මෙයට වසර 6කට පෙර 2006 දෙසැම්බර් 1 දා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකට ඉලක්ක වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ අති බිහිසුණු අත්දැකීම ගැන ප‍්‍රථම වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව. ”යුද්දෙ තියෙන කාලෙ හැම බදාදාම ආණ්ඩුවෙ ආරක්ෂක මණ්ඩලය රැස්වුණා. ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් තමයි මේ රැස්වීම තිබුණේ. මට මතක හැටියට දෙදාස් හයේ මැද හරියෙ දවසක ආරක්ෂක මණ්ඩල රැස්වීමට ඒකාලෙ බුද්ධි අංශය භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක මහත්මය අතිශය රහසිගත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළා. ඒකෙන් කියැවුණේ විශේෂ ප‍්‍රභූන් ගණනාවකට දැඩි ජීවිත තර්ජන එල්ලවී තිබෙනවාය කියල. තර්ජන තිබෙන අයගෙ නමුත් ඔහු කිව්ව. මුලින්ම ඒ ලැයිස්තුවෙ සඳහන් වුණේ ජනාධිපතිතුමාගෙ නම. දෙවනුව සඳහන් වුණේ ආරක්ෂක ලේකම් හැටියට මගේ නම. ඊළඟට ති‍්‍රවිධ හමුදා පතිවරුන්ගේ නම් සඳහන් කළා.

 

ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විස්තර කරයි

මේ වාර්තාවට සවන් දුන්නම හැමෝම ඒ ගැන අවධානය දැක්වූවා. නමුත් ජනාධිපතිතුමා තදින්ම කිව්ව මේ සියලූ දෙනාගෙ ආරක්ෂාව තර කරන්න කියල. විශේෂයෙන් ගමන් බිමන්වලදී පරෙස්සම් වෙන්න කියල අවවාද කරන ගමන්ම ජනාධිපතිතුමා වහාම නියෝග කළා තර්ජන තියෙන මේ කාටත් වෙඩි නොවදින කාර් සපයන්න කියලා. ඒ වෙන කොට අපි කාටවත් වෙඩි නොවදින වාහන තිබුණෙ නැහැ. හමුදාපතිවරුත් මමත් ගමන් කළේ සාමාන්‍ය වාහනවල.” මා ඉදිරිපිට සැහැල්ලූවෙන් අසුන් ගෙන සිටින ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පෙරවදන සපයන්නේ සිය ජීවිතයේ කිසිදා අමතක නොවන ඒ බියකරු මොහොත ගැන ආවර්ජනය කිරීමට සූදානමිනි. කොටි සංවිධානයේ නායකත්වය දැරූ ඒ වියරු මිනිසා මෙයට වසර හයකට පෙර 2006 දෙසැම්බර් 01 දා තිළිණ කළ බිහිසුණු අත්දැකීම ගැන අද ඔහු උපේක්ෂා සහගතය. ”තර්ජන තියෙන අයට වෙඩි නොවදින කාර් දෙන්න කිව්වට ඒව එක පාර මිලදී ගන්න බැහැ.  