1985 මැයි 14 දින එල්.ටී.ටී.ඊ. සන්නද්ධ ත‍්‍රස්තවාදීන් කණ්ඩායමක් පුත්තලම එළුවන්කුලම ප‍්‍රදේශයේදී පැහැරගත් ලංගම බස් රථයකින් අනුරාධපුර ශුද්ධ නගරයට ගොස් එහි උඩ මළුවේ බෝ මළුව සැදැහැවතුන් සියයකට අධික පිරිසකගේ රුධිරයෙන් තෙත් කළ ම්ලේච්ඡ ප‍්‍රහාරයට හෙටට (14) හරියටම වසර 27 කි. ඇසූදුටුවන්ගේ හදවත් සසල කළ මෙම බිහිසුණු සිදුවීම එවකට දැනුම් තේරුම් ඇතිව සිටි කොයි කාටත් අද ද සිහියට නැගෙනු නොඅනුමානය. 18 දෙනකුගෙන් යුතු බව පැවසෙන මෙම ත‍්‍රස්තවාදීන් කණ්ඩායම එදින උදෑසනින්ම පුත්තලම එළුවන්කුලම ප‍්‍රදේශයෙන් පිටත්වී නොච්චියාගම හරහා අනුරාධපුරයට ගොස් දිගට හරහට වෙඩි තබා කළ ඒ මහා මිනිස් ඝාතනයෙන් කෙටි වෙලාවකට පසුව නැවතත් එම මාර්ගයේම ආපසු විල්පත්තුව හංදියට පැමිණි මෙම ත‍්‍රස්තවාදීන් පිරිස එතැනින් විල්පත්තුව ජාතික උද්‍යානය දෙසට බස් රථය හැරවූයේ ඔවුන්ගේ සැලසුමට අනුව මෙම උද්‍යානය හරහා ආපසු පළා යනු පිණිසය. මෙහිදී විල්පත්තු ජාතික උද්‍යානයට යන මාර්ගයේ හුණුවිලගමට ආසන්නව පිහිටි වනමල්ගම සිය නිවසට යාම සඳහා විල්පත්තු හංදියෙන් මෙම බස් රථයට අත දමා ඊට ගොඩවීමට උත්සාහ දැරූ වනසත්ව නියාමක කේ.බී. හේරත් බණ්ඩා මහතාට පා පුවරුවේදීම වෙඩි තබා මරා දැමූ ත‍්‍රස්තයෝ ඊට කී.මීටර් හතක තරම් දුරකින් හුණුවිලගම පිහිටි වනජිවී උද්‍යාන කාර්යාලයට බස් රථය ධාවනය කළහ. අනතුරුව එතැන සිටි වනජිවී නිලධාරීන් හයදෙනකුද වෙඩි තබා ඝාතනය කළ මෙම මෘර්ගයෝ පිරිස ඒ වනවිට විල්පත්තුව ජාතික උද්‍යානයේ වැඩබලන පාලක වශයෙන් කටයුතු කළ ඒබ‍්‍රහම් මහතා සහ කාර්යාලයට අයත් ජීප් රථයක් ද සිය අත්අඩංගුවට ගත්හ. සිය ම්ලේච්ඡු ක‍්‍රියා එතැනින්ද අවසන් නොකළ ත‍්‍රස්තවාදීහු පිරිස වැඩ බලන උද්‍යාන පාලක ඒබ‍්‍රහම් මහතා සමඟ එහි ජීප් රථය ද රැගෙන විල්පත්තුව ජාතික උද්‍යානයේ කි.මීටර් 10 ක් අභ්‍යන්තරයේ මරදන්මඩුව ඉකිරිගොල්ලෑව ප‍්‍රදේශයට ගොස් එහිදීද තවත් වනජීවී සේවකයන් 14 දෙනකුට වෙඩි තබා තිබුණේ එකාපිට එකා මැරී වැටෙන්නටය. මෙහිදී මෙම වෙඩි ප‍්‍රහාරයෙන් දහතුන් දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් සිටි අතර එක් සේවකයකු (අනියම් කම්කරු) පමණක් බරපතල තුවාල ලබා බේරී සිටියේ තවදුරටත් ජීවත්වීමේ වාසනාව ඔහුට තිබූ නිසා විය හැකිය. නමින් පී.එම්.