ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකයකු වූත් ශ්‍රී ලංකාව සම්බන්ධ අතිවිශේෂ දැනුම් සම්භාරයක් ඇත්තකු වූත් රන්ජිව් ගුණවර්ධන මාර්තු 10 වැනිදා වෙස්මිනිස්ටර් මාළිගයේදී නෙස්බි සාමිවරයා හමුවී සාකච්ඡා කළේය. එම හමුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු වාර්තාව සැකසීමේදී එම නිලධාරීන් අතින් සිදුවී ඇති වැදගත් දෝෂ කිහිපයක් නෙස්බි සාමිවරයා විස්තර කළේය.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සියලුම පක්ෂවලට අදාළ පාර්ලිමේන්තු කණ්ඩායම් එක්සත් රාජධානියේ සභාපතිවරයා වූ නෙස්බි එම වාර්තාව සවිස්තර ලෙස විග්‍රහයට ලක් කළේය.

මෙම වාර්තාව සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් නෙස්බි එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිෂෙල් බැව්ලේ ජෙරියා හට ලිපියක් යවා තිබුණ ද මෙතෙක් ඊට පිළිතුරු ලැබී නැත.
ඔහු අනාවරණය කරන කරුණු පහත දැක්වේ.

යුද්ධය ගැන මුළුමනින්ම විස්තර කිරීමක් කර ඇති එම අතිවිශේෂ ලේඛනය මා පරෙස්සමෙන් කියවා හමාර කළා. ද්වේශ සහගත ත්‍රස්තවාදී කණ්ඩායමක් විප්ලවවාදී සමාජවාදී රාජ්‍යයක් ගොඩනැගීමට උත්සහ දරමින් පළමුවෙන්ම මධ්‍යස්ථ ද්‍රවිඩ නායකයන් ඝාතනය කළා. ඉන්පසු ජනාධිපති ප්‍රේමදාස හා අගමැති රජිව් ගාන්ධි ඝාතනය කළාට පසුව ඔවුගේ මව වූ ඉන්දිරා ගාන්ධි එල්.ටී.ටී.ඊ. කොටින්ට ප්‍රධාන අනුග්‍රාහකයා වී මූලාරම්භයේදී දකුණු ඉන්දියාවේ ඔවුන්ට පුහුණු කඳවුරු පැවැත්වීමේ අවසරය ලබා දුන් බව කීම එක් අතකින් උත්ප්‍රාසය දනවන කාරණයක්.

ඔවුන් ගණන් කළ නොහැකි තරම් ඇමැතිවරුන් ඝාතනය කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සමාජ නායකයන් පවා ඝාතනය කර අවසානයේ අතිශය ප්‍රචණ්ඩකාරී යුද්ධයක් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත් කළ ආණ්ඩුවේ සන්නද්ධ හමුදාවලට එරෙහිව දියත් කළා. මේ සියල්ල කළේ ඊලමේ නාමයෙන්.

එ.ජා.මා. හිමිකම් කොමිසම ශ්‍රී ලංකා රජයටත් එහි සන්නද්ධ හමුදාවන්ටත් කුරිරු අපරාධ බවට ඊනියා විශ්වාසදායක බව කියන සාක්ෂි මත පිහිටා චෝදනා කරනුයේ නිශ්චිතව කිව නොහැකි මූලාශ්‍රවලින් කරුණු උකහාගෙනයි. ඒවා ලියා ඇත්තේද දෙමළ කොටින්ට අනුකම්පාව දනවන ආකාරයෙන් අතිශයෝක්තියෙන් කරුණු දක්වමින් විශේෂඥ කමිටුව (දරුස්මාන්) සහ ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව යන වාර්තා දෙකම භාවිතකොට ඇති භාෂාවෙන් පිළිබිඹු වන්නේ සැබෑ සාක්ෂි පදනම් කොටගෙන ලියූ දේට වඩා අනුමානයෙන් පවසන කරුණු එහි බහුල බවයි. ඇත්තෙන්ම සංහිඳියා ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම සඳහා ඉවහල් වන කරුණු එම වාර්තාවේ ඇත්තේ මඳ වශයෙන්.

නෙස්බි මෙසේද කියා සිටියේය.

මා 1975 දී බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සියලුම පක්ෂවල පාර්ලිමේන්තු කණ්ඩායම ආරම්භ කළ නිසා ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැඹුරෙන් හදාරා තිබෙනවා. අවුරුදු 50ක කාලයක් තිස්සේ බාහිරවත් අභ්‍යන්තර වශයෙනුත් අතිශය ගැඹුරින් මා කරුණු පරීක්ෂා කර තිබෙනවා.

නිසි මූලාශ්‍ර ආශ්‍රයෙන් දීර්ඝ වශයෙන් කළ පර්යේෂණයක් පදනම්කොට ගෙන ලියන ලද පොතකින් නෙස්බි මේ වනවිට එම කරුණු හෙළිදරව් කර තිබේ. ඇත්තෙන්ම මා එම පොතේ පිටපත් දෙකක් දකුණු ආසියා අංශයේ විදේශීය පොදු රාජ්‍ය මණ්ඩලීය සංවර්ධන කාර්යාලයටත් ලබාදී තිබෙනවා. පොතේ නම ‘Sri Lanka - Paradise Lost - Paradise Regained’ යන්නයි.
නෙස්බි සාමිවරයා තවදුරටත් සිය අදහස් ප්‍රකාශ කළේය.

මූලික කරුණු 10ක් එ.ජා.මා.හි. කොමිසම සැලකිල්ලට ගන්නට අසමත් වී ඇත.


1. යුද්ධයේදී බලපානු ලබන්නේ සන්නද්ධ ගැටුම් පිළිබඳ නීතියයි. වෙනත් අයුරකින් කිවහොත් අන්තර්ජාතික මානව හිතවාදී නීතියයි. මෙය එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය යටතේ වූ යුද අපරාධ විනිශ්චය සභාවේ හිටපු ප්‍රධාන අභිචෝදක සර් ඩෙස්මන්ඩ් ද සිල්වා විසින් තහවුරුකොට තිබෙනවා. මානව හිමිකම් පිළිබඳ යුරෝපීය ප්‍රඥප්තිය මුළුමනින්ම යුද ගැටුම් හා සංග්‍රාම භූමිවලට අදාළ නොවන බව පෙන්වා දී තිබේ.

2. මේ වනවිට පරීක්ෂාකොට තහවුරු කරන ලද සාක්ෂි ගණනාවකින් 2009 ජනවාරි සිට මැයි 18 දක්වා මියගිය සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 5000-7000 අතර බව හෝ ඊට අඩු බව පෙනී ගොස් ඇත. එය එ.ජාතීන් දක්වන ආකාරයට කිසිසේත්ම 40,000 හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නොවේ.

3. වඩාත් කුරිරු වූ යුද අපරාධය වන්නේ එල්.ටී.ටී.ඊ.ය විසින් ගැහැනු/ පිරිමි ළමා සොල්දාදුවන් බඳවා ගැනීමයි. යුනිසෙෆ් (UNICEF) ආයතනය මෙම සංඛ්‍යාව 2001 අප්‍රේල් හා 2004 අතරතුර 4259කට අඩු නොවූ බව තහවුරුකොට ඇත. 2005 ජුලි 31 දින දරුවන් 5081 ක් බඳවාගෙන ඇති අතර ඔවුන් ප්‍රකාශකොට ඇත්තේ තවදුරටත් යුනිසෙෆ් ආයතනය ඇස්තමේන්තු කළ පරිදි එල්.ටී.ටී.ඊ. යුද ගැටුම්වලදී මියගිය අයගෙන් සියයට 60 ක් ළමා සොල්දාදුවන්ය. එසේ වුවද එ.ජා.මා. හිමිකම් කොමිසම සිය වාර්තාවේ 4 වැනි පිටුවේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල ළමා සොල්දාදුවන් නැති බවයි. ළමා සොල්දාදුවන් බඳවා ගැනීම, පුහුණු කිරීම හා ඇතැම් විට මෙහෙයවීමට පවා දැඩි සේ හවුල් වූ දෙමළ කොටි සංවිධානයේ කටයුතු කළ ඇඩෙල් බාලසිංහම් බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. ඇය මේ වනවිට එක්සත් රාජධානියේ පදිංචි වී සිටී. එක්සත් ජාතීන් ඈ ගැන කිසිවක් සඳහන් කර නොමැත. බ්‍රිතාන්‍යයට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සැබෑ වගකීමක් හා සත්‍ය දැනගැනීමේ අපේක්ෂාවක් ඇත්නම් ඇඩෙල් බාලසිංහම් පිළිබඳ විමර්ශනයක් කරන ලෙස එක්සත් ජාතීන්ට කියා නොසිටින්නේ මන්දැයි අයකුට ප්‍රශ්නයක් මතුවේ.

බාලසිංහම් එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම්වලට දායක වෙමින් කාන්තා සොල්දාදුවන්ගේ ගෙලේ සයනයිඩ් කරල් එල්ලන වාර්තා චිත්‍රපටයක් Inside Story නමින් 1991 ඔක්. 23 වැනිදා 21.30 ට BBC සේවාවේ ප්‍රචාරය විය.