මාස ගණනක් යනව ඒව ගේන්න. ඒ ගමන ජනාධිපතිතුමා තමන්ගෙ වාහන පූල් ඒකේ තිබුණ පරණ වෙඩි නොවදින කාර් හතරක් වහාම මටයි සරත් ෆොන්සේකාටයි. වසන්ත කරන්නාගොඩටයි ඩොනල්ඞ් පෙරේරාටයි වෙන් කරල දුන්නා. අලූත් කාර් ගේනකම් පාවිච්චි කරන්න කියලා. මේව හිටපු ජනාධිපිතවරුන්ගේ කාලෙ ඉඳල තිබුණ පරණ බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර්. වාසනාවට මම ඔය බෝම්බ ප‍්‍රහාරය දවසෙ ගමන් කළේ මේ වාහනේ. වෙනදා වගේ සාමාන්‍ය වාහනේක ගියා නම් සේරම ඉවරයි. ඒ වන විට කොටි සංවිධානය දැඩි භීෂණයක් මුදා හරිමින් සිටියේය. කෙසේ හෝ ඔවුන්ට හමුදාපති සරත් ෆොන්සේකාට හමුදා මූලස්ථානය තුළදීම ප‍්‍රහාරයක් එල්ල කරන්නට හැකි විය. හමුදාපති සරත් ෆොන්සේකා ඒ ප‍්‍රහාරයට මුහුණ දුන්නෙ හමුදා මූලස්ථානය ඇතුළෙදියි. හමුදා මූලස්ථාන ඇතුලෙ ගමන් කරන කොට සාමාන්‍ය වාහනයක ගියයි කියල ප‍්‍රශ්නයක් එන්නේ නැහැ. නමුත් මම තර්ජන ගැන සැමදාම සැලකිලිමත්ව හිටිය. ඒ නිසා වෙඩි නොවදින කාර් එක පාවිච්චි කළා. තර්ජන උග‍්‍රවෙන කාලෙදි හමුදාපති සරත් ෆොන්සේකා මට කිව්ව ”ඇයි සර් ඔය විදියට පිට ඉඳල වැඩට එන්නෙ හමුදා මූලස්ථානය ඇතුළෙම ඉන්න කියල. ඇත්තටම හමුදා මූලස්ථානය ඇතුළෙ මට ගේකුත් වෙන් කරලා තිබුණා. නමුත් මම දවසෙ පැය 24 ම හමුදා කඳවුරක හිරවෙලා  ඉන්න කැමැති වුණේ නැහැ. මුකුත් එළිය පේන්නෙත් නැහැ. ඒ වුණත් මම ඉඳල හිටල දවසක ඒ ගෙදරත් නවාතැන් ගත්ත. නමුත් මම කොළඹ 7 ගෙදර තමයි දිගටම හිටියේ. ආරක්ෂක රැකවල් දැඩි ලෙස තර කැරිණි. එහෙත් කොටි සංවිධානයට මේ ආරක්්ෂක දැලින් රිංගා යාමට ක‍්‍රම හා විධි තිබුණි. කොටි බුද්ධි අංශ නායක සිව සංකර් හෙවත් පොට්ටු අම්මාන් කොටි බුද්්ධි අංශ උප ප‍්‍රධානීන්වූ කපිල් අම්මාන් හා වේලයියා සදිස් නොහොත් පරමදේවන් ඇතුළු පිරිස වන්නි කැලයට වී ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලසුම සකස් කළහ. ති‍්‍රරෝද රථයක් උපයෝගී කරගෙන එහි මරාගෙන මැරෙන බෝම්බය සවිකොට ප‍්‍රහාරය එල්ල කරන්නට තීරණය කැරිණි. ඒ සඳහා අවශ්‍ය මුදල් උණ්ඩියල් ක‍්‍රමයට යුරෝපයේ රටවල් ගණනාවකින් ගෙන්වා ගැනිණ. මෙම ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැලසුම්කරු ලෙස ”අන්බු මාස්ටර්” නැමැත්තා ප‍්‍රභාකරන් විසින් පත්කරන ලදී. ඔහු සියුම් ලෙස සකස් කළ මාරක සැලැස්ම ප‍්‍රායෝගිකව අත්හදා බැලිය යුතු බව කොටි නායකයෝ තීරණය කළහ. ඒ අනුව ඉරණමඩු වැව අසල තැනිතලා භූමියේදී මිනිසුන් වෙනුවට බල්ලන් යොදාගෙන අවසන් සැලසුම අත්හදා බැලූවේ පොට්ටු අම්මාන් හා කපිල් අම්මාන් විසිනි. කොටින් මේ සැලසුම සඳහා ඔත්තු බලමින් සිටි කාලයේ ආරක්ෂක ලේකම්වරයාට තිබූ දැඩි තර්ජන නිසා ඔහු ගමන් කරන විට තාවකාලිකව  