අටවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය නිමාකරමින් ජනාධිපතිවරයා ඉකුත්දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඒ අනුව මේ දිනවල පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන්නේ නැත. ජනාධිපතිවරයාගේ දෙවන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ වන්නේ ලබන ජනවාරි මස 03 වැනිදාය. එදින අභිනව ජනාධිපතිවරයා උත්සවශ්‍රීයෙන් පාර්ලිමේන්තුවේදී පිළිගැනීම සිදුවේ.

ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියෙන් පසුව පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය ආරම්භ කරන අතර ජනාධිපතිවරයා කතානායක අසුනේ සිට පාර්ලිමේන්තුව අමතනු ලැබේ. ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව පක්‍ෂ නායකයන්ගේ සුබපැතුම් සහිත කෙටියෙන් සිදුකරන කතා කීපයකින් පාර්ලිමේන්තුවේ එදින කාර්යයන් නිම වේ. ඉන්පසුව බොහෝ විට පසු දින සිට හෝ නියම කරන දිනක සිට පාර්ලිමේන්තු රැස්වීම් සාමාන්‍ය පරිදි සිදු පැවැත්වේ.

පාර්ලිමේන්තු සැසිවාරය නිමවීමත් සමඟ පාර්ලිමේන්තුවේ කාරක සභා ද අහෝසිවීම සාමාන්‍ය සම්ප්‍රදාය වෙයි. ඒ අනුව නව සැසිවාරය ආරම්භවීමත් සමග කෝප් කමිටුව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව ද ඇතුළුව කාරක සභා සියල්ලම නැවත ස්ථාපිත කිරීම කළ යුතු වේ.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්ව අර්බුදයට විසඳුමක් ලැබී තිබෙන හැඩක් පෙනෙයි. සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම එජාප නායකත්වය සහ විපක්‍ෂ නායකත්වය යන දෙකම අපේක්‍ෂා කරමින් සිටි අතර ඒ නිසාම එජාප අර්බුදය ඔඩු දුවමින් තිබූ බවට එජාප නායක රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම චෝදනා කරයි. එජාප අර්බුදය විසඳා ගන්නා ලෙස එජාපය සමග එක්ව සිටින අනෙකුත් සුළු පක්‍ෂ නායකයෝත් බලකරමින් සිටිති. එසේ නොවීම ගැන එම පක්ෂ නායකයෝ ඉකුත් දිනවල කණස්සල්ලට පත්ව සිටියහ. ඒ අනුව අවසන් වශයෙන් විසඳුම් යෝජනා කීපයක ඉකුත්දා යෝජනා වී තිබිණ. ඒ කරු ජයසූරියට පක්‍ෂ නායකත්වය ලබාදී විපක්‍ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස පත් කිරීමය. අනෙක් විසඳුම වන්නේ පක්‍ෂයට නායකත්ව මණ්ඩලයක් ස්ථාපිත කර එහි සභාපති ධුරයට කරු ජයසූරිය පත් කිරීමය. කෙසේ වෙතත් ඊයේ පස්වරුව වනවිට එජාප අර්බුදයට එක් විසඳුමක් ලැබිණ.

ඒ සජිත් ප්‍රේමදාසට විපක්ෂනායක ධූරය ලබාදීමට එජාපය තීරණය කිරීමය. තවමත් එජාප නායකයා රනිල් වික්‍රමසිංහ වන අතර නව නායකයකු පත් කිරීම පසුවට කල් දමා තිබේ. තවද එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ තවත් අදහසක් කරළියට පැමිණ තිබේ. ඒ, එක්සත් ජාතික පක්‍ෂයට නැවත බෞද්ධ පදනමක් ලබාදීමය. ඒ සඳහා අලුතින් සිංහල බෞද්ධ නායකත්වයක් අවශ්‍ය බව ද එජාප මන්ත්‍රීවරුන්ගේ අදහසය. ඒ අනුව දේශපාලන ආරංචි පැතිර ගියේ එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවකට ආරාධනා කර තිබෙන බවය. එජාපයට එක්ව එහි නියෝජ්‍ය නායකත්වය ලබා ගන්නැයි ද එම මන්ත්‍රීවරු පාඨලීට ආරාධනා කර ඇතැයි පැවසෙයි. මේ අතර පාඨලී චම්පික රණවක ද ඊට එකඟතාව දක්වා ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමේ හරීන් ප්‍රනාන්දු, අජිත් පී. පෙරේරා ඇතුළු කීප දෙනෙක්ම තවමත් රනිල් විරෝධී දැඩි ප්‍රතිපත්තියකින් කටයුතු කරමින් සිටිති. ඒ, පක්‍ෂයේ නායකත්වය ද සජිත් ප්‍රේමදාසට ලබා ගැනීමටය.

එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු සමීපතම නායකයෝ කීපදෙනෙක් ඉකුත්දා රැස්වී විශේෂ සාකච්ඡාවක නිරත වී ඇත්තාහ. එහිදී විශේෂ කරුණු කීපයක් ගැන අවධානය යොමු වූ බව ද පැවසේ. මෙම විශේෂ සාකච්ඡාවට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, අකිල විරාජ් කාරියවසම්, ලක්‍ෂ්මන් කිරිඇල්ල, අර්ජුන රණතුංග සහ වජිර අබේවර්ධන ඇතුළු කිහිප දෙනෙක් එම සාකච්ඡාවට සහභාගි වී ඇත්තාහ. “ජනාධිපතිවරණයට නාම යෝජනා බාරදෙන්න කලින් එක්තරා සමීක්‍ෂණ ආයතනයක් සමීක්‍ෂණයක් කරලා තිබුණා. එම සමීක්‍ෂණ ආයතනයට දේශපාලන සබඳතාවයකුත් තියෙනවා. එම සමීක්‍ෂණයට අනුව සජිත් ප්‍රේමදාසට සියයට 58ක ඡන්ද ප්‍රතිශතයක් තිබුණ බවත් එම වාර්තාවේ තිබුණා. සජිත් කාණ්ඩායමේ කිහිපදෙනෙක්ම රනිල් වික්‍රමසිංහ නායකතුමාට එම සමීක්‍ෂණ වාර්තාව ලබා දුන්නා. ඒක සජිත් ප්‍රේමදාසට නාම යෝජනා ගන්න කරපු මවාපෑමක් දැයි අපට සැක හිතෙනවා.

නාම යෝජනා ගත්තට පස්සෙත් එම සමීක්‍ෂණ ආයතනය  නැවත සමීක්‍ෂණයක් කරලා තිබුණා. ඒකෙදී සජිත් ප්‍රේමදාසට තිබුණේ සියයට 30යි. මේක ලොකු ගැටලුවක් වුණා. සජිත්ගේ කැම්පේන් එකට අරමුදල් රැස්කිරීමටත් එම වාර්තාව බලපෑවා. අපට මුල් සමීක්‍ෂණ වාර්තාව ගැන ඉතා ප්‍රබල සැකයක් පවතිනවා” යැයි එජාපයේ නායකයෙක් කීවේය. මේ අතර එජාපයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයාගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කළ වියදම් පියවීම සඳහා මූල්‍යමය අර්බුදයකට මුහුණ පා සිටින බවය.

ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මැතිවරණ කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 90ක පමණ මුදලක් විවිධ ආයතනවලට ගෙවීමට තිබෙන බව පක්‍ෂය ඇතුලේ කසු කුසු පවතී.

ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගිවිසුමකට එළැඹි අතර එහි එක් කොන්දේසියක් වූයේ මීළඟ මහා මැතිවරණය 2020 වසරේ මැයි මාසයෙන් පසුව පැවැත්වීමටය. එහෙම නැතිනම් පාර්ලිමේන්තුව මැයි මාසයේදී විසුරුවා හැරීමටය. එහෙත් මේ වනවිට තත්ත්වය වෙනස් වී තිබේ. ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව පක්‍ෂ දෙකම මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එකඟතාව පළකර තිබේ. ඒ අනුව බොහෝදුරට මාර්තු මස 01 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ගිවිසුමට අනුව ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණ යොදා ගත්ත ද මහා මැතිවරණයේදී පක්‍ෂ දෙකටම එකඟ විය හැකි සලකුණක් භාවිත කිරීමට නියම කරගෙන තිබිණ. ඒ අනුව යෝජනා වී ඇත්තේ ඉදිරි මහා මැතිවරණයට පක්‍ෂ දෙක බුළත් කොළයෙන් හෝ පුටුව ලකුණින් තරග කිරීමටය. එහෙත් මේ වනවිට තවත් ආරංචියක් පැතිර යමින් තිබේ.

