මහ බැංකු ප්‍රතිපත්ති අනුසාරයෙන් කඩිනම් පිළියම් යෙදීම පිළිබඳව 1980 ගණන් වල මුල් භාගයේ මහබැංකු අධිපතිව සිටි වර්ණසේන රාසපුත්‍රම් වෙතින් මම කදිම පාඩමක් උගත්තෙමි. එම දශකයේ පළමු වසර තුන ඇතුළත මුදල් තොග වාර්ෂිකව සියයට 26 ක වේගයෙන් ඉහළ ගියේය. උද්ධමනය සියයට 20 ට වඩා ඉහළින් පැවැති අතර එය ඊට වඩා පහත බැස්සේම නැත. ගෝලීය පොලී අනුපාතය ඉහළ යමින් පැවතිණි. ඒ සියල්ලටත් වඩා මුල්‍ය ගුණකය 1977 දී 2.27 ක් ව තිබී තර්ජනාත්මක ලෙස ඉහළ ගොස් 1982 දී 3.35 මට්ටමට පැමිණියේය.

ආර්ථික පර්ෙ‌ය්ෂණ අංශයෙන් ඔහු අපට මෙසේ කීවේය. “වෙළෙඳපොළේ ඇති වියවුල් තත්ත්වය විසින් අපට අනතුරු හඟවා සිටින්නේ මුල්‍ය පද්ධතිය වෙත කඩිනම් පිළියම් යෙදිය යුතු බවයි. කාලය ඉකුත්වන සැනෙකින් මෙම රෝගයෙන් ලෙඩා මිය යන බවද මතක තබා ගත යුතුයි. ඔබගේ කාර්ය භාරය වන්නේ වෙළෙඳපොළ පදනම් කරගත් මූල්‍ය ප්‍රතිපත්ති සැළසුමක් ක්‍රියාත්මක කොට මධ්‍යම කාලයේ සිට දීර්ඝ කාලය දක්වා ලෙඩාගේ ජීවිතය රැක ගැනීමයි.”

මහබැංකු අධිපති රාසපුත්‍ර වඩාත් දැඩි ප්‍රමාණාත්මක ප්‍රතිපත්ති පාලන හඳුන්වාදීමෙන් වියවුල් සහගත මුල්‍ය වෙළෙඳපොළ නිසි පරිදි සකස් කිරීමෙන් සහ වෙළෙඳපොළ පදනම් කරගත් මුල්‍ය පද්ධතිය සුමට ලෙස පෙර තිබූ තත්ත්වයට පත්වන ලෙස කටයුතු කිරීමෙන් කඩිනම් පිළියම් යෙදුවේය.

එය දුරදක්නා නුවණින් යුතු බැංකු අධිපතිවරයකු ගේත් ඉන් පසු එමකාර්යය නොකඩවා ක්‍රියාත්මක කළ අධිපතිවරුන්ගේත් විශේෂයෙන් ඒ.එස්. ජයවර්ධන මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලයේ දීත් යම් ගමනක් ආරම්භ වූයේ එසේය. වෙළෙඳපොළ විරෝධී නොව වෙළෙඳපොළ හිතකාමී මහ බැංකුවක් කීර්තිය දිනා ගත්තේ ඒ ආකාරයටයි. පාලන අධීක්ෂණය යටතේ පැවැති මුල්‍ය ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව එමගින් බැංකුවට උදාවිය. අන්‍යොන්‍ය විශ්වාසය මත පදනම්වූ එවැනි සහයෝගිතාවක් වැදගත් වන්නේ ජාතික අවශ්‍යතා හා බැඳුණු සහයෝගිතා වෙළෙඳපොළේදී ඵල නොදරන බැවිනි.


විනිමය අනුපාතිකය හිතුවක්කාර ලෙස තීරණය කිරීම
මහබැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් කළේ ඉහත කී කාර්යයේ විරුද්ධාර්ථයයි. වාණිජ බැංකු වල සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීන් ලිපියකින් ඇමතූ හෙතෙම අද වන විට වෙළෙඳ පොළේ නිදහසේ සංසරණය වන ඩොලරය රු. 200 සිට 203 දක්වා වූ විකුණුම් මිලකට එකඟව ඩොලර් විකුණුම් මිල එම ස්ථාවරයේ තබා ගන්නා ලෙස දන්වා සිටියේය. මේ ආකාරයට උපරිම සිල්ලර මිලක් ඩොලරයට නියම කිරීම රජයෙන් සීනි සහ සහල් වලට උපරිම සිල්ලර මිලක් නියම කිරීම හා සාමානය. එහි ඇති වෙනස නම් සීනි සහ සහල් වලට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යටතේ නිකුත් කරන ගැසට් නිවේදනයකින් උපරිම සිල්ලර මිල නියම කිරීමයි.