මාර්ග වසා දමන්නට පවා පියවර ගැණින. ”කොහොම වුණත් මට ආරක්ෂක අමාත්‍යාංශයට යන්න තිබුණේ පාරවල් එකයි. නැත්නම් දෙකයි. ඒක මාරු කර කරයි අපි ගියේ. වෙඩි නොවදින කබාය මම ඇන්දෙත් නැහැ. මොකද ගියේ බුලට් ෆෲප් කාර් එකේ නිසා. මම යන කොට පාරවල් වහන එකත් කොටි සංවිධානය වාසියට හරවා ගත්ත. අපි යන අවස්ථාවෙ  පාරවල් වැහුවට ඒ වෙන කොට පාරේ ඒ කොටස ගමන් කරමින් තිබුණ වාහන අයින් කළේ නැහැ. ඒ නිසා තමයි ඔය තී‍්‍රවිල් එක නියම තැන ස්ථානගත කර ගන්න එයාලට පුළුවන් වුණේ. මරාගෙන මැරෙන ප‍්‍රහාරය ආරක්ෂක ලේකම් වරයා වෙත එල්ල කිරීමට සැලසුම් කෙරුනෙ  කොළඹ  කොල්ලූපිටියේ පිත්තල හන්දියේදීය. ඒ සඳහා  පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 25 ක් යොදා සැකසූ බෝම්බය ඩබ්.පී.ජී.එච්. 0617 දරන රතු පැහැති ති‍්‍රරෝද රථයේ සවිකැරිණි. කොළඹ ප‍්‍රහාර සැලසුම භාරව සිටියේ සිවලිංගම් අරදරන් නැමැති මොරටු සරසවියේ උපාධි ලත් සිවිල් ඉන්ජිනේරුවරයෙකි. බෝම්බය පුපුරුවා ඝාතනය සිදුකිරීම භාරව සිටි මරාගෙන මැරෙන කොටි සාමාජිකයා වූයේ කදීර් නොහොත් මොහොමඞ් පරීඞ් නොහොත් අණ්බුමනී නොහොත් බාලසිංහම් විජයකුමාර්ය. ”මේ ගොල්ලො හුඟක් දවස් මම යන එන තැන ගැන ඔත්තු බලන්න ඇති. මේ ප‍්‍රහාරය එල්ල වුණේ 2006 දෙසැම්බර් 01 දා. ඊට කලින් දවසෙ මම සනීප නැතුව හිටියෙ. ඒ නිසා මම එදා වැඩට ගියේ නැහැ. නමුත් පළවෙනිදා වැඩට යන්න වෙනදා වගේම මම සූදානම් වුණා. උදේ පාන්දරින් ලෑස්ති වුණත් හැමදාම  වැඩට යන්න වෙන්නෙ දහය හමාරට විතර. ඔය දවස මට හොඳට මතකයි. යුද්දෙ පටන් අරන් තිබුණ නිසා උදේ මට හුඟක් ටෙලිපෝන් කෝල්ස් ආවා. හමුදාපතිවරු කතා කරල ප‍්‍රශ්න ගණනාවක් ගැන කිව්වා. ඒ වෙන කොට මරාගෙන මැරෙන බෝම්බකාරයා රතුකුරුස පාක් එකට තී‍්‍රවිල් එක ගෙනැල්ල තියෙන්න ඇති. උදේ දහයයි විසිපහට විතර මම ගෙදරින් පිටත් වුණා කියන තොරතුර ලැබීමත් එක්ක තී‍්‍රවිල් එක පාරට ගෙනැල්ල අනෙක් වාහන එක්ක නියම තැන නවත්වගත්ත බවයි පස්සේ අපිට දැනගන්න ලැබුණේ. ඉතිං මම යනකොට මගේ කාර් එක ඉස්සරහින් එක ජීප් එකයි පිටි පස්සෙන් එක ජීප් එකයි වාහනේ දෙපැත්තෙන් මෝටර් බයිසිකල් දෙකයි ආරක්ෂාවට ගමන් කළා. ඇත්තම කිව්වොත්  ඔය වාහනේ දෙපැත්තෙන් බයිසිකල් දෙකක් යන එක මහ කරදරයක්. ඒ නිසා මම වාර ගණනාවක්ම  මගේ සිකියුරිටි අයට කිව්ව ඔය බයිසිකල් ගමන නවත්වන්න කියල. නමුත් ඉතින් ආරක්ෂක  අංශ බයිසිකල් ගමන නැවැත්තුවේ නැහැ. ඒ බිහිසුණු මොහොත ළඟාවෙමින් තිබිණි. වන්නියේ  සිටි බෝම්බ ප‍්‍රහාරයේ මහ මොළකරුවන් තමන්ට කොළඹින් සුබ පණිවුඩයක් ලැබෙනතුරු චන්ද්‍රිකා දුරකථනය අසලට වී බලා සිටියහ. ”සාමාන්‍යයෙන් මගේ වාහනේ මාත් එක්ක යන්නෙ ආරක්ෂක නිලධාරියයි, රියැදුරයි විතරයි. මම හැමදාම පිටුපස වම් පැත්තේ සීට් එකෙයි වාඩිවෙලා යන්නෙ. මෙහෙම යනකොට මම සමහර විට ලිපිගොනුවක් කියවනවා. තැන්නම් අවට බල බලා ගමන් කරනවා. එදත් ඒ වගේමයි. වාහනේ පිත්තල හන්දියට එනවත් එක්කම මම මුකුත් දැක්කෙ නැහැ. මහා පිපිරුමක් ආවා. මම වාඩිවෙලා උන්න සීට් එකෙන් බිමට වැටුණ. නමුත් මගේ ඇඟට  සීරිම් තුවාලයක්වත් වුණේ නැහැ. මම ආපසු අසුනේ වාඩි වුණා. වාහනේ වීදුරුව දිහා බැලූවම ඒක තනි සුදුපාටයි. හැම තැනම පිපිරිල. ඒත් යන්තම් අස්සෙන් පෙණුන බයිසිකල් ගිනිගන්නවා. හතර වටේම ගින්නයි දුමයි පැතිරිලා. තත්පරේකට  දෙකකට මොකද වුණේ කියල තේරුණෙත් නැහැ. කොටිත් වෙඩි තිබ්බලූ.  අපේ අයත් වෙඩි තියන්න ඇති. මට වෙඩි හඬ ඇහුණා. මගේ පස්සෙන් ආපු ජීප් රථය විනාශ වුණා. බයිසිකලේ ගිය නිලධාරීන් ඒකට අහුවුණා. මම ජංගම දුරකථනයෙන් කතා කරන්න හැදුව. ඒක වැඩ කළේ නැහැ. වාහනේ දොරවල් සේරම ලොක් වෙලා තිබුණා. විනාඩි ගණනකින් පස්සෙ එළියෙ හිටපු නිලධාරින් අමාරුවෙන් ලොක් එක කැඩුවා. ඊට පස්සේ මම එළියට ඇවිත්  සාමාන්‍ය ජීප් එකක නැගල  වහාම අරලියගහ මන්දිරේට ආවා. කොටි සංවිධානයේ මරාගෙන මැරෙන සාමාජිකයා තමන්ගේ ඉලක්කය නිසිලෙස ගෙන තිබුණද ආරක්ෂක ලේකම්වරයා රැගත් රථ පෙළ වේගයෙන් ගමන් ගන්නා නිසා නියමිත ලෙස බෝම්බ සහිත ති‍්‍රරෝද රථය නිලරථයේ හප්පන්නට හැකිවී නොතිබිණි. ”ඇත්තටම එයාල හිතපු විදියට නොවෙයි තී‍්‍රවිල් එක මගේ කාර් එකේ හැපුණේ. කාර් එකේ ඉදිරිපස ඇන්ජිම තිබෙන බොනට් එක හරියෙයි තී‍්‍රවිල් එක හැපිල බෝම්බෙ පත්තු වුණේ. නමුත් මම වාඩිවෙලා හිටපු පැති වීදුරු තියෙන හරියෙ බෝම්බෙ වැදුණානම් වීදුරුව කැඩෙන්න ඉඩ තිබුණා කියලයි මට හිතෙන්නේ. හැබැයි මේ බෝම්බ තී‍්‍රවිල් රථය කාර් එකේ වදිනව මුකුත්ම මට පෙනුණේ නැහැ.” කොටින්ගේ මාරක ප‍්‍රහාරය දෛවෝපගත ලෙස වැළකී තිබුණේ රටේ වාසනාවට හා ප‍්‍රභාකරන්ගේ අවාසනාවටය. ආරක්ෂක ලේකම්වරයා සුළු තුවාලයක් හෝ නොලබා දිවි ගලවා ගත්තේ වෙඩි නොවදින රථයේ අරක්ෂාව ලැබුණ නිසාය. ”මට තුවාල වුණේ නැති වුණාට මගේ කමිස අතේ ලේ පැල්ලම් තිබුණා. හුඟක් අය