IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


අල්ලේ නටවන පත්වීම්

ඉහළ අධිකරණවලට විනිශ්චයකාරවරුන් පත් කිරීමට අදාළව ව්‍යවස්ථා සභාව ගත් තීරණයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්  ඉකුත් අඟහරුවාදා (නොවැම්බර් 29 වැනිදා)  ඉදිරිපත් කෙරිණි.

අභියාචනාධිකරණයේ ඇතැම් විනිශ්චයකාරවරුන් පිළිබඳව අග්‍රවිනිශ්චය කාරවරයාගෙන් විස්තර වාර්තාවක් ඉල්ලා සිටීමට ව්‍යවස්ථා සභාව ගත් තීරණය බල රහිත කරන ලෙස මෙම පෙත්සම  මඟින් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

අදාළ විනිශ්චයකාරවරුන්  ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයේ  තනතුරුවලට පත් කරන්නට ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට නිර්දේශ කරනු ලැබ ඇති තත්ත්වය යටතේ ව්‍යවස්ථා සභාව මෙසේ එම විනිශ්චයකාරවරුන්ගේ විස්තර වාර්තා ඉල්ලා ඇතැයි  පෙත්සම්කරු සිය පෙත්සමෙන් චෝදනා කොට තිබේ.

මෙසේ විනිශ්චයකාරවරුන් පිළිබඳ විස්තර ඉල්ලා ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා වශයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අග්‍ර විනිශ්චය කාර ජයන්ත ජයසූරිය මහතා වෙත ලිපියක් යවා ඇති බව ඉකුත් නොවැම්බර් 20 වැනිදා ඩේලි මීටර් පුවත්පතද වාර්තා කොට තිබිණි. විනිශ්චයකාරවරුන් පත් කිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ නිර්දේශ අනුමත කිරීම අතිවිශාල වගකීමක් වන හෙයින් එම වගකීම ඵලදායි ලෙස හා කාර්යක්ෂම ලෙස ඉටු කිරීම සඳහා එම වගකීමට අදාළ තොරතුරු ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇතැයි කතානායකවරයා එම ලිපියේ සඳහන් කොට තිබිණැයි එම පුවත්පත් වාර්තාවෙන් කියැවිණි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් පත් කිරීම සම්බන්ධ කාරණාවලදී ව්‍යවස්ථා සභාව අග්‍රවිනිශ්චයකාරවරයාගේ අදහස් ලබාගත යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ. එහෙත් එම අදහස් යන්නට විනිශ්චයකාරවරුන් පිළිබඳ තොරතුරු අදාළ වන්නේද යන්න දැන ගත හැකි වන්නේ මෙම පෙත්සම පිළිබඳ  ශ්‍රේෂ්ඨාධිකරණයේ  තීන්දුවෙනි.

ව්‍යවස්ථා සභාවේ කටයුතු  විවේචනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවැම්බර් 23 වැනිදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබූ පසුබිමක මෙම පෙත්සම ඉදිරිපත් කර තිබීමද බොහෝ දෙනාගේ අවධානයට ලක් වන්නට ඇත. නව පොලිස්පතිවරයකු පත් කිරීම හා ඉහළ අධිකරණවලට විනිශ්චයකාරවරුන් පත් කිරීම ප්‍රමාදවීමට ව්‍යවස්ථා සභාවේ  කටයුතු හේතු වී  ඇතැයි ජනාධිපතිවරයා එහිදී චෝදනා කළේය. එම සභාවේ කටයුතු සම්බන්ධයෙන් සොයා  බලන්නට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නට අදහස් කරන බවද ඔහු එම කතාවේදී සඳහන් කළේය.

දැනට අභියාචනාධිකරණයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු වශයෙන් පත් කිරීම සඳහා තමන් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ නිර්දේශය සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාවට තීරණයක් ගත නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි එම සභාවේ සභාපතිවරයා වශයෙන් කතානායකවරයා තමාට ලිඛිතව දැනුම් දී ඇතැයිද ජනාධිපතිවරයා පැවසීය.