“අපි පොහොට්ටුවෙන් ඡන්ද දෙකක් දිනුවා. රටේ ජනතාව අතර පොහොට්ටුව ඉතාම ජනප්‍රියයි. වෙනත් සලකුණුවලට යන්න මුලින් එකඟ වුණා තමයි. ඒත් පොහොට්ටුව වඩාත් ජයග්‍රාහී සලකුණ නිසා ඒකම තෝරා ගන්න පුළුවන්” යැයි පොහොට්ටුවේ නායකයන් කීපදෙනෙකුගේ අදහස වී තිබේ. එහෙත් ශ්‍රීලනිපයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු කීප දෙනකු ඒ ගැන කනස්සල්ලෙන් පසුවන බව ද පැවසේ. කෙසේ වුවද උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන දෙදෙනා මුලින් ගත් සම්මුතියට අනුව ක්‍රියා කළ යුතු බව ප්‍රසිද්ධියේ කියා ඇත.

මේ අතර මහ මැතිවරණයේදී 2019 ඡන්ද හිමි නාම ලේඛනය භාවිත කිරීම කෙරෙහි මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී තිබේ. ජනාධිපතිවරණයේදී භාවිත කළේ 2018 ඡන්ද හිමි නාම ලේඛනයයි. ඒ නිසා වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණයන් සැලකිය යුතු පිරිසකට ඡන්දය අහිමි විය. මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ලබන පෙබරවාරි මාසය වනවිට 2019 ඡන්දහිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කරගත හැකි බවය. මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ලබන වසරේ පෙබරවාරි මස 15 වැනි දින ඡන්දහිමි නාමලේඛනය සහතික කරන බවය. දේශපාලන පක්‍ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර හමුවක් ඉකුත් බදාදා පැවැත්විණ. රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ පැවැති එම රැස්වීම තරමක උණුසුම් ස්වභාවයක් ගත්තේය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇප මුදල් වැඩි කිරීම කෙරෙහි දේශපාලන පක්‍ෂ නියෝජිතයන්ගේ අවධානය යොමු කළේය. ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන්ගේ ඇප මුදල රුපියල් ලක්‍ෂ 25 දක්වා වැඩි කළ යුතු බවට මැතිවරණ කොමිසම යෝජනා කළ විට දේශපාලන පක්‍ෂ නියෝජිතයෝ කීපදෙනෙක් ඊට විරෝධය දැක්වූහ. “අපි දුප්පත් පක්‍ෂ. ඔය තරම් ඇප මුදල් වැඩි කරන එක හොඳ නැහැ. අපට ජනාධිපතිවරණයට වගේම අනෙක් මැතිවරණවලටත් තරග කරන්න අවශ්‍යයි.

ඒක අයිතිවාසිකමක්,” ආදී වශයෙන් කියමින් ඇතැම් දේශපාලන පක්‍ෂ නියෝජිතයෝ යෝජනා චෝදනා ඉදිරිපත් කළහ. කෙසේවෙතත් මැතිවරණ කොමිසම දන්වා ඇත්තේ මේ මස 10 වැනි දිනට පෙර ඇප මුදල් සම්බන්ධ යෝජනා මැතිවරණ කොමිසමට එවන ලෙසය. එම යෝජනා ලැබුණු පසුව ඒ ගැන සලකා බලා පාර්ලිමේන්තුවට වාර්තා කරන බව ද මැතිවරණ කොමසම සඳහන් කරයි. මැතිවරණ කොමිසමට ඇප මුදල් වැඩි කිරීමට නොහැකි අතර ඒ සඳහා මැතිවරණ පනත් සංශෝධනය කිරීම පාර්ලිමේන්තුවෙන් කළ යුතුයි.

