ජාතික ජන බලවේග ආණ්ඩුවේ 2026 අයවැය හෙට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට වර්තමාන ආර්ථිකයේ තත්වය කෙබඳුදැයි තේරුම් ගැනීම වැදගත් වෙයි. 2021, 2022, 2023 වසරවල මේ රටේ පැවැති දරුණු ආර්ථික අර්බුදය සමග ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක් විය. රජයේ අය භාරයේ විශාල බිඳ වැටීමක් ඇති විය.
අයවැය හිඟය විශාල වශයෙන් වැඩි වී තිබිණ. එසේම ආර්ථික වර්ධන වේගය ඝෘණ තත්වයට පත් විය. විනිමය අනුපාතිකය විශාල වශයෙන් ක්ෂය වීමක් දැකිය හැකි විය. ආර්ථික අර්බුදය නිසාම බොහෝ දෙනාගේ රැකියා අහිමි විය. 2024 නොවැම්බර් මාසයෙන් පසු අතුරු අයවැය ද 2025 මුල් කාර්තුවේ දී සම්මත වූ අයවැය ද ඉදිරිපත් කරන්නට සිදු වූයේ මෙවන් කඩා වැටුණු ආර්ථිකයක් හමුවේය.
2025 අයවැය ක්‍රියාත්මක වූයේ එම වසරේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා කාලය තුළය. කෙසේ වෙතත් ගත වූ මේ කෙටි කාලය තුළ මෙරට ආර්ථිකයේ අංශ කිහිපයක යහපත් වර්ධනයක් ඇති වී තිබෙන බව පෙනෙන්නට තිබේ. ඒ අනුව 2025 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා කාලය තුළ ආණ්ඩුවේ මූල්‍ය තත්වය යහපත් මට්ටමකට පත්ව ඇති බව කිව යුතුය. එසේම රජයේ අය භාරය සියයට 31කින් පමණ මේ කාලය තුළ වර්ධනය වී තිබේ. පුනරාවර්තන වියදම් නිසා වැය තත්වය සියයට 10කින් පමණ වැඩි වී ඇතත්, සමස්තයක් ලෙස අයවැය හිඟය සියයට 34කට වඩා වැඩි වේගයකින් අඩු වී තිබේ. මේ අනුව ආණ්ඩුවේ මූල්‍ය තත්වය මේ අන්දමට යහපත් මට්ටමකට වර්ධනය කරගැනීමට ආණ්ඩුව සමත්වීම ඉතාම සුබදායී කාරණයක් බව පෙන්වා දිය හැකිය.
මෙරට ආර්ථිකයේ පසුගිය කාලය තුළ බොහෝ ගැටලු මතු වූයේ අයවැය හිඟය පදනම් කරගෙනය. එම තත්වය අවම කරගෙන ඉදිරි අයවැය ඉදිරිපත් කිරීමට සූදානම්ව තිබෙන මෙම අවස්ථාවේ රාජ්‍ය මූල්‍ය තත්වය යහපත් මට්ටමක පැවැතීම වැදගත්ය. විනිමය අනුපාතිකය ද මේ වනවිට පවතින්නේ ස්ථායි තත්වයකය. එසේම ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ද මේ වනවිට ඩොලර් බිලියන 6 ඉක්මවා යන මට්ටමකට පත්ව තිබේ. අනෙකුත් සාර්ව ආර්ථික මූලිකාංග බැලුවත් ඒවායේ යම් සාධනීය තත්වයක් දැකිය හැකිය. ආර්ථික වර්ධන වේගය මේ වනවිට සියයට 3 ඉක්මවා ගොස් තිබේ. සමස්තයක් ලෙස ගෙන බලද්දී 2026 අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ලංකාවේ ආර්ථිකය තුළ පෙරකී පරිදි රාජ්‍ය මූල්‍ය තත්වය, මූල්‍ය ස්ථාවරත්වය, සාර්ව ආර්ථික ස්ථාවරත්වය යන කාරණා යහපත් තත්වයක පවතී. ආර්ථික පීඩාවට පත්වූ ජනතාව රැක බලා ගැනීම සඳහා අස්වැසුම හා අනෙකුත් අංශ හරහා වැඩසටහන් ද ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර, ඒවා ජනසහන වැඩසටහන් ලෙස පෙන්වා දිය හැකිය.
එහෙත් මේ වනවිට මෙරට ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙන නිසාත් නරකම තත්වයේ තිබූ රාජ්‍ය මූල්‍ය තත්වය මේ වනවිට යම් යහපත් තත්වයක තිබෙන නිසාත් ආර්ථිකයේ වෙනත් මූලිකාංග සපුරා ඇති නිසාත් මෙවර අයවැය 2025 අයවැයට වඩා යම් සාධනීය මට්ටමක පැවැතිය යුතුය.
මේ වනවිට රටේ පවතින්නේ සියයට 3 ඉක්මවා ගිය ආර්ථික වර්ධන වේගයකි. ඇතැම් ජාත්‍යතර ආයතන පුරෝකථනය කරන්නේ මෙම ආර්ථික වර්ධන වේගයම ඉදිරි වසරේදීත් පවතිනු ඇති බවය. දැනට තිබෙන ප්‍රධාන අභියෝගය නම් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 6-7 ත් අතර ප්‍රමාණය දක්වා තීව්‍ර වර්ධනයක් ඉදිරි වර්ෂයේ දී ඇති කරගන්නේ කෙසේද යන්නයි. ලංකාවේ පෞද්ගලික අංශයේත්, සමුපකාර අංශයේත් පවුල් මත පෞද්ගලික මට්ටමේත් ආර්ථිකය ගොඩනැගෙන අතරේ පොදුවේ ආර්ථික වර්ධනය සියයට 6-7 මට්ටමට ගෙන යාම සඳහා ආණ්ඩුවට කළ හැකි දේ කවරේ ද යන්න මෙහිදී තීරණාත්මකය. මන්ද පෞද්ගලික අංශයෙන් ආර්ථික වර්ධන දායකත්වය අපේක්ෂා කළත්, එය ක්‍රියාත්මක වන්නේ සීමාසහිතවය. ආර්ථික වර්ධනය තවදුරටත් පුළුල් කිරීමට නම් රජයේ දායකත්වය අත්‍යවශ්‍යය. එහිදී තීරණාත්මක කරුණ වන්නේ ආයෝජන ගැටලුව විසදා ගැනීමය. දැනට සියයට 26-27ක් පමණ වන ආයෝජන අනුපාතය සියයට 35 කට ආසන්න තත්වයක පවත්වා ගැනීමට නම් අප දිගුකාලීනව කළ යුතු වන්නේ මහා පරිමාණ ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමය. දැනටත් එබඳු ව්‍යාපෘති කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව පෙනේ. විශාල පරිමාණයේ විදේශ ආයෝජන කිහිපයක් හෝ ආකර්ෂණය කර ගැනීමට ආණ්ඩුවේ විශේෂ අවධානය තවදුරටත් යොමුවීම අවශ්‍ය වේ. ආයෝජන ගැටලුව විසදාගැනීමෙන් තොරව ආර්ථික වර්ධනය අපේක්ෂිත මට්ටමට රැගෙන ඒම දුෂ්කර කාරණයකි. ලංකාව තුළ පවතින තරගකාරී වෙළෙඳපොළ යහපත් අන්දමින් පවත්වා ගෙන යාමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සහ නෛතික ප්‍රතිසංස්කරණ මූලිකව සිදුකිරීම වැදගත් වේ. එසේම මානව ප්‍රාග්ධනය නූතන කර්මාන්තවලට හිතකර අන්දමින් පවතින්නේ දැයි සොයා බැලීම අවශ්‍ය වේ. රාජ්‍ය ආයතනවල පවත්නා අකාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පවතින ගැටලු වැනි කාරණා රටේ සමස්ත ආර්ථිකයේ පවත්නා විභවය වැඩිදියුණු කරගැනීමට බාධාවක් වී තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය වර්තමානය වනවිට වැඩි අගයක් ගෙන තිබෙන අතර ශ්‍රම බළකාය හැකිළෙමින් තිබේ. ශ්‍රම බළකායේ වර්ධනය සඳහා අවශ්‍ය වන මානව සම්පත් සකසා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මෙවන් පසුබිමක් තුළ රටේ ආර්ථික වර්ධන වේගය වර්ධනය කරගැනීම සඳහා ආණ්ඩුව ගන්නා පියවර මෙවර අයවැයෙන් ප්‍රකාශවීම වැදගත් වේ. ඒ සඳහා රජයට ඍජුව මැදිහත් විය හැකි අංශ කවරේ ද, පෞද්ගලික අංශ ඊට දායක කරගත හැක්කේ කෙසේද යන්න කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුවීම වැදගත්ය. ඊට අවශ්‍ය කෙටිකාලීන, මැදිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් කෙරෙහි මෙවර අයවැයෙන් අවධානය යොමු කළ යුතු වේ.
