අතැඟිලි තුඩින් සියුමැලි ලෙස පිරිමැද්දත් නැවුම් බව මියෙන මල් පෙත්තක් තරමටම පුංචි සිත් මොළකැටිය. නිල් මැණික් සේ දිලෙන දෑසින් ලෝකයෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ ආදරය හා රැකවරණයයි. විහඟ ගීයක සොඳුරු සංධ්වනිය රහසින් පවසන්නේ ඒ ළපටි සිත් තරම් සොඳුරු බවින් පිරි අන් කිසිවක්ම මේ විශ්වයේ නැති බවයි. ඉඳින් දරුවන් තමන්ගේම යැයි සලකන්නට ඔවුන් තම ලෙයින් ජනිතකොට කිරට හැරවූ ලෙයින් සෑදුවෝ විය යුතුමද? නොවේ. එය එසේ නොවේ.


මේ ඔබේයැයි මේ මගේයැයි බෙදා වෙන්නොකර ලොව සියලූ දරුවන්ට එක සිතින් බෙදීම්වලින් තොර සෙනෙහසකින් සලකන්්න යැයි ආදරය කරන්නයැයි අප ඉල්ලා හිඳින්නේ සැලකිය යුතු සංඛ්‍යාවක දරුවන්ගේ ඉරණම වඩාත් ඛේදනීය වන මෙවන් පසුබිමකදීය.

අපි ඔබට සිහිපත් කරමු.

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා ඉකුත් මස 25 වැනිදා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ 2012 වසරේදී දරුවෝ 7,418 දෙනෙක් පමණ අපයෝජනයට ලක්ව ඇති බවය. ඇමැතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළ පරිදි එයින් වැඩිම ළමා අපයෝජන සංඛ්‍යාවක් සිදුව ඇත්තේ කොළඹ දිස්ති‍්‍රක්කයේය. එම සංඛ්‍යාව 1714 කි.

මෙම ළමා අපයෝජන සිද්ධීන් 7,418 න් 3800 ක් පමණ දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ දඬුවම් හිමිවන වැරදි බවට ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය. දරුවන් 313 දෙනෙක් ළමා මෙහෙකාර සේවයේ යොදවා ඇති බවත්, භාරකාරත්වය හා ආරක්‍ෂාව ඇවැසි දරුවන් 1054 ක් පමණ සිටින බවත්, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයට ලක්වූ දරුවන්ගේ සංඛ්‍යාව 1,307 ක් බවත්, අධ්‍යාපනය නොලබන ළමයින් සංඛ්‍යාව 944 ක්් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2009 වසරේ සිට 2012 වසර දක්වා ගෙවුණු තෙවසරක කාලයේ සිදුවූ ළමා අපචාර සංඛ්‍යාව 18,777 කි. 2012 වසරේදී අපයෝජනයට ලක්වූ පිරිමි දරුවන් 322 දෙනෙකුගේ මව්වරුන් විදේශගත සේවයේ යෙදී සිටියි. එම දරුවන් 35 දෙනකුගේ පියවරුන්ද විදේශගතව සිටින අයය. ඉකුත් වසරේදී අපයෝජනයට ලක්වූ ගැහැනු දරුවන් 269 දෙනෙකුගේ මව්වරුන්ද, 28 දෙනකුගේ පියවරුන්ද එසේ විදේශතව සිටි අයය.

මේ සියලූ දත්ත පිළිබඳව අනාවරණය කිරීමෙන් අනතුරුව ඇමැතිවරයා අවසන් වශයෙන් ප‍්‍රකාශ කළේ මේ තත්ත්වය වැළැක්වීමෙහිලා වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශගතවීම වළක්වාලීමට රජය කටයුතු කරමින් සිටින බවය. ඒ සඳහා වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරගෙන යන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය. එහෙත් ප‍්‍රායෝගිකත්වය මත මේ කියුම් යථාර්ථයක්වේද යන කුකුස අප තුළ නිරන්තරව ඇතිවීමට සාධාරණ පසුබිමක් පවතී. ඒ දරුවන්ට එරෙහි සියලූ අපරාධ සහ ප‍්‍රචණ්ඩත්වයන්ට එරෙහිව නීති පැවතියත් එම නීති එලෙසින්ම ක‍්‍රියාත්මක නොවීමේ සහ නීතියේ ආධිපත්‍ය ධනය හා බලය යන කාරණා කේන්ද්‍රකරගත් අදිසි හස්තයන්ට යටත්වීමේ අවාසනාවන්ත ප‍්‍රවණතා අප තත්කාලීනව අත්විඳින බැවිනි.

