වැස්ස මඳකට තුරල් වුව ද ව්‍යවස්ථා වැස්ස නම් තුරල්වෙන පාටක් නැත. ඒ වැස්ස මොර සූරන ගාණට ය.  වාද විවාද, ප්‍රවාද, පුවත් සාකච්ඡා එමටය. කට මැත දෙඩවීම් ද ඒ අතර ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රාජ්‍යයක උත්තරීතර නීතිය සහ ප්‍රතිපත්තියයි. රජයේ මූලික දේශපාලන ක්‍රමය/පද්ධතිය, ආණ්ඩුවේ ආයතනවල ව්‍යුහය, පටිපාටි, බලතල, සහ වගකීම් මෙන්ම රාජකාරි සහ මූලික අයිතිවාසිකම්, මඟ පෙන්වීමේ මූලධර්ම සහ පුරවැසියන්ගේ යුතුකම් යනාදිය පිළිබඳ වපසරි සහ සීමා ඒ තුළ අඩංගු වේ. එහෙත් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නොව මරණාධාර සමිතියක ව්‍යවස්ථාවක් ගැනවත් කිසිත් නොදන්නා පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් යැයි කියා ගන්නා අයගේ හඬ කෑලි දකිනවිට සහ ඇසෙනවිට හිත් කෝප වන්නේ ඔවුන් ගැන නොව ඔවුන්ට මයික්‍රෆෝන් යොමුකරන සහ ඒවා අපට පෙන්වන අස්සවන අය ගැනය. ඒ කෝපය පසෙකලා මෙවර ලිපියෙන් උත්සාහ කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ ඒවා සම්පාදනයේ මූලධර්ම සහ ආචාර ධර්ම ගැන කෙටි හැඳින්වීමක් සිදු කිරීමටය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටකට අවශ්‍යවන්නේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව වැඩි සංශෝධන ගණනකට ලක් වූ නිසා ය යන තර්කය එතරම් සහේතුක නැත. ලෝකයේ  සංශෝධනය නොවූ ව්‍යවස්ථාවක් සොයා ගැනීම ඉතා අපහසු කාර්යයකි, නැතහොත් කළ නොහැක්කකි. ව්‍යවස්ථා සංශෝධනය විය යුතු ය. මන්ද වෙනස්වන සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, භෞතික සාධක මෙන්ම වෙනත් අභ්‍යන්තරික, කලාපීය සහ ගෝලීය සාධකවල ගතිකයන්ට සාපේක්ෂව සංශෝධනය නොවන ව්‍යස්ථාවක් වේ නම් එය අතිශයින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී එකකි. විශේෂයෙන්ම නව ව්‍යවස්ථාවක් පවා සමහර විට ඉතා ඉක්මනින් සංශෝධනයට ලක් වන්නේ එය සම්පාදනයේ දී සිදුවී ඇති පැලු‍ම් සහ කුහර වසා ගැනීමට අවශ්‍ය හෙළිදරව්වීම් සිදුවන්නේ ක්‍රියාත්මක කරගෙන යාමේ දී නිසාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු ජාතික හෝ රාජ්‍යයක ලිඛිත ව්‍යවස්ථාවේ විධිමත් වෙනසක්ය. ජන ජීවිතයේ යථාර්ථය පිළිබිඹු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම හා මගපෙන්වීම් සිදුකිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අතිශයින් අවශ්‍යවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අදහස් කරන්නේ යම් යම් විධිවිධාන වෙනස් කිරීම හෝ කාලීන අවශ්‍යතා සපුරාලීම සඳහා බාහිර අංග කිහිපයක් යාවත්කාලීන කිරීමයි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික අංගයක් වන්නේ එම ව්‍යවස්ථාව සංශෝධනය හෝ මුළුමනින්ම අහෝසිකොට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සහ සම්මත කර ගැනීම සඳහා වූ නිශ්චිත විධිවිධාන ඇතුළත්කොට තිබීමය. එම විධිවිධාන සලසා ඇත්තේ අනාගතයේ දී සිදුවන විවිධ වෙනස්කම් සහ අභිලාෂවලට ගැළපෙන ලෙසත් දුෂ්කරතා මග හරවා ගැනීමට හැකිවන ලෙසත් ව්‍යවස්ථාව වෙනස් කර ගැනීම අත්‍යවශ්‍ය නිසාය. එසේම ජනතාවගේ පරමාදර්ශ, ප්‍රමුඛතා සහ දැක්ම පරම්පරාවෙන් පරම්පරාවට බෙහෙවින් වෙනස්වේ. මේවා සංස්ථා ගතවිය යුතුය. ඒ සඳහා ද ව්‍යවස්ථා සංශෝධන අවශ්‍යවනු ඇත. 1950 සිට මේ වනවිට ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 104 වතාවක් සංශෝධනයවී ඇත. එහෙත් තවමත් එකම ව්‍යවස්ථාවය. ඇමරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාව 32 වතාවක් සංශෝධනයවී ඇත. එහෙත් තවමත් එකම ව්‍යවස්ථාවය. ඒ ආචාර්ය අම්බෙඩ්කාර්ගේ සභාපතිත්වයෙන් යුත් ඉන්දීය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ බරසාරකමේ ප්‍රතිඵලය. එසේම වොෂින්ටන්, මැඩිසන්, සහ ෆ්‍රෑන්ක්ලින්ලාගේ බරසාර කතිකාවේ ප්‍රතිඵලය.