සභාවේ සාමාජිකයන්ගෙන් තිදෙනකු එම නිර්දේශයට එකඟතාව  පළකොට ඇති බවත් තවත් තිදෙනකු  ඊට එරෙහි වී ඇති බවත්  සභාවේ සාමාජිකයන් අතුරින් දැනට සිටින අනෙක් දෙදෙනා ඡන්දය දීමෙන් වැළකී සිටි බවත් කතානායකවරයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

මෙය ඇත්ත වශයෙන්ම කතානායකවරයාට පාලනය කර ගත නොහැකි තත්ත්වයකි. යම් ප්‍රශ්නයකදී ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් සමාන ලෙස දෙපැත්තට බෙදුණහොත් සභාපතිවරයාගේ තීරක ඡන්දය පාවිච්චි කළ හැකිය. එහෙත් සුළු පක්ෂවල නියෝජිතයා තවමත් සභාවට පත් කරනු ලැබ නැත. ඒ තත්ත්වය යටතේ එසේ කිරීම සදාචාරවත්ද යන ප්‍රශ්නය මතුවේ.

ඒ නිසාදෝ ජනාධිපතිවරයා සිය කතාවේදී සුළු පක්ෂවල නියෝජිතයා ව්‍යවස්ථා සභාවට පත් නොකිරීම පිළිබඳව විපක්ෂයටද චෝදනා කළේය. එහෙත් ඊට පිළිතුරු දුන් සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සුළු පක්ෂවල නියෝජිතයා වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී හා තමිල් ඊළම් ජනතා විමුක්ති  සංවිධානය හෙවත් ප්ලෝට් සංවිධානයේ නායක ධර්මලිංගම්  සිද්ධාර්ථන් මහතාගේ නම යෝජනා කරනු ලැබ ඇතත් කතානායකවරයා ඔහු ව්‍යවස්ථා සභාවට  පත්කොට නැතැයි පැවසීය.

සුළු  පක්ෂවල නියෝජිතයා වශයෙන් තම කණ්ඩායමේ සාමාජිකයකු පත් කළ යුතුයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෑතකදී කැඩී ගිය ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ කණ්ඩායමද කියා සිටින බව ඇතැමුන් පැවසුවද හර්ෂ ද සිල්වා මහතා ඉහත ප්‍රකාශය කළ විට ජනාධිපතිවරයා හෝ සභාවේ සිටි වෙනත් කෙනකු හෝ  එය ප්‍රතික්ෂේප කළේ නැත. විශේෂයෙන්ම ඔහුගේ ප්‍රකාශය කතානායකවරයාට චෝදනා කරන්නක් වුවද කතානායාකවරයාද එය ප්‍රතික්ෂේප කළේ නැත.

ජනාධිපතිවරයා හා ව්‍යවස්ථා සභාව අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙන්නේ මෙම විනිශ්චයකාරවරුන් පත් කිරීම සම්බන්ධයෙන් පමණක් නොවේ. පසුගිය සෙනසුරාදා විශ්‍රාම ගිය හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ජනාධිපතිවරයා විසින් දෙන ලද සේවා දීර්ඝ කිරීම් හතරෙන් දෙකකටම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබුණේ නැත. ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාව විවේචනය කරන්නේත් ව්‍යවස්ථා සභාවට එරෙහි මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේත් ඒ පසුබිම තුළය.

එහෙයින් එම පෙත්සම අපට සිහිගන්වන්නේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමිසම ගන්නා ක්‍රියාමාර්ග නතර කරන්නට නියෝග කරන්නැයි ඉල්ලා විශ්‍රාමික හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා විසින් ඉකුත් ජනවාරි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමයි.

එම රිට් පෙත්සමද ඉදිරිපත් කරන ලද්දේ තමන්ගේ පරාජය ස්ථිර බව පෙනී යාම නිසා පළාත් පාලන මැතිවරණ කල් දැමීම සඳහා ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් නොයෙක් උපක්‍රම ක්‍රියාත්මක කරමින් සිටි පරිසරයකය. එම උත්සාහය සාර්ථක විය. රිට් පෙත්සම් විභාගය කිහිප වතාවක්ම කල්ගිය  අතර ඒ අනුව පළාත් පාලන මැතිවරණද දින නියමයක් නැතිව කල් දමනු ලැබ තිබේ. පෙත්සම් දෙකම ඉදිරිපත් වූයේ  ජනාධිපතිවරයා වගඋත්තරකාර ආයතන දෙක, එනම් මැතිවරණ කොමිසම හා ව්‍යවස්ථා සභාව විවේචනය කරන තත්ත්වයක් තුළය.