ඉදිරි වසරවල සිට විදේශ ණය ගෙවීමට නම් දැනට තිබෙන ඩොලර් බිලියන 6ක පමණ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 9-10 අතර ප්‍රමාණයේවත් රඳවා ගැනීමේ අවශ්‍යතාව තිබේ. මේ සඳහා සංචාරක කර්මාන්තය, ඩිජිටල් ආශ්‍රිත අපනයන ආදිය කෙරෙහි අවධානය යොමු කර තිබුණත් තේ, රබර් ඇතුළු අගය එකතු කළ යුතු මූලික කර්මාන්ත කෙරෙහි වන අවධානය අවශ්‍ය වේ. ඒ සඳහා ආණ්ඩුවට කළ හැකි ඍජු මැදිහත්වීම් වගේම, පෞද්ගලික අංශයෙන් ලබාගත හැකි සහයෝගය කෙබඳුදැයි මෙවර අයවැයේ දී සලකා බැලීම වටී. මෙම තත්වය ද අප ඉදිරියේ ඇති මූලික අභියෝගයකි. දැනට පවත්නා තත්වය යහපත් වුවත් මේ වසර තුන තුළ අවශ්‍ය විදේශ සංචිත ගොඩනගා ගැනීමට පරිසරය සකසා ගැනීම ද මූලික කාරණයකි.
එසේම බදු සම්බන්ධයෙන් දැනට පවතින ගැටලු ද 2026 අයවැයේ දී අවධානයට ගත යුතු ප්‍රධාන මාතෘකාවකි. පොදු සමාජය තුළ දැනට පවතින මතය වන්නේ වැටුප් ලබන්නන් කෙරෙහි වැඩි බදු පීඩනයක් එල්ල වී ඇති බවය. ව්‍යාපාර කරන්නන්ට සහ වෙනත් දෛනික උපයන්නන්ට වඩා මාසිකව ස්ථිර වැටුපක් ලබන පිරිසකට මේ පීඩනය එල්ල වී ඇති බව එහිදී මතුවන ප්‍රධාන කාරණයකි. එම නිසා මෙවර අයවැයෙන් එම බදු පීඩනය යම් දුරකට ලිහිල් වනු ඇති බවට වෘත්තිකයෝ සහ මධ්‍යම පාන්තිකයෝ යම් විශ්වාසයක පසුවෙති. එම බදු පීඩනය අඩු කළ හැක්කේ කෙසේද යන්න ආණ්ඩුව ඉදිරියේ ඇති තවත් අභියෝගයකි. එක් පැත්තකින් ආණ්ඩුව තමන්ගේ අයභාරය, රාජ්‍ය මූල්‍ය තත්වය පවත්වාගෙන යා යුතුය. අනෙක් පැත්තෙන් වෘත්තිකයන්ගේ බදු පීඩනය අඩු කිරීම ගැන කල්පනා කළ යුතුය. ඊට විකල්ප වශයෙන් දැනට පවත්නා බදු දැල පුළුල් කිරීමේ ක්‍රමෝපාය අවශ්‍ය වනු ඇත. විශේෂයෙන්ම බදු එකතු කිරීමේ දී මීට වඩා තාක්ෂණික මාර්ග භාවිත කිරීම ගැන ආණ්ඩුව කල්පනා කර බැලිය යුතුය.
