අහස - වළා - සඳ - තාරකා දකින්නට අවස්ථාව ලැබුණා. නිවසට වී  දෙමවුපියන්ගෙන් කතාවක් අසා ගන්නට දරුවන්ට හැකි වුණා.  මට මෙහි දී මතක් වන්නේ අදින් සියවසකටත්  පමණ පෙර සමාජයක පිය -පුතු සබඳතාව හෙළි කරන කුමාරතුංගයන්ගේ මේ පැදිය යි.

පොළොව ආස වලා සඳ තාරකා -  සෙවණ ගස් ලිය ආදිය දක්වමින්
නුවණ දෙන්නට කී ඒ කතා සෙමෙන්  - හැඩගැසී යැ මගේ දිවි මේ විලස් (පිය සමර)
•   මෙම කොරෝනා  කාලයේ දුරස්ථ අධ්‍යාපන ක්‍රියාකාරකම් සදහා පරිගණක හා විද්යුත් තාක්ෂණික මෙවලම් ගැන වැඩි අවධානය ක් යොමු වුණ බව පෙනෙනවා .ඒ තත්ත්වය සිංහල භාෂා පෝෂණය ට අහිතකර ලෙස බලපානු ඇති බවට ඇතැම් අය පෙන්වා දෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද ?

මා නම් කල්පනා කරන්නේ භාෂාවේ සහ අනෙක් සෑම අංශයක ම අභිවෘද්ධිය සඳහා තාක්ෂණය අවශ්‍ය යි. එසේ වුවත් සිංහල  භාෂාව වැනි විෂයක පිරිපුන්  දැනුමක්  තාක්ෂණික මෙවලම් මගින් පමණක් ලබා ගත නොහැකි යි. නිදසුනක් වශයෙන් කුමාරතුංග මුනිදායන්ගේ පතපොත කියවීමෙන් ලබා ගත හැකි සිංහල භාෂා ඥානය අන්තර්ජාලයේ ඇති සිංහල මුලාශ්‍රයවලින් ලබා ගන්න බැහැ. එසේ ම පාසලක හෝ සරසවියක ගුරු භූමිකාවත් අන්තර්ජාලයේ ගුරු භූමිකාවත් දෙකක්. පන්ති කාමරයක ඉගැන්වීම වටා ගුරු භූමිකාව, පරිසරය, සමාජය යන සියල්ල ම ඇතුළත්. අධ්‍යාපනයේ අරමුණ විෂය නිර්දේශය  ඉගැන්වීම පමණක් නොවේ. මෙරට දී මෙන් ම පිටරටවල දීත් අපට උගැන්වූ සමහර ගුරුවරුන් විෂය නිර්දේශයට වඩා සැලකුවේ දැනුම සොයා යන සැටි ඉගැන්වීමට යි.  

අනෙක් අතට පන්ති කාමරයක ඉගැන්වීමට සකස් කළ විෂයමාලාවක් මාර්ගගත Online ඉගැන්වීම් සඳහා යොදා ගැනීමේ දී වෙනස්කම් කළ යුතු යි.  එසේ ම සුහුරු දුරකථන මාර්ගයෙන් මාර්ගගත අධ්‍යාපන ක්‍රියාකාරකම් සිදු කරන්නේ කෙසේ ද? දරුවන් තාක්ෂණික මෙවලම් සඳහා දක්වන රුචිය නිසා ඇතැම් විට පතපොත කියවන දරු පරපුරක් වෙනුවට ඩිජිටල්කරණයට ලක් වූ දරුවන් පිරිසක් අනාගතයේ දී ඇති විය හැකි යි. මේ කොරෝනා නිවාඩුවේ දී ලැබුණු අවස්ථාව නිසා ඇතැම් දරුවන්ට පරිසරයෙන් ලැබූ දැනුම පොතින් ලබා ගත හැකි දැනුමට වඩා වැඩි අත්දැකීමක් වුණා.


