===========================================================================

ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ 46 වැනි සැසිවාරයේ ශ්‍රී ලංකාවට එරෙහිව බි්‍රතාන්‍යය ප්‍රමුඛ රටවල් හයක් විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද යෝජනාව වැඩි ඡන්ද 11 කින් ඊයේ (23 වැනිදා) සම්මත විය. යෝජනාවට පක්ෂව රටවල් 22 ක් ඡන්දය දුන් අතර රටවල් 11 ක් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේය. රටවල් 14 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගකීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය යන මැයෙන් මෙම යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ලැබුවේ බි්‍රතාන්‍යය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටෙනීග්‍රෝ සහ මලාවි යන රාජ්‍යයන් විසිනි.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද යෝජනාව වැඩි ඡන්ද 11 කින් සම්මත වූවත් මෙම යෝජනාවේ ඡන්ද විමසීමට පෙර, විවිධ පාර්ශ්වයන් වෙතින් ඒ සම්බන්ධයෙන් උනන්දු වූ ආකාරය විචිත්‍රවත්ය. මෙහි තිබෙන්නේ ඒ පිළිබඳ තිරෙන් පිටුපස රඟ දැක්වූ නාටකයේ ජවනිකා කිහිපයකි.

===========================================================================

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලියේ සිව්වන ඡේදයට අවධානය යොමුකිරීම මෙහිදී වටී.

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ස්වාධීනත්වයට, එක්සත්භාවයට සහ භෞමික අඛණ්ඩතාවයට, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ඇති පිළිගැනීම නැවත වරක් තහවුරු කරන්නේ යැයි එහි සදහන්ව ඇත. එහෙත් ශ්‍රී ලංකාවට ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී සහය දක්වන්නේ ද? නොදක්වන්නේ ද? යැයි ඉන්දියාව නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නැත. එනිසාම, මෙම සඳහන පදනම් කරගෙන ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය දක්වන ස්ථාවරයක සිටින්නේ යැයි සිතන්නට හැකියාව ඇත.

විදේශ අමාත්‍යංශ ලේකම්වරයා මෙකී කාරණය අවධානයට ගනිමින්, මාධ්‍ය හරහා ඉන්දියාවේ දකුණුදිග ප්‍රදේශයට පීඩනයක් එල්ල කර, ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය දක්වන තැනට ගෙනඒමේ උපායක් අනුගමනය කරමින් සිටි බවක් පෙනෙන්නට තිබිණ.

මෙම තීරුවලින් අනාවරණය කළ ආකාරයට, ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය දක්වනු ඇතැයි බලධරයින් කියා සිටියේ ඉතා මෑතකදීය.

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ඉන්දියා ටුඩේ සගරාව සංවිධානය කර තිබූ සංවාදයකට සහභාගීවීම සදහා චෙන්නායි සිට නවදිල්ලිය දක්වා ගුවන් මගින් පැමිණියේය. සිය කතාවේ දී, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටළු ගැන සදහන් කළ ඔහු, එම ජනතාවගේ ගැටලු විසඳීම මැතිවරණ සමයට පමණක් සීමාවන - පසුව අමතක කර දැමෙන දෙයක් නොවිය යුතු බව අවධාරණය කළේය. ඒවා විසඳීම සදහා අවංක කැපවීමක් තිබිය යුතු බව ඉන්දියානු විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර ගෙවෙමින් තිබෙන වකවානුවක ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා කළ මෙම ප්‍රකාශය පැහැදිලිවම ශ්‍රී ලංකා රජය වෙත ලබාදුන් පණිවුඩයකි. පළාත් සභා මැතිවරණය, ජගත් මානව හිමිකම් කවුන්සිල යෝජනාවලිය සමඟත් බැදී තිබෙන්නකි.

 

ඉන්දියානු නිත්‍ය නියෝජිතයාගේ ප්‍රකාශය

නිල වශයෙන් ගත්විට, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ඉන්දියානු නිත්‍ය නියෝජිත අශෝක් මනි පාණ්ඩේ කළ ප්‍රකාශයෙන් පසුව මේ දක්වා ගෙවී තිබෙන කාලයේ ඉන්දියාවේ ස්ථාවරය කිසිදු අයුරකින් වෙනස්ව නොමැත. කවුන්සිලයේ සාමාජිකයන් අමතමින් කළ කතාවේ දී, ඔහු මෙසේ සදහන් කළේ ය.

“ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව ගැනත්, ඇය කළ අදහස් දැක්වීම ගැනත් අපි අවධානය යොමුකර තිබෙනවා. ශ්‍රී ලංකාවේ දශක 3කට ආසන්න කාලයක් පුරා පැවති යුද්දය අවසන් වූ 2009 මැයි මාසයේ සිට ගත්විට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වූ යෝජනා 7කට කවුන්සිලයේ අනුමැතිය හිමිව තිබෙනවා.”

“මෙම යෝජනා පදනම්ව ගොඩනැගුණු සංවාදවල ඉන්දියාව ඉතාම සක්‍රීය පාර්ශවකරුවෙක් ලෙස කටයුතු කර තිබෙනවා. ඒ වගේම අපගේ සමීපතම මිතුරා මෙන්ම ළගම අසල්වාසියා වන ශ්‍රී ලංකාව සමග දිගින් දිගටම සබඳතා පවත්වාගෙන ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව ස්ථීරසාරව අනුගමනය කරමින් සිටින ස්ථාවරය රඳා පවතින්නේ කුළුණු දෙකක් මතයි” 

“පළමුවැන්න තමයි ශ්‍රී ලංකාවේ එක්සත්භාවයට සහ භෞමික අඛණ්ඩතාවයට සහයෝගය දැක්වීම. සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගරුත්වය යන කාරණා දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට තිබෙන බලාපොරොත්තු වෙනුවෙන් පෙනී සිටීම සහ කැපවීම තමයි දෙවැන්න.” යයි හෙතෙම පැවසීය.

ඉතා සීරුවෙන් සහ සැළකිලිමත්ව ගොඩනතා තිබූ මෙම ප්‍රකාශය අධ්‍යනය කිරීමෙන් පසුව කොළඹ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව පළකරමින් සිටින අදහස්වලට අනුව නම් මත දෙකකි. එකක් නම් ඉන්දියාව මෙම යෝජනාවලියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි සිතන පිරිසක් සිටින බවයි. අනෙක ඉන්දියාව එසේ කිරීමේ ඉඩක් නැතැයි සිතන පිරිසක් සිටින බවයි. කෙසේවුවත්, ඉන්දියාව මෙම යෝජනාවලියට විපක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කරනු නැතැයි යන්නට ඔවුන් සියලුදෙනාම එකගය. ශ්‍රී ලංකාවට සහාය දැක්වීම යනු ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත්ව තිබෙන යෝජනාවලියට විපක්ෂව ඡන්දය භාවිතා කිරීම මිස අනෙකක් නොවේ.

අවසානයේදී සිදුවූයේද ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටීමයි.

යෝජනාවලියේ අන්තර්ගතය මුල්කරගෙන පැවැති විවෘත සංවාදයන්ට ඉන්දියාව සක්‍රීය දායකත්වයක් ලබා නොදුන් බව මෙහිදී අවධානයට ගතයුතු වැදගත් කාරණයකි. නොනිල මට්ටමින් පැවැති අදහස් විමසීම්වලදීද තත්ත්වය එවැනිම විය. බංගලාදේශය සහ නේපාලය පවා එම සාකච්ඡාවලදී අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි.

කෙසේවුවත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බංගලාදේශ සංචාරයට පෙර පැවැති රාජ්‍යතාන්ත්‍රික අදහස් විමසීම්වලදී, ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී, ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීමට ඩකා අගනුවර එකගත්වය පළකර තිබේ. අගමැතිවරයා ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ විශේෂ යානයක නැගී ඩකා නුවර බලා පිටත්වීමට හේතුවූ කාරණා අතුරින් එක් ප්‍රධාන කාරණයක් වූයේද එයයි.