වාර්ෂික අයවැයෙන් මූලිකව මේ ප්‍රශ්න විසඳා ගැනීමට නම් විශේෂයෙන්ම අධ්‍යාපනය, මානව සංවර්ධනය, සෞඛ්‍යය ප්‍රවාහනය මාර්ග හා යටිතල පහසුකම් යන අංශ කෙරෙහි දක්වන අවධානය වැදගත් වේ. මේ කාරණා මූලිකව රටක ශීඝ්‍ර ආර්ථිකයක් ඇති කරගැනීමේ පදනම ලෙස සැලකිය හැකිය. එම නිසා මෙම ක්ෂේත්‍රවල දියුණුව වෙනුවෙන් අයවැයෙන් වැඩි මුදලක් වෙන් කරන්නේ කෙසේද යන්න අවධානයට ලක් විය යුත්තකි. යටිතල පහසුකම් ආදිය සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් කිරීමේ අපහසුව ඇත්නම් ඊට පෞද්ගලික අංශයේ ද සහාය ලබා ගැනීම කෙරෙහි සොයා බැලිය හැකිය. අධ්‍යාපනයේ ආයතනික ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මානව සංවර්ධනය සඳහා වන වැඩපිළිවෙළ කුමක්ද? යන කාරණා විධිමත්ව සැලසුම් කර ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. මෙවර අයවැයේ දී ඒ සඳහා අවශ්‍යවන සැලසුම් සකස් කරන්නේ කෙසේද යන්න ආණ්ඩුව ඉදිරියේ ඇති අභියෝගයකි.
ආර්ථික සංවර්ධනයට අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කළ විට ආණ්ඩුව කල්පනා කර බැලිය යුතු වන්නේ ආණ්ඩුවේ ඍජු මැදිහත්වීමෙන් තොරව දැඩි වෙළෙඳපොළ ආර්ථිකයකට යන්නේ ද නැතහොත් රාජ්‍ය පෞද්ගලික මහජන එකමුතුවෙන් මිශ්‍ර ක්‍රමයකට යන්නේ ද යන කරුණයි. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ කවරාකාරදැයි ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ද අවධානයට යොමු වන අතර, දැනට ඔවුනගේ කනස්සල්ලට එක් හේතුවක් වී ඇත්තේ ඔවුන් සිතන ආකාරයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුවීම තවමත් මන්දගාමී වීමය. මගේ පෞද්ගලික මතය නම් නව ලිබරල් ආර්ථිකයකට යන ආර්ථික ප්‍රතිසංස්කරණවලට වඩා අපට අවශ්‍ය වන්නේ රාජ්‍ය, පෞද්ගලික හා මහජන සහයෝගයෙන් ගොඩනැගෙන ආර්ථිකයක් සඳහා අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ පුළුල් කිරීම බවය.
අපි තවමත් ලංකාවේ බුද්ධි ගලනය නවතා ගැනීමට අපොහොසත් වී සිටිමු. බුද්ධි ගලනයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඉහළ නිපුණතා සහිත උගතුන් අවශෝෂණය කරගත හැකි ආර්ථිකයක් මෙරට නොමැතිවීමය. කර්මාන්ත, කෘෂිකර්ම හා සේවා අංශ ගත්තත් මේ ක්ෂේත්‍ර සියල්ලෙහිම ඇත්තේ ඉතාමත් සීමිත වෘත්තිකයන් පිරිසක් අවශෝෂණය කරගැනීමේ හැකියාවකි. මෙම අංශ තවදුරටත් ප්‍රසාරණය නොවීම නිසාත්, බදු පීඩනය සහ වෙනත් හේතු නිසාත් තවමත් උගත්තු බුද්ධිමත්තු විශාල පිරිසක් රට හැර යාමට හෝ විදේශ රැකියා සොයා යාමට වෙහෙසෙති. මෙම තත්වය දිගු කාලීනව රටේ ආර්ථික ප්‍රවර්ධනයට බාධාවකි.
එසේම මේ වනවිට උද්ධමන තත්වය කිසියම් ආකාරයකට පාලනය කරගැනීමට සමත් වී ඇතත්, ලංකාවේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් 2020ට සාපේක්ෂව තවමත් පවතින්නේ ඉහළ මට්ටමකය. ඒ සඳහා විකල්ප සෙවිය යුත්තේ කෙසේද යන්න කෙරෙහි ද මෙවර අයවැයේ දී අවධානය යොමුවීම වැදගත්ය. ජීවන වියදම තවදුරටත් අඩු කරන්නේ කෙසේද යන අභියෝගය ආණ්ඩුව ඉදිරියේ තිබේ. ඊට කෙටිකාලීන, මැදිකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළ කුමක්දැයි මෙවර අයවැයෙන් ජනතාව අපේක්ෂා කරනු ඇත.
(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)
2025 නොවැම්බර් මස 04
193
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2072
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආණ්ඩුවේ අයවැය අභියෝග
sene Thursday, 06 November 2025 03:20 PM
ලිබරල් ආර්ථිකය මූලධර්මවත් නොදැන එය ක්‍රියාවට යොදා ගන්නේ කෙසේද?