 ඕනෑම ආකාරයක පවක් සිදුකර ධනය හා බලය යන සේදුම් කාරකයෙන් දෑත් සෝදාගෙන සමාජය ඉදිරියේ පිරුවටෙන් සැරසෙන කුහක සුචරිතවාදීන්ගේ අමනකම්වලට තවදුරටත් අපේම නොවුණත් අපේම යැයි අප සිතිය යුතු අපේ දරුවන් බිල්ලට දී බලා සිටී නම් ප‍්‍රශ්නාර්ථය ලකුණු කළ යුතු වන්නේ රටේ අනාගතය කොයිබටද යන බරපතළ ප‍්‍රශ්නය ඉදිරියේය. ඒ හෙට දවසේ අයිතිකාරත්වය දරුවන් විසින් දෙවුර දරන බැවිනි.

මේ කතා කරන මොහොත වෙද්දීත් දිනකට අප රටේ ළමා අපයෝජන 11ක් පමණ සිදුවේ. නීතිය ඉදිරියේ සමානාත්මතාව වචනයේ පරිසමාප්ත අරුතින්ම බලගැන්වේ නම්, දේශපාලන රැුකවරණය ලබන දේශපාලනඥයන්ගේ හෙංචයියලාට සහ දේශපාලන මෝරුන්ට නීතිය තවත් විදිහකට කි‍්‍රයාත්මක නොවේ නම්, පංගුපේරුවකින් වියුක්තව වරදකරුවන්ට උපරිම දඬුවම් හිමිවේනම් ඉකුත් කාලය මුළුල්ලේ දේශපාලනඥයන් විසින් කරන ලද ළමා අපයෝජන සහ ස්ත‍්‍රී ¥ෂණවලට එරෙහි නීතියේ යාන්ත‍්‍රණය සර්ව අපක්‍ෂපාතී සහ සාධාරණ වේනම් දිනකට සිදුවන ළමා අපචාර සංඛ්‍යාව හෝ අවම තරමින් අඩුකර ගැනීමට එය රුකුලක් වනු ඇත. එහෙත් බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වූ පසුබිමකදී සිදුවන්නේ අපරාධයකටම ඉඩහැර මුනිවත රැුකීම පමණි. අද අපරාධකරුවෝ කි‍්‍රයාත්මක නීතියට හෝ දඬුවමට බිය නොවන පසුබිමක් නිර්මාණය වී තිබේ. දරුවන් වෙනුවෙන්, දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දරුවන්ට සිදුවන අපයෝජන, දුෂණ හා සියලූ  නොපනත්කම්වලට එරෙහිව ජාතික ළමාරක්‍ෂණ අධිකාරිය, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය, ළමා කාන්තා කටයුතු අමාත්‍යෘංශය ඇතුළුව රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් ස්ථාපිතව පැවතුනත් අදටත් අප පය ගසා ජීවත් වන්නේ තම ලෙයින් ජාතක කළ දියණිවරුන් දුෂණය කරන්නට තරම් සැහැසි මානසිකත්වයකින් පෙළෙන පියවරුන් පවා සිටින රටකය.

එක බඩවැල කඩාගෙන ආ සහෝදරිය දුෂණය කරන්නට තරම් නිර්ලජ්ජිත වූ සහෝදරයෝ සිටින රටකය. පිය - පුතු දෙදෙනා එක්ව පියාට දියණිය වූත් පුතුට සහෝදරිය වූත් බැඳීමක් ඇති තම ලෙයම හපකර රස බොන්නට තරම් ජුගුප්සාජනක පාපතරයන් සිටින රටකය. ශිල්ප උගනින්නට සෙවණට එන දු දරුවන් දුෂණයට අපයෝජනයට ලක්කරන්නට තරම් තිරිසන් වූ ගුරුවරුන් සිටින දේශයකය. අවුරුදු අසූව අනූව ඉක්මවූ මිත්තනියන් පවා දුෂණය කර මරා දමන්නට පෙළඹෙන තරුණයන් සිටින අවාසනාවන්ත සමාජයකය. නීති ඒකක පිහිටුවීම හෝ දැනුම්වත් කිරීම පමණක් ළමා අපයෝජන හා දුෂණ මැඩලීමට ප‍්‍රමාණවත් නොවේ. සිද්ධියක් වූ විගස මාධ්‍ය මගින් එය ගෙනහැර දැක්වීමෙන් හෝ උද්ඝෝෂණ හඬ නැගීම්වලින් පමණක් මේ තත්ත්වය මැඩලිය නොහැකි වේ. අපරාධකරුවන් ශක්තිමත් කරන සියලූ මූල බිඳ හෙළීමට නීතිය මෙන්ම සමාජයද එක පෙළට පෙළ ගැසිය යුතුය.