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමඟ කරළියට පැමිණි තවත් එක් කරුණක් වන්නේ කුප්‍රකට මහබැංකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාවයි. මෙම වාර්තාව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති විසින් පසුගිය දෙසැ. 03 වෙනිදා කෝප් කමිටුවක් කැඳවා එහිදී කෝප් සාමාජිකයන්ට ලබාදීමටත් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත් තීරණය කර තිබිණි. එසේ තිබියදී පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම හේතුවෙන් කුප්‍රකට මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව රටට හෙළිකළ හැකිව තිබූ ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් තවත් මාස ගණනකට හෝ වසර ගණනකට හෝ යටපත් වීම සිදු වූ බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ නොවැම්බර් 11 දින මහ බැංකු අධිපතිවරයා විසින් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති වෙත ආවරණ ලිපියක්ද සමඟ වෝහාරික විගණනයට අදාළ වාර්තා 05ක් එවා තිබේ. එම වාර්තා 05 තුළ 2002 සිට 2015 දක්වා බැඳුම්කර ගනුදෙනුවලට අදාළ කරුණු ගණනාවක් ඇතුළත් බවත් නීතිපති නිර්දේශය වන්නේ කෝප් කමිටුවේ සාමාජිකයින්ට පමණක් මෙම වාර්තා පරිශීලනය කළ හැකි බවත් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය රහස් තොරතුරු එම වාර්තා තුළ අඩංගු බවත් මහ බැංකු අධිපතිවරයාගේ ආවරණ ලිපියේ සඳහන් කොට තිබිණ. මේ හේතුවෙන් කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති කෝප් ලේකම්වරයාට උපදෙස් දී තිබුණේ එම වාර්තා සේප්පුවේ බහා තබන ලෙසත් පාර්ලිමේන්තුවේ ඊළඟ සභා වාර දිනය එනම් දෙසැ. 03 වැනිදා පෙරවරුවේ කෝප් සභාව කැඳවීමට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙසත්ය.

එසේ තිබියදී දෙවැනිදා වන විට පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා ගැසට් නිවේදනය අත්සන් කරන බවට ප්‍රවෘත්තියක් පළ විය. මේ අතර කෝප් සභාපතිවරයා කෝප් කමිටුවේ සාමාජිකයන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න වැනි මන්ත්‍රීවරුන්ට කතා කොට සැසිවාරය අවසන් කිරීම පිළිබඳව විමසූ අතර අවම වශයෙන් 03 වැනිදා මෙම වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළ හැකිද යන්න විමසන ලෙස කියා සිටියේය. කෙසේ වෙතත් දෙසැ. 02 දින මධ්‍යම රාත්‍රියේ ගැසට් නිවේදනය නිකුත් කෙරිණි. පසුදින එනම් 03 වැනිදා කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති කෝප් ලේකම්වරයා හමුවිය. “දැන් මේ වාර්තා අපි කාටවත් විවෘත කරන්න බැහැ. මම හිතුවේ 03 වෙනිදා කෝප් කමිටුව කැඳවලා සාමාජිකයන් ඉදිරියේ මේ වාර්තා විවෘත කරන්න. ඊට පස්සේ පාර්ලිමේන්තුවට දාන්න. ඒ නිසා මමවත් විවෘත කළේ නැහැ. ඒ තීරණය ගත යුත්තේ කෝප් කමිටුවේ සාමාජිකයන්. එහෙත් දැන් කෝප් කමිටුව අහෝසිවෙලා තියෙන්නේ. ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයෙන් පස්සේ පත්වෙන කෝප් කමිටුවෙන් තමයි මේ ගැන ඉදිරි කටයුතු සිදුවෙන්නේ. ඒ වෙනකල් වාර්තා සේප්පුවේ දාලා තියන්න වෙනවා.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

මේ පිළිබඳව දැඩි අවධානයකින් පසුවන මාධ්‍යවේදීහු කිහිපදෙනෙක්ද කෝප් සභාපතිවරයාගෙන් මේ පිළිබඳව විමසා සිටියහ. “සමහර මාධ්‍යයත් වාර්තා කළා ඒ වගේම මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු කිව්වා මේ වාර්තා කලින් ලැබිලා ඉදිරිපත් කළේ නැහැ කියලා” මාධ්‍යවේදියෙක් විමසීය. “ඒක පට්ටපල් බොරුවක්. සමහර ඩීල් වහගන්න කියන කතා මේවා. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨය වුණේ බැඳුම්කර වංචාවයි. ඒකෙ වැරදිකරුවන්ට දඬුවම් දෙන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ විගණන වාර්තා එළිදැක්වූවා නම් ජනතාවට ඒ ගැන ඇත්ත දැනගන්න පුළුවන්. දැන් ඉතිං ඒ අවස්ථාව ජනතාවට අහිමි වුණා. ආයේ කෝප් කමිටුවක් පත්වෙලා න්‍යායපත්‍ර හදලා මේ ගැන තීරණ ගන්නකොට මහ මැතිවරණයත් ඒවි” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

කස්තුරි