එහෙත් ඩොලරය සඳහා සිල්ලර මිලක් නියම කරනු ලැබුවේ කිසියම් නීතියක් යටතේ හෝ මහ බැංකුවේ විධිමත් නියෝගයක් අනුව නොවේ. එය බැංකුවල විධායක නිලධාරීන් ඇමතූ සාමාන්‍ය ලිපියක් පමණි. එහෙත් එහි අධිකාරි බලය පාරිභෝගික කටයුතු අධිකාරියේ නීතිය අනුව කළ නියෝගට වඩා බොහෝ සෙයින් බලවත්ය. එම ඉල්ලීමට රජයේත් මහ බැංකුවේත් දෙකේම පසුබිම් සහාය ලැබෙන බවත් මේ සම්බන්ධව රජය සැලකිල්ලෙන් කටයුතු කරන බවත් ඔහු එම ලිපියේ කියා තිබිණි. එහි ඔහු තවදුරටත් මෙසේ සඳහන් කර ඇත.

“ජාතියේ අතිමහත් අවශ්‍යතාව උදෙසා මුල්‍ය ආයතන මෙයට අනුකූලව ක්‍රියා කරන බව තහවුරු කර ගැනීමට අවශ්‍ය මැදහත් වීමේ උපකරණ ශ්‍රී ලංකා මහ බැංකු සතුව පවතින බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.’’

මහ බැංකුවේ මෙහෙයුම් උපකරණ අධිකරණයකින් පනවනු ලබන ඕනෑම දඬුවමකට වඩා දැඩි බව ඕනෑම වාණිජ බැංකුකරුවකු දනී. වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මට්ටමේ ස්ථරව විනිමය හුවමාරු අනුපාතිකයක් නියම කිරීම මහබැංකු අධිපති ලක්ෂ්මන් කියන තරම් අතිමහත් ජාතික අවශ්‍යතාවක් නොවේ. එය විදේශ විනිමය මිලදී ගන්නාට ලාබ දායකය. එහෙත් විකුණන්නාට එය හානි දායකය. එම නිසා එයින් මෙහෙවරක් වනුයේ ජාතික අවශ්‍යතාවයේ කොටසකට පමණි. එනම් ඩොලර් මිලදී ගන්නන්ට පමණකි. ඒ අංශයෙන් ගත් කල දැන් රජයට අඩු මිලකට ඩොලර් මිලට ගෙන ප්‍රමුඛ තැනෙක ලා සැලකෙන රජයේ ණය ආපසු ගෙවා දැමිය හැකිය.

ලක්ෂ්මන්ගේ හදිසි පිළියමෙන් පෝෂණය ලබා වැජඹෙන්නේ කළු කඩයයි.
ඉහත කී ලිපිය බැංකු වලට මහත් කම්පනයක් විය. එය අසාමාන්‍ය කම්පනයක් වූයේ එහි අරමුණ වෙළෙඳපොළ ස්ථායිකරණය වූවත් එයින් හට ගත්තේ මහා අස්ථාවර භාවයක් වීමයි. වෙළෙඳ පොළේ ඇතිවූ ඩොලර් හිඟය හේතුකොට ගෙන බැංකු, මහබැංකුව නියම කළ මිල පරාසයට වඩා මිලකට ඩොලර් මිලට ගැනීමත් විකිණීමත් සිදු කළේය. මහ බැංකුවේ වෙබ් අඩවියෙන් නිවේදනය කළ පරාසය වූයේ ඩොලරයකට රු. 199 ක්වූ ගැනුම් මිලත් රු. 203 ක් වූ විකුණුම් මිලත්ය. එහෙත් බැංකු ඩොලර් මිලදී ගැනීම හා විකිණීම කළේ රු. 220 සහ 230 මිල පරාසය තුළය.