අද සංස්කෘතික හා සමාජයීය සබඳතාවල පාරම්පරික ආරක්‍ෂණ ජාලය බිඳ වැටී තිබේ. ක‍්‍රමික සමාජ පරිවර්තන සමග එකී සබැඳියාවන් බිඳ වැටීමේ පදනම සකස් විය. එමෙන්ම අද සුළු අවිවල සිට අවි සංසරණය බහුල වූ තත්ත්වයක් මෙන්ම ආර්ථික සමාජයීය හා දේශපාලන හේතු මත බහුතරයක් මිනිසුන් පීඩාකාරී මානසිකත්වයක ගොදුරු වූ වාතාවරණයක් දක්නට ලැබේ. විවිධ හේතු මත විවාහවීමේ වයස් සීමාව ඉහළ යාමද අද දක්නට ලැබෙන දෙයකි. විවාහය කල් ගියත් ලිංගික අවශ්‍යතා ඇතිවීම ස්වභාවික දෙයකි. ස්වාභාවික මනුෂ්‍ය ආශා සපුරාගත නොහැකි වූ විට එකී පීඩනය විවිධ වේෂයන්ගෙන් පුපුරා යන අතර ළමා අපචාර හා ස්ත‍්‍රී දුෂණ එහි එක් ප‍්‍රතිඵලයක් ලෙස ගිණිය හැකිය. ලිංගික සදාචාරය පිළිබඳව වන සංස්කෘතික හා ආගමික හැඟීම් මත රාමුගත වූ, එකී නිර්මිතයන් විසින්ම කොන්දේසි පනවා ගන්නා ලද පසුබිම් මත ජීවත් වන විවාහකයන් ලිංගිකත්වය තුළ පූර්ණ සන්තර්පණයක් නොලැබීමද දක්නට ලැබෙන සමාජයීය ලක්‍ෂණයකි.

සැබැවින්ම විවාහ සංස්ථාව තුළ ඇති අනවශ්‍ය ලිංගික සදාචාරය නිසා බොහෝ විට පුරුෂ පාර්ශ්වය වෙනත් ක‍්‍රම ඔස්සේ තම ලිංගික හැඟීම් තමාට ඇවසි උපරිමය මත තෘප්ත කර ගැනීමට උත්සාහ ගනු ලබයි. අන්තර්ජාලය හා කාමුකත්වය පිළිබඳ හැඟීම් උද්දීපනය කිරීම වෙනුවෙන්ම සැදී පැහැදුනු මාධ්‍ය සංස්කෘතියද මේ සඳහා විවිධ වේෂයන්ගෙන් රුකුල් සපයනු ලැබේ. මෙකී තත්ත්වයද ළමා අපයෝජන හා ස්ත‍්‍රී දුෂණ වැඩිවීම කෙරේ ඉවහල් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත හෙළිදරව් කරන පරිදි අප වැඩිහිටි පරපුර වඩාත් නිරෝගිමත් වේ. ඒ නිරෝගිමත් බව මත ලිංගික කි‍්‍රයාකාරයන්හි යෙදීමට වසස යන සාධකය බලපෑමක් වන්නේ නැත. එහෙත් ඇතැම් කාන්තාවන් වැඩිහිටි භාවය හා මාතෘත්වය ඔස්සේ යම් වයස් සීමාවකදී ලිංගික සබඳතා පැවැත්වීම කෙරේ මැලිකමක් සහ ප‍්‍රතික්‍ෂේප කිරීමක් දක්වයි. මේ තත්ත්වයද වැඩිහිටි පිරිමින් ළමා අපචාර හා ස්ත‍්‍රී දුෂණ කෙරෙහි යොමුවීමට හේතුවක් වී තිබේ.