රාජ්‍යයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විධිවිධාන නොමැතිනම්, ජනතාව, නායකයන්, කණ්ඩායම්, සමාජ දේශපාලන ව්‍යාපාර  යනාදියෙන් කවරක් හෝ විප්ලව, ප්‍රචණ්ඩත්වය වැනි ව්‍යවස්ථාමය නොවන මාධ්‍ය යොදා ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ නව ව්‍යස්ථාවක් සම්පාදනය සිදු කිරීම සඳහා මැදිහත්වීම සිදු විය හැකිය. මේ අනුව ව්‍යවස්ථා සංශෝධන හෝ නව ව්‍යවස්ථා සම්පාදන යනු සිදුවිය යුත්තක් මිස නොවිය යුත්තක් නොවේ. එහෙත් එය සිදුවිය යුත්තේ රටක ජාතික අභිලාෂ මුදුන්පත් කර ගැනීම සඳහා මිස බල-දේශපාලන අරමුණු සාධනය සඳහා නොවිය යුතුය. එහෙත් මුළුමනින්ම බල-දේශපාලන අරමුණුවලින් ඈත් වූ ව්‍යවස්ථා ක්‍රියාදාම සොයා ගැනීම ඉතාම අපහසු කාර්යයකි. එය එසේ වුවත් හැකි උපරිම ආකාරයෙන් ව්‍යවස්ථා සංශෝධන සහ සම්පාදන කටයුතු ජාතික අභිලාෂ මතම පදනම් කර ගැනීමට වග බලා ගන්නෝ ජනතාවාදී, ජනපහසුකාරක සහ ජනමිතුරු ස්වදේශිකවාදී නියෝජිතයෝ වෙති.
එවැනි නියෝජිතයන් වෙතින් සිදුවන සම්පාදන හෝ සංශෝධන මුලධාර්මික අගයන් මත පදනම්වන නිසා ඒ තුළින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අදාළ දාර්ශනික, මූලධාර්මික අත්තිවාරමක් වැටේ. නිදසුනකට 1950 සම්මත කරගත් ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධාර්මික පදනම් කෙරෙහි අපගේ අවධානය යොමු කළ හැකිය. මහජන පරමාධිපත්‍ය, සමාජවාදය, මූලික අයිතිවාසිකම්, රාජ්‍ය ප්‍රතිපත්තිවල මඟ පෙන්වීමේ මූලධර්ම, අධිකරණ ස්වාධීනත්වය, නිරාගමික භාවය, සන්ධීයවාදය, කැබිනට් ආණ්ඩුක්‍රමය, යනු ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධාර්මික පදනම්ය.

එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව යනු එක්සත් ජනපදයේ උත්තරීතර නීතියයි. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරම්භයේදී මූලික ව්‍යවස්ථා හතකින් සමන්විත වූ අතර එය ආණ්ඩුවේ ජාතික රාමුව නිරූපණය කරයි. ඇමරිකානු එක්සත් ජනපද ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන්නේ 1789 සිට ය. මහජන පරමාධිපත්‍යය (ආණ්ඩුවට පාලන බලය එන්නේ ජනතාවගෙනි), සීමිත ආණ්ඩුව (ආණ්ඩුව ව්‍යවස්ථාව විසින් දෙන බලයට පමණක් සීමා විය යුතුය), බලය බෙදීම (ව්‍යවස්ථාව විසින් ආණ්ඩුව කොටස් තුනකට බෙදා දැක්වීම දායක), සංවරණය සහ තුලනය (සෑම අංශයක්ම එකිනෙක අංශවල පරීක්ෂාවට සහ සීමා කිරීමට ලක් වේ), ජනරජවාදය/සමූහාණ්ඩුවාදය (ජනතාව විසින් තෝරා පත් කරගත් නියෝජිතයන් ක්‍රියාවට නගන්නේ ජනතාවගේ කැමැත්තය), සහ පුද්ගල අයිතිවාසිකම් යනු ඇමරිකානු එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම්වී ඇති මූලධර්ම වන්නාහ.