4. එක්සත් රාජධානියේ ආරක්ෂක අංශයේ සේවය කළ ලෙෆ්ටිනන්ට් කර්නල් ගාෂ් ශ්‍රී ලංකාවේ සේවය කළ කාලය ඇසුරෙන් එ.ජා. රජයට සාක්ෂි ලැබී තිබේ. යුද පෙරමුණේ තොරතුරු පදනම් කරගෙන කර්නල් ගාෂ් යැවූ නිල වාර්තා තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතකොට නෙස්බි සාමිවරයා ලබාගෙන තිබේ. වසර තුනක සේවා කාලය තුළ ඔහු යැවූ නිල වාර්තා මෙසේ නෙස්බි සාමිවරයා ඉල්ලීම්කොට ලබාගෙන ඇත. ශ්‍රී ලංකා රජය එහි සන්නද්ධ හමුදාව සාමාන්‍ය ද්‍රවිඩ පුරවැසියන් මරා දැමීමේ ප්‍රතිපත්තියක් අනුගමනය නොකළ බව එම නිල වාර්තා ඇසුරෙන් හොඳින් පැහැදිලි වේ. ඒ වෙනුවට ද්‍රවිඩ වැසියන් අනතුරුවලින් මුදාගැනීමේ කාර්යය සන්නද්ධ හමුදා කළ බව ඒවායින් පැහැදිලිය. මෙම නිල වාර්තා එ.ජා.මා.හි. කොමිසම වෙත ඉදිරිපත් නොකොට ඒවා ප්‍රසිද්ධියට පත් නොකිරීමෙන් බ්‍රිතාන්‍ය රජය කරනුයේ ශ්‍රී ලංකාවේ යුද ගැටුම් ආශ්‍රයෙන් සිදුවූ සැබෑ තතු සඟවා තැබීමකි.

5. 2008 සැප්. මාසයේදී පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් කරවීමේ සිද්ධිය ගැන 4 වැනි පිටුවේ 9 වැනි ඡේදයේ සඳහන් වීම ගැන මා කිසිවක් නොකියන මුත් 1990 ජුනි 11 වැනිදා නැගෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊය වෙත භාරවූ පොලිස් නිලධාරීන් 600ක් අමු අමුවේ ඝාතනය කිරීම ගැන එ.ජා. කිසිවක් සඳහන් නොකිරීම ඊට සාපේක්ෂව මහත් අසාධාරණයකි.

6. 4 වැනි පිටුවේ 9 වැනි ඡේදයේ අධික ජනගහනයක් වෙසෙන යුද මුක්ත කලාපය තුළට රජයේ හමුදා අසාධාරණ ලෙස ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවට සාක්ෂි සහිත චෝදනා එල්ලවෙන බව සඳහන්ය. එය යුද මුක්ත කලාපයක් (වෙඩි තැබීමෙන් තොරවූ කලාපය) බව ආරෝග්‍යශාලාව පැවැති නිසා එල්.ටී.ටී.ඊ. කියා සිටි නමුත් එය නොපිළිගත් එල්.ටී.ටී.ඊ.ය තම කාලතුවක්කු ආරෝග්‍යශාලාව සමීපයේ ස්ථානගත කළ බව එ.ජාතීන් හොඳින් දැනසිටි බව සහතිකය. එල්.ටී.ටී.ඊ.ය එතැන සිට ඉදිරියෙන් එන රජයේ හමුදාවලට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළේය. රජයේ හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කළේ දෙමළ කොටින්ගේ කාලතුවක්කු විනාශ කිරීමටයි. එවැනි ක්‍රියාවලට යුද නීතියෙන් ආවරණය ලැබේ. ඒ කාලයේ ඇමෙරිකානු තානාපති රොබර්ට් බ්ලේක් කී කාරණවල වැදගම්මට ඇති දෙයක් නැත. (පරණගම වාර්තාව පි. 60 සහ පි. 288)
එල්.ටී.ටී.ඊ.ය නිරන්තරයෙන් හිතාමතාම ජනයා පදිංචි ස්ථාන මධ්‍යයේ ඔවුන්ගේ බර අවි තබාගෙන සිටියේ සාමාන්‍ය ජනතාව ප්‍රතිප්‍රහාරවලට ඉලක්ක වන ආකාරයටයි. සාමාන්‍ය ජනයාට වෙඩි ප්‍රහාර වැදුණු විට ජාත්‍යන්තර ප්‍රජාව ඊට ප්‍රකෝප වේ යයි එල්.ටී.ටී.ඊ.ය බලාපොරොත්තු විය. ශ්‍රී ලංකා රජය සටන් නවත්වා යම් සාකච්ඡාමය විසඳුමකට එළඹිය යුතු බවට එම අවස්ථාවල ඉල්ලීම් ඉදිරිපත් විය.