ලක්ෂ්මන් ක්ෂණික පිළියම නියම කළ පසු එකී නියම කළ මිල බැංකු තම තම වෙබ් අඩවි වල සඳහන් කළහ. එහෙත් ඒවායේ සඳහන් මිල ගණන් වලට වෙළෙඳපොළේ ඩොලර් මිලට ගන්නට තිබුණේ නැත. එම නිසා මෙවර ආනයනකරුවන්ට පෙරටත් වඩා කාලයක් පොරොත්තු ලේඛනවල බලා සිටින්නට සිදුවිය. වෙළෙඳපොළේ ඩොලර් පැවැත්ම මුළුමනින් අස්ථාවරව තිබීම ඊට හේතුවයි. ඇතැම් ස්වාධීන පුවත්පත් විස්තර කළ පරිදි වෙළෙඳපොළේ පැවැතියේ කඩාකප්පල්කාරී කැළඹීමකි.

මේ අතර පැවැති ඩොලර් හිඟය නිසා කළු කඩයේ ගම්‍ය වූ ඩොලර් මිල, ඩොලරයකට රුපියල් 245 සිට 250 දක්වා තවත් ඉහළ ගියේය. මේ නිසා ජාතික අවශ්‍යතාවක් උදෙසා යෙදූ ක්ෂණික පිළියම එකී අවශ්‍යතාව පවතින ජනයාගේ අවශ්‍යතාවලට එරෙහිව ක්‍රියාකාරී වූයේය.


මෙවලම් නොමැතිවම බැංකු වලට තර්ජන එල්ල වීම
ඩොලරයකට රුපියල් 203 ක ස්ථාවර හුවමාරු අනුපාතිකයක් තහවුරු කොට පවත්වාගෙන යන්නට මහබැංකුව සතුව ප්‍රමාණවත් උපකරණ හා මෙවලම් තිබෙන බව මහබැංකු අධිපති ලක්ෂ්මන් කියා තිබුණද ඒ වන විට  ඔහුගේ මෙවලම් හා උපකරණ සියල්ල හමාරවී තිබිණි. මෙම පෙළහර පෑම පිණිස ඔහු සතුව තිබිය යුතු පූර්ව සුදුසුකමක් වූයේ වෙළෙඳපොළ වෙත සීමාවකින් තොරව විදේශ විනිමය අසීමිත ප්‍රමාණයක් සැපයීමේ හැකියාවයි. එහෙත් ඔහුගේ විදේශ විනිමය සංචිතය අවම මට්ටමේ අඩිය පෑදෙන තත්ත්වයට බැස තිබිණි. ජුලි මාසයේ අග වන විට ඉදිරි සති හයේ භාණ්‍ඩ ආනයනය කර ගැනීම සඳහා ශේෂ වී තිබුණේ ඩොලර් බිලියන 2.8 ක් පමණකි. ඊට සේවාද එකතු වූ විට එය ප්‍රමාණවත් වූයේ සති පහකට පමණි.

අගෝස්තුවේ ලැබුණු ඩොලර් මිලියන 787 ක විශේෂ ගැනුම් හිමිකම් (SDR) ප්‍රමාණයත්, බංගල්දේශයෙන් ලැබුණු ඩොලර් මිලියන 150 ක හුවමාරු ණය පහසුකමත් (SWAP) එකතුවූ විට අගෝස්තු මස අගදී එය ඩොලර් බිලියන 3.6 ක් දක්වා වැඩි විය. එය භාණ්ඩ ආනයනය කරගන්නට යම්තම් සති අටකට ප්‍රමාණවත් වූවකි. සේවාද එක් වූවිට එය ප්‍රමාණවත් වූයේ සතිහතකට පමණකි. එහෙත් ඉන්ධන ඖෂධ සහ ආහාර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමටත් රජයේ ණය ගෙවා දැමීමට මහ  බැංකුවට ඇති වගකීම් සැලකිල්ලට ගත් විට එය යාම්තමින් සොච්චමකි. මෙයින් පෙනී යනුයේ මහ බැංකුවෙන් දන්වා සිටි පරිදි ඩොලරයට රුපියල් 203 මිලෙහි ස්ථාවරව තබා ගැනීමට බැංකු තම ඩොලර් එකතුව කෙරේ විශ්වාසය තැබිය යුතු වූ බවයි. මෙම තත්ත්වය සහතික ලෙසම ආනයනයකරුවන් කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයට ඇද දමන්නකි.