මෙම නිදසුන් දෙකෙන්ම පෙනී යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තිබෙන විධිමත් භාවය සහිත මූලධාර්මික ගති ලක්ෂණය. ඉන් අපට ගත හැකි පාඩම වන්නේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී කොතරම් නම් ගැඹුරින් ඒ ගැන සිතිය යුතුද යන්න.
මා මීට පෙර ලිපියක ද අවධාරණය කළ පරිදි මෙරට ව්‍යවස්ථාව නිතැතින්ම ප්‍රජාතන්ත්‍රවාදී ජන මිතුරු, පහසුකාරක රාජ්‍යයක් ගොඩ නගා ගැනීම අරමුණු කරගත යුතුමය. ඒ සඳහා අප පදනම් විය යුතු ස්ථාවරයක් වන්නේ යටත් විජිත අරමුණු සඳහා වූ ව්‍යවස්ථා සම්පාදන සහ ප්‍රතිසංස්කරණ ඉතිහාසයෙන් සහ සම්ප්‍රදායෙන් මිදිය යුතුය යන්නය. ඉන් අදහස් වන්නේ ලෝකයේ ව්‍යවස්ථා සම්ප්‍රදායේ වටිනාකම්, යහගුණ, සහ ක්‍රම විධි මුළුමනින්ම ඉවත දැමිය යුතුය යන්න නොවේ. එහෙත් ඒවා අප උදව් කරගත යුත්තේ මෙරට ජාතික අභිලාෂ සාධනයේ මෙවලම් ලෙස මිස වෙනත් රාජ්‍යයන්හි තිබෙන නිසා මෝස්තර ලෙස නො වේය. උදාහරණයක් ගන්නේ නම්, ඉන්දීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ඇමරිකා එකසත් ජනපදය, බ්‍රිතාන්‍යය, කැනඩාව, අයර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, සෝවියට් සංගමය, දකුණු අප්‍රිකාව, ජර්මනිය, රුසියාව, සහ ජපානය යන රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තම ව්‍යවස්ථා සම්පාදන සහ සංශෝධන ක්‍රියාවලිවලදී ඇසුරු කොටගෙන ඇති බවට සාක්ෂි සොයා ගත හැක.

මෙම කාරණා සැකෙවින් මතු කළේ මේ දිනවල මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කතිකාව, හුදු හිතෙන හිතෙන දේ හිතෙන තාලෙට කිසිදු වගකීමක් නැතිව කිසිදු හැදෑරීමක් හෝ ගැඹුරු සොයා බැලීමක් නැතිව කතා කරන වාද විවාද සහිත කතා සාප්පුවක් බවට පත්වී තිබීම අනතුරක් ලෙස මා දුටු සහ දකින නිසා ය. ව්‍යවස්ථා ක්‍රියාවලිය යනු, වෙන වැඩකට ගොස් එළියට එනවිට දික් කරන මයික්‍රෆෝන්වලට හදිසියේ ඒ වෙලාවට හිතට ආ දෙයක් කීම නොවන බව අපේ මහජන නියෝජිතයන් තේරුම් ගත යුතු ය. එසේම ව්‍යවස්ථා සංශෝධනයට සහ නව ව්‍යවස්ථාවක් සම්පාදනයට පක්ෂ සහ විපක්ෂ අදාළ පක්ෂවල නායකයන්ට මීට අදාළ වගකීමක් ඇත. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හෝ සම්පාදනය හෝ සශෝධනය හෝ ගැන හය හතර නොදන්නා අයට කට වසාගෙන සිටීම සඳහා ඔවුන් විනයකට යටත් කිරීම ඒ වගකීමය. එසේම මාධ්‍යයට ද වගකීමක් ඇත. එය සමාජ වගකීමකි. ඒ වගකීම වන්නේ හය හතර නොදන්නා අයට මයික්‍රෆෝන් දික් කිරීමෙන් වැළකී සිටීමය. එය සමාජ වගකීමක් වන්නේ මාධ්‍යයේ එම වගකීම ඉටු කිරීම නිසා රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය හෑල්ලු‍වීමේ අකටයුත්ත සිදු නොවන නිසාය. ඇත්ත, අපට අලු‍ත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් අවශ්‍යය. එහි දැක්ම ප්‍රජාතන්ත්‍රවාදී ජනමිතුරු පහසුකාරක රාජ්‍යයක් ගොඩ නැගීම’ යන්න විය යුතුමය. ඒ ව්‍යවස්ථාව අඩුම තරමින් වසර සියයක්වත් සංශෝධන රහිතව නොව සංශෝධන සහිතව ගෙන යා හැකි එකක් විය යුතුය. එසේ වීමට නම් අපේ සාකච්ඡාව වඩාත් පුළුල් සහ ගැඹුරු එකක් විය යුතුය.


(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ  
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක