(ධම්ම දිසානායක විසිනි)

මෙවර ලිපිය, මේ මොහොතේ ගෝලීය කොරෝනා ව්‍යසනය කේන්ද්‍රීයව මතුවන, නව ලෝක විකල්පයක් පිළිබඳව වන, බුද්ධිමය-මතවාදීමය සංවාදය තුළ මතුවන තර්කවලට දක්වන තවත් ප්‍රතිචාරයකි. එහෙමත් නැත්නම් මැදිහත් වීමකි.

අපේ පාඨකයනි, ඔබද ඉතා සාවධානව මේ කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ මගේ ඉල්ලීමකි.

ලෝකයම අද මුහුණ දෙමින් සිටින්නේ බරපතළ ආණ්ඩුකරණ අර්බුදයකට ය. නොඑසේ නම් සියවස් තුනකට ආසන්න කාලයක් තිස්සේ ලෝක බලවතුන් විසින් මුළුමහත් මානව සංහතිය පමණක් නොව පෘථිවියම තම අණසකට යටත් කරගනිමින් විවිධ උපාය මාර්ග මගින් සඟවා තැබූ මේ වනවිට මතුපිටට පැමිණ ඇති අර්බුදයකට ය. ආර්ථික ආණ්ඩුකරණය, දේශපාලන ආණ්ඩුකරණය, වෙළඳපොළ ආණ්ඩුකරණය, සමාජ ආණ්ඩුකරණය යන ඒවා සමඟ ඒකාබද්ධ වූ ධනපති ගෝලීය ආණ්ඩුකරණ සමස්තයම දැන් වනවිට ඇත්තේ දැවැන්ත සහ ගැඹුරු කළු කුහරයක ය. අර්බුදයක ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි පරිවාර සංවිධාන ධනේශ්වර ගෝලීය ආණ්ඩුකරණයට සහේතුක භාවයක් ලබා දුන්නේය. එහෙත් දැන් ඒ සියල්ල අර්බුදයේ ය.

තවදුරටත් අප මෙය පැහැදිලි කර ගනිමු. මෙම අර්බුදය වනාහි ධනපති ක්‍රමයේ ගෝලීය ආර්ථිකකරණය, ගෝලීය වෙළඳපොළකරණය සහ ඊට අනුබද්ධ ගෝලීය බල ආධිපත්‍යය සඳහා වූ ගෝලීය දේශපාලනීකරණය යන ත්‍රිකෝණමිතික සම්බන්ධයේ ප්‍රතිපලයකි.

ගෝලීයකරණය යනු ධනපති ක්‍රමය නමැති භෞතික - මානසික - කායික වසංගත රෝගයේ රෝග වාහකයෙකි. ඒ අනුව ධනේශ්වර ගෝලීයකරණය යනු මෙවැනි ව්‍යසන සහ අර්බුදවල මාපියන් නොව ඒවා පෘථිවිය පුරා ව්‍යාප්ත කරන වාහකයෝය. ඒජන්තයෝය. තවත් පැත්තකින් බලන විට, මේ අර්බුදය වනාහි, මානව සමාජයේ සියලු‍ අංශ ඒකාධිකාරී ආධිපත්‍යයකට යටත් කරමින් වර්ධනය කළ ධනපති ආර්ථික – දේශපාලන – සමාජ - සංස්කෘතික මොඩලයෙහි පරාජයකි, සංවර්ධන මොඩලයෙහි කඩා වැටීමකි.

සරලව නම් එය ගෝලීය ආණ්ඩුකරණයේ (Crisis of global governance) අර්බුදයකි. ඒ අර්බුදය සියලු‍ රාජ්‍යයන් බරපතළ ආණ්ඩුකරණ අර්බුදයකට ඇද දමා ඇත. ඇත්තටම ලෝක බලවතුන් සහිත රටවලත් අප වැනි රටවලත් පාලකයන් කරමින් සිට ඇත්තේ බල දේශපාලනයම මිස මනාව - සොබාදම් කේන්ද්‍රීය ජාතික ආණ්ඩුකරණයක් නොවන බව වැටහෙන්නේ දැන්ය. ඒත් ටික දෙනෙකුට ය.