ජී. සෝමපාල වන ඔහු එවකට වයස අවුරුදු 18 ක තරුණයෙකු වුවද අද නම් (ස්ථිර කම්කරු) ඔහුගේ වයස අවුරුදු 51 කි. එදා අවිවාහකයකු වුවද අද ඔහු විවාහක දරු දෙදෙනෙකුගේ දයාබර පියෙකි. මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයට හෙටට (14) වසර 27 ක් සම්පූර්ණවන මේ මොහොතේ විල්පත්තුව ජාතික උද්‍යානයේ වූ එදා (85.05.14) සිදුවීම පිළිබඳව සිය අත්දැකීම් ඇසුරෙන් සෝමපාල මහතා පසුගිය දිනක අප හා කතා කළේය. විල්පත්තුව වනජීවී කාර්යාලයේදීම කළ එම කතාව අප මෙසේ ඔබ හමුවේ තබන්නේ ම්ලේච්ඡු ත‍්‍රස්තයන්ගේ කෲරත්වයේ තවත් අවස්ථාවක් හෙළිදරව් කරනු පිණිසය. එදා මට මතක හැටියට උදේ 10 ට විතර ඇති. මරදන්මඩුව ප‍්‍රදේශය බාරව සිටි අඩවි ආරක්‍ෂක විල්සන් මහත්තයා යටතේ අපි කට්ටිය උද්‍යානය ඇතුළේ පාරකට බොරළු දාන්න වළකින් බොරළු කපා ට‍්‍රැක්ටරයට පටවමින් හිටියේ. ඔය කියන වෙලාවේ ඒ ආසන්නයේ ලංගම බස් එකක් ඇවිත් නැවැත්තුවා. ඒක ආවේ හුණුවිලගම අපේ ප‍්‍රධාන කාර්යාලය පැත්තෙ ඉඳලයි. අපි ඉතිං ඒ ගැන වැඩිය ගණං ගත්තෙ නැතිව අපේ පාඩුවේ වැඩ කළා. මොකද ඒ දවස්වල සංචාරකයන්ට උද්‍යානය ඇතුලේ බස්වලිනුත් යන්න අවසර තිබුණා. ඒත් එක්කම වාගේ කොට කලිසම් හා හමුදා ඇඳුම්වලට සමාන බැනියම් ඇඳ ගත්තු කණ්ඩායමක් බස් එකෙන් බහිනවත් අපි දැක්කා. ඒ අය අතේ තුවක්කුත් තිබුණා. හැබැයි මේ අය කොටි ත‍්‍රස්තවාදීන් කියල අපිට හිතුණේ නෑ. මොකද අපි මාස ගණං එක දිගට කැලේ ඇතුළේ හිටියත් ත‍්‍රස්තක‍්‍රියාවක් හෝ වෙනත් කිසිම සිදුවීමක් ඒ වෙනකොට විල්පත්තුව ඇතුළෙ වෙලා තිබුණෙ නැති නිසා. අනික අපිට කැලේ හොඳට හුරුයි වන සතෙකුගෙන්වත් අපට හිරිහැරයක් වෙලා නෑ. මොකද අපිත් සතුන්ට බොහෝම කරුණාවන්තව තමයි මේ රාජකාරිය කරන්නෙ. එහෙම බැරි කෙනෙකුට මේ රාජකාරිය කරන්නත් බෑ. මේ අවස්ථාවේ අප බාරව හිටපු අඩවි ආරක්‍ෂක විල්සන් මහත්තයා මේ ආපු පිරිස ළඟට ගියා. බංගලා භාරකරු වශයෙන් සේවය කළ තෙන්නකෝන් අයියත් එතැන හිටියා. පස්සෙ අපේ දෙන්නත් සමඟ බස් එකෙන් ආපු තුන්දෙනෙක් අප බොරළු කපමින් සිටි තැනට ආවා. ඇවිත් අපේ ට‍්‍රැක්ටරයේ රියැදුරා වශයෙන් කටයුතු කරපු සද්ධාතිස්ස අයියාගෙන් ටැක්ටරයේ යතුර ඉල්ල ගත්තා. ඒ එකෙක් කතා කළේ සිංහලෙන්, අනිත් දෙන්නා දෙමළෙන් කථා කළේ. ඒත් ඒව අපිට තේරුණේ නෑ. හැබැයි එතකොට නම් අපට එක දෙයක් තේරුණා. ඒ මුන්නම් කොටි ත‍්‍රස්තවාදීන්ම තමයි කියලා. මේ වෙලාවේ අපේ තෙන්නකෝන් අයියා බොරළු වළට ලිස්සල වැටුණා. ඊට පස්සෙ උන් අපි කට්ටියට කීව ට‍්‍රැක්ටරයට ගොඩවෙන්න කියලා. ඒ වෙලාවේ හැටියට වෙන කරන්න කිසිම දෙයක් නැතිව අසරණ වුණු අපි උන්ට අවනත වෙනව හැර වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. ඊට පස්සෙ උන් අපත් අරගෙන ඊට හැතැප්මක් විතර දුරින් පිහිටි ඉකිරිගොල්ලෑව පාරට අරගෙන ගියා. මේ වෙලාවේ මොකද මේ වෙන්න යන්නෙ කියල අපි විමතියෙන් වගේ එකිනෙකාගෙ මුහුණු දෙස බලමින් හිටියෙ. නමුත් මට හිතුනේ නෑ මුං අපි මරන්න තමයි අරන් යන්නේ කියලා. හැබැයි මට මේ වෙලාවේ මගේ අම්ම තාත්තා මතක් වුණා. සහෝදර සහෝදරියෝ මතක් වුණා. අපේ පවුලේ අම්මා තාත්තා ඇතුළුව ඔක්කොම අට දෙනයි. මම පවුලේ දරුවන්ගෙන් තුන්වැනියා. අපි ගොවිතැන් බත් කරගෙන බොහෝම දුක් මහන්සියෙන් විලච්චිය පැත්තෙ ජීවත්වුණු පවුලක්. මේ සිදුවීම වෙනකොට අනියම් කම්කරුවකු වශයෙන් මම රස්සාවට බැඳිල අවුරුද්දක්වත් ගෙවිල තිබුණෙ නෑ. ඒකෙනුත් වැඩි කාලයක් හිටියේ විලච්චිය අඩවියේ. ඒබ‍්‍රහම් මහත්තයා තමයි එතකොට එහේ අපේ ප‍්‍රධානියා වෙලා හිටියේ. මේ විදියට මට හිතුන වගේම එක එක දේවල් අපේ අනිත් කට්ටියටත් ඒ වෙලාවේ හිතෙන්න ඇති. සෝමපාල මහතා ඒ වචන ටික පිටකළේ දැඩි සිත් වේදනාවකිනි. මඳ වේලාවක් ජාතික උද්‍යානයේ පිවිසුම් දොරටුව දෙස එක එල්ලේ බලාසිටි සෝමපාල මහතා යළිත් සිය කටහඬ අවධි කළේය. කොටි ත‍්‍රස්තවාදීන් එදා අපව ට‍්‍රැක්ටරයට නංවාගෙන ඉකිරිගොල්ලෑව පාරට අරගෙන එනවත් එක්කම වගේ හෙළිකොප්ටර් යානයක් ඒ පැත්තට පියාසර කරන ශබ්දයක් ඇහුණා. මේ වෙලාවේ ත‍්‍රස්තවාදීන් ගිනි අවි එල්ලකොට අපට ඉක්මනට ට‍්‍රැක්ටරයෙන් බහින්න කීවා. පසුව ඔවුන් අප කැලෑව ඇතුළේ තැනකට අරගෙන ගිහින් නැවතත් අපිට තුවක්කු එල්ලකොට සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න අයට ඒව ගලවන්න කීවා. ඒ අනුව අපේ අය සුදු ඇඳුම් ගලව ගත්ත. මේ වෙලාවේ නම් මට හිතුණා මුං අපව මරන්න තමයි හදන්නෙ කියලා. ඒත් ඒකෙන් බේරෙන්න විදියක් අපට තිබුණේ නෑ. ඒ නිසා අපි උන් කියන දේ කළා. මේ අවස්ථාවේදී හෙළිකොප්ටර් යානයක් අප සිටි තැනට ඉහළින් තුන්පාරක් කැරකිලා ආපහු යන්න ගියා. මොනවා කරන්නද ඒක අපේ වෙලාව තමයි. ත‍්‍රස්තවාදීන් 18 දෙනෙක් ඉන්න බව මම දැක්කේ ඒ වෙලාවෙයි. ඒ අතරින් තුන්දෙනෙක් රවුමට ඉඳල අපිට එක දිගට වෙඩි තිබ්බා. මටත් වෙඩි වැදුණා. ඒ එක්කම මට සිහිය නැති වුණා. අපට වෙඩි තියන්න කලින් බංගලා බාරකරු තෙන්නකෝන් අයිය  උන් ආපු බස් එක දිහාට අරගෙන ගියා. කොහොම හරි මට සිහිය ඇවිත් බලනකොට මගේ අතක ඇඟිලිවලටයි කකුලකටයි වෙඩි වැදිල තිබුණා. මගේ ඇඟ උඩ සහෝදර නිලධාරීන් කීප දෙනෙක් මැරී වැටී සිටියා. තවත් දෙන්නෙක් කෙඳිරිගානව. මට