2001 දී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතංග  මහත්මියගේ නායකත්වයෙන් පැවැති ‘‘පරිවාස ආණ්ඩුව’’ යටතේ සම්මත කරන ලද 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දෙනු ලැබූ ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයාගේ කටයුතු පාලනය කිරීම අරමුණු කර ගත්තකි. එවැනි ආයතනයකට එරෙහිව ඉදිරිපත් කෙරුණු පළමු පෙත්සම ඉකුත් අඟහරුවාදා ඉදිරිපත් කරන ලද පෙත්සමයි. ඒ අර්ථයෙන් එය විශේෂ වැදගත්කමක් දරයි.

 ව්‍යවස්ථා සභාව 18 වැනි හා 20 වැනි ව්‍යවස්ථා සංශෝධන මගින් අහෝසි කරන ලද අතර 19 වැනි හා 21 වැනි ව්‍යවස්ථා සංශෝධන මඟින් යළි හඳුන්වා දෙනු ලැබූ බවද මෙහිලා සිහිපත් කළ යුතුය. එම සභාවට ව්‍යවස්ථාවෙන් නීතිමය  මුක්තිය දී තිබුණද ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ හැකිය. ඉකුත් අඟහරුවාදා ඉදිරිපත් කෙරුණේ  එවැන්නකි.

කෙසේ වෙතත් විනිශ්චයකාරවරුන් පත් කිරීමට අදාළව ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවට එල්ල කළ විවේචනය සාධාරණය. සභාවේ සාමාජිකයන් අතර ඇති බෙදීම් නිසා එම පත් කිරීම් සම්බන්ධයෙන් සභාවට තීරණයක් ගත නොහැකිව ඇතැයි සභාවේ  ප්‍රධානියා වන කතානායකවරයාම පවසන්නේ නම් එම පත් කිරීම් හෝ ඒවා වෙනුවට වෙනත් පත් කිරීම් කරන්නේ කවදාද යන ප්‍රශ්නය මතුවේ. එම පත්කිරීම් පිළිබඳ ජනාධිපතිවරයාගේ නිර්දේශ ප්‍රතික්ෂේප නොවූ හෙයින් ඒවා ඉල්ලා අස්කර ගෙන වෙනත් නිර්දේශ ඉදිරිපත් කිරීමද කළ නොහැකිය.

එහෙත් පොලිස්පතිවරයා පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාව පිළිබඳව  කළ විවේචනය පදනමක් ඇති එකක් සේ නොපෙනේ. හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා කාලය අවසන් වූයේ ඉකුත් මාර්තු මාසයේදීය. එහිදී ඔහුට මාස තුනක සේවා දිගුවක් දෙනු ලැබූ අතර ඊට ව්‍යවස්ථා සභාවේද අනුමැතිය ලැබිණි. ජූනි 26 වැනිදා එම සේවා දිගුව අවසන් වීමෙන්  සති දෙකට පසු ජූලි 9 වැනිදා යළිත් ඔහුට මාස තුනක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරිණි. එය අනුමත කරන අතරම තවදුරටත් ඔහුගේ සේවා කාලය දිගු කළ නොහැකි යැයි ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයාට දැනුම් දුන් බව කියැවේ.

 එහෙත් ජනාධිපතිවරයා ඔක්තෝබර් 13 වැනිදා ඔහුට සති තුනක සේවා දිගුවක් නිර්දේශ කළේය. ඔක්තෝබර් 17 වැනිදා රැස්වූ ව්‍යවස්ථා සභාව එය අනුමත කිරීම ප්‍රතික්ෂේප කළේය. එහෙත් එය නොතකා ජනාධිපතිවරයා එම සේවා දිගුව ක්‍රියාත්මක කරන්නට නියෝග කළේය. නොවැම්බර් 3 වැනිදා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ පොලිස්පතිවරයාගේ සිව්වැනි සේවා දිගුවද ක්‍රියාත්මක කරන ලද්දේ  ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් තොරවය.