7. 4 වැනි පිටුවේ 9 වැනි ඡේදයේ මෙම ප්‍රකාශය සඳහන් වේ.
මානුෂීය සැපයුම් රජය විසින් දැඩි සේ සීමා කිරීම නිසා වැඩිමනක් මරණ සහ පීඩා විඳීම් සිදුවිය.
සැපයුම් අඩුවීම ප්‍රධාන වශයෙන්ම සිදු වූයේ  එල්.ටී.ටී.ඊ.ය ඒවා පරෙස්සමෙන් ගෙන යාමට ඉඩ නොදුන් නිසාය. එල්.ටී.ටී.ඊ.ය තමන්ගේ හමුදාවලට අවශ්‍ය සියලු දේ ලබා ගනිද්දී රජයෙන් පවත්වාගෙන ගිය ගබඩාවලින් (දිසාපතිවරයා විසින් පවත්වාගෙන ගිය) ප්‍රමාණවත් සැපයුම් සිදු කෙරිණි. සැබෑව නම් ඔවුන් මිනිස් පළිහක් ලෙස මිනිසුන් තබාගැනීමේ ප්‍රතිපත්තිය නිසා සාමාන්‍ය ජනයා දැඩි සාගින්නේ සිටීමයි. මෙම තත්ත්වය සමනය කිරීමට රජයට කළ හැකි දෙයක් තිබුණේ නැත. පරණගම කොමිසමේ වාර්තාවෙන් මෙම ගැටලුවට අදාළ කාරණා විස්තරකොට තිබේ. (මානුෂීය සහාය ප්‍රතික්ෂේප කිරීම 122 පි. 127 පි.)

8. එල්.ටී.ටී.ඊ.  සාමාජිකයන් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට භාරදීමෙන් පසු ඔවුන් මරා දැමූ බව විශ්වාස කරන බව වාර්තාවේ 4 පිටුවේ 9 වැනි ඡේදයේ ප්‍රකාශ කරයි. මෙය පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවූ අලුත් කියමනක් බව පෙනී යයි. කර්නල් ගාෂ්ගේ නිල වාර්තා අනුව කියවෙන්නේ දෙමළ ජනයා හෝ හමුදා භාර වුවහොත් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව සඳහන් පත්‍රිකා (ගුවන් යානාවලින්) අහසින් බෙදාහැරිය බවත් ඒ අනුව භාරවූ සියගණනක් ජනයා හොඳින් බලා කියා ගත් බවත්ය. ගැටුම් අවසානයේ මරා දැමූ බවට එල්ලවූ ඊනියා චෝදනා ගැන මම දැනුවත්ව සිටියමි. 2009 මැයි 18 සිදුවූයේ යැයි කියන එම සිද්ධිය ගැන පරණගම කමිටු වාර්තාවේද සඳහන් වේ. චැනල්-4 වැඩසටහන්වල එය නම් කර ඇත්තේ සුදු කොඩි ඝාතන යනුවෙනි. මෙය හුදෙකලා සිද්ධියක් වන අතර කොමිසමේ ප්‍රධානියාගේ ප්‍රකාශය සමග මෙම එකඟ වන්නෙමි.

මෙම චෝදනාවේ බැරෑරුම්කම හේතුකොට ගෙන කමිටුව නිගමනය කරනු ලබන්නේ ස්වාධීන අධිකරණ විමර්ශනයකින් අදාළ කරුණු තහවුරු කිරීම අවශ්‍ය බවයි. වගකීම් පිළිබඳ යන සත්‍යය එමගින් තහවුරු කරගත යුතුය.

9. නැවත 9 වැනි ඡේදයේ මෙසේ සඳහන් වේ.
අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ ජනයා 250,000 කට වඩා හමුදාවෙන් පාලනය වන අවෘත කඳවුරුවල මාස ගණනාවක් රඳවා තබා ගන්නා ලදී.

මෙම කඳවුරු පිහිටුවනු ලැබුවේ එල්.ටී.ටී.ඊ.ය ග්‍රහණයෙන් මිදී සාමාන්‍ය ජනයා දහස් ගණනක් පැන ආ නිසයි. ඔවුන් අතර තම නිල ඇඳුම් ගලවා වීසි කළ එල්.ටී.ටී.ඊ.  හමුදා සාමාජිකයෝද සාමාන්‍ය පුරවැසියන් ලෙස සැඟවී සිටියහ. මෙම වැසියන් තම නිවෙස්වලින් බලෙන් ඇදගෙන වුත් මිනිස් පළිහ ලෙස භාවිත කළ අය වන අතර ඔවුන් වෙඩි හඬින් කම්පිත වී සාගින්නෙන් මාස පහක් සිටි ජනතාවකි. ඔවුන්ට යන්නට තැනක් තිබුණේ නැත. මෙහිදී හැඟීම්බර ආවෘත යන වචනය එ. ජාතීන් භාවිත කරනුයේ පළමු දිනයේ යන වචනය පහසුවෙන් මගහරිමිනි. දැඩි පීඩාවට පත්ව සිටි මෙම දුප්පත් ජනයාට අන්තර්ජාතික රතුකුරුස (ICRC) ආයතනයේ උපකාර ලැබිණි. මුල් දිනවල මානව හිමිකම් බලකායක් ඊට ඇතුළු වන්නට කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ සැබෑ අනාථයන් සමග එල්.ටී.ටී.ඊ.ය හමුදා සාමාජිකයන් මිශ්‍රව සිටි නිසාය. ඇත්තෙන්ම 11,000 ට වැඩි එවැනි පිරිසක් එහි සිටියහ. ලෝකයේ සෙසු ප්‍රදේශවල කරන්නා සේ රතුකුරුස හමුදාව එහිදී මහඟු කාර්ය භාරයක් ඉටුකළේය. තමිල්නාඩු මන්ත්‍රීවරුන් පිරිසක් කඳවුරට පිවිස ශ්‍රී ලංකා රජයට ස්තුති පළ කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබිණි.