හිතා ගන්න බෑ මොකද දැන් කරන්නෙ කියල. මටත් හොඳටම අමාරුයි. වෙඩි වැදුණු කකුල ඇඹරිලා වගේ මට දැණුනා. මේ වෙලාවේ කාටවත් කිසිම පණිවිඩයක් දෙන්න ක‍්‍රමයක් තිබුණෙත් නෑ. පේන්න කවුරුවකුත් හිටියෙත් නෑ. මම මගේ ඇඟ උඩ වැටිල හිටපු අපේ අය පැත්තකට කරමින් නැගිටින්න උත්සාහ කළා. එහෙම කරලා අමාරුවෙන්ම ඇදි ඇදී කැලේට ගිහින් ගහකට හේත්තු වුණා. එතකොට අර කෙඳිරිගාමින් හිටපු දෙන්නත් මියගිය අයුරු මේ වෙලාවෙ මම දැක්කා. මගේ තුවාලවලින් ලේ ගිය විදියට මාත් හිතුවෙ මම දැන් මැරෙයි දැන් මැරෙයි කියලා. ඒ තරමටම තුවාලවලින් ලේ ගියා. බැරිම තැන මම හේත්තුවෙලා හිටපු ගහමුලට රූටල ඔහේ වෙනදෙයක් මටත් වෙත්දෙන් කියල හිටිය. ඒ අස්සේ දිමියොත් කනව. තුවාලවල වේදනාවට දිමියො කන වේදනාව ඒතරම් මට දැනුනෙ නෑ. උගුර කට වේළිල දිය පොදක් බොන්න  ඕනකම තිබුණ. නමුත් මොනව කරන්නද තොල් පොටවල් දිවෙන් තෙමාගෙන ලේ ගොඬේ ඔහෙ වැටිල හිටිය. ඔහොම ඉද්දි තමයි එදා හවස තුනට විතර අපේ හමුදාවේ අය ඇවිත් මාව එතැනින් අර ගත්තේ. ඒ අවස්ථාවත් මට තැති ගැනීමක් ඇතිවන ආකාරයටයි සිද්ධ වුණේ. හවස තුනට විතර යුද හමුදා ඇඳුමින් සැරසුණු පිරිසක් ටී 56 ගිනි අවි අරගෙන ත‍්‍රස්තවාදීන් අතහැර ගොස් තිබුණු බස් රථය ළඟ බිම පෙරළෙනවා මම දැක්කා. ඒ එක්කෙනෙක් පණිවිඩ හුවමාරු යන්ත‍්‍රයකින් සිංහලෙන් කාටදෝ කතා කළා. ඔන්න එතකොට මට හිතුනා මේ අපේ හමුදාව තමයි කියලා. ඒ අය මාව දැක්ක. මම ඒ ගමන එයාලට මම ඉන්න දිහාට එන්න කියල අත වැනුවා. එතකොට එයාලගෙ දෙන්නෙක් මා ළඟට දුවගෙන ඇවිත් මගේ පපුවට තුවක්කුවක් එල්ලකරලා ඇහුවා සිංහල ද දෙමළ ද කියලා. මම සිංහල කිවා. එතකොට ඒ අය මුලින්ම කළේ මම ඇඳ සිටි කමිසය කපා ඉවත් කිරීම. ඊට පස්සේ මගේ ඇෙඟ් සිටි දිමියන් පිස දාල මට වතුර පෙව්වා. වතුර පොවලා තුවාල වෙළුම්පටිවලින් එතුවා. ඒ වෙලාවේ ඒ එක්කෙනෙක් කීවා මල්ලී බය වෙන්න එපා අපි උඹව බේරගන්නවා කියලා. මගේ හිතට ඒ වෙලාවේ ලොකු හයියක් ආව. මේ අය දෙයියො එව්ව වගේ නේද කියල මට හිතුණා. මොකද තවත් පැය කීපයක් ගියානම් ලේ ගිහිල්ලම මාවත් කැලේ ඇතුළෙම මැරෙනව. එහිදී ඔවුන්ගෙන් මට දැනගන්න ලැබුණා පුළුක්කුලම කියන ප‍්‍රදේශයේදී ත‍්‍රස්තවාදීන් හෙළිකොප්ටරයකට වෙඩි තියල කියලත්. කොහොම හරි හවස 5.00 ට විතර හෙළිකොප්ටර් යානයක් අප සිටි තැනට ගෙන්න ගන්න හමුදාවට හැකි වුණා. ඒ අනුව ඔවුන් මාව එම හෙළිකොප්ටරයේ නංවාගෙන අනුරාධපුර මහ රෝහලට රැුගෙන ගියා. එදා ත‍්‍රස්තවාදීන් කළ ක‍්‍රියාව සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මට දැන ගන්න ලැබුණෙ රෝහලේදී. මරවිල වනජීවී කාර්යාලයේ සිටි වනජීවී නිලධාරීන් හතර දෙනෙකුත් පූක්කුලම මංසන්ධියේදී සහ වැව් බැම්මේදී පැහැරගෙන ගිය අපේ බණ්ඩාර සහ තෙන්නකෝන් යන දෙදෙනාත් වෙඩි තබා මරා ඇති බවත් එහිදී මට දැන ගන්න ලැබුණා. පූක්කුලම තියෙන්නෙ මූදට කිට්ටුව අපි හිටපු තැන ඉඳල කි.මීටර් 40ක් විතර දුරයි එහාට. කොටි අපේ දෙන්න අරගෙන ගිහින් තිබුණෙ උන්ට පැනල යන්න පාර බලා ගන්න. උන්ගෙ අවශ්‍යතාවය ඉටුකර ගත්තට පස්සේ ඒ දෙන්නත් උන් මරා දැම්ම. කොටි උන් ආපු බස් එක මරදන්මඩුවෙ දාල පැනලා ගිහින් තිබ්බෙ අපේ වාහනවලින්. මම වසර එකහමාරක් පමණ තුවාලවලට ප‍්‍රතිකාර ගත්තා. මේ බලන්න වෙඩි වැදිච්ච තැන්. එසේ කියමින් සෝමපාල මහතා ඔහුගේ කකුලක සහ අතක තුවාල කැළැල් අපට පෙන්විය. දැන් මම හොඳින් ජීවත් වෙනවා. පස්සෙ කාලෙකදී රැකියාව ස්ථීර වුණා. ඒවගේම මම මේ ආසන්න ගමකින් විවාහ වුණා. මට දැන් ලොකු මහත්වුණූ දරුවන් දෙන්නෙක් ඉන්නවා. දුවයි පුතයි පුතා අපේ දෙපාර්තමේන්තුවේම අනියම් කම්කරුවකු වශයෙන් දැනට රැකියාව කරනවා. සෝමපාල මහතා එදා සිදුවූ බිහිසුණු සිද්ධියේදී තමන් ලද අත්දැකීම් අවසන් කරමින් පැවසූවේ -මේ සිද්ධිය මට නිතරම මතක් වෙනවා. මගෙත් එක්ක එකට වැඩ කරපු ඒ සහෝදර සේවක මහතුන් මතක් වෙනකොට හිතට හරිම දුකක් දැනෙන්නේ. මම අද හොඳින් ජීවත් වුණත් ඒ සිදුවීම මගේ ජිවිත කාලය පුරාවටම මගේ මතකයේ තියේවි.” මෙම සිදුවීමත් සමඟ වසා දැමුණු විල්පත්තු ජාතික වනෝද්‍යානය සාම ගිවිසුම අවදියේදී යළි විවෘත විය. පසු කලෙක අවස්ථා දෙකකදීම යළිත් මෙම උද්‍යානයට ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ල වී තිබිණි. මෙහි උද්‍යාන පාලකවරයකුව සිටි වසන්ත පුෂ්පානන්ද මහතා ඇතුළු පිරිසක් ද එහිදී ජීවිතක්‍ෂයට පත් වූහ. විල්පත්තු ජාතික උද්‍යානය තුළදී මෙසේ ජීවිතක්ෂයට පත් වූ සියලූ දෙනා සිහිකොට හෙට (14) විල්පත්තු උද්‍යාන කාර්යාල පරිශ‍්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක් ද සංවිධානය කර ඇත. (මෙම තොරතුරු ලබා ගැනීම සඳහා අපට සහාය දැක්වූ විල්පත්තුව ජාතික උද්‍යානයේ වත්මන් පාලක ඩබ්.ඒ. සරත් මහතාට සහ වනසත්ව අඩවි සහකාර ඞී. රාමසිංහ මහතාට ස්තුතිවන්ත වෙමු.)
කරුවලගස්වැව -  ජයරත්න වික‍්‍රමආරච්චි
ජී.එම්.ජී. සෝමපාල වනෝද්‍යානයේ ප‍්‍රධාන කාර්යාලය වෙඩි වැදුණු ඇඟිල්ල කකුලේ වෙඩි වැදුණු තුවාල පිවිසුම් දොරටුව