•   විභාග ඉලක්කගත වර්තමාන  අධ්‍යාපන පරිසරය තුළ දරුවන්ගේ නිර්මාණ ශිලි චින්තනය පුබුදු විමට ලැබෙන ඉඩ කඩ ඉතාම සිමා සහිත බව තවත් මතයක්. මේ ගැන ඔබේ මතය කුමක්ද ?
විභාග ඉලක්කගත අධ්‍යාපනය නිසා අපේ රට දරු පරපුරට පසුගිය දශක හතරක පමණ කාලයක් තිස්සේ ඇති වූ අනිටු විපාක අප අත්විඳිමින් සිටිනවා.පහ වසර ශිෂ්‍යත්වය,  සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පමණක් නොව අප පාසල් ගිය කාලයේ ඉතා සැහැල්ලු‍වෙන් මුහුණදුන් වාර විභාග පවා අද තරඟකාරී බවට පත් වී තිබෙනවා. නිර්මාණශීලි චින්තනය අවදි වන්නට නම් නිදහසේ, ආසාවෙන්  ඉගෙන ගන්නට  අවස්ථාව තිබිය යුතු යි.  විභාග බර හිස දරා ගත් දරුවෙකුගෙන් නව නිර්මාණ බලාපොරොත්තු විය නොහැකි යි. ඇතැම් පාසල් දරුවන් මේ කොරෝනා නිවාඩුවේ දී නව නිර්මාණ, නිපැයුම්  කරන්නට පෙළඹුණේ නිදහසේ සිතන්නට, වැඩ කරන්නට සුදුසු පරිසරයක් ඔවුන්ට ලැබුණු නිසා විය හැකි යි.

•අධ්‍යාපනය සහ නිර්මාණශිලි චින්තනය සම්බන්ධව අවධානය යොමු කිරිමෙි දි මාර්ටින් වික්‍රමසිංහ වැනි චින්තකයකු අප නුතනයට ගළපා ගත යුත්තේ ඇයි  ?
මාර්ටින් වික්‍රමසිංහ ඉපදුණේ අදින් වසර 130කට පෙර (1890)  කොග්ගල දී. උසස් විදුහලකින් හෝ වෙනත් අධ්‍යාපන ආයතනයකින් විධිමත් අධ්‍යාපනයක් නොලැබුවත් වික්‍රමසිංහ,ිකොග්ගල මහා ප්‍රාඥයා’ ලෙස බුහුමන් ලැබුවා. මා නම් සිතන්නේ මාර්ටින් වික්‍රමසිංහ විධිමත් අධ්‍යාපනයක් ලැබුවා නම් ප්‍රාඥයකු වන්නේ නැහැ. ඔහු කුඩා වියේ සිට ම සම වයසේ සිටි දරුවන් සමඟ රංචු ගැසී දඟකාරකම් කළා. ගමේ ජිවත් වූ ගැමියන්, සතුන්, ගස් කොළන්,  කොග්ගල ඔය,  මුහුදු වෙරළ නිසා ඔහුගේ කුහුල, නිර්මාණ ශක්තිය  අවදි වුණා. සුන්දර ළමා ජීවිතයක් ගත කළා.

ළමා කාලයට අයත් වූ ස්වාභාවික ලෝකය වෙනුවට වත්මන් පාසැල් දරුවන්ගෙන් වැඩි දෙනෙකුගේ  කාලය මුළුමනින් ම කැප වන්නේ විෂයමාලාවට  අයත් පාඩම් ඉගෙනීම, පෙළ පොත කියවීම, උපකාරක පන්තිවලට යෑම ( මේ දිනවල නොමැති වුවත්)  විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීම හෝ පරිගණක  වැනි කටයුතු සඳහා ය. “ පාඨශාලාව ඇතුළත දී පොතපතින් පමණක් උගන්නා ශිෂ්‍යයාගේ බුද්ධි විකාශයෙහි ඇතැම් පක්ෂයක් අසම්පූර්ණ ය” යනුවෙන් වික්‍රමසිංහ වරක් සඳහන් කර තිබෙනවා. එහෙත් වර්තමානයේ දැකිය හැකි වන්නේ පාඩම්වල හා විභාගවල බර හිස දරා ගත් ළමා පරපුරක් හා ඒ විෂයමාලා ඉගැන්වීමට වෙහෙසෙ දරන ගුරු පරපුරක්. ලොව ප්‍රකට ලේඛකයන්, උගතුන් හා විද්‍යාඥයන්ගේ පසුකාලීන නිර්මාණ හා නිපැයුම් සඳහා පදනම ඇති වන්නේ ඔවුන් කුඩා කල ලැබූ අත්දැකීම් ඇසුරින්.

ස්වයං අධ්‍යයනය වික්‍රමසිංහයන්ගේ ජිවිතයේ තිබු විශේෂ ලක්ෂණයක්. විධිමත් පාසල් හා උසස් අධ්‍යාපනයක් ඔහුට හිමි වුණේ නෑ. නොතිත් ආසාවෙන් පතපොත කියවා අවට පරිසරයෙන් හා ජිවන අභියෝග හා අත්දැකීම්  ඔස්සේ දැනුම ලබා ගැනීමට  අදින් සියවසකට පමණ පෙර විසු තරුණයකු දරූ වෑයම වික්‍රමසිංහ ජිවිතය දෙස බලන විට කැපී පෙනෙනවා.

•   වික්‍රමසිංහයන් සිදු කළ භාෂාත්මක විප්ලවය අපේ සමාජයේ ප්‍රමාණවත්  ලෙස සාකච්ඡා වි තිබෙනවා ද ?
නූතන භාෂාවක් ලෙස සිංහලය සකස් කරන්නට වැඩි ම මෙහෙවරක් කළේ මාර්ටින් වික්‍රමසිංහ යි. මේ ගැන විද්වතුන් දක්වා ඇති අවධානය ප්‍රමාණවත් නෑ. සිංහල සාහිත්‍ය විචාරය ගැන පමණක් නොව මානව විද්‍යාව, පරිණාමවාදය, දර්ශනය වැනි විෂය ගණනාවක් ගැන සිංහලයෙන් ලියන්නට පුරෝගාමී වුණා. ඔහු පරිණාම වාදය ගැන සිංහලයෙන් පොතක් ලියන්නේ 1934 දී - අදින් වසර 86 කට පෙර ! අදටත් මේ විෂය ගැන සිංහලයෙන් පොතක්  ලියන්නට සමත් ලේඛකයන් කී දෙනෙකු අද අප අතර සිටිනවා ද? පොදු ජන බස අගය කරමින් වික්‍රමසිංහ සිදු කළ භාෂා විප්ලවය නිසා  සිංහල භාෂාවෙන් නව දැනුම ලබා දීමට හැකි වුණා.
•   සිංහල  භාෂා භාවිතයේ ගැටලු‍වක් ඇති බව ඔබ නිතර මතු කරන කරුණක්.ඒ තත්ත්වය ට මුහුණ දිය හැක්කේ කෙසේද? රජයේ අවධානය මේ  කෙරෙහි කෙසේ යොමු විය යුතු ද?
සිංහල භාෂා භාවිතයේ ප්‍රමිතිය ගැන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව කීප වතාවක් මා පෙන්වා දී තිබෙනවා. පාසල් මට්ටමේ සිට භාෂාවේ සම්මත ව්‍යවහාරය ගැන හොඳ දැනුමක් දරුවන්ට ලබා දිය යුතු  වෙනවා. නමුත් සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු සිංහල භාෂාව ගැන හැදෑරීමට බොහෝ දෙනෙකුට අවස්ථාව නෑ. සිංහල විෂය ඉගැන්වීම කළ යුත්තේ සරසවියක හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයක සිංහල හදාරා සුදුසුකම් ලත් අය පමණ යි. සිංහල භාෂා රීතිය ගැන ලියැවුණු පොත් ඇසුරු කිරීමට ගුරුවරුන්, ජනමාධ්‍යවේදීන් යොමු විය යුතු යි.  සිංහල භාෂාවේ පරිචයක් ලබා තිබීම වෘත්තීයභාවය නංවන ලක්ෂණයක්.