හිතුවෙ අත තුවාල වෙලා කියලයි. නමුත් එතන සිද්ධ වුණේ වෙන දෙයක්. කාර් එකේ දොර කඩල මම එළියට ආවට පස්සේ එතැන තිබුණ මගේ ඉදිරියෙන් ගිය ජීප් එකට නැග්ග. ඒ ජීප් එක පදවපු හමුදා නිලධාරියාගෙ කනට බෝම්බ ප‍්‍රහාරයෙන් සුළු තුවාලයක් වෙලා ලේ ගැලූව. ඒක එයාටත් අමතකයි. මමත් දැක්කෙ නැහැ. එයාගෙ කනෙන් ගලපු ලේ බින්දු මගේ කමිස අතට වැටුණා.  මම අරලියගහ මන්දිරේට ගිහිල්ල බලන කොටයි ලේ පැල්ලම දැක්කෙ. මට එල්ල කරපු බෝම්බෙ කිලෝ ග‍්‍රෑම් 25 ක විතර විශාලම එකක්. ඒ වගේ බෝම්බෙකට මේ කාර් එක ඔරොත්තු දෙන්නෙ නැහැ. කාර් එකට ඔරොත්තු දෙන ප‍්‍රමාණයක් තියෙනවා. පරණ කාර්එකක් වුණත් මේක හොඳට මාව ආරක්ෂා කළා. මේක අත් බෝම්බෙකට වෙඩිල්ලකට ඔරොත්තු දෙන බවයි බී.ඇම්.ඩබ්ලිව්. කොම්පැණිය කියල තිබුණේ. අන්තිමේ බී.ඇම්.ඩබ්ලිව්. කොම්පැණියෙ ලොක්කො ආව කාර් එක බලන්න. බෝම්බෙන් කාර් එක විනාශ නොවීම විශාල දෙයක් හැටියට සලකල පින්තූර අරන් ඒ වර්ගයේ කාර් විකුණන්න මේ පින්තූර පාවිච්චි කළා. පස්සෙ අපෙන් එයාල කාර් එක ඉල්ලූවා. නමුත් අපි දුන්නෙ නැහැ.  අදටත් ඒ කාර් එක මෙහේ තියෙනවා. බී.ඇම්.ඩබ්. කාර් එකට මේ තරම් ලොකු බෝම්බයකින් ගහල බේරුණ එකම අවස්ථාවලූ මේක. මරණය පෙනි පෙනී ජීවිතය ත්‍යාගයක් ලෙස නැවතත් තමන්ටම උරුම වූ ඒ මොහොතේ ජනාධිපතිතුමා ප‍්‍රමුඛ පවුලේ සාමාජිකයන් බෙහෙවින් සංවේදී ප‍්‍රතිචාර දැක්වූ බව ආරක්්ෂක ලේකම්වරයා පවසයි. තර්ජන නිසා ඉන් අනතුරුව ආරක්ෂාව දැඩි කළේදැයි මම විමසීමි. ”ටිකක් ක‍්‍රම සහ විධි වෙනස් කළා. ඒත් තර්ජන තිබුණා. මට විතරක් නොවෙයි ජනාධිපතිතුමාගේ ජීවිතය නැති කරන්න වාර හතරක් විතරම උත්සාහ කළා. ඒත් අපි ත‍්‍රස්තවාදය නතරකරන්න ගත්ත තීරණේ වෙනස් කළේ නැහැ. හුඟක් සංවිධාන කෑගැහුව රාජ්‍ය නොවන සංවිධාන විශේෂයි. මාව නැතිකරන්න උතුරේ  ඉඳල කොළඹට බෝම්බය ගෙනාවෙත් ඔය එන්ජී ඕ එකක වාහනේකින්. එහෙමයි එදා වැඩ සිද්්ධ වුණේ. අද මේ රටේ ලොකු කුඩා කවුරුත් නිදහසේ සාමයෙන් තමන්ගේ ජීවිත ගත කරන්නෙ රට වෙනුවෙන් ජීවිත පූජා කරපු රණවිරුන්ගේ කැපවීම ශක්තිය ධෛර්යය නිසා බව අමතක කරන්න එපා කියන එකයි මගේ ඉල්ලීම.”
රන්ජිත් ආනන්ද ජයසිංහ
කමිස අතේ ගෑවී තිබූ ලේ පිපිරීමෙන් මොහොතකට පසු ජනපති හමුවී... ලේකම්වරයා රැගත් රථපෙළ කොටි සාමාජිකයා විසින් නිරීක්‍ෂණය කළ ආකාරය බෝම්බය ගෙන ආ වාහනය ප‍්‍රහාරයෙන් පසු රාජපක්‍ෂ මහතා ගමන්ගත් රිය