වෛද්‍යවරියක වූ නෙස්බි සාමිවරයාගේ භාර්යාව මැණික් ෆාර්ම් කඳවුරට පිවිස සැමට ඇති වෛද්‍ය පහසුකම් පිළිබඳව සතුටට පත්වූවාය. දරුවන්ට පාසල් පහසුකම්ද ඒවායේ සපයා තිබෙනු ඇය දුටුවාය. එල්.ටී.ටී.ඊ.ය සාමාජිකයන් වෙන් කරනු ලැබූ අතර පුනරුත්ථාපනය සඳහා ඔවුන් යොමු කර තිබිණි. සියලුම ළමා සොල්දාදුවන්ට රජයෙන් නිදහස ලබා දෙන ලදී.

10. 5 වැනි පිටුවේ 13 වැනි ඡේදයේ වධවින්දනයට ලක් කිරීම් හුවා දක්වා ඇත්තේ සන්නද්ධ හමුදාවලින් සහ අනු හමුදා කණ්ඩායම්වලින් වධවින්දනයට භාජනය කිරීම් යනුවෙනි. ඒ ගැන නෙස්බි සාමිවරයා පවසන්නේ මෙසේය.

අවසාන වශයෙන් මා ගිය අවසාන නිල ප්‍රවේශයන් හිදී ICRC ආයතනය වෙත ගොස් මෙම වදදීම් යයි කියනු ලබන දෑ ගැන මා සොයා බැලුවේ රට පුරා රතුකුරුස ආයතනය මෙහෙයුම් කටයුතු සිදු කළ නිසාය. ප්‍රධානීන් තිදෙනකුගෙන් ලැබුණේ එකම පිළිතුරුය. වධ දීම් සිදු නොකරන මුත් බරපතළ ලෙස පාලනයකට නතු කරගෙන තිබෙනවා යනු එම පිළිතුරයි.


දැනට පවතින තත්ත්වය
යුද්ධය අවසානයේ සිට වර්තමානය දක්වා ජනාධිපතිවරුන් තිදෙනකුගේ කාල පරිච්ඡේදවලදී සිදුවී ඇති දෑ පිළිබඳව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වාර්තාවේ නිසි අවබෝධයකින් කරුණු වාර්තාකොට නැත.

පළමු අවධිය ජනාධිපති මහින්ද රාජපක්ෂ
දෙමළ කොටින් සමග සටන් කළ හැකි මට්ටමට සන්නද්ධ හමුදා ගොඩනගනු ලැබුවේ ඔහුගේ නායකත්වය ඔහුගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ සමග එක්වීම මගිනි. කනගාටුවකට මෙන් බටහිර රටවල් ශ්‍රී ලංකාවට නවීන ආයුධ අලෙවි කිරීම ප්‍රතික්ෂේප කළ තත්ත්වය මත ඔවුන්ට චීනයේ සහාය ඉල්ලනු විනා වෙනත් විකල්පයක් නොවූයේය.

එල්.ටී.ටී.ඊ. ද්‍රවිඩ කොටි ත්‍රස්තවාදී කණ්‍ඩායම රටවල් 30 කට වඩා තහනම් නොකළේ නම් හා ඔවුන් පරාජය නොවූයේ නම් නිසැක වශයෙන්ම ඊලාම් නම් වූ ප්‍රතිපත්තියක් සහිත තක්කඩි රාජ්‍ය බිහිවෙනු ඇත.  එල්.ටී.ටී.ඊ. යේ සැබෑ අරමුණු වූයේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් අල්ලාගෙන දෙවැනි කැරැල්ලක් මෙහෙයවීමට ශ්‍රී ලංකාව වේදිකාවක් කොටගෙන මිලියන 67 ද්‍රවිඩයින් ඉන්නා දකුණු ඉන්දියාවේ ගරිල්ලා යුද කටයුතු ආරම්භ කිරීමයි.

එසේ වූයේ නම් නිදහස ලබා අවුරුදු 73 කට පසු ඉන්දියාව තුන්වැනි වරටත් බිඳීයාමකට මුලපිරෙනු ඇත. ඉන්දියාවට කලාපීය සුපිරි බලවතා වීමේ හැකියාව ද ඉන් ගිලිහී එයින් අඩපණ වනු ඇත.
එසේ වූයේ නම් ආසියාවේ එකම බලවතා වන්නේ චීනයයි.