මුල්‍ය ප්‍රතිපත්ති මෙවලම් නුහුරට භාවිතා කිරීම
වෙළෙඳපොළේ කටයුතු කරන උදවිය බැංකුවලට නියාමන පනවන්නන්ට වඩා බුද්ධිමත්ය.
එම නිසා වරක් ඔවුන් අපේක්ෂා භංගත්වයට අද දැමූ විට ඔවුහු වෙනත් ආකාරයකින් තමන්ගේ ඉල්ලීම් තෘප්ත කරගන්නෝය. ඒ මගින් නියාමනය කරන්නාගේ අරමුණු කුරෝලු කර දමයි. දැන් පෙනෙන ආකාරයට ඒ බව තේරුම් ගත් මහ බැංකුව අන්දමන්ද වී ඇති සේය. ලක්ෂ්මන්ගේ ක්ෂණික පිළියම් යොදා දින දෙකක් ඉකුත්ව ගිය පසු මූල්‍ය නීති පනත යටතේ බැංකුවලට ඍජු නියෝග ලැබුණි. ආනයන භාණ්ඩ රාශියක්, ආනයනය කිරීමේදී මුළු මුදල් තැන්පතුව සිදු කිරීමෙන් තොරව ණය වර ලිපි නිකුත් කිරීම එම නියෝගයෙන් බැංකුවලට තහනම් කරන ලදී. ඔවුන්ගේ මුදල් අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා ආනයනකරුවන්ට ණය ප්‍රදානය කිරීම ඒ අනුව බැංකු වලට තහනම් විය. රටේ බැංකු මාර්ග ඔස්සේ අදාළ මුදල් ගෙවූ බවට සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් තැන්පතු මුදල නිදහස් කළ යුතු බවට නියම කෙරිණි.

මෙම අවසාන කොන්දේසිය තරමක් ගැටලු සහගතය. ආනයන බිල් පත්‍රයේ වගකීම වෙනුවෙන් විදේශ විනිමය මුදා හැරීම පිණිස බැංකු මුදල් තැන්පතුවක් හිලව්වට තබා ගැනීම ප්‍රහේලිකාවක් බඳුන්වූ කරුණකි.

ආනයනකරුවාට තැන්පතුව ආපසු ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගෙන්නේ නැත. මෙම නියෝග අනුව ආනයන වලට අවශ්‍ය විදේශ විනිමය මුදා හැරීම සඳහා ආනයනකරුවා නැවත වරක් මුදල් රැගෙන පැමිණේ යයි මහ බැංකුව බලාපොරොත්තුවේ. මෙය ආනයන කරුවාට පහර පිට පහර (දෙවරක්) එල්ල කිරීමකි. ඒ මගින් රට තුළට ගලා එන ආනයන භාණ්‍ඩ ප්‍රවාහය සිඳීයයි.

එහෙත් නිර්භය ආනයනකරුවකුට ඉහළ පොලියකට අවිධිමත් මූල්‍ය වෙළෙඳපොළෙන් මුදල් ණයට ගෙන තැන්පතු අවශ්‍යතා නිසි පරිදි ඉටුකොට ණයවර ලිපියක් විවෘත කර ගෙන රට තුළට භාණ්ඩ ගෙන්වාගෙන නැවත අවිධිමත් වෙළෙඳ පොළෙන් මුදල් ණයට ගෙන ආනයන බිල් පතේ වගකීම් වලින් නිදහස් වීමටත් ආනයනය කළ භාණ්ඩ විකුණා දෙවැනිව ගත් ණය ගෙවා දැමීමටත් මෙම නියෝගවලින් බාධාවක් සිදු නොවේ. නැවත වරක් වැය වෙන පිරිවැය පාරිභෝගිකයාගෙන් අය කර ගැනීමටද බාධාවක් නැත. එහෙත් මෙහිදී සිදු වන්නේ ලක්ෂ්මන්ගේ හදිසි පිළියම් වලදී කියා පෑ ජාතික අවශ්‍යතාව වෙනත් ආකාරයකින් ගිලිහී යාමය.