සේවා දීර්ඝ කිරීම් කරමින් හිටපු පොලිස්පතිවරයා දිගටම සේවයේ තබා ගත නොහැකිය. එම කාරණයේදී  ව්‍යවස්ථා සභාවට දොස් පැවරිය නොහැකිය. එතැනදී මතුවන ප්‍රශ්නය නම් ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරයා පොලිස්පතිවරයාගේ සේවා දිගුව ක්‍රියාත්මක කළ හැකිද, එය නීත්‍යානුකූලද යන්නයි.   

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී ‘‘ව්‍යවස්ථා සභාවත් හරි ජනාධිපතිවරයාත් හරි’’ යැයි කීවේය. ව්‍යවස්ථා සභාවේ තීරණය නොතකා ජනාධිපතිවරයා කටයුතු කිරීම හරි නම් ජනාධිපතිවරයා තම නිර්දේශ ව්‍යවස්ථා සභාවට යොමුකළ යුතු නැත.

ජනාධිපති වශයෙන්  සිටියදී මහින්ද රාජපක්ෂ මහතාද ව්‍යවස්ථා සභාව නොසලකා හරිමින් අධිකරණයට පත්වීම් කර ඇත.

17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා හඳුන්වා දෙන ලද්දේ ජනාධිපතිවරුන් අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය ආදී ආයතන ‘‘අල්ලේ නැටවීම’’ වැළැක්වීමටය. එහෙත් ජනාධිපතිවරුන් ව්‍යවස්ථා සභාව නොතකා අධිකරණයට හා පොලීසියට පත්වීම් කර ඇත. අධිකරණ ක්‍රියාමාර්ගයක් නිසා මැතිවරණ කොමිසමට මැතිවරණයක් පැවැත්විය නොහැකි වී තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර මහතා රහස් පොලිස් අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස් කොමිසමක් තිබියදීය. එහෙයින් ‘‘අල්ලේ නැටවීම’’ තවදුරටත් වලංගුද යන ගැටලුව මතුවේ.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (0)

අල්ලේ නටවන පත්වීම්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

​ශක්තිමත් විකල්පයක් අවශ්‍ය ඇයි?
2024 පෙබරවාරි මස 26 127 0

ජනපතිවරණය, හැදෙන නව සන්ධාන සහ රට ගොඩනගන ආකාරය පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්‍ඡාව මෙවර සඳු


හොර දොස්තරලාගෙන් රෝගීන් බේරාගන්න බැරිද?
2024 පෙබරවාරි මස 26 71 1

අප රටේ ජනයා කවර කලෙක කළ පාපකර්මයක් ගෙවා දමමින් සිටින්නේදැයි සිතා ගත නොහැකි තරම්ය. නයන පිනවන මේ රන් දිවයිනේ ඉපදීම සම්බන්ධයෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් විය


බේකරි කර්මාන්තය වැසීයාමට ඉඩ නොදෙමු
2024 පෙබරවාරි මස 24 244 0

අත්‍යවශ්‍ය සේවා වශයෙන් මේ රටේ ඇතැම් ආයතන සහ සේවා නම් කරනු ලැබ තිබීම සාමාන්‍ය තත්‍්‍වයකි. ඒ සමගම තවත් ආයතන හිටිහැටියේ අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙයි. එම


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා විමර්ශණයක්
2024 පෙබරවාරි මස 23 250 0

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඉතාමත් සංවේදී කාරණයක් පිළිබඳවය. ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳව විවිධ ආකාරයේ සාකච්ඡා අතීතයේ සිටම සිදුවී


පිරමීඩ ජාවාරම්වලට ඉඩක් තියන්න එපා
2024 පෙබරවාරි මස 23 312 0

නීති විරෝධී ආකාරයට මුදල් රැස්කර එම මුදල් කෝටි ගණනින් ගසාකන විවිධ ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව කොතරම් දැනුවත් කළත් ඒවාට හසුවන පුද්ගලයන් අඩු නොවන බවට කදි


නොකළ යුත්තට අත දැමීමෙන් විඳවන රටක්
2024 පෙබරවාරි මස 22 812 1

මෑත කාලය තුළ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හැට දහසකට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කොට ඇති වාර්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 283 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 301 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 303 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site