පශ්චාත් යුද අවධියෙන් පසු 2015 ජනාධිපතිවරණය දක්වා කාලය වනවිට උතුරු පළාතේ සියලුම යටිතල පහසුකම්  එල්.ටී.ටී.ඊ. යුද ගැටුම් නිසා විනාශයට පත්ව තිබිණි. ඒ සියල්ල එම කාලය තුළ යළි ගොඩනගා ප්‍රතිසංස්කරණය කළ යුතු විය. විශේෂයෙන් බලශක්ති, මාර්ග, දුම්රිය මාර්ග, පාසැල් ආදී සියල්ල යළි ගොඩනැගිය යුතුවිය.

එම පහසුකම් යළි ගොඩනැගීමට පෞද්ගලික අංශයෙන්ද දැඩි වෑයමක් දරන්නට සිදුවූ අතර ඒ සියල්ලට හමුදාවේ සහභාගිත්වයද ලැබිණි. අවතැන්වූ 250,000 ක් ජනයාට නව නිවාස ව්‍යාපෘති රටවල් කිහිපයක සහයෝගිතාවෙන් සිදු වුවද ඊට එක්සත් රාජධානියේ සහාය නොලැබිණි.


2 වැනි අවධිය (2015-2019) ජනාධිපති සිරිසේන (ශ්‍රීලනිප) රනිල් වික්‍රමසිංහ (එජාප) අගමැතිවරයා සමග
මහා ප්‍රචාරයක් දෙමින් දින 100 වැඩපිළිවෙළ ආරම්භ වුවද නව අගමැතිවරයාගේ දුර්වල බවත් තීරණ ගැනීමේ නොහැකියාවත් පැහැදිලිව දිස්විය. ඔහු අතුරුදන් වූවන් පිළිබඳව සෙවීම උදෙසා කමිටුවක් පත්කොට කාර්යාලයක් පිහිටුවුවද පරණගම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කළේ නැත. සිවිල් සමාජ අතර සම්බන්ධතා ගොඩනගන බව කියා සිටියද නිසි සැලැස්මක් ඒ සඳහා නොවීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව සමග සම අනුග්‍රාහකත්වය දැරීම ආරම්භ වූයේ මංගල සමරවීරගේ තනි මතයට වන අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය හෝ විධායක ජනාධිපතිගේ අනුමැතිය ලැබී තිබුණේ නැත. මෙයින් පෙනී යන්නේ සැබෑ කැපවීමක් රටේ කටයුතු උදෙසා සිදු නොවූ බවයි. ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවැති ආතතිය වැඩි වන ආකාරයද නෙස්බි පැහැදිලිව නිරීක්ෂණය කර තිබේ.


3 වැනි අවධිය 2019 ජනාධිපතිවරණය
ගෝඨාභය රාජපක්ෂ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා බලයට පත්වූයේය. ප්‍රබල නායකයකු වූ ඔහු සතුව සියලු දක්ෂතාත් සැලසුම් ආදියත් ඇත. නෙස්බිගේ Sri Lanka - Paradise - Lost Paradise Regained කෘතියේ මෙසේ සඳහන් කර ඇත.

තම නායකත්වයේ දක්ෂතාව ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථීකයේ ගතික බව සහ නිර්මාණාත්මක බව යළි ගොඩනැගීමට නව විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට කාලය පැමිණ තිබේ. ආර්ථිකයේ අසීරුතා තෝරා බේරා ගන්නට ඔහුට කාලය පැමිණ ඇත. සියලුම සුළුතරයන් සමග තම සබඳතා තර කර ගන්නට ඔහුට කාලය එළඹ තිබේ.

ඔහුගේ ක්‍රියාමාර්ග හේතුවෙන් මාගේ සැක දුරුවී විශ්වාසය ගොඩ නැගී ඇත. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීම සඳහා වූත් අතුරුදන් වූවන්ට මරණ සහතික නිකුත් කරන්නාවූ කාර්යාලයක් බව ඔහු හඳුනාගෙන ඇත. ජාතික ඒකාබද්ධතා හා සංහිඳියා කොමිසමට ඔහු අලුත් කොමසාරිස්වරයකු පත් කර තිබේ. බටහිර රටවලට නිර්ව්‍යාජ ලෙස සහාය වීමට අවශ්‍ය නම් අතුරුදන් වූවන්ගේ නම් ඔවුනට ප්‍රචාරය කළ හැකියි. අතුරුදන් වූ ඇතැමුන් ලෝකයේ යම් යම් තැන්වලින් යළි පණ ලබා මතුවී ඇත. ඒ සම්බන්ධව  නඩු විභාගයක් පැවැත්විය යුත්තේ කැනඩාව හා එක්සත් රාජධානිය යන රටවල්ය.

සත්‍ය සහ සංහිඳියාව මතු කිරීමට විවේචනවලින් ඒ හැටි යමක් කළ නොහැකිය. වසංගතයක් මධ්‍යයේ එ.ජා.මා. හිමිකම් කොමිසම වැඩි ප්‍රගතියක් බලාපොරොත්තු වීම ඇදහිය නොහැක්කකි. සියලු සුළුතරයක් උදෙසා ඔහු ප්‍රබල කැපකිරීමක් සිදුකොට තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතු කොටගෙන පසුගිය රජය සමයේදී පහත වැටුණු ආරක්ෂක පද්ධතිය ඔහු යළි නගාසිටුවා ඇත. ඉන්දියාවෙන් අනතුරු සඟවද්දී ක්‍රිස්තියානි පල්ලිවලට එම ප්‍රහාර එල්ල වූයේය.
හිටපු හමුදා නිලධාරීන් සිවිල් රැකියා කිරීම එ. ජාතීන් දැඩි විවේචනයට ලක්කොට තිබේ. ඇටිල් හා චර්චිල් යන අගමැතිවරුන් දෙදෙනාම දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව හිටපු හමුදා නිලධාරීන්ගෙන් අගනා මෙහෙවරක් ගත් බව මම එ.ජාතීන් හට මතක් කරනු කැමැත්තෙමි. එක්සත් රාජධානියේ ප්‍රධාන සමාගම් හමුදා නිලධාරීන් සිවිල් රැකියාවලට ගැනීම සඳහා විශේෂ වැඩසටහන් පවත්වාගෙන යයි. ශ්‍රී ලංකාවේ ද පවතින්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව පැවැති තත්ත්වය මෙන් පශ්චාත් යුද සමයකි. උදාහරණයකට යුරෝපයේ HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි කොලින් බෙල් HSBC බැංකුවට බැඳෙන්නට පෙර එක්සත් රාජධානියේ යුද හමුදාවේ අද්විතීය කාර්යභාරයක් කළ අයෙකි.

වසංගතය හමුවේ සැණෙකින් රට වසා දමා එය වැළැක්වීමේ සාර්ථක පියවරක් ගත් ආකාරය එ.ජා.මා.හි. කොමිසම හරි හැටි හඳුනාගත යුතුය. එකී සමස්ත වැඩසටහනට හමුදාව, වෛද්‍ය අංශය හා විද්‍යාඥයන් ඒකාබද්ධ කොට සිදු කළ එකකි. මියගිය අය මිහිදන් කිරීමේ තහනම පනවන ලද්දේ භූගත ජලයට සිදුවිය හැකි හානිය ගැන දේශීය විද්‍යාඥයන් කළ අනතුරු හැඟවීම අනුවය. එම තීරණය ගන්නා විට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒ ගැන උපදෙස් නොලැබිණි. ආදාහනයට අමතරව භූමදානයටද අවසර දෙන බව අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවේ වසංගතයෙන් 400 ක් මියගොස් ඇත්තේ ජනගහනය මිලියන 21.8 සිටියදීය. එක්සත් රාජධානියේ මරණ සංඛ්‍යාව 110,000 දක්වා වැඩිවී ඇත්තේ මිලියන 55.98 ජනගහනයක් සිටියදීය.
ශ්‍රී ලංකාවට ලැබෙන සැබෑ ත්‍යාගය ස්ථීරසාර සාමය වග එ.ජා. මානව හිමිකම් කොමසාරිස් වටහාගත යුතුය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සැපත් වූ කැන්ටබරියේ අගරදගුරුතුමාගෙන් මෙරට සම්බන්ධව විමසූ විට ඔහු කියා සිටියේ පහත කරුණුය.

පශ්චාත් යුද ගැටුම් සහිත රටක ජීවත් වන්නට ධෛර්යය අවශ්‍ය වේ. ඒ සඳහා දැක්මක් හඳුනාගැනීමක් හා සංහිඳියාවක්ද අවශ්‍යය. පශ්චාත් යුද ගැටුම් සහිත රටක සංහිඳියාව පිළිබඳ ගැටලුව නිරාකරණය වන්නට පරම්පරා ගණනක් පසුකළ යුතුවේ.

1945 බටහිර යුරෝපයේ පැවැති මහා යුද්ධයෙන් අනතුරුව ලෝකයේ දැකිය හැකි යුද්ධය පිළිබඳ අන්ත නරක තත්ත්වයෙන් පසුව පවා සංහිඳියාව පිළිබඳ හොඳම නිදර්ශනය අප පෙන්වා දුන්නා. එහෙත් ඒ සම්බන්ධ තවත් කටයුතු ඉතිරිවී තිබෙනවා. සංහිඳියාව යනු පරම්පරිකව සිදුවන ක්‍රියාදාමයක්. 2 වැනි ලෝක යුද්ධය අවුරුදු 6 ක් පැවතුණා.  එල්.ටී.ටී.ඊය සමග ගැටුම දශක තුනකට ආසන්න කාලයක් පැවතුණා. එ. රාජධානිය ඇතුළු විවිධ රටවල දෙමළ ඩයස්පෝරා ප්‍රජාව හොඳින් වර්ධනය වනවා.  එල්.ටී.ටී.ඊ.යේ අන්තර්ජාතික ප්‍රධාන කාර්යාලය පිහිටුවනු ලැබුවේත් එක්සත් රාජධානියේමයි. ත්‍රස්තවාදී ක්‍රියාදාමයේ ජාල රටාවක සම්පත් මූල්‍ය සහාය හා වෙනත් සහයෝගිතා නොලැබුණේ නම්  එල්.ටී.ටී.ඊ.ය ප්‍රජාතන්ත්‍රවාදී රටකට අභියෝගයක් වන්නේ නැත.