 

වෘත්තීය මට්ටමෙන් උසස් විදේශ සේවයක්

යෝජනාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වන එක්සත් රාජධානියට පවා ඉන්දියාවේ ස්ථාවරය නිශ්චිතව පැහැදිලි කරගැනීමට නොහැකිව ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලය, එක්සත් ජාතීන් සහ දකුණු ආසියාව පිළිබද එක්සත් රාජධානියේ රාජ්‍ය අමාත්‍ය අහමඩ් සාමිවරයා ගෙවුණු සතියේ සිටියේ නවදිල්ලියේය. බ්‍රහස්පතින්දා ඔහු ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවිය. ලන්ඩනයේ රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගවලට අනුව ඉන්දියාවේ ස්ථාවරය හරිහැටි ග්‍රහණය කරගැනීමට අහමඩ් සාමිවරයාට පවා නොහැකිව ඇත. වෙනත් වචනවලින් කියතොත්, ඉන්දියාව නොබිඳෙන නිහඩතාවයක් අනුගමනය කරමින් සිටී. ඉන්දියාවේ විදේශ සේවය වෘත්තිමයභාවය අතින් ඉතා උසස් බව ප්‍රකට කාරණයකි.

එසේ නම්, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී, ඉන්දියාව ශ්‍රී ලංකාවට පක්ෂව, යෝජනාවලියට විරුද්ධව, ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි කොළඹගේ මහතා පවසා සිටින්නේ කෙසේ ද? ඔහු සැබැවින්ම නිවැරදි නම්, එනම් ඉන්දියාව ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය භාවිතා කරයි නම් (එය ඒ අවස්ථාවේදී ඔහුම පමණක් දන්නා කාරණයක් බව පෙනන්නට තිබිණ), අපගේ විදේශ කටයුතු ලේකම්වරයාට එකී රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණය දිනාදීම සම්බන්ධයෙන් රටේ උසස්ම ගෞරවය හිමිවිය යුතුමය.

නමුත් ඔහු එවැනි නිගමනයක් ඉදිරිපත් කරන්නේ හිතළු මත පිහිටා නම්, තත්ත්වය බරපතල වනු ඇත. ඔහු අදහස් දක්වන්නේ වෙනත් ස්වෛරී රාජ්‍යයක් සම්බන්ධයෙන්ය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නොවේය. එසේ කර, ඔහු යම් යෙහෙකින් වැරදි වුවහොත් සිදුවන්නේ ශ්‍රී ලංකාව නැවත වරක් අවමානයට පත්වීම සහ දැනටමත් තැලී තිබෙන රජයේ විශ්වසනීයත්වයට තවත් දැඩි පහරක් එල්ලවීම පමණකි. අපට හිමිවනු ඇත්තේ, - ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ලේකම්වරයා සිදුකරනා ප්‍රකාශයන් බරපතල ලෙස ගිණිය නොහැක - යැයි කියැවෙන තත්ත්වයකි.

 

රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු මාධ්‍ය හරහා

මාධ්‍ය හරහා ඔහු නවදිල්ලිය සමග සිදුකරන රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුව එසේ සිදුවෙමින් තිබෙන්නේ පසුගිය මාස 15 ක සිටම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ පුටුව හිස්ව පවතින වාතාවරණයකය. එම තනතුරට නම් කරනු ලැබූ මිලින්ද මොරගොඩ මහතා ලබන අප්‍රේල් මාසයේ අග භාගයේදී, එම ධූරයේ වැඩභාර ගනු ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පතට දැනගැනීමට හැකිවිය.

ශ්‍රී ලංකාවේ අපේක්ෂා බිද දැමෙන යම් ස්ථාවරයක් අනුගමනය කිරීමට ඉන්දියාව පෙළඹුනහොත්, ඒ අරබයා නිසැකවම නැගෙනු ඇති දෝෂාරෝපණයෙන් මේ නිසාම මොරගොඩ මහතා නිදහස් වේ. රජයේ නායකයකුගෙන් දැනගන්නට ඇති පරිදි, මොරගොඩ මහතා සැළසුම් කර තිබෙන්නේ මාසයකට සති දෙකක් නවදිල්ලියේ ගතකර ඉතිරි කාලය ශ්‍රී ලංකාවේ රැදී සිටීමටය.

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා යනු එහි නැවතී සිටම ඉටුකළ යුතු පූර්ණකාලීන රාජකාරියකි. කෙසේවුවත්, මෙහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකි විය.

රජයක් ලෙස ජගත් මානව හිමිකම් කවුන්සිලය සමග සංවාදයේ නිරතවීමට - සබඳතා පවත්වාගැනීමට සිදුවූ බව කොළඹගේ මහතා දිනපතා දෙමළ පුවත්පතක් වන වීරකේසරී පුවත්පත සමග පැවසුවේය. එය සත්‍ය වශයෙන්ම අනුගමනය කළ යුතු නිවැරදි ස්ථාවරයයි. එසේ නම් රජය ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාර්තාවත්, ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ තිබූ යෝජනාවලියත් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළේ ඇයි?

එම තීරණයත්, රජය ගත් තීරණයක්ම නොවේ ද?. එයින් සිදුවූයේ මෙකී වාර්තාව සහ යෝජනාවලිය ප්‍රතික්ෂේප කර ඇතිය යන්න ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව වරදවා වටහා ගැනීමය. නමුත් යතාර්ථය නම්, යෝජනාවලිය සම්බන්ධයෙන් වූ පොදු සාකච්ඡාවලට සහභාගීවීම නිසාම රජය මෙම යෝජනාවලිය පිළිගෙන ඇත යන්නයි.

එය එසේ තිබෙන්නට හරිමු. අනෙක් පස තවත් දෙයක් ඇත. එනම් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී.ඒ.චන්ද්‍රප්‍රේම මහතාගේ ක්‍රියාකලාපයයි.

යෝජනාවලියේ සඳහන් මෙහෙයුම් ජේද අංක 1ට සංශෝධන සිදුකිරීම මඟහැර යාමට ඔහු උත්සාහ කිරීම විමතිය දනවන සුලු විය. අන්තර්ගත වෙනත් කාරණාවලට අමතරව, එම ඡේදයෙන් ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය, කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ වාර්තාව පිළිගනු ලබන අතර, එයින් එසේ කර තිබෙනුයේ ‘කාර්යාලයෙන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටීම....‘යන්නට අමතරවය.

ඔහු එයට සංශෝධන සිදුකළේ නම් ශ්‍රී ලංකා රජයේ වත්මන් ස්ථාවරය හා මනාව පෑහීමට ඉඩ තිබිණ. නමුත්, ඔහු ඒ වෙනුවට අනෙක් මෙහෙයුම් ඡේදයන්ට (6, 7 සහ 8 යන) සංශෝධන කිරීමට උනන්දු විය. එයද ඔහු කළේ එසේ සංශෝධන සිදුකිරීමට නම් අනුගමනය කළ යුතු ක්‍රියාවලියෙන් හා සාකච්ඡා කිරීමෙන් බැහැරව යමිනි.

ජිනීවාහි ජගත් මානව කවුන්සිලය සමග ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින්නේ නිසි මූලෝපායක් නොමැතිව බව යන්න නැවත වරක් විද්‍යාමාන වූ අවස්ථාවක් ලෙස මෙය සැළකිය හැකිය.

ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා, ඔහුට හිමි වගකීම අනුව, මානව හිමිකම් කවුන්සිලයේ අනෙක් සාමාජිකයන් සමග සංවාදයේ නිරතවීමේ සහ ඔවුන් සමග සබඳතා ගොඩනඟා ගැනීමෙහිලා අපොහොසත්ව තිබීම සම්බන්ධයෙන් ද, ශ්‍රී ලංකා රජයේ නායකයින් සිටින්නේ අසතුටට පත්වය. කෝවිඩ්-19 වසංගත තත්ත්වය නිසා ජිනීවාහි සිටින නියෝජිතයන් සාකච්ඡාවලට එක්වීමට අකමැති බව මෙයට හේතුව ලෙස චන්ද්‍රප්‍රේම පැහැදිලි කර ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් ඔහුට පෙන්වා දී තිබෙන්නේ කාරණය ඇත්ත වූවත් අන්තර්ජාලය හරහා කවුන්සිලයේ නියෝජිතයන් අතර රැස්වීම් පැවැත්වෙමින් තිබෙන බවය.

 

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි

පරිවර්තනය - කෝවිද ගුණසේකර