බොහෝ පාලකයන් බල දේශපාලනයේ සහ ඔය කියන ජාතික ආණ්ඩුකරණයේ වෙනසවත් දන්නේ නැත. අන්තර් මහද්වීපික මිසයිල්, අග්නි මිසයිල්, මිනිසුන් සිරගත කළ මෙට්‍රෝ නගර, අහස සිඹින ගොඩනැගිලි සහ කුළුනු හදපු සහ සඳ තරු ග්‍රහලෝක තරඟයට තරණය කළ අය තම බල පෙරේතකම මිස වෙන කිසිවක් නොතැකූ බව දැන්නම් වටහාගත යුතුමය. පුහු දියුණුවේ මහිමය. තම දෙපා යටින් සිදුවන මහා විපත්තිය ගැන වගේ වගක් ඔවුනට තිබුණේ නැත. එහෙත් දැන් සමස්ත පදනම ම අනතුරේ වැටී තිබේ.

ගෝලීය සහ ජාතික වශයෙන් මුහුණ දී ඇති මේ අර්බුදය විසින් සපයන වැදගත් අවකාශයක් ඇති බවද අප හඳුනා ගත යුතුය. නිසි ලෙස කටයුතු කළහොත් ඒ අවකාශය වනාහි, ගෝලීය වශයෙනුත් ජාතික වශයෙනුත් ඥාන වීමංශාත්මක විඛණ්ඩනයකට මඟ පාදන එකක් ය. එහිදී අප ප්‍රවේශ විය යුතු නව ඥාන මීමංශාව කොරෝනාවලින් පසු ආර්ථික, දේශපාලන, වෙළඳපොළ, තාක්ෂණික සහ සංවර්ධන යනාදී වශයෙන් වූ නව ලෝක සහ ජාතික සුසමාදර්ශ සඳහා හේතුවනවා සේම ඒ මගින් අර කළු කුහරය විනිවිද ගොස් නිසි ලෙස අර්බුදය හඳුනාගැනීමේ රශ්මි දහරා නිර්මාණය කරගත හැකිවනු ඇත. එපමණක් නොව නව ලෝක-ජාතික පදනමක්, රටාවක්, රාමුවක් සහ පිළිවෙළක් නිර්මාණය කර ගැනීමට ඒ හරහා හැකිවනු ඇත.

ඇත්තටම ලෝකය පුරා මානව කේන්ද්‍රීය සහ සොබාදම් කේන්ද්‍රීය නැතහොත් සමස්තයක් ලෙස පෘථිවි කේන්ද්‍රීය අප වැනිම වූ සිතන්නන් කාලයක සිට මතු කළ, පෙන්වා දුන් පවතින ක්‍රමයේ නොගැලපීම සහ නොගැලපීමේ භයානක ප්‍රතිවිපාක තුට්ටුවකට මායිම් නොකළ ගෝලීය ඒකාධිකාර කඩා වැටී ඇත්තේ ඒ ඒකාධිකාර නඩත්තු කළවුන් මතට පමණක් නොව ඔවුන් විසින් අන්ත අසරණ භාවයට පත්කරන ලද පෘථිවිය සහ පෘථිවිවාසී සියල්ලම මතට ය. දැන් මුළු ලෝකයම ආ මඟ වැරදි බව පසක් කර ගනිමින් සිටී. එක්කෝ එවැනි පසක් කර ගැනීමකට අවැසි තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. එක්කෝ ගුණකථන නොපවත්වාම පැවති ක්‍රමය මිහිදන් කිරීමට අවැසි පසුබිමක් නිර්මාණය වෙමින් පවතී.

කරු පරණවිතාන මගේ පෞද්ගලික මිතුරෙකි. ඔහු දක්ෂ ලේඛකයෙකි, කවියෙකි, ගී පද රචකයෙකි. පාර්ලිමේන්තුකාරයෙකි. මෑතකදී ඔහු ලිඛිතව ඉදිරිපත් කළ අදහසක් වූයේ, මානව සමාජයට “නිදහස නමැති දායාදය” ප්‍රදානය කළ ලිබරල්වාදය ගුණකථනයක් නොපවත්වාම මිහිදන් කිරීම නුසුදුසු බවය.

කුමන ගුණ කථනද? එහෙත් පරණේ වැනි අපගේ මිතුරන්ට අනුව ධනපති ලිබරල් ආර්ථික - සමාජ ක්‍රමය මිහිදන් කළ යුත්තේ ‘ලිබරල් ප්‍රතිමාන’ ගැන ගුණකථන පැවැත්වීමෙන් අනතුරුවය. එහෙත් එහිදී අප අමතක නොකළ යුත්තක් ඇත. ධනපති ක්‍රමය භාවිතා කළ ලිබරල් අයිසින් තවරණ, එකී මොඩලයට එරෙහිව දැවැන්ත ක්‍රියාවලියක නිරතව සිටි සමාජවාදී ව්‍යාපාරවලින් උපුටාගත් ඒවාය. එසේම අර්බුදයට යාමට ඉඩ ඇති තම මොඩලය ආරක්ෂා කර ගැනීමේ දිය අගල්ය. පසුව, සමාජය සඳහා වූ ලිබරල් ප්‍රදානයන්ය යනුවෙන් හංවඩු ගැසූ නිදහස, සමානාත්මතාව, මානව අයිතීන්, සාධාරණත්වය, යුක්තිය, අධ්‍යාපන සහ සෞඛ්‍ය අවස්ථා, යනාදිය සහ තවත් බොහෝ දෑ සමාජවාදී ව්‍යාපාරවල පුරෝගාමීන් නිර්මාණය කළ, මතුකළ සහ සමාජය තුළ පැලපදියම් කිරීමට ශ්‍රමය සහ ජීවිත කැපකළ ඒවාය.

ෆුරියර්, මෝර්, ඕවන්, සිමොන් වැනි සංකල්පීය මත සැකසූ සමාජවාදීන්ද මාර්ක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොස්කි වැනි ක්‍රියාකාරී-අරගලකාරී සමාජවාදීන්ද ඒ සඳහා වූ නිසි ගුණකථනවලදී නම් සඳහන් කළ යුතු පුරෝගාමියෝ වෙති. සරල උදාහරණයකින් මෙය පැහැදිලි කර ගනිමු.

 බැංකුවක තැන්පත් කළ මුදල ඒටීඑම් මැෂිමකින් ගත්විට ඒ මැෂිම හෝ බැංකුව සඳහා ගුණකථන පැවැත්විය යුතුද? ලිබරල් යැයි කියාගත් මානව සාරධර්මද, සමාජවාදී ව්‍යාපාරවලින් කොපි කරගෙන, ධනපති ක්‍රමයේ පැවැත්මට තැන්පත් කරගෙන සිටි සහ සිටින ඒවා මිස ඒවා ඔවුන්ගේ ප්‍රදාන හෝ නිර්මාණ නොවන බව අපගේ මිතුරන් තේරුම් ගත යුතුය. ඒවා ඔවුන්ගේ නොව අපේය.