වසර කිහිපයක් ගතවන තුරු  එල්.ටී.ටී.ඊයේ තර්ජනය බටහිර රටවල් නිසි පරිදි වටහා ගත්තේ නැත. එ. රාජධානියේ දෙමළ කොටි තහනම ආරම්භ වූයේ 2001 දීය. එ. ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය දෙමළ ඩයස්පෝරාව යුද්ධයේ හවුල්කරුවකු ලෙස සඳහන් කරන්නේ නැත. ශ්‍රී ලංකාවේ  එල්.ටී.ටී.ඊ.ය ම්ලේච්ඡ ක්‍රියාවලට අනුබල දුන් අය සම්බන්ධයෙන් යුක්ති සහගත විසඳුමක් දීමේ අවශ්‍යතාව පරණගම කමිටු වාර්තාවෙන් මතුකොට පෙන්වා ඇත. ඇඩෙල් බාලසිංහම් වැනි අය විදේශ රටවල සිට ඔවුනට මුදල් ලබාදීම කළහ.

කමිටුවේ මතය වන්නේ ත්‍රස්තවාදී සංවිධානයන්ට මුදල් යොදවන අය එසේ යොදවන මුදල් යුද අපරාධ සිදුකිරීමට හා මානුෂීයත්වයට එරෙහි අපරාධවලට භාවිත කිරීම පිළිබඳ ගැන දැනුවත් නම් එම පුද්ගලයන්ට ඒ සම්බන්ධයෙන් කරන නඩු පැවරීම් උදෙසා සහාය වීම අන්තර්ජාතික අපරාධ නීතියෙන් කළ හැකිය යන්නයි. (පරණගම වාර්තාව පි. 176, 686 ඡේදය)

එල්.ටී.ටී.ඊ.ය මුදල් ඒකරාශී කරන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන රටවල මෙම ගැටලුවට අදාළව පියවර ගැනීම එ.ජා.මා. හිමිකම් කමිටුව විසින් කළ යුත්තකි.

අද වනවිට එල්.ටී.ටී.ඊය ශ්‍රී ලංකාවට පිටතින් ක්‍රියාකාරකම්හි නිරතවන බව පෙනී ඇතත් විදේශ රටවල් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකොට දෑස් වසා සිටී. සහතික ලෙසම නැවත ශ්‍රී ලංකාවේ යුද්ධයක් ඇතිකිරීම සඳහා අරමුදල් ගොඩනැගීමට අවසර දීමේ අවශ්‍යතාවක් කිසිවකුට නැත.

අවසාන වශයෙන් නෙස්බි සාමිවරයා මෙසේ පවසා ඇත.
මෙම ධනාත්මක සටහන ලෝක ප්‍රසිද්ධ ලෙගාට්‍රම් (Legatum Institute) වෙතින් උපුටා ගෙන මම මෙය අවසන් කරන්නෙමි.
පසුගිය දස වසර කාලයේ ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ 2020 නොවැම්බරයේ අවසාන වශයෙන් ඔවුන් පළ කළ වාර්තාවේ මෙසේ සඳහන් වේ.

පසුගිය දශකයේදී සංවර්ධනයට අදාළ ගැටලුවලට විසඳුම් දෙමින් ශ්‍රී ලංකාව විශිෂ්ට ප්‍රගතියක් අත්කර ගෙන තිබේ. මෙම ප්‍රගතියේ ප්‍රතිඵලයක් ලෙස ආයතනික ධාරිතාව ගොඩනගමින් සෞඛ්‍යාරක්ෂාව හා අධ්‍යාපනය යන අංශවල වර්ධනය ඇතිකොට ජනතාවට සමෘද්ධිමත් භාවයේ මංපෙත් විවරකොට ඇත. විශේෂයෙන් ග්‍රාමීය අංශය දියුණුවට ලක්කොට තිබේ. එහි හොඳ ප්‍රතිඵල කෙටියෙන් කිව නොහැකිය. (62 පිටුව)
පසුගිය දස වසරේ වඩාත් වර්ධනය වූ ජාතිය ශ්‍රී ලංකාව ලෙස සඳහන් කරමින් වාර්තාව  අවසන්කොට තිබේ.

මෙම ජයග්‍රහණය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දැනුවත් වේයයි බලාපොරොත්තු විය හැකි නමුත් ඔවුන් එය දන්නේද යන්න මට ප්‍රශ්නයකි.

 

(***)
2021 මාර්තු 13 Daily FT හි පළවු
Travesty of injustice to Sri Lanka
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