සැබැවින්ම යුවතියක වෙතින් අවිහිංසකත්වය සහ ලලනා ගුණය ඉස්මතු වු විටත් කාන්තාවක වෙතින් මාතෘත්වය හා පිරිපුන් බව ඉස්මතු වූ විටත් ඇය වෙතින් දිස්වන්නේ පැහැදිලි සුන්දරත්වයකි. එහෙත් අද යුවතිය පමණක් නොව කාන්තාවද අනවශ්‍ය ලෙස ශරීර අවයව පෙන්නුම් කරන ආකාරයෙන් කාමුකත්වය ඉස්මතු වන පරිදි විලාසිතා සහ රූපලාවන්‍ය ක‍්‍රම භාවිතය කෙරේ නැඹුරු වී සිටී. ඇය කෙරේ ආදරය වෙනුවට හුදු ලිංගික ආකර්ෂණයක් පමණක් පිරිමින් අතර ඇතිවීමට ඇගේ මේ කාමුක නිරූපණ ස්වභාවය හේතු වේ. මෙයද ස්ත‍්‍රී දුෂණවලට පාදක වන එක් හේතුවකි.

”සියලූම ආකාරයේ කායික හා මානසිකව ළමයාට කරන්නා වූ නොමනා කි‍්‍රයා, ලිංගික අපයෝජන, නොසලකා හැරීම හෝ කෲර ලෙස සැලකීම හෝ වාණිජමය හෝ වෙනත් ආකාරයේ සූරාකෑම් හේතුකරගෙන ළමයාගේ සෞඛ්‍ය පැවැත්ම සංවර්ධනය, වගකීම, විශ්වාසය හෝ බලය යන සම්බන්ධතා විෂයෙහි ගරුත්වයට හානි පැමිණවීම හෝ එසේ විය හැකි කි‍්‍රයා කිරීම ළමා අපයෝජනය හා ළමා හිංසනයයි.” ඒ ළමා අපයෝජනය හා ළමා හිංසනය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය කරන අර්ථ විග‍්‍රහයයි. 1992 දී ලංකාවේ සම්මත කර ඇති ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තියට අනුව ලිංගික සූරා කෑමෙන් ආරක්‍ෂාවීමට, හානිකර දේවල යෙදවීමෙන් ආරක්‍ෂා වීමට, වදහිංසා හෝ කෲර ලෙස සැලකීම හෝ දඬුවම්වලින් මිදීමට, නිදහස හා සුරක්‍ෂිතභාවය අත්විඳීමට ඇති අයිතිය තහවුරු කර ඇත. එහෙත් ධනය, බලය හා ලිංගිකත්වය මත කේන්ද්‍රගත වූ ප‍්‍රපංචයන් මත උඩුගංබලා පිහිනන්නට වෙර දරන සමාජයකින් ඔබටත් මටත් බලාපොරොත්තු විය හැකි ආදරයක් හව්හරණක් හෝ ගෞරවයක් කොතැනක වේදැයි යන ප‍්‍රශ්න කිරීම ළඟ අදටත් අප නිරුත්තරය.

තම නිවෙස, මහ මග, පොදු ප‍්‍රවාහන සේවාව, පාසල් වෑන් රථය, පාසල, රැකියා ස්ථානය මෙකී නොකී මේ සියලූ තැන්හිදී දරුවන් කෙලෙසෙන්නේත්, කෲර වද බන්දනවලට ලක්වන්නේත්, ස්ත‍්‍රී දුෂණ සිදුවන්නේත් මනුෂ්‍යත්වය හා සමාජයීය හර පද්ධතීන් උච්චස්ථානයකටම දියාරු වී ගිය පදනමක් මතය.

ලිංගිකත්වය පිළිබඳව හැඟීම් ඇතිවීම ස්වභාවික ධර්මතාවකි. එහෙත් මිනිසා එකී හැඟීම් සන්තර්පණය කර ගැනීම උදෙසා සකස් කරගනු ලබන මාවත් සමාජයීය සදාචාර සීමාවන් ඉක්මවා නොයා යුතුය. විවාහය ලිංගිකත්වය නිදහසින් හා උපරිමයෙන් භුක්ති විඳීම උදෙසා ලැබෙන නිත්‍යනුකූල බලපත‍්‍රයකි.