තවත් අතකින් බලන විට, මුල්කාලීන ලිබරල් ප්‍රතිමාන ධනපතීන්ගේ පැවැත්ම සඳහා පමණක් ධනපතීන් ඒවා රාජාණ්ඩුවලින් බලහත්කාරයෙන් ලබාගත් බව ඇත්තකි. එහෙත් ඒ සහ අනෙකුත් පසුකාලීන ප්‍රතිමාන සමාජ ගතවුණේ සාමාන්‍ය ජනයාගේ සහ ඔවුන්ට මග පෙන්වූ ප්‍රගතිශීලී සමාජ ව්‍යාපාරවල, ප්‍රබල ක්‍රියාකාරිකයින්ගේ සහ නායකයන්ගේ ශ්‍රමය සහ රුධිරය කැප කිරීම්වල අනුහසින් මිස ධනපති ලිබරලු‍න්ගේ ප්‍රදාන හැටියට නම් නොවේ. ඉතින් ගුණකථන කුමකට ද?

එසේම ලිබරල් වාදය විසින් දායාද කරන ලදැයි කියන ‘නිදහස’ මහපොළොවට, මිනිසුන්ට, අපා දෙපා සිව්පා බුහුපා සතුන්ට, අහසේ පියාසලන කුරුළු කොබෙයියන්ට, ගහකොළට, අහසට, මුහුදට, හුළඟට, ඇල දොළට, ගංගාවලට, විල් සහ පොකුනුවලට තවමත් නොලැබුණේ ඇයිද යන්න අපගේත් අප මිතුරන්ගේත් විමසුමට ලක් විය යුතුමය. ධනපති භාණ්ඩ සහ සේවා වෙළඳපොලේ විකිනෙන්නට ඇති නිදහස මිස ඒ කල්දේරමේ තැම්බෙන්නට ලැබුණු නිදහස මිස පොදු ජනයාට ද ලැබුණු නිදහසක් නොමැත. ධනපති ක්‍රමයේ පැවැත්මට අවැසි වහල් සහ සිරගත ‘නිදහසක්’ මිස, මුළුමහත් මානව සමාජයත් සොබාදහමත් විනාශයෙන් විනාශයට ගෙන යෑමේ අඥාන මෝඩ නිදහසක් දායාදයක් මිස ලැබුණු හරයාත්මක සහ ප්‍රගතිශීලී නිදහසක් හෝ දායාදයක් නොමැති බව අප තේරුම් ගත යුතුය.

මෙවැනි පසුබිමක ස්වදේශිකවාදය යනු කළු කුහරයක් නොවේ. එය මානව-සොබාදම් කේන්ද්‍රීය නව ලෝක රටාවක් සඳහා වූ සාර්ව දැක්මක් ය. ඒ දැක්මේ ක්‍ෂුද්‍ර පදනම ග්‍රාමවාදය ය.

අප නව ආණ්ඩුකරණයේ පළමු පියවර තැබිය යුත්තේ ගම සංවිධානය කිරීමටය. ස්වදේශිකවාදය යනු හුදකලාවාදයක් ද නොවේ. එය ස්වයංපෝෂිතවාදයකි. පෝෂිත රටවල් ලෙස, රටකට රටක් ගැති නොවන නව ගෝලීය සන්දර්භයක් තුළ ලෝක සම්බන්ධතා නඩත්තු කරන අලු‍ත් මාර්ග සිතියමකි. බල දේශපාලනය ද්විතියික කොට, අර මාර්ග සිතියම මත පදනම්ව, දේශීය ආණ්ඩුකරණය ප්‍රමුඛ කළහොත් එය පවතින ධනපති ගෝලීය ආණ්ඩුකරණයේ ඓතිහාසික අර්බුදයෙන් අතාර්කික වන පැවති ලෝක පිළිවෙළ සහ සමාජ-ආර්ථික-දේශපාලන රාමුව වෙනුවට, නව ලෝකයක් ගොඩ නගා ගැනීමට අපට උපකාරී වනු ඇත යන්න මගේ අදහසය. ඒ සඳහා පාර්ලිමේන්තුකාරයන් කෙසේ වෙතත් මහජන සමාජය විසින් බල දේශපාලනය සහ ජාතික ආණ්ඩුකරණය අතර වෙනස, සහ සම්බන්ධය මනාව තේරුම් ගත යුතුය.