 

ස්ථාවර විනිමය අනුපාතය සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුවීමේ අපේක්ෂා ගිලිහී යාම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදා ගැනීමේ පැකේජයක් වෙත යොමුවීමේ සාකච්ඡාවලට අවතීර්ණ වීමේදී ලක්ෂ්මන්ගේ ක්ෂණික පිළියම් ශ්‍රී ලංකාව පියවර දෙකකින් පසුපසට ඇද දමයි. පසුගිය සතියේදී  මහබැංකුවේ හිටපු බැංකුකරුවකු වූ මහාචාර්ය එස්. කොළඹගේ ලිපියකින් පෙන්වා දුන් පරිදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මූල්‍ය මාදිලිය ජේ.ජේ. පොලැක් විසින් 1957 දී ගොඩ නැගූ මුල්‍ය වැඩසටහන් මොඩලක් මත පදනම් වූවකි. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්‍ඩලයේ කටයුතු කළ තවත් දෙදෙනකු වූ රොබර්ඩ් මුන්ඩෙල් සහ මාර්කස් ෆ්ලෙමිං අතින් වැඩි දියුණු වී තිබේ. එය දැන් පොලැක්-මුන්ඩෙල්-ෆ්ලෙමින් මොඩලය නමින් හැඳින්වේ. මෙකී දායකත්වය නිසා 1999 දී මුන්ඩෙල් හට නොබෙල් ත්‍යාගය හිවිවිය. අනෙක් දෙපළ ඒ වන විට මියගොස් සිටි නිසා ඔවුන් ඒ සඳහා නම් කෙරුණේ නැත.

මෙම මොඩලයේ එක්තරා මූලික සුදුසුකමක් වූයේ විනිමය අනුපාතිකය නම්‍ය ලෙස පවත්වා ගැනීමයි. අද ශ්‍රී ලංකාවේ පවතින ආකාරයේ භාණ්‍ඩ මූල්‍ය විදේශ විනිමය ආදී වෙළෙඳපොළවල ශේෂය උත්පාදනය වන ආකාරයෙන් සැකසූ ස්ථාවර විනිමය අනුපාතිකයක් නොවේ. එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යම් ආකාරයකින් යොමු වන්නේ නම් මහ බැංකුව අද වන විට අනුගමනය කරන අනෙකුත් බාධාකාරී ප්‍රයෝග අතරින් විනිමය අනුපාතිකය නිදහස් කර ගැනීමද පෙර කොන්දේසියක් වනු ඇත.

 

2022 අය වැය ඉදිරිපත් කරන තුරු පැවතීමේ අභියෝගය
ශ්‍රී ලංකා ආර්ථිකය අද දින වන විට මංසන්ධියකට පැමිණ තිබේ. තව මාස දෙකකින් නව මුදල් අමාත්‍යවරයා තම කුළුඳුල් අය වැය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවේ. කෙසේ වුවද ඊළඟ දෙමස තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩානොවැටී ආරක්ෂාවී පවතීද යන්නද සැක සහිතය. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යවරයා කී පරිදි ආර්ථික අර්බුදය, අර්බුදයකින් දැන් සමස්ත ව්‍යසනයක් බවට පත්ව තිබේ. ආණ්‍ඩුවේ ඉහළම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ බලපොරොත්තුව වන්නේ බදු සංශෝධන පනත වරාය නගරයේ ආයෝජනය සහ ඍජු විදේශ ආයෝජන තුළින් නව ඩොලර් ප්‍රවාහ රට තුළට ලබා ගැනීම වුවද ඒ කිසිවක් තවමත් යථාර්ථයක් බවට පත්වී නැත. වෙළෙඳපොළ තුළ ඩොලර් නොමැති වීම හේතුකොටගෙන ආර්ථිකය එක තැන ඇණහිටිනු ඇත. නව මුදල් අමාත්‍යවරයා මුහුණ පා ඇති විශාලතම අභියෝගය මෙයයි. කාලය වේගයෙන් ඉකුත්ව යද්දී ඔහු කඩිනමින් ක්‍රියා කළ යුතුව තිබේ.


