ලංකාවේ දස අතින් අලි මිනිස් ගැටුම පිිළිබඳව වූ සිදුවීම් දිනපතා වාර්තා වන්නේ මේ ක‍්‍රියාවලිය ඉතා බරපතළ ලෙස උග‍්‍රව ඇති බවට තොරතුරු අනාවරණය කරමින්ය. එලෙසම ඒ තොරතුරු වලින් හෙළිවන ආකාරයට ප‍්‍රධාන ලෙසම පරාජය වී ඇත්තේ ද අලියාමය. මිනිසාගේ කුරිරුකම්වලට ලක්ව මිහිකත වෙසෙන මහා දැවැන්තයකුගේ ඉරණම එලෙස අලි මිනිස් ගැටුම ඉදිරියේදී විසැඳෙන්නේ රටට මහාර්ඝ සම්පතක් අහිමි කරමිනි.අලියාට උරුම ව තිබූ බොහෝ තැන් දැන් මිනිසාගේ පරිහරණයට ලක්වීම මෙලෙස කැලය උරුම වූ වන සතුන්ට ජීවිත වලින් වන්දි ගෙවන්නට බලපා ඇති ප‍්‍රධානතම හේතුවකි. අලි මිනිස් ගැටුමේම එක් කොටසක් ලෙස වන අලින් මුහුණ දෙන විවිධ විපත්ති ද නිතර නිතර අසන්නට දකින්නට තිබේ මේ අතරින් මහවැලි ‘බී’ කලාපය ප‍්‍රධාන ඇළ මාගය වන D (ඉසඞ්ඞී) ඇළට වැටීමෙන් වන අලින්ට ඇතිවන අනතුරු ඉතා විශේෂිතය. මාදුරුඔය ජලාශයෙන් ඇරඹී මහවැලි ‘බී’ කලාපයේ ගොවි පවුල් ජලයෙන් පෝෂණය කරමින් කිලෝ මීටර් 53ක් දුරට දිවෙන ඉසෙඞ්ඞී ඇළ වන අලින්ට මරු පහරක් වී තිබේ. අද වන විට ඉතා උග‍්‍රලෙස වන අලින් ඉසෙඞ්ඞී ඇළට ඇදවැටීම ඉහළ ගොස් ඇති බව ද දැනගන්නට තිබේ. මේ සඳහා හේතු ගණනාවක් වුව ද ප‍්‍රධානතම හේතුව වී තිබෙන්නේ ‘අලි මංකඩ’ අහුරමින් මිනිසුන් වන අප ක‍්‍රියාකර ඇති අකාරුණික බව නොවන්නේදැයි සිතා බැලීම වටී. පසුගියදා වන අලින් හතර දෙනකු එකම දවසේ ඉසෙඞ්ඞී ඇළට ඇද වැටී සිටියේය. පිඹුරත්තෑව දෙවැනි හොරොව්ව අසලදීත් වැලිකන්ද සිංහපුර ප‍්‍රදේශයේදීත් මෙලෙස වන අලි මහ ඇළට ඇද වැටී සිටියේය. වන ජීවී නිලධාරින් සේම වන සතකු අනතුරට පත්ව සිටින මෙහොතේ හදවත උණුවෙන දයානුකම්පිත මිනිසුන් නොවන්නට එම වන අලින් හතර දෙනාම අද වන විට ඉසෙඞ්ඞී ඇළේදී අවසන් සුසුම් පොද හෙළුවන් බවට පත්වීම වලකාලිය නොහැකි වනු ඇත. සම්පූර්ණයෙන්ම කොන්ක‍්‍රීට් අතුරා නිමවා ඇති ඉසෙඞ්ඞී ඇළට ඇද වැටෙන වන අලියකුට ඉන් ගොඩ ඒමට කිසිදු හැකියාවක් නැත. මිනිසුන්ගේ උදව් ඔවුනට අනිවාර්යෙන්ම අවශ්‍ය වේ. එසේ නොවුණහොත් ඇළේ මහා ජල කඳට අසුවී අලියාට ජීවිතෙන් වන්දි ගෙවන්නට සිදුවේ. මෙලෙස වන අලින් D ඇළට ඇද වැටෙන්නේ ඇයි දැයි මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක ඒ.ටී.ආර්. රවීන්ද්‍ර කුමාර මහතාගෙන් ඉරිදා ලංකාදීප කළ විමසීමකදී හෙතෙම මෙලෙස පැවසීය. ‘‘ඇත්තටම වන අලින් මෙහෙම ප‍්‍රධාන ඇළට ඇදවැටෙන්නේ මේ ආශ‍්‍රිතව තිබෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන බිම් වලට මාරුවෙන්න ගිහින්.... පිඹුරත්තෑව වැව ආශ‍්‍රිතව කැළේ්ට අලි හුඟක් කැමතියි. මේ ප‍්‍රදේශයට මාරුවෙන්න හිතාගෙන මේ සතුන් ඇළට බහිනවා. ඒකේදී මේ වගේ අනතුරට පත්වෙනවා. අලියට වනජීවී ද වන සංරක්ෂණ ද කියන එක අදාළ නෑ. ඉතිං ඔවුන් මේවාට මාරුවෙන්න උත්සාහ කරන්නෙ. මේ ළඟදී පිඹුරත්තෑව දෙකේ දොරටුව අසලදීත් සිංහපුර ප‍්‍රදේශයේදීත් අලි දෙන්න දෙන්න දෙතැනකදී ඇළට වැටිලා සිටියා. මේ වගෙ අලි ඇළට වැටෙන තැන් දෙකක් තුනක් තිබෙන්නෙ. මේ හඳුනාගත් තැන් වලදී තමයි නිරන්තර අලි ඇළට වැටිලා තිබෙන්නේ. මාදුරුඔය වන උද්‍යානයේ අපිත් වෙහෙරගල අලි පාලන ඒකකයේ අයත් එකතු වෙලා මේ වගේ වෙලාවකදී අලි ගොඩට ගන්න ක‍්‍රියා කරනවා. ඇතැම් වෙලාවට පොළොන්නරුව කාර්යාලයෙනුත් උදව් ලබා ගන්නවා.... මාදුරුඔය උද්‍යාන පාලක රවීන්ද්‍ර කුමාර එලෙස පැවසීය. ගෙවුණු අවුරුදු තුනක කාලයේදී වන අලින් 29 දෙනකු D ඇළට ඇද වැටී ඇති බව වෙහෙරගල අලි පාලන ඒකකයේ (ගජ මිතුරා) වන අඩවි සහකාර ඒ.එම්.එච්.එස්. කුමාර මහතා පැවසීය. එලෙසම මීට පෙර වතාවක මෙලෙස ඇළට ඇද වැටුණු අලියකු ප‍්‍රධාන ඇළේ සොරොව්වක හිරවීමෙන් මරණයට පත්ව සිටි බවද කුමාර මහතා පැවසීය. එලෙසම ඔහු මෙසේද කීවේය. ‘‘මෙහෙම අලි ඇළට වැටෙන්නෙ ඇත්තටම වෙනත් කැළෑවන් වලට මාරුවෙන්න යාමේදී තමා.... ඒ වගේම ගෙවතු වලට පැනලා මිනිස්සු එළවද්දී කළබල වෙලත් මොවුන් ඇළට වැටෙනවා........මෙයාලා රණ්ඩු වෙන අවස්ථා තිබෙනවා. කණ්ඩායමට පිටින් ආපු අලින්ට පහර දෙන්න ඒ කණ්ඩායමේ ඉන්න පිරිමි අලි ක‍්‍රියාකරනවා. මේ වගේ ගැටුම් වලදීත් අලි මේ ප‍්‍රධාන ඇළට වැටෙනවා.......මේ ඇළෙන් ගොඩ වෙන්න පුළුවන් කියලා හිතාගෙන ඇළට බහින අලිත් ඇළෙන් ගොඩ එන්න බැරිව අමාරුවෙ වැටෙනවා. ඒ වගේම වතුර බොන්න ඇළ අසලට ඇවිදින් ඇළට වැටෙන අලිත් ඉන්නවා. මේ විදිහට තමා අලි D ඇළට වැටෙන්නේ....’’ කුමාර මහතා කීවේය. එලෙසම මෙලෙස අලියකු ඇළට වැටී ඇති බවට ලැබෙන තොරතුරු වලදී ඉතා ඉක්මනින් ක‍්‍රියාත්මක වීම නිසා අලිමරණ තමන්ගේ සේවා කාලයේදී සිදු නොවූ බව ද කුමාර මහතා පැවසීය. Dඇළ ඉදිකර වසර තිහක කාලයක් ද ඉක්ම යමින් පවතී. මාදුරුඔය ජාතික වනෝද්‍යානය ඇතැම් තැනකදී මාදුරුඔය D ඇලේ මායිමකි. තවත් තැනකදී වනෝද්‍යානය කොටසකින් ද ඇළ ගලා බසී. කෙසේ වුවද මේ ඇළ ගලා බසින්නේ වන අලින්ගේ පි‍්‍රයජනකම වූ බිම් කඩවල්, අලි මංකඩවල් හරහාය. පසෙකින් වස්ගමුව, සෝමාවතිය වන පියසට, මනම්පිටිය ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට, එලෙසම තොප්පිගල කැලෑවට, නෙලූගලට, අලි එහා මෙහා ගිය මග හරස් කර අද D ඇළ බාධාකයක් වී ඇත. මේ සඳහා විකල්පයක් අදටවත් නැද්ද? ඒ පිළිබඳව ද වාර්තමාන මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ බාරකරු රවීන්ද්‍ර කුමාර මහතාගෙන් විමසුවෙමු. ‘‘ඇත්තටම අද දවසේදීමත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා අනෙකුත් අදාළ අංශ එකතු වෙලා කළයුතු වැඩක් තිබෙනවා. ඒ තමා අපි මෙලෙස අලි ඇළට වැටෙන තැන් හඳුනාගෙන තිබෙනවා. ඒ පිඹුරත්තෑව දෙකේ දොරටුව අසල කොටස, ඒ වගෙම අරලගංවිල 5 කණුව ප‍්‍රදේශය, එලෙස සෙවනපිටිය සිංහපුර ආශ‍්‍රිත ප‍්‍රදේශ.... මේ ප‍්‍රදේශ වල ඇළේ කිලෝ මීටර් දෙකෙන් දෙකට හරි කොන්ක‍්‍රීට් පඩි පෙළවල් තැනින් තැන සැකසීම. විශේෂයෙන්ම ඇළේ වතුර එක් රැුස් කිරීමට සකසා ඇති දොරටු අසල මෙවැනි කොන්ක‍්‍රීට් පඩි පෙළවල් සැකසීමෙන් ඇළට වැටෙන අලියට ගොඩ එන්න ලේසි වෙනවා....... දැනට විකල්පයකට තිබෙන්නේ මෙපමණයි..... අපි දැනටත් කරන්නෙ අලියෙක්ව ගොඩ ගන්න ගියාම විශාල කඹ අරගෙන ලොකු ලී කොට බැඳලා විශාල ඉණිමඟක් හදලා ඒ ඔස්සේ අලියට ගොඩට එන්න සැලසීම...... මේක විතරයි විකල්පයකට තිබුණේ..... මොකද කඹ දාලා අලියව ගොඩට ඇදලා ගන්න බෑනේ...... රවීන්‍ද්‍ර කුමාර මහතා එලෙස කීවේය. සැබවින්ම අද දවසේදීවත් මෙලෙස ප‍්‍රධාන ඇලෙහි හදුනාගත් ස්ථාන වල කොන්ක‍්‍රීට් පඩිපෙළක් ඉදිකිරීම කාලෝචිතය. මෙලෙස වන අලින් ඇළට වැටීමෙන් සිදුවන අනතුරු වලදී විශාල වශයෙන් අලින් තුවාල ලබන අවස්ථාද තිබෙන බව වනජීවී නිලධාරීහු පවසති. ඇළ දිගේ පීනමින් කොන්ක‍්‍රීට් බැම්මේ රූටා වැටෙමින් ගොඩ එන්නට ගන්නා උත්සාහයේදී අලින්ගේ නියපොතු ගැලවී පාද තුවාල වී තිබෙනු දක්නට ලැබන බව ද ඔවුහු පැවසූහ..... මේ හේතු සමගින් ඉසෙඞ්ඞී ඇළට වැටෙන අලින්ට ගොඩ ඒමට එවැනි ස්ථානවල කොන්ක‍්‍රීට් පඩිපෙළ ඉදි කරදීමට අදාළ බලධාරීන් ක‍්‍රියා කරතැයි අපි විශ්වාස කරමු.

අලි ගොඩගන්න ගිහින් අපිත් අනතුරු වලට ලක්වෙනවා

මේ ඇළට වැටෙන අලි ගොඩ ගැනීමට යාමේදී සිදුවන අනතුරු පිළිබඳව වෙහෙරගල අලි පාලන ඒකකයේ වන අඩවි සහකාර ඒ.එම්.එච්.එස් කුමාර මහතා මෙසේ කීවේය.‘‘D ඇළට අලියෙක් වැටිලා කියලා තොරතුරු ආව ගමන් අපි ඉක්මනින් යනවා අවශ්‍ය උපකරණත් ලබාගෙන ඒ ස්ථානයට. මෙහෙම යනකොට අලියා දන්නෙ නෑ අපි ආවේ උගෙ පිහිටට කියලා.....අලියා ඉතා දරුණු ලෙස මේ වෙලාවෙ කිපිලා ඉන්නෙ....... ඉතිං ඌ අපිටත් විරෝධය පළකරනවා.’’‘‘මෙහෙම දවසක් පිඹුර්තෑව ආශි‍්‍රතව ප‍්‍රධාන ඇළේ වැටිලා හිටපු අලියෙක් ගොඩ ගන්න අපි ගියා. පැය ගණනක් මහන්සි වෙලා අපි අලියව ඇලෙන් ගොඩ වෙන්න සැලසුමක් සකස් කළා......’’ ‘‘ගොඩට ආව ගමන් අලියා කළේ අපි හිටපු දිහාවට එළවගෙන ආව එක..... අපි සී සීකඩ දිව්වා........ අලියා කළේ වාහනයට පහර දෙන එක...... අපි අලිවේඩි දාලා කෑ ගහලා අලියා එළවලා දැම්මේ නැත්තම් රියදුරුත් සමඟ ඒ වෙලාවේ වාහනේ හිටපු අපේ අයව අලියා මරලා දානවා....... මේ වගේ දැඩි අවදානමක් වන අලි මේ වගේ විපැත්ති වලින් ගොඩ ගනිද්දි අපට විදින්න වෙන්නෙත්.....

ස්තුතිය: ශාන්ත මහතාට හා නිමල් ජයරත්න මහතාට

සටහන හා ඡායාරූප - අරලංගවිල සමන්ත බණ්ඩාර