එහෙත් නොයෙකුත් උද්වේගකර හා යාන්ත‍්‍රික සමාජ බලවේග විසින්ම පවුල් සංස්ථාව අද දෙදරුම් කෑමකට ලක්කර ඇත. නිවෙස රාති‍්‍ර නින්දට පමණක් නවාතැනක් බවට පත්කරගත් ලිහිල් අඹු සැමි බන්ධනවලදී අනියම් සබඳතා ඒ හිඩැස් පිරවීම අද විලාසිතාවක් බවට පත්ව ඇත. බිරිය හා සැමියා වෙතින් පූරණය කරගත නොහැකි වූ කායික හා මානසික තෘප්තිය වෙනත් ගැහැනියක හා පිරිමියක වෙතින් තෘප්ත කර ගැනීමට යාමේ එක් ප‍්‍රතිඵලයක් වන්නේ දරුවන්ට හිමිවිය යුතු මව්පිය රැුකවරණය, ආදරය හා සැලකිල්ල අහිමිවී යාමකි. ඒ අනුව හුදෙකලා වන දරුවන් අහිමි වන ආදරය සමාජයේ වෙනත් පාර්ශ්ව වෙතින් සොයාගෙන යාමට පෙළඹීමද, ආදරයයැයි සිතා පටු ලිංගික පරමාර්ථ ඇති පුද්ගලයන් ළඟ අතරමංවීමද ළමා අපයෝජන හා ස්ත‍්‍රී ¥ෂණ ඇතිවීමට ප‍්‍රබලව තුඩුදෙන තවත් හේතුවකි.

දරුවන්ට මව්පිය රැකවරණය හා ආරක්‍ෂාව අහිමිවීම, දරුවන් හුදෙකලාවීම, දරුවා කෙරේ වන වැඩිහිටි පාර්ශ්වයේ අවධානය හා සැලකිලිමත් බවේ වන හිඩැස, දරුවන් අනාථ භාවයට පත්වීම, අන්ත දුගී බව, අයහපත් මිතුරු ඇසුර, අන්තර්ජාලය, ෆේස් බුක් වැනි තාක්‍ෂණ ක‍්‍රමවේද අයථා ලෙස භාවිත කිරීම අන්තර්ජාලය ඔස්සේ නිල් චිත‍්‍රපටි සහ අසභ්‍ය ඡායාරූප නැරඹීම ඇබ්බැහියක් බවට පත්කර ගැනීම විශේෂයෙන්ම ෆේස් බුක් (මුහුණු පොත) හරහා නිවැරදි ලෙස නම ගම ලිපිනයවත් නොදන්නා පුද්ගලයන් සමඟ ඇතිකර ගන්නා මිතුදම් ලිංගික සබඳතා දක්වා වර්ධනය වන ක්‍ෂණික සබඳතා බවට පත්කර ගැනීම අද ළමා අපචාර හා ස්ත‍්‍රී දුෂණ ඉහළ යාම කෙරේ ප‍්‍රබල ලෙස ඉවහල් වී ඇත. ආකල්පමය වශයෙන් සමාජය පරිවර්තනයකට ලක්විය යුතු තීරණාත්මක ප‍්‍රවේශයකට අද අපි අවතීර්ණ වී සිටිමු. ඒ පිළිබඳව කිසිදු තර්කයක් නැත. එහෙත් එය ප‍්‍රායෝගිකත්වය මත යථාර්ථයක් බවට පත්කර ගැනීම අප ලියන තරමින් හෝ කියන තරමින් සරල පහසු කරුණක් වන්නේද නැත. මෙහිදී ආගමික නායකයන්ට කි‍්‍රයාකාරී මෙහෙවරක් මෙහිලා ඉටුකළ හැකිය. පවුල් සංස්ථාව මත විවෘත සහයෝගි පදනමක් ඇති කිරීම මූලිකව සිදුවිය යුත්තකි. එමෙන්ම තාක්‍ෂණය හා එහි නව ප‍්‍රවණතා සමාජයීය අභිවෘද්ධිය පිණිස මිස විනාශය පිණිස යොදා නොගැනීමට සමාජය බුද්ධිමත් විය යුතුමය.