කියැට් සඳහා ස්ථාවර අනුපාතිකයක් නියම කිරීමේ මියන්මාරයේ උමතු උත්සාහය
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති කප්පිත්තන් සිහියේ තබා ගත යුතු කදිම උදාහරණයක් මියන්මාරයෙන් ලැබේ. අවුරුදු කිහිපයකට පෙර මියන්මාරය ඇමෙරිකානු ඩොලරයකට කියැට් 6 කින් යුතු ස්ථාවර විනිමය අනුපාතිකයක් නියම කළේය. කෙසේ වුවද එරට මහ බැංකුවේ හෝ අනෙක් බැංකුවල මෙම මිලට ඩොලර් ගන්නට තිබුණේ නැත. මෙම තත්ත්වය කළු කඩයට සශ්‍රිකව වැඩෙන්නට මගපෑදුවේ ඇතැම් ඉහළ පෙළේ දේශපාලන නායකයන්ගේ ආශිර්වාදයෙන් නිදහසේ ඩොලර් මිලට ගන්නටත් විකුණා ගන්නටත් ඉඩ සලසමිනි. කළුකඩයේ මිල ගණන අනුව 1997 දී ඩොලරයක මිල කියැට් 240 දක්වා ඉහළ ගොස් 2005 දී එය 1300 දක්වා ඉහළ නැංගේය.

එදා පටන් කළු කඩමිල සංචාරක සමයේ ඩොලරයකට කියැට් 850 දක්වා ද අනෙක් කාලවල කාලවල 1400 දක්වාද ඉහළ පහළ ගියේය. පුවත්පත්වල නිල විනිමය අනුපාතික සමග කළුකඩ මිලද පළ වෙන්නට ගත්තේය. මියන්මාරයේ බහුවිධ හුවමාරු ක්‍රමය මුලින්ම පටන් ගත්තේ 1993 ය. මේ ක්‍රමය යටතේ මහබැංකුව විනිමය හුවමාරු සහතික (FEC) විවෘත වෙළෙඳපොළේ ඉහළ මිලකට විකිණිය හැකි ආකාරයෙන් නිකුත් කරනු ලැබුවේය. ඒ ආකාරයට බහුවිධ විනිමය අනුපාතික ක්‍රමයට බලධාරීහු වලංගු භාවයක් ලබා දුන්හ. ශ්‍රී ලංකාවේද ඒ හා සමාන ක්‍රමයක් විදේශ විනිමය හිමිකම් සහතික පත්‍ර  (FEEC) ක්‍රමය නමින් 1977 දී එය අහෝසි කරන තුරු භාවිතයේ පැවැතියේය.


මියන්මාරයේ පළමුව අපනයන දෙවැනිව ආනයන ප්‍රතිපත්තිය
ඉන්පසු 1997 දී මියන්මාරය “පළමුව අපනයන, දෙවැනිව ආනයන” නම් වූ දේශීය ආර්ථීකය පදනම් කරගත් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නේය. මෙම ප්‍රතිපත්තිය යටතේ විදේශ විනිමය මිලදී ගැනීමට අපේක්ෂා කරන ඕනෑම ආනයන කරුවකු අනිවාර්යයෙන්ම භාණ්ඩ හා සේවා අපනයනයෙන් විදේශ විනිමය උපයා ගතයුතු විය. ඒ ආකාරයට අපනයන කටයුතු සිදු නොකරන අයට විදේශ විනිමය ලබා ගැනීමේ හැකියාව අහිමි කර තිබිණි.

ශ්‍රී ලංකාවේ, එවැනි විධිමත් ප්‍රතිපත්තියක් ආණ්‍ඩුවෙන් නිවේදනය නොකළද නිල විනිමය අනුපාතිකයට ඩොලර් මිලදී ගත නොහැකි ඩොලර් හිඟයකට වෙළෙඳපොළ ඇද වැටී තිබෙන නිසා ආනයනකරුවන්ගෙන් පළමුව ඩොලර් ඉල්ලා සිටින්නටත් ඉන් අනතුරුව ඔවුන්ගේ ඉල්ලීම ඉටු කරන්නටත් බැංකු වලට සිදුවිය.

ඉහත කී තත්ත්වය නිසා මියන්මාරයේ කළු කඩය තව තවත් බලවත් විය. විදේශ විනිමය උපයන අයට ඊට අමතරව තවත් ආදායම් ඉපයීමේ ඉඩ ප්‍රස්ථා සැළසුනේය.

 එය ආර්ථික විද්‍යාඥයන් හැඳින්වූයේ ඵලදායී නොවන බදු කුලිය ලෙසයි. ආනයන සීමා වීම නිසා අපනයන අංශයටද ගැටලු ඇති විය. මේ නිසා මියන්මාර දේශ සීමාවෙන් ඔබ්බේ පවා නීති විරෝධී වෙළෙඳපොළ ජාවාරම් වර්ධනය විය. නිල නොවන ගෙවීම් ක්‍රමයක් වූ හන්ඩු ක්‍රමය වැනි ක්‍රම මත විශ්වාසය තබා ඒවායේ ගනු දෙනු සිදුවිය.


මියන්මාර මහ බැංකුව කළුකඩය හා සමානව කටයුතු කිරීම
තත්ත්වය උසුලාගත හැකි මට්ටමට පත්වී සියල්ල ව්‍යසනයක තත්ත්වයට වර්ධනය වූ විට 2012 දී මියන්මාරය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය පැතුවේය. මෙම සහාය ලබා ගැනීමේ පෙර කොන්දේසියක් වූයේ නිල විනිමය අනුපාතිකය එවකට පවතින කළු කඩයේ හුවමාරු අනුපාතිකයට සම වන ආකාරයෙන් ඇ. ඩොලරයකට කියැට් 818 බවට පත් කළ යුතු වීමය. කෙසේ වුවද අවශ්‍ය වූ ආකාරයට ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට මියන්මාර රජය අසමත් වෙමින් දිගින්දිගටම පමණ ඉක්මවා මුදල් අච්චු ගැසීම කළේය. එවර නිල විනිමය අනුපාතිකය පහත වැටෙන්නට ගත්තේය. අද වන විට එය ඇමරිකානු ඩොලරයකට කියැට් 1600 කි. මියන්මාරය අතීතයේ සිදුකළ පාපකර්මය මේ වන විට බලගතු රාක්ෂයකු සේ එරටට වින කරයි. එය ශ්‍රී ලංකාවේ මහ බැංකුවටත් ආර්ථික ප්‍රතිපත්ති කප්පිත්තන්ටත් යස පාඩමකි.


වෙළෙඳපොළ මරා දමා පාපය නෙළා ගැනීම
මේ සතියේ තමා ධුරයෙන් ඉවත්වන බව මහ බැංකු අධිපති ලක්ෂ්මන් නිවේදනය කළේය. ඔහු මහබැංකු අධිපති ධුර කාලය හෙබවූ පසුගිය මාස 20 තුළ නැවත පිළිසකර කළ නොහැකි මාරාන්තික පියවර වැළක්ම රටේ මූල්‍ය ක්‍රමය ඇසුරෙන් ගෙන තිබිණි. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහු අනුගමනය කළේ නවීන මූල්‍ය න්‍යාය (Modern Monetary Theory - MMT) යනුවෙන් හඳුන්වන ප්‍රධාන මූල්‍ය ආර්ථික ධාරාවෙන් බිඳී ගිය ආර්ථික මතවාදයකි. සංවිත වර්ගයේ මුදල් නොවන මුදල් වර්ගයක් භාවිතා කරනා ශ්‍රී ලංකාව වැනි රටකට එය න්‍යායාත්මකව උචිත නොවන්නකි.

ඔහුගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අච්චු ගසන අච්චු කන්තෝරුවක් බවට පත් විය. රටේ මුදල් තොගය රුපියල් ට්‍රිලියන 2.8 කින් හෙවත් සියයට 35 කින් ඒ කාලය තුළ විස්තාරණය කරනු ලැබුවේ විකල්ප ආර්ථික ප්‍රථිපත්තියක් අනුගමනය කරන මුවාවෙනි. ඔහුගේ අධිපති ධුර කාලයේ අවසාන කාලයේ අවසන් පිළියම ලෙස ඔහු ස්ථාවර විනිමය අනුපාතිකයක් තීරණය කරන වෙළෙඳ පොළ යොදා ගත්තේය. අලුත් මහ බැංකු අධිපතිවරයා වහාම මෙම පිළිලයක් වූ පිළියම ඉවත් නොකළ හොත් ඔහුට ඉතිරි වන්නේ 2010 මියන්මාරය අත්වින්දා හා සමාන පණ ඇද මිය ගිය ලෙඩෙකි.

 

 

2021/9/13 වැනි දින Daily FT
පුවත්පතේ පළවූ
“The Maligned Lakshman Shock:
Patient will die unless the new Governor diffuses it forthwith”
(***)
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